ජාතික සටනේ මාධ්‍ය මෙහෙවර
 

ජාතික සටනේ මාධ්‍ය මෙහෙවර

 

දිනමිණට වසර සියයකි. මෙය මෙරට පුවත්පත් කලාවේ සුවිශේෂිම සංධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකි ය.

ඒ සුවිශේෂීත්වය වසර සියයක් ගෙවු නිසා ම නොවේ. වසර සියය තුළ නවීන අංග හඳුන්වාදීම, නව ප්‍රවේශයක් කරා යොමුවීම මෙන්ම විටින් විට එල්ලවූ අභියෝගයන් නිසා ය. වරෙක දිනමිණ මෙන් ම ලේක්හවුසියද විනාශ කළ යුතු බවට සටන් පාඨ කියැවිණි.

මෙරට වාමාංශික ව්‍යාපාරයට දිනමිණ වහ කදුරු මෙන් විය. තවත් විටක දිනමිණ වර්ජනය කළ යුතු යැයි දේශපාලනඥයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. 88 / 89 භීෂණ සමයේ පත්‍ර විකුණන්නන්ට පවා මරණ තර්ජන එල්ල විය. මෙවැනි අභියෝග දිනමිණ ඇරඹුමේ සිට ගෙවුණු සිය වසරක ඉතිහාසය පුරා දක්නට ලැබේ.

එහෙත් වඩාත් වැදගත් වනුයේ කිසි ම අයුරකින් ජනතාවගේ විශ්වාසය බිඳ දැමීමට මේ බලවේගයන්ට නොහැකි වීම ය. එමනිසා අද ද ජනතාවගේ විශ්වාසය රැකගත් ජාතික පුවත්පතක් ලෙස බහුමානයට පාත්‍රවෙති.

දිනමිණ ඇරඹෙනුයේ විසිවන සියවස පළමු දශකයේදී ය. විසිවන සියවස යනු මෙරට නිදහස් සටන පූර්ණ දේශපාලන ගමන් මඟකට යොමු වෙන අවධියයි. 19 වන ශත වර්ෂයේ අගභාගයේ ආගමික ව්‍යාපාරයකට පමණක් සීමාවී අර්ධ දේශපාලන ව්‍යාපෘතිය ලෙස පැවැති මෙරට නිදහස් ව්‍යාපාරය විසිවන සියවසේ පූර්ණ දේශපාලන ගමන් මඟකට යොමුවිණි.

මේ යුගයේ පුවත්පත් ඍජු ලෙස ම ජනතා නිදහස වෙනුවෙන් පෙනී සිටියේ ය. එහිදී පැවැති දේශපාලන ක්‍රමය විවේචනය කරමින් ආර්ථික ක්‍රමය, භූගෝලීය සාධකයන්හි වෙනස්වීම, භාෂාමය සංස්කෘතිකමය පරිහානිය පිළිබඳව ද ප්‍රබල දෘෂ්ටියකින් යුතු පුවත්පත් බිහිවන්නට විය. විසිවන සියවස ආරම්භයේදී ඇරඹෙන සිංහල ජාතිය, සිංහල බෞද්ධයා මෙවැනි ප්‍රධාන පුවත්පත් දෙකකි. දිනමිණ ද ඇරඹෙනුයේ මෙවැනි තීරණාත්මක පසුබිමක ය.

මෙකී ඓතිහාසික කාර්යයට මූලිකවන කර්තෘවරයා එච්.එස්. පෙරේරා මහතා ය. මෙකළ ලංකාවේ මධ්‍යම පාන්තික සමාජය දෙස විමසීමේදී එහි ප්‍රධාන කොටස් තුනක් හඳුනාගත හැකි ය. ඒ ගතානුගතිකවාදීන්, මධ්‍යස්ථවාදීන් සහ රැඩිකල්වාදීන් ලෙසට ය. මෙහි ගතානුගතිකවාදීන් වූයේ ආර්ථික වශයෙන් හා දේශපාලනමය වශයෙන් අධිරාජ්‍යවාදයේ දේශීය නියෝජිතයන් ලෙස සැලැකිය හැකි පිරිස ය.

