‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

ංකාවේ බරපතළ ම දූෂිතම ආයතනය කුමක්දැයි අද පාසල් යන කුඩා දරුවකුගෙන් පවා ඇසුවහොත් ඔහු නිසැකව ම පිළිතුරු දෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය යන්නයි. මීට පෙර මේ කිරුළ රැඳී තිබුණේ මේ රටේ අධ්‍යාපන ආයතන කෙරෙහිය. එහෙත් අතළොස්සක් වැරැදි කළ ද පොලිසියේ ද නම්බුකාර වැදගත් නෝනලා හා මහත්වරු ද සිටිති. ඉංගිරිසියෙන් අකුරු පිළිවෙළට යොදන 'පොලීස්' යන්නෙහි ද නිහතමානී, කාර්යක්ෂම, අවංක යන වචන ද කැටි කැර තිබියදීත් පොලිසිය මෙසේ ක්‍රියා කිරීම මේ රටේ සිවිල් ජනතාව කනගාටුවට පත්කරන කරුණකි.

ජාතික පොලිස් කොමිසන් සභාවක් මේ රටේ පළමුවරට ස්ථාපිත වන්නේ වත්මන් යහපාලන ආණ්ඩුව පනතකින් ඊට බලය දීමෙනි. එහෙත් එහි සිටින සිවිල් අහිංසක නිලධාරීනට චණ්ඩ පොලිස් නිලධාරීනට එරෙහිව විනිවිදභාවකින් කටයුතු කළ හැකිදැයි වෙන ම ප්‍රශ්නයකි. මේ ලිපිය ලියැවෙන මොහොතේ පොලිස්පතිතුමන් හා පොලිස් කොමිසමේ ඉහළ නිලධාරීන් ඇඹිලිපිටිය තරුණයකු මියයාමේ සිද්ධිය පිළිබඳව බරපතළ සාකච්ඡාවක යෙදී සිටින බැවින් එහි තොරතුරු ලබාගැනීම අසීරු විය.

ඇඹිලිපිටිය තරුණයාගේ මරණය

එහෙත් අප දන්නා පැහැදිලි කරුණකි. ඒ පොලිස් කොමිසමට ඒ සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ බිරිය නිශාමනි මුණසිංහගෙන් කිසිදු පැමිණිල්ලක් මෙතෙක් නොලැබුණු බවයි. පැමිණිල්ලක් ඒ සම්බන්ධව ගොනු කැර ඇත්නම් එය සිදුකැර ඇත්තේ තුන්වැනි පාර්ශ්වයකිනි.

ඇඹිලිපිටිය මරණකරුගේ බිරිය නිශාමනි මාධ්‍යයටත්, පොලිස්පතිවරයාටත් නොයෙක් කරුණු හෙළිකළ ද පොලිස් කොමිසමට තවමත් ගොස් නැත. මින් අවබෝධ වන්නේ පොලිස් කොමිසම කෙරෙහි ජනතා විශ්වාසයක් නැති බවද? නොඑසේ නම් තවමත් පැරැණි ක්‍රමයට ක්‍රියා කිරීමද? මේ ස්ථාපිත පොලිස් කොමිසම බලසහිත බැවින් ජනතාව පොලිසියට එරෙහිව පැමිණිලි ගොනු කළ යුත්තේ පොලිස්පතිවරයාට නොව ජාතික පොලිස් කොමිසමටය. එහෙත් අපට එසේ ද පූර්ව නිගමනයකට එළැඹිය නොහැකිය. මේ මස 20 වැනිදායින් අවසන් වන ඉදිරි තුන් මසක කාලයේදි. (ඒ කියන්නේ දින 90ක් තුළ) ජාතික පොලිස් කොමිසමට පොලිස් නිලධාරිනට එරෙහිව ගොනු කළ පැමිණිලි සංඛ්‍යාව 752 කි. ජාතික පොලිස් කොමිසමේ මාධ්‍ය නිලධාරි පී.ඩී. ලියනාරච්චි මහතාගේ මඟ පෙන්වීම අනුව එහි වර්ගීකරණය මෙසේ වෙයි.

පොලීසියට එරෙහි පරීක්ෂණ

බස්නාහිර පළාත 333 කි. මධ්‍යම පළාත 99කි. වයඹ පළාත 64කි. දකුණු පළාත 124කි. උතුරු මැද පළාත 36කි. ඌව පළාත 35කි. සබරගමු පළාත 62කි. උතුරු පළාත 16කි. නැ‍ඟෙනහිර පළාත 16කි. සියල්ලේ එකතුව 752කි.

