කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»

තාජුඩීන් යළි නැඟිටියි ඊළඟට...

තාජුඩීන් යළි නැඟිටියි ඊළඟට...

පසුගිය මහ මැතිවරණ අවස්ථාවේ දී විශාල දේශපාලනික මාතෘකාවක් වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය පිළිබඳ පුවත ඉදිරි දිනවලදී යළි මෙරට මාධ්‍ය අවකාශය තුළ වැඩි ඉඩක් අත්පත් කරගන්නා ලකුණු දසතින් පෙනෙන්නට තිබේ.

මිහිදන් කර තිබියදී, අගෝස්තු දෙවැනි සතියේ දී යළි ගොඩගන්නා ලද, තාජුඩීන්ගේ මෘත දේහයෙන් ලබාගත් ශරීර කොටස්, ඔහුගේ මවගේ ඩීඑන්ඒ වාර්තා සමඟ ගැළපෙන බව ජින්ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ජේ. ඉලේපෙරුම පසුගිය හතර වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින්, තහවුරු කළ අතර “උණුසුම් ජවනිකා” කිහිපයක් ඉදිරියේ දී දිගහැරීමට නියමිත බවට ලැබුණු පූර්ව සංඥාවක් බඳු විය.

එබඳු ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සිදු කළේ තජුඩීන් මියයාමෙන් පසුව පැවැත්වූ මරණ පරීක්ෂණ වාර්තාව හා ඔහුගේ සිරුර මිහිදන් කර තිබු ස්ථානයෙන් ගොඩ ගැනීමෙන් පසු සිදුකළ පරීක්ෂණවල සමානතාව සොයා බැලීමටය.

සිරුර ගොඩගැනීමෙන් අනතුරුව රටේ ප්‍රකට අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකු වන අජිත් තෙන්නකෝන්, ජින් පෙරේරා හා එස්. පී. ඒ. හේවගේ යන විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පැවැත්වූ මරණ පරීක්ෂණ වාර්තාව ද, එදින අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඉන් කියා තිබුණේ තජුඩීන්ට පහර දී ඔහු දුර්වල කර මඟි ආසනයේ තබා මෙම තිරශ්චීන ඝාතනය සිදුකර ඇති බවය. ඒ අනුව මෝටර් රථය ගිනිගන්නා අවස්ථාවේ තාජුඩින් එය පදවා නොමැති බව සුපැහැදිලිය.

වසීම් තාජුඩින්ගේ මරණයට හේතුව ඔහුගේ ගෙල ප්‍රදේශයට, පපුවට හා කකුල්වලට සිදුව ඇති තුවාල නිසා ඇතිවූ ප්‍රතිවිපාක හා මෝටර් රථය තාප්පයේ වැදී ඇතිවූ ගින්නේ ප්‍රතිඵල බව එම විශේෂඥ මණ්ඩලය තහවුරු කර ඇත. ඒ අනුව ගිනි ගැනීම, මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබු කාලය තුළ සිදුව ඇති බවත්, ගිනි ගැනීම නිසා මරණය සිදුව නැති බවත්, ඒ අනුව මෙය මිනීමැරුමක් බවත් ඔවුන් සහතික කර තිබේ.

මේ අතර දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව වසිම්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී ප්‍රභු පවුලක පුත්‍රයකු අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ. ඔහුට අමතරව වසීම් ඝාතනය සම්බන්ධ පරීක්ෂණවලදී එදා සත්‍ය වසන් කළ පොලිස් නිලධාරීන් හා අධිකරණ වෛද්‍ය නිලධාරීන් කිහිප දෙනකුට ද වැඩ වරදින ලකුණු පෙනෙන්නට ඇත.

මෙම මරණය සිදුවූ අවස්ථාවේදී රිය අනතුරකින් තාජුඩින් මියගිය බව කියමින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්විය නොහැකි බව එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස කටයුතු කළ අනුර සේනානායක, වසීම්ගේ පියාට පවසා තිබිණි. තාජුඩින්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොමඩ් මිෂ්බාක් කළ ඉල්ලීමට කන් දෙමින් බ්‍රහස්පතින්දා මහේස්ත්‍රාත්වරයා පොලීසියට උපදෙස් දුන්නේ, මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණවලදී සත්‍ය වසන් කළ පොලිස් නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසය.

තාජුඩින් මියගිය මොහොතේ ඒ පිළිබඳ මුල් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර ඇතුළු කණ්ඩායම තම වෘත්තිය වගකීම නොතකමින් කටයුතු කර ඇති බව කියමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයෙන් කළ ඉල්ලීමට ද බ්‍රහස්පතින්දා අවසරය හිමි විණි. ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස සීඅයිඩියට හා වෛද්‍ය සභාවට අධිකරණය නියම කරන ලදී.

