නෙළුම්විල
එළවළු
කොටුව
දරුවන් ද රැගෙන අපි චාරිකාවක යෙදුණෙමු.
පාඩම් පොත් අතර ම කාලය ගෙවන ඔවුනට සැහැල්ලුවක් ලබා දීම අරමුණ විය.
ඒ අයන අතර දඹුලු වෙහෙර ද වැන්දෙමු.
එදින රැයේ අප නවාතැන් ගත්තේ දඹුල්ලේ නෑ ගෙදරක ය.
පසු දා පහන් විය.
නිවෙසට නුදුරුව දිස් වූයේ එළවළු කොටුවකි.
අප දරුවන් කිසි දිනෙක එළවළු කොටුවකට ගොස් නැත. ඒ අත්දැකීම දිවියට වැදගත් ය.
දරුවන් තුළ ද ඒ ආසාව ඇති වී තිබිණ.
එහෙත් එළවළු කොටුව අප නිවැසියන්ගේ නොවේ. වෙනත් කෙනකුගේ ය. එහෙයින් එය
නැරඹීමට අවසර ගත යුතු විය.
‘එන්ඩ! එන්ඩ! ඇවිත් බලන්ඩ!’ අවසරය ලැබුණේ සුහද සිනාවෙනි.
අපි දු සතුටින් එහි ගියෙමු. එහි පිපිඤ්ඤා, කැකිරි, වම්බටු, මෑ, බණ්ඩක්කා, මුරුංගා
ආදි නොයෙක් දේ විය. ලූනු වගාව නෙතු පැහැර ගත්තේ ය.
එළවළු කොටුවේ ඇවිදීමෙන් අප දරුවන් ලද්දේ අමතක නොවන අද්දැකීමකි. එහි මිහිර
ඔවුන්ගේ මුහුණුවලින්ම පෙනිණ.
එළවළු කොටුවේ හිමිකරුත් ඔහුගේ දරුවෝත් එහි වැඩ කරමින් සිටියහ.
අවසානයේ සමු ගැනීමේ අවස්ථාව එළඹියේය. ඒ සමඟම එළවළු කොටුවෙන්ම නැවුම් එළවළු
ටිකක් මිල දී ගැනීමේ ආසාව ද පහළ විය.
අපි අපේ ආසාව ගැන ඔවුනට කීමු. ඔවුහු ද මහත් සතුටින් එළවළු නෙළන්නට වූහ.
ටිකකින් ගෝණි මලු දෙකක් අපට ඉදිරියට ආවේ ය. එකක නොයෙක් ජාතිවල එළවළුය. අනෙකේ
ලූනු ය.
ඉතා සතුටින් ඒවා බාර ගත් අපි යුතුකම ඉටු කරන්නට මුදල් පසුම්බිය අතට ගතිමු.
‘ඉතින් මේ එළවළුවලට ගාන කියන්ඩකො’
‘සල්ලි එපා! අරන් යන්ඩ!’
‘ඒක හරි නෑ නෙ. සල්ලි ගන්ඩ!’
‘එපා! එපා! අපි සන්තෝසෙන්නෙ දෙන්නෙ. ඕව අරන් යන්ඩ! ආයෙත් වෙලාවක එන්ඩකො’
ඔවුන්ගේ මුහුණ මත ඇඳී ගොස් තිබුණේ අව්‍යාජ සිනාවකි.
‘හොඳයි එහෙනං අපි මේව සතුටින් බාර ගන්නං. ඔයාලගෙ ගොවිපළ සාර්ථක වේවා කියල
ප්‍රාර්ථනා කරනව’
පරිත්‍යාගය උදාර මිනිස් දහමකි. එයින් දෙන්නා ද ලබන්නා ද එක සේ සතුටු වෙති. අපි ඒ
නිමේෂයේ ඒ උතුම් දහම විඳ අවසානයේ සමු ගතිමු.
තිස්ස පීරිස් පුතණුවනි, ඔබටත් සැමටත් යහපත සැලසේවා!
මාතර, රාහුල පාරේ, කේ. ඩී. කේ. රෝහිණී තිලකරත්න මහත්මිය විසින් යොමු කරන ලද
ලිපියක් ඇසුරෙනි.
කෝච්චි ජනකවි
පුංචි සන්දියේ කෝච්චියෙන් යද්දී මා හඬ නගා කියැවූ පැරණි කවියක දෙකක පදයක්
දෙකක් අද මැදිවියේ පසු වන මගේ මතකයෙන් හිස ඔසවන්නට වූයේ ඇයි දැයි නොදනිමි.
