දිනමිණ පියමැන ආ පියහසර සමහරක්
 

දිනමිණ පියමැන ආ පියහසර සමහරක්

 

ශ්‍රී ලාංකේය පුවත්පත් පිළිබඳ ඉතිහාසය වෙත වැඩිතර පසු ගමනක් නොකර, මින් වසර 40 ගණනක ඉතිහාසය දෙස අවලෝකනය කරන විට, එකල දැල්වුණු ශාස්ත්‍රීය එළි වැටෙහි වඩා ප්‍රභාසම්පන්න ප්‍රදීපයක් ලෙස දිනමිණ හැඳින්වීම අයුක්තියක් නොවේ.

ශ්‍රී ලාංකේය පුවත්පත් සංස්කෘතියෙහි ස්වර්ණමය යුගය මෙයින් වසර 40-50ක් පමණ පූර්වයෙහි උදාවීයැයි තව අංශයකින් කිව හැකි ය.

2007, සිළුමිණ පුන්කලස ඇසුරින් ලේක්හවුස් ආයතනයෙන් පළ කරන ලද ශාස්ත්‍රීය සංග්‍රහයට පෙරවදනක් සැපයූ, අභාවප්‍රාප්ත මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නගේ නිරීක්ෂණයක් මෙහිලා සටහන් කිරීම යෝග්‍ය ය.

”අප කුඩා කල පාසල් යන වියේදී එනම් හතළිස් පනස් ගණන්වලදී මෙරට පුවත්පත් වශයෙන් තිබුණේ දිනමිණ හා ලංකාදීප පමණි. සති අන්තයේදී පළවූයේ සිළුමිණ හා ඉරිදා ලංකාදීපය පමණි.” ඒ ප්‍රකාශයෙන් ස්ඵුට වන සත්‍යයක් වන්නේ එකල විසූ ලේඛකයන්ට හා නිර්මාණකරුවනට එක ම තෝතැන්න වන්නට ඇත්තේ දිනමිණ, සිළුමිණ ඇතුළු පුවත්පත් කිහිපය පමණක් බව ය.

එසේ ම ඒ යුගයේ එළිබට ලේඛකයෝ, ඉදිරි දශක තුන හෝ හතර තුළ, දිවයිනේ විවිධ අංශ නියෝජනය කරන ප්‍රකට පිරිස් ලෙස හිස් එසවූහ. මේ යුගය අද මෙන් සුපිරි වාණිජ ඒකාධිකාරය විසින් මනුෂ්‍යත්වයත්, මානවීය ශඛ්‍යතා සහ නිදහස් චින්තනය හැසිරවුණු සමයක් නොවීය. 70 දශකයේ කවියකු වූ වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ෆර්ත් නුවර පදිංචි ව සිටින සුනිල් ගෝවින්නගේ මහතා ගේ “මතක පිළිරැව් කාව්‍ය කෘතියට පෙර වදනක් ලියන ප්‍රවීණ පුවත්පත් කලාවේදී එඩ්වින් ආරියදාසගේ වචන මෙපරිදි වේ.

”Leading men of letters in the mid twentieth century Sri lanka, such as Martin Wickremasinghe, recalled with articulated longing, their expansive lives of Freedom, led in the childhood village.”  1915 දී වික්‍රමසිංහ මහතා “හේතුවාදී” යන ආරූඪ නමින් දිනමිණට ලියුවේ ද, ඔහුගේ නිදහස්කාමී හා ගවේෂණශීලී ළමා වියෙන් ලද පන්නරයෙහි ප්‍රතිනිර්මාණයක් ලෙසිනි. 1920 දී ඔහු දිනමිණ කර්තෘ පදවියට ද පත්විය.

දිනමිණ හා සිළුමිණ මේ යුගයේ ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක උන්නතියේ පෙරගමන් කරුවන් වශයෙන් හුන් බව, ඒ කරුණු මඟිනුදු සනාථ වේ. මේ කියන යුගය හා ආසන්න සමයේ පාඨකයන් වශයෙන් දිවි ගෙවූ නිර්මාණශීලී හා මානවීය සාර ඵලයෙන් සන්නද්ධ දෙපළකගෙන් කරුණු විමසීමට මා හට අවස්ථාව උදාවිය.