සසර වසන තුරු

මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ 88 වැනි ජන්ම දිනය නිමිත්තෙන් “අමරදේව පදනම” විසින් පස්වැනිදා සංවිධානය කර තිබු “සසර වසන තුරු” ප්‍රසංගය රස විඳීම සඳහා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය කාර්යබහුල කාල සටහනින් හෝරා කිහිපයක් කල්තියා වෙන් කරගෙන තිබිණි. ප්‍රසංගය ආරම්භ කිරීමටත් පෙර එය පැවැති බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා එය අවසන් වන තෙක්ම එහි රැඳී සිටීම විශේෂ කාරණයක් විය.

මේ අතර “සසර වසන තුරු” ප්‍රසංගයේ නිවේදන කටයුතු සිදුකළ ප්‍රවීණ නිවේදක සමන් අතාවුදහෙට්ටිගේ ඇරියුමින් අමරදේවයන්ට සුබ පැතීම සඳහා ප්‍රධාන වේදිකාව මතට පැමිණි ජනාධිපතිවරයාට තවත් වේලාවක් රැඳී සිටීමට සිදුවුණි. ඒ සමන් කළ ආරාධනයක් නිසාය. පණ්ඩිත් අමරදේවයන් සමඟ ගීතයක් ගයන්නට එක්වන්නැයි සමන් ආරාධනා කරද්දී ජනාධිපතිවරයා කිසිඳු පැකිළීමකින් තොරව එය පිළිගත්තේය. ඒ අනුව මහගමසේකරයන් විසින් විරචිත “පිලේ පැදුර” ගීතය අමරදේවයන් සමඟ ජනාධිපතිවරයා ගායනා කළේ සුභාවිත ගීතයට ගරු කරන රසික පර්ෂදයෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේය.

එම ගීය ගැයීමට හවුල් වී වේදිකාවෙන් බැසීමට ජනාධිපතිවරයා උත්සාහ කළ ද ඒ සඳහා අවසර නොලැබුණේ අමරදේවයන්ගේ ප්‍රිය බිරිය, විමලා අමරදේව මහත්මිය කළ ඉල්ලීමක් නිසාය. අමරදේව ඇතුළු පිරිස සමඟ එක්ව “ශාන්ත මේ රෑ යාමේ” ගීය ගායනයට ඇය ජනාධිපතිවරයාට අනතුරුව ආරාධනා කළාය. ජනාධිපතිවරයා එම ඉල්ලීමට ද ගරු කරමින් අමරදේව පවුලේ සාමාජිකයන් සමඟ, “ශාන්ත මේ රෑ යාමේ” ගීතයේ සමූහ ගායනයට එක්විණි.

සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව, බදාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පැය තුනකට වඩා වැඩි කාලයක් පැවැති මුත් මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ හැටි උණුසුම් වාද විවාද දැකගත නොහැකි වීම විශේෂත්වයක් විය. මිනිත්තු 200කට ආසන්න කාලයක් පුරා පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ඉන් වැඩි කාලයක් වැය වුණේ පොහොර සහනාධාරය ලබාදීමේ ක්‍රියාවලිය ආශ්‍රිතව මතු ව ඇති ගැටලු සාකච්ඡා කිරීමටය.

ඒ පිළිබඳ වූ කතාබහ ඇරැඹුවේ අමාත්‍ය දුමින්ද දිසානායකය. “පොහොර සහනාධාරය ගැන මෙහෙම වැඩපිළිවෙළක් සකසද්දී මුදල් ඇමැතිතුමා අඩුම තරමින් කෘෂිකර්ම ඇමැතිවරයා හැටියට මා එක්ක කතා කළේවත් නැහැ. පොහොර සහනාධාරය කප්පාදු කරලා කියලා පැතිරෙන කතා අපිට එච්චර හොඳ මදි” දුමින්ද එසේ කියා නතර වනවාත් සමඟ “යෂ්ටිය” අතට ගත්තේ කෘෂිකාර්මික ප්‍රදේශයක් සේ සැලැකෙන හම්බන්තොටින් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද අමරවීර ඇමැතිවරයාය. “පොහොර සහනාධාරය ගැන විතරක් නෙවෙයි පොහොර හිඟයක් ගැනත් කතා යනවා” ඔහු, පැවැසීය.