පොලිස් නිලධාරිනට එරෙහිව සිදුකරන පරීක්ෂණ පොලිසියේ ම ඉහළ නිලධාරින් යටතේ පොලිස් කොමිසමේ අධීක්ෂණයෙන් සිදුවිය යුතු බව අප හැඟීමය. මන්ද සිවිල් නිලධාරීනට පොලිස් නිලධාරීන්ගේ වැරැදි සොයා යාමට අපහසු නිසාය. සාමාන්‍ය පුරවැසියන් පොලිසියට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වන්නේ ඉහළ නිලධාරීනට පමණය. ඒ නිසා පොලිස්පතිවරයා යටතේ දැනට පවත්නා පොලිස් විමර්ශන ඒකකයට මේවා නොපමාව කාර්යක්ෂම විනිවිදභාවයෙන් ඉටුකිරීමට බාරදීම වැදගත්ය. අප එසේ කීවේ මෙතරම් පැමිණිලි සංඛ්‍යාවක් විභාග කිරීමට තවත් කොපමණ කාලයක් ගතවනු ඇද්දැයි සලකමිනි. මෙසේ ලැබෙන පැමිණිලි ලිපි කඩා කියවා වර්ගීකරණය කිරීමට මහත් කාලයක් ගත වන බව පෙනේ. පොලිස් කොමිසම මේ පැමිණිලි වර්ගීකරණය කරන්නේ මෙලෙසින් බව දැනගන්නට ඇත.

පළමුවැන්න පොලිසියේ උදාසීනත්වය. කම්මැළිකම හෝ සුළු දෙයක් ලෙස සලකා පැමිණිලි සටහන් නොකිරීම. සටහන් කළත් එම පැමිණිලි නිසි කලට විභාග නොකිරීම බරපතළ කාරණාය. පැමිණිල්ලක් ලැබී දින 7.8ක් යනතුරු ඒවා විමර්ශනය නොවීමෙන් සමහරවිට පවුල් ආරවුල්, අසල්වැසි ආරවුල්වලට සම්බන්ධ පුද්ගලයන් මිය යාම හිංසාවට පත්වීම දක්වා දුර දිග යන බව පෙනී යයි. ඒ පැමිණිලි විභාග නොකිරීමෙන් පොලිසිය ගැන විශ්වාසය පළුදු වන අතර අපරාධ ආරවුල් වැඩි දියුණු වෙයි.

බලය අනිසි ලෙස යෙදවීම

දෙවැන්න බලය අනිසි ලෙස යෙදවීමයි. ආසන්න ඇඹිලිපිටිය සිද්ධියේ ප්‍රධාන චෝදනාව වන්නේ එයයි. මහජනතාවට තර්ජනය කැර ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කරන නිලධාරිහු සිටිති. පහරදීම, වධහිංසා පැමිණවීම, බලය හා නීතිය නොපිට හරවා ක්‍රියාත්මක කිරීම සිදුවෙයි. දේශපාලනය නිසා පවුල්වාදය හරහා සාධාරණය යුක්තිය ඉටු නොවන තත්ත්වයක් ද මේ යටතේ විග්‍රහ වෙයි. නිල ඇඳුමින් අනිසි ලෙස කටයුතු කිරීම යන්න ද ඉන්ම නිර්වචනය වේ. අල්ලස් හෝ වෙනත් එවැනි මුල්‍ය හා ද්‍රව්‍යමය ආධාර ගැනීම් බහුලය.

තෙවැන්න පක්ෂග්‍රාහිත්වයයි. එක් පාර්ශ්වයක බලය, ලාභ වාසි ලබා ගැනීම අර්ථ කොටගෙන පෞද්ගලික නොයෙක් වරදාන ලබා පක්ෂග්‍රාහිව කටයුතු කිරීම මේ ශීර්ෂය යටතේ ගොනු කරන පැමිණිලිය. ගංජා නඩුවකින් බේරා දැමීමට පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා දීම වෙනුවෙන් පක්ෂග්‍රාහිකත්වය බලාපොරොත්තුවීම හා ඉටුකිරීම පසුගියදා පොලිස් විමර්ශන ඒකකය හෙළි කරගත්තේය. පොලිස් අත්අඩංගුවේදි මිය යන පුද්ගලයන් ප්‍රමාණය ද අධිකය. ළමයින්ට හා කාන්තා පාර්ශ්වයට නොයෙක් හිංසන එල්ල කිරීම පැත්තෙන් ද පොලිසියට චෝදනා එමට ඇත.

