‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»

හොස්ටල් කොලම
හොස්ටල් කොලම

වැල බජාර්

බුදු මැදුර පහු වුණහම හොස්ටල් එක දක්වාම තියෙන පාරයි, ඒ පාර ඉවර වෙලා වමට හැරිලා යන කොට තියෙන ප්‍රධාන හොස්ටල් ගොඩනැඟිල්ලයි, ඒකෙ අන්තිමටම ගිහින් ආයෙත් වමට හැරිලා පහළට බහින්න තියෙන සුරම්‍ය සහ සී ඩෝමිට්රියයි තුන් පැත්ත හැටියට ගත්තහම ඒ මැද්දේ තියෙන විශාල බෑවුම හොස්ටල් කොල්ලන්ට මාර සම්පතක්.

සීඩෝ එක පැත්තෙන් මේ බෑවුමේ අඩි සීයක් විතර පහළට බැහැගෙන ගියාම තමයි, ළමයි නාන ‘විලියම් ටැංකිය’ තියෙන්නෙ. එතෙන්ට ගිහින් උඩ බැලුවහම තුන් පැත්තෙන්ම විශාල ගස්වලින් පිරුණු කන්ද. මේ බෑවුමේ ගස්වල තියෙන වැල වරකා බුදින එක, කොකෝ කැලේ ඇවිදින එක, ඉදී ගෙන එන වරකා කඩලා පස්සෙ ගන්ඩ කැලේම තැනක හංගලා එන එක, මුදුනේ ප්‍රධාන ගොඩනැඟිල්ල කිට්ටුවම තියෙන කුරුම්බා ගස්වල ගෙඩි කඩාගෙන කන බොන එක වාගේ කොලු වැඩ නොකරන කෙනෙක් නෑ.

ඒ වුණාට එක එක වයස්වල කට්ටිය වෙන වෙනම එකතු වෙලා මේ වැඩ කරන හින්දා පොඩි පොඩි කල්ලි හැටියට තමයි වැඩේ වෙන්නෙ. වැල කන්ඩම ප්‍රිය කල්ලිවලට කිවුවෙ ‘වැල බජාර්’ කියලා. දවුලගල, අජිත්, ආටිගල, සීවලී, මෙත්තානන්ද, රත්නසූරිය වගේ කට්ටියගේ වැල බජාර් එක කවුරුත් දන්නවා. දහයේ පන්තියේ ඉන්න කොටත් අඩි හයක් විතර උස අජිත් හින්දා මේගොල්ලන්ට වැල බාගන්න එක සිම්පල්. මේ බජාර් එකේ කොටම එකා වන ආටිගලට වැඩිය අජිත් අඩි එකහමාරක් විතර උසයි. ගස් නඟින්න පුළුවන් හින්දා ආටිගලගෙ සේවයත් දෙවෙනි වෙන්නෙ නෑ. හවස තේ වෙලාවෙන් පස්සෙ තියෙන්නෙ සෙල්ලම් කරන වෙලාව. ක්‍රිකට් - ෆුට්බෝල් කට්ටිය පිට්ටනියට යනවා වගේම කැරම් - චෙස් - ටීටී කට්ටිය හොස්ටල් එකේම තමයි සෙල්ලම් කරන්නෙ. ලොකු විභාග කිට්ටුව තියෙන අය කොහොමත් දිගටම පාඩමනේ. ඒ මොන විභාග තිබුණත් වැල බජාර්වල කට්ටිය කොකෝ කැලේට රිංගන එකේ අඩුවක් නෑ.

මෙහෙම ගිහින් වැලයක් බාගත්තු එක දවසක වැල ගෙඩිය ගිහින් හිර වුණේ ලොකු ගහක පාමුල තිබුණු දෙබොක්කාවක් අස්සේ. දවුලගලයා හීනි හින්දා එතෙන්ට රිංගුවේ වැල ගෙඩිය අරන් එන්න. එතකොට තමයි ඌ දැක්කෙ එතැන අස්සෙ විශාල රෝදයක් වගේ එකක් තියෙන බව. මූ වැල ගෙඩියත් අරන් උඩට ඇවිත් රෝදය ගැන කිවුවහම අජිත් බැස්සා ඒක බලන්න. පොඩ්ඩක් ඇදලා බැලුවහම මෙන්න කරත්ත රෝදයක්! කොහෙන්ද යකෝ මෙතෙන්ට මේක? අද ඊයේ වැටිච්ච එකක් නම් නෙමෙයි. හුඟක් ඉස්සර එකක් වෙන්ඩ ඕනේ. කොහොම වුණත් අපේ කට්ටියට නිකම් ඉන්න බෑනේ. නළියනවානෙ. හය දෙනාම එකතු වෙලා කරත්ත රෝදෙ ඇදලා ගත්තා උඩට. මැද්දෙ ලී ටිකක් දිරලා තිබුණට ටිකක් මලකඩ කාපු යකඩ පට්ටම තාම හොඳට තියෙනවා. සෑහෙන්න බරයි. මේක කොස් ගහකට හේත්තු කරපු කට්ටිය වැල ගෙඩියට වග කියලා ඉවර වෙලා හෙමින් සීරුවේ රෝදෙ තල්ලු කර ගෙන උඩට අරන් ආවා. පරණ දිරච්ච කොළවලින් වැහිලා තිබුණට ඒවා සුද්ද කරලා ගත්තහම රෝදය හොඳට තිබුණා.

