දිනමිණ මට වඩා වැඩිමල් අවුරුදු දහතුනයි
 

දිනමිණ මට වඩා වැඩිමල් අවුරුදු දහතුනයි

 

කලාකීර්ති එඩ්වින් ආරියදාස

දිනමිණ දිනාගෙන සියවසරක් තිස්සේ

නැණගුණ පතළ කළ හෙළ දිවයින ඔස්සේ

පින බණ දහම - තොරතුරු සෙත දෙන රිස්සේ

දිනමිණ දිනේවා ආසිරි මල් වැස්සේ

1949 දී මා ලේක්හවුස් ආයතනයට බැඳෙන විට, ඒ සංවිධානය, ප්‍රධාන වශයෙන් ම විජයවර්ධන පවුලට අයත් ව්‍යාපාරයක් ව පැවැත්තේ ය. පෞද්ගලික අංශයේ ආයතනයක් වුවද, එහි සංවිධාන ම ය පක්ෂය සහ පරිපාලන අංශය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙහි අතිශයින් ම ප්‍රවීණ ලෙස ඉතා ම හොඳින් සකස් වී තිබිණ. ලේක්හවුස් ආයතනයේ ඉරණමෙහි උච්චාවචයන් තිබුණ ද අදත් ඒ සාම්ප්‍රදායික විශිෂ්ටතාවයන් ඉතා හොඳින් සුරැකී ඇත්තේ ය.

සියවස සැපිරෙන දිනමිණ මට වඩා අවුරුදු දහතුනක් වැඩිමල් ය. මගේ දිවිපෙවෙතින් තිස්තුන් වසක් මුලුල්ලේ, මම ලේක්හවුස් ආයතනයේ සංස්කාරක මණ්ඩලයෙහි සිටියෙමි. මෙසේ සලකා බලන කල්හි, මගේ යොවුන් දිවිපෙවෙතෙහි ඉතා පෘථුල අංශයක් ගෙවුණේ ලේක්හවුස් ආයතනයේයි. ඒ නිසාම, ‘දිනමිණ’ පුවත්පත, මා දිගු කලක් මුලුල්ලේ හෘදයංගම ලෙස ආශ්‍රය කළ සුහද මිතුරෙක් වැන්න.

මා, දිනමිණ දැන- ඇඳින ගත්තේ, නිල වශයෙන් ලේක්හවුස් ආයතනයට බැඳෙන්නට බොහෝ කලකට පෙරදීය. මා පුවත්පත් කෙරෙහි, ඇල්ම දක්වන්නට පටන්ගත්තේ කුඩා කල පටන් ම ය. අපගේ ළමාවියේ දී, ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ව පැවැති එක ම සිංහල දිනපතා ප්‍රවෘත්ති පත්‍රය වූයේ දිනමිණයි. ගම්මානයට, බාහිර ලෝකය ගෙන එන ලද්දේ දිනමිණ විසිනි.

යමක් කමක් දන්නා ගමේ උදවිය, ලේක්හවුස් ආයතනය ගැන දැන සිටියේ ‘දිනමිණ’ කන්තෝරුව හැටියටයි. සමහරුන්ට ‘දිනමිණ’ පත්‍රය කියවා ගැනීම, පැහැර හැරිය නොහෙන වතාවතක් වැනි වූයේ ය. අපේ ගමේ ඒ කාලයේ විසූ කොප්පරා මුදලාලි කෙනෙක්, පාසලේ ගුරුවරයකු ලවා ‘දිනමිණ’ මුල සිට අගට කියවා ගත්තේ ය. දිනමිණ පත්‍රය කියවා ගැනීම, ඔහුට ආගමික චාරිත්‍රයක් වැනි විය.

මා මුලින් අකුරු කළ, උණවටුනේ බෞද්ධ මිශ්‍ර පාසලේ දී, ආචාර්යවරු අපට සතියකට වරක් දෙකක් ‘දිනමිණ’ පත්‍රයේ කතුවැකියක් කියවා ඒ පිළිබඳ ව විවරණයක් සැපයූහ. ඒ නිසා ‘දිනමිණ’ මගේ අධ්‍යාපන විකාශනය කෙරෙහි, බලපෑයේ මුල් කාලයේ පටන්ම ය.

වැඩිහිටි වූ විට ‘පත්තර කත්තුරු’ කෙනෙකු වෙන්නට ඕනෑ යැයි මගේ සිඟිති අධා්‍යාත්මයේ සනිටුහන් වූයේත් ‘දිනමිණ’ නිසා ය. ‘සිළුමිණ’ වැනි සෙසු පුවත්පත් නිසා ඒ අධ්‍යාශය තහවුරු වූයේ ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා කොළඹට ආවාට පසු ව ලේක්හවුස් ආයතනයේ මාර්ටින් වික්‍රමසිංහ, ඩෙන්සිල් පීරිස් වැනි දැවැන්තයන් ඇසුරු කිරීමේ භාග්‍යය මට උදාවූයේ ය. මම ඒ කාලයේදීත් ලේක්හවුස් ප්‍රකාශනයන්ට ලිපි සම්පාදනය කළෙමි. මේ කරුණු මා සැකෙවින් කියා සිටියේ මාත් ‘දිනමිණත්’ අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳ විත්ති කථනයකට පූර්විකාව වශයෙනි.

