රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»


මැණික් හා බැඳුණු රස කතා

මැණික් හා බැඳුණු රස කතා

සෝමපාල මෙනේරිපිටිය පරකඩුව

මඤ්ඤොක්කා පඳුර අස්සෙන් මැණිකක් මතුවෙයි

යම් පුද්ගලයෙකුගේ ග්‍රහ බලය හොඳ වූ විට මැණික් ලැබෙන බව බොහෝ දෙනා අදහති. පතල් හාරන්නට අවශ්‍ය නැත. පාරේ යන විට හෝ වැලි ගොඩ දමන විට හෝ මැණික් ලැබේ. කණාගේ පයේ හැපුණත් ඇහිඳින්නේ නැති බව කතාවට කියති. ඒ වගේ ම ඇතැමුන්ගේ වාසනාව පෑදුණු විට මැණික් ලැබෙන්නේ ඔහු නොසිතන වෙලාවකදී ය. මේ එසේ මැණිකක් ලැබුණු ආකාරයයි.

එය කුරුවිටට නුදුරුව ජයටම මැණික් ලැබෙන ප්‍රදේශයකි. රජයේ ඉඩමක් වැසියන් අතර බෙදා දීමෙන් පසු එම ඉඩම්වල පදිංචි වී මැණික් ගැරීමේ යෙදීම එහි වැසියන්ගේ ජීවනෝපාය විය. මැණික් ව්‍යාපාරිකයන්ගේ පතල්වල වැඩ කරමින් සිටි ජයසේනට (නියම නම නොවේ) මාස ගණනකින් හරි හැටි වාසියක් වූයේ නැත. එනිසා අගහිඟකම් බොහෝ ය. ඒ මැණික් ගරන්නන්ගේ ස්වභාවයයි. මැණික් ලැබුණාට පසු ජය පහට කා බී විනෝද වී මුදල් ඉවරකර ගන්නා ඇතැම්හු ඊළඟ මැණික හමුවන තුරු - අගහිඟකම් මැද ජීවත් වෙති. ජයසේන ද එසේ අගහිඟකම් මැද ජීවත් වූවෙකි. එදින පතලයේ සිට නිවසට පැමිණි ජයසේනට රාත්‍රී වේල පිරිමසා ගැනීමට ක්‍රමයක් නැති බව බිරිය කීවා ය. කුඩා දරුවන් දෙදෙනාට පමණක් සෑහෙන හාල් හුණ්ඩුවක් ඇති බව ඇය කීවේ මහ දෙන්නාගේ ආහාරයට විකල්පයක් සොයන්නට කියන්නා සේ ය.

ජයසේනට අදහසක් ආවේ ය. තරමක සිරිපොද වැස්ස නිසා මේ කාර්යයට බාධාවක් නැත. එනිසා ‍ඔහුගේ ඉඩමට මදක් දුරින් පිහිටි ආරොන් මාමාගේ ඉඩමේ සිටුවා තිබෙන මඤ්ඤොක්කා පඳුරක් ගලවාගෙන ඒම ජයසේනගේ අරමුණ විය‍. ඔහු පොද වැස්සේම ආරොන් මාමාගේ ඉඩමට ගියේ ය. වැටෙන් රිංගා මඤ්ඤොක්කා පඳුරු අස්සේ ගුලි වූ ජයසේන ගස් ගලවන්නේ නැතිව මුල පාදා අල කඩා ගන්නට විය. මෙසේ පස් ඉවත් කර ඔහුට සෑහෙන තරම් අල ගලවා ගන්නට විය. එසේ පස් ඉවත් කරන විට පස් කැට අතරින් වැසි වතුරට සේදී මැණික් කැටයක් පෙරළුණේ ය. ජයසේන එය අතට ගත්තේ ය. වැස්සට තෙමෙමින් ගත සීතලව තිබූ මොහොතේ ඔහුගේ ශරීරය උණුසුම් විය. ඔහු හණිකට නිවසට පැමිණියේ ය.

ඔහු දිය නාගෙන එන විට බිරිය මඤ්ඤොක්කා අලයක් පුච්චා කහට තේ පෙරා තිබුණා ය. පුච්චන ලද මඤ්ඤොක්කා කමින් තේ කහට බොමින් දරුවන් දෙදෙනා ළඟට ගෙන බිරිය තමාට හමුවූ මැණික ගැන කීවේ ය. බිරිය දරුවන් දෙදෙනාගේ ඔළුව අත ගාමින් ‘සමන් දෙවියන්ට පිං අත් වෙන්න මගේ කොලු පැටව් දෙන්නගෙ පින පෑදුණා’ යැයි කියමින් දරුවන් දෙදෙනා තුරුලු කර ගත්තා ය.

