පොලිතීන් තහනම හොඳයි; එහෙත්, විකල්ප අවශ්‍යයි
පොලිතීන් තහනම හොඳයි;
එහෙත්, විකල්ප අවශ්‍යයි
මීට වසර 10 - 15 කට පෙර ත්‍රිකුණාමලයේ කෝනේස්වරම් කෝවිල ප්‍රදේශයේ සංචාරයේ
යෙදුණු අපට දක්නට ලැබුණු සුන්දරම දර්ශනයක් වූයේ එහි සිටි මුවන් 150 - 200 ක් පමණ
කෙළිදෙළින් සිටින අන්දමයි. නමුත් අද වන විට ඒ මුවන් ගහනය 30 - 40 දක්වා පහළ බැස
ඇතැයි දැනගන්නට ඇත. ප්‍රදේශවාසීන්ගේ හා පරිසරවේදීන්ගේ අදහස අනුව මේ මුවන්
ගහනය අඩුවීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් පොලිතින් අනුභව කිරීමයි.
මෙහි මියගිය මුවන්ගේ මෘත ශරීර පිළිබඳව කළ මරණ පරීක්ෂණවලදී පැහැදිලි වුයේ එම
මුවන්ගේ ආහාර මාර්ගය ඇතුළත පොලිතින් කිලෝ ගණන් තිබු බවයි. ඊට අමතරව අලින්ගේ මරණ
පරීක්ෂණවලදී ද ඔවුන්ගේ ආහාර මාර්ගය ඇතුළත පොලිතින් තිබු අවස්ථා බහුල බව එවැනි
මරණ පරීක්ෂණ රැසක් කර ඇති දොස්තර නන්දන අතපත්තු මහතා හෙළි කර ඇත. මුහුදු කැස්බෑවා
හා ගෝනුන් ද පොලිතින් නිසා මරණයට පත්වූ අවස්ථා ඇත.
මේ අනුව පොලිතින්, අපේ රටේ සතා සීපාවාට මරු කැඳවන පරිසරයට මාරක තර්ජන ඇති කරන
ජල දූෂණය, වායු දූෂණය ඇති කරන අපේ රටේ ප්‍රධානම පරිසර දූෂකයෙකි. ඡන්ද
කාලයේදී සියලු පක්ෂවල දේශපාලන රැස්වීම්වලට පොලිතින් කිලෝ දහස් ගණනින් භාවිත
කරති. සුපිරි වෙළෙඳ සංකීර්ණවල සතොස අලෙවි සල්වල පොලිතින් බෑග් ඕනෑවටත් වඩා
ජනතාවට ලබා දෙයි. ඉහළ ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘතිය කළ සමීක්ෂණයක් අනුව
සිරිපාද වාරයකදී පොලිතින් ප්ලාස්ටික් හා ටොපි කොළ වැනි ද්‍රව්‍ය මෙට්‍රික් ටොන්
5 ක් ඒ උතුම් හා පාරිසරික කේන්ද්‍රස්ථානයට ජනතාව විසින් දමනු ලැබේ.
පරිසර හා මහවැලි අමාත්‍යාංශය පවසන පරිදි දැනට ශ්‍රී ලංකාවට වසරකට පොලිතින්
ටොන් ලක්ෂ 5ක් ගෙන්වනු ලැබේ. මේවා කන්නට බොන්නට නොව විවිධ දේ ඔතන්නට හා විවිධ දේ
ගෙන යන්නටය. මේ අනුව මේ පොලිතින්වලින් සියයට 50ක් පමණ අපද්‍රව්‍ය ලෙස
ශරීරයට එක් වේ. පසුගිය දිනවල වැසි සමයේදී පිටාර ජලය වැඩිපුර ගලා යාමට ඊට
ප්‍රධාන බාධකයක් වූයේ ද මේ පොලිතින්ය.
මෙවන් මහා පරිසර විනාශයක් කරන පොලිතින් ව්‍යසනය මැඬලීමට වත්මන් පරිසර හා
මහවැලි ඇමැති ලෙස ද කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
පෙරමුණ ගෙන කටයුතු කරයි. ඒ අනුව 2016 ජනවාරි පළමුවැනිදා සිට මෙරට තුළ තුනී
පොලිතින් (මයික්‍රෝන 20 ට අඩු) නිෂ්පාදනය, භාවිතය, විකිණීම, භාවිත කිරීම
තහනම් කර ඇතැයි පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්.
සෙනෙවිරත්න මහතා පවසයි. රටේ පරිසරය සුරැකීමට රටේ ඉහළම තැනින් මේ අයුරින්
තීරණය කිරීම ඉතා සතුටුදායක කරුණකි.
ඒ සමඟම ඒ යටතේ ආහාර ඇසුරුම් සඳහා ප්‍රතිචක්‍රීකරණය මඟින් නිපදවන පොලිතින්
හා ප්ලාස්ටික් භාවිතය ද 2016 ජනවාරි සිට තහනම් කෙරේ.
