රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»


වෙනස් පාටක මල්

වෙනස් පාටක මල්

පසුගිය සතිවල ඉරිදා මෙන්ම මේ ඉරිදා උදේත් කැලුම් ඇ‍ඳෙන් නැගිට්ටේ තමන් ගැනම පුදුමාකාර කලකිරීමකින්ය. පසුගිය සති අන්තවලට වඩා වෙනස්ව තිබුණේ තමා ඉන්න ප්‍රදේශයත්, හෝටලයේ නමත් පමණි. කැලුම් තමා සමඟ ඇ‍ඳේ නිදා සිටි සඳුන් දෙස බැලුවේ මහත් කෝප‍යකිනි. තවම ගැඹුරු නින්දක සිටි සඳුන්ගේ කැරලි කොණ්ඩයත් අහිංසක මූණත් දුටු කැලුම්ගේ කෝපය තුනී වී ගියේය. ජනේලයේ තිරය මදක් මෑත් කළ කැලුම් පිටත බැලීය. රත්නපුර ප්‍රදේශයේ මේ තරම් සුන්දර ස්ථානයක් ඔහු මීට පෙර දැක තිබුණේ නැත. මීදුම් සේලයකින් වැසී ඈතින් පෙනෙන්නට තිබෙන කන්ද සමනල කන්ද යැයි කැලුම් අනුමාන කළේය. තුරුලතා වන්ගෙන් ගහන වූ හෝටල් පරිශ්‍රය තුළ උදේම ඇවිද යන්නට ඔහු තුළ සිතක් පහළ විය. සඳුන්ගේ ජංගම දුරකථනය නාද වන්නට පටන් ගත් නිසා කැලුම් ජනේලයේ තිරය වසා දමා ඇඳ දෙස බැලීය.

“ස‍ඳෙන් සඳ දිය උරා බී
ඉරෙන් හරිත පත්‍ර පුරා
අනාගත සිතිවිලි දිගේ
වෙනස් පාටක මලක් ඇයි පිපුණේ....”

නවරත්න ගමගේ හඬින් ගැයෙන එම ගීතය සඳුන් නව ජංගම දුරකථනයට ඇතුළු කර ඇත්තේ ‍ඊයේ හෝ පෙරේදා දිනයකදී යැයි කැලුම් අනුමාන කළේය.

“හෙලෝ ප්‍රභාත්.... ගුඩ් මෝනින්...”

“මේ සතියේ උඹ ‘ස්පා’ ගැන ලියලා තිබ්බ ආටිකල් එකට ලොක්කා කැමති වුණා. ලබන සතියටත් ඒ විදියේ ආර්ටිකල් එකක් ලියපන්. මිනිස්සු කැමති ඒවා කියවන්න.......”

“..............................”

“අපි අද හවස කොළඹ එනවා. හෙට උදේ හමුවෙමු.... ඔෆිස් එකේදී.....”

“....................”

දුරකථන සංවාදය අවසන් කළ සඳුන් එය ඇ‍ඳේ අනෙක් පසට තල්ලු කර දමා නැවතත් එහිම පෙරළුණේය.

*************

“චීන කෑම රසට කන්න පුළුවන් කොහේද? චීන කෑම තියෙන අවන්හල් කොළඹ නම් ඕන තරම් තියෙනවා. කතාවට කියන්නේ චීනෙටත් වැඩිය චීන අවන්හල් ලංකාවේ තියෙනවා කියලා. නමුත් නියම චීන රස කෑම හැමතැනම නෑ. චීනේ විදියටම චීන කෑම කන්න නම් ඔබ යන්න ඕනේ රත්නපුරේ....” ‘යන ගමන්’ විශේෂාංග ලිපිය ලියමින් සිටි කැලුම් එය මදකට නවතා දමා බෝඩිං කාමරයේ එහාටත් මෙහාටත් සක්මන් කරන්නට විය. තම හිතෙහි හටගෙන ඇත්තේ කලකිරීම ද, තරහ ද, කෝපය ද, ආශාව ද යන සිතුවිලිවලින් කුමක් දැයි යන්න තේරුම් කර ගැනීමට ඔහු මහත් පරිශ්‍රමයක යෙදුණේය. එකී පරිශ්‍රමය අසාර්ථක වූ තැන කැලුම් ලියන මේසයේ තිබී අතට හසුවූ පොතක්‍ ගෙන ඇ‍ඳෙහි දිගා විය.

