සියවසක දිනමිණ ගැන මතකයට දැන් හැටවසරක්
 

සියවසක දිනමිණ ගැන මතකයට දැන් හැටවසරක්

 

ඩී. එෆ්. කාරියකරවන

සිංහල පුවත්පත් කලාවේ නවෝදයක් ඇති වූයේ 1947 ඔක්තෝබර් 23 වැනි දින ටයිම්ස් සමාගමයේ බිහිවූ ලංකාදීප පත්‍රය නිසා ය. එහි කතුවරයා වූයේ ජුලියස් ද ලැනරෝල් මහතා ය. ඒ මහතා කතුවැකිය ලියූ අතර පත්‍රය සැලසුම් කළේ ඩී. බී. ධනපාල මහතා ය. ඔහුට සිංහල පිළිබඳ දැනුමක් නොවීය. එහෙත් පත්‍ර කලාව පිළිබඳ ඔහුට උත්තරීතර දැනුමක් විය.

පළමුවැනි පිටුවේ ඩමිය සකස් කළේ ධනපාල මහතා ය. ඔහු ඉංගිරිසියෙන් සකස් කළ ඩමිය පරිදි පත්‍රය සකසන්නට කීප දෙනෙක් ම වූහ. මහානාම දිසානායක, නිමල් කරුණාතිලක එයින් කැපී පෙනුණු දෙදෙනෙකි.

මේ අතර දිනමිණ පළ වූයේ කිසිම ලතාවකට නොවේ. එහි සැලැස්මක් නොවීය. පිටු ඇල්ලුවේ බාස්ලාට ඕනැ හැටියට ය. සිරස්තල ගැටුම් කෙළවරක් නැත. බඩවැල වගේ පුවතක් පළමුවැනි පිටුවෙත් පටන් ගනී. ඉන්පසු එය 6 වැනි පිටුවට සම්බන්ධ කෙරේ. ඉක්බිති හය වැනි පිටුවෙන් නැවත දෙවැනි පිටුවට සම්බන්ධ කෙරේ. ‘මුද්‍රණාලය අන් තැනකට ගෙන යෑම’ ‘මාළු මිල ඉහළ නැඟීම’ ‘මහත්මා ගාන්ධි කෙළින්ම දකුණු අපි‍්‍රකාවට යෑම’ යන ආදි වශයෙන් ලේබල් සිරස්තල වලින් පිරුණේ විය. වර්තමාන කාල ක්‍රියා පදයෙකින් අවසන් වන සිරස්තල ක්‍රමය යෙදුණේ නැත.

මෙහෙව් දිනමිණ ලංකාදීප හමුවේ වැටී යෑම පුදුමයක් නොවේ.

මේ අතර ලේක් හවුසියේ පාලනයෙහි ද වෙනසක් ඇති විය. ඩී. ආර්. විජයවර්ධන මහතා අසනීප වූයෙන් කළමනාකාර අධ්‍යක්ෂ පදවියට පත් වූයේ ලොකු බෑනා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ය. ඔහු හිතුවේ ලංකාදීපය නැඟ යන්නේ ඩී. බී. ධනපාල මහතා නිසා යැයි කියා ය. ලංකාදීපය මෙන් ඉංගිරිසි මාධ්‍යයෙන් වැඩ කරන තැනැත්තකුට දිනමිණ බාර දිය යුතු යැයි ඔහු සිතුවේ ය.

ඔහු තෝරා ගත්තේ ඔබ්සර්වර් පත්‍රයේ දෙවැනියා වූ ටාසි විට්ටච්චි මහතා ය. එවකට ටාසි සිය කලාමැදිරි (Fly by Night) නම් වූ තීරු ලිපිය නිසා කැපී පෙනෙන්නෙක් වූයේ ය.

කතුවැකිය ලියා පසෙකට වී සිටින්නට නිශ්ශංක මහතා කැමැති කරවා ගත් එස්මන්ඩ් දිනමිණ පාලක කර්තෘ පදවිය ටාසිට පැවරුවේය. මේ 1951 වර්ෂයේ ය.

ටාසිට මුලින් ම ඕනැ කළේ ලංකාදීපය මෙන් දක්ෂ කතු මඬුල්ලක් හදා ගැනීමය. එය ලේසි පහසු කටයුත්තක් නොවීය. විශේෂයෙන්ම ටාසිට ඕනැ කළේ පත්තරය හැඩ වැඩ කිරීමේ දක්ෂයෙකි. ඒ ප්‍රයත්නය සාර්ථක නොවූ තැන ලංකාදීපය හැඩ වැඩ කරන මා බිලී බා ගන්නට ඔවුහු සිතුවෝ ය.