ඔවුහු බ්‍රිතාන්‍ය පාලනයෙන් ලබාගත් දේශපාලනික සෙත පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කතා කළහ. මොවුහු විශාල ඉඩම් හිමියෝ වූහ. බ්‍රිතාන්‍යයට පක්ෂපාතී වූහ. යටහත් පහත් ලෙස සේවය කළහ.

මේ කණ්ඩායමේ වඩා වැදගත් ඉංගි‍්‍රසි ආණ්ඩුකාරවරයන්ගේ ආධ්‍යාත්මික ඇපකාරත්වය ඇතිව සහ ඔවුන් අනුව නම් කරනු ලැබූ බව්තීස්ම කරන ලද අය වූහ. තම නිල තත්ත්වය නිසාද, ලන්දේසීන් හා ඉංගි‍්‍රසීන් සමඟ පැවැති සම්බන්ධතාවයන් නිසාද ඔවුහු ලාංකිකයන් අතර ඉස්තරම් ම පිරිසෙන් ද ඉස්තරම් පිරිස ලෙස අනුන් මෙන්ම තමන් විසින් ද හඳුන්වා ගනු ලැබීය.

මේ ගතානුගතිකවාදී පිරිසෙන් ජාතික හැඟීමෙන් යුතු පිරිසක් ද බිහිවූහ. දේශපාලනමය වශයෙන් හඬ නැඟීමට පටන්ගත් ධනපතීන් සහ වෘත්තීමය බුද්ධිමතුන්ගෙන් සමන්විත වූ මේ පිරිස දේශපාලන ප්‍රතිසංස්කරණය සඳහා වූ ව්‍යාපෘතිය මෙහෙය වූහ. මොවුහු මධ්‍යස්ථවාදීන් වූහ.

අනෙක් පිරිස රැඩිකල් වාදීන් ය. ඔවුහු විදේශයන්හි පැවැති දේශපාලන සහ සමාජ ව්‍යාපාර ගැන දැන සිටියහ. එමෙන් ම ලංකාවේ බෞද්ධ නව ජීවනය අමද්‍යප ව්‍යාපාරය, දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, කම්කරු පංති උද්ඝෝෂණ යනාදි විවිධ සටන් ව්‍යාපාර පෝෂණය කිරීමට ක්‍රියාශීලී පිරිසක් වූහ. රැඩිකල්වාදීන් ගේ සුවිශේෂීත්වය වූයේ ඔවුන් තදබල ජාතිවාදී මත තිබූ පිරිසක් වූහ.

බෞද්ධ සටන් ව්‍යාපාරයේ පෙරමුණේ සිටියහ. නූගත් සහ දිළිඳු වෘත්තීය සමිති නායකයන් මෙල්ල කිරීමට සමත් වූ බිය ගැන්වීම් හා සමාජමය බලපෑම් වලට එරෙහි ව ඍජු ව ම නැඟී සිටීමට ද පෙළඹුණහ. මේ රැඩිකල්වාදීන් ගතානුගතික වාදීන්ගේ සහ මධ්‍යස්ථවාදීන්ගේ සමාජමය අභිලාෂයන් තදින් විවේචනය කළහ.

අනගාරික ධර්මපාල තුමා, පොන්නම්බලම් අරුනාචලම් වැනි ප්‍රධානීන් මෙන්ම එච්.එස්. පෙරේරා මහතා ද අයත් වූයේ මේ රැඩිකල්වාදී කොටසට ය. උපතින් ක්‍රිස්තියානුවෙකු වූ එච්.එස්. පෙරේරා මහතා සිය ආගම වූ ක්‍රිස්තියානිය අතහැර දැමුවේ ය. එහි ඉගැන්වීම් ද සැක කළේ ය. පසුව ඔහු ලෝකයේ ඇති වෙමින් තිබූ නව ප්‍රවාහයක් වූ පරම විඥානාර්ථ ව්‍යාපාරය සමඟ එක්විය. ඒ 1893 වර්ෂයේදී සරසවි සඳරැස පුවත්පතේ කළමනාකාර ධුරය බාර ගනිමිනි.

