රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»


වට්ටෝරු කතාවෙන් ඔබ්බට ගිය තණ්හා රතී රඟා

වට්ටෝරු කතාවෙන් ඔබ්බට ගිය තණ්හා රතී රඟා

පසුගිය අඩ දශකයක පමණ සිංහල චිත්‍රපට ඉතිහාසය දෙස ඉතා හොඳින් විමසීමේදී අපට පැහැදිලි වන මූලික ලක්ෂණ කිහිපයකි. ඒවා අතුරින් ප්‍රමුඛව පෙනෙන ලක්ෂණය වන්නේ, මේ වකවානුවේ බොහෝ චිත්‍රපට සඳහා අධ්‍යක්ෂවරුන් වඩාත් රුචියකින් තෝරාගෙන ඇත්තේ, මෙරට ඉතිහාසයේ අප කියවා ඇති රජවරුන් පිළිබඳ කතා, බෞද්ධාගම හා සම්බන්ධිතව, ශාසන ඉතිහාසයෙහි, කියවා ඇති ඇතැම් සංසිද්ධීන් හෝ ජාතක කතා සාහිත්‍යයෙහි, මෙරට පාඨකයන් විසින් බොහෝ වර කියවා ඇති හෝ වෙනත් මාධ්‍යයන් තුළින් අසා පුරුදු කතාන්දරයයි. ළමා චරිත තම කෘති සඳහා විෂය කර ගැනීමත්, මෙරට සිංහල බෞද්ධ ජාතික අරගලයේ කොටස්කරුවන් වූවන්ගේ චරිතාපදාන සිනමාවට නැඟීමත් ඉහත ප්‍රවණතාවෙහි ම දිගුවක් සේ පෙනේ.

 අබා, සිරි පැරකුම්, කුස පබා, මහින්දා ගමනය, සිරි දළදා ගමනය, අනගාරික ධර්මපාල, ඇහැළේපොල කුමාරිහාමි චිත්‍රපට නාමාවලිය විමසීමෙන් ම සිනමාව සඳහා කතාන්දර තෝරා ගැනීමේ මෑතකාලීන ප්‍රවණතාව හඳුනාගත හැකිවේ. ඉඳහිට මේ අතර අප ජීවත්වන සමාජයෙන්, වටපිටාවෙන්, සොයාගත් චරිත හෝ සිදුවීම්, පාදක කොටගෙන සිනමාවේ මූලික රීතීන් නොබිඳ, කලාත්මක ප්‍රකාශන ලෙස ප්‍රේක්ෂකයන් හමුවේ තම සිනමා නිර්මාණ තැබූ චිත්‍රපටකරුවෝ ද වූහ. කර්ම, වර්ණ, සැමීගේ කතාව, ඉනිඅවන්, නිකිණිවැස්ස ආදී චිත්‍රපට කිහිපයක නම් ගම් මතකයට නැ‍ඟේ. මේ චිත්‍රපට නිර්මාණය කළෝ, රජකතා, බණ කතා, ජාතක කතා, ආගමික කතා, ළමා කතා හෝ ජාතික වීරයන් ගේ චරිතාපදාන කතාවලින් වියුක්ත වී ජීවිතයට සමීප යථාර්ථය තම ප්‍රකාශන මාධ්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට සමීප කරවමින්, ප්‍රේක්ෂක රසවින්දනය, ජීවිතාවබෝධය, ඥානනය මඳක් හෝ ඔසවා තැබීමට උත්සාහ කළ පිරිස් වූහ. මේ කණ්ඩායමට මෑතකදී ම එක් වී ඇති, ජීවිතයේ යථාර්ථයෙන් බිඳක් හෝ තම ප්‍රකාශන මාධ්‍යයෙන් කීමට සාර්ථක උත්සාහයක් ගත් සිනමාකරුවා ලෙස මා දකින්නේ නිලේන්ද්‍ර දේශප්‍රියයි. තණ්හා, රතී, රඟා නම් ඔහුගේ සිනමා නිර්මාණය, මෑත කාලයේ මෙරට සිනමාව මඟින් ප්‍රේක්ෂකයන් මිථ්‍යාව කෙරෙහි ඉතිහාසයෙහි ව්‍යාජය කෙරෙහි ළං කරවීමට තැත් කළ පිරිසට එල්ල කරන ලද දරුණු ප්‍රහාරයක් වැන්න.

