කවි කල්පනා

මෑණියනි
හෙළ සාහිත විලේ දිනු කත් තඹර වැට
මැද මහ පියුම මුකුලිත වී වැටෙන විට
සරසවි හැඬී නෙත තවරා කඳුළු කැට
ඔබ නොව මළේ හදවත යැයි දැනුණි මට
පඬු පැහැ ගැහෙන වෙල් යායේ දුක පෙන්නා
මා ඔය සිසිල ජල කඳ වියැකී යන්නා
වරපට ගොළු ව බිඟුවැල් ඉවතට පැන්නා
ඔබෙ දියණිය හඬයි කවියෙහි රස දන්නා
විදු සක්විතුන් පරදා බුදු ගුණ කීයේ
ඔබ සත්සරය දියදම මුව බැඳි ගීයේ
සවනට බඳුන් වූයේ මිහිරකි මීයේ
අම්මේ ඔබෙ සෙවණ දුටු සිහිනෙකි ඊයේ
පියුමිය පිබිදි කාකත පා සරණ යුගේ
කෙවිලිය නැඟූ කවි හඬ හෙළ අඹර දිගේ
නිසලය පරිසරය ඔබ නැති සොවිනි හැඟේ
නොනැඟෙද මෙයින් පසු ගීතය කොළඹ යුගේ
සරසවි මෙවුල මත රඟ දෙන මිණි කැල්ම
ජාතික සටන් බිම උරදෙන ජන ගැල්ම
හඳුනාගත් නිසා ඔබෙ දුව හැම කල්ම
තුරු වැල් පවා මල් මෙන් පුද දෙති ඇල්ම
සැනසිලි සුවය මට දී දරු පෙම බැන්දූ
කවි පද සිලෝපද රස කරමින් කැන්දූ
පන්හිඳ අතට ගෙන බඳිමින් ගී සින්දූ
රස කවි ලියනවද සුර ලොව වෙත ඉන්දූ
තණකොළ පඳුරු බිඳිමින් පිනි දිලෙන විට
මානෙල් ඕලු සියපත් විල පිපෙන විට
පැහැබර කුසුම් මිණි මුතු කළ කිරණ වැට
විවරණ කරනු ඇත ඔබෙ කවි රසය හෙට
චිත්‍රා අයි. පෙරේරා
සිත්තම
අගනුවර සිප්හලේ
බෝඩිමේ හිරකූඩුවෙ
දොරගුළු ටිකකට ඇරියාම
ගමේ ගිහින්
අපට අහිමි
අප්පච්චිගෙ ගැමි දිවියේ
සොඳුරු ළමාවිය ඇහිඳිමි
කජුගස් යට
අඹගස් යට
ඇළේ දොළේ
විලේ මලේ
කඳු අස්සේ
ගොළු වී තැන තැන
සැඟවුණ
සොඳුරු අරුත්බර
සිත්තම
කේ. පී. ඩබ්. ප්‍රියන්ත
ජයලත්
නූතන යසෝදරාව
නේරංජන ගඟට උඩින්
එගොඩ වෙලා පීනන්නට
රාහුල පුතු පැලේ තියා
පොළොව කොටයි යසෝදරා
කන්ථක අසු සොයා දෙන්ට
ඡන්න ඇමතිවරු ඇවිදින්
රෑ ගොම්මන එළිපත්තේ
උරුවම් හඬමයි ඇහුණේ
ඉඩෝරයේ මුල් උදුරා
මන්දාරම් වැහි වැටුණේ
අලි හබරල කොළ ගොමුවේ
දෙතනේ රන්කිරි පෙරුණේ
නරසිහ ගාථා නොකිය ම
රාහුලගේ අත අල්ලන්
යසෝදරා කැත්ත අරන්
ගලින් ගලට පය තිබ්බේ
එච්.ඒ.සී. නිශ්ශංක
නුඹ
නිල් උපුලක රැඳවූ දිය වන් දෑස ම ය නුඹගේ
අක් බඹරු, නොසෙල්වෙන වරලස දණට දිගු
ගුරු දූහිතෘවකි, ඇ, නුඹගේම රුව මැවූ
රුව වේ ය, ඔබ කිරි සපිරි පිරි වත
සසල මහද කැකෑරව්වූ
වැදි වැනු දියෙන් ලත් පහරක් සේ
සිව් තුදුස් වසකට පෙර ඒ දවස
ගලහ හන්දිය මූල පුෂ්පාගාරය’ සල
බස් රියෙන් බිමට බට තාපසාවිය
සේල සුදු වත හැඳි කත වන්
නුඹ රුව අල්හාදය නංවමින් දුටු
නෙවිල් පී. විද්‍යාරත්න
ගලි සහායකගේ සිතිවිල්ල
උලා
හලා ගඳ විලවුන් වත්සුනු නෙක සුවඳ හමන
