‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කඳුළු බින්දුවක බර

කඳුළු බින්දුවක බර

මම කොට තාප්පය උඩ වාඩි වී නිස්කලංකේ පෙනෙන නොපෙනෙන තරම් දුරක විහිදුණු නිල්වන් තේ යාය දෙස බලා සිටින්නෙමි. කළු පැහැයට හුරු තද කොළ පැහැය අබිබවමින් මඳින් මඳ ළා කොළ පැහැයට පත්වෙන තේ ගසේ අග්ගිසි ම සිත ඒකාත්මික කරයි. එක් වියනක් ව එක ම ප්‍රමාණයෙන් යුතු තේ පඳුරු මේ ලෝකයේ ශ්‍රී ලංකාව නම් නාමය අමරණීය කරනවා නොවේ ද? ලංකාවේ තේ සඳහා ලෝකය පුරා තිබෙන ඉල්ලුම ගැන හෝ එහි වටිනාකම ගැන බින්දු මාත්‍රයක් නොදන්නා කුඩා සන්දියේ තේ දල්ලේ දිග නොහැ‍රුණු පත්‍රය ඉවත් කොට නළා සාදාගත් අයුරු සිහිපත් වේ. ඒ දල්ල කොතෙක් වටිනවා දැයි තේරෙන මෙකල්හි පවා එය නෙළාගෙන නළාවක් සාදාගෙන පිඹින්නට හිතට එන ආශාව මැඬ ගැනීම කෙතරම් අසීරු ද?

මම තේ දලු අතක් නෙළමි‍
නෙළමි නෙළමි නෙළමි නෙළමි
කොළ දෙකකුයි දලු එකකුයි
කොළ දෙකකුයි දලු එකකුයි

ෙත් දලු නෙළන්නේ දිග හැරුණු පත්‍ර දෙකක් සමඟින් පිබිදීගෙන එන මා ඔබට පෙර කී අප නළා සාදා ගන්නා ළපටි පත්‍රයත් සමඟිනි. දලු නිවැරැදි ව නෙළා නොගතහොත් ගසට හානි වේ. එපමණක් නොව මේරූ තේ දලු තේ කුඩු සෑදීම සඳහා යොදා නොගන්නා බැවින් මිලදී ගන්නා අය ඒවා මිලදී ගන්නේ නැත. එබැවින් නිවැරදිව තේ දලු නෙළීම කලාවකි. අපි ආසාවෙන් බොන තේ සැකසෙන්නේ කෙතරම් අසීරු පියවර ගණනක් ඔස්සේ දැයි සිතන්න. හැබැයි කඳුළු කතාව පටන්ගන්නේ එතැනින් නම් නොවේ. ඒ කතාව ඔබට මට දරාගත නොහැකි තරම් දුක්ඛදායක ය.

තේ දල්ල පසුකළ අතීතය ගැන සිතෙද්දී අද මේ කතා කරන සුන්දරත්වය පිළිබඳ හැඟීම යටපත් ව ඒ ඇගැයුම් සිතිවිල්ල ගැන පශ්චාත්තාපයක් හට ගනී. මුල්ක් රාජ් ආනන්ද් නම් අපූර්ව මානවවාදි‍යාගේ අනනුකරණීය ආඛ්‍යානයේ චමත්කාරය විසින් මවන ලද මේ කුඩා ආශ්චර්යවත් පඳුරේ ශෝකාන්තය ගැන ‍ම සිත රිදුම් දෙයි. මිහිතලය මත තම අණසක පතුරුවා ගෙන සිටි මහා වෘක්ෂලතා හිත් පිත් නැති පොරෝ පහරින් අදෝනා නඟමින් මිහිතලය මතට ම ඇද වැටෙද්දී මිහිතලය ශෝකයෙන් වෙව්ලුම් කනු මේ දැනුත් දැනෙන්නා සේ ය.

මහ පොළොව බදාගෙන සිය දැඩි ශක්තියෙන් මේ මිහිතලය ආරක්ෂා කළ පර්වත කුළු ගෙඩි පහර වැදී වේදනාවෙන් කෙඳිරි ගානු ඇසේ. මේ සොබාදම් නිමැවුම් මත සිය වාසස්ථාන ඉදිකොට ගෙන සිටි සියොත් සමූහයා ද අපා, දෙපා, සිවුපා, බහුපා සත්ත්වයන් ද නඟන වේදනාවේ කෙඳිරිය හීනෙන් මෙන් දැනුත් ඇසෙන්නේ ය. ඒ සියල්ල ම සිත ඉදිරියේ පෙනී නොපෙනී යයි.