බෞද්ධ සාහිත්‍යයෙන්, අපගේ ඉතිහාසයෙන්, මෑත කාලීන සමාජයීය දේශපාලන සංසිද්ධීන් හෝ එවැනි ජාතික ව්‍යාපාරවල පෙරමුණ ගත්තන් පිළිබඳ සිනමා කෘති තැනීමෙහි කුමන ඵලයක් වේද? ආගමික පණිවුඩයක් දෙන අතරේ මිනිස් ජීවිතයේ හෝ සන්තානයේ, ඉසියුම් තැන් හෝ ගූඪ හදැත්තන් පිළිබඳ විවරණය වන බොහෝ කතා ඇති බව ජාතක පොත කියවීමෙන් අපි දැන සිටිමු. එහෙත් ඒ පුවතම යළිත් ඒ අයුරින් ම, ප්‍රබල කලා මාධ්‍යයක් වන සිනමාවෙන් පැවසීම අර්ථාන්විත ක්‍රියාවක් වේද? ඉතිහාස කතා තෝරා ගැනීම පිළිබඳ තතු ද එසේ ය. මහාවංශයේ හෝ චූල වංශයේ අපට කියවන්නට හැකි ඓතිහාසික වාර්තා, සිනමාව වැනි, නිර්මාණ පුළුල් හා ප්‍රබල කාර්යාවලියකට ප්‍රමුඛ අවකාශයක් සලසන මාධ්‍යයකින් ඉදිරිපත් කරන්නට අපගේ සිනමා කරුවන් පෙලඹීම අර්ථ ශුන්‍ය ව්‍යායාමයක් ලෙසයි මා දකින්නේ.

එහෙත් සූර නිර්මාණකරුවකු අතින් බෞද්ධ සාහිත්‍ය කතාවක් හෝ ඓතිහාසික සංසිද්ධියක් වුව නව අර්ථ කථනයකින් ජීවන දෘෂ්ටියකින් යුතුව ප්‍රති නිර්මාණය කළ හැකි බව මහාචාර්ය සරච්චන්ද්‍ර වැන්නෙකු ගේ මනමේ, සිංහබාහු, පේමතො ජායතී සෝකෝ, වෙස්සන්තර ලෝමහංස වැනි නාට්‍ය නිර්මාණයකින් ද විලාසිනියකගේ ප්‍රේමය වැනි චම්පු කාව්‍යයකින් ද අපූරුවට ඔප්පුකොට ඇති බව දත මනාය. මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී‍. සේනානායක, මහගම සේකර වැන්නන්ගේ නිර්මාණ රැසක් තුළින්, පැරණි මූලාශ්‍ර, පූරානෝක්ති, ආගමික, ඓතිහාසික කතා අපූර්වත්ව‍යකින්, කලාත්මක හා නිර්මාණාත්මක රීතියකින් ප්‍රතිනිර්මාණය වී, ප්‍රේක්ෂකයනට, පාඨකයනට මතු නොව ශ්‍රාවකයනට ද අර්ථවත් නිර්මාණ කාර්යයකට සහභාගිවීමට අවස්ථා ලබාදී ඇති බව පෙනේ. තණ්හා රතී රඟා සිනමා කෘතියේ අධ්‍යක්ෂ, නිලේන්ද්‍ර දේශප්‍රිය ඉහත පසුබිමෙහි සඳහන් වූ මූලාශ්‍ර මත නොයැපෙමින්, කාලීන ජීවන සංසිද්ධියක් ඔහුගේ භාෂාවෙන් අපට කියා දී ඇති විලාසය ප්‍රශස්තය.

මෙරට පශ්චාත් යුද සමයේ කොළඹ අගනගරයේ වෙනස ව‍ූ උප සංස්කෘතියකට අයත් චරිත තුනක් වටා මූලිකව ගෙතුණු කතා පුවතක විකාශය තණ්හා රතී රඟා තිර නාටකය මගින් අපට කියවන්නට ලැබේ. රංගනය ඔවුන්ගේ ප්‍රකාශන මාධ්‍යය වූවත්, කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල යන තිර රචකයන් දෙදෙනා ගේ විෂය තෝරා ගැනීම හා එය සිනමානුරූපී තිරනාටකයක් කරා විකාශය කරවීමෙහි ලා දක්වා ඇති නිර්මාණශීලිත්වය අගනේ ය.

