ලංකාවේ හැම ජනමාධ්‍යයක් ම දේශපාලනිකයි
 

ලංකාවේ හැම ජනමාධ්‍යයක් ම දේශපාලනිකයි

 

ධම්ම දිසානායක

මේ 17 වැනිදා ‘දිනමිණ’ පුවත්පත වසර සියයක් සපුරයි. 1909 දෙසැම්බර් 17 වැනිදා සිට මේ වන තෙක් පැමිණි ගමන් මඟේ විවිධාකාර අත්දැකීම්වලට මුහුණ දුන් ‘දිනමිණ’ ප්‍රථම ව පෞද්ගලික මාධ්‍යයක් ව පැවැත 1973 වසරේදී ලේක්හවුස් ආයතනය රජයට පවරාගනු ලැබීමෙන් අනතුරු ව රජයේ මාධ්‍යයක් බවට පත්විණි.

රජයට පවරා ගැනීමෙන් පසු කාලයේ බොහෝදෙනා ‘දිනමිණ’ දේශපාලනීකරණය වී ඇතැයි පැවැසුව ද ඒ චෝදනාව දිනමිණ වැනි රාජ්‍ය මාධ්‍යයන්ට පමණක් සීමා නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායකයන් මේ සංලාපය මඟින් අවධාරණය කරයි.

ලංකාවේ පමණක් නොව ලෝකය පුරාත් පවතින කිසි ම ජනමාධ්‍යයක් දේශපාලනයෙන් වියුක්ත නොවන බවත් දිනමිණ රජයේ මාධ්‍යයක් වශයෙන් වැදගත් භූ®මිකාවක නිරතවන බවත් ඔහු මෙමඟින් පෙන්වා දෙයි.

හැමෝම තම තමන් තෝරාගත් දේශපාලන ව්‍යාපෘතිවලට උදව් කරමින් ඉන්නවා. ඒ නිසා ‘දිනමිණ’ රජයේ පුවත්පතක් වශයෙන් මේ කරන කාර්යයට ඇඟිල්ල දික් කරන්න කාටවත් බැහැ. මොකද ඔවුනුත් කරන්නෙ ඒකමයි. පෞද්ගලික පුවත්පත් ඇත්තට ම පෞද්ගලික ද? ඔවුන් වැය කරන්නේ මහජන මුදල් නොවේද?

ලෝක දේශපාලනය හා සන්නිවේදනය ව්‍යාපාර ඒකාබද්ධ ව ගමන් කළ ආකාරයත් ඉතිහාසය පිරික්සීමේ දී අපට පෙනී යනවා. රුසියාව, ජර්මනිය වැනි රටවල් මෙහිදී විශේෂයි. රාජ්‍යය ක්‍රියාකාරිත්වය සඳහා සන්නිවේදන මාධ්‍යයේ බලපෑම මෙවැනි ප්‍රවණතා ඔස්සේ ඔබ හඳුනාගන්නේ කෙසේද?

රාජ්‍යය කියන ප්‍රපංචයට සන්නිවේදන මාධ්‍ය බලපෑම එන්නේ රාජ්‍යයට අවශ්‍ය මතවාදී ස්ථාවර ගොඩනැංවීම අරමුණු කොටගෙන. ඒ කාර්යභාරය බරපතල තාක්ෂණික සහ දියුණු ක්‍රමවේද යොදාගෙන නොකෙරුවත් මුල් කාලයේ ආගමික මත ගොඩනැංවීම සඳහා යුරෝපය එය භාවිත කළා. ආගම තමයි රාජ්‍යයට අවශ්‍ය මතවාදී යාන්ත්‍රණය නිර්මාණය කළේ.

පල්ලිය හා රාජ්‍යය අතර මුල්කාලයේ තිබුණේ ගැටුම්. රාජ්‍ය හා පල්ලිය අතර අවබෝධයක් තිබුණේ නැහැ, ගැටුම් පමණයි තිබුණේ. පුනරුදයට ආසන්න කාලයේදී රාජ්‍යය හා පල්ලිය අතර ඇතිවන ගැටුම් අවසානයේ රාජ්‍යය බලවත් වෙනවා. ඊට පස්සේ පල්ලිය ස්වේච්ඡාවෙන් ම තීරණය කරනවා රාජ්‍යය මතවාද හදනවා කියලා.