මේ අතර පී. හැරිසන් අමාත්‍යවරයා ද සඳහන් කළේ පොහොර සහනාධාරය ලබාදීමට යෝජනා කර ඇති හෙක්ටයාර ගණන වැඩි කිරීමට කටයුතු කිරීම වඩා යෝග්‍ය බවය. ඇමැතිවරු කිහිප දෙනකුම මතුකළ එම කාරණාවලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා “ඔය කියන විදිහේ, අවුලක් නැහැ” යනුවෙන් පවසද්දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද රවීට “තල්ලුවක්” දෙමින් අදහස් දක්වන්නට විය.

“ආණ්ඩුවක් විදිහට ඉස්සරහට යද්දි රටේ අනාගතය දිහා බලා අපිට රැඩිකල් තීන්දු ගන්න වෙනවා. ඒ නිසා හොඳ දේවල් නවත්තන්න එපා. විවේචන ආවත්, ඒවා ක්‍රියාත්මක කරන්න” රාජිත එසේ කීව ද ජනාධිපතිවරයා ද කියා සිටියේ පොහොර හිඟයක් පිළිබඳ වාර්තා තමනට ද ලැබී ඇති බවය. “ඒක බරපතළ තත්ත්වයක්. ඒ නිසා පොහොර හිඟයක් ඇති නොවන විදිහට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමු” ජනාධිපතිවරයා යෝජනා කළේය.

ඉන් පසු අදහස් දැක්වූ මහින්ද සමරසිංහ හා නවීන් දිසානායක ඇමැතිවරු පෙන්වා දුන්නේ තේ වගාවට ද පොහොර සහනාධාරය ලබාදීමේ සීමාව නිසා ප්‍රශ්න මතුව ඇති බවය. මිනිත්තු 40කට ආසන්න කාලයක් පැවැති, එම දීර්ඝ සාකච්ඡාව අවසානයේ පොහොර සහනාධාරය ලබා දෙන සීමාව හෙක්ටයාර දෙක දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාවකට පැමිණියේය. ඒ සමඟම මේ ආශ්‍රිතව මතුව ඇති සෙසු ගැටලු ද වහා විසඳීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දෙන ලදී.

මේ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් එහි නෛතික බලය තවත් ඉහළ නැංවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ගෙන එන ලදී. මහා පරිමාණ මූල්‍ය අපරාධයන්හි නිරත වෙමින් රටට අනර්ථයක් සිදුකළ දූෂිතයන්ට, වංචනිකයන්ට එරෙහිව මේ මොහොතේ සක්‍රීය මැදිහත් වීමක් සිදු කරමින් සිටින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නෛතික බලය ඉහළ නැංවීම කාලෝචිත අවශ්‍යතාවක් වුවද එස්. බී. දිසානායක ඇතුළු ජනවාරි 08 විප්ලවයෙන් පසු ඊට එක්වූ ශ්‍රීලනිප මැති ඇමැතිවරු තුළ වූයේ ඒ පිළිබඳ ප්‍රසාදයක් නොවේ. ඒ තත්ත්වය තුළ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාව පිළිබඳ සලකා බැලීමට තවත් කාලය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

පෙරටුගාමීන් හා අගමැති අතර හමුවක්

ආගමන විගමන නීති කඩකළේ යැයි කියමින් දැනට අත්අඩංගුවේ පසුවන පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ “අප්‍රකාශිත” නායක, කුමාර් ගුණරත්නම් හා සම්බන්ධ එම සමස්ත සිදුවීම් ජාලය පිළිබඳ සාකච්ඡා කිරීමට එම පක්ෂය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව එම සාකච්ඡාව පසුගිය හතර වැනිදා පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ දී පැවැත්විණි. ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර, අමාත්‍ය එස්. බී. නාවින්න, ආගමන විගමන පාලක නිහාල් රණසිංහ ඇතුළු එහි ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් අග්‍රාමාත්‍යවරයා සමඟින් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, පෙරටුගාමි සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් ඊට එක්ව සිටියේ සේනාධිර ගුණතිලක, චමීර කොස්වත්ත, දුමින්ද නාගමුව, රවීන්ද්‍ර මුදලිගේ හා අජිත් කුමාර ඇතුළු පිරිසකි.

කතාබහ අරඹමින් පෙරටගාමින් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසුවේ කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා නොදෙන්නේ ඇයි ද කියාය. අග්‍රාමාත්‍යවරයා ද එම ගැටලුව ආගමන විගමන පාලකවරයාගෙන් විමසුවේය. එවිට හෙළි වූයේ, ගුණරත්නම්ට පුරවැසි භාවය නොදෙන ලෙස දන්වමින්, නීතිපතිවරයා එවා ඇති ලිපියක් මත පදනම්ව ආගමන විගමන පාලකවරයා කටයුතු කර ඇති බවය. “එහෙම ලිවුමක් නීතිපතිතුමා එව්වේ ඇයි කියලා අහලා මට සතියක් ඇතුළත වාර්තාවක් දෙන්න” ආගමන විගමන පාලකවරයාට පැවසු අග්‍රාමාත්‍යවරයා එය ලැබුණු පසු ඉක්මනින්ම තමන් මේ සම්බන්ධව පිළිතුරක් ලබා දෙන බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නියෝජිතයන්ට පොරොන්දු විය.

