දිනමිණ හමුවේ ඇති අභියෝග
 

දිනමිණ හමුවේ ඇති අභියෝග

 

දිනමිණ සැකැසීමේ සිට නූතන තාක්ෂණික දියුණුව දක්වා

ඒ වන විටත් සිංහල බෞද්ධයා, සිංහල ජාතිය වැනි පුවත්පත් විසින් කුළුගන්වමින් තිබූ මෙරට ජාතික ව්‍යාපාරය ‘දිනමිණ’ මඟින් වඩාත් මෙළවීම ශ්‍රීමත් ඩී.බී.ජයතිලක වැනි ජාතික ව්‍යාපාරයේ පුරෝගාමීන් ගේ අපේක්ෂාව විය. වියතුන්ට පමණක් විශාල වශයෙන් සීමා වී තිබූ පුවත්පත් පොදු ජනතාව අතරට පත්වීමසිදුවූයේ ද‘දිනමිණ’ ඇරැඹීමත් සමඟිනි.

මුද්‍රිත මාධ්‍ය පුවත්පත අද තිබෙන ස්වරූපය දක්වා වර්ධනයවීම ඇරැඹෙන්නේ 17 සියවසේ ආරම්භයත් සමඟයි. එවැනි මුල් ම පුවත්පත 1605 දී ස්ට්‍රැස්බෝග් හි දී ප්‍රකාශයට පත්වූ ජෝන් කැරොලස් ගේ Relation aller Furnemmen und gedenckwurdigen Historien ලෙස පිළිගැනේ.

නූතන ජර්මනියේ පළමු පුවත්පත 1609 දී ඔග්ස්බර්ග් හි දී ප්‍රකාශයට පත්වූ  Avisa  පුවත්පතයි. 1618 වනවිට, ජාත්‍යන්තර වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් ව තිබූ නෙදර්ලන්තයේ, ඇමස්ටර්ඩෑම් හි දී විවිධ භාෂාවලින් පුවත්පත් ප්‍රකාශයට පත්වීම ආරම්භ විය. ඒ වන විටත් අදාළ මව් රටවල හෝ පුවත්පත් පළවීමක් සිදුවූයේ නැත.

ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ මුල් ම පුවත්පත ලෙස සැලැකෙන Corrant, 1620 දී ඇමස්ටර්ඩෑම්හි දී ප්‍රකාශයට පත්විය. ඊට වසර එකහමාරකට පමණ පසු ඉතාලිය, ජර්මනිය, හංගේරියාව, පෝලන්තය ආදී රටවල් කිහිපයක් දක්ව Corrant ව්‍යාප්ත විය. ප්‍රංශයේ මුල් ම පුවත්පත 1631 දී පළවූ La Gazettex. (ආරම්භයේ Gazette de France). 1638 වන විට ආසියාව, යුරෝපයේ පළ වූ පුවත්පත්වලට සමාන පුවත්පතක් ප්‍රකාශයට පත්කිරීම සඳහා යොමුවිය. ඒ, Peking Gazette පුවත්පත එය මුද්‍රණය වූ ලී පුවරුවේ සිට සාමාන්‍ය මුද්‍රිත පුවත්පතක් බවට පරිවර්තනය වීමෙනි.

මේ වකවානුවේ ප්‍රකාශයට පත්වීම ඇරැඹී අදටත් පවත්වාගෙන යන පුවත්පත 1645 දී ස්වීඩනයේ පළවූ Post – och Intikes Tidningar (ආරම්භයේ Ordinari Post Tijdender). එය දැනට පළවන්නේ අන්තර්ජාල සංස්කරණයක් ලෙස පමණි. 1656 දී හාර්ලෙම් හි දී ඇරැඹි Opregte Haar lemche Counant අදටත් මුද්‍රණයෙන් පළවන පැරැණි ම පුවත්පත ලෙස පිළිගැනේ. ජර්මනිය, නෙදර්ලන්තය ආක්‍රමණය කිරීමෙන් පසු Haarlem Dagblad  සමඟ ඒකාබද්ධ වූ එය ඉන් ඉදිරියට පළවූයේ ඒ නමිනි.