පසුවදා නගරයට ගොස් මැණික හොඳ මිලකට අලෙවි කළ ජයසේනට මෙතෙක් ජීවත් වූ කටු මැටි ගෙය ගඩොලින් බැඳ නවීකරණය කර ගොඩ නැඟීමට වැඩි කලක් නොගියේ ය. ඒ වගේ ම ජයසේන මැණික තිබූ ඉඩම හිමි ආරොන් මාමාද අමතක නොකළේ ය. ඔහුගේ නිවස සෙවිලි කිරීමට තහඩු අරගෙන දුන්නේ මැණික් කතාව නොකියා ඥාතියෙකුට උදව්වක් කරන ලෙසිනි.


දස දහසකට දෙන්න බැරි මැණික එකොළොස් සීයට දුන් හැටි

තම ඉඩම්වල තනි තනිව මැණික් ගැරීම අපේ ගම් පළාතේ වැසියන්ගේ සිරිත ය. ඔවුහු එසේ ලැබුණු මැණික් නිසොල්මනේ ම නගරයට ගොස් මුස්ලිම් මුදලාලිලාට අලෙවි කරති. එකල මැණික් ව්‍යාපාරිකයෝ වූ‍යේ මුස්ලිම් අයයි. විජේදාස එසේ තම ඉඩමේ තනිවම මැණික් ගැරූ අයකි. දින ගණනක සිට පතලක් හාරා තනිවම ඉල්ලම් කඩමින් සිටි විජේදාසට නිල් මැණිකක් ලැබුණේ ය. මැණික කොස් ඇටයක් තරම් විශාල විය.

කිසිවෙකුටවත් නොදන්වා හවස් වරුවේ නගරයට ගිය විජේදාස මැණික අලවි කිරීමට, සිතා ගත්තේ ය. කාටත් හොරා මැණික් මුදලාලි කෙනෙකුගේ කඩයට රිංගූ විජේදාස ඉණේ සඟවාගෙන ආ මැණික මුදලාලි අත තැබුවේ ය. මැණික අතට ගන්නවාත් සමඟම මුදලාලිගෙ

ලන හැටි විජේදාස බලාගෙන සිටියේ ය.

“ළමයා අපට කිරි තේ දෙකක් ගේන්න කියමින් මුදලාලි අතවැසි කොලුවාට අණ කර වාඩි වූයේ විජේදාසට වාඩි වීමට, අතින් සංඥා කරමින් ය. මැණික ඒ මේ අත පෙරළමින් විදුලි පන්දම් එළියට හසු කරමින් පරීක්ෂා කළේ විජේදාස දෙස ද හොරැහින් බලමින් ය. කොලුවා ගෙන ආ කිරි තේ බොමින් මුදලාලි විජේදාස සමඟ ගනුදෙනුව කතා කළේ ය. මැණිකෙහි කීමට දෝෂයක් නැතත් අඩු පාඩුවක් නොකියා මැණික බාල නොකර අඩු මිලකට ගැනීමට නොහැකි ය. එනිසා ඔහු “මේ ගල‍ හොඳයි ටිකක් පාට අඩු වුණා නම්, මේකෙ පාට වැඩියිනෙ මහත්තයො, ඒ හින්දා මේකට දහයක්, දෙන්නම් කියමින් මිලක් නියම කළේ ය. මුදලාලි දහයක් යැයි කීවේ මැණිකේ පාට හා විශාලත්වය නිසා ය. එය ලක්ෂ දහයක් වන්නටත් පුළුවන. ඒත් විජේදාසට එය වැටහුණේ දාහක් ලෙසට ය. “දහයකට දෙන්න බෑ මුදලාලි එකොළොස් සීයකට නම් දෙනවා “ විජේදාස කීවේ ය. මුදලාලිට කාරණය තේරුණේ ය. මොහු උපන් ගෙයි මෝඩයකු බව දැන ගත් මුදලාලි සීයෙ කොළ එකොළහක් ගණන් කර විජේදාස අත තැබුවේ ය. අත් දෙකෙන් ම සීයේ කොළ ටික ලබාගත් විජේදාස කමිසයේ යට සාක්කුවේ දමා ගත්තේ වැඩි ආරක්ෂාවට ය. ඔහුගේ ආරක්ෂාව මෙන් ම හොඳ හිත ලබා ගැනීමට මැණික් මුදලාලි ඔහුගේ කාරයෙන් විජේදාස නිවෙසටම ගෙන ගොස් බස්සවන ලදී.


දොළට පැන අතුරුදන්වූ ගමන් මැණික

පතලක් කපා ඉල්ලම් ගරා සොයා ගන්නා මැණික සේම, මැණික් පිහිටි බිමේ තිබී ඉබේ මැණික් හමුවන අවස්ථා ද එමට ය. එසේ හමුවන මැණික් අතරින් ලැබී සුළු මොහොතින් මැණික අතින් ගිලිහී ගිය අවස්ථා ද වෙයි. එසේ අතට ලැබී ගිලිහී යන මැණිකට ‘ගමන් මැණික’ යැයි කියති. මෙසේ ගමන් මැණික අතට ලැබී අහිමි වී ගිය පුවත් ජනප්‍රවාදයේ රත්න විද්‍යාව හැදෑරූ කෙනෙකුගෙන් විමසූ විට ඔහු කීවේ එසේ මැණික් වර්ගයක් නොමැති බව ය. නමුත් මේ ගමන් මැණිකක් පිළිබඳ අපේ ගමේ අයකු කී කතාවකි.