පුරසාරම් යැයි නො සිතන්න. එවක ලංකාදීප පත්‍රයේ මුල් පිටුව කරන නියම වැඩ කාරයා වූයේ මේ මම ය. එය සිදුවූ හැටි කියන්නට අවසර.

එවකට මම ලංකාදීප පත්‍රයේ විදේශ පිටුව කරන උප කතුවරයා වීමි.

අසනීපයෙන් වැටුණු ධනපාල මහතා දවසක් කන්තෝරු නො පැමිණියේ ය. මුල් පිටුවේ ඩමිය ඇඳීම ප්‍රශ්නයක් විය. මා පේරාදෙණි ඇබෑසියේ ඉන්දදී චිත්‍ර කර්මයෙන් දස්කම් දැක් වූ බව දැන සිටි නිමල් කරුණාතිලක “කාරිට දී බලමුයි” කීවේය. මම එය අපූරුවට කළෙමි. දින දෙක තුනක් ම එසේ කරන්නට සිදු විය. සුවපත් වී පැමිණි ධනපාල මහතා මුල් පිටුවේ ඩමිය ඇඳීමත් එය සකස් කිරීමත් මට පැවැරුවේය.

මා මුල් පිටුව කරන උප කතුවරයා වුව මගේ පඩියේ වෙනසක් නොවීය. මට රුපියල් දෙසීයක් ලැබිය යුතුව තිබිණි. එහෙත් ලැබුණේ 125 ක් පමණි. මේ දුක් ගැනවිල්ල නිසා කලකිරී සිටින අතර ය ධර්මපාල ජයවීර ලේක්හවුසියෙන් මා සොයා පැමිණියේ. මම ටාසි විට්ටච්චි හමුවීමි. ඉන්පසු එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ද හමුවීමි. ඔහු මා ගැන පැහැදුණේය. “ඔබට මෙහි අනාගතයක් තිබෙනවා. මේ අවස්ථාව පැහැර හරින්න එපා” යි ඔහු තරයේ කීවේය.

1951 නොවැම්බර් 14 වැනිදා දිනමිණ සිළුමිණ දෙකේ සහකාර උප කතුවරයා හැටියට මා ලේක්හවුසියට බැඳුණේ එසේ ය.

මම දිනමිණ සකස් කරන්නට පටන් ගතිමි. උප කතුවරයා වූ සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහතා දීර්ඝ අසනීපයකින් ඔත්පළ වූයෙන් දන්නා සෙල්ලම් දමමින් මම දිනමිණ සකස් කරන්නට වීමි.

දිනමිණත් ලංකාදීපයත් දෙක ම එක වගේ විය. ඔබ්සර්වර් කර්තෘ ඩෙන්සිල් පීරිස් මහතාගේ සිරිතක් වූයේ ටික වේලාවක් දිනමිණ පැත්තට පැමිණ සිංහල පත්තර කියවීම් ය. එදා දිනමිණ කියවා එය පසෙක දමා, “මීමන ගෙට් මී අ කොපි ඔෆ් දිනමිණ” යී කීවේ ය. “මිස්ටර් පීරිස් ඔයා බැලුවේ දිනමිණ තමා” යි මීමන අවඥා සහගත ලෙස පිළිතුරු දුන්නේය. ඩෙන්සිල්ට ලජ්ජා සිතිණි. ඔහු දිනමිණ කියවා තුබුණේ ලංකාදීප යැයි සිතා ගෙනය. ඩෙන්සිල් මගේ පිටට තට්ටු කැර ‘වෙල්ඩන්’ යි කීවේ ය.

ලංකාදීපයට වඩා දිනමිණට උසස් තත්ත්වයක් දරන්නට හැකි වූයේ මර්වින් ද සිල්වා දිනමිණ පාලක කර්තෘ වූ තැනේ සිට ය. ඔහුට දේශපාලනය ගැන දැනීම තිබුණත් පත්‍ර කලාව පිළිබඳ දැනීමක් නොවීය. එහෙයින් මට ඕනැ හැටියට මම දිනමිණ සකස් කළෙමි. ඇතැම් විට ඩේලිනිවුස් පත්‍රයටත් වඩා හොඳට දිනමිණ සකස් කරන්නට හැකිවිය. ඩේලි නිවුස් ප්‍රධාන උප කර්තෘ වරයා වූයේ වැන්ඩර්ස්ටාටන් නම් වූ බර්ගර් ජාතිකයෙකි.

එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා කිහිප වරක් ම ඔහුට මෙසේ කියා ඇත.

‘Go to Dinamina and learn subediting from Kariyakarawana’

ටාසිගෙන් පසු දිනමිණ පාලක කතුවරයා වූ මර්වින් ද සිල්වා මට ඕන දෙයක් කරන්ට ඉඩදී බලා හුන්නේ ය. දිනමිණ ප්‍රධාන කතුවර පියසේන නිශ්ශංක මහතා මගේ වැඩ අගය කෙරෙමින් පසසන්නට වූයේ ය.

අප, නිශ්ශංක මහතා විමසුවේ සිංහල භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නැඟුණු විට පමණි. නැත්නම් ඒ සඳහා කතු කාමරයට වී කතු වැකිය ලියා අවසන් කිරීමෙන් පසු පොත පත කියවමින් කාමරයට වී හුන්නේ ය.

නිශ්ශංක මහතා දිනමිණට බැඳුණේ අහම්බෙනි. ඔහු උගනිමින් හුන්නේ වෛද්‍යවරයකු වන්නට ය.

පියසේන නිශ්ශංක තරුණ වියේදී දිනමිණට බැඳුණු අන්දම රසවත් කතාවකි. කොළඹ ආනන්ද විද්‍යාලයයේ උගැනුම අවසන් කළ මොහු වෛද්‍යවරයකු වීම සඳහා කල්කටාවට ගියේ ය. එහි උගැනුම ලබමින් සිටියදී පියා මිය ගියෙන් ලංකාවට පැමිණි නිශ්ශංක තරුණයා ආපසු යෑමේ අදහස අත්හැර දැම්මේ ය.

පියාගේ දේපොළ නිසා අඩු පාඩුවක් දැනුණේ නැත. මෙසේ කල්ගත වන විට දවසකින් ඔහුට ලේක්හවුසියෙන් ලියුමක් ලැබිණි. දිනමිණ කර්තෘ මණ්ඩලයට බැඳීමට ඔහු විසින් එවන ලද ඉල්ලුම් පත්‍රය අනුව පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව එහි සඳහන් විණි. මවිතයට පත් නිශ්ශංක තරුණයා ඔහු ගේ අඹ යාළුවා වූ චිත්‍ර ශිල්පී ජේ.ඩී.ඒ. පෙරේරා හමුවීමට ගියේ ය. මිත්‍රයා අත වූ ලියුම දුටු ජේ.ඩී.ඒ. “ආ ඩොක්ටර් එඩිටර් කෙනෙක් වෙන්න හදනවා වගෙයි” කීවේ ය. ඔහු පේන කියන්නට වීම නිශ්ශංක තරුණයාට තවත් විස්මයකි.

නිශ්ශංක තරුණයා වෛද්‍ය විද්‍යාලයයට බැඳුණු තැන් සිට ජේ.ඩී.ඒ. පෙරේරා තම මිත්‍රයා ඇමැතුවේ “ඩොක්ටර්” යනුවෙනි. දෙදෙන ජීවත්ව සිටින තාක් කල් ඒ ආමන්ත්‍රණය එ සේ ම පැවැත්තේ ය.

ඩොක්ටර් (දොස්තර) එඩිටර් (කර්තෘ) කෙනෙකු වන්නට යන බව ජේ.ඩී.ඒ. දැන ගත්තේ කෙසේ ද? ජේ.ඩී.ඒ. රහසක් එළි කළේ ය.