විශ්වවිද්‍යාලයේ උපාධි පරීක්ෂණයට පෙනී සිට, ප්‍රතිඵල ලැබෙන තෙක් මම ගමට ගොස් ගාල්ලේ අපේ මහින්ද විදුහලේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කළෙමි. ප්‍රතිඵල ලැබීමෙන් පසුව, පෙරලා කොළඹ ආ මට, රක්ෂණ සමාගමක ලේකම් පදවිය ලැබුණේය.

එහි රාජකාරි කටයුතු කරමින් සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරී නිලධාරියකු හැටියට, ඒ හා බද්ධ ව දිවයිනේ විවිධ ප්‍රදේශවල යොවුන් කණ්ඩායම් හා සමඟ බෞද්ධ කටයුතුවල යෙදෙන්නට මට අවස්ථාව ලැබුණේ ය.

රක්ෂණ සමාගමේ රාජකාරිවල යෙදී සිටියදී මගේ වෘත්තීය ජීවිතයේ ප්‍රබල සිද්ධියක් සිදුවුණේ ය. එවකට, ලේක්හවුස් ආයතනයේ සභාපති පදවියේ සිටියේ, එස්මන්ඩ් වික්‍රමසිංහ මහතායි. සභාපතිතුමා, නියෝජිතයකු මඟින් මට පණිවුඩයක් එව්වේ ය.

ලේක්හවුස් ආයතනයේ සංස්කාරක මණ්ඩලයට බැඳෙන්නැයි මට දන්වා එවා තිබුණේ ය. මා, දහර වියේ පටන් ම පුවත්පත්කලාවට ළැදි බව දැන සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතා, මා නිලවශයෙන් පුවත්පත් කලාවට එළඹීම අනුමත කළේ ය.

මා, එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා හමුවූ විට, සභාපතිතුමා, ඉතා සුහද ලෙස මා පිළිගත්තේ ය. ම විසින්, සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සංගමයට සහභාගිවී කරගෙන යනු ලබන සාමයික කටයුතු සඳහා මට අවශ්‍ය නිදහස සපයන බවද, සභාපතිතුමා පවසා සිටියේ ය.

මා කෙරෙහි විශේෂ කරුණාවක් දක්වමින්, සභාපති තුමා ම මා සංස්කාරක මණ්ඩලය වෙත කැඳවාගෙන ගියේ ය. ඩේලිනිව්ස් කතු මඩුල්ලටත්, දිනමිණ සංස්කාරක මණ්ඩලයටත්, මා හඳුන්වා දෙන ලද්දේ, සභාපතිතුමා විසින් ම ය.

මා ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයේ රාජකාරි ආරම්භ කළේ මේ ආකාරයෙනි. මා බැඳුණු දිනය, 1949 යේ මාර්තු මස තුන්වනදා ය.

ලේක්හවුස් ආයතනය, විභූතිමත් ප්‍රභාවක් සහිත සංවිධානයක් සේ ස්ථාපිත ව සිටියේ ය. විශ්වවිද්‍යාල උපාධිධාරීහු පවා ඒ කාලයේ දී ලේක්හවුස් ආයතනයේ වෘත්තිය රජයේ වෘත්තියක් තරම් ම සම්මානනීය ලෙස සැළැකූහ. ලේක්හවුස් ආයතනයට බැඳුණු හැටියේ, මම ‘දිනමිණ’ සංස්කාරක මණ්ඩලයට අනුයුක්ත කරනු ලැබූවෙමි. සංස්කාරක මණ්ඩලයේ කාර්ය රටාව, මා සිත් ගත්තේ්ය. මාණ්ඩලිකයන්ගේ චර්යා පද්ධතිය, ඔවුන් රාජකාරියට කැපවන ආකාරය, අවශ්‍ය කටයුතු නිසි සේ කරනු පිණිස ඔවුන් සතු උද්වේගය, මුලින් ම මගේ මනසට කාවැදුණේ ය.

මා දිනමිණ සංස්කාරක මණ්ඩලයට බැඳෙන විට ‘දිනමිණ’ පුවත්පතෙහි කර්තෘත්වය දැරුවේ පියසේන නිශ්ශංක මහතායි. සිංහල සංස්කෘතියේ සනාතන හරපද්ධතිය, සිය ජීවිතයට ස්ථාවර ලෙස යාකොටගෙන සිටි පියසේන නිශ්ශංක මහතා, මාධ්‍ය ලෝකයේ විචිත්‍ර චරිතයක් වූයේ ය. පියසේන නිශ්ශංක මහතා දේශජ චින්තන සම්ප්‍රදාය ගරු කළේ ය. එහෙත්, ඔහු සිය මාධ්‍යය තුළින් නවීන චින්තනය සිංහල පාඨකයා වෙත ගලා ඒමට කිසිසේත් බාධා කළේ නැත.

