රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»


නෙළුම්විල

නිහඬ ඉකි බිඳුම

තරුණ මවක්මි.

වේදනාවෙන් ලියමි.

කෙතරම් කල්පනා කළත් මිනිස් සොබාව තේරුම් ගැනීම අසීරු ය.

මම ළමා වියේ දී බොහෝ දුක් වින්දෙමි. නොයෙක් මානසික පීඩාවනට ලක් වීමි. සතුටක් නොවින්දා නොවේ. සතුට ඉතා අල්ප විය.

සරසවි ප්‍රේමයෙන් පරාජිත වූ මා විවාහ වූයේ මට වඩා ඉගෙනුමින් අඩු අයකු සමඟ ය. ඒ වූ කලි කෙටිකාලීන ඇසුරක ප්‍රතිඵලයකි.

ඔහු මා රවටා ඇති බව දැන ගන්නා විට මම ගැබිණියකව සිටියෙමි. ඒ වන විට ඔහු දෙදරු පියකුව සිටි බව මා දැන ගත්තේ පසුව ය. එහෙත් ඔහු මා සමඟ විසුවේ ය. මට ද ඔහු හැර දැමිමට නොහැකි විය.

අප අතර නොයෙක් ගැටලු හට ගත්තේ ය. ගැටලු ඇති කළේ ඔහු ය. ඒ මදිවාට ඔහු මගේ ජීවිත ආශාව තුරන් වන තරමට පීඩා ගෙන දුන්නේ ය.

මම මහ මෙරක් වීමි. දරුවා වෙනුවෙන් සියල්ල ඉවසා දරා ගැනීමට මට සිදු විය.

ඔහු සිය ගේ දොර වත්කම් අහිමි කර ගත්තෙකි. දියුණුවක් දකින්නට කිසිදු උත්සාහයක නිරත නොවුණ ඔහු මා හැදුණු වැඩුණු පරිසරයේ දී ම මා නින්දාවට පත් කළේ ය. මගෙන් ම යැපෙමින් මට ම පහර දුන්නේ ය. මා යන එන තැන් දෙන දුරකථන ඇමතුම් කෙරෙහි කුහුලින් පසු වූ හෙතෙමේ නොයෙක් දෙනා මට පාවා දෙමින් බැණ වැදුණේ ය. ජීවිතය නැති කර දමන බව කීවේ ය.

මම ගහක් - ගලක් සේ සිටියෙමි.

කලකට පෙර ඔහු ගේ බිරිය ඔහු සොයා එමින් මා ‍පෙළූ කාලයේ මා ඔහු ගේ අතීතයට සමාව දී ඔහු සැනසූ හැටි මට මතක් වෙයි. මා ඒ සියල්ල කළේ ජීවිතයේ මග වැරදී ඇති බව දැන දැනත් දරුවා වෙනුවෙන් ජීවිතය ගොඩ නඟා ගත යුතු හෙයිනි. එහෙත් ඔහුට ඒ අමතක ය. සාමදානයෙන් පවුල් ජීවිතය ගෙන යන්නට දුක්විඳින මට ඔහු සලකන්නේ කුරිරු ලෙස ය. මට දැන් ජීවිතය ගැන ඇති වී තිබෙන්නේ මහා කලකිරීමකි. මා මෙන් කලකිරුණ උන් නවතින තැන මම දනිමි. එහෙත් මම මවකි. මා දරුවාට ජීවය පිඹිය යුතු ය. එහෙයින් ම දුක කෙතෙක් වුව ද එය ඉවසිය යුතු ය.

මට සුභාෂිතයෙහි කවියක් මතක් වේ.

‘නපුරු දුදනන්ගෙ සියො ළ‍ඟෙහි ම විසය’ එහි අවසාන කවිය කෙතරම් අරුත් බර දැයි හැ‍ඟේ.

මේ ලිපිය මා නෙළුම්විලට ලීවේ අසරණකම තවදුරටත් ඉවසා සිටිනු බැරිම තැන ය. සැබවින් ම මට මෙය දරාගත නොහැකි ය. මගේ ගෙදර අයට ද මා රැක ගන්නට වුවමනාවක් නැත. එහෙත් මේ දුක මා දරා ගත යුතුම ය. මගේ දරුවා වෙනුවෙන් මා ජීවත් විය යුතු ය.

මගේ මේ කතාව කිසිවකුට පලක් වේ දැයි නොදනිමි. එහෙත් මිනිස්කම හඳුනන මිනිසුන් මෙය දැන ගත යුතු යැයි මම සිතමි. එය මට ඉස්පාසුවකි.

කෑගල්ල ප්‍රදේශයේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි. ලිපියේ ලිපිනයක් දක්වා නැත.


ගමනක රස

වැහි බීරීම නිසා සැඳෑ කළුවර ආයේ වේලාසනිනි.

වැඩ නිමාකොට නිවෙස් බලා යමින් සිටි ජනයා නංවා ගත් දුම්රිය කොළඹ සිට ගම් දනව් බලා ඇදෙන්නට වූයේ හැම දුම්රිය පොළකම නවත්වමිනි.