“දවසක් දිනමිණේ දැන්වීමක් තිබුණා කර්තෘ මණ්ඩලයට පරිවර්තකයකු ඕනෑ ය කියා. ඒකට ඉල්ලුම් පත්‍රයක් දමන්ට කීවා නම් ඒක කරාවි ද නො කරාවි” ද කියා මට සැක සිතුණු නිසා සද්ද නැතුව මංම ඉල්ලුම් පත්‍රයක් දැම්මා ඩොක්ටර් ගේ අස්සන ගහලා!” දැන් ඒ කතා මොකුත් නැතුව ඔය කියන දවසට යන්න ඕනෑ. නිශ්ශංකට ජේ.ඩී.ඒ. ගෙන් බේරෙන්නට හැකි වූයේ නැත. ඔහු ලේක්හවුසියේ භාෂා පරිවර්තන පරීක්ෂණයකට පෙනී සිටියේ ය. පළමු වැනියාට සමත් වූයේ ය. ඉන් පසු ලේක්හවුස් අධිපති ඩී.ආර්. විජයවර්ධන මහතා ගේ කාමරයට කැඳවනු ලැබී ය. ප්‍රශ්න කීපයක් ඇසූ විජයවර්ධන මහතා “ඔබ කීයක් විතර බලාපොරොත්තු වෙනවා දැ’ යි ද ඇසී ය. “නෑ මට පඩියක් ඕන නෑ” ඩී.ආර්. උඩ යන්නට ඇති. “අපි පඩි නො දී වැඩ ගන්නෙ නෑ” මසකට රුපියල් විස්සක පඩියක් නියම විය.

එදා එ සේ දිනමිණට බැඳුණු නිශ්ශංක මහතා කොයි කවර දිනකවත් පඩි ගැන කතා කළේ නැත.. අවුරුදු පතා කන්තෝරුවෙන් කැරුණු, පඩි වැඩිවීම් ප්‍රමාණවත් නො වුව ද කාලෝචිත නො වුවද ඔහු කතා කළේ නැත. ඒ නිසා ම අනෙකුත් කර්තෘ මාණ්ඩලිකයනට අසාධාරණයක් විය. දේපොළ තුබුණු නිශ්ශංක මහතාට ලේක්හවුස් පඩිය මහ කජ්ජක් නූනත් තමා යටතේ වූ අනෙකුත් අය ගේ පඩි නඩි ගැන කතා නො කිරීමෙන් සිදුවූයේ වරදකි. ඒ ගැන ඔහුට වැටහුණේ නැතිවා සේ ය.

නිශ්ශංක මහතා ද මහ කළු සිංහලයෙකි. ප්‍රාංශු දේහධාරි ය. තේජස් වී පෙනුමකි. එහෙත් ඉතා කරුණාවන්ත ය. නිශ්ශංක මහතා කිසි දිනෙක සම්පූර්ණ ඇඳුම් කට්ටලය නැතිව වැඩට පැමිණියේ නැත. ඒ මහතාට පමණක් දිනමිණ අංශයේ කුඩා කාමරයක් තිබිණි. එහි ඇතුළු වන නිශ්ශංක මහතා කබාය ගලවා පුටු ඇන්දේ එල්ලයි. ඉතා කලාතුරකින් යටි පටිය ද ලිහා ඒ මත අතුරයි.

සූප්පුවක් උරන්නාක් මෙන් විටින් විට කටින් සිහින් ශබ්දයක් නිකුත් කිරීම ඒ මහතාගේ පුරුද්දක් විය. කම්මැළිකමක් දැනුණු විට කාමරයෙන් පිටතට පැමිණ එහා මෙහා ඇවිදිමින් කවියක් හෝ සින්දුවක් සිහින් හඬින් කියා විනෝද වෙයි. ඔහු බොහෝ විට ගැයූ කවියකි මේ.


වැල් පෙනෙල සාකා

ගිතෙලින් මලවලා කා....”

එසේ ම ගැයූ සින්දුවක් මෙ සේ ය.

“සිකි සිකි සිකිය බනා

ඒකට මට ම හිනා

හත් දවසක් ම මඟුල්

කෑවා කුකුල් කකුල්

පොඩි පොඩි ජෝඩු දෙකයි

සිකි සිකි සිකිය බනා

ඒකට මට ම හිනා”

ඇවිද ඇවිද මෙසේ ගයන විට අනෙක් කිසිවකු අසා ගෙන බලාගෙන සිටින බවක් පෙනෙන්නේ නැත. එවිට පසුවන්නේ අමුතු ම ලෝකයෙක්හි ය.

