පුවත්පත් කලාවේ මහගෙදර දිනමිණ
 

පුවත්පත් කලාවේ මහගෙදර දිනමිණ

 

පුවත්පත සමාජය කියැවිය හැකි කැඩපතකි. එසේ ම එය ඉතිහාසයට එක්වන විට ඉතිහාසය ගවේෂණය කළ හැකි මාධ්‍යයක් බවට ද පත්වෙයි. සියවසක දිගු ඉතිහාසයක් ඇති පුවත්පතක් වසර සියයක සමාජ දේශපාලන ආර්ථික වෙනස්කම් දරා සිටින්නෙකි.

එසේ සියවස සමරන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ජාතික පුවත්පත දිනමිණයි. ඒ පිළිබඳ ව ඓතිහාසික, සමාජ දේශපාලන මෙන් ම සන්නිවේදන විද්‍යාත්මක ප්‍රවේශයකින් විග්‍රහ කිරීමට පුන්කලස හා එක්වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ආචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතායි.

මාධ්‍ය ඉතිහාසය මෙන් ම ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය හා ඒ හා බැඳි සමාජ දේශපාලන පසුබිම පිළිබඳ ව සියුම් හා ගැඹුරු අධ්‍යයනයක නිරත රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා මේ ක්‍ෂේත්‍රය පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ලංකාවේ හමුවන විද්වතුන් අතර ප්‍රමුඛයකු වෙයි.

දිනමිණ සම්භවය පිළිබඳ සංවාදය 19 වන සියවසේ ජාතික ව්‍යාපාරය සහ එහි කාර්යභාරය පිළිබඳ ගවේෂණය ඇසුරින් ආරම්භ කළ හැකියි.

1815 දී ලංකාව මුලුමනින් ම යටත් විජිතයක් බවට පත්වීමෙන් අනතුරු ව ඉතා කෙටිකලකදී ම බ්‍රිතාන්‍ය පාලනය, ගිවිසුමේ කොන්දේසි කඩකරන්නට වුණා. ස්වදේශිකයිනට ඉටුකරන බවට පොරොන්දු වූ කිසිවක් ගිවිසුමට අනුව ඉටු වූයේ නෑ. මේ හේතුවෙන් ඇති වූ විරෝධතා වැළැක්වීමට බ්‍රිතාන්‍ය පාලනය ඉතා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළා.

දරුවන් හැදීමට තරම් නිරෝගී යැයි සිතිය හැකි තරුණයන් මරා දැමීම, ස්ත්‍රින් දූෂණය කිරීම, කෙත් වතු අටු කොටු ගිනි තැබීම ආදි කෲර වද බන්ධනයන්ට සමාජය නතුකර ජනමතය පාගා දැමීමට කටයුතු කළා.

මීට විරුද්ධ ව ගොඩ නැඟෙන සමාජ දේශපාලන අරගලයට මූලිකත්වය ගන්නේ භික්ෂූන් වහන්සේලායි. මේ සඳහා උගත් බුද්ධිමත් ගිහියන් අතලොස්සකගේත් සහාය ලැබිණි. මේ වන විට බොහොමයක් පන්සල්වල ජීවත් වුණේ ගණින්නාන්සේලායි. ඔවුන් කහ රෙදිකඩක් හෝ නූලක් දරා ගත් අඹු දරුවන් පෝෂණය කරන ආගමික වත් පිළිවෙත් කිහිපයක් කරමින් සිටි හුදු ගිහියන් පිරිසක්.

මෙවන් පිරිස් අතර ඉතා පරිශ්‍රමයෙන් ආගමික ශාස්ත්‍රිය අධ්‍යයනයේ නිරත වු විදෙස් සංචාරයන් ඇසුරින් ධර්මඥාණය දියුණු කර ගත් ජාතික හා ශාසනික මෙහෙවරක අවශ්‍යතාව හඳුනාගත් භික්‍ෂූන් වහන්සේලා කීප දෙනෙක් සිටිනු දැකගත හැකියි.

ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත පළකරන බුලත්ගම ධම්මාලංකාර හිමියන් එබඳු භික්‍ෂූන් වහන්සේ නමක්. ගම්පලින් ගාල්ලට පැමිණ වැඩිදුර අධ්‍යාපනයට තායිලන්තයට ගොස් එහි රජු සමඟ ද හිතවත්කම් ගොඩනඟාගෙන ලංකෝපකර මුද්‍රණාලය ඇති කිරීමේ අරමුදලක් ඇති කරන්නේ උන්වහන්සේයි. මිෂනාරි ආගමික ප්‍රචාරණයට විරුද්ධ ව සිංහල බෞද්ධ ජනමතය වෙනුවෙන් ලංකාලෝකය ආරම්භක පුවත්පතක් ලෙස කටයුතු කරනවා.

මේ වන විට ලංකාවේ මිෂනාරි කණ්ඩායම් හතක් අටක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඔවුන් සැම දෙනෙක් ම මෙහි පැමිණියේ මුද්‍රණාලත් රැගෙනයි. ඔවුන් පුවත්පත් මෙන් ම පොත් පත්‍රිකා අච්චු ගසමින් හා බෙදා හරිමින් ආගමික ප්‍රචාරණයෙහි ඉතා දැවැන්ත ලෙස නිරත වුණා.

මේ අතර බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වී කෙටි කලකින් ම ජනතාව විරෝධය පෑමට හේතු විමසීම සඳහා කෝල්බෲක් කොමිසම පත්වෙනවා. කෝල්බෲක් කොමිසම රාජකීය ආසියාතික සංගමයේ පර්යේෂණ වාර්තා පිළිබඳ ව වඩාත් සැලැකිලිමත් වෙනවා. ඒ අනුව කොමිසමේ නිර්දේශය වන්නේ මිෂනාරි පොත පත පමණක් ප්‍රචාරය වීම ගැටලුවක් බවයි.

ආචාර්ය කේ. ඩබ්ලිව් විමලරත්නගේ අධ්‍යනයන්ට අනුව මේ වන විටත් ඉංගි‍්‍රසි පුවත්පත් 17 ක් පමණ මුද්‍රණය වී තිබෙනවා. කොමිසමේ නිර්දේශය වන්නේ ජනමතයට ඉඩක් ඇති පුවත්පත් වැඩි වැඩියෙන් මුද්‍රණය විය යුතු බවයි. කොමිසමේ නිර්දේශයකට අනුව ඉංගි‍්‍රසි මාධ්‍යවේදියකු මෙන් ම කවියකු වන හෝර්ටන් ආණ්ඩුකාරවරයා ලංකාවේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරෙනවා.

මේ වකවානුව වන විට මිෂනාරි ආගම් ප්‍රචාරයට විරුද්ධ ව බෞද්ධ භික්ෂුන් වහන්සේලා කළේ ප්‍රසිද්ධ ස්ථානවල වාද විවාද කිරීමයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ප්‍රමුඛ ව පැවැත්වූ ඒ වාදයන් එකළ වඩාත් ජනපි‍්‍රය වුණා.

පානදුරා වාදය, උදම්විට වාදය, ගම්පල වාදය, වරාගොඩ වාදය, ඔරුගොවත්ත වාදය, බද්දේගම වාදය යනුවෙන් පැවැත්වූ ඒ වාදයන් එවකට පැවැති ඉංගි‍්‍රසි පුවත්පත් මුළුමනින් ම වාර්තා කළා. ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත සිංහලෙන් පැවැත්වූ පානදුරා වාදය මුළුමනින් ම ඉංගි‍්‍රසියට පරිවර්තනය කර පුවත්පතේ පළ කළා ම අධිරාජ්‍යවාදී අරගලයේ මූලිකයෙක් වන ‘ඩී. ඩබ්ලිව් පෙරේරාගේ’ පියා වන එවකට කොළඹ උසාවියේ සේවය කළ ලිපිකරුවකු වන ‘ඊ. ඩබ්ලිව් පෙරේරා’ මහතා විශේෂ පරිවර්තකයකු ලෙස යොදවා ගෙන පානදුරා වාදය මුළුමනින් ම වාර්තා කළා. අදටත් පානදුරා වාදය පිළිබඳ ව අධ්‍යයනය කිරීමට ඇති ඉතාමත් පරිපූර්ණ ලිපියක් වන්නේ ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතෙහි පළවූ ඒ ලිපියයි.