පියසේන නිශ්ශංක මහතා රසිකයෙකි. ගැමි කවි, ජනප්‍රවාද ආදිය කෙරේ ඇල්ම දැක්වූ ඔහු, ඉඳහිට කවියක් කීවේ ය. කතන්දරයක් කියා, අසන්නන්ට විනෝදය සැපයුවේ ය.

’ දිනමිණ’ සංස්කාරක මණ්ඩලයට බැඳුණු මුල් අවධියේ මට ප්‍රධාන වශයෙන් ම නියම ව තිබුණේ කතුවැකි ලිවීමයි.

එදා, දිනමිණෙහි කතුවැකි ලිවීමේ සම්ප්‍රදායයෙහි ප්‍රධාන නැඹුරුවක් තිබුණේ ය. සිංහල, දෙමළ පුවත්පත්වල කතුවැකි, බොහෝවිට ඉංගිරිසි පුවත්පතේ කතුවැකිවල අනුවාදයක් වූයේ ය. දිනමිණත් බොහෝවිට අනුගමනය කළේ එවැනි ප්‍රතිපත්තියකි. ඉංගිරිසි පුවත්පත උදෙසා ලියැවුණු, කතුවැකියේ කාබන් පිටපත ලැබුණු විට කළ යුතු ව තිබුණේ එය සිංහලයට අනුවාදය කිරීම පමණි.

පසුව, දිනමිණෙහි අපි ද දිනමිණට ම විශේෂ වූ තේමා හා ප්‍රස්තුත කේන්ද්‍ර කොටගෙන කතුවැකි ලිවීමට මුල්තැන දෙන සම්ප්‍රදායයට එකතු වූයෙමු. පියසේන නිශ්ශංක මහතාත් මාත්, කතුවැකි ලිවීමේදී ක්‍රියාවේ යෙදවූ ඇතැම් දේ, ‘දිනමිණ’ සියවසෙහි, විචිත්‍ර මානව ඉතිහාසයට ආටෝපය සපයන අංශවලට අයත් වෙයි.

සාමාන්‍ය ‘චාරිත්‍රය’ වූයේ අප දෙදෙනා එක් ව කතුවැකි ලිවීමයි. පියසේන නිශ්ශංක මහතාගේ පුරුද්ද වූයේ, කඩදාසිය දෙකට ඉරා, ඒ කඩදාසිවල සිය කතුවැකිය ලේඛනගත කිරීමයි. කතුවැකි ලිවීමෙන් පසු ව, පියසේන නිශ්ශංක මහතා සක්මනකට යන්නේ ය. මමත් ඒ මහතා කැටුව යන්නෙමි.

ලේක්හවුස් ගොඩනැඟිල්ලෙන් දොරට බසින අපි, වැසි නැති දවසකදී නම්, ගාලු මුවදොර මැද පාර දිගේ මඳක් තැන් ගමන් කරන්නෙමු. සක්මන කෙළවර වන්නේ, සුපුරුදු හෝටලයකිනි. එහිදී, කේක් කැබැල්ලක් කා, තේ එකක් බී, අපි පෙරළා කාර්යාලයට එන්නෙමු.

ඒ මුල් කාලයේදී, මුද්‍රණ තාක්ෂණය පැවැතියේ, අද හා සසඳන විට, තරමක් නොදියුණු මට්ටමකයි. එදා පුවත්පත මුද්‍රණය කරන ලද්දේ අතින් අකුරු ඇමිණීමෙනි. එසේ වුවද, එදා අප සක්මනට ගොස් ආපසු එනවිට, අප විසින් ලියා තබා යන ලද කතුවැකිවල ශෝධ්‍ය පත්‍ර අපගේ මේස මතට පැමිණ තිබෙන්නේ ය.

’ දිනමිණ’ කාර්ය මණ්ඩලයේ උත්කෘෂ්ඨ ලක්ෂණය වූයේ කාර්යක්ෂම භාවයයි. තමන්ට පැවරුණු වගකීම්, ශික්ෂණයෙන් යුක්ත ව ඉටුකිරීමට, කාර්ය මණ්ඩලයේ කවුරුත් කැපවී සිටියහ. ශතවර්ෂයක් මුලුල්ලේ ‘දිනමිණ’ ජාතික පුවත්පතක් වශයෙන් ස්ථාවර ව පවත්නේ, ඒ ප්‍රබල කැපවීමේ ගතිය හේතුකොටගෙනයි. සියවස එළැඹි අවස්ථාවෙහි අතීතාවර්ජනයක යෙදෙන විට ඉතා පැහැදිළි ව පෙනෙන්නේ ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයෙහි නියුක්ත ව සිටි විශිෂ්ට පුද්ගලයන්ගේ ස්වභාවයයි.

මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය කේ.එස්.ජයතිලක, ජී.බී.සේනානායක වැන්නෝ දිනමිණ කර්තෘ මණ්ඩලයෙහි නියුක්ත ව සිටියහ.

‘දිනමිණ’ පුවත්පත කෙරෙහි සෙසු ලේක්හවුස් ප්‍රකාශන විසින් ද දක්වන ලද්දේ ගෞරව සම්ප්‍රයුක්ත සුහදතාවයකි. මා ලේක්හවුස් ආයතනයට බැඳුණු හැටියේ ම පාහේ, එදා ඩේලිනිව්ස් පුවත්පතෙහි කතුවරයාගෙන් මට ලියමනක් ලැබුණේ ය. ඒ වනවිට ඩේලිනිව්ස් පුවත්පතේ කර්තෘත්වය දැරුවේ ජයන්ත පද්මනාභ මහතායි.

ඒ මහතා ශ්‍රී ලංකාවෙන් ජගත් ජන මණ්ඩලයට ගිය විශිෂ්ට ප¼ඩිවරයකු වූ ආනන්ද කුමාරස්වාමි මහතාගේ මුනුබුරෙකි. ඒ මහතා සිය සටහනෙන් මට කියා සිටියේ, සිංහල සංස්කෘතිය පිළිබඳ ව, ඩේලිනිව්ස් පුවත්පතටත් ලිපි සපයන ලෙසයි. ‘දිනමිණ’ පුවත්පත විසින් දේශජ සංස්කෘතික දායාදය කෙරේ දැක්වෙන සුවිශේෂී අවධානය ඩේලිනිව්ස් කතුවරයා විසින් ද සුහද සම්මානයෙන් සැලකූ බව ඒ ඉල්ලීමෙන් ඉතා ම හොඳින් පැහැදලි වන්නේ ය. දිනමිණෙහි ප්‍රධාන ආවේගය වූයේ, දේශජ සංස්කෘතිය සහ දේශීය උරුමයන් රැකගනිමින් සිය මාධ්‍ය වගකීම හරිහැටි ඉටු කිරීමයි.

1949 දී මා ලේක්හවුස් ආයතනයට බැඳෙන විට, ඒ සංවිධානය, ප්‍රධාන වශයෙන් ම විජයවර්ධන පවුලට අයත් ව්‍යාපාරයක් ව පැවැත්තේ ය. පෞද්ගලික අංශයේ ආයතනයක් වුවද, එහි සංවිධාන ම ය පක්ෂය සහ පරිපාලන අංශය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙහි අතිශයින් ම ප්‍රවීණ ලෙස ඉතා ම හොඳින් සකස් වී තිබිණ. ලේක්හවුස් ආයතනයේ ඉරණමෙහි උච්චාවචයන් තිබුණ ද අදත් ඒ සාම්ප්‍රදායික විශිෂ්ටතාවයන් ඉතා හොඳින් සුරැකී ඇත්තේය.

අවුරුදු සියයක් මුලුල්ලේ දිනමිණෙහි කර්තෘවරු ද විටින් විට වෙනස් වූහ. 1969 දී පියසේන නිශ්ශංක මහතා අභාවයට පත්වූයේ ය. ජීවිතයෙන් සමුගෙන යන තෙක් ම, ඔහු සිය පදවියෙහි උන්නේ ය. පියසේන නිශ්ශංක මහතා දිනමිණට මෙන්ම ලේක්හවුස් ආයතනයට ද, මහා මෙහෙයක් ඉටු කළ අයෙකි. විවිධ පුවත්පත්වල කර්තෘත්වය හෙබ වූ ඔහු ග්‍රන්ථ කිහිපයක් ද රචනා කළේ ය. ‘දිවමල් දිවසළු’ නමින් කෙටි කථා සංග්‍රහයක් පළ කළ ඔහු ‘වදුල’ නමින් ද කෘතියක් කළේ ය.

පියසේන නිශ්ශංක මහතා පදිංචි ව සිටියේ කැන්දලියද්දපාළුව නම් ගම් පළාතේයි. කුඩා කාලයේදී ආස්වාදය කළ අත්දැකීම්, ඔහු සිය කෘතීන්හි පළකොට සිටින්නේ විචිත්‍ර ආහ්ලාහයකිනි. ඔහුගේ ඇවෑමෙන් එම්.ඒ. ද සිල්වා, ධර්මපාල වෙත්තසිංහ, මෙත්තානන්ද, සුබසිංහ ආදීහු දිනමිණ සංස්කාරක පදවිය ලැබූහ. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු ව කර්තෘත්වයට පත්වුණේ පෙරමුණේතිලකය. ඉක්බිතිව ඒ පදවියට පත්වූ අයගෙන් එක් අයෙකු වූයේ ජී.එස්.පෙරේරා ය.

