මතු ලොවට වැඩ සැදූ දිනමිණෙහි මුල් කතු
 

මතු ලොවට වැඩ සැදූ දිනමිණෙහි මුල් කතු

 

එච්.ඇස්.පෙරේරා

දිනමිණ දිනපතා පත්‍රයේ සමාරම්භක කර්තෘවරයා වූයේ ප්‍රවීණ පත්‍රකලාවේදී එච්.ඇස්.පෙරේරා මහත්මා ය. දිනමිණ මුල් පත්‍රවල මුල් පිටුවේ කුඩා අකුරින් කර්තෘ: එච්.ඇස්.පෙරේරා, කළමනාකාර: ආර්.බටුවන්තුඩාවේ යනුවෙන් සඳහන් වී තිබේ. ‘සිංහල ජාතිය දිනපතා ප්‍රවෘත්ති පත්‍රය’ යනුවෙන් ද සඳහන් එහි පත්‍රයක මිල ශත 3ක් බවද දැක්වේ.

දිනමිණ වැනි ශතවර්ෂාධික කාලයක් පවත්නා දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක් ආරම්භ කිරීමේ ඓතිහාසික මහ මෙහෙවර ඉටු කළ එච්.ඇස්.පෙරේරා මැතිතුමා උපන්නේ මහනුවර අම්පිටියේ දී ය. ඔහුට උත්පත්තියේ දී ලැබුණු නම ‘හර්බට් ස්ටැන්ලි පෙරේරා’ යන්න යි.

එහෙත් පසුකාලයේ දී ඔහු ඒ නම ‘හේමචන්ද්‍ර සේපාල පෙරේරා’ යනුවෙන් භාවිත කොට ගත්තේ ය. මේ හේමචන්ද්‍ර සේපාල යන්න ඔහු අමුතුවෙන් බැහැරින් ගත් එකක් නො වීය. එය ඔහුගේ අතීත පරම්පරා නාමයේ මුල් නම් යුගල විය.

එච්.ඇස්.පෙරේරා මහතාගේ අඛණ්ඩ පරම්පරා කථාව සීතාවක රාජසිංහ රාජ සමය දක්වා විහිදී යන්නකි. රාජසිංහ රජුගේ සේවයෙහි සිටි ජයවීර බණ්ඩාර නම් මන්ත්‍රීශ්වරයාට වාසභූ®මිය වූයේ හංවැල්ල යි. එතුමා රාජසිංහ රජුගේ යුද්ධ හමුදාවේ සේනාපති ධූරයක් දැරුවා වූ ද පෘතුගීසීන් හා කළ සටන්වලදී මහත් දක්ෂකම් පෑවා වූ ද ප්‍රකට ප්‍රභූ®වරයෙක් වූයේ ය. එතුමාට හිමි ව තිබූ ගෞරව නාමය ‘හේමචන්ද්‍ර සේපාල අභයකෝන් සහබන්ධු ජයවීර සේනානායක’ නම් විය. එබැවින් මෙය පරම්පරා නාමය ද වූයේ ය. පරසතුරු උවදුරු රට පුරා පැතිර යද්දී මෙතුමාගේ පරම්පරාවට ද හානිකර බලපෑම් එල්ල විය.

ජයවීර බණ්ඩාරයන්ගේ මුනුබුරෙකු වූ වෙලුන් පෙරේරා ක්‍රිස්තියානි ආගම වැලඳගෙන ‘පෙරේරා’ නාමය ද ලබා සිටි අයෙකි. හංවැල්ලේ සිට මහනුවර වෙත රැකියාව පිණිස ආ ගිය ඔහු මහනුවර අම්පිටියේ ම පදිංචිය තහවුරු කර ගත්තේය. ඔහුගේ පුත්‍රයා ජොහානස් පෙරේරා නම් විය. ජොහානස් පෙරේරාට එක ම පුත්‍රයෙක් සහ එක ම දියණියක් සිටියහ. ඒ පුත්‍රයා නම් එච්.ඇස්.පෙරේරා ය.

උත්පත්තියෙන් ක්‍රිස්තු භක්තිකයකුª වූ එච්.ඇස්.පෙරේරාට ඒ ආගම පිළිබඳ විශ්වාසය කඩ වන්නට වූයේ පාසල් යන අවධියේ ම ය. ඔහු ඒ බව පසුකාලීන සිය ලිපි ලේඛනවල ප්‍රකාශ කොට තිබේ. එබැවින් තරුණ වියේ දී ම ඔහු ක්‍රිස්තියානිය අතහැර නියම බෞද්ධයකු වූවා පමණක් නො ව ‘හර්බට් ස්ටැන්ලි’ යන සිය මුල් නම් යුගල අතහැර ඒ වෙනුවට පරම්පරාවෙන් තමන්ට හිමිකම් තිබූ ‘හේමචන්ද්‍ර සේපාල’ යන නාමය භාවිතයට ගත්තේ ය.