දුම්රිය රාගම නතර කළ වහාම මා සිටි මැදිරියේ බොහෝ දෙනා බැස ගියෙන් එය අඩකින් පමණ හිස් විය.

යළි ගමන ඇරඹිණ.

ලොතරැයි වෙළෙන්දෙක් මගීන් අතරින් මතු ව ආයේ ය.

කෙසඟ වෙළෙන්දා වියපත් වෙමින් සිටින්නෙකි. කමිසය සරමට උඩින් දා සිටින බැවින් කෙට්ටුව වැඩි වී පෙනේ. අප පසු කර ගිය ඔහු මැදිරි දොරටුවක් ළඟ මඳකට නතර විය.

අනිත් පැත්තෙන් සෙනඟ අතරින් මතුව ආයේ තවත් වියපත් අයෙකි. ඔහු ලොතරැයි වෙළෙන්දා දැක හිනාවක් පාගෙන නතර විය.

දෙදෙනා මොහොතක් එකෙකාට විහිළු කර ගත් හ. විහිළුවට මෙන් ඇන ගත් හ.

පෙර තැනැත්තා මෙන් හැඳ සිටි දෙවැන්නා ගේ පිටේ ගමන් මල්ලක් එල්ලෙමින් තිබිණ.

දෙවැන්නා හදිසියේ යමක් සිහිපත් වූවාක් මෙන් සිය බෑගයෙන් කුඩා යමක් එළියට ගෙන එය මගීනට පෙනෙන පරිදි උඩට අල්ලා ගෙන එහාට මෙහාට ගියේ ය.

‘සීයට පහයි එකක් විස්සයි’

කුඩා බෝ කොළයක හැඩයට සමාන එය කිසියම් හඳුන්කූරු විශේෂයකැයි මට සිතිණ.

මගීහු ඔහු ගණන් නොගත්හ.

සිය වෑයම ඵල රහිත වූ වෙළෙන්දා ආපසු හැරී පළමු වෙළෙන්දා ළඟට ගියේ ය.

‘කිසි කෙනෙක් බලන් නෑ.’ ඔහු කීවේ තමාටම ඔච්චම් කරගන්නාක් මෙනි. පළමු වෙළෙන්ඳාට ද හිනාවක් ගියේ ය.

‘හොඳයි, එහෙනං මෙහෙමවත් බලමු.’ එසේ කියාගෙන ම දෙවැනි වෙළෙන්ඳා ආපසු හැරී මගී සමූහයා දෙස බැලුවේ ය.

ඔහු‍ෙග් කටහඬ උස්ව නැගී ආයේ ය.

‘ඔන්න පුංචි පුතෙක් අම්මගෙ ඇඟිල්ලෙ එල්ලිලා පාර අයිනෙ යනව.’ ඔහු කතන්දරයක් කියන්නට ගත්තේ ය. කවුරුත් ඔහු දෙස බැලූ හ. සිය කතන්දරය අවධාරණය කරනු පිණිස ඔහු පළමු වාක්‍යය දෙවරක් කීවේ ය.

කතන්දර ඇසීමට ස්වභාවයෙන් කැමැති හෙයින් මගීන් ගේ අවධානය ඔහු ගේ විකට හඬ කෙරෙහි යොමු විය.

‘පුංචි පුතා එක පාරටම අම්මගෙ ඇඟිල්ල අතෑරල පාර දිගේ දුවන්ඩ තියා ගත්ත.’ ඔහු දෙවැනි වාක්‍යය ද දෙවරක් කීවේ ය.

‘එතකොට අර අම්ම දරුවට ඉංගිරිසි අකුරු හතරක් කියල කතා කෙරුව. මොකක්ද ඒ ඉංගිරිසි අකුරු හතර?’

ඔහු නැවත වරක් ඒ ප්‍රශ්නය ඇසුවේ ය.

මගීහු සිතන්නට වූහ.

ඒ අතර ඔහු සිය වෙළෙඳ භාණ්ඩය ප්‍රදර්ශනය කරමින් ‘එකක් විස්සයි සීයට හතරයි’ කියමින් ඔබමොබ ගියේ ය.

කිසිවකු ඔහුගේ භාණ්ඩය මිල දී ගත්තා දැයි මා නොදන්නේ මා ඔහු ගේ ප්‍රශ්නයට පිළිතුරු සොයමින් සිටි හෙයිනි.

‘දන්නවද උත්තරේ?’ වෙළෙන්ඳා මගීන් දෙස හොඳින් බලා හිනාවක් පෑවේ උත්තරය ද දෙමිනි. ‘එන්. අයි. කිව්. ඒ. එන්. අයි. කිව්. ඒ.’

ඒ අකුරු හතර එකට ශබ්ද කරද්දී ඇසෙන්නේ ‘එන්නයි කිව්වේ’ යන සිංහල හඬ ය. ‍‍‍‍‍

ඔහු කාටත් විනෝදය සපයමින් පුංචි වෙළෙඳාමක් ද කර ගත්තා විය යුතු ය.

