බොදු මඟට මිණි පහනක් වූ දිනමිණ
 

බොදු මඟට මිණි පහනක් වූ දිනමිණ

 

පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

1860 ලංකා ලෝකයෙන් ඇරඹුණු මෙරට සිංහල පුවත්පත් කලාව වසර 150 ක කාලයක් පුරා අනේකවිධ මංපෙත් ඔස්සේ ගමන් ගති. එදා මෙදා තුර මෙරට පුවත්පත් විශාල ප්‍රමාණයක් කලින් කල ප්‍රාරබ්ධ වූ නමුත් දීර්ඝ ඉතිහාසයක් පුරා අඛණ්ඩ ව විරාජමාන වූ පුවත්පත් දක්නට ලැබෙනුයේ ඉතා අල්පයකි.

සියවසක දිනමිණ පුනරාවලෝකනයෙහිදී මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය ගොඩනැංවූ බෞද්ධ දර්ශනයට, බෞද්ධ සාහිත්‍යයට, එහි කලා ශිල්පවලට හා සමයෙහි ප්‍රගමනයට එමඟින් ඉටු වූයේ කවර මෙහෙවරක් ද යන්න සිහිපත් කළ යුතු ම ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ දිනමිණ හි මහා බොදු මෙහෙවර මෙලෙස විදාරණය කළහ.

‘දිනමිණ පුවත්පතේ සමාරම්භය සිදු වන්නේ යටත් විජිත යුගයේදී. එනම් එක් පැත්තකින් අපේ සාරධර්ම හා සංස්කෘතික ධර්ම කිසියම් ආකාරයකින් බටහිරකරණයට යටත් වූ පසුබිමකයි මෙය ඇරඹෙන්නේ. මේ නිසා සමාජ සංස්කෘතික සාරධර්ම ගොඩනැඟීමේදී දිනමිණට තත්කාලීන වශයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට සිදු වුණා.

එහිදී අපේ ඉතිහාසය සමඟ මුල්බැස ගත් බෞද්ධ සම්ප්‍රදායන් ඉස්මතු කොට නොබියව ඉදිරියට විත් සංස්කෘතික විප්ලවයක් එමඟින් ඉටු වූ බව මුල් කාලීන පුවත්පත් පරීක්ෂා කිරීමේදී අපට පැහැදිලි වෙනවා. වර්තමානයේ එය යම් යම් දේශපාලන ප්‍රවණතාවලට හසුවුවත් ආගමික අංශය ගැන කෙරෙන සාකච්ඡාවලදී ඉතා ඉදිරියෙන් සිටිමින් සමාජයට විශාල මඟ පෙන්වීමක් ලබා දෙන පුවත්පතක් ලෙස දිනමිණ හඳුනාගන්න පුළුවන්.”

බෞද්ධ සන්නිවේදන කාර්යය පෘථුල කරනු වස් දිනමිණ ගත් මඟෙහි අනන්‍ය වූ ලක්ෂණ ගැන විමැසීමට මට සිතිණ.

”ලංකාවේ බුදු දහම වඩාත් සන්නිවේදනය වන තරමටයි ජනතාව අතර ව්‍යාප්ත වෙන්නෙ. බුදු දහම එකතැන තිබෙන දෙයක් නොවේ. බුදුන් වහන්සේ එදා මුල් වියත් හැට නමට පැවරුවේ මෙහි සන්නිවේදනය කාර්යයයි. එය පුද්ගල සන්නිවේදනයක්. මුද්‍රිත මාධ්‍ය බිහි වීමත් සමඟ ධර්ම සන්නිවේදනය අතින් විශාල ඉදිරි පියවරක් දිනමිණ පුවත්පතෙන් මේ සියවස ඇතුළත සිදු වූ බව කියන්න පුළුවන්. නිදහස ලබා ගැනීමේ සටනේ සිට ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කිරීම අතින් බැලුවත් දිනමිණට හැර වෙනත් පුවත්පතකට ඒ ආඩම්බරය නැහැ.