නූතන ජනමතය බොහෝදුරට රාජ්‍යයේ පදනම හදනවාට වඩා උත්සාහ කළේ නව දේශපාලන ව්‍යාපාරවලට අවශ්‍ය මතවාදී යාන්ත්‍රණය ගොඩනැඟීමටයි. උදාහරණයක් විදියට රුසියාව ගත්තොත්, සාර් පාලනයට නොවෙයි ජනමාධ්‍ය අවශ්‍ය වෙන්නේ, සාර් පාලනයට එරෙහි වුණු බොල්ෂෙවික් ව්‍යාපාරයට. ඊට පසුව දෙවන ලෝක යුද්ධය මේ සම්බන්ධ වැදගත් සන්ධිස්ථානයක්.

ලෝකයේ හැම රාජ්‍යයක් ම උත්සාහ කරනවා ජනමාධ්‍ය තමන්ගේ දේශපාලන පදනම්, මතවාද, සංස්කෘතිකමය දේ සඳහා පාවිච්චි කිරීමට. ඒ නිසාම ජනමාධ්‍යයේ දෙබෙදුමක් ඇති වෙනවා. ඒ දෙබෙදුම තමයි රාජ්‍ය කේන්ද්‍රීය මාධ්‍යය හා ඊට එරෙහි ව ගොඩනැඟෙන රාජ්‍ය නොවෙන මාධ්‍යය.

රාජ්‍යය නොවන මාධ්‍යය යනුවෙන් ඔබ අදහස් කරනුයේ බහුතරයක් පිළිගන්නා පෞද්ගලික මාධ්‍යය කියන කොටසද?

පෞද්ගලික මාධ්‍යය කියන වචනය එන්නේ මේ මෑත කාලීන ව. 1960 ගණන්වලින් පස්සේ තමයි පෞද්ගලික මාධ්‍යය කියන ප්‍රපංචය ගැන මේ තරම් කතාකරන්න පටන් ගත්තේ.

සෝවියට් ක්‍රමයේ අර්බුදයත්, කඳවුරුවාදයේ තීරණාත්මක අවධියත් ගොඩනැඟුණාට පස්සේ මේ දෙකට විකල්ප මතවාද වශයෙන් තමයි ජනමාධ්‍ය එන්නේ. උදාහරණ වශයෙන් ලෝක දේශපාලනයත් දෙකට බෙදෙනවා. ඒ සමාජවාදී ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින රටවල් සහ ධනවාදී රටවල් වෙනුවෙන් පෙනී සිටින රටවල් වශයෙන්.

ටික කාලයකට පස්සේ වෙළෙඳපොළ අර්ථ ක්‍රමය යටතේ මේ දෙකට අතරමැදි ලිබරල්වාදී ක්‍රමයක් ගොඩනැඟෙනවා. ලාබ ලැබිය හැකි ව්‍යාපෘතියක් වශයෙන් මාධ්‍යය ගොඩනැඟෙනවා. මාධ්‍ය අලෙවිකරණය (Media Marketing) ආවට පස්සේ ජනමාධ්‍ය ගමන් කරන්නේ වෙනම ම දිශාවකට.

රාජ්‍යය කේන්ද්‍රීය මාධ්‍ය හා ලාභය අරමුණු කොටගත් රාජ්‍ය නොවන මාධ්‍ය කියන කොටස් දෙකට ආවේණික විශේෂතා වශයෙන් ඔබ දකින්නේ මොනවාද?

උදාහරණයක් විදියට මුල් කාලයේ තිබුණු රාජ්‍යය මාධ්‍යය රජයට අවශ්‍ය ආකාරයේ මතවාද සමාජයේ ගොඩනැවීම අරමුණු කරගත්තා. අනෙක් පැත්තෙන් තිබුණා රජයට එරෙහි වන දේශපාලන ව්‍යාපාර හෙවත් රජයේ මතවාද සමාජගත නොකරන මාධ්‍ය සම්ප්‍රදායක්.

මේ දෙකට ම අමතර ව ලාබ ලැබිය හැකි මාධ්‍යය සම්ප්‍රදායකුත් ගොඩනැඟෙනවා. ඒ කියන්නේ මාධ්‍ය කර්මාන්තයක් ය කියන මතවාදය. අලෙවිකරණය මූලික කරගත් පෞද්ගලික අරමුණු සහිත මාධ්‍ය සම්ප්‍රදායක් තමයි එයින් අදහස් කරන්නේ.

