හරි වහර
හරි වහර
නිතර වරදවා යොදනු ලබන සරල යෙදුම් කිහිපයෙක හරි වහර විමැසිල්ලට ලක් කැර
බලමු.
1. ආහුණෙය්‍ය - මේ සිංහලයෙහි නො ව පාලියෙහි යෙදෙන වදනෙකි. එහෙත් බුදු දහම
ඇසුරින් නිතර සිංහලයෙහි ද යෙදේ. ආහුන හෙවත් පිදිය යුතු, පූජා කළ යුතු දේ ලැබීමට
සුදුසු යන අරුත මෙහි ඇත්තේ ය. 'ආහුන' යන්නෙහි යෙදෙනුයේ (දන්තජ) 'න' ය. එ හෙයින්
මෙහි නිවැරැදි යෙදුම 'ආහුනෙය්‍ය' යනු යි. 'පාහුනෙය්‍ය' යන්න සමඟ යුගල පදයන් ලෙස
ද යෙදෙන මෙය මහා සංඝරත්නයෙහි එක්තරා ගුණයක් හඟවාලන පදයක් ලෙස නිතර වහරෙහි
යෙදේ.
2. ඇතින්නිය - 'ඇතා' යන්නෙහි ස්ත්‍රී ලිංග පදය ලෙස බොහෝ දෙනෙක් මෙය යොදති. එහෙත්
නිවැරැදි වදනක් නො වේ. 'ඇත්' යන නාම ප්‍රකෘතියට ස්ත්‍රී ලිංගයෙහි 'ඉති'
ප්‍රත්‍යයය එක් කළ විට 'ඇතිනි' යනු නිපැදේ. එය ඒක වචන කරනු පිණිස 'අ' ප්‍රත්‍යයය
එක් කළ කල්හි 'ඇතිනිය', 'ඇතින්න' යන පද ඇති වේ.
එ හෙයින් ඒ දෙක ම නිවැරැදි ය. ඇතින්නි යැයි පදයක් ඇති වීමට 'ඇතිනි' යන්නට තව ද
'ඉ' ප්‍රත්‍යයක් එකතු කළ යුතු වෙයි. එය අධිකයෙකි. ඇතින්නි, ඇතින්නිය යන පද
සාවද්‍ය වනුයේ එ හෙයිනි. 'බැල්ලිය', 'වැස්සිය' ආදිය ද මෙ බඳු ම සාවද්‍යය පද බව
සැලැකිය යුතු ය.
3. ඇනිය - මේ අරුත් කිහිපයෙක යෙදෙන වදනෙකි. සමූහය හෙවත් රාශිය යන අරුතෙහි
බෙහෙවින් යෙදේ. එ සේ ම, ඔරුවෙහි ඉදිරිපස කොටස හැඳින්වීමට ද යෙදේ. මේ කවර
අරුතින් වුව ද නිවැරැදි වදන 'ඇණිය' යනු යි මෙහි (මූර්ධජ) 'ණි' යෙදෙන සැටි
සැලැකිල්ලට ගත යුතු ය. 'බළ ඇණි' වැනි වදන්හි යෙදෙන්නේ සමූහ අර්ථයෙනි. 'ඇණියෙන්
ගියත් එක යි, අවරින් ගියත් එක යි' යන කියමනෙහි දී ඇණිය යෙදෙන්නේ ඔරුවෙහි ඉදිරි
කොටස යන අරුතිනි.
4. ඇඹෙණි - භාර්යාව හැඳින්වීම පිණිස පැරැණි කල සිට ම සිංහලයෙහි යෙදෙන වදනෙකි,
මේ. 'අඹු' යනු ස්ත්‍රී අර්ථය සාමාන්‍යයෙනුදු භාර්යා අර්ථය විශේෂයෙනුදු දෙයි.
ගෞරවාර්ථය දීම පිණිස සිංහලයෙහි ස්ත්‍රී ලිංග නාම ප්‍රකෘති හා යෙදෙන 'අණි'
ප්‍රත්‍යයය එයට එක් කළ විට 'ඇඹණි' යනු නිපැදේ. (අඹු + අණි = ඇඹණි) මෙහි (සඤ්ඤක)
'ඹ' අකුරට පෙර කොම්බුවක් යෙදීමට කිසි දු හේතුවක් නො වේ. ගෞරවාර්ථ ප්‍රත්‍යයය
'එණි' වී නම් එ කල්හි 'ඇඹෙණි' යනු නිපැදිය හැකි ය. එහෙත් ප්‍රත්‍යයය 'අණි' වන
හෙයින් නිවැරැදි වදන වනුයේ 'ඇඹණි' යන්න ම ය. මෙ ද දියණි, මෑණි, නැන්දණි වැනි ගරු
අරුත්හි යෙදෙන වදනෙකි.
සිංහල රීතිය අනුව, ගෞරවාර්ථයෙහි ආණ, අණු, අණි ආදි ප්‍රත්‍යයක් යම් නාම
ප්‍රකෘතියක් හා එක් වීමෙන් නිපැදුණු නාමයක් ඒක වචනයෙහි වර නැඟෙන්නේ නො වේ.
වදනින් කියැවෙන්නේ එක් තැනැත්තකු හෝ එක් තැනැත්තියක හෝ ගැන වුව ද බහු
වචනයෙහි ම වර නැඟිය යුතු ය. එ හෙයින් ඇඹණිය යනු වැරැදි යෙදුමෙකි. නිවැරැදි
වනුයේ 'ඇඹණියෝ' (උක්ත), 'ඇඹණියන්' (අනුක්ත) යනු යි. දියණිය, නැන්දණිය ආදිය ද
මේ රීතියෙන් ම වැරැදි වචන වේ.
- ශාබ්දික
|