‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


'ආත්ම ප්‍රකාශන' සාහිත්‍යයක ශ්‍රී ලාංකික නිදර්ශනය

සැමරුම්
 

පසුගිය 20 වැනි දිනට යෙදුණු සිරිල් බී. පෙරේරා 24 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.

'ආත්ම ප්‍රකාශන' සාහිත්‍යයක ශ්‍රී ලාංකික නිදර්ශනය

“සිංහල සාහිත්‍යයට මෑතකදී එකතුවුණු ෙපාත් අතුරින් 'නූතන' යැයි කිව හැකි එකම කෘතිය සිරිල් බී. පෙරේරාගේ 'මරණ තුනක් ඇති මිනිහෙක්' වෙන්න පුළුවන්. එය මිනිස් සොබාවේ ඇතැම් අංශ ගැන කරපු ශූර අධ්‍යයනයක්.
සාහසිකයි, අසම්මතයි, අතිශයින් ප්‍රබලයි.”

ආචාර්ය පද්මල් ද සිල්වා

සිරිල් බී. (බර්ට්‍රම්) පෙරේරා පුවත්පපත් කලාවේදියකු, චිත්‍රපට විචාරකයකු හා වෙළෙඳ දැන්වීම් පිටපත් රචකයකු ලෙසින් ස්වකීය ජීවිත කාලය තුළ ඉමහත් කීර්තියක් ඉසුලුවේය.

'සිංහල ජාතිය' පත්‍රයෙන් වෘත්තීය ජීවිතය ඇරැඹු හෙතෙම එම පුවත්පත් ආයතනය පළ කළ 'සියබස' නම් වූ 'රීඩස්ට් ඩයිජස්ට්' වර්ගයේ මාසික සඟරාවේ සංස්කාරකව සිටියේය. ඉන්පසු සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර සංස්කරණය කළ 'දින දින', ඩී. බී. ධනපාල සංස්කරණය කළ 'දිවයින' යන පත්‍ර සඟරාවල ද විශේෂාංග ලිපි ලීවේය. ඔහු එකල 'දිනදින' සඟරාවට 'සිබීරා' නමින් ලියු තීරු ලිපිත් 'දිවයින' පත්‍රයට 'සිල්පි' නමින් ලියූ තීරු ලිපිත් නොමඳ පාඨක අවධානයක් දිනාගත්තේය. 'දෙසතිය' පුවත් සඟරාවේ ආරම්භක සංස්කාරකවරයා වන්නේ ද සිරිල් බී. ය. එය 'ටයිම්', 'නිවුස් වීක්' ශෛලියේ ප්‍රථම සිංහල පුවත් සඟරාව (නිවුස් මැගසින්) වූයේය.

මේ හැරුණුකොට සිරිල් බී. නිර්මාණාත්මක ලේඛකයකු (විශේෂයෙන් සාහිත්‍යධරයකු) වශයෙනුත් සාහිත්‍ය කලා විචාරකයකු වශයෙනුත් පෑ ප්‍රතිභා මහිමය වැඩි අවධානයකට පාත්‍රව නැත. මීට 24 වසරකට ඉහත ඔහු මියගිය අවස්ථාවේත් මා ද ඇතුළු බොහෝ දෙනකු සිහිපත් කළේ සිනමා විචාරකයකු ලෙස ඔහුගේ යුග දායකත්වය පිළිබඳව පමණි.

සිරිල් බී. කෙටි නවකතාවක් හා කෙටිකතා කීපයක් ලියා ඇත. 'මරණ තුනක් ඇති මිනිහෙක්' ඔහු ලියූ කෙටි නවකතාවකි. එය දැඩි ආගමික බැඳීම්වලින් යුතු මිනිසකුගේ ලිංගික ජීවිතය විවරණය කෙරෙන්නා වූ සුවිශේෂ සාහිත්‍ය කෘතියකි.