එතකොට මාධ්‍ය සම්ප්‍රදා දෙකක් නොවෙයි තුනක් තියෙනවා. දැන් ගත්තත් ආණ්ඩුව වෙනුවෙන් පාවිච්චි කරන මාධ්‍ය සම්ප්‍රදායක් හා පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩකරන මාධ්‍ය සම්ප්‍රදායක් තියෙනවා. ඒ වගේ ම ලාබය ම අරමුණු කරගත් මාධ්‍ය සම්ප්‍රදායකුත් තියෙනවා. මේ කියන මූලික සරල වෙනස තියෙනවා. නමුත් උපායයික වශයෙන් මේ අයගේ ලොකු වෙනසක් නැහැ.

අනෙක් පැත්තෙන් ගත්තොත් මේ දෙගොල්ලො ම දේශපාලනිකයි. අපේ රට ගත්තත් රාජ්‍යයට අයත් මාධ්‍ය ආණ්ඩුව විසින් පාවිච්චි කරනවා කියන චෝදනාව එනකොට ම, රාජ්‍යයට අයත් නොවන මාධ්‍ය ඊළඟට බලයට පත්වීමට තැත් කරන දේශපාලන පක්ෂයකට පක්ෂපාතී වෙනවා. මේකයි ස්වභාවය.

ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ආයතන ක්‍රියාකරන්නේ එහි හිමිකාරිත්වයේ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන්. එතකොට දේශපාලන අරමුණු සාධනය කරගැනීම උදෙසා ක්‍රියා කරන පිරිසට ඔවුනුත් අයිති වෙනවා.

පැහැදිලි ව ම ඔව්. ලංකාවේ මාධ්‍ය වෙනස් වෙන්නේ හිමිකාරිත්වය අතින් පමණයි. එකක් සෘජු ව ම රාජ්‍යයට අයත්. රජයේ වැය ශීර්ෂ මඟින් තමයි ඒවා නඩත්තු කරන්නේ. පෞද්ගලික මාධ්‍යය නඩත්තුª කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන් සහ ජනතාවගෙන් අය කරන ආදායමෙන්. මේ දෙකේ එක් වෙනසක් තමයි එය.

’හිමිකාරිත්වය අතින් පමණයි’ යන්නෙන් ඔබ අදහස් කරන්නේ මේ කොටස් ද්විත්වය ම එක සේ දේශපාලනිකයි කියන එකද?

ලංකාවේ තියෙන හැම මාධ්‍යයක් ම කුමන හෝ දේශපාලන අරමුණක් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේ ම විශාල වශයෙන් දේශපාලන අලෙවිකරණයක නිරත වෙනවා. යම් යම් නිශ්චිත කාලවලදී දේශපාලනය විසින් නිෂ්පාදනය කරන දේශපාලනික නිෂ්පාදන (Political Products) අලෙවි කිරීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් පෞද්ගලික මාධ්‍යය ඉටුකරනවා.

උදාහරණයක් විදියට අලුත් ම දේශපාලන නිෂ්පාදනය ලෙස පොදු අපේක්ෂකයා ගත්තොත් ඔහුගේ එසේත් නැත්නම් ඒ නිෂ්පාදනයේ අලෙවිකරණය බාරගෙන සිටින්නේ පෞද්ගලික මාධ්‍යය. පෞද්ගලික මාධ්‍ය දේශපාලනයෙන් වියුක්තයි කියලා කොහොමද කියන්නේ. අනිවාර්යයෙන් ම ඔවුන් යම්කිසි පිලකට වැඩ කරනවා.

ඔබට අනුව මධ්‍යස්ථ ජනතාවාදී මාධ්‍ය සම්ප්‍රදායක් අද ලංකාවේ දකින්නට නැත්ද?

ජනතාවාදී මාධ්‍යය සම්ප්‍රදායක් කියන එක අද යල් පැන ගිය එකක්. ජනතාවාදී කියන අර්ථය ගත්තම කවර ජනතාවක් වෙනුවෙන් ද පෙනී සිටින්නේ කියන කාරණය එනවා. මාධ්‍ය මේ මොහොතේ වැඩ කරන්නේ එක්තරා ආකාරයකට බලවාදී අරමුණක් වෙනුවෙන් . ඒ කියන්නේ කවර බල ව්‍යාපෘතියකට අපි පක්ෂ ද, ඒ ව්‍යාපෘතිය අපේ වැඩට යොදාගන්නේ කොහොමද කියන එක.