‘මචංරෝදෙන් අපි මොකද්ද කරන්නෙ?’ පහුවදා ආටිගල ඇහුවෙ මෙත්තානන්දගෙන්. ‘ඕක හයිකරන්න අපි කරත්ත හදන්නයැ? පාරෙ තල්ලු කර ගෙන යන්නත් ලේසි බරක්යැ? අපි වෙන වැඩක් කරමු.’ එහෙම කිවුවෙ දවුලගල. ‘මොකද්ද?’ කට්ටියම ඇහුවෙ ඕනම අන්ඩ වැඩකට ලෑස්ති මූඩ් එකෙන්. ‘අපි ඕක අපර් ඩෝමිට්රියටම අරන් ගිහින් උඩ ඉඳලා පල්ලමේ එවමු කොකෝ කැලේ පැත්තටම.’ කාටවත් ප්‍රයෝජනයක් නැති වුණාට මේ වගේ ජොලි වැඩවලට කට්ටිය එක පයින්. ‘යකෝ මේක තව අපර් ඩෝමිට්රියටත් අරන් යන්නෙ කොහොමද? කොච්චර උඩද?’ ප්‍රධාන පාරෙනුත් අඩි පනහක් හැටක් උඩ තියෙන - පඩිපෙළේ ගියත් පඩි හැත්තෑවක් අසූවක් නඟින්න තියෙන - එහෙම නැග්ගත් කෙළින්ම ‘මහගිරි දඹේ’ සයිස් නැග්මක් නඟින්න වෙන අපර් ඩෝමිට්රියට මේක අරන් යන එක ලේසි නැති බව ටක් ගාලා තේරුණ හින්දයි ආටියා එහෙම ඇහුවෙ.

දවුලගල සැලුණේ නෑ. ඌ කිවුවෙ පඩිපෙළට අයිනෙන් මානා කැලේ පැත්තෙන් රවුමෙන් කොහොම හරි ගෙනියමු කියලා. පුදුම අමාරුවකින් කට්ටිය රෝදය උඩටම අරන් ගියා. ප්‍රධාන පාරෙන් අපර් ඩෝමිට්රිය පැත්තට තියෙන කණ්ඩියේ ගල් බැම්මම අඩි හයක් විතර උසයි. ඒකේ උඩ ගැට්ටෙන් උඩහට තව අඩි හතළිහක් විතර උසක් පෙනුණට අපර් ඩෝමිට්රිය හරියටම පේන්නෙත් නෑ. ඒ තරමට තද බෑවුම. උඩ ඉඳන් පහළ බැලුවහම ප්‍රධාන පාර පේන්නෙත් යන්තම්. එතකොට පේන්නෙ පාරේ පහළ බෑවුම පැත්තට තියෙන හරියෙන් අඩි දෙකක විතර තීරුවක් විතරයි. ගල් බැම්ම පැත්තෙ පාර පේන්නෙ නෑ. ඉතින් රෝදෙ පහළට තල්ලු කරන්න නම් පාරේ කවුරුවත් නැති වෙලාවක් වෙන්ඩ එපායැ. දැන් රෝදෙ තියෙන්නෙ අපර් ඩෝමිට්රියෙන් බෑවුම පැත්තට තියෙන මිදුලේ. ඒ කාලේ අපර් ඩෝමිට්රියේ ළමයි හිටියේ නෑ. ඒක වහලා තිබුණෙ. ඒ හින්දා ඒ පැත්තට කවුරුවත් යන්නෙ නෑ. තුන්දෙනෙක් රෝදෙ ගානට බෑවුම ළඟට ගෙනත් අල්ලා ගෙන ඉන්නවා. අත ඇරපු ගමන් රෝදෙ බෑවුම දිගේ ඇවිත් පාරට වැටිලා ඊළඟට කොකෝ කැලේ පැත්තට ගිහින් ගස් අස්සට වැටිලා යයි. තත්පර ගානකින් වෙන මේ වැඩේ බලාගෙන ඉන්න එක තමයි ඉතින්ජොලිය.