එහෙත්, Operechte Haerlemse Courant යනුවෙන් වන උපශීර්ෂයක් ද එහි සටහන් වේ. සාර්ථක වූ පළමු දිනපතා ඉංග්‍රීසි පුවත්පත 1702 සිට 1735 දක්වා ප්‍රකාශයට පත්වූ The Daily Courant ය. 1690 වන විට උතුරු අමෙරිකාවේ පුවත්පත් මුද්‍රණය ඇරැඹිණි. පළමුවැන්න බෙන්ජමින් හැරිස් ගේ Publick Occurrences ය.

එම පුවත්පත මුල් මුද්‍රණයත් සමඟම රජය විසින් නතර කරන ලදී. 1704 සිට ප්‍රකාශයට පත්වූ The Boston News – letter අමෙරිකාවේ කොලනිවල ව්‍යාප්ත වූ පළමු පුවත්පතයි. එය අඛණ්ඩ ව පළවූ අතර නිව්යෝර්ක් හා පිලඩෙල්පියා හි සති අන්ත පුවත්පත් පළවීම ඇරැඹිණි. බ්‍රිතාන්‍යයේ පළවූ පුවත්පත්වලට ඒවා බෙහෙවින් සමාන විය.

ප්‍රවෘත්ති පවා බොහෝදුරට බ්‍රිතාන්‍යයෙන් සපයා ගත් ඒවා විය. සංස්කාරකවරුන්ගේ අභිමතය අනුව ම ඒවා පළවූ බව පෙනීයයි. අමෙරිකාවේ පළවූ පළමු දිනපතා පුවත්පත ලෙස සැලැකෙන්නේ 1783 සිට ප්‍රකාශයට පත්වූ Pennsylvaniar Evening Post  පුවත්පතයි. මේ අතරතුර 1751 දී කැනඩාව ද සිය මුල් ම පුවත්පත පළකෙරුවේ ය. ඒ, ජෝන් බුෂෙල් පළකළ Halifax Gazette පුවත්පතයි.

මේ ආකාරයට ක්‍රමයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් පුවත්පත් කර්මාන්තය විශාල ඉදිරි පිම්මක් පනින්නේ කාර්මික විප්ලවයත් සමඟයි. 19 වන සියවස වන විට යුරෝපය, උතුරු හා දකුණු අමෙරිකාව පුරා පළ වෙමින් තිබූ පුවත්පත් යනුවෙන් හඳුනාගත් සෑම ප්‍රකාශනයක් ම එකාකාර දියුණු වූයේ නැත. ඒවායේ අන්තර්ගතය ද ප්‍රාදේශීය හා සංස්කෘතික අනන්‍යතාවන් අනුව තීරණය විය. කාර්මික විප්ලවයෙන් අනතුරු ව මුද්‍රණ තාක්ෂණය ලැබූ දියුණුව උසස් තත්ත්වයේ පුවත්පතක් ප්‍රකාශයට පත්කිරීම සඳහා හේතුවිණි.

1814 දී ලන්ඩනයේ පළවූ The Times පුවත්පත සතු ව දියුණු මුද්‍රණාලයක් තිබිණි. පිටපත් 1000ක් මුද්‍රණය කිරීම සඳහා ඊට ගතවූයේ සුළු කාලයකි. ඉතාමත් ඉක්මනින් ම, එකවර පිටුවේ දෙපස ම මුද්‍රණය කළ හැකි තාක්ෂණය කරා යාමට හැකිවිණි. මේ වෙනස්කම් සමඟ වැඩි පාඨක පිරිසක් අතට පුවත්පත සමීප වූ අතර මිලෙන් ද වඩා ලාබදායී විය. 1830 දී ලින්ඩ් එම්.වෝල්ටර්ස් විසින් Transcript නමින් පළ කළ පුවත්පත එතෙක් පැවැති මිලට වඩා සය ගුණයක් පමණ අඩුවෙන් පාඨකයාට ලබාගත හැකි විණි. එය විශාල පාඨක පිරිසක් වෙතට ළඟාවීමට මේ කාර්යය බලපෑවේ ය.