පානදුරා වාදය පිළිබඳ ඒ ලිපිය මෙන් ම ඒ ඇසුරින් සැකැසූ පොත් පිංචක් එකල බෙදා හරිනු ලැබුවා. මේ කාලය යුරෝපයේ ආසියානු ආගමික දර්ශන මෙන් ම විවධ ගවේෂණයන්ට උනන්දුව ඇතිවූ කාලයක්. පානදුරා වාදය පිළිබඳ පොත් පිංච කියැවීමට ඕල්කට්තුමා වගේ ම බ්ලැවැට්ස්කි මැතිනිය වගේ අයටත් අවස්ථාව උදාවී තිබුණා. දීර්ඝ කාලයක් බුලත්ගම ධම්මාලංකාර හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි අයත් සමඟ ලිපි ලේඛන හුවමාරුවෙන් පසුව ඕල්කට්තුමා ලංකාවට පැමිණෙනවා.

ඕල්කට්තුමාගේ ප්‍රධානත්වයෙන් ඉන් අනතුරු ව පරම විඥානාර්ථ සංගමය යටතේ බිහිවන ‘සරසවි සඳරැස’ පුවත්පත මඟින් සිංහල බෞද්ධ ජනමතයට ඉඩකඩක් ලැබෙනවා. මේ වන විටත් බිහි ව තිබූ ඉංගි‍්‍රසි පුවත්පත පුවත්පතේ අන්තර්ගතය සහ ආකෘතිය මෙන් ම අපක්‍ෂපාතීත්වය පිළිබඳ ව හොඳ ආදර්ශයක් බවට පත්වී තිබුණා. ඒ වාගේ ආදර්ශය මේ පුවත්පත්වලටත් ලැබුණා.

එවකට මහනුවර උසාවියේ ලිපිකරුවෙක් ලෙස සේවය කළ ‘එච්. එස්. පෙරේරා’ ලේඛකයකු ලෙස සඳරැස පුවත්පතට සම්බන්ධ ව කටයුතු කළා. ඉතා උද්යෝගී ව කටයුතු කළ ඔහු පසුකලෙක සරසවි සදරැසෙහි කර්තෘ බවට පත්වෙනවා.

සරසවි සඳරැසේ කතුවරයා ලෙස පත්වීමේදී ඔහුට අවශ්‍ය මොනවාදැයි ඇසූ විට එවකට රජයේ උසස් රැකියාවක් කළ එච්. එස්. පෙරේරා මහතාගේ පිළිතුර වී ඇත්තේ වේලක් ඇර වේලක් කෑමට තරම් පඩියක් සහ බුරු ඇඳක් දිගෑර ගැනීමට සෑහෙන කාමරයක් ලබා දෙන ලෙසයි. ඔහු පුවත්පත් කලාවට මෙන් ම ඉන් ඉටු කළ හැකි ජාතික මෙහෙවරට දැඩි සේ ආදරය කළ තැනැත්තෙකි.

එච්. එස්. පෙරේරා කර්තෘ තනතුරට පත්වීමෙන් අනතුරු ව සරසවි සඳරැස වඩාත් ජනපි‍්‍රය තත්ත්වයට පත්වන අතර ඒ වටා ජාතික ආගමික විද්වතුන් රැසක් ඒකරාශි වෙයි. මේ අතර පුවත්පතේ හිමිකාරිත්වයත් සමඟ ඇතිවන මත ගැටුමක කෙළවර වන්නේ එච්. එස්. පෙරේරා සරසවි සඳරැසේ කතුකමින් ඉවත් කිරීමෙනි.