”මට කොළඹදී වේලක් හැර වේලක් කන්න දීමනාවකුත්, බූරු ඇඳක් එලා ගන්න පුළුවන් තරමේ කාමරයකට කුලියකුත් ලැබුණා ම ඇතියැයි කියමින් ඔහු සිය තනතුරේ වැඩ බාර ගත්තේ උන්නතිකාමි අයකු ලෙසට ය. පෙරේරා මහතා සතු ව තිබූ හැකියාව නිසා පුවත්පත් සීඝ්‍රයෙන් දියුණු විය. මේ නිසාවෙන් 1903 වර්ෂයේදී එහි කර්තෘ ධුරයෙන් ද ඔහු පිදුම් ලැබුවේ ය.

‘සරසවි සඳරැස’ කොපමණ ප්‍රමාණයකින් දියුණු වූයේ ද යත් එකළ පවා පිටපත් පන්දහස ඉක්මවා අලෙවි විය. මෙසේ ‘සරසවි සඳරැස’ ඉතා ඉහළ ප්‍රගතියක් ලැබුවද එහි අභ්‍යන්තරයේ ගැටුම් ඇති වන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එච්.එස්. පෙරේරා මහතා 1909 නොවැම්බර් 16 දින සරසවි සඳරැස කතු කමින් අස්කරන ලදි. මේ පිළිබඳ ව පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මෙවැනි දැන්වීමක් පළ කර තිබුණි.

”කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයිති සරසවි සඳරැස පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධුරය ඉසුලූ එච්.එස්. පෙරේරා මහතා මේ මස 16 වෙනි දින ඒ ධුරයෙන් අස් කළ බැව් සියලු දෙනා වෙත මෙයින් දැනුම් දෙමි.”

එච්.එස්. පෙරේරා මහතා මෙලෙස සරසවි සඳරැස පුවත්පතින් අස් කළේ ඇයි ද යන්න පිළිබඳ විවිධ මතවාද තිබේ. කෙසේ වෙතත් 1909 නොවැම්බර් 30 වෙනි දින සරසවි සඳරැසට අනුව නම් එයට ගැටලු කිහිපයක් ම මූලික වූ බව පෙනී යයි. ඒ සම්බන්ධයෙන් 1909 නොවැම්බර් 30 වෙනි දින සරසවි සඳ රැස පුවත්පත කරුණු කිහිපයක් පෙන්වා දේ.
 

1. තම අත්සනින් යුතුව රජයට යැවිය යුතු පුවත්පත් පිටපත එසේ යැවීම ප්‍රතික්ෂේප කිරීම.

2. පුවත්පතේ මුල පටන් ම පැවැති බුද්ධ වර්ෂය හිතුමතේට වෙනස් කිරීම.
 

3. පුවත්පතට ප්‍රයෝජනවත් ලිපි සපයන ලද ඩේවිස් මහතාට කර්තෘ වාක්‍යයකින් නින්දා කිරීම.
 

4. නඩු වියදම් ලැයිස්තු නොඑවීම.

 

5. ලේකම් මහතාට එවන ලද අයෝග්‍ය ලිපියක් ඉල්ලා අස්කර නොගැනීම.
 

6. සමාගමට අකීකරු ව ඊට හානිකර දේ ලිවීම.

එමෙන් ම 1959 දෙසැම්බර් 17 වෙනි දින පළවන “දිනමිණ ස්වර්ණ ජයන්ති අතිරේකයේ” ද සරසවි සඳරැස් අර්බුදය සහ දිනමිණේ ආරම්භය සනාථ වන ලිපියක් හමුවේ. ඒ අතිරේකයට “නිදාන කතාව“ මැයෙන් ඒ.බී. පීරිස් මහතා විසින් මේ ලිපිය ලියා තිබේ. ඒ.බී. පීරිස් යනු සරසවි සඳරැස පුවත්පතේ සේවය කොට දිනමිණ පුවත්පත ආරම්භයත් සමඟ ම එයට එක්වන අයෙකි. ඔහුගේ තවත් සුවිශේෂීත්වයක් වනුයේ දිනමිණ පුවත්පතේ මුල් ම අකුරු ඇමුණුම් ශිල්පියා ද වූයේ ඔහු ය.