කෙසේ වුව ද ඒ මතකය මට මිහිරක් ගෙනාවේ ය.
මින් එක කවියක් අදාළ වන්නේ කොළඹ සිට මහනුවර බලා යන වන්දනා ගමනට ය. අනෙක කොළඹ
සිට අනුරාධපුරය බලා යන වන්දනා ගමනට ය.
මේ කවි දෙකෙන් ම සිහිපත් කැරෙන්නේ දුම්රිය ස්ථාන පිහිටි තැන් ය. එකල කොළඹ විසූ අප
දුම්රියෙන් ගමනක් යන විට ඉදිරි දුම්රිය ස්ථාන කවරේ දැයි දැන ගත්තේ මේ කවිය
සිහිපත් කරමිනි.
මේවා මා ඉගෙන ගත්තේ මගේ වැඩිහිටියන් ගෙනි. ඒ අය ද ඉගෙන ගෙන ඇත්තේ සිය
වැඩිහිටියන්ගෙනි. එහෙයින් මේ කෝච්චි කවි පරපුරින් පරපුර පැවත විත් අපේ
මතකයේ නිදන් වූ එක්තරා ජනකවි විශේෂයක් ලෙස සැලකිය හැකි ය.
මේවා මුළුමනින් ම මතකයෙන් නෙළා ගන්නට මට කලක් ගියේ ය. එසේ වූයේ අග කව් පද
සිහිපත් කරන විට මුල කව් පද මතකයෙන් ගිලිහී යන්නට වූ නිසා ය. මේ පටලැවිල්ල
නිසා අදහස් යටපත් කොට දමා මගේ වැඩ කටයුතුවල නියැළුණෙමි. මගේ සිත මුළුමනින්
ම වෙනත් කටයුත්තක නිරතව සිටිද්දී අර කවි පදයක් දෙකක් මටත් හොරා මතකයෙන් මතු
වූයේ මට ඔච්චමකට මෙනි. මම වහාම ඒ කව් පදය දෙක ලියා ගතිමි. මෙසේ ටික දවසක් යන විට
මේ කෝච්චි කවි දෙක මුළුමනින් ම ලේඛනගත කර ගැනීමට මට හැකි විය.
කවි දෙක පහත දක්වමි.
මහනුවර දළදා වන්දනාවේ යද්දී කියූ කවිය:
කොළඹ ද ඒ මරදානේ හන්දිය
කැලණිය හුණුපිටි මහරගලත්
හෙනරත් වේයන්ගොඩ දෙක පසු කර
මීරිගමින් අඹෙපුස්ස දකිත්
අලව්ව පොල්ගහවෙල ද රඹුක්කන
කඩුගන්නාවේ මහ කන්දත්
මල්වතු ඇති ඒ පේරාදෙණියෙන්
සෙංකඩගල මහනුවර වඳිත්
(මේ කවියේ මහරගල යනු අද රාගමයි. හෙනරත්ගොඩ යනු ගම්පහයි.)
අනුරපුර අටමස්ථාන වන්දනාවේ යද්දී කියූ කවිය:
කොළඹ ද ඒ මරදානේ හන්දිය
කැලණිය හුණුපිටි මහරගලත්
හෙනරත් - වේයන්ගොඩ දෙක පසු කර
මීරිගමින් අඹෙපුස්ස දකිත්
අලව්ව පොල්ගහවෙල පොතුහැර කුරුණෑගල
වැල්ලව දැක සොඳිනේ
ගණේවත්ත මාහෝ ද අඹන්පොළ
ගල්ගමුව ද දැකලා තෙමිනේ
අටමස්ථානය වැඳපුදගන්නට
අනුරාපුරයට අප පැමිණේ
මෙහි මාහෝ යනු මහව හන්දියයි.
ඉතින්, මේ කවි දෙක සියවසකට පෙර කෝච්චියෙන් වන්දනාවේ යෙදුණු පරම්පරා කිහිපයක
මුව මුව රැඳුණු, අද පරපුරින් ගිලිහී ගොස් ඇති ඓතිහාසික කෝච්චි කවි ලෙස සටහන්
කරනු වටී.
නිට්ටඹුවේ ජයන්ත කමල් මුණසිංහ මහතා විසින්
යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි. නෙළුම්විල, සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ.
|