‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ලොතරැයි කිරිල්ලී

කෙටිකතාව

ලොතරැයි කිරිල්ලී

ලවණ මුසු මුඩු හුළඟ පිළී ගඳ ද, ඔසවා ගෙන කලපුව වත්තෙන් ඉඟිළී නගර මැද්දෑවට පිළිපන්නේ ය. ඒ හුළ‍ඟේ කිසිම අපුලක් නොදැනුණු මිනිසුන් හා ගැහැනුන් ලකේට හැඳ පැලඳ ගෙන ඒ මේ අත දුව යන්නේ ඉස ගිනි ගත්තවුන් විලස ය. නගරයේ මිනිසුන් ජීවිතය අල්ලා බදා ගෙන සිටින අයුරු නන්දලතාට පෙනුණි.

ඇස ගැල්වූ අඳුන්, කොපුල් තැවරුණු වත්සුනු, දෙතොල රත් පැහැ ගැන් වූ සායම්, කිටි කිටියේ ඇඟට හිරවුණු ඇඳුම්, නෙක නෙක වර්ණයෙන් යුතු වූ මාල, වළලු, වර්ණ ගන්වා අනේක වද බන්ධනයට ලක් කළ හිස කෙස් මේ ආදි විලාසිතා රටාවන් ගෙන් යුතු වූ නුවර වැසියන් තමා පසු කර යනා'යුරු ඇය ලොතරැයි කූඩුවේ කොටු දැලෙන් මෙපිට බලා සිටියා ය. හිරු රත් පැහැ ගුලියක් ව මේ සියල් බහු රූ කෝලම් නරඹා මුහුදේ ගිලෙමින් සිටියේ ය.

නගරයේ වූයේ තරමක නොසන්සුන් බවකි. රැකියාව නිම වී නිවෙස් කරා යන ගැහැනුන් හා මිනිසුන්ගෙන් වීදි පිරී ඉතිරී තිබුණි. වීදි ලාම්පු දැල්වෙන්නට තවත් හෝරාවක් පමණ වනතරම් ආලෝකයක් නගරය පුරා රැඳී තිබුණි. බස් ස්ටෑන්ඩ් එක දෙසින් ඇසෙන්නේ එකිනෙකට මිශ්‍ර වූ මහා ඝෝෂාකාරී හඬකි. ඒ දෙස නොබලා ම ඒ හඬවල් එකිනෙකට වෙන් කර කීමට දෑස් පියාගෙන වුව ද දැන් නන්දලතාට හැකිය. බස් නැවතුමේ උඩම පඩියේ හිඳ ගෙන සිටින අන්ධ යාචක දෙමහල්ලන්ගේ අන්ධ ගීතය ද, කවිකොළ කාරයා‍ ගේ කවි කතාන්දරය ද, ඒ දෙකම පරදා විටෙක උච්ච ස්වරයෙන් ගැයෙන විරිදුව ද, නන්දලතා සිතින් වෙන් කොට හඳුනා ගත්තා ය.

ඒ සියල්ල අතරින් වීදි කොණේ සින්දු කඩේ කවි බණ කැසට් පටය ද වරින් වර උස් පහත් වෙමින් පැතිර ගියේ ය. බංගදෙණිය කෝච්චිය ද හයියෙන් හූවක් තබා ගෙන ම නගරය පසුකර හලාවත දෙසට ගියේ මේ දැන් ය. වෙනදාට නම් 'බංගෙ' ලොතරැයි කූඩුව පසුකොට යන්නේ පහයි කාලට විතර ය. අද එය තරමක පමාවක් වී ඇති බව නන්දලතාට දැනුණි. 'බංගෙ න්' පැමිණ ස්ටේෂමෙන් බැස ලොතරැයි කූඩුව පසුකොට යන ආණ්ඩුවේ ක්ලාක් මහත්තුරු කිහිප දෙනෙකු ම ලොතරැයි මිලදී ගැනීමට නන්දලතා ගේ ලොතරැයි කූඩුවට පැමිණියහ. ඒ එක් අයෙක් කොළඹ මහා පත්තර කන්තෝරුවේ වැඩ කළ කෙනෙක් ය. තවත් දෙදෙනකුම රජයේ මුද්‍රණාලයේ සේවක මහත්තුරු ය. ඒ අය ලොතරැයි ගත්තේ හතර පහක් එක වරම ය. නන්දලතා ඔවුන්ට ලොතරැයි විකුණුවා ය. ඔවුහු නන්දලතාට මුදල් දී බලාපොරොත්තු රැගෙන නිවෙස්වලට ගියහ.