'සිංහල ජාතිය' පුවත්පතට විවිධ ලේඛකයන් ලියු කෙටිකතා එක්කොට 'සුදු මැණිකා' නමින් කෙටිකතා පොතක් හෙතෙම සංස්කරණය කළේය. මෙම සංග්‍රහයට ලියූ ප්‍රස්තාවනාව කෙටිකතා විෂය පිළිබඳ සිරිල් බී. සතු පළල් දැනුම ප්‍රකට කරවන්නකි. මෙම ප්‍රස්තාවනාව නූතන කෙටිකතාව ස්ථාවර සාහිත්‍යාංගයක් වශයෙන් සිංහල සාහිත්‍යයට ඇතුළු වී ඒ වන විට වැඩි කලක් ගතවී නොතිබුණත් - එතෙක් ඒ විෂය පිළිබඳ ලියැවුණු විශිෂ්ට නිබන්ධයක් ලෙස අජිත් තිලකසේන සලකයි.

'නිඹුල්ලු' කෙටි නවකතාවක් හා කෙටිකතා තුනක එකතුවකි. ('අපරාධකාරයා', 'හරියට රෑ දහයයි දහයට' හා 'සියඹලා ඇට' එම කෙටිකතා තුනයි) ධම්ම පදයේ එන ගාථාවක් ආශ්‍රිතව 'නිඹුල්ලු' කෙටිකතාව ලියැවී ඇත.

කෙටි නවකතාව (NOVELETTE) නම්වූ සාහිත්‍යංගය සිංහල සාහිත්‍යයට හඳුන්වා දුන්නේ සිරිල් බී. යැයි මම සිතමි. 'නිඹුල්ලු' හි මුද්‍රිත පිටු සංඛ්‍යාව 55 කි.

'නිඹුල්ලු' පොතට හැඳින්වීමක් ලියන සිරිල් බී. මෙසේ කියයි:

“චෛතසික අර්බුදයකට මුහුණ දුන් විට මිනිස් සිත ක්‍රියා කරන හැටිත් එයින් මෙහෙයවනු ලබන මිනිසුන් හැසිරෙන හැටිත් සැබෑ ලෙසින් දක්වමින් නිර්ව්‍යාජ නවකතාවක් ලිවීමට මට කලක සිට ආශාවක් තිබිණි. ඒ ආසාව හදිසියේ බලවත් වූයෙන් මේ නවකතාව එක හුස්මට වාගේ ලියා අවසන් කළෙමි.”

1962 දී 'අපේ කට්ටිය' නම්වූ නාට්‍ය කලා සංවිධානය බිහි කිරීමට මූලික වූ දෙතුන් දෙනාගෙන් සිරිල් බී. ප්‍රමුඛයෙකි. ඇත්ත වශයෙන්ම එවක යුරෝපය පුරා ප්‍රකට භව්‍යවාදි සංකල්පය (EXISTENTIALISM) මුල් වරට ශ්‍රී ලාංකික කලාවට එක්වූයේ 'අපේ කට්ටියේ' සුගතපාල ද සිල්වාගේ වේදිකා නාට්‍යවලටත් කලින් සිරිල් බී. ගේ පූර්වෝක්ත සාහිත්‍ය නිර්මාණ ඔස්සේය. එවක ලෝකයේ පැවැති නව කලා ප්‍රවණතා, නව සාහිත්‍ය ධාරා පිළිබඳ පැතිරුණු අවබෝධයක් ද්විභාෂීය උගතකු වූ සිරිල් බී.ට තිබිණි. කොලින් විල්සන්ගේ 'අවුට් සයිඩර්' (මේ කියන්නේ කැමුගේ පොත ගැන නොවේ) ඔහු මහත් ඉහළින් අගය කළ කෘතියකි. 'ආත්ම ප්‍රකාශන' නවකතා කෙරෙහි සිරිල් බී.ගේ සුවිශේෂ උනන්දුවක් තිබිණි. ඔහුගේ කෙටි නවකතා දෙක ද එම ගණයෙහිලා සැලකිය හැකිය.