‍මෝසම් මුහුදේ පිහිණීම

ෂාම් සෙල්වදොරේ

පොතේහි නම දුටු කැලුම්ගේ හිස ගිනි ගන්නට මෙන් විය. ක්ෂණයකින් ඇ‍‍ඳෙන් නැගිට ගත් ඔහු පොත බෝඩිං කාමරයේ මුල්ලකට විසිකර දැමීය. තමා ලියමින් සිටි ලිපිය ද ඉරා දැමූ කැලුම් ටී ෂර්ට් එකකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසී මඟට බැස්සේය. ප්‍රඥාව නැමැති බස්සා පියා සලන මේ‍ ගොම්මනේ තමන්ගේ ද? අවදිව ඇත්තේ ප්‍රඥාව නැතිනම් මෝඩකම ද? යන්න තේරුම් කර ගැනීමට කැලුම්ට අවශ්‍ය නොවීය. හිරුට අමතකව ගිය ආලෝක කැබලි පරිසරයේ තවමත් තැනින් තැන වැතිර ඇත. පාරෙහි සැලෝලයිට් එළි එකිනෙක පත්තු වෙමින් තිබේ. කැලුම් අලුත් හුණුපිටිය පාර දිගේ කිරිබත්ගොඩ දෙසට ගියේ අරමුණකින් තොරවය. යන්නේ කොහාටද? යා යුත්තේ කොහේද? යන්න පිළිබඳ නිශ්චිත තීරණයක් ඔහු සතු නොවීය. පාරෙහි මඳක් නතරව හදිස්සියේ යමක් මතක් වුවත් මෙන් ජංගම දුරකථනය අතට ගත් කැලුම් සමීර ගේ අංකය සොයන්නට විය.

************

කිරිබත්ගොඩ සමනල අවන්හලේ අඳුරු මුල්ලක කැලුම් තනිවූයේ බියර් බෝතලයක් හා බැදපු කුකුල් මස් පිගානක් සමඟය. තව පැය භාගයක් ඇතුළත මේ ස්ථානයට සමීර අයියා එනු ඇත. වෙනදා කතා කළ සාහිත්‍ය සහ අලෙවිකරණය, චේතන් බගට්ගේ කෘති සඳහා පවතින පෙර ඇණවුම් (Pre Orders) පිළිබඳව නොව තමන්ගේ ජීවිතය ගැන ඔහු සමඟ විවෘතව කතා කළ යුතු යැයි කැලුම් තරයේ අධිෂ්ඨාන කර ගත්තේය. බීර වීදුරුව තොල ගාන අතර ඔහු මදක් අතීතය තුළ කිමිදෙන්නට විය.

“මල්ලී.... අලුතෙන් පත්තරයක් පටන්ගන්න යනවා ඔයත් කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්....” සරසවියේ පුස්තකාලයේ දී හදිස්සියේම සමීර අයියා කියා සිටින්නේ කැලුම් තුළ අලුත් බලාපොරොත්තුවක් ඇති කරමිනි. ඒ වන විට කළමනාකරණ උපාධියක් හදාරමින් සිටි ඔහු කවි පොතක් ලියා ප්‍රකාශයට පත් කර තිබුණි. කලා උපාධියක් හදාරමින් සිටි සමීර අයියා ඒ වන විටත් පුවත්පත් කීපයක නිදහස් මධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරමින් සිටි බැව් කැලුම්ට මතකය.

“සර්ට තව මොනවා හරි ඕනෑ ද?” වේටර් ‍කොලුවාගේ හඬ ඔහුව වර්තාමනයට කැ‍ඳෙව්වේය.

“දැනට මුකුත් එපා මල්ලි... තව ටිකකින් යාළුවෙක් එනවා. එතකොට මොනවා හරි ගමු...”

වේටර් කොලුවට මද සිනහවක් පා නික්ම ගිය පසු කැලුම් අවන්හල සිසාරා බැල්මක් හෙලීය එකිනෙකා අවන්හල තුළට පැමිණෙමින් සිටී. අවන්හල තුළ පෙර තිබූ නිශ්ශබ්දතාවය කෙමින් කෙමින් මැකී යමින් ඇත.

සමීර අයියා ඇතුළු සරසවියේ ලේඛන කලාවට ඇලුම් කළ තවත් සගයින් පිරිසක් සමඟ නව ජාතික පුවත්පතට තමන් බැඳුණු ආකාරයත් නිදහස් මාධ්‍යවේදීන්ට පොරොන්දු වූ මාසික රුපියල් දසදහසේ දීමනාව වෙනු‍වට එයින් අඩක් ගෙවීම නිසා තම සගයින් එයින් ඉවත් වීමට ගත් තීරණය කැලුම්ට සිහිවිය.

“මල්ලි අපි පත්තරයෙන් අයින් වෙනවා. මට ස්ථිර පඩියක් ලැබුණට මාත් එක්ක ඒකට ගිය ජයසිරි අයියලාට, නිමල් අයියලාට පොරොන්දු වුණ දීමනාව ලැබෙන් නෑ....”

සමීර අයියාගේ බෝඩිං කාමරයේ මුල්ලට වන්නට තිබුණේ මූඩි නොමැති හිස් ගල් බෝතල් කීපයකි. සිගරට් ෆිල්ටර් සහ හිස දැවුණු ගිනිකූරු කිහිපයක් ඒ අසලම විය.

“උපාධියේ වැඩ ඉවරවෙලා තමා ආය ජොබ් එකකට ට්‍රයි කරන්නේ. එතකන් ඉදල හිටල කීයක් හරි හොයා ගන්න කේටරින් හරි යන්න බැරියෑ.”