හොඳ පාසල් අධ්‍යාපනයක් ලද එච්.ඇස්.පෙරේරා ඉංග්‍රීසිත්, සිංහලත් යන දෙක ම හරිහරියට ලියන්නට කියන්නට භාවිත කරන්නට හැකි උගතෙක් වූයේ ය. ඒ කාලයේ හෙතෙම මහනුවර උසාවියේ ලිපිකරුවකු ලෙස කටයුතුª කරද්දී ම සිංහල පත්‍ර සඟරාවලට ලිපි ලියන්නට පටන් ගත්තේ ය.

ඒවා බෙහෙවින් සිංහලකම බෞද්ධකම දේශානුරාගය ඉස්මතු කරන ලේඛන විය. එවක ප්‍රකට පත්‍රයක් වූ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ ‘සරසවි සඳරැස’ පත්‍රයට නිතර ලිපි සපයන්නට වූ හෙතෙම මහනුවර පරම විඥානාර්ථ බෞද්ධ සංගම් ශාඛාවට බැඳී පොදු සේවාවල ද නිරත ව සිටියේ ය.

1893 අප්‍රේල් මාසයේ ඔහුට ‘සරසවි සඳරැස’ පත්‍රයේ කළමනාකාර ධූරය බාර ගන්නා ලෙස ඇරැයුම් ලැබුණේ කරමින් සිටි රජයේ රැකියාවෙන් ඉවත් ව එන හෙයින් කුමන වැටුපක් කුමන පහසුකම් අවශ්‍ය ද යන්න සමාගම විසින් විමසමිනි. පෙරේරා මහතා එවිට කියා සිටියේ ජීවත්වන්නට වේතනයකුත් හිසට හෙවණට ලැගුම් පොළකුත් තිබුණොත් ප්‍රමාණවත් බව ය.

ඔහුගේ කළමනාකාර ධූරය යටතේ පත්‍රය මහත් දියුණුවට පත්වූ බැව් කියැවේ. ‘සරසවි සඳරැස’ පත්‍රයේ කර්තෘවරයා ව සිටි වේරගම පුඤ්චිබණ්ඩාර මහත්මා 1903 දී අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ සමාගම විසින් පත්‍රයේ කර්තෘ ධූරයට එච්.ඇස්.පෙරේරා මහතා පත්කරන ලදී. පත්‍රය දියුණුවට පත්කරමින් ඔහු 1909 දක්වා ‘සරසවි සඳරැස’ ප්‍රධාන කර්තෘ ධූරය හෙබැවීය. පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ අර්බුදකාරී කරුණක් හේතුවෙන් ඔහුට එකී ප්‍රධාන කර්තෘ පදවියෙන් ඉවත් වන්නට සිදුවිය. සමාගමේ තොරතුරුවලින් කියැවෙන්නේ ඔහු තනතුරෙන් ඉවත් කළ බවයි. ඒ බව සනාථ කරන දැන්වීමක් 1909 නොවැම්බර් 30දා සරසවි සඳරැස පත්‍රයේ මෙසේ පළවී තිබුණි.

’දැන්වීමයි - කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයිති ‘සරසවි සඳරැස’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධූරය ඉසුලූ එච්.ඇස්.පෙරේරා මහතා මේ මස 16 වෙනි දින ඒ ධූරයෙන් අස්කළ බැව් සියලු දෙනා වෙත මෙයින් දැනුම් දෙමි. මේ වගට, ජී.රොබට් ද සිල්වා, කො.ප.වි. බෞ.ස.ලේකම් තැන’

’දිනමිණ’ පත්‍රය ආරම්භ වීමට කරුණු යෙදුණේ මේ හෙයිනි. සර් ඩී.බී.ජයතිලක මහතා ඔහුගේ මස්සිනා වූ රොබට් බටුවන්තුඩාවේ මහතා සමඟ පත්‍රයක් කිරීමට කතිකා කළේ සඳරැසින් ඉවත් වූ එච්.ඇස්.පෙරේරා මහතා ඒ කාර්යය සඳහා යොදවන අටියෙනි. අන්ද්‍රිස් ද සිල්වා බටුවන්තුඩාවේ ප¼ඩිතුමාගේ පුත්‍රයා වූ රොබට් බටුවන්තුඩාවේ මහතා ලංකාභිනව විශ්‍රැත යන්ත්‍රාලයේ අධිපතිවරයා විය. සර් ඩී.බී., බටුවන්තුඩාවේ සහ එච්.ඇස්.පෙරේරා පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි බැහැදැක කාරණය සැල කොට සිටියහ. “සඳරැසට ඉහළින් හිටින්නට නම් ඉතින් දිනමිණ නො වැ” යනුවෙන් නාහිමියෝ ගත්කටට ම කීහ. එසේ ‘දිනමිණ’ පත්‍රයට නම ලැබිණි.