මේ නීතිය අනුව ප්‍රධාන ලෙසට තුනී ලන්ච් ෂීට් හා තුනී සිලි සිලි බෑග්වලට වැට බැඳීම
මෙහි ප්‍රධාන අරමුණ වේ. ඊට හේතුව මෙම මයික්‍රෝන 20 ට අඩු පොලිතින්
ප්‍රතිචක්‍රීකරණයට අපහසු වීම බව අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න
මහතාත් පෙන්වා දෙයි.
මෙම තහනම ජනතාවට ලොකු ගැටලුවක් නොවීමට නම් ඒ වෙනුවට භාවිත කිරීමට
ආරක්ෂාකාරී සෞඛ්‍යමය විකල්ප අවශ්‍ය වේ. එක් විකල්පයක් වන්නේ කෙසෙල් කොළයක්
පදම් කර කීප වරක් පාවිච්චි කිරීමට හැකි අයුරින් සකස් කිරීමයි. මීට වසර 6 - 7 කට
පෙර දකුණේ ව්‍යවසායිකාවක් එවැනි කෙසෙල් කොළයක් නිපදවා තිබිණි. නමුත් එය වානිජ
මට්ටමින් දියුණු කිරීමට කවුරුවත් අතහිත දුන්නේ නැත.
මේ තහනමට තවත් විකල්පයක් වන්නේ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි මයික්‍රෝන 20 ට
වැඩි ඝනකමක් ඇති පොලිතින් මඟින් ලන්ච් ෂීට් හා පොලිතින් බෑග් නිපදවීමයි. එසේ
වුවත් සමහර නිෂ්පාදකයන් පසුගිය කාලයේ කැල්සියම් හා ‘මාස්ටර් බැප්’ නම්
ද්‍රව්‍ය යොදා පොලිතින්වල ඝනකම කෘත්‍රිමව වැඩිකර වෙළෙඳ සැල්වලට දමා ඇත. ඒවා
ශරීරයට විෂ සහිතය. එහි ආහාර එතීම ලෙඩ රෝගවලට හේතුවකි. ඒ පිළිබඳව ද
පාරිභෝගික ආරක්ෂණ ආයතන වැටලීම් කළ යුතුය. නිසි ලෙස මයික්‍රෝන 20 ට වැඩි
පොලිතින් නිපදවන අයට රජය ද උදවු දිය යුතුය.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක
ලේකම් ගාමිණි ගමගේ මහතා පැවසුවේ ළඟදීම එවැනි කැල්සියම් මිශ්‍රිත පොලිතින්
වැටලීමට පරිසර පොලීසිය හා මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරන බවයි.
පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පවසන පරිදි මින් පසුව රටපුරා වෙළෙඳ
ආයතනවල මයික්‍රෝන 20 ට අඩු පොලිතින් නිෂ්පාදන ඇත්දැයි පරීක්ෂා කරනු ලැබේ. ඒ
සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු
කටයුතු කරන බව ද අතිරේක ලේකම්වරයා පෙන්වා දෙයි. අලුත් නීති රීති අනුව ආහාර
ද්‍රව්‍ය එතීම පිණිස හා ආහාර ද්‍රව්‍ය දැමීම පිණිස ප්‍රතිචක්‍රීකරණය කළ
ප්ලාස්ටික් හා පොලිතින් යොදාගැනීම ද තහනම්ය. ඒ පිළිබඳව ද වැටලීම්
ඉදිරියේදී සිදුකිරිමට නියමිතය. මේවා රට පුරා ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ
කටයුතු කළ යුතුය. සුපිරි වෙළෙඳසල් ද ඊට අයත් විය යුතුය.
අපේ රටේ සුන්දර ජල මාර්ග ගංගා පමණක් නොව මහ මුහුද ද අද පොලිතින් නිසා අපවිත්‍ර
වී තිබේ. එමෙන් ම අලුත් අධ්‍යයන අනුව ග්‍රාමීය ප්‍රදේශවල පුද්ගලයන්ගෙන්
සියයට 68ක් හා නාගරික ප්‍රදේශවල පුද්ගලයන් සියයට 50ක් ද පොලිතින් දහනය
කරයි. මේ දහනයෙන් නිකුත් වන ඩයොක්සින් හා ෆියුරාන් වැනි වායු නිසා පුරුෂයන්ගේ
ප්‍රජනන ශක්තිය අඩු වන බවට ද පිළිකා හැදෙන බවට ද වෛද්‍ය මතයක් පවතී. ඉහත පුද්ගල
කණ්ඩායම් පිළිවෙළින් සියයට 72ක් හා සියයට 49ක් ‘ලන්ච් ෂිට්’ භාවිත කරන බවට ද
අලුත්ම අධ්‍යයන මඟින් සොයා ගෙන තිබේ.
මේ අනුව අපේ රටේ දිනකට ලන්ච් ෂීට් ලක්ෂ 15 - 20 ක් පමණ ආහාර එතීමට පාවිච්චි කරන
බව ද හෙළි වී ඇත.