නන්දලතාට වටින්නේ රුපියල් දහය මිස බලාපොරොත්තු නොවේ. බලා‍පොරොත්තු, ප්‍රාර්ථනා සියල්ල ඇති පදමට ඇය ව හෙම්බත්කොට තිබුණි. ඒවාට පණ දෙන්නට උත්සහ කළ සුන්දර අතීතයක් තමන්ට තිබුණු බව ඇයට සිහි විය. දැන් ඒ ගැන සිතන විට ද, ඇස්වලට වැටෙන සියලු මිනිස් රූ දෑසේ ම බොඳ වෙයි. මිනිසුන් දෙපය තබා ඇවිදින ලෝකයේ ඇය මේ පොර බදන්නේ නොවැටී එක් පයක් තබාගෙන සිටීමට ය. නැතිනම් සිදුවන්නේ මේ පාපිෂ්ට ලෝකයට තමන් ගේ ත‍ාරුණ්‍යය ගොදුරක් කොට ගන්නට ඉඩ දීමට ය. ලොතරැයි වාසනාවක් නොපෑදුණ ද, ලොතරැයි ලෑල්ල ඇය ජීවත් කරවමින් සිටියේ ය.

සිතුවිලි බිඳ වැටුණේ ලොතරැයි කූඩුව වෙත ආ තැනැත්තාගේ අඩි හඬෙනි. නන්දලතා හිස හරවා ඔහු දෙස බැලුවා ය. ඒ අනෙකකු නොව හරස් වීදියේ රෙදි සාප්පුවේ මැනේජර් ය.

ටික දිනකදි සිට මැනේජර්ගේ ප්‍රධාන විනෝදාංශය බවට පත්වී තිබෙන්නේ ලොතරැයි සීරීමය. නන්දලතාට මේ ලොතරැයි සීරිල්ල මහත් හිරිහැරයක් වී තිබුණි. ලොතරැයි සීරිල්ල කොහොම වෙතත් ඔහු හැම විට ම කියන දෙපැත්ත කැපෙන වදන් නන්දලතාට මහත් අපහසුවක් ගෙන ආවේය.

“මෙදා ජයමල්ල දෙගුණ වෙලා මහත්තයා... පහුගිය සතියේ කාටවත් ඇදුණේ නැහැනේ...”

නන්දලතා ඔහු දෙස බලා වෙනසක් නොපෙන්වා කීවා ය.

“මං දැන් කී දවසක් ආවාද මෙතෙන්ට.... කෝ... ලක් එකක් නෑනේ තවම... මෙව්වා ඇදෙන්න ඕනේ අපිට ම තමා...”

මනමාල බැලුම් හෙළමින් එලෙස කියූ මැනේජර්, නන්දලතා ගේ ලොතරැයි කූඩුවේ උඩ එල්ලෙන කැරකෙන ප්ලාස්ටික් රවුම වටයක් කරකවා අතහැරියේය.

ලොතරැයි කූඩුවට එහායින් හිඳ සිටි ඇපල් වෙළෙන්දා, ලොතරැයි කූඩුව දෙස බැලුවේ තුන්වැනි වතාවට ය.

“මොකද අමරේ අයියා, තාම සංවර්ධනේ ඇදුණේ නැද්ද?”

ඇපල් වෙළෙන්දා නුහුරට මෙන් ඇසුවේ ය.

“දන්නවද මම මගේ වාසනාව ඇද ගන්නෙත් මේ ලොතරැයි කූඩුවෙන් ම තමයි. එදාට නංගිවත් රත්තරනෙන් නාවනවා... හරිද...”