අනෙක් දේ ප්‍රාග්ධනවාදී වීම, එහෙමත් නැත්නම් අතිරික්තවාදී වීම. ඒ කියන්නේ අපිට කොයිතරම් ප්‍රාග්ධනයක් යෙදවිය හැකිද හා කොයිතරම් අතිරික්තයක් ලබාගත හැකිද යන්න. එතකොට මේ මාධ්‍ය පෞද්ගලික නිසා හරි ම ස්වාධීනයි. රාජ්‍යයට අයත් මාධ්‍ය හරි ම ආණ්ඩුවාදියි කියලා අපිට කියන්න බැහැ. ඒ තර්කය නොවැදගත් තර්කයක් කියලයි මට හිතෙන්නේ. අද ස්වාධීන මාධ්‍ය සම්ප්‍රදායක් කියලා එකක් නැහැ.

මේ වනවිට මධ්‍යස්ථ මාධ්‍ය භාවිතයක් ලෝකයේ කොහේවත් ගොඩනැඟිය නොහැකි බවද ඔබ මතු කරන්නේ?

මධ්‍යස්ථ මාධ්‍ය භාවිතයක් අද කොහේද තියෙන්නේ. වාර්ගික වශයෙන්, ආගමික, කුල, වර්ණ, ප්‍රාදේශීය ආදී වශයෙන් බෙදුණු සමාජයක මධ්‍යස්ථ මාධ්‍ය භාවිතයක් තියෙන්න පුළුවන්ද? මාධ්‍යය කොහෙත් ම මධ්‍යස්ථ නැහැ. කවුරුහරි එහෙම කියනවා නම් ඔහු කරගන්නේ ආත්ම වංචාවක්.

මෙහිදී වැදගත් වන්නේ මාධ්‍ය ක්‍රමවේදයන් හා ස්ථාවර හරිහැටි ජනතාවට වටහා දීමයි. අපිට කියන්න බැහැ මාධ්‍යයට අපක්ෂපාතී වෙන්න කියලා. අපි දැනගෙන ඉන්න ඕන මාධ්‍ය මේ වෙලාවේ ක්‍රියාකරන්නේ මේ දේ වෙනුවෙන් කියලා. ඒ පෙනී සිටින දෙය අපි හරි හැටි අවබෝධ කර ගැනීමයි කළ යුතු වන්නේ.

ඒ කියන්නේ ප්‍රචාරකවාදී මාධ්‍ය සම්ප්‍රදාය පිළිබඳ ව අපි සවිඥානික විය යුතු බවද?

ප්‍රචාරකවාදය ම නොවෙයි. හුදු ප්‍රචාරකවාදය සරලයි. එහි ගැඹුරට ගියාම පෙනෙනවා මේවායේ සමාජ, ආර්ථික, දේශපාලන බල ව්‍යාපෘති පිළිබඳ අභිලාෂයන් මොනවාද කියලා. නමුත් ප්‍රචාරකවාදය නරක නැහැ. එය කුමන සමාජ, ආර්ථික, දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටිනවද කියන එකයි ගැටලුව. එය විවෘත ව කරනවා නම් හොඳයි. සැඟවීමයි භයානක.

‘සංස්කරණය’ කියන එක ගන්න. ඒක හරි ම දේශපාලනික දෙයක්නේ. සංස්කරණය කරන්නේ කුමන කොටස ද කියන එකෙයි ගැටලුව තියෙන්නේ. කාටහරි කියන්න පුළුවන් සංස්කරණ ශිල්පියා කියන්නෙ හරි අහිංසකයෙක්නෙ කියලා. නමුත් මම දකින විදියට සංස්කරණ ශිල්පියකු තරම් දේශපාලනික මිනිසෙක් මේ ලෝකෙ තව නැහැ. මාධ්‍ය මධ්‍යස්ථයි, ප්‍රචාරකවාදියි කියන ඒවා සියල්ල ම බල ව්‍යාපෘති පමණයි.

දේශපාලනික අරමුණු සඳහා මාධ්‍ය පෙනී සිටිය යුතුයි කියලා ඔබ සිතනවද?