එච්.ඇස්.පෙරේරාගේ දිනමිණ පත්‍රය නිකුත් වන්නට පෙර පටන් ම ඊට හොඳ ප්‍රතිචාර ලැබිණි. 1909 දෙසැ. 1දා ‘සිංහල ජාතිය’ පත්‍රයේ පළ වී තිබූ ප්‍රවෘත්තියක මෙසේ සඳහන් ව තිබිණි. ‘දිනමිණ නමින් දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක් මේ මස 17 වෙනි දින පටන් ප්‍රසිද්ධ කිරීමට පටන් ගන්නා බව ප්‍රසිද්ධ ව තිබේ. මෙම පත්‍රය එච්.ඇස්.පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් බටුවන්තුඩාවේ මැතිඳුන් සම්බන්ධ ව පවත්වන එකකි. බලසම්පන්න දිනපතා පත්‍රයක් නැතිකම සිංහල ජාතියට අගෞරවයකි. අවශ්‍යයෙන් උවමනාව තිබූ මේ වැඩේ මෙසේ ඉෂ්ට වනු දැක්ම අපට බලවත් ප්‍රීතියකි...’

දිනමිණ මුල් පත්‍රයට එච්.ඇස්.පෙරේරා මහතා විසින් ලියන ලද කර්තෘ වාක්‍යයෙහි පහත දැක්වෙන උද්ධෘත දෙස බලද්දී ඔහුගේ ලේඛන ශෛලියත් පරමාර්ථයත් කාර්යශූර භාවයත් කෙසේ වී දැයි වටහා ගැනීමට හැකි ය. ‘ශ්‍රී ලංකාද්වීපවාසී සිංහල මහාජනයා අතර මෙකල පවත්නා දියුණුවට ප්‍රවෘත්ති පත්‍ර අතිශයොපකාරී වූ බැව් රටේ තොරතුරු දන්නා කාටත් ප්‍රත්‍යක්ෂ විය යුතු සත්‍යයකි.

ශාස්ත්‍රඥානයෙන් ද වෙළහෙළඳාම් කෘෂිකර්මාදියෙන් ද ස්වදේශවාත්සල්‍යාදී ජාතියක් උසස් වීමට හේතු වූ ගුණධර්මයන්ගෙන් ද අපේ සිංහල ජන සමූහයා ගත වූ ශතවර්ෂාර්ධය තුළ සැලැකිය යුතු ප්‍රමාණයකට දියුණු ව සිටින බැව් කිව යුතුයි.’ අනතුරුව පෙරේරා මහතා දිනමිණ ගැන සඳහන් කරමින් මෙසේ පවසා ඇත. “ප්‍රවෘත්ති පත්‍රයක් පිළිබඳ ව ඇති විය යුතු සියලු ම අංගයන්ගෙන් මේ දිනමිණ පත්‍රය ද සම්පූර්ණ කිරීමට අපේ බලවත් උත්සාහයක් පවත්නා බැව් මේ පළමුවැනි පත්‍රය කියවන කාටත් සුවසේ වැටැහේ යයි අපගේ ස්ථිර විශ්වාසයයි.”

දිනපතා පත්‍රයක් පවත්වා ගෙන යෑම කෙතරම් අසීරු කරුණක් ද යන්න මෙන් ම එච්.ඇස්.පෙරේරා මහතා ගේ කෘතහස්ත භාවය ගැන ද දිනමිණ නිකුත් වීමත් සමඟ 1909 දෙසැ. 22 ‘කවට කතිකයා’ පත්‍රයේ පළ වී තිබුණේ මෙසේ ය : ‘...දිනපතා පත්‍රයක් පැවැත්වීමේ අමාරුකම මීට ප්‍රථම පැවැත්වූ ‘දිනපතා ප්‍රවෘත්ති’ නම් පත්‍රය නැති වී යාමෙන් ප්‍රත්‍යක්ෂ විය. නමුත් ඒ කිසිවක් ගැන මන්දෝත්සාහි නොව සඳරැස පත්‍රයෙහි බොහෝ කාලයක් කර්තෘ ධූරය ඉසිලීමෙන් ඇති වූ ජාත්‍යාභිවාසය හෙවත් ජාත්‍යාලය හේතු කොටගෙන දිනමිණ නම් මේ ප්‍රවෘත්ති පත්‍රය ආරම්භ කළේ යයි සිතමු.’