දුලා සලා සියොලඟ මිහිබට සුරඹුන් පරදවමින
විලාසිනිෙයා උඩින් උඩින් නැහැය වසා පා වී යන
වසුරු දුගඳ බව මින් පෙර කිසි දා දැන නොසිටි
ලෙසින
සඳකත් මිණි පැහැ දිදුලන මහල් පහය තුළ
වැජඹෙන
කකා බිබී තලුමරමින් පා යුග මිහි මත
නොගැටෙන
මහසල් කුලවතුන් නිතර අපුල වතින අපට රවන
අපේ අතේ තැවරෙන මුත් වසුරු අපේ බව නො ම දැන
ගලියක පිටුපස එල්ලී මහ මඟ මං යන එන කොට
මගේ පන්තියේ අයටත් හැබෑවට ම මං හිරිකිත
අත ගෑවුණ කොයි දේ වත් දැකදැක ඉවතට විසි කොට
පිරිසිදු වෙන්නට හැදුවට හෝදන්නේ කොහොම ද හිත
බුදුන් දවස නිවන් ගියා කද ඔසවපු අයත් වසුරු
අපට කොහෙද මේ මිහි මත එවන් උතුම් බෝසත්වරු
සංගිලි පාලමකි දිවිය දරුවන් ඒ මත ය මිතුරු
නිවන සම යි දිවි තරණය කළොත් නැති ව උන්
අනතුරු
ආර්.එම්. පද්මිණී
ශ්‍රියාලතා
ගඟ!
නිල්වලා ගඟ ගලනවා
මං තාම කවි ලියනවා
වැඩට - ගෙදරට
යනෙන මඟතොට
බොහෝ කවි නෙත ගැටෙනවා
එදා වේලට වෙහෙසෙනා’තර
එ’කව් මහමඟ හැලෙනවා!
හදේ ඇමිණී ඇතැම් කවියක්
රිදුම් කැක්කුම් ගෙනෙනවා
ලේ ගලා පන්හිඳේ තුඩ’ගින්
පත් ඉරුව තෙත් කරනවා!
එකල ළඟ සිටි මිතුරු පිරිවර
කලාතුරෙකින් හමුවෙලා
බොන තැනක
නොබොනා මෙ’මාවම
‘කටගැස්මටත්’ ගන්නවා!
දිනූ - පැරදුණු පෙම් සටන් ගැන
‘පෙම හිඟා කා’ ලියූ කවි ගැන
මතක් කර රිදෙනා හදේ උන්
ආයෙමත් කටු අනිනවා!
කඳුළු සිර කර බොඳ දෙනෙත් තුළ
ඉකිය සිර කර හදේ ගැඹුරෙම
මධුවිතක් නොව ‘මෘදු විතක්’
(SOFT DRINK) ගෙන
එ’දුක සෝදා හරිනවා
‘දුකේ තරමට’ නොබිවු හින්දම
‘පණපිටින්’ තව ඉන්නවා
පෙමින් පුරවා හෘත් පේශිය
ලේවලින් කවි ලියනවා
නිල්වලා ගඟ ගලනවා
මං තාම කවි ලියනවා!!
පියන්කාරගේ බන්දුල ජයවීර
ඉරිසියාව
ඉරිසියා කරමි
නුඹේ සයනයේ
නුඹේ තනියට ද
නුඹ සමඟ නිඳන හිස් බවට
දමිත් විලේගොඩ
දළ තිබූ
දළ තව වැඩෙන්නට දිගට
තිබූ නමුත්
මරු වැල පෑගී හදිසියේ
මියැදුණු ඇතා
වළ නොදමා
මක් කරන්නද?
සඳුන් විජේසිරි
දුකට දුකක්
පරාජය හමුවේ
හඬන විට අයෙක්
ලැබූවෙකු දිනුම
විඳිනා සතුට දුකට දුකක්
අනුර ගුණතිලක
එහෙම වරදක් කරල නෑ මම
ඔයා තරහෙන් හිටිය දවසක
මූණුපොත අත ගෑව සවසක
පැරණි පෙම හමු වී අහම්බෙන්
හිතින් වැලපුණ හුදෙකලාවක
සැඳෑ හමුවක මිතුරු හවුලක
පෙණ බුබුළු ලන අඩ අඳුර මැද
පිරිමි ඇස් කියවපු වෙලාවක
හීනෙන් ඇවිත් ඉඳහිට
බින්දම කෙනෙක් පතිවත...
උදේ ඉර එළියෙන්
හොරෙන් ඔය හැඩ මූණ බල බල
හූල්ලපු තරමට
සුළි කුණාටුත් ගසා යන්නැති...
බෙංගාල බොක්කට...
සීතාගෙ පතිවත
බිම්බාගෙ වතගොත...