දීර්ඝ ඉතිහාසයක් තුළ ඒ කාර්යභාරය සිදු වුණේ. දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ සෑම පොහොය දිනයක ම ධර්ම දේශනය සඳහා පළ කෙරෙන තීරුව ඉතා වැදගත්. මට මතකයි මීට අවුරුදු 20 කට පමණ පෙර කොටිකාවත්තේ සද්ධාතිස්ස, තලල්ලේ ධම්මානන්ද, කොටුගොඩ ධම්මාවාස වැනි වියත් යතිවරුන්ගේ ඉතාම සරල අනුශාසනාවක් මෙයට ඇතුළත් වුණා. ඇතැම්විට ඊට ආශ්‍රය වුණේ ධම්ම පදයේ ගාථාවක්. අනෙක් පුවත්පත් ආරම්භ වීමට පෙර මෙමඟින් වෙන ම බෞද්ධ අතිරේකයක් පළවූ බවත් මා සඳහන් කළ යුතුයි.

මේ අතිරේකයේ වටිනා ශාස්ත්‍රීය බෞද්ධ ලිපි දීර්ඝ කාලයක් සතිපතා පළ වුණා. බුදු සරණ පත්‍රයට වගේ ම මේ බෞද්ධ අතිරේකයටත් පාඨකයෝ ඉතා පි‍්‍රය කළා. මෙයින් විශාල සේවයක් සිදු වුණා. මෙහි අංශ කිහිපයක් තිබෙනවා. එදිනෙදාට අදාළ, ජන ජීවිතයට සමීප වන වියත් ලේඛකයකුගේ හෝ බෞද්ධ පඬිවරයකුගේ ලිපියක් එහි පළ වීම එකක්.

අනෙක මේ රටේ යතිවරු පිළිබඳ හඳුන්වාදීමක් මින් සිදු වුණා. කිසියම් භික්ෂුන් වහන්සේ නමකගේ ගුණානුස්මරණ ලිපියක් පළ කර ගැනීමට වෙන අතිරේකයක් තිබුණේ නැහැ. නායක පදවියකට හෝ විශේෂ සම්මානයකට පාත්‍ර වූ යතිවරුන් පිළිබඳ මින් හඳුන්වා දුන්නා. ජාතක කතා හෝ ධම්මපදය ආශ්‍රය කොට ගෙන ලියැවුණු ධර්ම කතා රැගත් ලිපි මෙහි පළ වුණා. එසේ ම වෙසක් පොහොය වෙනුවෙන් වෙන ම අතිරේක පළ කෙරුණු බවත් මා සඳහන් කළ යුතුයි.

ඒ හැරුණුවිට මෑත කාලයේ ‘ආලෝකෝ උදපාදි’ නමින් වෙනම බෞද්ධ අතිරේකයක් දිනමිණට එක් වුණා. මේ අතිරේකය ආරම්භයේ සිට ම මා එක් රැස් කොට ගත් වටිනා ධර්ම සංග්‍රහයක්. මාත් මේ සංග්‍රහය සඳහා වරක් ලිපියක් සැපයුවා. එහි මාතෘකාව වූයේ ‘බෞද්ධ කළමනාකරණ මූලධර්ම’ යන්නයි. විවිධ දෘෂ්ටි කෝණවලින් ඒ සම්බන්ධ අදහස්වලට එදා ‘ආලෝකෝ උදපාදි’ අතිරේකය වෙන්වුණා.

පන්සලක්, පිරිවෙනක්, විශ්වවිද්‍යාලයක් වැනි ආයතනයක කෙරෙන බෞද්ධාගමික කටයුතු, එහි ඉතිහාසය හඳුන්වාදෙමින් එසේ ම කර්මය, සතර සංග්‍රහ වස්තු, රාජධර්ම වැනි තේමාවක් යටතේ දිවෙන අනර්ඝ ලිපි මාලාවක් ‘අලෝකෝ උදපාදි’ හරහා අපට කියවන්න ලැබුණා. ඡායාරූප හා චිත්තාකර්ෂණීය පිටු සැලසුමකින් ද මෙය සමන්විත වූ බව කිව යුතුයි.”

දිනමිණ සමඟ බොහෝ කලක පටන් අවියෝජනීය ව බැඳුණු වෙසක් කලාපයෙන් ඉටු වූ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර පිළිබඳව ද අප හා සිහිපත් කිරීමට අගලකඩ හිමියන් අමතක කළේ නැත.

