බොරු මත බිඳින්න අපි සූදානම්
බොරු මත බිඳින්න අපි සූදානම්
ජිනීවා නුවරදී හෙට (3) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25
වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ඇමෙරිකාවෙන් එල්ල විය හැකි යයි මත
පළ කෙරෙන යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එම මත බිඳ දමා රටේ ඇත්ත තත්ත්වය ලොව හමුවේ
තැබීමට රජය සූදානම් බවත් ඒ සඳහා ශක්තිමත් නියෝජිත පිරිසක් ජිනීවා බලා යවන බවත්
රජය කියයි.
මේ සමුළු වාරයට යන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ විදේශ ඇමැති
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වන අතර ඇමැතිවරයා 5 වැනිදා සමුළුව අමතයි.
වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා ඇතුළු විදේශ අමාත්‍යාංශයේ තවත්
නියෝජිතයෝ පිරිසක් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සමුළුව නියෝජනය කරති.
ජගත් මානව හිමිකම් සමුළුවේ 25 වැනි සැසිවාරය හෙට සිට 28 වැනිදා දක්වා පැවැත්වේ.
ලංකාවට එරෙහිව ඉදිරිපත් වන බව කියන යෝජනා පිළිබඳව ඡන්ද විමසීම මාර්තු 28
වැනි දා පැවැත්වෙනු ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරිපත් වී ඇති මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ චෝදනා අභූත
හා ද්වේෂ සහගත පදනමින් ඉදිරිපත් වූ ඒවා බව ද යුද්ධයෙන් පසු අත්අඩංගුවට පත්
දරුණු ඝනයේ එල්ටීටීඊ සැකකරුවන් පවා පුනරුත්ථාපනය කර සමාජගත කර
එල්එල්ආර්සී කමිටුවේ නිර්දේශ පවා සියයට 60 වැඩියෙන් ක්‍රියාත්මක කර ඉතිරි ඒවා
ද විසඳමින් පවතින යුගයක මානව හිමිකම් කඩකිරීමේ චෝදනා අපේ රටට එල්ල කරන්නේ
දෙමළ ඩයස්පෝරාව ඇතුළු රටට එරෙහි කණ්ඩායම්වල ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට බව ද
රජය අවධාරණය කරයි.
|