සිරිල් බී. උපයුක්ත භාෂාව ගැන ද යමක් කිව යුතුය. නිර්මාණකරණයේදී හා පුවත්පත් ලේඛනයේදී ඔහු කතා කරන භාෂාව පරිහරණය කළේය. න ණ - ල ළ මුළුමනින්ම බැහැර කළේය. 1964 දී 'සවස' පුවත්පත සිංහල පුවත්පත් කලාවේ පෙරළිකාර තීරණයක් ගනිමින් 'න ණ - ල ළ' භේදය අත්හළ අවස්ථාවේ ඒ පිටුපස සිටියේ සිරිල් බී. බව අජිත් තිලකසේන කියා සිටී. ඔහු 1968 ක්‍රියාත්මක කරන්ට ගිය 'සම්මත සිංහලයට' ද දැඩිව විරුද්ධ වූයේය.

සිරිල් බී. ගේ සාහිත්‍ය නිර්මාණ එහි පැවැති උත්කෘෂ්ට භාවය අනුව ගත් කල්හි විචාරාත්මක ඇගැයීමකට ලක් නොවිණි. ඔහුගේ 'මරණ තුනක්' කෙටි නවකතාව බුහුමනට ලක් කළේ ආචාර්ය පද්මල් ද සිල්වා පමණක් විය යුතුය. ඔහු 'ඩේලි නිවුස්' පත්‍රයට මෙසේ කියා ඇත:

“සිංහල සාහිත්‍යයට මෑතකදී එකතු වුණු ඒවා අතුරින් 'නූතන' යැයි කිව හැකි එකම කෘතිය සිරිල් බී. පෙරේරාගේ 'මරණ තුනක් ඇති මිනිහෙක්' වෙන්න පුළුවන්. එය මිනිස් සොබාවේ ඇතැම් අංශ ගැන කරපු ශූර අධ්‍යයනයක්. සාහසිකයි, අසම්මතයි, අතිශයින් ප්‍රබලයි.”

පේරාදෙණි සාහිත්‍ය විචාර කුලය සිරිල් බී. ගේ එකම කෘතියක්වත් සලකා බලා ඇතැයි කිව නොහැකිය. ඔවුන් ඒවා නොදැක්කා සේ සිටියා විය යුතුය. මෙයට එක් හේතුවක් සුගතපාල ද සිල්වා අවධාරණය කර ඇත. එනම්; සිරිල් බී. 'අපේ කට්ටියේ' සාමාජිකයකු වීමය. 'අපේ කට්ටිය' යනු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායට එරෙහි වූ නාට්‍ය කලා සංවිධානයක් ව තිබූ බව අප මෙහිලා අමතක කළ යුතු නැත.

සිරිල් බී. ගේ සාහිත්‍ය නිර්මාණ නොසලකා හැරීම නව අතු රිකිලි ලමින් නැ‍ඟෙමින් තිබු සිංහල සාහිත්‍යයටම කළ ද්‍රෝහිකමක් නොවිය හැකි දැයි ඔහුගේ සමකාලීනයකු වූ පියසිරි නාගහවත්ත අසයි.

සිරිල් බී. යනු මිනිසුන්ගේ ලිංගික ජීවිතය යථා තත්වවාදීව නිරූපණය කළ සාහිත්‍යධරයෙකි. අමරසේකරගේ 'යළි උපන්නෙමි' පවා ලියැවුණේ ඔහුගේ කෘතීන්ට පසුවය. එපමණක් ද නොවේ, මඩවල එස්. රත්නායකට 'පානෙන් අඳුර'ට වැනි ලිංගික ජීවිතයේ විවිධ අවස්ථා නිරූපිත නවකතාවක්, හේමරත්න ලියනආරච්චිට 'පාදඩයකුගෙන්' වැනි ස්ත්‍රි දූෂකයෙක් ගැන කියැවෙන නවකතාවක්, උපුලි ගුණවර්ධනට 'මල් වැනි ලස්සන ගැහැනු ළමයි' වැනි සමලිංගික සබඳතා නිරූපිත නවකතාවක් ලියන්ට ධෛර්යයක් ලැබුණේ ඇතැම් විට සිරිල් බී.ගේ කෘති ඔස්සේ වන්ට පුළුවන.

