ආණ්ඩුවේ ඡන්ද පොරොන්දු අද පුස්සක් වෙලා
ආණ්ඩුවේ ඡන්ද පොරොන්දු
අද පුස්සක් වෙලා
ශ්‍රීලනිප උප සභාපති - මන්ත්‍රී සී. බී. රත්නායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වන සී.බී. රත්නායක මහතා
මෑතකදී පිහිටුවාගත් ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. හෙතෙම
ශ්‍රීලනිප යේ උපසභාපතිවරයෙක්ද වෙයි. වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳ
ඔහු සමඟ 'සිළුමිණ' සිදු කළ සාකච්ඡාවකි මේ.
ඔබ මොන තරම් විවේචනය කළත් අය-වැය දෙවැනි වර ඡන්ද විමසීමෙන් ආණ්ඩුව තුනෙක් දෙකක
බලයක් ගත්තා. ඒ කියන්නේ මේ අය-වැය සාර්ථක අය-වැයක් නේද?
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය සහ ජනතාවගේ ජනමතය කියන්නේ දෙකක්. මේ
අය-වැය අසාර්ථකම අය-වැයක් කියලා අපි මොනතරම් යටිගිරියෙන් කෑගහලා කිව්වත්
පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි අතින් ආණ්ඩුව වැඩි ඔළු ගෙඩි ප්‍රමාණයක් අල්ලාගෙන
ඉන්නවා. හැබැයි ජන මතය ඒක නෙමෙයි.
මේ වෙනකොට එජාපයේ සමහර මන්ත්‍රීවරු මේ
අය-වැයට ඡන්දය දුන්නත් ඒ දුන්නේ හිතේ අමාරුවෙන්. එකක් එජාප නායකයාට ඒ කියන්නේ
අගමැතිවරයාට පිටුපා ඔවුන්ට තනි මතයට මේ වෙලාවේ වැඩ කරන්න බෑ.
ඒ වගේම
ශ්‍රීලනිපයේ සිටින ඇමැතිධුර ලබාගත් අපේ මිත්‍රයන්ටත් මේ වෙලාවේ අය-වැය
අසාර්ථක බව තේරුණත් ඔවුන්ටත් ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට
පිටුපාන්න බෑ. හැබැයි අපේ ශ්‍රීලනිපයෙන් ගිහින් ඇමැතිධුර ලබාගත් උදවියත්
අය වැයට ඡන්දය දීම ගැන හිතේ අමාරුවෙන් ඉන්නේ.
අපි ඒ ගැන අපේ ශ්‍රීලනිපයෙන්
ගිහින් ඇමැතිධුර ලබාගත් අය ගැන අහිතක් හිතන්නේ නෑ. හැබැයි ආණ්ඩුව මේ අය-වැය
දෙවැනි වර ඡන්ද විමසීමෙන් තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ගත්තත් දැන් රටේ වැඩ කරන
පන්තිය පාරට බැහැලා අය-වැය විවේචනය කරනවා.
දැන් වෘත්තීය සමිති විරෝධතා සතියක්
ප්‍රකාශයට පත් කර තිබෙනවා. වෘත්තීය සමිති අතිවිශාල සංඛ්‍යාවක් මේ සටනට දැන්
නායකත්වය දෙනවා. 15 වැනිදා මහා වැඩවර්ජනයක් සිදු වෙනවා. ඒ නිසා අපි ඒකාබද්ධ
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදියට හෘදයසාක්ෂියට එකඟව මේ අය-වැයට විරුද්ධව
ඡන්දය දුන්නා. හැබැයි මේ අය-වැයට අනුව මේ ආණ්ඩුවට වැඩි දුර යන්න බෑ.
ඔබ කියන විදියට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225න් හෘදයසාක්ෂියක්
තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විතරද?
නෑ නෑ. මං එහෙම කියන්නේ නෑ. අද සමහර මන්ත්‍රීවරු දෙන්නං කාසිවලට රැවටිලා
තියෙනවා. තවත් සමහරු තනතුරු පස්සේ යනවා. ඒ නිසා ඔවුන්ට අය-වැය ජනතාවට අහිතකර
වුණත් අය-වැයට පක්ෂව ඡන්දය දෙන්න සිදු වෙලා තිබෙනවා.
මේ වන විට ඇති වෙලා තිබෙන වර්ජන රැල්ලට ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් දක්වයි කියලා
ඔබ හිතනවාද?
