‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

.


ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

ස්විට්සර්ලන්තයේ ඩාවොස්හි පසුගියදා අවසන් වූ 46 වැනි ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික සැසිවාරයට ශ්‍රී ලංකාවට ආරාධනා ලැබුණේ ඉතිහාසයේ පළමු වරට යි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිසක් ඊට සහභාගි වූ හ. ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ගෙන්වාගැනීම ගැන ලොව ඉහළ පෙළේ වෙළෙඳ සමාගම් ප්‍රධානීන් සමඟ අගමැතිතුමා එහි දී කළ සාකච්ඡා ඵලදායි වූ බව ද වාර්තා විණි.

1971 වසරේ ඇරඹුණු මේ ලෝක ආර්ථික සමුළුවේ නිර්මාතෘවරයා වන මහාචාර්ය ක්ලවුස් ස්වැබ් මහතා මෙවර ‘ටයිම්’ සඟර‍ාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ලෝක ආර්ථිකය හා තාක්ෂණික දියුණුව ගැන විශේෂ කරුණු දැක්වීමක් කර තිබේ. තාක්ෂණය ප්‍රමුඛ තැනෙහි ලා සලකන ආර්ථික දියුණුව නිසා ආණ්ඩුවලට, ව්‍යාපාරවලට, පුද්ගලයන්ට අත් විඳින්නට සිදු වන ප්‍රතිවිපාක ගැන දැනට වඩා කල්පනා කළ යුතු බවත්, තාක්ෂණය විසින් මානව සමාජය යටපත් කරනු ලැබීමේ අභියෝගයට මුහුණදීමට අවශ්‍ය නායකත්වය හා හැකියාව යනු මානුෂීය ගතියට හෙවත් හදවතට මුල් තැන දි ක්‍රියාත්මක වීම බවත් ඔහු සඳහන් කරයි. තාක්ෂණික දියුණුවේ අග්‍ර ඵලයක් ලෙස රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කොට ඊට මොළය දිය හැකි නමුත් හදවත දිය නොහැකි බව පෙන්වා දෙන ක්ලවුස් ස්වැබ් මහතා ආදරය, කරුණාව වැනි හැඟීම් දනවන, හදවතට ඉඩ දෙන නව මානුෂීය පිබිදීමක වැදගත්කම ලෝකයට අවධාරණය කරයි.

මේ කරුණු දැක්වීම මඟින් කියැවෙන්නේ, ආර්ථික සංවර්ධනය හා තාක්ෂණික දියුණුව ප්‍රමුඛ කරගෙන භෞතික සම්පත් හඹා යෑම නිසා මිනිසාට මිනිසා අහිමි වී යෑමේ ඛේදවාචකය යි; මොළය සහ හදවත අතර සමබරතාව ගිලිහී යෑම නිසා මුහුණ දෙන්නට සිදු වී ඇති භයානක ප්‍රතිවිපාකය යි; මනුෂ්‍යත්වයට හිමි තැන අහිමි වී යෑම පිළිබඳ පසුතැවිල්ල යි; ලිබරල් ආර්ථිකයට මුල් තැන දී භෞතික සම්පත් වැඩි වැඩියෙන් අත්පත් කරගැනීම උදෙසා ජන සමාජ යොමු වූ තරගය විසින් අවසානයේ ඉතිරි කරන ලද වේදනාව ගැන යි.

ආර්ථික සංවර්ධනය ගැන ඉහළ ‍අවධානයක් ගෙන ඇති ශ්‍රී ලංකාව, ආණ්ඩුව ලෙස හෝ ව්‍යාපාරික අංශය ලෙස හෝ පුද්ගලයන් මට්ටමින් හෝ මේ අභියෝගය ගැන කල්පනා කර තිබෙනවා ද? විශේෂයෙන් ම තාක්ෂණය ප්‍රමුඛ කරගැනීම නිසා මිනිසාට මිනිසා අහිමි වීමේ ඛේදවාචකය ශ්‍රී ලාංකික සමාජයට වැටහී තිබෙනවා ද?