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටීම් කරන විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක්, අඟහරුවාදා ජී. එල්. පීරිස් හිටපු අමාත්‍යවරයාගේ නාරාහේන්පිට නිවසේ දී පැවැත්විණි. හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද ඒ සඳහා සම්බන්ධ වූ අතර, ඒකාබද්ධ විපක්ෂය නිල වශයෙන් තමන් වෙනම කණ්ඩායමක් බව ප්‍රකාශයට පත්කළ පසු ඔහු එහි රැස්වීමකට සහභාගි වූ පළමු වතාව මෙය විය.

ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග හා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ වැඩි වශයෙන් සාකච්ඡා වූ මෙම රැස්වීමේ දී පළමුවෙන්ම අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ක්‍රියාකාරිත්වය දැඩිව විවේචනයට ලක් කළේය. “අපේ මන්ත්‍රීවරුන්ට, පසුගිය ආණ්ඩුවේ හිටපු ඉහළ නිලධාරීන්ට කරන මේ හිරිහැරත් එක්ක තවත් නම් නිහඬව ඉන්න අමාරුයි. නිහඬව හිටියා හොඳම ඇති” මහින්දානන්දගේ කතාව ප්‍රසන්න රණතුංග ද අනුමත කළේ “තවත් මේකට ඉඩ දෙන්න බැහැ” යැයි කියමිනි.

හිටපු ජනාධිපතිවරයා ද මෙහිදී පැවසුවේ “ඉන්ටර්වල් ඉවරයි” වැනි කතාවකි. තමන්ට තම පවුලේ සාමාජිකයන්ට තමන්ට හිතවත් මන්ත්‍රීවරුන්ට හා හිටපු නිලධාරීන්ට මේ වන විට මුහුණ පෑමට සිදුව ඇති තත්ත්වය පිළිබඳ දීර්ඝ විස්තරයක් කළ රාජපක්ෂ මහතා තම ප්‍රකාශය අවසන් කළේ “පළි අරන් හිරිහැර කරලා, අපිව නතර කරන්න කවුරුහරි හිතනවානම්, එයාලට වැරදිලා” යැයි කියමිනි. එම කතාබහ අවසානයේ තීරණය වූයේ මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමටය.

පාර්ලිමේන්තු වාද විවාදවලදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන “කුඩම්මාගේ සැලකිල්ල පිළිබඳව ද මැසිවිලි කිහිපයක්ම මතු වුණු මෙම සාකච්ඡාවේදී ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා යෝජනා කළේ අයවැයට එරෙහිව මතුව ඇති විරෝධයනට තම කණ්ඩායම සහාය පළ කළ යුතු බවය. එය අනුමත කරමින් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කීවේ සහාය ලබාදීමෙන් නතර නොවී ඒකාබද්ධ විපක්ෂය ඊට නායකත්වය ද සැපයිය යුතු ය කියාය. ඒ පිළිබඳව වෘත්තිය සමිති සමඟ වැඩිදුර සාකච්ඡා කිරීමේ වගකීම මහින්දානන්ද, ලොකුගේ හා ප්‍රසන්නට පැවරිණි.

ළඟදිම කොළඹ දෑකැති, උදළු පෙළපාළියක්

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව පසුගිය හතරවෙනිදා පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී රැස්විය. එහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ ගොවියා මුහුණ දී ඇති ගැටලු පිළිබඳවය. “මේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට ගොවියා හෝ කෘෂිකර්මාන්තය අදාළ නැහැ. මුළුමනින්ම කෘෂිකර්මාන්තය බිඳ වට්ටන අයවැයක් ගෙනත් තියෙන්නේ. අපේ රටේ කෘෂිකර්මාන්තය කියන්නේ රටේ ආහාර සුරක්ෂිතභාවය. රටේ ආහාර සුරක්ෂිතභාවයක් නැහැ කියන්නේ ජාතික ආරක්ෂාවට සිදුවෙන බලපෑමක්. රනිල් වික්‍රමසිංහලා 2001-2003 ආණ්ඩුවේ කරපු දේවල් දැන් ආයෙත් පටන් අරගෙන” කතාබහට මුලපුරමින් පක්ෂ නායක අනුර දිසානායක කීවේය.