දවුලගල, අබලන් වෙලා තියෙන පඩි පෙළේ බාගයක් පහළට බැහැලා පාරේ කවුරුත්වත් එනවද බැලුවා. වෙලාව හවස හතරට විතර ඇති. පිට්ටනියට ගිය ළමයි දැන්ම එන්නෙ නෑ. හොස්ටල් එකේම ඉන්න ළමයි පාර පැත්තට එන්නෙත් නෑ. දවුලයා හොඳට දෙපැත්තම බැලුවා. පාරෙ කවුරුවත් නෑ. පාර මීටර් සීයක් විතර දිගයි.

රෝදෙ තියාගෙන ඉන්නෙ හරියටම මැද හරියට වෙන්ඩ, ඉතින් කවුරු හරි ආවත් රෝදෙ වැටෙන ඉක්මනින් මැද්දටම එන්ඩ බෑ. දවුලයා වේගෙන් උඩට දිවුවා. උඩටම නැඟලා ‘හරි හරි කවුරුවත් නෑ, තල්ලු කරමු, තල්ලු කරමු.’ කියාගෙන අපර් ඩෝමිට්රියේ මිදුල දිගේ දුවගෙන ආවා. හය දෙනාම පුළුවන් තරම් වේගෙන් රෝදෙ තල්ලු කෙරුවෙ පහළටම ඇස් යොමාගෙන.

ඒත්, දවුලයා නොදැකපු, ඌ පඩිපෙළේ උඩට දුවන කොටම බුදු මැදුර පැත්තෙ පාරෙන් මතු වුණු, වහලේ කහපාට ගාපු කළු පාට මොරිස් මයිනර් ටැක්සිය දැන් පාරේ මැද හරියට කිට්ටුයි. ඒක දැකපු කට්ටියට කලන්තෙ වගේ වුණා. රෝදෙයි ටැක්සියයි දෙකම වේගෙන් එකම තැනට ආවා. සීවලී අහක බලා ගත්තා.

රොකට් වේගෙන් පහළට ගිය රෝදෙ, පාරේ කන්ද පැත්තට තියෙන ගල් බැම්මේ ගැට්ටෙ වැදිලා හරියටම කාර් එකටත් අඩි හයක් උඩින් විසි වෙලා පහළ තියෙන ගස්වලටත් උඩින් ගිහින් ළමයි නාන විලියම් ටැංකිය කිට්ටුවෙන් පොළොවට වැටිලා, අනෙක් පැත්තේ සීඩෝ එකට නඟින පඩිපෙළේ බාගයක් විතර උඩටත් ගිහිල්ලා වැටිලා නැවතුණා. කාර් එක එයාගෙ පාඩුවේ ගියා. අපේ කට්ටිය වැටි වැටි පහළට බැහැලා රවුමෙන් සීඩෝ එක පැත්තෙන් රෝදය හොයාගෙන ගියා.

හාස්කමකින් වගේ ‘විලියම් ටැංකිය’ ළඟ කිසිම ළමයෙක් නාන්න ඇවිත් ඉඳලා නෑ. කාර් එකේ හොස්ටල් එකට ආපු කොටන්දෙණිය සර් සුරම්‍ය එකට පඩිපෙළේ බැහැගෙන එන කොට මෙත්තානන්දලා ආපහු උඩට නඟිනවා. කට්ටියම සර් දිහා හොරෙන් වගේ බැලුවට මොකද සර් හිනා වේගනම බහින්නෙ වෙච්චි හරිය දන්නෙ නැති හින්දානෙ.

ගල් බැම්මෙ ගැට්ට තිබ්බෙ නැත්නම් හරි, විලියම් ටැංකියට නාන්න කවුරු හරි ඇවිල්ලා හිටියනම් හරි, පහුගිය අඟහරුවාදා නාවල ‘ස්ටීම් බෝට්’ එකේදි හම්බ වෙලා සන්තෝෂෙන් ගත කරපු මෙත්තානන්දවයි සීවලීවයි හම්බ වෙන්න මට යන්න වෙන්නෙ බෝගම්බර තමයි! කැනඩාවේ සුඛෝපභෝගී ගෙදරක ඉඳන් ඒ වෙලාවෙ ස්ටීම් බෝට් එකට කෝල් කරපු ආටිගලට නඟින්න වෙන්නෙ වැල ගස්වල නෙමෙයි. එල්ලුම් ගහේ තමයි!


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්