”1909 අවුරුද්දේ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ නිලධාරීන් තෝරා ගැනීමේ සිද්ධියෙන් දවස් කිහිපයකට පසු “ඉන්ඩිපැන්ඩන්ට්” නමැති ඉංගී‍්‍රසි පත්‍රයේ ලියුම්කරුවකු විසින් “සොයිසා - ජයතිලක සටනින්” ජයතිලක පක්ෂය පරාජය වූ බවක් කියමින් ඒ පක්ෂයට උසුළු විසුළු කරමින් ලිපියක් පළ කරන ලදී.

මේ කාලයේ සිකුරාදාට ප්‍රසිද්ධ කරන “සරසවි සඳරැස” පත්‍රයේ එක පිටුවක් ඉංගී‍්‍රසි ලියවිලි වලින් හා කර්තෘ වාක්‍යයකින් ද යුතු ව පළ කරන ලදී. මේ ඉංගි‍්‍රසි පිටුවේ ලියැවිලි ආදිය සකස් කළේ එවකට නීති ශිෂ්‍යයකු හැටියට ඉගෙනීමේ යෙදී සිටි ඩී.බී. ජයතිලක මහතා ය. “එහි අකුරු ඇමිණීමේ වැඩ කළේ මා සහ තවත් කෙනෙකි.

මා ජයතිලක නිවසේ නැවතී සිට සඳරැස කන්තෝරුවට වැඩට යන ජයතිලක මහතා විසින් දෙනු ලබන ලියවිලි ගෙන ගියෙමි. ජයතිලක මහතා තම ලිපිය ලියා කවරයක දමා එය මට හැර වෙන කෙනෙකුට දෙන්ට එපායැයි කියා ඒ මහතුන්ගේ නිවසේ නැවතී ඉගෙනීම පිණිස ආනන්ද විද්‍යාලයට ගිය ශිෂ්‍යයකු අත යවන ලදී.

ඒ ලියවිල්ල ගෙන යන විට මා වැඩපලට ඇවිත් නොසිටි නිසා “සඳ රැස” කන්තෝරුවේ කෙනෙකුට දී එය පීරිස්ට හැර වෙන කෙනෙකුට දෙන්ට එපා යැයි කියා ගියේ ය.

පත්‍රය පිට කරන්නේ එදින සවස බැවින් ද එහි ඇත්තේ එදින ඉංගි‍්‍රසි පිටුවේ කර්තෘ වාක්‍ය බව දන්නා බැවින් ද ඒ ලිපිය බාරගත් අය ඒ ලිපිය මැනේජර් මහත්තයාට දී එය පීරිස්ට හැර වෙන අයෙකුට දෙන්ට එපා යැයි ලිපිය ගෙනා අය කීවේ යැයිද මතක් කරන ලදී. මැනේජර් තැන ලිපිය කඩා බැලී ය.

එහි සඳහන් තිබුණේ පළමු කී “ඉන්ඩි පැන්ඩන්ට්” පත්‍රයේ පළ කර තිබුණු ලිපියට පිළිතුරු වශයෙන්, එකී පත්‍රයේ ලියුම්කරු විසින් කියා තිබුණු අන්දමට නොව රැස්වීමේදී ඇති වූයේ මේ අන්දමට යැයි රැස්වීම සම්බන්ධ විස්තරයකි. මැනේජර් මහත්තයා සොයිසා මහතාගේ පක්ෂය ගත් කෙනෙකි. ඔහු මේ ගැන සොයිසා මහතාට දන්වා යැවූ ෂට එකී ලිපිය පත්‍රයේ පළ නොකර නැවැත්වීමට මැනේජර් මහත්තයාට දන්වා එවන ලදී.