නිශ්ශංක මහතා කැන්දලියැද්දපාලුවේ සිට කන්තෝරු පැමිණියේ කළු පාට පර්ජෝ 204 මෝටර් රථයකිනි. එය පරණ පාට ය. එහෙත් මිලට ගත්තේ අලුතෙන් ම ය. දවස තිස්සේ අව්වට වේලිලා දෝ දැන් එය පරණ පාට ය. ඒ රථය ගන්නට පෙර ගෙදර සිට බරබාගෙන් රාගමට පැමිණ එතැන් සිට කොටුවට දුම්රියෙන් ආ ගිය හැටි නිශ්ශංක මහතා ඉඳ හිට කියයි. ඒ කාලේ ඔහු කතුවරයා වූයේ සිළුමිණ පත්‍රයේ ය. 1930 දී සිළුමිණ අරඹන ලද්දේ ඔහු විසිනි. ඉතා ජනප්‍රිය වූ සිළුමිණ ‘සත දහයේ විශ්වවිද්‍යාලය’ යන නමින් ද හැඳින්විණි.

පර්ජෝ රථය පැදවූයේ නිශ්ශංක මහතාගේ පුතා - චන්ද්‍රා ය. උදේ දහයට පමණ දෙදෙනා ම පැමිණෙති. නිශ්ශංක මහතා ඇරලීමෙන් පසු චන්ද්‍රා මෝටර් රථය ලේක්හවුසිය ඉදිරිපිට පාර අද්දර නවත්වා බසයෙන් ගෙදර යයි. නැවත එන්නේ සවස හයට හතට පමණි. චන්ද්‍රා එවකට රැකියාවක් කළ තැනැත්තෙක් නො වී ය. පවුලේ දේපොළවලින් සහ මවු පිය දෙදෙනා ගේ පඩියෙන් ජීවත් වූ තැනැත්තෙකි. මවු පාසල් ගුරුවරියකි. පියා මෙන් ම උස මහත වුව ද චන්ද්‍රා බුද්ධි මට්ටමෙන් එ සේ වූයේ නැත. එහෙත් ඔහු ප්‍රිය මනාප පුද්ගලයෙකි.

මුල් කාලේ සිළුමිණ දිනමිණ පත්‍ර දෙකට ම අති විශාල කොටසක් කරන්නට සිදු වූ බව නිශ්ශංක මහතා කියයි. එහෙත් මා බැඳුණු දා සිට ම, ඒ මහතා කර්තෘ වශයෙන් සිටිය ද වැඩි වැඩක් කරනු මා දැක නැත.

විධායකයින් සිටි බැවින් ඔහුට වැඩි වැඩක් නොවී ය. මුලදී මුලදී කැරුණේ කතු වැකි ලිවීමත් දේශපාලන ලිපිය බැලීමත්ය. අවසාන සමයේ දී කැරුණේ අනෙකකු විසින් ලියනු ලබන කතු වැකිය බලා දීම පමණි. ඒ නිසා බොහෝ විවේක ගතියෙන් පසු වූයේ ය.

ඇතැම් දිනවල සවස් වරුවේ නිශ්ශංක මහතා ලේක්හවුසියෙන් දොට්ට බැස කොහිදෝ ගිහින් පැයකට දෙකකට පසු ආපසු එන සිරිතක් විය. ඒ ගමන ගියේ කොටුවේ සිට මරදාන බොරැල්ල පැත්තට යන ට්රෑම් රථයෙන් බව මට කීප විටක් ම දක්නට ලැබී ඇත.

නිශ්ශංක මහතා ආපසු එන්නට පමා වන දවස්වල රියැදුරු පුත්‍ර චන්ද්‍රා පැමිණ ‘කෝ තාත්තා?” යි අසා අප හා සමඟ සතුටු සාමීචියෙන් කාලය ගත කරයි.

කලින් ගෙදර එන්නට සිතෙන දවස්වල මම ද නිශ්ශංක මහතා ගේ රියට නඟින්නෙමි. දළුගම සී.පී. පොන්නම්පෙරුම සහ කිරිබත්ගොඩ පූජිත විජේතුංග ද එක් වෙති. කලින් ගෙදර යන්නට සිතා එ සේ එක් වන අපට සමහර විට ගෙදර යන්නට සිදුවන්නේ වෙන දාටත් වඩා පමා වෙලා ය.

අපත් සමඟ රියට නඟින නිශ්ශංක මහතා ඇතැම් දිනෙක “ළමයො යමු ලොක්කගෙ ගෙදර” යනුවෙන් කියයි. උතුරට යනු වෙනුවට, චන්ද්‍ර දකුණ දෙසට රිය හරවයි. එය නවතින්නේ වෝඩ් පෙදෙසේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිවෙසේ ය. නිශ්ශංක ජේ.ආර්. දෙදෙන ඉතා කුලුපග මිතුරෝ වූහ. ඒ දෙදෙනා බොහෝ වෙලා ඇතුළේ කතා කරති. එළියේ සිටින අපට ද තේ පැන් ලැබේ.