මේ වෙළෙන්ඳා හොඳ සන්නිවේදකයකු හොඳ වෙළෙඳ දැන්වීම් ශිල්පියකු යැයි මට සිතිණ.

ඔහු තරුණ කාලේ‍ මෙබඳු හැකියාවක් පෙන්නුවේ නම් ඔහුට මේ වන විට ප්‍රචාරක ආයතනයක් හිමි කර ගත හැකිව තිබෙනු ඇතිවා පමණක් නොව රටම ග්‍රහණයට ගනිමින් යහමින් හම්බ කර ගැනීමට ද හැකියාව ලබා ගත හැකිව තිබිණැයි මට සිතිණ.

අවසාන‍යේ, ඒ වන විටත් ඔහු දෙස බලාගෙන සිටි පළමු වෙළෙන්ඳා වෙත ඔහු ගියේ ‍'කොහොමද ඒ ගමන වැඩේ?’ යි අසමිනි. සගයා හිස සලා ලොකු හිනාවක් පෑවේ ඒ වෑයම පසසන්නාක් මෙනි.

කෙසේ වුව ද ඒ වන විට හඳුන්කූරු වෙළෙන්ඳා කෙරෙහි මගී සිත්හි කිසියම් පිළිගැනීමක් ඇතිවී තිබුණු වග කිව යුතු ය.

හඳුන්කූරු වෙළෙන්ඳා ද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් අපට පිටුපා මැදිරියේ අනෙක් පස මගීන් අමතා අර කතාව යළිත් කියන්නට වූයේ ය.

ඔහුට ඒ කතාවේ අඩක් පමණවත් කියා ගන්නට ඉඩ නොලැබුණේ පාපුවරුව අයිනේ සිටි බීමත් පුද්ගලයෙකු දිගින් දිගට ම ප්‍රශ්න අහමින් බාධා කරන්නට වූ බැවිනි.

වෙළෙන්ඳා ද ඔහුට එහෙන් - මෙහෙන් පිළිතුරු දී තමන් ගේ වැඩේ කරගෙන යන්නට උත්සාහ කළ ද බැරි විය.

බීමත් පුද්ගලයාගෙන් බේරෙන්නට බැරිම තැන වෙළෙන්ඳා පීල්ල මාරු කළේ ය.

‘ඔයගොල්ලො දන්නවද ඉබ්බෙක් අහසින් ගිය හැටි? හැබැයි මේක අර පරණ කතාව නෙමේ.’

වෙළෙන්ඳා පීල්්ල මාරු කරන්නේ තේරුමක් ඇති ව බව දැනුණු මගීහු බීමත් තැනැත්තා ගේ බාධාකිරීම් ගණන් නොගෙන ම වෙළෙන්ඳාට සවන් පා ගෙන සිටියහ.

වෙළෙන්ඳා ඉබ්බා අහසින් පියෑඹූ කතාව කීවේ අලුත් විදිහට ය. ඔහු ගේ කතන්දරයට අනුව විටින් විට කෝටුව කොකුන්ගේ හොටින් ගිලිහෙයි. ඒ අවස්ථා කෙතරම් බිහිසුණු, තීරණාත්මක වුව ද ඉබ්බා කෝටුව දැඩි ලෙස හපාගෙන ම සිටියි. එහෙත් අන්තරාව පහ වූ හැටියේ ම ඇති වන ඉස්පාසුවට ම උගේ කට ඇරෙයි.

‘ඇති යාන්තං!’

ඒ එක්කම පහළ ගල්තලාවට ඇද වැටෙන ඉබ්බා සුනු විසුනු වී යයි.

කොක්කු ද ගල් තලාවට පහත් වී සිය මිතුරා ගේ අභාවය වෙනුවෙන් දුක්වෙති.

ටිකකින් ඔවුනට ඊට මඳක් එහායින් තිබෙන පරණ ඉබිකටුවක් දැක ගත හැකි වෙයි. ඊටත් එහායින් හොඳටම දිරා ගිය තවත් ඉබි කටුවක් ද දක්නට ලැබෙයි.

‘පේනව නේද? අපේ යාළුව විතරක් නෙමෙයි, එයාගෙ තාත්තයි, සීයයි දෙන්න ම නැහිල තියෙන්නෙ කට පරිස්සං කරගන්ඩ බැරි වෙච්ච හින්ද’ කොක්කු කියති.

හඳුන්කූරු වෙළෙන්ඳා තමන්ගේ බඩගෝස්තරය හොයා ගැනීමට බාධා කළ බීමත් පුද්ගලයාට ‘වහෙන් ඔරෝ’ පාරක් එල්ල කළේ එසේ ය.

එය තේරුණේ මගීනට පමණි. ඔවුන්ගේ මුවග හිනාවකින් හැඩ වූයේ එහෙයින් විය යුතු ය. වගේ වගක් නොවූ බීමත් තැනැත්තා ඔහේ කියවමින් සිටියේ ය.

මීරිගම ජයතිස්ස හේවගේ විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

නෙළුම්විල සිළුමිණ ලේක්හවුස් කොළඹ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්