සම්බුලා සත් පත්තිනි...
විඳපු විඳවපු ගෑනියෙක් මම
ඒ
හැමෝගෙම අක්මුල්
දුවල සම් මස් නහර ඇතුළට
ඔයා ඔය බුම්මගෙන හිටියට
එහෙම වරදක් කරල නෑ මම
සුහර්ෂිණී ධර්මරත්න
සුවච කීකරු එහෙයියෝ
එලෙස දවස එළැඹුණේ
එතරම් ම බලාපොරොත්තුවෙනි
ගියේ මහජනතාව
ඡන්ද පොළවලට
එක ම එක මිනිසකු
“ඔව්” යැයි කෑගසනු මෙනි
ප්රජාතන්ත්රීය පාලනයක් කරන බැව්
විවේචනයට ඉඩ කඩ ද නිදහස ද
බලය සහ අවසර ද ඇති බැව්
ජන මතය ක්‍රියාවෙහි යොදන බැව්
පෙන්වන්නට ය
ප්‍රධාන ම සුවච කීකරු බලු රාල
කී දෙය නම්
පත්වුණ රාජ්‍ය පාලනයට එරෙහි වන
යමෙක් වේ නම් ඔහු
ඇඟිල්ලක් ඔසවනු! යන්නයි
ඇඟිල්ලක් නො එසවුණි
සැවොම එක් බාහු ඇත්තක් වුණි
ඔවුනට අහිමි වී ගොස් තිබුණි
උදාරත්වයේ බාහුව
අබ්දෙර් රහ්මන් ලුවනිස්
ඇල්ජීරියාව
පරිවර්තනය - කරුණාතිලක
හඳුන්පතිරණ
කාව්‍යානුභූති
කව් ගී සරින
නන් තුටු හඬින
පිරිපුන් රථය
නැවතින මෙවර
ලුණු ලේවායකට...
බැස අප නඩය
ලේවා පෙදෙස
නරඹන රිසින
දිව යති එදෙස
විස්මෙන් සසල
හැඟුමින් ඉහින
උන් හැම දසත
නරඹති තුටින
ගිනියම් අහස
ලෝදිය පොළොව
හිමි කෙත් මැදක
ලුණු කඳු අදින
කම්කරු කතුන
දුක දැක නඩය
සුසුමන් හෙළත
කම්පා සිතින
තැන තැන වැටුණ
ලුණු ගෙන අතට
නඩයේ සැවොම
ආපසු ඇදෙත
දිව ගා එ ලුණු
හැර රිය කවුළු
තිත්තයි රොසින
විසි කර දමති
නොකෑ මුත් ලුණු
දෙතොල ලෙවකමි හෙමිහිට
සුළඟ හා මුසු ව ආ
ලුණු අංශු රැඳී ඇති
ඉසියුම් ලුණු රසය
පිවිසෙන හදට හෙමිහිට
සැප දුක් සම සම ව ගත්
එ කතුන් මැවෙයි මා සිත
නිමල් උඩගෙදර
(අන්තර් රාජ්‍ය සේවා නිර්මාණ පද්‍ය රචනා
- දෙවන ස්ථානය)
මරණය
නිසල වෙන්න හිත
සසල සිතුවිලි යට කර
පතන පැතුම කෙළවර
ළදරු සුදු මලකි ය, ඇති
ජගත් චන්දන අධිකාරි
තැවරුමකි
මේද තැවරුමක් වගෙයි ඔබ
යාන්තමට සිතේ දැවටී සිටින
හීන් සීරුවට රසවත් කරයි
ජීවිත අවුළු ගෑවි ගෑවී සිට
කාන්දමක් සේ ඇදුණත්
සුමියුරු රූ දැන්වීමට
වාන් දමනා සෙයින් රෝ කරයි
හද නොදැනීම මඳින් මඳ
යාන්තමින්වත් ගැලවෙන්නට
මසිතට නැත ඉඩ
පාන්දරත් රැයෙන් දැවටේ ඔබ ම
හද පුරා නො තකා අන් සැම
සුනිල් ලීවානගේ
අසනු
මැන පෙම්බරිය
ඉඳින් පෙම්බරිය, අසා හිඳිනු මැන
ඔබේ පෙම්වතාගේ කතාව
මිනිසෙකු සතුව ඇති ඔහුගේම සොවක්
ඔහුගේ ම මිතුරන් ඔහුව පෙළූ විට
එවිට ඔහු දැනගනු ඇත...
මිතුරන් සැම විටම අවංක නොවන බවත්
ඔවුන්ගේ වදන්වල ඇත්තේ...
ගිණිය නොහැකි කුඩා අළු පමණක් බවත්
නමුදු ඔහු වෙතට
සෙමෙන් විත් කවුරු හෝ
මුදු ලෙස ස්පර්ශ කරන්නේ නම්...