ඔහු බිරියත් සමඟ හේනේ වැඩ නිමවා දිය නෑමට ඇළට ගොස් ඇත. ඇළ පිහිටා තිබුණේ රබර් වත්තක ය. මේ ඇළ දෙපස අනවසරයෙන් මැණික් ගරා තිබූ පෙදෙසකි. එනිසා ගොවි මහතා ද ඇළට ගියත් මැණික් ගැන සෝදිසි කරන්නේ ය. එදා ඇළට බැස ගල් කැට අතර සෝදිසි කිරීමේදී රතු මැණිකක් හමු විය. ඔහු කී ලෙසට ‍එය කොස් ඇටයක් තරම් දිගටි ය. ඔප මට්ටම් කළා වැනි සිනිඳු ය. විනිවිද පෙනෙන රතු පැහැයක් ය. ඔහු මැණික අතට ගෙන ඉහවහා ගිය සතුටින් යුතුව බිරිය අතට දී ඇත. බිරිය දෝතින් ම මැණික ගෙන එය සේදීමට විවෘත කළ දෝතින් ම දිය යට එබුවා ය.

ඇසි පිය ගසන පමාවෙන් මැණික දියට පැන ඔවුනට පෙනි පෙනී පතුලට ගියේ ය. ගොවි මහතා ඇළ පතුළේ වැලි ගොඩ දමමින් මැණික සොයා ඇත්තේ බිරියට බැණ වැදෙමිනි. බැරිම තැන දිය නාගෙන ගෙදර පැමිණියේ රෑ බෝ වන නිසා ය.

නිවෙසට පැමිණි ගොවි මහතා ඔහුගේ බිරියගේ පියාට මේ මැණිකේ කතාව කීවේ ය. එයට පියාගේ පිළිතුර වූයේ ඒ ගමන් මැණිකක් බවත්, එය කිසිම කෙනෙකුට හිමි කර ගැනීමට නොහැකි බවත් ය. නමුත් මැණික අතට ගත් සැණින් දිව ගා ඉඳුල් කළහොත් පැන සැඟවී නොයන බව ඔහු කියා තිබේ. ඒ කෙසේ වෙතත් ඔහු එසේ නොකීවේ නම් ගොවි දෙමහල්ලන්ගේ සාමය ද එම මැණික නිසා අවුල් වන්නට ඉඩ තිබුණි.

තවත් තැනක ආච්චි අම්මා සහ මිනිබිරිය දොළට බැස පිඟන් කෝප්ප සෝදන්නට වූහ. ආච්චි අම්මා අත තිබූ පිඟාන මතට දොළ ඉවුරෙන් ගල් කැටයක් වැටුණි. ඇය එය අතට ගෙන බැලුවා ය. රතු මැණිකකි. එකල මැණික් ව්‍යාපාරයවත් මැණික් ව්‍යාපාරිකයෝවත් මෙතරම් දියුණුවට නොතිබූ යුගයකි.

මෙවැනි වස්තුවක් තබා ගැනීම සාමාන්‍ය ජනයාට තහනම් විය. මේ මැණික කෝරළේ මහතාට දිය යුතුව තිබුණි. කෝරළේ මහතාට දීමෙන් ඔවුන්ට තෑගි බෝග ලැබෙන බව ද විශ්වාස කළහ. එනිසා මැණික ප්‍රවේශමෙන් තබා ගැනීමට මිනිබිරිය අතට දුන් ආච්චි අම්මා පිඟන් කෝප්ප සේදුවාය. මිනිබිරිය මැණිකේ ලස්සන බලමින් ඒ අත මේ අත පෙරළමින් සිටියා ය. ඇයට නොදැනී ගල වතුරට වැටුණේය. ‘ආච්චි අම්මේ මෙන්න’ කියා වැටුණ මැණික ඇහිඳීමට අත දමන විට මැණික දියෙහි පා වී ගොස් ඇත. ආච්චි ද එය ඇල්ලීමට උත්සාහ කළ ද බැරිවී තිබේ.

නිවසට පැමිණි ආච්චි අම්මා මේ කතාව සීයා සමඟ කී විට සීයා කියා ඇත්තේ එය ගමන් මැණිකක් බවය. එසේ මැණිකක් දැකීමට ද වාසනාවක් තිබිය යුතු බවත් ය. ගමන් මැණික් පිළිබඳව ජනප්‍රවාදයේ කතා පවතින අතර ඒවායේ සත්‍ය අසත්‍යතාවය ගැන වගකීමෙන් යමක් කීමට අපහසු ය. නමුත් මැණික් ගරන්නන් අතර ‘ගමන් මැණික’ නමින් අතට ලැබී අතින් පැන සැඟවී යන රතු මැණිකක් තිබෙන බවට විශ්වාසයක් වෙයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්