කාර්මික විප්ලවය විසින් එතෙක් ප්‍රාථමික මට්ටමක තිබූ පුවත්පත් කර්මාන්තය ශීඝ්‍ර වෙනසකට ලක්කරන ලදී. මුද්‍රණ තාක්ෂණයේ ඇතිවූ දියුණුව ජන සන්නිවේදන ක්‍ෂේත්‍රයෙහි ප්‍රබල පරිවර්තනයක් ඇතිකරන්නට හේතුවිය. ඉක්මනින් මුද්‍රණය කිරීමේ හැකියාවත්, බෙදාහැරීමේ දියුණුවත් සමඟ ලොව පුරා කියැවීමේ රුචිය ද වර්ධනය විය. ලෝක සාක්ෂරතාව ඉහළ නැංවීමට එය හේතුවිණි.

කාර්මික විප්ලවයේ මෙන් ම, මුද්‍රණ තාක්ෂණයේ බලපෑම් ශ්‍රී ලංකාවට ද දැනෙමින් තිබිණි. ඒ වනවිට භාවිත වූ මුද්‍රණ ශිල්පය ක්‍රමයෙන් වෙනස්කම්වලට භාජන වන්නට විය. ශ්‍රී ලංකාව මුළුමනින් අධිරාජ්‍ය වාදීන්ට යටත් වී සියවසකට ආසන්න වෙමින් තිබිය දී ජාතිකවාදී ව්‍යාපාරයක අවශ්‍යතාව හඳුනාගැනී තිබිණි.

“සිංහල ජාතිය”, “සිංහල බෞද්ධයා” ආදී පුවත්පත් සිංහල - බෞද්ධ ජනමතයක් ඇතිකිරීම සඳහා විශාල ප්‍රයත්නයක යෙදී සිටියේ ය. එච්.එස්.පෙරේරා මහතා ‘දිනමිණ’ යනුවෙන් පළ කරමින් තිබූ පුවත්පත ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බිඳවැටෙමින් තිබියදී ඩී.ආර්.විජේවර්ධන මහතා විසින් මිලට ගන්නා ලදී. විජේවර්ධන මහතා තම පුවත්පත් ව්‍යාපාරයේ පළමු සිංහල පුවත්පත ලෙස ‘දිනමිණ’ මුලින් ම ආරම්භ කරන ලද්දේ 1909 දෙසැම්බර් 17 දා ය.

ඒ වන විටත් සිංහල බෞද්ධයා, සිංහල ජාතිය වැනි පුවත්පත් විසින්, කුළුගන්වමින් තිබූ මෙරට ජාතික ව්‍යාපාරය ‘දිනමිණ’ මඟින් වඩාත් මෙළවීම ශ්‍රීමත් ඩී.බී.ජයතිලක වැනි ජාතික ව්‍යාපාරයේ පුරෝගාමීන් ගේ අපේක්ෂාව විය. එතෙක් වියතුන්ට පමණක් විශාල වශයෙන් සීමා වී තිබූ පුවත්පත් පොදු ජනතාව අතරට පත්වීම සිදුවූයේ ද ‘දිනමිණ’ ඇරැඹීමත් සමඟිනි. විජේවර්ධන මහතා තම පුවත්පතේ සෑම අංශයක් කෙරෙහි ම බෙහෙවින් උනන්දු විය. පාඨකයා ගැන මෙන් ම පුවත්පතේ වාණිජ පදනම ගැන ද අවධානය යොමු කෙරිණි.