අනිවාර්යයෙන්ම මේ වර්ජන රැල්ල විසින් ආණ්ඩුවට බල කරන්නේ අය-වැය නැවැත
සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න කියන දෙයයි. හැබැයි ආණ්ඩුව ඒකට මොන විදියට ප්‍රතිචාර
දක්වයිද අපි දන්නේ නෑ. ඒත් ආණ්ඩුව ජනතා හඩට කන් දිය යුතුයි. මේ රටේ ඉතිහාසයේ
බලයට පත් වූ ආණ්ඩු අතරින් ඉතාම වේගයෙන් ජනතා අප්‍රසාදයට පත්වූ එකම ආණ්ඩුව මේ
හවුල් ආණ්ඩුව බව දැන් සනාථ වෙලා ඉවරයි. අගමැති රනිල් කියන විදියට ලිච්ඡවි
රජදරුවන්ගේ පාලනය වගේ සාකච්ඡා සම්මුතියෙන් ප්‍රශ්න විසඳන බව කිව්වත් මේ
ආණ්ඩුවේ අගමැතිවරයා හැසිරෙන්නේ දෙව්දත් කෙනෙක් වගෙයි.
අපි මුදල් ඇමැති රවි
කරුණානායකට ස්තුතිවන්ත වෙනවා මේ රටේ නීතිඥ, වෛද්‍ය, ගොවි, කලාකරුවන්,
මාධ්‍යවේදීන් ඇතුළු මේ රටේ වැඩ කරන පන්තියෙන් වැඩියෙන්ම බැණුම් අහන අය-වැයක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට. අය-වැයක් ඉදිරිපත් කරලා රටේ සෑම පන්තියේම
ජනතාවගෙන් බැණුම් අහන තත්ත්වයට වැටුණ එකම මුදල් ඇමැති රවි කරුණානායකයි.
මේ අය-වැයේ තිබුණු ඇතැම් අඩු-පාඩු නිවැරැදි කරගැනීමට ආණ්ඩුව යම් යම් සංශෝධන
අය-වැයට එක් කර තිබුණා. එහෙම බලන කොට මේ ආණ්ඩුව නම්‍යශීලි ආණ්ඩුවක් නේද?
මේ ආණ්ඩුව ජනතා හඬට කන් දෙන බවක් පෙනෙන්න නෑ. ඔවුන් මේ මොහොතේ අය-වැයට යම් යම්
සංශෝධන එක් කළ බව පෙන්වුවත් ඒක ඇස්බැන්දුමක් විතරයි. මේ ආණ්ඩුව වියරු වැටිලා
මර්දනකාරී ලෙස ජනතා බලවේග පොඩිපට්ටම් කරන ගමනකට අවතීර්ණ වෙලා සිටින බවක්
තමයි අපිට පැහැදිලි වෙලා තියෙන්නේ.
අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ
වෙනකොට රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපෘතියක් කරනවා කියලා. ඔබත් ඒ
ව්‍යාපෘතියේ ඉන්නවාද?
මහපොළොවේ තිබෙන ඇත්ත අගමැතිතුමා තේරුම් ගත යුතුයි. සුන්දර වචන කියලා ජනතාව
මුළා කරන්න බෑ. මං හද්දා පිටිසර ගමක මිනිහෙක්. අපි කථාවට කියනවා සතා හංගන්න බෑ
කියලා. ඉර, හඳ සහ සත්‍යය අපට කවදාවත් හංගන්න බෑ. ඒක අගමැතිතුමා තේරුම් ගත
යුතුයි. ඒ නිසා කලබල නොවී බලාගෙන ඉන්න මේ ඉදිරි අවුරුද්දේ මොකද වෙන්නේ කියලා.
රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රුපියල් 10,000 මූලික වැටුපට එකතු කිරීමට නම් තව තවත්
භාණ්ඩ හා සේවා බදු වැඩි කරන්න සිදු වන බව අගමැතිවරයා කියා තිබුණා. එතුමාගේ
කථාවේත් සාධාරණයක් තිබෙනවා නේද?