ඔහු සිගරුට්ටුවක් දල්වා ගෙන බෝඩිං කාමරයෙන් පිටතට යන්නට විය. කැලුම් එහි තනි වන්නට විය.

එදා තම සගයින් පුවත්පතින් අයින් වුණාද තමා එම ආයතනයෙන් තවම අයින් නොවුණේ ලිවීමට තිබෙන ආශාව නිසා ද නැතිනම් එහි වෙළෙඳ කර්තෘ සඳුන් නිසා දැයි කැලුම් නැවත නැවතත් කල්පනා කරන්නට විය. විශ්වවිද්‍යාල උපාධිය අවසන්ව පිළිගත් ආයතනයක අලෙවි කළමනාකාර තනතුරක් ලැබුණ ද තමන්ට සඳුන්ගෙන් වෙන්ව යාමට නොහැකි වීම පිළිබඳව කැලුම් තුළ ඇති වූයේ ලැජ්ජාවකි.

“මල්ලි මම පරක්කු වුණා ද?” සමීර මේසය ළඟට එනතුරු කැලුම් ඔහු නොදුටුවේය.

“ආ... නෑ.... නෑ... මාත්.... අයියා මොනවාද බොන්නේ. බියර් එකක්....” සමීර ගෙන් පිළිතුරක් පිටවීමටත් පෙර කැලුම් වෙට්ටර් කොලුවා ඇමතීය.

“මල්ලි තව බියර් එකක් ගේන්න....”

“ඉතින් මල්ලි කොහොමද අලුත් ජොබ් එක. එතකොට පත්තරේ වැඩ එහෙම කොහොම ද?”

සමීර ඇණවුම් කළ බියර් බෝතලය ලැබුණු සැණින් එය වීදුරුවට දමාගන්නා ගමන් ඇසුවේය. කතාව ආරම්භ කළ යුත්තේ කොතනින් දැයි කැලුම් කල්පනා කරන්නට විය.

“සමීර අයියේ ඕගොල්ලෝ අයින් වුණු කාලේ මමත් පත්තරයෙන් අයින් වුණා නම් එකක්...” එසේ කියමින් කතාව ආරම්භ කිරීමට සිතුව ද කැලුම්ගේ කටින් එවැනි වචන කිසිවක් පිටවූයේ නැත.

“ඔහේ කරගෙන යනවා අයියේ...” එසේ කියූ කැලුම් බියර් අවසන් වාඩිය ද හිස් කර තවත් බියර් බෝතලයක් ඇණවුම් කළේය.

“මල්ලි මම මේ දවස්වල පොඩි ලිපියක් ලියාගෙන යනවා. ලංකාවේ ගණිකා වෘත්තියත්, ගබ්සාවත්, සමලිංගික විවාහයත් නීති ගත කළ යුතුයි කියලා” සමීර සිගරැට්ටුවක් පත්තු කළේය. සිගරැට් දුමින් පෙණහලු පුරවාගෙන ඉතිරි දුම් ටික වා තලයට පිට කළ ඔහු කැලුම් දෙස බැලීය.

“ආ... ඕ... මම නම් කැමති නෑ ඔය සමලිංගික විවාහවලට... සමලිංගිකත්වය කියන්නේ ජාන විකෘතිතාවයක්...” කැලුම්ගේ හඬ වේගවත්ය. නමුත් මේ කතා කරන්නේ තමන්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට මෙන් කතාකරන අතරතුර ඔහු වට පිට බලන්නට විය.

බියර් බෝතල් හතරක් පමණ හිස්වන විට තමන් සමීර අයියා සමඟ කතා කිරීමට පැමිණි කාරණය හැර අන් සියලු දේ ගැන කතා කළ බැව් කැලුම් බමන මතින් සිහි කළේය. බිල ගෙවා දැමූ ඔවුන් කිරිබත්ගොඩ නගරය දෙසට පැමිණියේ නිහඬවය. කැලුම්ගේ ජංගම දුරකථනය නාදවන්නට පටන් ගත් නිසා ඔවුන් අතර පැවති නිහඬ බව බිඳුණි.

“ආ සඳුන් අයියේ.....”

” ‘යන ගමන්’ ආටිකල් එක ලීවා. ඒක හෙට ඊ - මේල් කරන්නම්...”

“....................................”

“පොත කියවගෙන යනවා. සෙනසුරාදා එද්දි ගේන්නම්. ආ ලබන සතියේ නුවරඑළියේ හෝටලයක් ගැන ලියන්න ද යන්නේ.....”

“හරි..... හරි..... මම අනිවාර්යයෙන් එන්නම්...”

දුරකථන සංවාදය අවසන් වූ පසු කැලුම් සමීර දෙස බැලුවේය. ඔහු පෙනෙන්ට නැත. පිටිපස බැලූ කැලුම් දුටුවේ ලයිට් කණුවක් අල්ලාගෙන වමනය දමන සමීර අයියාය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්