“ආණ්ඩුව පොහොර සහනාධාරය කප්පාදු කළා. සහන මිලට පොහොර දෙනවා වෙනුවට ගොවියාට මුදල් දෙන්න යන්නේ මේ කප්පාදුව ආණ්ඩුවට ලේසි කරගන්න. දැන් ගොවියා වැඩි මිලට පොහොර ගන්න ඕනෑ. දෙන මුදල ඒකට මදි. පොහොර සහනාධාරය කියන්නේ නිෂ්පාදන සහනාධාරයක්. ඒකෙන් වාසි ලැබෙන්නේ රටේ ජනතාවටමයි. එහෙම එකේ ආණ්ඩුව ඒ සහන කපනවා. පොහොර සහනාධාර විතරක් නෙවෙයි. ඉඩම් ටිකත් විදේශිකයින්ට දෙන්න නීති හදනවා.” ලාල්කාන්ත පැවසුවේය.

“ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව ගොවි විශ්‍රාමය ගැන කිසිදු සඳහනක් කරලා නැහැ. මේ විශ්‍රාම වැටුප කියන්නේ ගොවියා වාරික ගෙවන දායක විශ්‍රාම වැටුපක්. පහුගිය රාජපක්ෂ ආණ්ඩුව ඒ අරමුදලේ සල්ලිවලින් පෝස්ටර් කටවුට් ගහලා මංකොල්ල කාලා විශ්‍රාම අරමුදල බින්දුවට බැස්සුවා. මේ ආණ්ඩුවත් ඒ ගැන කිසිදු සඳහනක් නැතිව මඟහැරලා යනවා. මේ කප්පාදුවට එරෙහිව පාරට බහින්න ඕනෑ. දැනටමත් අපි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය විදියට ගොවීන් රැස්කරමින් මේ ගැන සාකච්ඡා කරනවා.

ගොවියෝ කැමතියි පාරට බැහැලා තමන්ගේ අයිතීන් රැකගන්න. ඒ නිසා අපි ඉදිරි දිනවලදී ගොවි උද්ඝෝෂණ පාගමන්, අඛණ්ඩ සත්‍යග්‍රහ ආරම්භ කරන්න සූදානමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ළඟදීම දෑකැති, උදලු, ගොවියෝ එක්ක කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා.”

නාමල් කරුණාරත්න ඉදිරි ක්‍රියාමාර්ග ගැන එසේ පැහැදිලි කළේය. “මේක දැන් ජාතික මට්ටමේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ ගැන රටේ ජනතාවගේත් අවධානය යොමු කරන්න ඕනෑ. ඒ නිසා අපි මාධ්‍ය හමුවක් තියලා මේකේ තියෙන බරපතළ තත්වය ගැන රටට පැහැදිලි කිරීමක් කරන්න ඕනැ.” ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද මාතෘකාවේ තාලීනත්වය පෙන්වා දුන්නේය. ඒ අනුව පොහොර සහන කප්පාදුව, ඉඩම් නීති සංශෝධනය සහ ගොවි විශ්‍රාමය කප්පාදුව ඇතුළු ගොවි අයිතීන් කප්පාදුව පිළිබඳව ජවිපෙ නායකයා සහභාගි වන මාධ්‍ය හමුවක් පැවැත්වීමට ජවිපෙ තීරණය කරන ලදි.

“මේ ආණ්ඩුව ගැහුවේ ගොවියට විතරක් නෙවෙයි. අපේ රටේ රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවත් අමතක කරලා. වික්‍රමසිංහ ආර්ථික ප්‍රතිපත්තිය හදන්නේ රාජ්‍ය අංශය කප්පාදුවට.” ලාල්කාන්ත අලුත් මාතෘකාවක්, කරළියට ගෙන අවේ ඒ ආකාරයටය. ආණ්ඩුව කරන්න ඕනෑ රාජ්‍ය ප්‍රතිපත්තිය හදන එකයි යටිතල පහසුකම් දෙන එකයි විතරයි කියන එක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබෙනවා. අනෙක් සියල්ල පෞද්ගලික අංශයට දෙන්න යන්නේ.

ඒක අපේ රටට හරියන ප්‍රතිපත්තියක් නෙවෙයි.” අනුර දිසානායක කීවේය. “මේ ආණ්ඩුව රාජ්‍ය අංශයේ සේවකයාගේ දීමනා රු. 10,000 මූලික වැටුපට එකතු කරන එක අමතක කරලා දැම්මා. ඒ විතරක් නෙවෙයි විශ්‍රාමය කප්පාදු කරන්න නීති ගෙනල්ලා. තවත් බරපතළ දෙයක් තියෙනවා. මීට අවුරුදු ගාණකට කලින් වැඩකරන ජනතාව ලේ හලා දිනාගත්ත පැය අටේ වැඩ දිනයත් අහිමි කරන්න මේ ආණ්ඩුව යෝජනා කරලා. සෙනසුරාදා වරුවක වැඩ දිනය අහෝසි කරනවා කියලා සතියේ දවස් පහට පැය ගානේ එකතු කරන්න යනවා. ඒ කියන්නේ දවසකට අනිවාර්යෙන් පැය 09ක් වැඩ කළ යුතුයි.” කියමින් ලාල්කාන්ත දීර්ඝ විස්තරයක් නිම කළේය.