මම ටිකක් ප්‍රමාද වී කන්තෝරුවට ආ විට ජයතිලක මහතා එව් ලිපිය අද පත්‍රයට නොදමන ලෙස මට අණ කරන ලදී. මම ඒ බැව් එච්.එස්. පෙරේරා කර්තෘ මහතාට දැන්වීමි. “ඒ ලියැවිල්ල අද පත්‍රයට නොදමන්නේ නම් පත්‍රය අච්චු ගස්වා ප්‍රසිද්ධ කරන්නා හැටියට ලියාපදිංචි කර සිටින්නේ මම නිසා මම අද පත්‍රය ප්‍රසිද්ධ කරන්නේ නැහැයි” කියා එදින පත්‍රය පළ නොකරන ලදී. එදින රාත්‍රී පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ හදිසි රැස්වීමක් පවත්වා “සඳරැස” කර්තෘ මහත්මා අස් කිරීමට නියම කර ගන්නා ලදී.”

මේ අනුව පැහැදිලි වන්නේ එච්.එස්. පෙරේරා මහතා සඳරැස පුවත්පතින් ඉවත් කිරීමට ප්‍රධානත ම හේතුව වූයේ කර්තෘ වාක්‍ය සම්බන්ධ ගැටලුවක් බව ය.

මේ කරුණ ප්‍රධාන හේතුව මුත් ඊට පරිබාහිරව තවත් කරුණු රැසක් එක් වෙමින් තිබූ බව අප යට සඳහන් කළ කරුණු හය තුළින් පෙන්වා දිය හැකිය. විශේෂයෙන් ම මේ කාලය වන විට පරම විඥානාර්ථවාදින්ගේ ක්‍රියා කලාපය පිළිබඳ රැඩිකල්වාදීන්ට ගැටලු රැසක් තිබුණි. එහි ප්‍රතිඵලය ලෙස අනගාරික ධර්මපාල තුමා, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි ප්‍රබල දේශමාමක පිරිස් පරම විඥානාර්ථ සමාගමේ ක්‍රියාකාරීත්වය දැඩි ලෙස ප්‍රශ්න කරන ලදී.

”දැනට පවත්නා සඳරැස පත්‍රය බෞද්ධ පත්‍රයකැයි එහි වරින් වර ලියන මුත් එය බෞද්ධයන්ගේ පොදු පත්‍රයක් නොව, ඇමරිකාවෙන් ගෙනවුත් පිහිටවා තිබෙන “නියොසොපිකල්” සමාගම්කාරයන්ගේ පත්‍රයක් බව විඥානය ඇති කාට නුමුත් වැටහේමය. පොදු පත්‍රයක් නම් බෞද්ධයන් විසින් අවශ්‍යයෙන් දැනගත යුතු වූ බුද්ධාගම සම්බන්ධ කිසිවක් ප්‍රසිද්ධ නොවන්නේ මන්ද? සල්පිල් ලැයිස්තුත්, තියොසොපිස්ටිවරුන්ගේ මඟුල්, මරණ, ගමන්බිමන්, කතාබහ යනාදියත් සමඟ විවාද කරන එකම පත්‍රය සඳ රැස යයි සමහර විට කියන නමුත් නිරන්තරයෙන් ක්‍රිස්තියානි පත්‍රවලින් කියන කරන දේ ගැන කිසි කලක උත්තර දී තිබෙන වගක් නුදුටුයෙමු. .................. මේ ආදී අනේක කාරණවලින් ඔප්පු වන්නේ සඳරැස පත්‍රය මුදල් දී ලබා ගැනීමේදී පොදු බෞද්ධ පත්‍රයක් බවත් ක්‍රියා කිරීමේදී තියොසොපිස්ට්වරුන්ගේ පත්‍රයක් බවත් ය.” මෙලෙසින් 1888 ජනවාරි 11 වෙනි දින ලක්මිණි පහන් පුවත්පත විසින් පරම විඥානාර්ථ සමාගම සහ සඳ රැස පුවත්පත විවේචනය කළේ ය. එමෙන්ම අනගාරික ධර්මපාල තුමා සහ ඕල්කට් තුමා අතර ඇති වී තිබූ මතවාදය අවසන් වූයේ ඕල්කට් සහ ලෙඩිබීටර් වැනි පරම විඥානාර්ථවාදින් බෞද්ධයින් මුලාකළ තක්කඩියන් පිරිසක් ලෙසට ධර්මපාල තුමා විසින් හැඳින්වීමෙනි. මේ අනුව පෙනී යන්නේ එච්.එස්. පෙරේරා මහතා අයත් ව සිටි රැඩිකල්වාදීන් සහ පරම විඥානාර්ථවාදීන් අතර උග්‍ර ගැටුමක් හටගෙන තිබූ බව ය.