සදරැසින් ඉවත්වන එච්. එස්. පෙරේරා අලුත් පුවත්පතක් බිහිකිරීමට සිතයි. ඔහු මේ පිළිබඳ ව උපදෙස් ලබා ගන්නේ එවකට සිටි විද්වතකු වන විද්‍යාලංකාර මහ පිරිවෙනෙහි අධිපති රත්මලානේ ධම්මාරාම හිමිගෙනි.

“මම සදරැසින් අයින් වුණේ රට ජාතිය රකින්න, අලුත් පත්තරයක් හදන්න අදහස ඇතිව“ යනුවෙන් එච්. එස්. පෙරේරා කියූ විට ධම්මාරාම හිමියන්ගේ උපදෙස වී ඇත්තේ සදරැසට මුහුණ දීමට හැකි හිරුට පමණයි ‘දිනමිණ’ කියන්නේ ‘හිරු’ටයි යනුවෙනි.

මේ අනුව ප්‍රකාශකයා, මුද්‍රණකරුවා, කර්තෘවරයා බෙදා හරින්නා යන කරුණු හතර ම එක් අයකු විසින් ම සිදුකරමින් බිහිවන ‘දිනමිණ’ ජනපි‍්‍රය තරගකාරී පුවත්පතක් බවට පත්වෙනවා. එසේ ම එහි ආරම්භය ඉතා අගනා ජාතික අභිලාශයක් මුල්කරගත් උන්නතිකාමි අදහස්වලින් පෝෂණය වූවක්.

එච්. එස්. පෙරේරා වරින් වර රෝගී වීම නිසා ම දිනමිණ පළවීම ඇතැම් විටෙක නතර වුණා. යළිත් ඇරැඹුණා. එය කඩින් කඩ පළවන්නක් බවට පත්වුණා.

මේ අතර විදේශිය අධ්‍යාපනයට යොමු වූ දේශීය ප්‍රභූන්ගේ දූ දරුවන් යුරෝපයේ සිට ලංකාවට පැමිණියා. ජාතික ව්‍යාපාරයේ මූලිකයන් බවට පත්වන්නේ මේ අයයි. විසිවන සියවසේ මුල් භාගයේ පැමිණෙන ඩී. ආර්. විජයවර්ධන ජනමතය සහ පුවත්පතට ඇති බලය පිළිබඳ ව හොඳ අවබෝධයක් පැවැති අයෙක්. ඔහු එච්. එස්. පෙරේරා ගෙන් දිනමිණ මිලදීගෙන ලංකාවේ ප්‍රකට ආයතන ගත පුවත්පත් ව්‍යුහය ගොඩනඟනවා. ඔහු ඒ සඳහා ආදර්ශයට ගන්නේ එංගලන්තයයි. ඒ ඇසුරින් ජාතික පුවත්පතක ආකෘතිය මෙන්ම අන්තර්ගතය ද ගොඩනගන ඔහු ව්‍යාපාරික පුවත්පත් කලාව ද හඳුන්වා දෙනවා. ඒ අර්ථයෙන් ගත් කළ ලංකාවේ පුවත්පත් කලාවේ මහගෙදර ‘දිනමිණ’යි. සැබවින් ම ජාතික පුවත්පතක සියලු අංග හදුන්වා දුන් පළමු පුවත්පත ද දිනමිණයි.

ජාතික සංගමයේ දේශපාලනයත් සමඟ බද්ධ ව සිටි ඩී. ආර්. විජයවර්ධන තම පුවත්පත් ඒ මතය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස පාවිච්චි කරනවා. ජාතික සංගමයේ මූලික අරමුණ වූයේ පාලන බලයට සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා ගැනීමයි. ඒ සඳහා රටපුරා රැස්වීම් පවත්වමින් පෙත්සම් අත්සන් කිරීම මූලික ක්‍රියාමාර්ගයක් බවට පත් ව තිබුණා.