මේ මිහිතලය නියම අයිතිකරුවන්ගෙන් පැහැරගෙන අපි අපේ සුඛ විහරණය උදෙසා පාවිච්චි කළා නොවෙමු දැයි සිතේ. තේ වවන්නට සුදු අධිරාජ්‍යවාදීන්ගේ කුලී හේවායන් ව අපේ මුතුන් මිත්තන් කොතරම් දුක් ගැහැට වින්දාද යන්න සිහිපත් වීමෙන් ම සිත රිදුම් දෙයි. මුල්ක් රාජ් ආනන්ද් මේ කඳුළු කතාව ‘Two Leaves and a Bud’ නමින් අපූර්ව ගද්‍ය ආඛ්‍යානයක් බවට පත් කොට තිබේ‍. ඒ ගද්‍ය ආඛ්‍යානයේ මිහිර සමඟ ඉතිහාසයේ කඳුළු කතාව ද ලියැවුණේ මුල්ක් රාජ් ආනන්ද් ගේ ඉසියුම් මානව හිතවාදී බව නිසා නොවේ ද? ඔහු කියන ඉන්දියාවේ කතාව මුළුමනින් ම අපේ කතාවට සමාන නො වේ ද? අපේ සුන්දර වන පෙත ගිලගත් තේ ගස ඒ විනාශයේ කිසිදු සලකුණකින් තොරව අපේ පරම්පරාව සුන්දර වටිනා වස්තුවක් බවට පත්කරගත් අපූරුව! එහෙත් ඒ කඳුළු මාවත අමතක කළ හැකි ද?

මම ඒ වේදනාබර සිතිවිල්ල සමඟින් ම පොත් කාමරය වෙත පියමැන්නෙමි. ඩබ්ලියු. ඒ. අබේසිංහයන් සිංහලයට නැඟූ මේ කඳුළු කතාව අතට ගත්තෙමි. මුල්ක් රාජ් ආනන්ද් ගේ තේ දල්ලේ කඳුළු කතාව මේ සා මානව හිතවාදීත්වයෙන් යුතු ව සිංහලයට නඟන්නට අබේසිංහයන්ට හැකිවන්නට ඇත්තේ එතුමා සතු කරුණාබර, කලාකාමී සිත නිසා විය යුතු ය. නැතිනම් ඒ කඳුළේ උණුසුම මුල් කෘතියේ දිය වී යන්නට ඉඩ තිබිණි.

“වත්ත සුද්ධ කරමින් සිටිය අර කුලීකාරයා මාව දැක්කෙ නැත්තෙ ඇයි? තමා කුලීකරුවකුට තැළූ බව මඳ පශ්චාත්තාපයකින් සිහි කළ හෙතෙම කල්පනා කරන්නට වීය. ඔහු තුළ ඇති යෞවන මදයත් විකාර න්‍යායන්ට නැ‍ඟෙන සුද්දකුට හිමි ව්‍යාජයත් මැඬගෙන ඔහු තුළින් අනෙක් හැඟීමක් ද නැඟී ආයේ ය. ඒ වූ කලී තමා වරක් ගොදුරු වූ මැලේරියාව මෙන් වේගයෙන් ගොඩනැඟී පැතිර යන අධිරාජ්‍යය හේතු කොට ගෙන තමාගේ සිත තුළ තට්ටුවෙන් තට්ටුව විද ගෙන මතු වෙන උදාරම් බව ය. ඌ මාව ගණන් ගත්තෙ නෑ, ඒකයි මට තරහ ගියේ.”

කුලීකරුවා සිය පාඩුවේ වැඩ කරගෙන යද්දී එතැනට ක්ෂණයකින් පැමිණෙන සුදු නිලධාරියා, තමා එන බව නුදුටුවේ යැයි ස්වදේශිකයාට තළයි. තේ දල්ලේ කඳුළෙන් මතු වූ අහිංසක මිනිසාගේ කඳුළු බින්දුවක් කාලවර්ණ මුහුණ මතින් හිරු‍ රැසේ ගිනියම ද නොතකමින් ගලා යනු මා මනසේ බොඳ වූ චිත්‍රයක් මෙන් පෙනී නොපෙනී යයි.

ඉතිහාසයේ දුක් කඳුළු යහපත් වර්තමානයක් ගොඩනඟන්නේ ය. සිය මවුපියන් දුක සේ ගොඩනඟන මාලිගාවේ හිමිකරුවන් වන්ෙන් ඊට වැලි කැටයක්වත් එක් නොකළ දරුවන් නොවේ ද? ඒ දරුවන් ම, තම ලේ කඳුළින් ඉඳිවූ තමාගේ ම මන්දිරයෙන් තමන් නෙරපා හරිද්දී දෑසේ රැඳි කඳුළු බිඳු පමණක් ම රැගෙන වැඩිහිටි නිවාස කරා යන්නේ ද ඒ දෙමවුපියන් ම ය.

අනුක්‍රමයෙන් තේ දල්ලේ ළා කොළ පැහැය මැකී යමින් ගොම්මන් අඳුර ගලා එයි. අඳුර විසින් යටපත් කරන ලද තේ යාය අමුතුම ගුප්ත සෙයකින් දිස් වේ. ඒ ගුප්ත බව මැකී හෙට තේ දලු අග්ගිස්සේ රැඳි පිනිකැට වර්ණවත් කරමින් හිරු පායා එනු ඇත. ඒ හිරු කිරණ අබියස සුන්දර තේ මල වඩාත් සුන්දර ව විකසිත වනු ඇත. එහෙත් ඒ සුන්දර තේ මලට ජීවය දෙන්නට දා බිඳු ලේ බිඳු බවට පත් කළ මිනිසුන් මේ මිහිතලය මත ම මිහිදන් ව ගියා නොවේ ද?


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්