“පුවත්පතක් මුල් කොට ගෙන බිහි වූ ඉපැරැණි ම ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය ලෙස වෙසක් කලාපය සම්භාවිතයි. දැන් මා සතුව තිබෙන 1961 එනම් මීට වසර පනහකට පමණ පෙර පළ වූ වෙසක් කලාපය ගෙන බැලුවොත් එහි වටිනාකම මොනවට පැහැදිලි වෙනවා. එදා එහි පළ වූ චිත්‍ර පමණක් ගෙන බලන්න. අද පරිගණක තාක්ෂණයෙන් බහුල ව නිර්මාණය කරන චිත්‍රවලට වඩා කෙතරම් තාත්වික ව බුදු සිරිතේ විවිධ අවස්ථා මේවාහි සිතුවම් කර තිබෙනවද? මේ නිසා පුස්තකාලවලට දිනමිණ වෙසක් කලාපය ඉතා ම හොඳ ධර්ම භාණ්ඩාගාරයක්.

අපි ලේක්හවුස් ආයතනයට විශේෂයෙන් ප්‍රශංසා කළ යුතුයි මෙබඳු ඓතිහාසික කාර්ය භාරයක් දිනමිණ පුවත්පත හරහා බුදු දහමට ඉටු කිරීම ගැන. අද වුණත් මෙය බුදු දහම ගැන හදාරන පර්යේෂකයකුට වටිනා මූලාශ්‍ර සපයනවා. සමාජ සාරධර්ම, කලා ශිල්ප, බෞද්ධ සාහිත්‍යය හා ගැඹුරු ධර්ම ආදිය පිළිබඳ ඉතා වියත් ලේඛකයන් විසින් රචිත ලිපි ලේඛන මෙහි අන්තර්ගතයි. වසර දෙකකට පමණ පෙර සිට ඉංගි‍්‍රසි භාෂාවෙන් ද වෙසක් කලාපය පළ වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර තලයට පවා එය රැගෙන යෑමට ලේක්හවුස් ආයතනයට හැකි වී තිබෙනවා.”

දිනමිණ පුවත්පතේ පළවන ඍජු ව ම ආගමික නොවන ලිපි අතර ‘මහඋළුගෙදර දුක්බර කතාව‘ අගලකඩ හිමියන්ගේ පැසසුමට ලක් වූ ලිපි පෙළකි. එය නූතන ජාතක කතා ලෙසින් හඳුන්වාදීමට උන්වහන්සේ මැළි නොවූහ.

”මේ දිනවල ධර්ම දේශනාවලදී මා නිබඳ ව දිනමිණ පුවත්පතෙන් උපුටා ගන්නා ලිපි පෙළක් තිබෙනවා. ඍජු ව ආගමික ක්‍ෂෙත්‍රයට අදාළ නොවුණත් “මහඋළුගෙදර දුක්බර කතාව“ නමැති ලිපි පෙළ නූතන ජාතක කතා පෙළක් වගේ. මේ ලිපි පෙළ පොතක් ලෙස පළ කරන ලෙස ඉල්ලා එය සංස්කරණය කරන මහත්වරුන්ට ලිපියක් ලියන්න මා සිතාගෙන ඉන්නවා.

මේ හැම කතාවක් ම බණ කතාවක්. ජීවිතයක් බිඳ වැටී සිටින මිනිසෙක් තමන්ගේ ජීවිතය කඩා වැටුණු සැටි මෙහි කියනවා. “මං වගේ නොවන ලෙස” ඔහු සමාජයෙන් ඉල්ලා සිටිනවා. මින් කියැවෙන ආදර්ශය නිසා මේ හැම කතාවකට ම අපිට ජාතක කතාවක් සම්බන්ධ කළ හැකියි. මෙය එක් අතකින් සමාජ සාරධර්ම ගොඩනැඟීම සඳහා සිදු කරන ආගමික මෙහෙවරක්.”

එදා මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක වැනි ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගෙන් දිනමිණ පුවත්පත බැබලිණි. දිනමිණ සියවස පුනරාවලෝකනයේදී මෙකී බහුශ්‍රැතයන්, ප්‍රාඥයින් ඉටු කළ මෙහෙවර සිහිපත් කළ යුතු වන්නේ පුවත්පත් කලා ලොවේ අද එබඳු කෘතහස්තයන් සෙවීම කළුනික සෙවීමක් වන බැවිනි.