”...ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් පෙන්වා දෙන පරිදි විජේවර්ධන, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විධිමත් පුවත්පත් සංවිධානයක් ඇති කළේ ය. විධිමත් කළමනාකරණය, කතුවරුන් පත්කිරීම, මුද්‍රණ පහසුකම් ඇතිකිරීම, පින්තූර පළ කිරීම, බෙදාහැරීම, දැන්වීම් මඟින් පුවත්පතට ආදායම් ලබාගැනීම ආදී ක්‍රියාමාර්ග තුළින් විජේවර්ධන තම පුවත්පත ඉතා ප්‍රබල පදනමක් මත පිහිටුවන ලදී. ‘ලේක්හවුස්’ එදා ඉන්දියාවේ පවා නොතිබූ අන්දමේ පුවත්පත් ආයතනයක් වූ අතර, තාක්ෂණික අතින් ද එය ඉතා ඉහළ මට්ටමක පැවැතිණි..”

(ශ්‍රී ලංකාවේ පුවත්පත් අයිතිය සහ දේශපාලන සන්නිවේදනය” – ගාමිණී විජේතුංග)

පුවත්පතක් සියක් වසරක් අඛණ්ඩ ව පැවැතීමම සුවිශේෂී කාරණයකි. එය දිනපතා පුවත්පතක් වන විට මේ තත්ත්වය වඩාත් ප්‍රබල ය. ‘දිනමිණ’ වසර 100ක් සපුරන මොහොතේ එය ආකෘතියෙන්, අන්තර්ගතයෙන් මෙන් ම තාක්ෂණයෙන් ද වඩාත් පොහොසත් වෙමින් ප්‍රබල ජාතික පුවත්පතක් ලෙස වැජඹීමට ප්‍රධාන හේතුව දිනමිණට ලැබුණු මේ ශක්තිමත් පදනමයි. එකී පදනම මත සුවිසල් ව වැඩුණු දිනමිණ, පසුකර ආ සියවසේ හමුවූ නොයෙක් අභියෝග ජයගනිමින් ඉදිරි සියවස දෙස බලන්නේ ජීවයෙන් යුතුªව ය.

පුවත්පතේ තාක්ෂණික අංශය පිළිබඳ වඩා අවදානය යොමු කිරීම මෙහි අරමුණ නිසා අද ඔබ අතට පත්වන ‘දිනමිණ’ පුවත්පතේ ඒ ක්‍රියාවලිය සිදුවන අයුරු විමසා බැලීම වැදගත් වේ.

ප්‍රවෘත්ති අංශයට ලැබෙන පුවත් සහ විශේෂාංග අංශයේ ලේඛක - ලේඛිකාවක් විසින් ලියන ලද උප කතුවරුන් අතින් වඩාත් ඔපමට්ටම් වූ විශේෂාංග ද යොමුකෙරෙන්නේ පරිගණක අකුරුකරණය සඳහා ය. එය සිදුවන්නේ දිනමිණ වී.ඩී.ටී.අංශයේදී ය. පරිගණක මුද්‍රිත පිටපත සෝදුපත් කියැවීමේ අංශයට යොමුවීමෙන් පසු මුල් පිටපත හා සසඳමින් නිරවද්‍යතාව පරීක්ෂා කිරීම සිදුවේ.

උපකතුවරුන් විසින් තෝරාගනු ලබන පිටුවට අවශ්‍ය ඡායාරූප, වර්ණ සංයෝජනය හා ග්‍රැෆික් නිර්මාණ ආදී කටයුතු සිදු කරමින් එය නිසියාකාර ව සකසා දෙන්නේ පෙර මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ස්කෑන් සහ ග්‍රැෆික් අංශයෙනි. සාමාන්‍යයෙන් පුවත්පතක පිටු සැලැසුම් සිදුවන්නේ දැන්වීම් අංශයෙන් ලබාදෙන ඩමියක් මත ය. පුවත්පතේ අඩංගු පිටු ප්‍රමාණය පවා ඒ මත තීරණය වෙයි.