දිනමිණෙහි මුහුණුවර වෙනස් කළ ප්‍රබලතම මුද්‍රණ තාක්ෂණ ක්‍රමය නම් “වෙබ් ඕෆ්සෙට් ෆ්ලයි පේස්ටර්” රෝටරි යන්ත්‍රයයි. ඉතා ම ශීඝ්‍ර වේගයෙන් පුවත්පතේ පිටු මුද්‍රණය කිරීමේ ශක්තිය සහිත, මේ රෝටරි යන්ත්‍රය නිසා කර්තෘ මණ්ඩලයේ කාර්ය රටාව ද, පෘථුල ලෙස විකාශනයට පත්වූයේ ය. විදේශ විත්ති, පුවත්පත සඳහා සකස් කොට ගැනීමේදී දිනමිණ කාර්ය මණ්ඩලය සතු වන ක්‍රියාදාමය, ඉංගිරිසි පුවත්පතක නියුක්තයන්ගේ වගකීමට වඩා බොහෝ සේ අධිකයි. ඉංගිරිසි පුවත්පත විසින්, ටෙලිප්‍රින්ටරයෙන් ලබන නිවේදනය, සකස් කොට මුද්‍රණය කෙරේ. එහෙත්, දිනමිණ විසින් ඒ ටෙලිප්‍රින්ටර් පුවත සිංහලයට නඟා පළකළ යුතු වේ. මේ නිසා ම දිනමිණ පුවත්පතෙහි මුල් කාලයේ පටන් ම, අනුවාදක කෞශල්‍යයට විශේෂ තැනක් හිමිවූයේ ය.

දිනමිණ සංස්කාරක මණ්ඩලයෙහි මා නියුක්ත ව සිටි සමයයෙහි එහි සිටි අය අතුරින් බොහෝ දෙනා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඉතිහාසයෙහි නම් දැරූ අයයි. ඒ කාලයේ විශේෂාංග ලේඛකයන් අතර සිටි එක් පුවත්පත් කලාවේදියෙක් නම් බී.ඒ.සිරිවර්ධනයි. දිනමිණෙන් ඉවත් ව, පසුකලෙක ජනතාවාදී දේශපාලන පුවත්පතක සංස්කාරක පදවිය කළ බී.ඒ.සිරිවර්ධන, පාඨක හෘදයග්‍රහණයෙහි ලා සුවිශේෂී ව්‍යක්ත බවක් සහිත, පුවත්පත් භාෂා ශෛලියක් ලේඛන කලාවට එකතු කළේ ය.

නිර්දය සිනමා විචාරකයකු වශයෙන්, ජන අවධානයට ලක්වූ ජයවිලාල් විලේගොඩ, ඉඳගෙන සිටියේ මගේ අසුන අසලමයි. එහෙත්, මම කිසිවිටෙක ඔහුගේ මත හෝ විචාරයන් පිළිබඳ ව කවරාකාරයෙක හෝ විවේචනයක නොයෙදුණෙමි. ඔහු, එක්තරා ආකාරයෙකින් අභීත පුද්ගලයෙක් හා ධෛර්යසම්පන්න චරිතයක් වූයේ ය.

අසාධ්‍ය හෘදයාබාධයකින් පෙළුණු ඔහු, තමා අකාලයේ මිය යන බව දැන සිටියේ ය. ඔහු මියගිය විට, ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශ කෙරේ යැයි ඔහු අපගේ සිත් පාරන ආකාරයක සිනාමුසු බවකින් කියන්නට පුරුදු ව සිටියේ ය. විස්මය නම්, යම්කිසි හේතුවක් නිසා ඔහු මිය ගිය දිනය ජාතික නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශ කරන්නට සිදුවීමයි. සුදාස් මාසකෝරාළ, විමලසිරි පෙරේරා, සොලමන් රණසිංහ ආදීහු ද එදා දිනමිණ කර්තෘ මණ්ඩලයෙහි සිටියහ.

ඩී.සී.කරුණාරත්න හා ධර්මවර්ධන ද එදා දිනමිණ කතු මඬුල්ලට අයත් පුවත්පත් කලාකාරයෝ වූහ. චිත්‍රපට අධ්‍යක්ෂක වසන්ත ඔබේසේකරත්, දිනමිණ කතු මඬුල්ලෙහි ටික කලක් නියුක්ත ව සිටි බව මට මතකයි. මා දිනමිණට බැඳෙන සමයයෙහි සයිරස් ඩබ්ලිව්.සුරේන්ද්‍ර සංස්කාරක මඬුල්ලෙහි ප්‍රවීණයෙක් විය. පසු ව බිනෝයි සුරේන්ද්‍ර කර්තෘ මණ්ඩලයට ආයේ ය. ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ ප්‍රථම චිත්‍රකථා පුවත්පත වන ‘සතුට’ නම් ප්‍රකාශනයේ පුරෝගාමී කතුවරයා වූ බන්දුල සමරසිංහ, දිනමිණ කතුමඬුල්ලෙහි නියුක්ත ව සිටියෙකි.

