නෙක කලා කෙත පෝෂණය කළ දිනමිණ
 

නෙක කලා කෙත පෝෂණය කළ දිනමිණ

 

නමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල ජනමාධ්‍යයක් වන්නේ පුවත්පතයි.

එය ජනතාවගේ කලා රසඥතාව මෙන් ම සාහිත්‍යයික ඥානය පෝෂණය කරන්නකි. එදිනෙදා තොරතුරු ලබා දෙමින් විශ්ව ඥානය පෘථුල කරන්නකි.

ප්‍රකට විචාරකයකු වන වොල්ටර් ලිප්මන්ගේ ප්‍රකාශයක් වන්නේ “නිදහස් පුවත්පත සමාජය ලද වරප්‍රසාදයක් ලෙස සැලැකිය යුතු නොවේ. එය සමාජයේ ම අංගයක් ලෙස සැලැකිය යුතු ය.

ස්වාධීන විවේචනයෙන් ද පිළිගත හැකි බුද්ධිමත් වර්තාවලින් ද තොර ව කිසි ම රජයකට රටක් පාලනය කළ නොහැකි ය. රටක ජනතාව සිතන ආකාරයත්, කරන කියන දේත්, ඔවුන්ගේ අවශ්‍යතාවන් ගැනත් වටහා ගැනීමට පුවත්පතට වඩා යෝග්‍ය වෙනත් මඟක් නැත.” මෙය පුවත්පත තුළ පවතින සාමාජීය වටිනාකම මැනගත හැකි ප්‍රකාශයකි.

ලංකාවේ පුවත්පත් අතර දිනමිණ පුවත්පතට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ආරම්භක කතුවරයා වූ එච්. එස්. පෙරේරා මහතා ගේ පැවැති භාෂා ඥානය මෙන් ම ස්වදේශීය චින්තනය දිනමිණට මුල්ගලක් විය. ඉන් පසුව ඩී. ආර්. විජයවර්ධන මහතාගේ පැවැති පුවත්පත් කලා ඥානය මෙන් ම දේශීය උරුමය පුවත්පතේ ඉදිරියට අත්වැලක් විය. දේශීය විද්වතුන්, පූජකවරුන් හා ලේඛකයන්ගේ කෙම්බිමක් බවට දිනමිණ පත්වන්නේ 1919 දී ලේක්හවුස් ආයතනය විජයවර්ධන මහතා ආරම්භ කිරීමෙන් පසු ව ය.

මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ

වර්තමානයේ සිටින බොහෝ ලේඛක ලේඛිකාවන්ට තම කුසලතාවන් වර්ධනය කරගැනීම සඳහා දිනමිණ තුළින් ප්‍රබල ඉඩකඩක් ලැබුණි. 1909 සිට අද දක්වා ම වසර සියයක කාලය තුළ පරම්පරා ගණනක් සිය භාෂා, සාහිත්‍ය ඥානය, ශාස්ත්‍රීය ගවේෂණ ශක්තිය ප්‍රබුද්ධ කරගැනීමට දිනමිණ සරණ විය. සාහිත්‍ය කලා ක්ෂේත්‍රයන්ට මෙන් ම භාෂා සංවර්ධනයට නව නිර්මාණකරණයට දිනමිණ ප්‍රවිෂ්ට වන්නේ මුල් වකවානුවේ සිට ම ය.

ප්‍රවෘත්ති, දේශපාලනික තොරතුරු මෙන් ම ඡන්දස් අලංකාර පිළිබඳ ව, හා න, ණ, ල, ළ භේදය පිළිබඳ ව, ශාසනික කටයුතු පිළිබඳ දිනමිණ විවාද මණ්ඩපයක් බවට පත්විය. මේ නිසා නිර්මාණ සාහිත්‍ය පිළිබඳ නව කතිකාවක් ලාංකීය සමාජයේ ගොඩනැංවීම සඳහා දිනමිණ මුල්වීම මේ වකවානුවේදී කැපී පෙනෙන්නකි.

නවීන තාක්ෂණයේ සිට ඉතා සියුම් කලා මාධ්‍යයන් සම්බන්ධ කරගනිමින් ඒවා පාඨකයාගේ අවබෝධය පිණිස සුදුසු ව්‍යවහාර භාෂා සම්ප්‍රදායක් ගොඩනැංවීම සඳහා දිනමිණ ගත් උත්සාහය වසර සියයක කාලය දෙස ආපසු හැරී බලන විට ප්‍රසංසනීය යැයි සිතේ.