කෙසේ වෙතත් සිරිල් බී. නම් පේරාදෙණි සාහිත්‍ය කෘති මහත් ඉහළින් අගය කළේය. 'යළි උපන්නෙමි' විචාරයට ලක්කළ ඔහු එහිදී අනාවැකියක් ද පළ කළේය. ඒනම්; සමකාලීන සමාජයේ සම්මත වටිනාකම් හා ඝට්ටනය වීමේ වරදට හා එහි ඉහවහ ගිය කුහකකම් පිළිබඳ 'සෙලුව' හෙළි කිරීමේ 'පාපය'ට අමරසේකරට වන්දි ගෙවන්ට සිදුවනු නොඅනුමාන බවය. කියූ පරිදිම මෙම නවකතාව සමාජය තුළ මහත් ආන්දෝලනයක් හට ගත්තේය. අවසානයේ අමරසේකරට එම නවකතාව ප්‍රතික්ෂේප කරමින් පාපොච්චාරණයක් කරන්ට පවා සිදු වූයේය.

වරක් එක්තරා පුවත්පතක් (ඔබ්සර්වර්) මහාචාර්ය සිරි ගුනසිංහ ගේ නිසදැස් කවි ගර්හාවකට ලක් කරද්දි සිරිල් බී. එයට එරෙහිව මහාචාර්ය ගුනසිංහයන් වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු මෙසේ පිළිතුරු දී ඇත:

“වුවමනාවෙන් විකෘත කරගත් ඇඳුම් අඳින සැන් ෆැන්සිස්කෝවේ තරුණ කලාකරුවාත් විකාර ඇදහීම මඟින් සිය දිවියේ නිස්සාරභාවය ප්‍රදර්ශනය කරන ලොස් ඇන්ජලිස්හි තරුණ බුද්ධිමතාත් අමුතුම ආරක බස් වහරක් දොඩමින් අස්වාභාවික ජීවිතයක් ගතකරන ලන්ඩනයේ තරුණ ලේඛකයාත් රැවුල් වවාගෙන, කළු ජින්ස් ඇඳගෙන කෝපි කඩවල කාලය ගෙවමින් දර්ශනවාදය ගැන වාද විවාද කරන පැරිසියේ තරුණ චින්තකයාත් සිය ප්‍රකාශන මාධ්‍ය පිළිබඳ නවමං සොයමින් විප්ලවීය සාහිත්‍ය පර්යේෂණයක යෙදී සිටින පේරාදෙණියේ තරුණ කවීන් හා ලේඛකයනුත් යෙදී සිටින්නේ එකම ගමනකය. එය ඇත්ත සොයා යන ගමනකි.”

'දෙසතිය' පුවත් සඟරාවට සහ ශ්‍රී ලංකා සිනමා විචාරක සංගමයට පින්සිදු වන්ට සිරිල් බී. නම්වූ විශිෂ්ට බුද්ධිමතා ඇසුරු කිරීමේ භාග්‍යය මම ලදිමි. 1985 - 86 වකවානුවේදී මම 'දෙසතියේ' සාහිත්‍ය අතිරේකය සංස්කරණය කළෙමි. මහාචාර්ය සෝමරත්න බාලසූරිය පරිවර්තනය කළ කැමුගේ 'පිටස්තරයා' නවකතාව පළ වූයේ එකලය. ඒ පොත විචාරය කිරීම පිණිස යැවිය යුතු සුදුසුම පුද්ගලයා කවුදැයි මම සිතුවෙමි. එකවර මා සිහියට ආවේ සිරිල් බී. ය. මගේ ඇරියුමෙන් ඔහු ලියූ 'පිටස්තරයා' විචාරය 'දෙසතිය' 1986 මැයි 15 කලාපයේ පළ වූයේය. 'පිටස්තරයා හා සාන්තුවරයාගේ ඛේදවාචකය' යනුවෙන් ලියැවුණු එම විචාරයේ ශීර්ෂය ද සිරිල් බී. ගේමය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්