උපකතුවරුන්ගේ ක්‍රියාවලියෙන් පසු අදාළ ලිපි, ප්‍රවෘත්ති, ඡායාරූප ආදිය එක්තැන් කරමින් ප්‍රවෘත්ති හා විශේෂාංග පිටු නිර්මාණය කෙරෙන්නේ කර්තෘ මණ්ඩල පිටු සැලසුම් අංශයෙනි. මෙහිදී පරිගණක ආශි‍්‍රත ව නිර්මාණය වන ‘දිනමිණ’ පිටු පරිගණක මුද්‍රිත පිටපත් ලෙස ලබා ගැනේ. යළි ඒවා උපකතුවරුන්, අංශ ප්‍රධාන කතුවරුන් හා ප්‍රධාන කර්තෘවරයාගේ් අධීක්‍ෂණයට ලක්වෙයි. පුවත්පත මුද්‍රණය සඳහා යැවෙන්නේ ඒ අනුමැතිය ලැබීමෙන් පසුව ය. පුවත්පත මේ පියවර දක්වා ළඟාවන විට ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ පටන් විශාල පිරිසක ගේ දායකත්වය ඊට ලැබී තිබේ.

පුවත් හා විශේෂාංග එයාකාර පිළියෙල වන අතර පුවත්පතට ලැබෙන දැන්වීම් වී.ඩී.ටී. අංශය මඟින් පරිගණක අකුරුකරණය වී අදාළ සෙසු පියවර සම්පූර්ණ කිරීමෙන් පසු පෙර මුද්‍රණ අංශයෙන් පුවත්පතට සකස් කෙරේ.

මේ දැන්වීම් හා කර්තෘ මාණ්ඩලිකයන් අතින් නිමැවුණු පුවත්පත් පිටු පරිගණක ආශ්‍රයෙන් නිෂ්පාදන පාලන අංශයට යොමුවීම ඊළඟ පියවරයි. එහිදී සියලු පිටුවල නිරවද්‍යතාව, වර්ණ සහ කළු සුදු පිටුවල නිවැරැදි බව තවදුරටත් තහවුරු කර ගනී. ඉන්පසු ඒ පිටුවල ඍණ පටල (Negatives) ගැනීමට ප්‍රතිබිම්බ අංශය (Imagin Section) වෙත යොමු කැරේ. මේ ඍණ පටල මුද්‍රණ තහඩු වලට ලබාගැනීම සඳහා සැලසුම් හා මුද්‍රිත තහඩු අංශයට (Planing and Plate making section) යැවේ.

එහිදී පත්‍රය මුද්‍රණය විය යුතු ආකාරයට සැලසුම් කළ ඍණ පටල ආලෝක ධාරාවක් ඔස්සේ මුද්‍රණ තහඩුවලට ලබාදෙයි. ස්වයංක්‍රීය මුද්‍රණ තහඩු නිෂ්පාදන යන්ත්‍රයෙන් මෙපරිදි අංග සම්පූර්ණ මුද්‍රණ තහඩු ලබා ගනී. පත්‍රය මුද්‍රණය වන අවස්ථාවේදී එහි අඩංගු දෑ වල තත්ත්ව පාලනය ද මේ අංශයෙන් සිදුවේ. මේ නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් කාර්යක්‍ෂම කිරීම සඳහා නුදුරු අනාගතයේදී නවතම සී.ටී.පී. තාක්‍ෂණය (ඛ්ධථනභබඥප බධ ර්‍ථතචබඥ) හඳුන්වාදීමට නිෂ්පාදන අංශය සූදානම් ය.

මෙපරිදි නිමවෙන මුද්‍රණ තහඩු ඊළඟට යොමු කෙරෙන්නේ මුද්‍රණ අංශයටයි. මෙය ‘රොටරි මුද්‍රණ අංශය’ ලෙස ද හඳුන්වයි. පෙර මුද්‍රණ අංශයෙන් ලැබෙන මුද්‍රණ තහඩුව මුද්‍රණ තහඩුවට සවි කිරීමත්, මුද්‍රණය ඇරැඹීමත් සිදුවන්නේ මෙහිදී ය. පිටුවල ඇති ඡායාරූපවල වර්ණ ගැළැපීම හා සමපාත කිරීම, පිටු නැවීම, කැපීම ආදිය ක්‍රමානුකූල ව යන්ත්‍රානුසාරයෙන් ම සිදුවේ. මෙලෙස මුද්‍රිත පුවත්පත “කන්වෙයාර් පටයක්” මතට යොමු කැරේ.

මේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් පසු ‘ඩිස්පැච්’ හෙවත් පසු මුද්‍රණ අංශයට යැවෙන්නේ සම්පූර්ණ පුවත්පතකි. අලෙවි අංශයට ලැබෙන ඇණවුම්වලට අනුව ඒ ඒ පුවත්පත් නියෝජිතයන් මඟින් බෙදා හැරීම සඳහා ප්‍රවාහන අංශයට යොමු කිරීමෙන් පසු මේ සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණ වෙයි. ඔබ අතට ‘දිනමිණ’ පත්වන්නේ මෙපරිදි ය.

මුද්‍රිත පුවත්පත එයාකාරයෙන් ප්‍රකාශයට පත්වන අතර, මුද්‍රිත පුවත්පත් කර්මාන්තයට අන්තර්ජාලය හඳුන්වාදීමත් සමඟ එල්ලවූ අභියෝගය ජය ගැනීමට ද ‘දිනමිණ’ සමත් වූයේ ය. ‘දිනමිණ’ අන්තර්ජාල සංස්කරණය පරිගණකය ඔස්සේ ඔබ වෙත ළඟා වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

1980 ගණන්වල සිට පුවත්පත් මුද්‍රණයේදී ඕෆ්සෙට් මුද්‍රණය වඩා ව්‍යාප්ත විය. දියුණු පරිගණක මෘදුකාංග, ඩිජිටල් කැමරා වැනි නවීන තාක්‍ෂණික මෙවලම් මඟින් පුවත්පත් කර්මාන්තයේ විප්ලවිය වෙනසක් ඇතිකර තිබේ. නූතනයේ පළ වෙන පුවත්පත් ප්‍රමාණ 03 කින් යුතු ය.

(i) බ්‍රෝඩ් ෂීට් (600mm x 380mm හෙවත් අඟල් 23 ½15)

(ii) ටැබ්ලොයිඩ් (380mm x 300mm හෙවත් අඟල් 15 ය 11 ¾)

(iii) මධ්‍යම ප්‍රමාණය (470mm x 315mm  හෙවත් අඟල් 18 ½ 12 ¼)

මෙහිදී ද මේ සෑම ප්‍රමාණයක ම මුද්‍රිත පුවත්පත් දැකිය හැකි ය.

ව්‍යාපාරික සහ තාක්‍ෂණික ලෝකයේ, ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංගි‍්‍රසි භාෂාව භාවිතවීම ඇරැඹීමත් සමඟ විවිධ භාෂාවලින් ප්‍රකාශයට පත්වු පුවත්පත්වලට ඉංගී‍්‍රසි සංස්කරණයන් කරා යොමුවීමට සිදුවිය. අන්තර්ජාලය හඳුන්වාදීමත් සමඟ තම පුවත්පත් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ලොව පුරා පාඨකයා අතට සමීප කිරීමෙහිද බොහෝ පුවත්පත් උනන්දු විය.

මේ වනවිට සෑම ප්‍රධාන පුවත්පතක් ම පාහේ මේ අභියෝග ජයගෙන ඇත. එහෙත් මුද්‍රිත පුවත්පතේ පැවැත්ම කෙරෙහි පරිගණක තාක්‍ෂණයේ ද, විදුලි සංදේශ ක්‍ෂෙත්‍රයේ ද ශීඝ්‍ර දියුණුව නිසා ඇති වන බලපෑම සුළුකොට තැකිය නොහැකි ය. එය පුවත්පතේ අන්තර්ගතය, ගුණාත්මකභාවය තීරණය කිරීමට ද හේතුවකි. එමෙන් ම පුවත්පතේ මුල්‍යමය හැකියාව ද මේ වෙනස්කම් මත රඳාපවතින ප්‍රමාණය විශාලයි.