ඔව්. දේශපාලනය සඳහා මාධ්‍ය පෙනී සිටිය යුතුයි. නැතිනම් දේශපාලනය කියන කාරණය මිනිසුන්ට සන්නිවේදනය වෙන්නෙ කොහොමද? 1905 දි ලෙනින් කල්පනා කරන්නේ කුමක්ද? මම කොහොමද සමස්ත රුසියාවට ම පත්තරයක් කරන්නෙ කියලා.

ඔහු එය පාවිච්චි කළේ හොඳ අරමුණකින්. හිට්ලර්, මුසෝලිනි වැනි අයත් මාධ්‍ය පාවිච්චි කළා. ඒ තවත් අරමුණකින්. මෙතන ගැටලුව තියෙන්නේ මාධ්‍ය, දේශපාලනීකරණය වීම නොවෙයි, මාධ්‍යය දේශපාලනීකරණය වීම කොයිතරම් සමාජයට හිතකාමී ද කියන කාරණයයි.

නමුත් මාධ්‍යයේ මේ හැසිරීම මාධ්‍ය ආචාරධර්මයන්ට පටහැණි බවයි බහුතරයකගේ මතය.

ඇත්තෙන් ම මේ තත්ත්වය ආචාරධර්මානුකූල නැහැ. මම දකින දෙය තමයි ‘මාධ්‍ය නියාමනය කරන සමාජ යාන්ත්‍රණයක් තිබිය යුතුයි යන්න. මාධ්‍යයට පුළුවන් නම් ජනයා ව නියාමනය කරන්න, ඒ හා සමාන ව ම මාධ්‍යය නියාමනය කිරීමේ යාන්ත්‍රණයකුත් තියෙන්න ඕන.

අද වෙන කොට මහජනතාව කන බොන හැටි, අඳින පළදින හැටි කියලා දෙන්නෙ මාධ්‍යය. තව ටික දවසකින් ලංකාවේ පාසල්, තරුසැල් බවට පත් වෙනවා. අද වෙනකොට පාසල් පද්ධතිය මුළුමනින් ම විනෝදාත්මක මාධ්‍ය කර්මාන්තය විසින් ආක්‍රමණය කර තිබෙනවා. එතකොට මේ මාධ්‍යය අනිවාර්යයෙන් ම නියාමනය කළ යුතු වෙනවා.

නියාමනය කිරීම රාජ්‍යයට බාරදීලා හරියන්නේ නැහැ. පෞද්ගලික අංශයට දීලා හරියන්නෙත් නැහැ. ඒ හැමෝම නියාමනය කරන්නේ තම තමන්ට වාසි විදියට. මම හිතන්නේ මේ සඳහා රාජ්‍යය මැදිහත් වෙන්න ඕන. ඒ සඳහා හැම අංශයක් ම නියෝජනය වන පරිද්දෙන් නියාමන කමිටුවක් පත්කර ගැනීමත් සිදු කළ යුතුයි.

අධ්‍යාපනයක් අවබෝධයක් නැති අන්ත අසරණ පහළ පාන්තික ජනයාගේ ජීවිතයේ හැම ක්‍ෂෙත්‍රයක් ම නියාමනය කිරීමට මාධ්‍යයට හැකි නම් ඇයි ජනයාගෙන් සැදුණු සම්මුතියකට මාධ්‍ය නියාමනය කරන්න අයිතිය නැත්තේ. විශේෂයෙන් අපේ රටේ මාධ්‍යය බරපතල ඛේදවාචකයකට මුහුණ දීලා සිටිනවා. මම කියපු නියාමනය කළොත් තමයි, ඔබ කියන ආචාරධර්ම ගැන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ.

ලේක්හවුස් ආයතනය, ජාතික රූපවාහිනී සංස්ථාව, ගුවන් විදුලි සංස්ථාව ආදී මාධ්‍යය ආයතන රජය විසින් පාවිච්චි කරනවා කියන චෝදනාව සමාජයෙන් නැෙඟනවා. ඒවා ආණ්ඩුවේ හුදු ප්‍රචාරාත්මක මාධ්‍යය වශයෙනුයි හඳුන්වන්නේ. නමුත් අනෙක් මාධ්‍ය ආයතනත් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාත්මක වෙන බව පැහැදිලි ව ම පෙනෙනවා. එසේ නම් ආණ්ඩුවේ මාධ්‍යයට මේ නඟන චෝදනාව සාධාරණද?