මේ අභියෝගය ජයගත් එච්.ඇස්.පෙරේරා මහතා දක්ෂ පුවත්පත් කලාවේදියකු මෙන් ම දක්ෂ ලේඛකයකුª ද වූ වග ඒ ආසන්නයේ ම එනම් 1910 ජනවාරි 1දා ‘සිංහල ජාතිය’ පත්‍රයේ පළ වී තිබූ මේ කරුණු මනා සාක්ෂ්‍යයකි. ‘...දේශපාලන ක්‍රමාදිය සම්බන්ධ ව ලිවීමෙහි කීර්තිධර එච්.ඇස්.පෙරේරා මහතාගේ වාක්‍යවල ඇති සාරවත් භාවය මේ ටික දින තුළදී ම බොහෝ දෙනාට අවබෝධ වී තිබෙනු දැක්ම අපට ප්‍රීතියකි.’ මේ බව සනාථ කරමින් එච්.ඇස්.පෙරේරා මහතා දිනමිණ ඉතා හොඳින් පවත්වා ගෙන ගිය බවට ඊට දෙවසරකට පසු එනම් 1912 මාර්තු ‘ලකඟන හසුන’ නම් ප්‍රකාශනයෙහි පළ වී තිබූ මේ කවිය කදිම නිදසුනකි.
 

’පිනමින මුනිබසා හෙළි කරමින් සොබන

දින දින දින රැසා වැඩ වැඩුමට දිතන

දිනමිණ කතු පුතා මතු ලොවට වැඩ වන

දින දින දෙවි ඉතා පෙමැති ව රකු යෙහෙන’

1914 වන තෙක් ම එච්.ඇස්.පෙරේරා මහතා දිනමිණ හොඳින් පවත්වා ගෙන ගිය අතර ඒ වසර මැද භාගයේ දී ඔහු අසනීප විය. පෙරේරා මහතා හැඳල පදිංචි ව සිටි රණවක ආරච්චිගේ අල්විස් ජයතිලක මහතාගේ දියණියක හා විවාහප්‍රාප්ත ව සිටි අතර ඒ වන විට කුඩා දියණියන් දෙදෙනකු ගේ පියා ව සිටියේ ය. පෙරේරා මහතාගේ අසනීපය පිළිබඳව තතු දිනමිණ පත්‍රයක පළ වී තිබුණි. ‘..පසුගිය ජූනි මස 3 වෙනි දින පෙරේරා මහතා කන්තෝරුවට පැමිණිය නො හැකි වූ සේ ගිලන් බවට පැමිණියේ ය.

විදුලි පුවත් ආදිය ලියමින් පත්‍රයේ කටයුතු රෝගාතුර ව සිටගෙන ම අනූන ව සිද්ධ කරන ලද්දේ ය. දැනට ආරම්භ ව තිබෙන මහා යුද්ධයෙන් පසු ‘යුරෝපයේ ලේ වැගිරීම’ යන මාතෘකාවෙන් අංක පිළිවෙළින් පසුගිය පත්‍රයේ මැද වන තුරුම ලියන ලද වාක්‍ය පංක්තිය උන්නැහේගේ අතින් ම ලියන ලදී.’

එච්.ඇස්.පෙරේරා මහතා යටතේ දිනමිණ පත්‍රයේ අකුරු අමුණන්නට පැමිණි එක්තරා දක්ෂ තරුණයෙක් එවක සිටියේ ය. ඔහු ඇම්.ඩී.ගුණසේන නම් විය. පසුව ප්‍රකට මුද්‍රණකරුවෙකු හා පොත් ප්‍රකාශකයකු බවට පත් වී මේ තරුණයා ඇම්.ඩී.ගුණසේන සහ සමාගමේ අධිපතිවරයා වූයේ ය. පසුකාලයේ දීත් එච්.ඇස්.පෙරේරා මහතාට ගරු කළ ගුණසේන මහතා තම වැඩිමහල් පුත්‍රයාට සේපාල ගුණසේන යැයි නම් තැබුවේ පෙරේරා මහතාගේ නමේ ‘සේපාල’ යන කොටස උපුටා ගනිමින් ඔහු සිහිපත් කිරීමේ අටියෙනි.