”අද ජනමාධ්‍ය එදාට වඩා පෘථුල ලෙස විස්මයාවහ සංවර්ධනයකට පත්ව ඇති යුගයක්. නමුත් මේ යුගයේ පුවත්පතක් සහ මීට වසර පනහකට පමණ පෙර පුවත්පතක් ගෙන බැලුවහොත් හැම අංශයකින් ම දකින්න ලැබෙන්නේ බිඳ වැටීමක්. එහි සිරස්තලයක්, කතුවැකියක් ගෙන බැලුවත් මෙය පැහැදිලි වෙනවා. තාක්ෂණික ව එදාට වඩා අද පුවත්පත දියුණු බව ඇත්තක්. නමුත් ශාස්ත්‍රීය මට්ටමෙන් බැලූ විට එදාට වඩා අද පුවත්පත් පිරිහිලා. හැමදාම මාර්ටින් වික්‍රමසිංහලා දකින්න ලැබෙන්නෙ නැහැ. නමුත් ඒ වගේ වියත් ලෙස තම වගකීම් සම්භාරය ඉටු කරන පත්‍ර කලාවේදීන් අදත් අපට අවශ්‍යයි. හැමදෙනාට ම දක්ෂ මාධ්‍යවේදින් වෙන්න බැහැ.

විශේෂයෙන් භාෂා ශාස්ත්‍ර පිළිබඳ හසළ දැනුමක් මෙන්ම නිර්මාණශීලී ලේඛනය පිළිබඳ අවබෝධයක්, ලිවිය යුතු දේ නොලිය යුතු දේ ගැන මනා වැටහීමක් හා ස්වාධීන චින්තනයක් තිබුණු නිසා තමයි මාර්ටින් වික්‍රමසිංහලා, ජී.බී. සේනානායකලා, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහලා එදා යුගයේ පත්‍ර කලාවේ වීරයන් බවට පත් වුණේ.

අද මාධ්‍යවේදියකු වීමට භාෂා දැනුම අවශ්‍ය නැහැ කියන මතයකට පවා සමහරු ඇවිල්ලා. නිදර්ශනයකට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය හදාරන සිසු සිසුවියන් සිංහල බසවත් ඉංගී‍්‍රසි බසවත් හදාරන්නේ නැහැ.

භාෂා දැනුම නැතිව මාධ්‍යවේදින් වෙන්න පුළුවන් යැයි ඔවුන් සිතන බව පෙනෙනවා. ඒ නිසා වික්‍රමසිංහලා වැනි කතුවරුන් අපට එදා දීපු ආදර්ශ ගැන අද නැවත සිතා බැලිය යුතුයි. බෞද්ධ කාව්‍ය හා ගීත කලාව පෝෂණය කිරීම අතින් ද දිනමිණ පුවත්පත ඉටු කළ මෙහෙවර සුවිශේෂිතයි.

ප්‍රකාශන මාධ්‍යයක් ලෙස අද කවියේ යම් පිරිහීමක් දකින්න ලැබෙනවා. එදා දිනමිණ පුවත්පත් ගෙන බැලුවහොත් ඉන් බෞද්ධ කවියේ, ගීතයේ ප්‍රගමනයට ලබා දී ඇති දායකත්වය වටහා ගත හැකියි. එදා කළුකොඳයාවේ ප්‍රඥාසේකර, නාරද, මඩිහේ පඤ්ඤාසීහ නාහිමිවරුන්ගේ සිට ගංගොඩවිල සෝම හිමි දක්වා යති පරම්පරාවේ බෞද්ධාගමික අදහස් ජනතාවට සන්නිවේදනය කිරීමට දිනමිණ පුවත්පත ඉටු කළ මෙහෙවර අති විශිෂ්ටයි.

අතීතයේ විද්‍යුත් මාධ්‍යයක් වූ ගුවන් විදුලිය හැරුණුවිට මුද්‍රිත මාධ්‍ය අතින් ප්‍රමුඛ වූයේ පුවත්පත. අනෙක ලංකාවේ දස දෙස සිදුවන ආගමික පින්කම් හා යතිවරුන් පිළිබඳ නිසි ප්‍රචාරය ලබා දීම අතින් ද වෙසක්, පොසොන් වැනි විශේෂ පොහෝ දිනවලදී දිනමිණ පුවත්පත ප්‍රමුඛ කොට ලේක්හවුස් ආයතනය සංවිධානය කරන තොරන්, දන්සල්, භක්ති ගී ප්‍රසංග, මිහින්තලේ ආලෝක පූජාව වැනි පින්කම් ඔස්සේ ද මේ බොදු මෙහෙවර පෘථුල ලෙස දකින්න පුළුවන්. තවත් චිරාත් කාලයක් එම යුග මෙහෙවර ඉදිරියට ගෙන යෑමට දිනමිණ පුවත්පතට ශක්තිය ලැබේවා යැයි මා පතනවා.”