ඇත්තට ම මිනිස්සු ඔය චෝදනාව කරන්නේ හරි ම අසාධාරණ විදියටනේ. මේ චෝදනාවේ පැහැදිලි ව පෙනෙන වැරැද්දක් තියෙනවා. රාජ්‍යයට අයත් ආයතන හසුරුවාලීමේ යාන්ත්‍රණය තමයි ආණ්ඩුව. ඒ හසුරුවන ආකාරයේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.

හැබැයි ඒ ආයතන හසුරුවන්න ආණ්ඩුවකට අයිතියක් තියෙනවා. ආණ්ඩුවට තමන්ගේ ප්‍රතිපත්ති, අනාගත වැඩපිළිවෙළවල්, ඊට එහා ගිය දේශපාලන ව්‍යාපෘති, රටේ සංවර්ධන යෝජනාවන්, ජනතාවට රජයේ නිවේදන හා තොරතුරු නිකුත් කිරීමට මාධ්‍යයක් අවශ්‍යයි. රජයේ මාධ්‍යය හසුරුවන්නේ පවතින ආණ්ඩුවෙන්. ආණ්ඩුවක් කියන්නේ දේශපාලන ඒකකයක්.

දේශපාලන ඒකකයක් වෙනුවෙන් මාධ්‍යය හසුරුවනකොට මාධ්‍යය අදේශපාලනීකරණය විය යුතුයි කියලා කියන්නේ කොහොමද? ඒ යථාර්ථය අපි වටහාගත යුතුයි. ගැටලුව තියෙන්නේ එතැන නොවේ. හැම මැතිවරණ නිරීක්‍ෂණ කමිටුවක් ම කියන කාරණයක් තමයි මේ මැතිවරණ සමයේදී ආණ්ඩුව තමන්ට වාසිදායක ලෙසින් ආණ්ඩුවේ මාධ්‍ය භාවිතා කළා ය කියන එක.

නමුත් කවුරුත් කියන්නේ නෑ, පෞද්ගලික මාධ්‍යය තමන්ට වාසිදායක දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වුණා ය කියලා. ඒක බාරගත යුත්තේ, ඕනෑම රටක මාධ්‍යය දේශපාලනය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කියන ආස්ථානයේ ඉඳන්.

මෙවැනි මාධ්‍ය හැසිරීමක් දක්නට ලැබෙන්නේ සුබ සාධන රාජ්‍යයන්හි පමණයි කියලත් සමහර විචාරකයෝ පවසනවා.

අන්තර්ජාලයට ගිහින් එක්සත් ජනපදයේ මැතිවරණ ව්‍යාපාරවලට වියදම් කළ ආයතන පිළිබඳ ව පොඩ්ඩක් විමසිලිවත් වුණොත් ඒ තර්කය බිඳ වැටෙනවා. කොයිතරම් පෞද්ගලික මාධ්‍ය ආයතන, ඩොලර් මිලියන ගණනින් ඡන්ද අපේක්‍ෂකයන්ට වියදම් කරලා තියෙනවද? ඒවා දේශපාලනික නොවේද? ඇයි අපි මේ බොරුව නඩත්තු කරන්නේ.

පෞද්ගලික මාධ්‍යය යම් දේශපාලනයක් මත ක්‍රියා කරන්නේ පෞද්ගලික ධනය උපයෝගී කොටගෙනයැයි මේ චෝදනාව ගොඩනඟන පිරිස පවසනවා. ඔවුන් පවසන්නේ ආණ්ඩුව වැය කරන්නේ මහජන මුදල් බවයි.

පෞද්ගලික මුදල්, මහජන මුදල් කියලා දෙයක් ලෝකෙ නැහැ. පෞද්ගලික මුදල් කියන්නේ මොනවාද? අවසානයේ පෞද්ගලික මුදල් කියන්නෙත් මහජන මුදල් ම තමයි. මොකද එහෙම නම් මේ අපේ පෞද්ගලික මුදල් කියලා පවසලා ඒ නිසා මහජනයාගෙන් බදු අය නොකර, වැඩසටහන් පමණක් පෙන්වලා, දැන්වීම් ගන්නෙ නැතිව පාඩුවේ කරගෙන යනවා කියලා කියන්න ඕන.