නිල ඇඳුම් වවුචර ලබාදීම ද මේ දිනවල කතාබහට ලක්ව ඇති තවත් ප්‍රධාන මාතෘකාවකි.

“නිල ඇඳුම් වවුචරය දෙන එක මවුපියන්ට විතරක් නෙවෙයි ගුරුවරුන්ටත් වදයක් වෙලා. මවුපියන් ගුරුවරුන්ට දුක්ගැනවිල්ල කියනවා. ගුරුවරු කතා කරලා අපිට දුක්ගැනවිල්ල කියනවා. මේ ගැන පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම අවධානය යොමු කරවන්න ඕනෑ. විලච්චියේ ඉන්න අම්මා කෙනෙක් වවුචරයට රෙදි ගන්න අනුරාධපුරයට එන්න ඕනෑ. වවුචරයට ලැබෙන්නේ රුපියල් 400 යි. ඇඳුම් ගන්න ගමන් වියදම රුපියල් 150ක් 200ක් යනවා. දවසක වැඩත් පාඩු වෙනවා.” මහින්ද ජයසිංහ පසුගියදා විජිත හේරත්ට දුරකතන ඇමතුමක් ලබාදෙමින් එසේ ඒ පිළිබඳව අවධානය යොමු කළේය.

මේ අතර විජිත හේරත් මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තුවේ ලොබියේදී ආණ්ඩුවේ ඇමතිවරුන් සමඟ ද මේ කාරණය ගැන කතාබහක යෙදුනේය. “මොකක්ද ඇමතිතුමා, ඔබතුමාලට ළමයින්ගේ ඇඳුම් ටිකවත් හරියට දෙන්න බෑනේ.” විජිත හේරත් කීවේය. “ඔව්, ඔව්. අපිත් මේකට විරුද්ධයි.

ඒක මහ මෝඩ වැඩක් තමයි. මම හිතන්නේ අමාත්‍යංශයට මේ අවුරුද්දට රෙදි ටික ගේන්න බැරිවෙලා. ඒකට පැලැස්තරයක් විදියට තමයි වවුචරේ දීලා තියෙන්නේ“. ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් විජිතට පැවසුවේය. මේ අතර බිමල් රත්නායක අධ්‍යාපන අමාත්‍යංශ වැය ශිර්ෂයේදී ඔහුගේ ෆේස් බුක් පිටුවට මවක් විසින් ලියා එවා තිබූ පැමිණිල්ලක් ද පාර්ලිමේන්තුවේදී කියෙව්වේය.

පසුගිය සතියේ මැණික් ව්‍යාපාරිකයින්ගේ සහ දේශපාලනඥයින්ගේ හමුවක් කොළඹ හෝටලයකදී පැවැත්විණි. ඒ සඳහා තලතා අතුකෝරාල, පවිත්‍රා වන්නිනායක, විජිත හේරත් ඇතුළු දේශපාලනඥයින් පිරිසක් සහභාගි වූහ. “අපේ මැණික් ව්‍යාපාරයට දැන් විදේශිකයින් අතගහලා.

මැණික් ගරන්න මැණික් වෙළෙඳාම් කරන්න විදේශ සමාගම්වලට ඉඩ දීලා. මේක අපිට කරන අසාධාරණයක්.” මැණික් ව්‍යාපාරිකයින් තම ගැටලුව විස්තර කළේය. මමත් පෞද්ගලිකව මේකට විරුද්ධයි” කියමින් තලතා අතුකෝරල ඇමැතිවරිය අදහස් දැක්වීය. නමුත් දිගින් දිගටම ව්‍යාපාරිකයින්ගේ ගැටලු ඉදිරිපත් වන විට “එකම ප්‍රශ්නය කොයිතරම් වෙලා කතා කළත් වැඩක් නෑනේ” කියමින් ඇමැතිවරිය සාකච්ඡාව අවසන් කරන්න උත්සාහ කළේය. “මේ ගැන ජවිපෙ ස්ථාවරය දැනගන්න ඕනෑ. විජිත හේරත් මන්ත්‍රීතුමාට අවස්ථාවක් දෙන්න ඕනෑ” මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනෙක්ම කීවේය. ඒ අනුව විජිත ට අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබුනි.