එකල වයස අවු.10ක පමණ දරුවකු ව සිටි ඒ.ඩී.රංජිත් කුමාර මහතා වර්තමානයේ ප්‍රවීණ පුවත්පත්කලාවේදියකු, පිටකවර නිර්මාණ ශිල්පියකු හා සිනමාව සම්බන්ධ ආයතනයක අධ්‍යක්ෂවරයකු ද වේ. එතුමාගේ මතකයේ, දිනමිණ පුවත්පතින් සිදුවූ මෙහෙය සටහන් ව පැවැතියේ, කෝෂ්ඨාගාරයක නිධන් ව ඇත්තාක් මෙනි.

”1953 බඳු වකවානුවක දිනමිණ පුවත්පත, බොහෝ පාඨකයන් අතර අතිශය ජනප්‍රිය මුද්‍රිත මාධ්‍යයක් වූයේ ය. එකල මෙහි කාලෝචිත පිටු හා විෂයය කලාප බෙදීමක් දැකිය හැකිවිණි. විලේගොඩ නම් මහතකු විසින් සැකසුණු සිනමා විචාර ලිපි කියවූ පාඨකයෝ, (බදාදා දිනවල) ඊළඟ බදාදා වනතෙක් කුහුලෙන් බලා සිටියහ. ඒ විචාරකයාට තිබුණේ ජනප්‍රිය හා මුඛරි බස් වහරකි. නිදසුනක් දක්වතොත් මෙසේ ය.

“ඩොමී, ප්‍රේම්ට ගසයි” සිනමාවේ අභ්‍යන්තර සංසිද්ධියක්, නළුවන් හෝ සිනමාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ සැබෑ නම් ඇසුරින් කීම, නර්මාලාපයක සිරි ඉසිලූ සැටියි. ඔහු සිය සිනමා විචාරය දියත්කළේ 1953 තිරගත වූ ‘පුදුම ලේලී’ චිත්‍රපටයට ලියූ මුල් ම විචාරය සමඟිනි. 1960 “ක්ලියොපැට්රා” චිත්‍රපටය අතිශයින් වියදම් අධික නිෂ්පාදනයක් විය. මේ තොරතුරු එකල දැනගත්තේ, අද මෙන් අන්තර්ජාල ඔස්සේ නොව, දුෂ්කර ආරංචි මාර්ග මඟිනි.

සිසිල් ඉලංගකෝන් නම් මහතෙක් එකල දිනමිණ විශේෂාංග කර්තෘවරයා වූය් ය. ඔහුගේ අදහසක් අනුව, කවි හා කෙටිකතා මෙන් ම විවිධ රචනා සඳහා අතිරේකයක් බැගින් නිර්මාණය විණි. එබඳු අතිරේකයක් පිටු 04කින් පමණ සමන්විත විය.

මේ අතිරේක තුළ නවක කවි, කිවිඳියන්ගේ හා නිර්මාණශීලී ලේඛකයන්ගේ නිර්මාණ පළවිණි. මේ අතිරේක සඳහා ලියූ කියූ අය අතර වර්තමානයේ අතිශයින් ප්‍රවීණත්වයට පත් ව සිටින ලේඛකයෝ බොහොමයක් වෙති. ගුණදාස අමරසේකර, අසෝක කොළඹගේ ආදීහු ලේඛකයන් හා එබඳු නිර්මාණ විනිශ්චය කළ අය ලෙස ද ක්‍රියාකළහ.

සෝමරත්න බාලසූරිය, ආර්.ආර්.සමරකෝන්, ඒ.පී.ගුණරත්න, විනී විතාරණ, අමරදාස වීරසිංහ ආදී නම් ඒ අතර විය. කෙටිකතා හා කවි, මෙන්ම වාක්‍ය රචනා පිළිබඳ විචාරද එකී අතිරේකයේ ගැබ්විය. සරත් අමුණුගම, විමල් දිසානායක ආදීහු එබඳු විචාරකයන් අතර වූහ. විචාරකයා පිළිබඳ කෙටි සටහනක් පළකිරීමත් ඔහුගේ ඡායාරූපයක් පළ කිරීමත් ආවේණික අංගයක් සේ ක්‍රියාත්මක විණි.

මේ නිසා ඒ පිරිස, ඉදිරි අනාගතයේ ප්‍රවීණත්වයට පත්විය හැකි ලකුණු, එකල පාඨකයන්ට පෙනුණි. ගුණදාස අමරසේකරගේ ‘යළි උපන්නෙමි’ කෘතිය අළලා එකල සභ්‍ය අසභ්‍ය වාදයක් ද පැන නැඟුණි. 1960 දී පමණ, පාර්ලිමේන්තුවේ ඊට එරෙහි පනතක් ද සම්මත වූයේ ය. මාර්ටින් වික්‍රමසිංහ සිය ජපන් කාමකතා හෙවනැල්ල කෘතියේ පළ කළ අදහසක් නම් මේ ය.