ලොතරැයි ලෑල්ලට අතින් තට්ටු කොට එසේ කියූ මැනේජර්... ආපසු ගොස් මෝටර් සයිකලයට නැංගේ ය. නන්දලතා ගේ දෑසට කඳුළු පිරුණි. තමා මෙවන් අනාරක්ෂිත තත්ත්වයකට පත්වූයේ පෙර පවකින් විය යුතු යැයි ඇයට සිතුණි.

තමාට වැරදුණේ කොතැනකදැයි සිතන්නට ඇය උත්සාහ ගත්තා ය. පාසල් නිල ඇඳුමට සමු දෙන්නටත් කලියෙන් ම තම දෑස මත හීන කඳු ගැසූ පෙම්වතා සමඟ පලා නොගියා නම්, මේ ඇගේ සිහින පිබිදි මල් ඵල හටගෙන තිබිය යුතු කාලය වූයේ ය.

තමන් ගේ සම්බන්ධය හෙළි වූ දවසක තාත්තා තමන්ට පහර දුන් බව ඇයට මතක ය.

“පාඩමක් උගන්නන්නම් මං උඹලට.”

එදා එලෙස සිතූ ඇය පසුදා ම සිරිදාස සොයා නගරයට ගියා ය. සිරිදාස ව ඇයට පෙනුණේ අපායේ පැසෙමින් සිටිය දී තමා ගලවා ගෙන යන්නට සුර ලොවින් ආ කුමාරයකු ලෙස ය.

“ඔයාට ගැහැව්වා කිව්වා? එහෙම ගහන්න ඔයා කරපු වැරැද්ද මොකක්ද? තව මොහොතක් වත් ඔය අපායේ ඉන්න එපා. ඔයා එන්න මයෙත් එක්ක යන්න... අපි පුළුවන් හැටියකට කාලා ජීවත් වෙමු...” ඔහු කීවේ ය.

නන්දලතා අපාය අත හැර යමපල්ලන්ගෙන් මිදී සුරලොව ගියා ය. සුරලොව පිහිටියේ මරික්කාල් වත්තේ ය. ලොන්ඩරිය ළඟ දෙල් ගහ යට ලෑලි කාමරය නන්දලතා ගේ සුරලොව විය. එහෙත් එය කඩා බිඳ වැටෙන්නට තෙමසක්වත් ගත නොවුණේ ය.

“රෑ යාමෙට යාළුවොත් එක්ක කුටුකුටු ගගා කරන රස්සාව මොකක්ද?” සිරිදාස ගෙන් ඇය ඇසුවාය.

“ඇයි? උඹ හිතුවේ මං ආණ්ඩුවේ ලොකු කන්තෝරුවක සීතල කාමරයක, කැරකෙන පුටුවක ඉඳගෙන ටෙලිෆෝන් එකෙන් රට වටේට කතා කර කරා රස්සාවක් කරනවා කියල ද?”

ඔහු කෝපයෙන් ඇසුවේ ය.

තවත් සතියක් ගත වූයේ ය. නන්දලතා ගේ ප්‍රේම පාරමිතාව බිඳ වැටෙන්නට පටන් ගත්තේ ය.

“තෝ ආවත් හරි වගතුවක් නැහැ. අද බඩු ඔක්කොම පොලිසියට මාට්ටු...” එලෙස කියා, සිරිදාස අතපය හිරි ඇර ගත්තේ නන්දලතාට පහර දීමෙන් ය. ඔහු ගේ පහරක් ඇගේ යටි බඩට වැදුණේ ය. එහෙත් ඒ තුළ වැඩුණු මිනිස් කලලය පිළිබඳ වදනක් වත් ඔහුට නොකියා ම නන්දලතා පසුදා යන්න ගියා ය. නීති පොතේ පවා නොලියවුණු යුග දිවිය එයින් නිමා විය.

එදා සිතුවිලි ඉරි තළා... සිත ඔද්දල්ව පාළු වෙරළේ ඇවිද ගිය නන්දලතා... මහ සයුර දුටුවේ තමා මෙන් ම වැලපෙන නිරතුරු ව ම වෙරළක හැපි හැපී දුක කියන ගැහැනියක ලෙස ය. ජීවත් විය යුතු බවත්, කිසිවක් අත් නොහළ යුතු බවත් සයුර ඇයට කියා දුන්නා ය. 'සිරිසඳ' අසරණ සරණ නිවහනේ රැකවරණ ඇයට ලැබුණේ ඉන් පසු ව ය.