මෙම පොලිතින් අපද්‍රව්‍ය දිරා නොයාමත්, බොහෝ විට සැලසුමකින් තොරව පරිසරයට
බැහැරලීමත් නිසා ඩෙංගු වැනි රෝග ගණනාවක් ඇති වේ.
මේ සියලු දේ පිළිබඳව කල්පනා කළ රජය තුනි පොලිතින් තහනම 2016 ජනවාරි සිට
ක්‍රියාවට නංවයි. 2009 පෙබරවාරි 11 වැනිදා ප්‍රකාශයට පත්කළ ගැසට් පත්‍රය අනුව
සෑම පොලිතින්වලින් හැදු නිෂ්පාදන දවටනයක හා පොලිතින්වලින් හැදු
අපද්‍රව්‍ය බහාලුම් නිෂ්පාදනයකම නිෂ්පාදන ද්‍රව්‍ය අඩංගු පැකට්ටුවේම
නිෂ්පාදකයාගේ නම ලිපිනය හා නිෂ්පාදිත දිනය හා සාමාන්‍ය ඝනකම මයික්‍රෝන වලින්
සදහන් කළ යුතුය.
මෙම කටයුත්තට උදවු දීම පිණිස පොලිතින් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් දැන්
සිටම ඒ සඳහා මයික්‍රෝන 20 ට වැඩි පොලිතින් නිපදවීම ආරම්භ කිරීම උචිතය. තුනී
පොලිතින් නිපැයුම අවසන් කළ යුතුය. ඒ සමඟම බෙදාහරින්නන් හා ගබඩාකරුවන්
තුනි පොලිතින් බෙදා හැරිම හා ගබඩා කිරීම ද දැන් සිටම නවතාලිය යුතුය. මෙම තුනි
පොලිතින් තහනම සාර්ථක වීම පිණිස සියලුම පොලිතින් නිෂ්පාදනයේ යෙදී සිටින
කර්මාන්තකරුවන් 2016 ජනවාරිවලට පෙර මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි
විය යුතුය.
ප්‍රමිතියෙන් තොර පොලිතින් වැටලු පසු ඒවා විනාශ කිරීමට පරිසර හිතකාමී ක්‍රම
අනුගමනය කළ යුතුය. මෙම නීති රීති තිබියදී තවදුරටත් ප්‍රමිතියෙන් තොරව තුනී
පොලිතින් නිපදවන්නේනම් ඒ අයට විරුද්ධව නඩු පැවරිය යුතුය. දඩ මුදල් වැඩි කළ
යුතුය.
රටේ විවිධ ස්ථානවල පොලිතින් ප්ලාස්ටික් යෝගට් කෝප්ප ඉවක් බවක් නැතිව ඉවතට දැමීම
වැළැක්වීමට සියලුම පළාත් පාලන ආයතනවලින් පොලිතින් අපද්‍රව්‍ය එකතු කිරීමේ
විධිමත් වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කළ යුතුය.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ප්‍රකට පොලිතින් නිෂ්පාදකයකු වූ පැකේජින්
මැටීරියල්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ආර්. ඩී. ප්‍රේමසිරි මහතා පැවසුවේ
රජයේ මේ උත්සාහයට ඔවුන් ද පූර්ණ සහාය ලබා දෙන බවයි. අවිධිමත් ලෙස ගෘහාශ්‍රිතව
පොලිතින් කර්මාන්තයේ යෙදෙන අයට විද්‍යාත්මක හා පාරිසරික දැනුම්වත් බවක්
ලබාදිය යුතු බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ඒ මහතා තවදුරටත් පෙන්වා දෙන පරිදි ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා පොලිතින්
ශ්‍රී ලංකාවට ගෙන ඒම ද සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය.
එළවළු තෙල්, පොල් තෙල් හෝ කිසිදු තෙල් වර්ගයක් පොලිතින්, ෂොපින් බෑග් හා
ග්‍රොසරි බෑග්වල අසුරා විකිණීම හෝ ගෙන යාම තහනම් කළ යුතුය. මන්ද යත් එසේ අසුරා
ඉවතලන බෑග් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගත නොහැකි බැවින්ය.
මෙම තුනී පොලිතින් තහනම ක්‍රියාත්මක කිරීමේදී නීති රිති පමණක් නොසෑහේ. ඒ සඳහා
ජනතා සිත් සතන් තුළ පොලිතින්වලින් සිදුවන විපත හා ඒවා පාවිච්චිය නිසා සිදුවන
පරිසර දූෂණය පිළිබඳව ද දැනුමක් ඇති කළ යුතුය. ඒ සමඟම ජනතාවගේ චර්යාව හා
ජීවත්වීමේ රටාව ද වෙනස් කළ යුතුය. එවිට මේ කාර්යය සැබැවින්ම සාර්ථක වනු ඇත.
නිහාල් පී. අබේසිංහ
|