එතුමාගේ කථාව සම්පූර්ණයෙන්ම අසාධාරණ කථාවක්. දැන් එජාප මැතිවරණ ප්‍රකාශය
අරගෙන බලන්න. එතුමා මේ වෙන කොට ලොකුම බොරුකාරයෙක් වෙලා ඉන්නේ. එජාප
ප්‍රතිපත්ති ප්‍රකාශයේ අගමැතිතුමා අද කියන කථාව නෑ. එතුමාට ඔය කථාව එජාප
මැතිවරණ ප්‍රකාශයට දාලා ජනතාවගේ අනුමැතිය ගත්තා නම් අපි එතුමාට අද දොස්
කියන්නේ නෑ. එජාප මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලිව තිබුණා වැටුපට එක් කළ රුපියල්
10,000 මූලික වැටුපට එක් කරනු ලැබේ කියලා. පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල්
2500කින් වැටුප් වැඩි කරනු ලැබේ කිව්වා.
මේ විදියට එජාප මැතිවරණ ප්‍රකාශයේ තිබූ
බොරු සියල්ල අද ජනතාවට හෙළි වෙලා තිබෙනවා. එජාපයට ඡන්දය දුන් මධ්‍යස්ථ
ඡන්දදායකයා අද අනේ අපොයි අපි කරගත්ත මෝඩකමක් කියලා ඔළුවේ අත ගහගෙන
ළතවෙනවා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් කරගත්තේ. රාජපක්ෂ හිටියා නම් හොදයි
කියලා අද ජනතාව කියනවා. අද ගමේ පාර, පන්සල, පාසල සංවර්ධනය වෙන්නේ නෑ. ජනතාව
උස්සලා පොළොවේ ගහලා වගේ අද ජනතාව නන්නත්තාර වෙලා ඉන්නේ.
ඔබලා මේ අය-වැය අල්ලාගෙන බංකොලොත් දේශපාලන ව්‍යාපෘතියක් සිදු කරන බව
අගමැතිවරයා චෝදනා කරනවා නේද?
කවුද බංකොලොත් කියලා තව අවුරුද්දක් යනකොට දැකගන්න පුළුවන් වේවි. ඉවසගෙන
ඉන්න කියලා මං එතුමාට කියනවා.
එකම රාමුවකට කොටු නොවී රටේ අනාගතය වෙනුවෙන් සැකසූ මේ අය-වැය නවෝත්පාදනයට
මූලිකත්වය දුන් රට නිෂ්පාදන ආර්ථිකයකට ගෙන යන බව ආණ්ඩුව කියනවා. ජනප්‍රිය
අය-වැයක් නොවුණත් රටේ ආර්ථිකය ශක්තිමත් වනවාට ඔබ කැමැති නැද්ද?
ආණ්ඩුවට මොනවා කරන්නත් පෙර අය-වැය පරතරය පියවාගන්නේ කොහොමද කියන ගැටලුව අද
තිබෙනවා. අය-වැයෙන් කප්පාදු කළ සමහර දේවල් - උදාහණයක් විදියට වාහන බලපත්‍ර
වසර 10කට වරක් දෙන බව - ආණ්ඩුව දැන් කියනවා; විශ්‍රාම වැටුප කප්පාදු කරන්නේ නෑ
කියලා දැන් කියනවා.
මේ හැම දෙයක්ම ජනතාව රවටන්න කියන කථා විතරයි. මොකද: දැන්
රජය ඊළග වසරේ බලාපොරොත්තු වෙන ආදායම සහ වියදම කියන අයිතම දෙකම දැන් වෙනස්
වෙලා. අදායම් අඩු වන බවක් සහ වියදම් වැඩි වන බවක් පෙනෙනවා. එතකොට අය-වැය
පරතරය තවත් වැඩි වෙනවා. ආණ්ඩුව මේ උගුලේ හිර වෙලා ඉන්නේ. මේ අය-වැය හරියට කසාය
බිව්වාම අපි කන සීනි අහුර වගේ අය-වැයක්. මොකද: ඒ වෙලාවට කටේ තිත්ත ගියාට දවස පුරාම
කටේ තිත්ත තියෙනවා. අද රුපියල වේගයෙන් බාල්දු වෙනවා; ඩොලරය නඟිනවා; අපේ
ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් වැඩි වෙනවා. එතකොට අපේ සාමාන්‍ය
පාරිභෝගිකයාට මොකද වෙන්නේ? ඒ නිසා ලබන මාර්තු මාසය වන තුරු ඉවසන්න. රටේ
ආර්ථිකය දිය වෙන හැටි අපට බලාගන්න පුළුවන් වේවි.
ඔබ දකින විදියට මේ අය-වැයෙන් රටේ අනාගතයට වන බලපෑම මොන වගේද?