සිංහල භාෂාව, නිර්මාණ සාහිත්‍ය සහ සිංහල සංස්කෘතිය විවිධ බලවේගයන් විසින් යටපත් කිරීමට උත්සාහ කරගනිමින් සිටි අවධියක මේ සියලු අංගයන්හි අනන්‍යතාව සුරක්ෂිත කිරීමට දිනමිණ ගත් උත්සාහය සුලුපටු නොවේ. පුවත්පත් කලාවේ නව නිර්මාණ අංගයන් ද, ආයතනික නව සම්ප්‍රදායන් ද බිහි කිරීමට පුරෝගාමී ශක්තියක් දිනමිණට තිබුණි.

කෙටිකතා කලාව පාඨකයා අතර ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් ලෙස වර්ධනය කරගැනීමට අතීතයේ සිට ම දිනමිණ පුවත්පතේ ඉඩකඩක් පැවැතුණි. මුල් කාලයේදී බටහිර කෙටිකතා ලක්ෂණ සහිත පරිපූර්ණ, විධිමත් කෙටිකතා සිංහල පුවත්පත්වල පළ නොවීය. එය ආරම්භ කරන ලද්දේ දිනමිණ මඟිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලාංකීය සමාජයේ විධිමත් ආකාරයේ කෙටිකතා නිර්මාණය කරලීමේ ප්‍රවනතාවක් ඇතිවිය.

එසේ ම කෙටි කතා නිර්මාණකරුවන් අතර තරඟ පවත්වමින් ඔවුන් දිරිමත් කිරීමට සුදුසු වැඩපිළිවෙළක් මේ පුවත්පත් ආයතනය විසින් සිදුකරන ලදී. ආධුනික ලේඛක ලේඛිකාවන්ට මෙන් ම ප්‍රවීණ ලේඛකයන්ගේ කෙටිකතා සංග්‍රහයන් ඇතුළත් කරමින් වඩාත් ප්‍රචලිත වූ සාහිත්‍ය ඥානයක් ලබාදීමට උත්සුක වී ඇති බව පැරැණි දිනමිණ සංග්‍රහයන් පරීක්ෂා කරන විට පෙනී යයි. “ජී. බී. සේනානායක, ඩබ්ලිව්. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ” ආදී ප්‍රවීණ ලේඛකයන්ගේ කෙටිකතා පළවූ අතර ඒ මඟින් නව පරපුරක් බිහි කිරීමට ද හැකියාව ලැබී ඇත.

හෙන්රි ජයසේන

කේ. ජයතිලක, මහගමසේකර, සිබිල් වෙත්තසිංහ, ධර්මසිරි ගමගේ, ඔගස්ටස් විනයාගරත්නම්, කුමාර කරුණාරත්න, සයිමන් නවගත්තේගම, රෝහණ කස්තුරි, යනාදී පසුකාලීන ප්‍රවීණත්වයක් ලද ලේඛක, ලේඛිකාවන් විශාල ප්‍රමාණයක් අතුරෙන් කිහිප දෙනකු පමණක් සඳහන් කළ හැකි ය. දිනමිණේ එබඳු පෝෂණයක් ලද පිරිස අතිවිශාල වේ.

සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා මෙන් ම ඊට අදාළ විචාර සම්ප්‍රදායක් බිහිකිරීම ද දිනමිණෙහි තවත් ශාස්ත්‍රීය මෙහෙවරකි. ප්‍රකට කවි,

 කිවිදියන්ට මෙන් ම ආධුනික කවි කිවිදියන්ට සිය ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට නිරතුරු ව උපකාරී වී තිබේ. මුල් කාලයේ දී පී. බී. අල්විස් පෙරේරා, මීමන පේ‍්‍රමතිලක, විමලරත්න කුමාරගම, කලල් ඇල්ලේ ආනන්ද සාගර, බැන්ටිස් රණවීර, කුඩලිගම ආදි කවීන්ට ද පසු කාලයේදී ආරියවංශ රණවීර, රත්න ශ්‍රී විජේසිංහ, දයාසේන ගුණසිංහ, සුනිල් ආරියරත්න, පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ, මදුරසිංහ ගුණතිලක, ධර්මසිරි රාජපක්ෂ යනාදි වශයෙන් දැක්විය හැකි විශාල සංඛ්‍යාවක් කාව්‍ය ක්ෂේත්‍රය තුළ දක්නට ලැබේ.