ශ්‍රී ලංකාව අද මුහුණපා සිටින දහසක් සමාජීය ප්‍රශ්න අතුරින් එක් ගැටලුවක් පමණක් මෙහි දී අවධාරණය කරමු. ප්‍රවාහනය හා මාර්ග සංවර්ධනය ආර්ථික - තාක්ෂණික ලෝකයේ ප්‍රමුඛ අංගයකි. ශ්‍රී ලංකාවේ දී නාගරික ව ගත් කල මේ සම්බන්ධ ව තව මත් කතා කරන්නට ඇත්තේ මාර්ග තදබදය ගැන පමණි. ඊට අමතර ව අනතුරු පිළිබඳ ව යි. කොටි ත්‍රස්තවාදය විසින් පුපුරුවන ලද බෝම්බවලට හසු වී මිය ගිය ගණනට වඩා වැඩි සංඛ්‍යාවක් මාර්ග අනතුරුවලින් මිය යන බව පෙනේ. 2015 වසරේ පමණක් රිය අනතුරු නිසා මිය ගිය ගණන 2763ක් වන අතර, එයින් 77 දෙනෙක් ම කහ ඉර මත දී මරණය දුටුවෝ ය. මෙයින් කියැවෙන්නේ කුමක් ද? ආදරය, කරුණාව, ඉවසීම නැති ව එකිනෙකා අබිබවා යන, පරයා යන, තරගය පිළිබඳ ව යි; එකිනෙකාට ගරු නොකිරීම, අනෙකා ගැන නොඉවසීම හෙවත් හදවතට ඉඩ නොදීම පිළිබඳ ව යි; කෙටියෙන් පවසනවා නම් විනයක් කලාවක් නැති සමාජයක් බිහි වී තිබීම පිළිබඳ ව යි. කොතනකත්, හැම අවස්ථාවකමත් දකින්නට ඇත්තේ මේ ගතිලක්ෂණ යි. වෛද්‍ය වෘත්තිය ශරීර අවයව ජාවාරමක ‍ෙයදීම දක්වා පරිවර්තනය වීම කෙරෙහි බලපෑවේ හිතක් -පපුවක් නැති වීම දක්වා මුදල් ලාභය පෙරට ගැනීම යි.

කඩිනම් මහවැලි සංවර්ධනයට පසු ව එවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සම්මුතිවාදී ආණ්ඩුව හඳුන්වා දෙන්නේ, ‘මෙගාපොලිස්’ නගර සංවර්ධන ව්‍යාපෘතිය යි. කලු - කැලණි මිටියාවත හෙවත් බස්නාහිර පළාත ආවරණය කෙරෙන මේ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් මූලික වශයෙන් කරුණු 4ක් ඉලක්ක කෙරේ. ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිය, සාධාරණ සමාජයක්, යහපත් පරිසරයක් හා සතුටු සමාජයක් යනු එම ඉලක්ක 4 යි. මෙහි දැක්වෙන ‘සතුටු සමාජයක්’ යන කරුණ මඟින් මිනිසාට මිනිසා අහිමි වීම පිළිබඳ ඛේදවාචකය ගැන අවධානය යොමු කර ඇත‍. එය ලෝකය ම වෙළාගනිමින් ඇති, මිනිසාට මිනිසා අහිමි වීමේ ඛේදවාචකය ඉදිරියේ සුබ ලකුණකි.

සතුටු සමාජයක් යනුවෙන් මෙහි දී අවධාරණය කෙරෙන්නේ මතුපිට විනෝදය අබිබවා ගිය, හදවතින් ම මතුවන සංතෘෂ්ටිය බව අපි වටහාගනිමු. විය යුතු වන්නේ ද සංතෘෂ්ටියට ඉඩ සැලසීම යි. දැවැන්ත නාගරික සංවර්ධන ව්‍යාපෘතියක එවැනි ඉලක්කයක් තිබීම වඩාත් වැදගත් වන්නේ, මොළයට හා තරගයට පමණක් ඉඩ දුන් ලිබරල් ආර්ථිකය ගැන එහි ආරම්භකයන් ද ප්‍රශ්න කරන්නට පටන් ගෙන‍ ඇති බැවිනි.

මිනිසාට මිනිසා අහිමි ව යෑම වළක්වාගෙන යළි සතුටු සමාජයක් ගොඩනඟාගැනීම සංවර්ධන ව්‍යාපෘතියකට පමණක් තනි ව කළ හැකි දෙයක් නොවන බව මෙහි දී අවධාරණය කරමු. එහි ප්‍රමුඛ වගකීමක් රටේ අධ්‍යාපන ධාරාවට ද අයත් ය. ඒ වගකීම ගැන මුළුමනින් ම වාගේ අධ්‍යාපන අංශයට දැන් මඟහැරී තිබේ‍. විභාග සමත් වීමේ තරගයට මුහුණ දී ඉහළ ලකුණු ගෙන ඉදිරියට ගියත් මහමඟ වාහනයක් ධාවනය කරන විනය - ඉවසීම සහිත, අනෙකා ගැන හිතන, අනෙකාට ගරු කරන, අනෙකා ඉවසන පුද්ගලයකු මේ පවතින අධ්‍යාපනයට ගොඩනඟන්නට නොහැකි නම්? ආණ්ඩුවක් ලෙස, ව්‍යාපාර අංශය හැටියට, පුද්ගලයන් වශයෙන් අද පළමු අවධානය යොමු කළ යුත්තේ ඒ ගැන යි.

මොළය හා හදවත අතර සමබර අධ්‍යාපනයක් ගැන, ආර්ථික සංවර්ධනයක් ගැන හිතනවා නම් ලිබරල් ආර්ථිකයෙන් දැන් හෙම්බත් වී සිටින, එහි ආරම්භකයන් වන බටහිර ලෝකයට පෙර අපට මේ අභියෝගය ජය ගැනීමට හැකි යි.

ආර්ථික සංවර්ධනය හෝ තාක්ෂණික දියුණුව නමින් ජන ජීවිතය පහසු කරන්නට එන සියලු මාර්ග හිතක්-පපුවක් ඇති මිනිසුන්ගේ සමාජයක් ගොඩනැඟීමට දෙවැනි කළ යුතු ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්