ආදරයෙන් ඔහුට සලකන්නේ නම්...
ඔහු
දෙඅත් රැෙඳනවා නම්...
ඇගේ මුදු, වටකුරු ළයමඬල‘තර...
නිවෙනු ඇත, ඔහුව පෙළූ ශෝකයෙන්...
නිවෙනු ඇත ඔහුගේ සිත!
ජේම්ස් ෙජායිස්
පරිවර්තනය - ඩී. තිලක
පියදාස
(එතෙර තෙසිතක කවි කාව්‍ය සංග්‍රහය)
එතෙර කවිය
ඇලස්ට්රොප්
ඔව් මට මතකයි ඇලස්ට්රොප් නම් වූ නම
එක් උණුසුම් දහවලක එහි නැවැත්වූවා
මා ගමන් කළ දුම්රිය කිසිදු හේතුවක්
නොමැතිව, ඒ ජූනි අග භාගයයි.
දුම්රියේ අඟුරු දුම් නගන හඬ සමඟ
මගියෙකු උගුර පාදන හඬ ද ඇසිණ.
කිසිවෙකු බැස ගියේද නැත
කිසිවෙකු දුම්රියට ගොඩ වූයේද නැත
හිස් දුම්රිය වේදිකාවකි
ඇලස්ට්රොප් නම් නාම පුවරුව දුටිමි.
විලෝ ගස් තණ බිම් මතින්
නැගී සිටි අපූරුව
ගස් කොළන් සිසාරා හමා එන
විලෝ සුවඳ, කළුකර නැගෙන
අහස පරයයි,
කළු කුරුල්ලෙකු ගේ මියුරු නද
කන වැකිණ, ළඟ පාතින්ම.
ඉන් එපිට ඈතින් ඈතින්
ග්ලොස්ටර්ෂයර්, ඔක්ස්ෆර්ඩ්ෂයර්
මෙන්ම තවත් ගී ගයන
බොහෝ කුරුල්ලෝ ද වෙති.
එඩ්වර්ඩ් තෝමස්
එඩ්වර්ඩ්
තෝමස්
ඉංග්‍රීසි ලේඛක එඩ් - වර්ඩ් තෝමස් කවියකු
වීමේ බලාපොරොත්තුවක් නොතිබූ කලෙක ලිවූ මෙම
කවිය අද වන විට ඉංග්‍රීසි සාහිත්‍යට ආවේණික
වූ රසයකින් පිරි කවක් ලෙස ලෝක
ප්‍රසිද්ධියට පත්වී හමාරය. මෙම කවියට පාදක
වනුයේ ඔහුගේ සැබෑ අත්දැකීමකි. ඔහු 1914 වසරේ
ජුනි මාස 24 වැනි දින ලන්ඩනයේ සිට ලොඩ්බරි
බලා යන ශීඝ්‍රගාමී දුම්රියෙන් තම මිතුරකු
වන රොබර්ට් ෆෝර්ඩ් හමුවීමට යමින් සිටි
අවස්ථාවේ එම දුම්රිය කිසිදු හේතුවක්
නොමැතිව ඇලස්ට්රොප් නම් කුඩා දුම්රිය
ස්ථානයක නවත්වන ලදී. එහිදී ඔහුගේ සිතට නැගුණ
සිතිවිල මෙහි කියවේ. එයින් දුක, සතුට, තනිකම
හා සෞන්දර්ය මනාව ඉදිරිපත් කොට ඇති බව
විචාරකයින් සඳහන් කරයි.
එඩ්වර්ඩ් තෝමස් කවියකු වීමට ප්‍රථම
පුවත්පත් කලාවේදියකු, ලේඛකයකු හා
නවකතාකරුවකුව සිටි අතර ඔහුව කවි ලිවීමට
උනන්දු කළේ ඔහුගේ මිතුරකු වන රොබර්ට් ෆෝර්ඩ්
විසින්ය. ඒ එඩ්වර්ඩ් යම් මානසික පීඩනයකට
පත්ව සිටි කාලයකයි. නමුත් එවිට එඩ්වර්ඩ්
පවසා තිබුණේ පීඩනයෙන් මිදීමට කවි ලිවීමට
තමා සූදානම් නැති බවයි. ඔක්ස්ෆර්ඩ් හි උගත්
එඩ්වර්ඩ් පසු කලෙක දෙවන ලුතිනන්වරයෙකු ලෙස
හමුදාවට බැඳුණු අතර එංගලන්ත - ප්‍රංස
යුද්ධයේදී අවාසනාවන්ත ලෙස මිය ගියද ඔහුගේ
රසවත් නිර්මාණයන් නම් කිසිදින මිය නොයනු
ඇත.
පරිවර්තනය හා සටහන
චාන්දනී ජයතිලක
|