“ඇමතිවරිය තමන්ගේ පෞද්ගලික අදහස කියලා ප්‍රශ්නයෙන් ලිස්සලා යන්න හදනවා. නමුත් ඔබතුමියලගේ ආණ්ඩුව විදේශිකයින්ට මැණික් ගරන්න ඉඩ දීලා. දැනටමත් බ්‍රිතාන්‍යයේ ජෙම් ෆීල්ඩ් ආයතනය වෙන නමකින් ඒ බිස්නස් කරනවා. ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා දේශීය ව්‍යාපාරිකයන් වෙනුවෙන් ආණ්ඩුව මේකට මැදිහත් වෙලා නීති වෙනස් කරන්න ඕනෑ.” විජිත හේරත් කීවේය. “ඒ විතරක් නෙවෙයි විදේශිකයෝ අපේ රටට කුඩු, එතනෝල් ගෙනාවා. ඒ කන්ටේනර් නිදහස් කරගන්න අස්සන් කරපු අයත් මෙතන ඉන්නවා.

එහෙම කරපු අයත් යහපාලන ආණ්ඩුවේ රැකවරණය යටතේ ඉන්නවා.” විජිත හේරත් මන්ත්‍රීවරයා එසේ කීවේ පසුගිය ආණ්ඩුවේ ආන්දෝලනයට ලක්වූ කුඩු කන්ටේනරය නිදහස් කිරීමට හවුල් නිලධාරියා එදින පරිසර නියෝජ්‍ය ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස පැමිණ සිටීම නිසාය. සාකච්ඡාවට පැමිණ සිටි කිහිප දෙනෙක්ම ඒ බව මන්ත්‍රීවරයාට කියා තිබුණි.

පිරිසුදු දෑතින් එන්න එලෙසම සමුගන්න

‘පාර්ලිමේන්තුවේදී තම මතය ප්‍රකාශ කිරීමට වගේම අන් මතයට සවන් දීමටත් ඉගෙන ගන්න. පෞරුෂය කියන්නේ නායකත්වය ගැනීම පමණක් නොවෙයි. නායකත්වයට අවනත වීමත් පෞරුෂයේ ලක්ෂණයක් බව මතක තියා ගන්න. දේශපාලනයට එනවා නම්, දෑත පිරිසුදුව පැමිණ පිරිසුදු දෑතින්ම සමුගෙන යන්න. සමුගන්න දවසක ඊට වඩා සතුටක් තවත් නැහැ.’ කරු ජයසූරිය මහතා මෙලෙස කීවේ තමා කථානායක ධුරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොව මහරගම ජාතික තරුණ සේවා සභාවේදී යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටය. යොවුන් පාර්ලිමේන්තුවේ දෙවන සැසියේ ප්‍රධාන ආරාධිතයා වූ කරු ජයසූරිය මහතා පිළිගනු ලැබ‍ුවේ යොවුන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසිනි.

මෙහිදී සභානායක ජීවන්ත කළුආරච්චි, යොවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී කතානායකවරයා පිළිගනිමින් කළ කථාව යොවුන් පාර්ලිමේන්තුව තුළට සැබෑ දක්ෂයන් පිරිසක් ගොනු වී ඇති බවට කදිම සාක්ෂියක් විය. අයවැය විවාදය මෙන්ම පාර්ලිමේන්තුවේ පැවති අන්තර්ජාතික පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් රැස්වීම් ද නිසා කථානායකවරයා මේ දිනවල අතිශය කාර්යබහුලය. ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, චීන-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, ස්පාඤ්ඤ සහ බොට්ස්වානා දෙරටෙහි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් රැස්වීම් ද පසුගිය සතියේ පැවැත්විණි.

කොතරම් කාර්ය බහුල වුවද, කීර්තිමත් කලා පවුලක් නියෝජනය කරන චිත්‍රා කුමාරි, නෙළුම් සහ සංගීත් කළුබෝවිලගේ පියාගේ අවමංගල්‍යයට මෙන්ම සුනිල් හෙට්ටිආරච්චි රංගන ශිල්පියාට අවසන් ගෞරව දැක්වීම සඳහා ද පාර්ලිමේන්තු කටයුතුවලින් මඳකට නිදහසක් ලබාගැනීමට කථානායකවරයා කටයුතු කළේය.

මේ අතර, රාජ්‍ය ගිණුම් කාරක සභව සහ කෝප් කමිටුව ද සිය වැඩකටයුතු ආරම්භ කිරීම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිදු වූ විශේෂ කටයුත්තක් විය. එම සමාරම්භක උත්සවයේ ප්‍රධානත්වය දැරූ කථානායකවරයා කීවේ කෝප් කමිටුවට හා රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඉතිහාසයේ නොතිබූ බලතල පවරමින්, මහජන මුදල් වියදම් කළ ආකාරය මහජනතාවට දැන ගැනීමට ඉඩ සලස්වන බවය.