එදා කර්තෘ මණ්ඩලයෙහි සිටි කාන්තාවන්ගේ සංඛ්‍යාව අතිශයින් සීමිත විය. හේමා වික්‍රමාරච්චි දිනමිණෙහි සිටි ලේඛිකාවකි. මේ විවිධ චරිතයන්ගේ ඒකාබද්ධ චර්යා රටා හේතුකොටගෙන, දිනමිණ කර්තෘ මණ්ඩලයට සුවිශේෂී මානව ගුණයක් එක්වූයේය. ඔවුන්ගේ පුරුදු, විචිත්‍ර ය. ඇතැම්හු සේවයට ආ හැටියේ කඩදාසි කැබලි කිහිපයක් ගෙන සිය අසුන හා මේසය කිහිපවාරයක් ම පිසදමති.

ඒ කාලයේදී, දවසට කිහිප වරක් සංස්කාරක මණ්ඩල ප්‍රදේශයට තේ ට්‍රොලියක් එන්නේ ය. වඩයක් කාලා, තේ එකක් බීලා දවස පටන්ගැනීම චාරිත්‍රයක් වැනි විය.

ඇතැම් දිනවල කර්තෘ මණ්ඩලයේ කණ්ඩායම් ආප්ප කෑමට යෑමේ සිරිතක් ද කලක් පැවැත්තේය. සුහද ව සහයෝගී ව කටයුතු කිරීම නිසා උද්ගතවන මානව “උණුහුම” දිනමිණ සංස්කාරක මණ්ඩලය පුරා නොඅඩු ව විහිදුණේ ය.

මගේ තිස්තුන් අවුරුදු කාල පරිච්ඡේදය තුළදී දිනමිණ කර්තෘ මණ්ඩලයෙහි ‘වාතාවරණය’ වෙනස් වූ ආකාරය, විස්මය උපදවන සුළුය. මුල් කාලයේදී කතු මඬුල්ලට වෙන්ව පැවැති ප්‍රදේශය අතිශය ඉඩකඩ සහිත වූයේ ය. එහෙත්, අනුක්‍රමයෙන්, කතු මඬුල්ලේ ඇතිවූ තදබදය ඇදහිය නොහෙන තරම් වූයේ ය. ආරම්භයේදී කතු මඬුල්ල ආශ්‍රිත ව තිබුණු ටෙලිප්‍රින්ටර් යන්ත්‍රය අඩි තුනක් පමණ උස ය. ඉන් පණිවුඩ ලැබෙන විට තරමක් දැඩි හඬක් නිකුත් වූයේ ය. එහෙත් අනුක්‍රමයෙන් ටෙලිප්‍රින්ටර් යන්ත්‍රය, මේසය මත තැබෙන පරිගණකයටත් වඩා කුඩා වූයේ ය.

දිනමිණෙහි සියවසක ඉතිහාසය මුලුල්ලේ, වාර්තා වූ ප්‍රධාන සිද්ධි අතුරින් ඉස්මතු ව පෙනෙන විශිෂ්ටතම වීර ක්‍රියාව නම් 1969 ජූලි මාසයේ දී, ඇමෙරිකානු අජටාකාශගාමීන් දෙදෙනෙකු සඳතලය මත පා තැබීමයි.

ජනතාවගේ අවධානය ඉතා ම ප්‍රබල ලෙස ග්‍රහණය කොට ගන්නා ලද ලොකුªම ප්‍රවෘත්තිය වූයේ එය විය හැකි ය. දිනමිණ පුවත්පතෙහි ඉතා ම අධික පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කෙරුණේ කොළඹ පැවැති නොබැඳි ජාතීන්ගේ මහා සම්මේලන වාරය අරභයා යැයි මම සිතමි. දිනමිණ කර්තෘ මණ්ඩලයේ කටයුතු සඳහා සහාය සැපැයූ කාර්යාල කාර්ය සහායකයෝත් සිය වගකීම් හොඳින් අවබෝධ කොටගත් පිරිසක් වූහ. සීතින්, පීටර්, පියසේන, බණ්ඩා ඔවුන් අතුරින් කිහිප දෙනෙකි.

දිනමිණ කර්තෘ මණ්ඩලයෙහි ඒකාබද්ධ ක්‍රියාදාමය ආශ්‍රිත ව පැන නැඟුණු රසකථා අතිශය ළගන්නා සුළු ය. ඒවා වෙන ම එකතුවක් වශයෙන් පළකිරීමට පවා සුදුසු ය. උසස් අධ්‍යාපන මට්ටමේ විද්‍යාර්ථීන්, මාධ්‍ය ආයතනික ක්‍රියාදාමය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබනු පිණිස ප්‍රථම වරට දිනමිණ කර්තෘ මණ්ඩලයට ආයේ මේ කාලයේදී ය. පුවත්පත්කලාව පිළිබඳ ව එවැනි ප්‍රායෝගික පුහුණුවක් ලබනු පිණිස, පළමුවෙන් ම දිනමිණ කර්තෘ මණ්ඩලයට ආයේ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් කණ්ඩායමකි. ඒ 1969 යේ දී ය.