එ තැනින් පිටත් වී එන අතර කීප වතාවක් ම නිශ්ශංක මහතා කී කතාවක් මට මතක් වේ.”කාරි, කවද හරි ජේ.ආර්. මේ රටේ රජ වෙනවා. එයා ගෙ කේන්දරේ ඒ තරමට බලගතුයි. ග්‍රහයෝග විශිෂ්ටයි. නිශ්ශංක මහතා බලවත් විශ්වාසයකින් මෙ සේ කීවේ ජේ.ආර්. පක්ෂය අටට වැටී තිබුණු කාලයේ ය.

ඡ්‍යොතිෂය ගැන හොඳ දැනුමක් ඇතිව සිටි නිශ්ශංක මහතා ඒ ගැන දැඩි විශ්වාසයක් ද තබා සිටියේ ය. හැත්තෑ හතේ ජේ.ආර්. ජයග්‍රහණය දකින්නට නිශ්ශංක මහතා සිටියේ නැත.

දිනමිණ පත්‍රයේ වැඩ කරන සමයේ බොහෝ වාරයක් මට පිටරට යන්නට ලැබිණි. ලෝක මාධ්‍යවේදී සංගමයේ දෙවැනි රැස්වීමට ගිය මට ලැබුණු ආරාධනා අනුව සෝවියට් දේශයටත් එතැනින් චීනයටත් යන්නට සිදු විය. මේ හේතුවෙන් මාස දෙකක් ම රැකියාවට යන්ට බැරි විය. අන්තිමයේදී එහි ගිය මම කතුවරයා විසින් ලේක්හවුස් අධිපති එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ඉදිරිපිටට පමුණුවනු ලැබීමි.

“කාරියකරවන වෙයා ඩිඩ් යූ ගෝ?” (Kariyakarawana where did you go?

මා පිළිතුරු දෙන්නට පෙර ම යළිත් ඔහු කතා කළේ ය.

“යූ කැන් ගෝ ටු ඇනි ටිම්බක්ටු. බට් දෙයා මස්ට් බී අ මෙඩිකල් සර්ටිෆිකේට් ඉෆ් යූ වර් ෆෝලන් ඉල්.” (You can go to any Timbuktu, but there must be a medical certificate. If you were fallen ill.)
 

මොන ටිම්බක්ටුවකට ගියත් අසනීප වී නම් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු යැයි ඔහු ඉඟියෙන් කළ කතාව තේරුම් ගත් මම නිහඬව ම සිටියෙමි. ඔහු එවන් කාරුණික තැනැත්තෙකි. විශේෂයෙන් ම මට ළැදි වූවෙකි. ඔහු මට වක්‍රව කීවේ කොහෙන් හරි වෛද්‍ය සහතිකයක් ගෙන්වා ගෙන ඉදිරිපත් කොට ප්‍රශ්නය අවසන් කළ යුතු ය යන්න බව මම තේරුම් ගතිමි.

පසු දින යළිත් මම වික්‍රමසිංහ මහතා හමුවීමි. අවුරුදු හත අටක් නො ගත් විවේක නිවාඩු හිලවු කළ නො හැකි දැ යි මම ඇසීමි. ඒ ඇසීමෙන් වික්‍රමසිංහ මහතා ප්‍රීතියෙන් පිනා ගියේ ය. මගේ ඉල්ලීමට ඉඩ දුන්නා පමණක් නොව අවුරුදු ගණනාවක් නියමිත නිවාඩුව පවා නො ගෙන වැඩ කළ සේවකයකු බව දැන ගැනීමෙන් මා කෙරෙහි තව තවත් පැහැදිණි.

පිටු හැඩ වැඩ ගැන්වීම පත්තර කන්තෝරු භාෂාවෙන් මේකප් (Make up)  සහ ඩිස්ප්ලේ (display) යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ වූ කලී ඇත්ත වශයෙන් ම පත්‍ර කලාවේ සුවිශේෂ අංගයකි. එය පාඨකයින් වශී කරන මන්තරයක් බඳු ය.