“සමාජ අසම්මත යමක් කිවයුතු විටක ලේඛකයෝ එක්කෝ කොළඹ මුඩුක්කු පරිසරයක් හෝ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ තුරුවිටප සහිත අහුමුළු ඒ සඳහා තෝරා ගනිති” මෙවැනි අසම්මත පොත් පළවීම ගැන පේරාදෙණි විශ්වවිද්‍යාලය වග නොකියන බව එකල මහාචාර්ය සරච්චන්ද්‍ර හා සිරි ගුණසිංහ පැවසූහ. සභ්‍ය අසභ්‍ය වාදය ඔස්සේ දිනමිණේ විචාර ලිපි 20ක් පමණ පළවීම විශේෂයකි.

මේ අන්දමින්, කලාවේත්, පැවැති සංස්කෘතියේත් ඊට ප්‍රතික්‍රියා දැක්වූ සමස්ත රාෂ්ට්‍රීය පරිසරයේත් නිම්වළලු දිනමිණ මඟින් පුළුල් කළ බව මා හා සාකච්ඡා කළ රංජිත් කුමාර මහතාගේ අදහස වූයේ ය. සාහිත්‍යය, සිනමාව හා කලාවට අමතර ව, ආර්ථික ප්‍රශ්න, දේශපාලනය හා කුඹුරු පනත පිළිබඳව ද ඉන් වරින් වර අදහස් ප්‍රකාශ විණි.

බාලාතම්පෝ, පීටර් කෙනමන් බඳු අය දේශපාලන තීරු ඔස්සේ වාද විවාද කළහ. ඡ්‍යොතිෂය, පැරණි ඇදහීම් පිළිබඳව ද තීරු දිනමිණේ පළවූයේ ය. පැරැණි ඇදහීම් හා හදි හූනියම් ආදියෙහි වූ මානවීය ගති සොබා පිළිබඳ ව මුල්ලපිටියේ කේ.එච් ද සිල්වා වැනි අයගේ ලිපි පළවිණි. අරිසෙන් අහුබුදු, කරුණාරත්න අබේසේකර ආදීන්ගේ පද්‍ය ද වරින්වර ප්‍රකාශයට පත්විණි. සිසිල් ඉලංගකෝන් මහතා යටතේ නවකයන්ට අත්වැලක් නම් තීරුව පළවිණි. වරක් තම නිර්මාණයක් එයට යොමු කළ ඒ.ඩී.රංජිත්ට, ඒ නිර්මාණයේ අඩුපාඩු කියා පුවත්පතින් පිළිතුරු ලිපියක් ලැබිණි. මේ ලක්ෂණය අද යුගයේ පුවත්පතකින් අපේක්ෂා කළ නොහැකි ය.

1974 පමණේදී රාජා ටී.බස්නායක දිනමිණේ උපකර්තෘවරයකු ව සිටි සමයේ දී, තමාත්, තවත් එවක ප්‍රකට ව සිටි විශාල පිරිසකුත් දිනමිණට කවි ලියූ බව, 70 දශකයේ ප්‍රකට කවියකු වූ උදේනී සරච්චන්ද්‍ර මා හා පැවසීය. 1974 දී දිනමිණේ, “අපට රටක් ඇත” නම් තීරයකට තමා ලියූ කවියක් උදේනී මතකයෙන් විස්තර කළේ ය. ඒ කවිය නම් වී තිබුණේ “බිසව හා බේබි” ලෙස ය. කවියේ පද සමහරක් මෙසේ ය.
 

”නීල වර්ණ සේල ඇඳන්

කුංකුම චන්දන ගල්වා

කිකිණි සළඹ පාද තබා

ලොකු බේබී

සිප්හල වෙත – පාද නගයි....

උදේනී සරච්චන්ද්‍ර වැනි කවි, කෙටිකතා ලියූ ලේඛක ලේඛිකාවන් රැසක් වූහ. බුද්ධදාස ගලප්පත්ති, බොබි ජී.බොතේජු, චන්ද්‍රසිරි දොඩන්ගොඩ, එස්.කේ.ජයවර්ධන, තිලකරත්න කුරුවිට බණ්ඩාර ආදී නම් ඔහු මා හා සිහිකළේ ය. දිනමිණ මේ අයුරින්, උල්පතක් සේ ඇරැඹී, මහ ගඟක් සේ දැනුදු ගලායමින් සිටියි.