එතැන් පටන් විවිධ විශ්වවිද්‍යලවල උපාධ්‍යාපේක්ෂකයන් දිනමිණ කර්තෘ මණ්ඩලය ආශ්‍රිත ව, ප්‍රායෝගික පුහුණුවක් ලැබීම, ස්ථාවර අධ්‍යාපන ක්‍රියාදාමයක් බවට පත්විය.

එවැනි ක්‍රියාවලීන්ට විශේෂ සහයෝගය දැක්වූ කර්තෘ මාණ්ඩලික සුහදයකු වූයේ තිලකරත්න කුරුවිට බණ්ඩාරයි. පුහුණුව සඳහා දිනමිණ කර්තෘ මණ්ඩලයට එන යොවුන් විද්‍යාර්ථීන්ගේ අවශ්‍යතා පිළිබඳ ව තියුණු ලෙස සංවේදී වූ අවධානයක් ඔහු විසින් යොමු කරන ලද බව විශේෂයෙන් මතක් කළ යුත්තකි. නිර්මාණශීලී දර්ශනයකින් හෙබි ඔහු, මුද්‍රිත මාධ්‍ය ක්‍ෂේත්‍රයේ නවීකාරක, විචක්ෂණ සන්නිවේදක ප්‍රභූ®ත්වයක් අදත් ලබා සිටී. ඔහු සහ බිනෝයි සුරේන්ද්‍ර එක් ව, රූපවාහිනී මාධ්‍යය උගන්වාලීම සඳහා අතිශය ප්‍රතිඵලදායී පුරෝගාමී පාඨමාලා ආරම්භ කළ බවද, මාධ්‍ය ඉතිහාසයට එකතු විය යුතු ප්‍රවෘත්තියකි.

දිනමිණ කර්තෘ මණ්ඩලයෙහි ආලෝකය දියුණු කළ දයා සේන ගුණසිංහ, සිය අපූරු කවිත්වය ප්‍රථමයෙන් ම පාඨක ලෝකයට දායාද කළේ දිනමිණ සංස්කාරක මඬුල්ලෙහි සිටිය දී ය. සිය ප්‍රතිභා බලය උස්හ¼ඩින් ප්‍රකාශ කරන්නට අකැමැති වූ ඔහු, සිය නිර්මාණ ලජ්ජා සහගත ව මට දුන් විට, මම ඒවායේ නිර්මාණ විශාරදත්වයෙන් විස්මයට පත්වූයෙමි. ඔහුගේ අකාල වියෝගයෙන්, සිංහලයේ නිර්මාණ සාහිත්‍යය, තරමකට හෝ පසුබෑවේ ය. ලේඛක සූර්යාරච්චි සතු විශේෂ ලක්ෂණය වූයේ කාර්යක්ෂම බවයි. ඔහු අලුත් තැන් සොයාගොස් මාධ්‍ය ක්‍රියාදාමයෙහි නිමග්න වන්නට විශේෂ දක්ෂතා සහිතයෙකි.

’දිනමිණ’ පුවත්පත ශ්‍රී ලංකා සමාජයෙහි ස්ථානගත වූයේ අචල ආයතනයක් හැටියටයි. සාමයික, සංස්කෘතික, දේශපාලන සහ ශාස්ත්‍රීය විකාශනයෙහිලා ලේක්හවුස් ආයතනය විසින් ඉටුකරන ලද පිරිපුන් මෙහෙයෙහි, ප්‍රබල ක්‍රියාකාරක බලවේගයක් වූයේ දිනමිණයි.

දිනමිණ, ශ්‍රී ලංකා සමාජයෙහි ස්ථාවර ආයතනයක් සේ මුල්බැස ගත්තේ ය. මේ හේතුකොට ගෙන එයට විරුද්ධ වූවත්, එහි ක්‍රියාදාමයට පක්ෂපාතී වූවත්, ‘දිනමිණ’ සමාජ විකාශනයෙහි ස්ථාවර කේන්ද්‍රයක් බවට විකාශනය වූයේ ය. ඇතැම් විටෙක, දිනමිණට දොස් පැවැරූ අය පවා සිය විරෝධාකල්ප මඟින් වක්‍ර ව ප්‍රදර්ශනය කොට සිටියේ දිනමිණ සතු කේන්ද්‍රීය ශක්තියයි.