කලකට ඉහත යාපනේ පුන්කුඩුතිව්හි පාසල් සිසුවියක් (19) විද්‍යා සිවලෝගනාදන් සාහසිකයන් පිරිසක් විසින් අමානුෂික ලෙස වධ දී දූෂණය කැර මරා දැමීම යන සිද්ධියේදි පොලිසිය හරිහැටි ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා චෝදනා පත්‍ර ගොනු කැර පොලිස් විමර්ශන ඒකකය බාර දී ඇතත් පොලිස් කොමිසමෙන් ඒවාට තීන්දු තීරණ දීම තවමත් ප්‍රමාදය.

සේයා සදෙව්මි ඝාතන සිද්ධිය

මුළු මහත් රටම ආන්දෝලනයට පත් කළ අවුරුදු 5ක් වයසැති සේයා සදෙව්මි දැරිය දූෂ්‍ය කැර මරා දැමීම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ හැටි මුළු මහත් රටම දනී. ඉන් අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් ඒ ඒ නිලධාරිනට එරෙහිව චෝදනා පත්‍ර බාරදී ඇතත් ඒවාට දඬුවම් තවමත් ක්‍රියාත්මක නැත.

මිරිහාන පොලිස් කොට්ඨාසය තුළ පහුගිය කාලේ අහිංසකයන් නිකරුණේ රඳවා ගැනීම්, ඔවුනගෙන් අල්ලස් ගැනීම් ආදිය වාර්තා විය. ඒ පිළිබඳ කරන ලද විමර්ශනවල ප්‍රතිඵලවල ද විනිවිදභාවක් නැත. මා සඳහන් කළේ ප්‍රධාන කරුණු කීපයක් පමණි.

පොලිස් කොමිසම අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළ හැකිදැයි මම නොදනිමි. බීමට පිරිසුදු වතුර ටිකක් ඉල්ලූ රතුපස්වල සිද්ධියේදි මිය ගිය තරුණයා හා වෙනත් එවැනි පොලිස් මර්දනකාරි සිද්ධීන් හමුවේ පහුගිය රජය පැවැති කාලයේ සිදුකළ අඳුරු පැල්ලම් මකා දැමීමට දැන්වත් පොලිසිය ක්‍රියා කළ යුතුය. නීතිය හා ස්වාධිපත්‍යය හරිහැටි ඉටුකරන යහගුණ සමාජයක් ගැන කතා කරන්නේ නම් එය වැදගත් කරුණකි.

එදා රත්නපු‍රේ දොඩම්පෙ මුදලාලි 4 වැනි තට්ටුවෙන් පැන්නාද? තල්ලු කළාද යන ප්‍රශ්නය මෙන්ම අද ඇඹිලිපිටිය තරුණයා සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරියකුට එවැනිම චෝදනාවක් එල්ල වෙයි.

දොඩම්පේ මුදලාලි අවසානයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජනේලයෙන් රාත්‍රියේදි තල්ලු කළේ රාහුල සිල්වා ප්‍රමුඛ පොලිස් නිලධාරින් විසින් බව ඔප්පු විය. ඒ වාර්තාව මම කලකට පෙර 'රටක් කැලඹූ පුවතක අද කතාව' ශීර්ෂයෙන් ලියූ ලිපි පෙළදි හෙළි කළෙමි. ඒ වාර්තා අදත් දොඩම්පෙ මුදලාලිගේ සහෝදරයා අත තිබෙයි.

ආචාරශීලී අවංක විනිවිදභාවයෙන් කටයුතු කරන සුන්දර පොලිසියක් බලාපොරොත්තුවන අපට කවරදා ඒ සිහිනය දකින්නට හැකිවේදැයි සිතා ගත නොහැකිය. එහෙත් පොලිසියක් නැත්නම් මේ සිවිල් සමාජය දින දෙක තුනකින් අරාජික මෙන්ම වල්මත් වන බව ද අපි හොඳින්ම දනිමු.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්