ජනයාට යම් යම් දේවල් විකුණලා, යම් යම් දේවල් සපයලා මුදල් ලබා ගන්නේ මොකටද? වෙළෙඳ දැන්වීම් මඟින් ප්‍රචාරණය කරන භාණ්ඩවලට ගෙවන්නේ කවුද? උදාහරණයක් විදියට කිරිපිටි සමාගමක් ගන්න. ඔවුන් පළ කරන දැන්වීමට අය කරගන්නෙ කාගෙන්ද? අපෙන්.

අපි කියන්න මහජනතාව. ඒ කියන්නේ මහජන මුදල්. අපට තියෙන්නේ පෞද්ගලික අංශයක් නොවෙයි, මුදලාලි අංශයක්. මේ දෙකේ එක ම වෙනසයි තියෙන්නේ. එය එක්තරා මට්ටමකට රජයෙන් ස්වාධීනයි. එච්චරයි. මේවා තනි මිනිස්සුන්ට අයිති නැහැ. මේක පටලවාගෙන ඉන්නේ. ලංකාවේ පෞද්ගලික අංශයක් නැහැ.

’දිනමිණ’ පුවත්පත මේ වන විට වසර 100 ක් සම්පූර්ණ කරනවා. මේ ගත කළ වසර සියයෙන් දශක හතරකට ආසන්න කාලයක් රජයට අයිති මාධ්‍යයක් විදියටයි ‘දිනමිණ’ ක්‍රියාත්මක වන්නේ. ‘හැම මාධ්‍යයක් ම දේශපාලනිකයි’ කියන ඔබේ තර්කය යටතේ ‘දිනමිණ’ මේ ගත කළ වසර සියය ගැන ඔබේ අදහස.

’දිනමිණ’ කියන්නේ ලේක්හවුස් ආයතනයේ පත්තරයක්. ලේක්හවුස් පත්තර කියන එක කොටස් දෙකකට බෙදෙනවා. ඒ ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට පෙර කාලය හා රජයට පවරා ගැනීමෙන් පසු කාලය වශයෙන්. මගේ තර්කය මේකයි.

පෞද්ගලික අයිතිකරුවන් සිටි යුගයේ ‘දිනමිණ’ අපක්‍ෂපාතී පත්තරයක් ද? ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පිළිබඳ ව දිනමිණ අපක්‍ෂපාතී වුණා ද? ඒ කාලේ දිනමිණ දක්‍ෂිණාංශික දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටිමින් තනිකර ම වමේ ව්‍යාපාරය හෙළා දකිමින් ක්‍රියා කළා. දැන් රජයට පක්‍ෂපාතියි කියන අය ඒ කාලේ ගැන මොකද කියන්නේ.

දිනමිණ කියන්නේ දිනපතා පත්තරයක්. දිනපතා පුවත්පත් මිලදී ගන්නේ එක්තරා ආකාරයකට ප්‍රවෘත්ති බලන්න. නැත්නම් විනෝදයට.

දිනමිණේ මම දැකපු සුවිශේෂතා තියෙනවා. එක් එක් කාලවකවානුවල ‘දිනමිණ’ ඒ කාලයේ අවශ්‍යතා අනුව ගොඩනැඟෙනවා. උදාහරණ විදියට ‘දිනමිණ’ කාලයක් නිකුත් කළ යම් යම් අතිරේක නිසා ම මිනිස්සු එය මිලදී ගත්තා. විවිධ කාලානුරූපි දේවල් කරා යාමේ ගුණයක් දිනමිණට තිබුණා.

ලංකාවේ පත්තර සංස්කෘතිය කියන්නේ නිකම් ම නිකන් තොරතුරු දැන ගැනීමේ මාධ්‍යයක් නොවෙයි. මේ ස්වභාවය හොඳින් තේරුම්ගත් බවක් දිනමිණ පෙන්නුම් කරලා තියෙනවා.

හැම මාධ්‍යයක් ම (මුද්‍රිත හෝ විද්‍යුත්) දේශපාලනිකයි. හැමෝම තම තමන් තෝරාගත් දේශපාලන ව්‍යාපෘතිවලට උදව් කරමින් ඉන්නවා. ඒ නිසා ‘දිනමිණ’ රජයේ පුවත්පතක් වශයෙන් මේ කරන කාර්යයට ඇඟිල්ල දික් කරන්න කාටවත් බැහැ. මොකද ඔවුනුත් කරන්නෙ ඒකමයි. පෞද්ගලික පුවත්පත් ඇත්තට ම පෞද්ගලික ද? ඔවුන් වැය කරන්නේ් මහජන මුදල් නොවේද?