මින් දස වසරකට පෙරාතුව හද්ද හිරිමල් වියේදි සිය දියණිය බිහිකොට ළමා නිවාසයට බාර දී ඈ ආපසු නගරයට පැමිණියාය. එදා පටන් දුක් මහන්සියෙන් ඈ උපයන හැම සත්‍යයක් ම සිය දියණිය වෙනුවෙන් ඉතිරි කළා ය. ඇය වසරකට වරක් දියණිය ගේ උපන් දිනය දවසට ළමා නිවාසයට ගොස් දවස ගත කොට ආපසු පැමිණියා ය.

තවත් දෙසතියකින් එළඹෙන ඇගේ දසවැනි ‍උපන් දිනයට ඈ බැලීමට යෑමට නන්දලතා ආශාවෙන් මඟ බලා සිටියා ය. දියණිය උස්මහත් වී, දැන උගත් පසු තමාව ද රැක බලා ගනු ඇතැයි නන්දලතාට සිතුණි. එතෙක් දියණියට කැළලක් නොවන දිවියක් ගත කිරීමට නන්දලතා අධිෂ්ඨාන කර ගත්තේ මෙයට බොහෝ කලකට පෙර ය. තමන්ට කාගෙන් හෝ කරදරයක් එන බවට ඉවවැටුණු සැණෙකින් ඇය ඒ ප්‍රදේශය හැරදා යන්නට ගියා ය.

“අක්කේ, ඔය මිනිස්සු ඇවිල්ලා ලොතරැයි ගන්න... උඹ මොන ලෝකෙද බලාගෙන ඉන්නේ?”

ඇපල් වෙළෙන්දා කෑ ගැසුවේ ය.

“හැබෑමයි. මට නිච්චි නැතුව ගියා. අද හවසට අදින වාසනාව... තව ටිකට් දෙකයි... මහත්තයෝ... ඒ දෙක ම ගන්න...”

නන්දලතා එසේ කීවද, මිනිසා ගත්තේ එක ලොතරැයියකි. ඉතිරි ලොතරැයිය ලෑල්ලේ තිබියදී ම, නන්දලතා ලොතරැයි කූඩුවෙන් එළියට පැමිණ කූඩුවට ඉබි යතුරු දැම්මා ය.

“මල්ලියේ හෙට මං එන්න චුට්ටක් දවල් වේවි... පුරුදු කාරයෝ ඒවි. මේ ළඟට ගියා දැන් ඒවි කියාපන්... හරවලා යවන්න එපා...”

නන්දලතා ඇපල් වෙළෙන්දාට කීවා ය.

එහෙත් නන්දලතා පසුවදා දහවල් දොළහා වෙද්දීත් ලොතරැයි කූඩුවට පැමිණ සිටියේ නැත. හරස් වීදියේ මනමාල කුරුල්ලාත්, වට දෙකක් ම බයිසිකලයෙන් පැමිණ කරකැවී බලා ආපසු ග‍ියේ ය. දවස් තුනක් ම ලොතරැයි කූඩුව වසා දැමූ ගමන් ම ය. කිරිල්ලිය කූඩුවට පැමිණ සිටියේ නැත. ඇපල් වෙළෙන්දාට හිතට පාළුවක් දැනුණේ ය. එක්වරම පැමිණ ත්‍රිරෝද රථයක් ඇපල් වෙළෙන්දාට මදක් ඉදිරියෙන් නැවතුණි. එයින් බැස ගත් මහලු රියැදුරා මො‍හොතක් පාළු ලොතරැයි කුටිය දෙස බැලුවේ ය.

“ලොතරැයි කූඩුවේ ඇත්තී අද ආවේ නැති ද?” ඔහු ඇපල් වෙළෙන්දා ගෙන් ඇසුවේ ය.

“දෙතුන් දොහකින් ම ආවේ නැහැ. මං උන්නෙත් අද හවසට ටිකක් හෝසිදි කරලා බලන්න. මයේ හිතේ අසනීපෙන් වෙන්න ඕනෑ.. මාසෙකට සැරයක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙතුත් ගත්තා... අසනීපයි කියලා..”