සියවස සපුරන දිනමිණ, ශ්‍රී ලංකා සමාජ විකාශනයෙහි ජීවමාන වංශකථාව ගබඩාකොට තබාගත් මහා ජාතික විශ්වකෝෂයකි. පුරා ශතවර්ෂයක් මුලුල්ලේ, මේ දේශයේ සිදුවූ ආලෝලන, කම්පන හා අර්ථවත් ප්‍රගතිය ඈ සියල්ල ම වාර්තා කරන දිනමිණ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රගතියේ කථාව ද අඛණ්ඩ ව කියාගෙන එන්නේ ය. අද දිනමිණ විසින් පිළිබිඹු කෙරෙන්නේ ජගත් ව්‍යාප්ත මුද්‍රණ තාක්ෂණයේ නවීනතම අවස්ථා සතු ප්‍රවීණතාවයයි.

 ‘දිනමිණ’පුවත්පතෙහි පෞරුෂත්වය මුහුකුරා යෑමේදී ඒ ඒ යුගයන්හි පැවැති මුද්‍රණ තාක්ෂණය බලපෑ ආකාරය, විද්‍යාර්ථීන් විසින් අධ්‍යයනය කළ යුතු විෂයයකි. දිනමිණ සංස්කාරක මණ්ඩලයෙහි අනුසාංගික ප්‍රදේශ අතුරින් මා ඉතා ම උසස් ලෙස සලකන්නේ් ලේක්හවුස් පුස්තකාලයයි. දිනමිණ සංස්කාරක මණ්ඩලයෙහි නියුක්ත ව සිටි කාලපරිච්ඡේදය මුලුල්ලේ ම මම ලේක්හවුස් පුස්තකාලය සතු ධන-නිධානයෙන් ගෙන් උපරිම ඵල-ප්‍රයෝජන නෙළා ගත්තෙමි. සියවස පිරෙන අවස්ථාවේ දිනමිණ සංස්කාරක මණ්ඩලයෙහි නියුක්ත මාධ්‍යවේදීන්ට අද විවෘත ව තිබෙන ලේක්හවුස් පුස්තකාලය, නවාංග සම්පූර්ණ ප්‍රලේඛනාගාරයක් වැනි ය.

ප්‍රාදේශික වාර්තාකරණය පිළිබඳ ඉතිහාසයේ දී දිනමිණ විසින් ඉටුකරන ලද පුරෝගාමී මෙහෙය ද, සියවසේ ඉතිහාසයේ දී වාර්තාගත විය යුතු වන්නේ ය.

’දිනමිණ’ පුවත්පතේ ශතවර්ෂය සැමරීම ජාතික මට්ටමේ විශිෂ්ට සිද්ධියකි. සිංහල සමාජය සතු සන්නිවේදන නිදහස තහවුරු කළ ප්‍රබලතම ආයතනයක් වන දිනමිණ, ඇණුම්-බැණුම්වලට ද භාජන වූයේ ය. අදත්, එසේ භාජන වන්නේ ය. එසේ වුවද, එහි ගමන නැවතුනේ නැත.

ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය ඉතිහාසයේ ප්‍රාතිහාර්මය ගුණයකින් හෙබි ප්‍රකාශනයක් වන ‘දිනමිණ’ ඉර-හඳ පවත්නා තෙක් වැජඹේ යැයි එදා මේ පුවත්පතට නම දුන් ස්ථවිරයන් වහන්සේ විසින් පැවසූ බැව්, දිනමිණ ආශ්‍රිත ප්‍රවාදයන්හි පැවසෙන්නේ ය. අද සමාජය තුළ ශතවර්ෂයක් කල් පැවැත ඒම පවා, උත්කෘෂ්ඨ ජයග්‍රහණයකි. ‘දිනමිණ’ ප්‍රබල පාඨක ලෝකයක් නිර්මාණය කළේ ය. එමෙන් ම සියවසක් මුලුල්ලේ සංස්කාරක මණ්ඩලයක් පවත්වාගෙන යෑමෙන්, මේ දේශයේ විශිෂ්ට සන්නිවේදන පරපුරකුත් තනාලූවේ ය. ‘දිනමිණෙන් උපන් බොහෝ විශිෂ්ටයෝ ශ්‍රීී ලංකාවේ බුද්ධිමය සංවාදයට නව ජීවනයක් ලබාදුන්හ.

දිනමිණෙහි සියවස සතු විභූ®තිය උදෙසා අප විසින් අද අපගේ ආශිංසන පිරිනැමිය යුතු වන්නේ ලේක්හවුස් අධිපතීන්ගේ පරපුරේ වර්තමානිකයා වන ලේක්හවුස් සභාපති තැන්පත් බන්දුල පද්මකුමාර මහතාටත්, සියවසක් සපිරෙන මොහොතේ ‘දිනමිණ’ භාරව සිටින එහි වර්තමාන කර්තෘ තැන්පත් මහින්ද අබේසුන්දර මහතාටත් ය. දිනමිණ සදා දිනේවා.