මෙහි එක් ප්‍රතිඵලයක් වූයේ සරසවි සඳරැසින් එච්.එස්. පෙරේරා මහතාට ඉවත් වීමට සිදුවීමයි. මේ ඉවත් වීමෙන් වුවද එච්.එස්. පෙරේරා මහතා තම ජාතික කාර්ය නොනසා ඉටුකර ලීමට මහත් සේ වෙහෙස ගත්තේ ය.

එහි ප්‍රතිඵලයක් වූයේ තවත් පුවත්පතක් ආරම්භ කර ජාතික, සමාජ, සංස්කෘතික ප්‍රගමනය උදෙසා සමස්ත රට වැසියාම ඒකරාශි කිරීමය. පුවත්පතක් ආරම්භ කිරීමේ අරමුණු පෙරදැරි කොටවත් ඒ සඳහා නමක් ලබා ගැනීමටත් එච්.එස්. පෙරේරා මහතා විද්‍යාලංකාර පරිවේණාධිපති රත්මලානේ ධර්මාරාම හිමියන් හමුවිය.

”සඳ රැසට විරුද්ධව නම් හොඳ දිනමිණ කියා නොවැයි.” උන්වහන්සේ ප්‍රකාශ කළහ. පසුව තංගල්ලේ හිමියන් නමින් ප්‍රකට ව සිටි භික්ෂුන් වහන්සේ නමකගෙන් අකුරු ඇමිණීමට සුදුසු වෙලාවක් ද නියම කර ගන්නා ලදී. ඒ අනුව 1909 දෙසැම්බර් 17 වෙනි දින දිනමිණ පුවත්පත පළමුවරට නිකුත් විය. එදින සිය ජාතික කර්තව්‍ය අරඹන දිනමිණ කතුවරයා මෙසේ ප්‍රකාශ කරයි.

”අපගේ මේ ආරම්භය බොහෝ සෙයින් දුෂ්කර වුවත් කාලයක් ප්‍රවෘත්ති පත්‍ර පාලනයෙහි නියුක්ත වීමෙන් ලබන ලද මහා පළපුරුද්දක් අපට ඇති හෙයින් ස්වදේශවාසීන්ගේ චින්තාරාධනය වන පරිදි අපගේ යුතුකම් සිඳ කරලීමට අපට පිළිවන් වේ යයි සිතමු.

තවද කිසිම නිකායකට පක්ෂයකට හෝ සමාගමකට බැඳීමක්වත් යටත්වීමක්වත් නොමැති හෙයින් කවර කරුණකදී වුවත් සත්‍යයත්, යුක්තියත් පමණක් කටයුතු කිරීමෙන් සාධාරණ ගුණයෙහි පිහිටා සෛවරී බලයෙන් යුක්තව ලෝකාභිවෘධිය සඳහා යථා ශක්තීන් ක්‍රියා කිරීමට අපට අවකාශ ඇති වීමත් අපගේ කෘත්‍යසා ඵල්‍යයට අනල්ප උපකාරයක් වේ යැයි හඟිමු.”

මේ අනුව පෙනී යන්නේ දිනමිණ බිහි වනුයේ මෙරට ජාතික සටනේ කේන්ද්‍රීය සංධිස්ථානයකදී බව ය. එකී අරමුණු නොනසා දිනමිණ වසර සියයකට පසුවද සමාජය තුළ මහත් අභිමානවත් පුවත්පතක් ලෙස නැගී සිටීම ප්‍රබෝධයට හේතුවකි.