ඒ වන විට ඇන්. ඇම්. පෙරේරා, රොබට් ගුණවර්ධන, ආදින් ප්‍රමුඛ ව ගොඩනැ¼ගුණු වාමාංශික ව්‍යාපාරයේ මූලික ඉල්ලීම වූයේ ස්වරාජ්‍යයයි. මේ මත ගැටුම් දිගින් දිගට ම පැවතියා. එමෙන් ම අනගාරික ධර්මපාලතුමා වැනි අය ව විවේචනය කරන පුවත්පතක් ලෙස දිනමිණ පොදු සමාජයේ විවේචනයට ලක්වුණා. 1950 දී ‘ලේක්හවුස් ආයතනය රජයට පවරා ගත යුතුයි’ යනුවෙන් එස්. එම්. තේමිස් නැමති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නේ මේ සමාජ විරෝධය ඉස්මතු වන අවස්ථාවක් වශයෙන්. එස්. එම්. තේමිස් යනු වරාය නියෝජනය කළ වෘත්තිය සමිති නායකයකු ව සිටි අයෙක්. එවකට හමුවන ප්‍රබල සටන් පාඨයක් ලෙස “ලේක්හවුස් අල්ල ගනිමු සමසමාජේ අච්චු ගසමු පච පත්තර වසා දමමු” වැනි පාඨ හඳුනාගත හැකියි.

මේ අනුව 1964 පුවත්පත් කොමිසම් සභාවේ නිර්දේශයකට අනුව යැයි කියමින් එවකට පැවැති රජය ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ යෝජනාවක් ගෙන එනවා. මේ හේතුව නිසාම 1965 රජය පරාජයට පත්වෙනවා. ආණ්ඩුවක් වෙනස් කිරීමට තරම් මේ කරුණ ප්‍රබල හේතුවක් බවට පත්වෙනවා.

මින් අනතුරුව 1973 දී පත්වන ආණ්ඩුව ලේක්හවුස් ආයතනය රජයට පවරා ගන්නවා. ඒ අනුව දිනමිණ ඇතුළු ලේක්හවුස් පුවත්පත් සියල්ල රජයේ පුවත්පත් බවට පත්වන අතර එදා මෙදාතුර ඊට විරුද්ධ වූ කිසිඳු රජයක් යළිත් එය පෞද්ගලික අංශයට නතු කිරීමට උත්සාහ ගත්තේ නැහැ. එසේ ම රජයට ඇති එක ම ජාතික මට්ටමේ දිනපතා පුවත්පත දිනමිණයි.

ඉන් අනතුරු ව ගෙවුණු කාලය දෙස විමසීමේදී දිනමිණ සමාජයේ විවිධ අවස්ථාවන්ට මුහුණ දෙමින් ඉතා දුෂ්කර මෙන් ම විටක සැහැල්ලු මඟක ගමන්ගත් අන්දම හඳුනාගත හැකියි. 88, 89 භීෂණ සමයේ දිනමිණ පුවත්පතට ගිනි තබයි. මාධ්‍යවේදින් පමණක් නොව පුවත්පත් ඒජන්සිකරුවන් ද මරණයට පත්කිරීම ආදිය ද සිදු කෙරිණි. නමුත් දිනමිණ නතර වූයේ නැත.

දිනමිණ අද දවසේ මෙන් ම හෙට දවසේ මුහුණ දිය යුතු අභියෝග රැසකි. රජය යටතේ පැවැතීම මෙන්ම මුද්‍රිත මාධ්‍යයක් වීම හේතුවෙන් ද මුහුණ දිය යුතු අභියෝග තිබේ. 21 වන සියවසේ පස්වන දශකයේදී ලෝකයෙන් කඩදාසිය ඉවත් වේ යැයි මතයක් පවතී.

කාර්ය බහුල බව හේතුවෙන් කියැවීමට කාලය වැය කිරීම ඉතාමත් සීමිත වී තිබේ. අද රූපය, කාටුනය මෙන් ම ඉතා සරල සුගම කෙටි වැකි වලට මූලිකත්වය හිමි වෙයි. පුවත්පත් කලාව වඩාත් නිර්මාණශීලී මෙන්ම නැවුම් තොරතුරු වඩාත් කෙටියෙන් ඉදිරිපත් කිරීමේ අභියෝගය ද ජයගත යුතු ව තිබේ.