ඔවුන් දෙදෙනා සිනමා මාධ්‍යය යනු කුමක් ද යන්න දත් රචකයන් දෙදෙනෙකු යයි අපට හැ‍ඟේ‍. මිතුරන් තිදෙනා, විමල්, සුරාජ්, සිරි නම් එකිනෙකට වෙනස් ජීවින පසුබිම් තුනක ජීවත් වන පුද්ගලයන් මුහුණදෙන සිදුවීම් මාලාවක කෙළවර අනපේක්ෂිත ඛේදයකින් නිමාවීම චිත්‍රපටයේ ප්‍රධාන කතා පුවත තුළ දැකිය හැකි වේ. යුද ජයග්‍රහණයෙන් පසු දකුණේ ජීවත්වූවන්ට උතුර නැ‍රඹීමට යාම ඔවුන්ගේ විනෝද චාරිකා ගමනාන්ත නාමාවලියට එක් වූ තවත් එක් අංගයකි. සුනාමියෙන් පසු විපතට පත් මිනිසුන් හා පෙදෙස් බලන්නට, හෝ නරඹන්නට දකුණු ලකට යාම මෙරට සමහර ජනයාගේ විනෝද චාරිකා බවට පත් වී තිබූ ආකාරය අපට සිහිපත් කළ හැකියි. උතුරු කරයේ චලෙයි මුහුදෙහි නාන්නට යාමට දැන් ඔවුනට හැකිවන්නේ දිගු කාලීනව පැවැති යුද්ධයකින්, රට මිදී ඇති බැවිනි.

උතුරු කරයේ වෙරළේ විනෝද වීම, මුහුදේ නෑමට දකුණේ සිට බස් රථ සංවිධාන කොට යන්නන් අපට පෙනේ. යුද්ධයෙන් පසු උතු‍ෙර් මුහුදු වෙරළ තීර සුන්දර වූවත්, විනෝදකාමී, දේශීය විදේශීය සංචාරකයන්ගේ විනෝද චාරිකා සඳහා තෝතැන්නක් වුවත්, එහි වෙසෙන දහසක් ජනී ජනයාගේ බියත්, මානසික තැවුලත්, අසරණ බවින්, ඔවුන් තවමත් නිදහස් වී නැති බවයි යථාර්ථය. එහෙත් දකුණෙන් විනෝද චාරිකා යන්නන්ට ඒ ජීවිත නොපෙනේ. මේ මිතුරන් තිදෙනාගේ අත්දැකීම ද ඊට නොවෙනස් ය. ඔවුන්ගේ විනෝද ගමන අවසන එකෙකුට පෙම්වතියක් ද තවත් එකෙකුට යුද්ධයෙන් ශේෂවූ යුද්ධයේ අසුන්දර සංකේතයක් බඳු ආයුධයක් ද හමුවේ.

ඉන්පසු යළි කොළඹට එනතෙක් පැවති ගමන අතරතුර, ඔවුන් විසින් මුහුණපානු ලබන සිද්ධීන් රැසක් අධ්‍යක්ෂවරයාගේ රූපාවලිය තුළ අපට පෙනේ. මෙම මූලික ප්‍රවෘත්තිය විකාශය වන අතරතුර, මේ චරිත නියෝජනය කරනු ලබන සමාජ පසුබිම පිළිබඳ චිත්‍රයක් ද ප්‍රේක්ෂකයන් හමුවේ තැබීමට අධ්‍යක්ෂවරයා අමතක නොකරයි. ඔවුන් තිදෙනාගේ ජීවන ප්‍රශ්න එකිනෙකට වෙනස් ය. සොයුරාගේ තර්ජනයට ලක් වී සිටින තම පෙම්වතිය පිළිබඳ ගැටලුව නිසියාකාර ආදායම් මාර්ගයක් නොමැති පවුල් බරින් යුත් අනෙකාගේ චරිතය ද ඊට නොදෙවෙනිය. තම මාමා නිවාස අයිතිය පිළිබඳ මව සමඟ කරනු ලබන අරගලය තෙවැන්නාගේ ජීවිතයේ තවත් පැතිකඩයකි. චලෙයි සංචාරයේ සිට යළි කොළඹ පැමිණෙන ගමන තුළ, ඔවුනට මුහුණපෑමට සිදුවන අනේක විධ, අනපේක්ෂිත සිදුවීම්, හමුවන ඇතැම් චරිත, (පොලිස් සාජන්වරයා) තුළින් අධ්‍යක්ෂවරයා පශ්චාත් යුද පසුබිමක තවත් එක් පැත්තක් ‍ප්‍රේක්ෂකයා ඉදිරියේ තබවයි. අපට ඔහු විසින් පෙන්වනු ලබන, එම චිත්‍රය අඳුරින් වර්ණවත් වී ඇති බව අපට හැ‍ඟේ.‍ යුද්ධයේ සුන්බුන් අතරින් ඔවුන් කොළඹ ගෙන ආ සංකේතය ඔවුන් සියලු දෙනාගේ ජීවිත උඩු යටිකුරු කරන භාණ්ඩයක් බවට පත්වන්නේ ඔවුන්ගේ දරුවකු අතින් එය භාවිතයට ගැනීමෙනි.