එච්.ඇස්.පෙරේරා මහතා ධනය එක් රැස් කළ තැනැත්තෙක් නො වීය. ඔහුගේ දිවි මඟ ගෙවී ඇත්තේ ගුණවත් ලෙසින් බව තත්කාලීන තොරතුරුවලින් පැවැසේ. පෙරේරා මහතා රෝගාතුර ව සිටි කාලය හා දිනමිණ පත්‍රය ඩී.ආර්.විජයවර්ධන මහතාට අයත් වීම පිළිබඳ තොරතුර ඩී.ආර්.විජයවර්ධන චරිත කථාවේ දැක්වෙන්නේ මෙලෙසිනි. ‘ඩී.ආර්.විජයවර්ධන මහතා.. එච්.ඇස්.පෙරේරා මහතාගෙන් දිනමිණ පත්‍රය මිලට ගත්තේ ය. .... එච්.ඇස්.පෙරේරා මහතා අසාධ්‍ය රෝගයකින් ඔත්පළ විය.

ඔහු අයත් පත්‍රය නවතින තැනට කරුණු යෙදුණේ ය. එසේ වීමෙන් රටට වන පාඩුවත් ලෙඩ ඇඳට වී සිටින එච්.ඇස්.පෙරේරා මහතාට මුදල් අතින් තිබූ දුෂ්කරතාවත් ගැන සැලැකූ ඩී.බී.ජයතිලක මහතා ඒ දෙක ම හොඳින් පිරිමැසෙන්නට පත්‍රය හොඳින් පවත්වා ගෙන යෑමේ ශක්තිය ඇති කෙනෙකුට මිලට ගෙන දීමට අදහස් කළේ ය. මේ ගැන සිතන විට ජයතිලක මහතාට පෙනී ගියේ ඩී.ආර්.විජයවර්ධන මහතා ය..... විජයවර්ධන මහතාට මේ ගැන කථා කළ විට ඔහු ඊට කැමැති විය.’

එච්.ඇස්.පෙරේරා මහතා එකී අසනීපය පිට 1914 දෙසැම්බර් 10 බ්‍රහස්පතින්දා රාත්‍රී සිය නෑ හිතවතුන් ඉදිරියේ දීම අවසන් හුස්ම හෙළී ය. ඔහුගේ අභාවය නිමිත්තෙන් 1914 දෙසැ. 19 දින දිනමිණ පත්‍රයේ පළවූ ලිපිය අවසන් කොට තිබුණේ ඔහුගේ අවසන් කටයුතු සිදුවූ අයුරු පැවැසීමෙනි. ‘...මේ මහතාගේ් මෘත ශරීරය 12 වෙනි සෙනසුරාදා සවස 4ට කනිසම් වෙලාවට ශොභමාන පෙට්ටියක බහා සුදු අශ්වයකු යොදන ලද රථයකින් බෑන්ඩ් තූර්යය සහිත ව බොහෝ වැදගත් සමූහයා පිරිවරාගෙන කනත්තේ සොහොන් භූ®මියට පමුණුවා සියම් අමරපුර දෙනිකායෙන් විසිපස් නමක් පමණ මහා සංඝයා වහන්සේ වැඩමවා ආගමේ කෘත්‍යයන් නිම කොට ආදාහන කෘත්‍යය කරන ලද්දේ ය.

මේ ප්‍රස්තාවයෙහි දී සංඝයා වහන්සේ වෙනුවෙන් බෝරුක්ගමුවේ රේවත ස්වාමිපාදයන් වහන්සේ ද ශාස්ත්‍රාචාර්ය ඩී.බී.ජයතිලක අද්වකාත්තුමා ද පී.බී.රත්නායක මහතා ද පියදාස සිරිසේන මහතා ද කථා පැවැත්වූහ... එච්.ඇස්.පෙරේරා මහතාගේ පරලෝක ප්‍රාප්තිය සිංහල මහාජනයාට විශේෂයෙන් බලවත් පාඩුවක්.... සබ්බෙ සංඛාරා අනිච්චා’

එච්.ඇස්.පෙරේරා පත්‍රකලාවේදියාණන් අභාවප්‍රාප්ත වී ඉකුත් 10දාට වසර 95ක් සපිරුණි. එදා ස්ථාපිත කළ එතුමාගේ සොහොන් කොත බොරැල්ල කනත්ත සුසාන භූ®මියෙහි අදත් දකින්නට ඇත.