ඇපල් වෙළෙන්දා වෙළෙඳ සල වසා දමමින් කීවේ ය.

“ඕනේ නම් ගිහින් බලමු. ඔය ඉස්සරහා කෙළින් පාරේ ගියහම කෑම්ප් එක කිට්ටුව තමයි නන්දලතා අක්කා පදිංචි මං දන්න තරමින්..”

ත්‍රිරෝද රියැදුරා සමඟ ඇපල් වෙළෙන්දා පිට වී ගියේ ය. පල්ලිය හතරමංහන්දිය පසු වී කෑම්ප් එක කිට්ටුවට පැමිණ ත්‍රිරෝද රථය ගම්මානය අසල නතර වූයේ ය.

“මේ... ඇහුණ ද.. අර ලොතරැයි නන්දලතා ගෙ ගෙදර කොහේ ද? කියන්න පුළුවන් ද?”

ඇපල් වෙළෙන්දා බුලත් විඩ කඩෙන් ඇසුවේ ය.

“ඔය කීවේ ඉස්ටෑන්ඩෙකේ ලොතරැයි කූඩුවේ නන්දලතා නේද?”

“අන්න හරි...”

“අප්පොච්චියේ... ඒ ඇත්තිට පපුවේ අමාරුවක් හැදිලා දැන් දෙතුන් දොහකට කලියෙන්. ඉස්පිරිතාලෙට ඇතුල් කොළා.. මේ අපේ උන්දැ තමයි ගෙනිහින් ඇරලුවේ. ඒත්, සුවදුක් බලන්න යන්න නම් ඇහැක් වුණේ නැහැ. ඉස්පිරිතාලෙට ගෙහුන් පපුවේ අමාරුකාරයෝ ඉන්න වාට්ටුව හෝදිසි කරලා බලන්න..” බුලත් විඩ වෙළෙන්දා කීවේ ය.

ත්‍රිරෝද රියැදුරාත්, ඇපල් වෙළෙන්දාත් රෝහලේ හෘදය රෝග අංශය වෙත ගොස් තොරතුරු කීහ. රෝහල් හෙදිය ලොකු පොතක් දිග හැර.. නම් ලැයිස්තුවක් ඔස්සේ අතැඟිලි ඇදගෙන ගියා ය.

“ගමලත් ගේ නන්දලතා... ආ... මේ ලෙඩා ඇතුල් කරපු දවසෙ ම හැන්දෑවේ මැරුණා... භාරකාරයකුට වත් නමක් දීලා තිබුණෙ නැහැ. ඊයේ වෙනකම්ම බලලා ඉස්පිරිතාලෙන් වළ දැම්මා...”

පොත වසා දැමූ හෙදිය ආපසු හැරුණා ය.

ඇපල් වෙළෙන්දා ද, ත්‍රිරෝද රියැදුරා ද කතාබහකින් තොර ව ම රෝහල් ඉදිරිපිට අංගණයට පැමිණිය හ.

“මේ ලෝකේ හරිම කුරිරුයි. මිනිසුන් ගේ හදවත්වලට තෙත් ගතියක් දැනෙන්නෙම නැහැ. නැත්නම් ඒ අහිංසක ගෑනි ඒ විදිහට කාත් කවුරුවත් නැතුව මැරේවිද...”

ඇපල් වෙළෙන්දා සයුර දෙසින් අහසේ පාවී එන පුලුන් කැටි වැනි වූ වලාකුළු දෙස බලාගෙන සිතුවේය.

“මං ආවේ ඒ ඇත්තිව ළමා නිවාසෙට එක්ක ගෙන යන්න... ඒ ඇත්ති ගේ දැරිවි දැනමුතු වෙලා... ඒ වගෙ වෙලාවක අම්මා කෙනෙක්ට දන්නන එක යුතුමක් හින්දා... නිවාසෙන් මාව එව්වේ...”

ආකාසයෙන් ආ හඬක් ලෙස ත්‍රිරෝද රියැදුරා ගේ හඬ.. ඇපල් වෙළෙන්දාට ඇසුණේ ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්