නාට්‍ය ක්ෂේත්‍රය තුළ ද නව රිද්මයක් ඇති කිරීමට දිනමිණ සමත් වී තිබේ. ප්‍රබුද්ධ විචාර කලාවක් තුළින් ආධුනික නාට්‍යකරුවන් රැසක් පෝෂණය ලද අතර එකළ සිටි ප්‍රවීණ නාට්‍යකරුවන් නව රිතීන් ඔස්සේ නාට්‍ය ක්ෂේත්‍රය පෝෂණය කර ගැනීමට නව උත්තේජනයක් සැපැයීමට ද මේ පුවත්පත සමත් විය.

එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සයිමන් නවගත්තේගම, රංජිත් ධර්ම කීර්ති, සුනන්ද මහේන්ද්‍ර, නාමල් වීරමුනි, නව පන්නරයකින් යුතු ව නාට්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට දායක වී තිබේ. වර්තමාන ආධුනික නාට්‍ය කරුවන් ද මේ තුළින් සිය විෂයය ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට ශක්තියක් ලද බව අපට පෙනී යන්නකි.

මොනිකා රුවන්පතිරණ

ලාංකීය සිනමා වංශ කතාවේ විචාරශීලී අධ්‍යයනයක් සිදුකරන ලද පුවත්පතක් ලෙස දිනමිණ කැපී පෙනෙයි. නිහඬ සිනමා යුගය තුළ සිදු කරන ලද සිනමා නිර්මාණ ඒ යුගයේ සුවිශේෂි සිනමාකරුවන්ගේ සිනමා සිද්ධාන්තයන් පිළිබඳ විවිධ සංවාද සාකච්ඡා ආදිය මේ පුවත්පතේ දක්නට ලැබුණි.

සිනමා කලාව පිළිබඳ නව පිටුවක් පෙරලන ලද්දේ ජයවිලාල් විලේගොඩ මහතාගේ සිනමා විචාරයන් ය. ඊට ප්‍රථම මාර්ටින් වික්‍රමසිංහ මහතා ද “මයුර පාද” නමින් චිත්‍රපට විචාර දිනමිණෙහි පල කරනු ලැබී ය. එබඳු විචාරයන් ද සමඟ ජයවිලාල්ගේ සිනමා විචාර රීතිය සමකාලීන අනෙක් පුවත්පත්වලට යම් බලපෑමක් සිදු කල බව පෙනේ.

මෙරට සිනමා නිර්මාණ සාහිත්‍ය හා දිනමිණ අතර අවියෝජනීය සම්බන්ධතාවක් ජයවිලාල් විලේගොඩ මහතාගේ සිනමා විචාරයන්ගෙන් ගොඩ නැගුණි. සිනමා අධ්‍යක්ෂණය, තිර පිටපත, නළු නිළියන්ගේ රංගනය, ඒවායේ අන්තර්ගත ලක්ෂණ පිළිබඳ විශ්ලේෂණාත්මක ව විග්‍රහ කිරීමට ඔහු දැක්වූ උනන්දුව නව විචාර සම්ප්‍රදායක් ගොඩනැගීමට උපස්ථම්භක විය.

එසේ ම දිනමිණ පුවත්පතට සිනමා විචාරයන් සැපයූ රෙජි සිරිවර්ධන, රෙජි රණසිංහ, බෙන්ඩික් දොඩම්පේගම, එඩ්වින් ආරියදාස, ගාමිණි වේරගම, ඒ. ඩී. රංජිත් කුමාර, ගුණසිරි ද සිල්වා, සුනිල් මිහිඳුකුල යනාදිය විසින් සිනමා පේ‍්‍රක්ෂකයන්ට ලබා දෙන ලද දැනුම අගය කළ හැකි ය.

දීර්ඝ කාලයක් පුරා පරම්පරා ගණනාවකට දිනමිණ පුවත්පතේ ලබා දෙන ලද සාහිත්‍ය, ශාස්ත්‍රීය, නිර්මාණ ක්ෂේත්‍රවලට අදාළ දැනුම සංඛ්‍යාත්මක ව මැනිය නොහැකි ය.

පුවත්පතක පරමාර්ථය වන්නේ ජන සමාජයක චිරස්ථිතිය මෙන් ම ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණය කිරීමයි. වසර සියයක කාලය තුළ දිනමිණ මේ කාර්යභාරය ප්‍රශස්ත ලෙස ඉටු කල බව සඳහන් කළ හැකි ය. තවත් පරම්පරා ගණනාවකට ඒ සේවය ලබාදීමට දිනමිණ ජාතික පුවත්පතට හැකිවේවායි පාඨකයන් ලෙස අපි ප්‍රාර්ථනා කරමු.