සූරිය පදනම නිහඬව නමුත් විසල් සමාජ මෙහෙවරක් සිදුකරන පුණ්‍යාධාර ආයතනයකි. වත්මන් කථානායක බිරිය වෛද්‍ය වසන්තා ජයසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන මෙහි පුණ්‍යාධාර සඳහා, දේශපාලනයට පැමිණි දා සිට වැටුප් ලෙස මෙතෙක් ලබා ගත් සෑම සතයක්ම පරිත්‍යාග කිරීමට කරු ජයසූරිය මහතා කටයුතු කර තිබේ. පසුගිය දිනක කතානායකවරයා හමුවට කැඳවනු ලැබූ එප්පාවල කිඹුල් ග්‍රහණයෙන් මව බේරාගත් තරුණයා යළි කතානායක නිල නිවෙස වෙත කැඳවා ඔහුගේ නිවෙස ඉදි කර ගැනීමට ආධාරයක් සූරිය පදනම මඟින් පිරිනැමීම ද සිකුරාදා දිනයේදී සිදු විණි.

රට සවාරි එපා කියන සජිත්

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු එහි නිලධාරීන් පිරිසක් සමඟ පසුගිය දා විශේෂ සාකච්ඡා වාරයක් පැවැත්වූවේ මෙරට ලක්ෂ 12ක් පමණ වන කාන්තා මූලික පවුල්වල පවතින නිවාස ගැටලු විසඳීම ඇතුළු සුබසාධන කටයුතු වැඩිදියුණු කිරීම පිළිබඳවය.

ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවේදී එළැඹි නිගමන අනුව අදාළ පවුල්වල නිවාස ප්‍රශ්න විසඳීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත් කරනු ලැබූ අතර ලබන වසරේ ඉලක්කගත කාලසීමාවක් තුළ එම ගැටලු විසඳීම සඳහා අමාත්‍ය නියෝගයක් ද නිකුත් කෙරිණි. පියවරුන් නොමැතිව දරුවන් සමඟ පවුල් බර උසුලමින් විවිධ අසාධාරණයන්ට ලක්වන හා පිළිසරණක් නොමැති කාන්තා මූලික පවුල් නඟා සිටුවීමේ ප්‍රමුඛතා වැඩපිළිවෙළක් කෙරෙහි වහා අවධානය යොමු කළ යුතු බව සජිත් එහිදී අවධාරණය කළේය.

අලි-මිනිස් ගැටුමින් විනාශ වන නිවෙස් පිළිසකර කර ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් ලබා දුන් සුළු වන්දි මුදල වෙනුවට එසේ විනාශ වන නිවාස වෙනුවට සුදුසු ස්ථානවල නව නිවාස ඉදිකර දීම සඳහා නිවාස හා වනජීවී අමාත්‍යාංශවල ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සජිත් පසුගියදා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කළේය. මේ පිළිබඳ විමසූ සිය පරිසර හිතකාමී මිතුරන්ට සජිත් කීවේ “අලි-මිනිස් ගැටුම නිසා මේ වන විට දහස් ගණනකගේ නිවාස විනාශ වෙලා තිබෙනවා. අලි පරපුර බේරා ගන්නත් ඕනෑ. මිනිස්සු රැකබලා ගන්නත් ඕනෑ. මේ ඊට අදාළ එක පියවරක් විතරයි. මේක ජාතික වැඩපිළිවෙළක් හැටියට දිගටම ඉදිරියට ක්‍රියාත්ක කරන්නයි බලාපොරොත්තුව” කියාය.

පසුගියදා සජිත් හමුවට පැමිණි අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු යෝජනාවක් කරමින් කියා සිටියේ “සර්, විදේශ චාරිකා කීපයක්ම ඇවිත් තිබෙනවා. ප්‍රතිපාදනත් තිබෙනවා. අය-වැය ඉවර වුණාට පස්සේ නිවාඩු පාඩු තිබෙන නිසා සර්ට රට සවාරියක් ගිහින් එන්න පුළුවන්” කියාය. “බොහොම ස්තුතියි. පිටරට රවුම් ගහන්න කිසිම අාසාවකුත් නෑ. අදහසකුත් නෑ. ඇමැතිවරු එහෙම ගිය කාලයකුත් තිබුණා තමයි. යම් මුදලක් වෙන් වෙලා තිබෙනවා නම් ඒ සල්ලිත් දාන්න ගෙවල් හදන්න” යනුවෙන් සජිත් පිළිතුරු දුන්නේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්