මේ අභියෝග හමුවේ වසර සිය ගණනක් පුරා මුද්‍රණය වූ ලොව ඇතැම් කීර්තිමත් පුවත්පත් අන්තර්ජාල සංස්කරණයන්ට පමණක් සීමා වී ඇති බවද පෙනේ. ආසන්න ලෝක ආර්ථික අර්බුදය වැනි තත්ත්වයන් ද එක්සත් ජනපදය වැනි රටවල පුවත්පත් කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කළේ ය. එහෙත්, මුද්‍රිත හෝ අන්තර්ජාල සංස්කරණයන් ලෙස පළවන පුවත්පතට ඇති පාඨක ඉල්ලුම අසුබදායක නැත.

අන්තර්ජාල සංස්කරණයන් නිසා පුවත්පතක නිත්‍යදායක පාඨක පිරිස ශීඝ්‍රයෙන් අඩුවී ඇතත් තවමත් සමාජයට පුවත්පත නැති ව ම බැරි ය. එක්සත් ජනපදයේ ස්කාබරෝ පර්යේෂණා යතනය නොබෝදා කරන ලද අලුත් ම සමීක්‍ෂණයකදී අනාවරණය වූයේ අමෙරිකානු වැඩිහිටියන්ගෙන් 75% ක් හෙවත් මිලියන 171 ක් නිරන්තරයෙන් පුවත්පත් පරිශීලනය කරන බවයි. මුද්‍රිත මාධ්‍යයෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ ඔවුහු පුවත්පත් කියවති. මේ පිරිසෙන් 79% ක් ම සුදු කරපටි රැකියා කරන අයයි. 82% ක් ම ඩොලර් 100,000 ට වැඩි ආදායමක් ඇති අයයි. 84% ක් ම උසස් අධ්‍යාපනයක් ලැබූ අයයි.

අමෙරිකාවේ තත්ත්වය මෙ පරිදි වන විට අප වැනි රටවල උසස් සාක්‍ෂරතාවක් පැවැතීමට ද පුවත්පත විශාල දායකත්වයක් දක්වා ඇති බව නොරහසකි. ඈත ගම් දනව්වල වයෝවෘද්ධ පුරවැසියන් පවා තවමත් පුවත්පත පරිශීලනයට බෙහෙවින් උනන්දු ය. පුවත්පත්වල අනාගතය සම්බන්ධයෙන් කියැවීමේ සමාජයක් නිර්මාණය වීම බෙහෙවින් හිතකර ය. අනෙක් අතට කියැවීමේ සමාජයක් ඇති කිරීමට ද පුවත්පත් ප්‍රබල ලෙස දායක වෙයි.

මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්වන පුවත්පත් මුහුණදෙන අනාගත අභියෝග අතර මුද්‍රණ කඩදාසි මිල ඉහළ යාම, දැන්වීම් අඩුවීම, පුවත්පතේ නිත්‍ය දායක / පාඨක පිරිස පහත වැටීම වැනි කාරණා ඉදිරියෙන් ඇත. මාධ්‍ය තරගකාරිත්වය ඉහළ දැමීමට ද මේ තත්ත්වය බලපාමින් තිබේ.

ලාභය උපරිම කර ගැනීම සඳහා පුවත්පත් හිමිකාරිත්වයට ඇති අභිලාෂයන් ද පුවත්පත්වල අන්තර්ගතය හා ගුණාත්මකභාවයට බලපායි. මේ බොහෝ කාරණා විසින් පුවත්පතක සාම්ප්‍රදායික ආකෘතිය යළි නිශ්චය කෙරෙනු ඇතැයි සිතිය හැකි ය.

පළමු සියවස පසුකර දෙවන සියවසට පා තබන “දිනමිණ” පුවත්පතක් මුහුණ දෙන ඉහත අභියෝග ජය ගැනීමේ විභවයෙන් යුතු බව අපගේ විශ්වාසයයි. ඊළඟ සියවස් මීට වඩා ප්‍රභාන්විත කිරීමේ මෙහෙවර සම්පූර්ණ කිරීමේ වගකීම ‘දිනමිණ’ ඉදිරියේ තිබේ. ජාතියේ නැණ පහන් දැල්වීමට හෙට දින දිනමිණට හැකිවේයැයි මම විශ්වාස කරමි.