අවි ආයුධ සංකේතවත් කිරීම සඳහා අධ්‍යක්ෂවරයා විසින් යොදාගත් නාගයාගේ චරිතය, සිදුවීම් පෙළ සමඟ, ආයාසයකින් තොරව එක්වන්නක් බව නොදැනේ. දරුවා මිය යාමේ සිද්ධිය හා රූපවාහිනී නාළිකාවකින් ඒ පිළිබඳ නොකඩවා ලබාදෙන ප්‍රචාරය සහිත පුවත් ඇතුළත් රූපාවලිය, චිත්‍රපටයේ ගලා යාමට බාධා පමුණුවයි. ඛේදවාචකය පිළිබඳ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබිය යුතු අනුකම්පාව එමගින් බිඳ යනු දැනේ. එහෙත් ප්‍රධාන වශයෙන් තණ්හා රතී රඟා සිනමාව තුළ, අප දන්නා හඳුනන, අප සමඟ ජීවත්වන, ගැහැනුන් මිනිසුන් පෙම්වතියන්, පෙම්වතුන්, දාමරිකයන්, පොලිස් නිල දරුවන් හමුවේ. ඔවුන් හැසිරෙන ආකාරය අපට ආගන්තුක නොවේ.‍ ඔවුන් ඇතැමෙකුගේ අත්දැකීම් අපගේ ද අත්දැකී‍මක් ලෙසින් අපට බෙදා හදා ගන්නට හැකි අයුරින් චිත්‍රපටයේ චරිත ගොඩනැංවීමට අධ්‍යක්ෂවරයා සමත් වෙයි. අවි ආයුධ යනු ජීවිතයෙන් ඈත් කොට ඉවත දැමිය යුතු විනාශකාරී සොයා ගැනීම් බව යළි යළිත් ප්‍රේක්ෂකයනට වැටහේ. ධර්ම පාඨයකින් හෝ උපදේශයකින් එය ප්‍රේක්ෂක සිත් සතන් ධාරා යා කරනු වෙනුවට, සිනමා බසවන රූප මගින් වඩාත් ප්‍රබල ලෙස කීමට අධ්‍යක්ෂ නිලේන්ද්‍ර දේශප්‍රිය සමත් වේ.

තණ්හා රතී රඟා යනු, නවක තරුණ පිරිසකගේ ප්‍රතිභාන්විත සමූහ දායකත්වයක් ප්‍රදර්ශනය කරනු ලබන මෑත කාලයේ මා නැරඹූ අපූරු සිනමා සිත්තමකි. තරුණයන්ගේ තිරනාටකය, කේමදාස දියණියන්ගේ භාවොචිත සිනමා සංගීතය, කැමරාකරණය අධ්‍යක්ෂණයෙහිලා සිනමා මාධ්‍යය පිළිබඳ දැනුමැති තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙකු විසින් පළ කරනු ලබන ප්‍රතිභාව, මේ චිත්‍රපටය පු‍රා මනාව දිස්වනු අපට පෙනේ. නළුවරණය (Casting) හා ඒ සියල්ලන්ගේ රංගනය විශිෂ්ට යයි පවසමි. නව පරපු‍ර සමඟ ඉතා සුළු චරිත රඟපෑ පැරැණි පරපුර නියෝජනය කරනු ලබන ස්වර්ණා, අනෝජා, නීටා වැනි නිළියන්ගේ රංගන කුසලතා ද අපූරුවට උකහා ගැනීමට නිලේන්ද්‍ර සමත් වෙයි. වට්ටෝරු සිනමාවෙන් මිදුණු මෙවැනි සිනමාත්මක හා කලාත්මක චිත්‍රපට මත අපගේ සිනමාවේ අනාගතය රැඳී ඇති බව පැවසිය යුතු ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්