ඩමිය අඳින්නට උගත්තේ ධනපාල මහතාගෙන් වුව ද පසුකලෙක දී (විශේෂයෙන් ම දිනමිණට බැඳී ටික කලක් ගියාට පසු) මා ගුරුතුමාට වඩා ඉදිරියට ගොස් ඇති බව පසක් වී යැයි පවසන්නේ නිහතමානී ව ය.

ධනපාල මහතා ඩමිය ඇන්දේ දවසේ වැඩ අරඹන්නට පෙර පැවැති සාකච්ඡාවෙහි දී ය. එවිට හෙට පත්‍රයට කිසි ම පුවතක් ඔහු අතේ නො වී ය. ඔහු ගේ ඩමියේ මුල් පුවත (lead story) දෙවැනි පුවත (outside lead) ප්‍රධාන ඡායාරූපය (main picture) අනෙකුත් ඡායාරූප (other pictures) පෙට්ටිය (box) හෝ පෙට්ටි (boxes) පහළට වැටෙන දිගෑදෙන පුවත (spread) යන ආදී වශයෙන් සටහන් විණි. උප කතුවරුන්ට කළ යුතුව තිබුණේ එ ලකුණු කළ තැන්වලට පුවත් සැකසීමය.

දිනමිණට බැඳී ටික කලක් ගතවූවාට පසු මා ඩමි අඳින්නට වූයේ පුවත් සැකසීමෙන් අනතුරුව ය. ලැබෙන ලැබෙන පුවත් ඒවායේ වටිනාකම අනුව තීරු තුන, දෙක, එක හෝ පෙට්ටි යන ආදී වශයෙන් සකසා ගලට (stone) යවා මුල් පුවත සකස් කළේ අවසානයට ය. ඉන්පසු ඒවාට නිසිතැන දී ඩමිය සකස් කළෙමි. එසේ කිරීමේ දී ඇතැම් පුවත්වල ප්‍රමාණය, වටිනාකම අනුව යළිත් වෙනස් කරන්නට සිදු වේ. එය වැඩ අංශය නො රුස්නා දෙයකි.

මේ ක්‍රමයට හැඩ ගැන්වීමෙන් පුවතට අසාධාරණයක් නොවන බව මගේ තර්කය විය. ධනපාල ක්‍රමය අනුව උදෙන් ම ඩමිය ඇඳ ඉන්පසු පුවත් රුවන එක මා හැඳින්වූයේ සපත්තුවේ හැටියට පතුල කැපීම යනුවෙනි. මගේ ක්‍රමය පතුලේ හැටියට සපත්තුව හැදීම ය. මේ න්‍යාය අදත් ඇතැම් මාධ්‍යවේදීන් තෝරා ගත් ආකාරයත් නො පෙනේ. සමහර පත්තර පිටුවල උලුප්පා ඇති දේ එතරම් සාරවත් නැත. නිස්සාර දේ පුම්බා තිබෙනු පෙනේ.

ලංකාදීප දිනමිණට පැරැදුණු දවසක් ද විය. ඩී.එස්.සේනානායක මහතාගේ අභාවයෙන් පසු ඩඩ්ලිට අගමැතිකම දීම නිසා කිපුණු සර් ජෝන් කොතලාවල හර්තාල් දමන්නට පටන්ගත්තේය. මේ අතර කොතලාවල මහතාට ඕස්ත්‍රෙලියාවට යන්නට සිදුවිණි. ඔහු එහි ගිය අතර තුරේ ද ආඩපාලි ගහන්ට වූයේ ය.

මේ අතර දවසක් ලංකාදීපයේ තීරු අටේ මුල් පුවත වූයේ ‘සර් ජෝන් එතෙර සිටියදීම අස් කරයි’ යන්නය. එදිනම දිනමිණේ තීරු අටේ මුල් පුවත වූයේ මෙසේයි:

”සර් ජෝන් අස් කළෙත් නෑ. අස්වුණෙත් නෑ” නිවැරැදි තත්ත්වය එයයි. ඩඩ්ලි සර් ජෝන් අස්කරාවි යැයි බොහෝ දෙනෙක් සිතූ®හ. මේ අතර සර් ජෝන් ඉල්ලා අස්වන්නේ යැයි ද කතාවක් පැතිර තිබිණි.

ඒ දෙකම නො වූයෙන් ලංකාදීප දිනමිණට පරාජය විය. ගෝළයා ගැන සිතමින් ධනපාල මහතා ලජ්ජාවට පත්වන්නට ඇති.