මේ අය-වැය සමහර ඇමැතිවරුන්ගේ ගෙවල්වල රස්තියාදු වන ව්‍යාපාරිකයන්ට සහන
දෙන්න හදපු අය-වැයක්. මේක ඩීල් අය-වැයක්. කැසිනෝ වෙනුවට රුචිනෝ බදු ලක්ෂ 200 සිට
ලක්ෂ 5ට අඩු කර තිබෙනවා. මේ ව්‍යාපාරිකයා කාගේ ගෙදරද ඉන්නේ? කවුද ඔහුව තියාගෙන
ඉන්නේ? මේ ඩීල් අපි ඉදිරියේදී හෙළි කරනවා. හැබැයි අපි ආණ්ඩුවට කියනවා
ඩීල්කරුවන් නිසා ජනතාව බිල්ලට දෙන්න එපා කියලා.
තව මොනවද මේ අය-වැයේ තියෙන ඩීල්?
ඩීල් හැටහුටහමාරක් තියෙනවා. පරිසර හිතකාමී විදුලි කාර් මිල ඉහළ දානවා.
එතනත් ඩීල්-එකක් තියෙනවා. මේ අය-වැය සම්මත වුණාට පස්සේ තව ඩීල් රැසක් අපි හෙළි
කරනවා. දැන් බලන්න ඩීල් දේශපාලන නායකයෝත් දැන් බිහි වෙලා. නිර්ධන පන්තිය සමාජ
සාධාරණත්වය සදහා වූ විප්ලවයක් කළ නිර්ධන පන්ති නායකයෙක් වූ ජනතා විමුක්ති
පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර දිවි හිමියෙන් කැප වී බිහි කළ ජවිපෙ අද වත්මන්
නායකයා ඩීල්කාරයෙක්. මේ ඩීල් නායකයා ජවිපෙ රහසිගත නායකයා වූ කුමාර්
ගුණරත්නම් දන්නේ නෑ! එයා ඒ තරම් බබෙක්! ඒ නිසා මේ ඩීල්කාරයෝ එකතු වෙලා හදපු
අය-වැයක් තමයි මේ.
ඔබ දැන් ඇවන්ගාඩ් සිදු වීම ගැන මොකද හිතන්නේ?
ඒකත් ඩීල්කාරයන්ගේ වැඩක්. ශ්‍රී ලංකා නාවික හමුදාවට පෞද්ගලික නෞකාවලට
ආරක්ෂාව දෙන්න පුළුවන්ද? එහෙම ආරක්ෂාව දීලා බිස්නස් කරන්න පුළුවන්ද? ඒත්
ඇවන්ගාඩ් සමාගම විදෙස් නැව්වලට ආරක්ෂාව දීලා විදේශ විනිමය ඉපයුවා. අද
ශ්‍රීලංකාවේ නාවික හමුදාවේ හෝ ආරක්ෂාව ලබාගැනීම විදෙස් නෞකා ප්‍රතික්ෂේප
කරනවා. අද විශ්‍රාමික හමුදා සාමාජිකයෝ 600කගේ පමණ රැකියා අහිමි වෙලා.
විශ්‍රාමික රණවිරුවන්ට ලැබුණු අමතර රැකියාව සහ වැටුප් අහිමි වෙලා. දැන්
බලාගෙන යන කොට ඇවන්ගාඩ් එකට චෝදනා කරපු ඇමැතිවරු ඇවන්ගාඩ් එකෙන් මුදල්
ලබාගත්තා කියලා එහි සභාපතිවරයා චෝදනා කරනවා. ඒ නිසා චෝදනා කරපු අයටම අද
ඇවන්ගාඩ් පාරාවළල්ලක් වෙලා.
ඔබගේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දැඩි හානියක් කළ පෝර්ට් සිටි ඉදි කිරීම දැන්
නැවතත් ආරම්භ වෙලා නේද?
සත්‍යය හංගන්න බෑ කියලා අපි කියන්නේ ඒකයි. මේ යහපාලන ආණ්ඩුව දිගින් දිගටම
රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ට එරෙහි චරිත ඝාතන සිදු කරමින් පොලිස් මූල්‍ය
අපරාධ කොට්ඨාසයට, අල්ලස් කොමිසමට හිටපු ඇමැතිවරුන් ගෙන යමින් මහා විකට
චිත්‍රපටයක් ජනතාවට පෙන්වනවා. ඇමෙරිකාවේ අය-වැය පරතරය ඇමෙරිකානු ඩොලර්
ට්‍රිලියන 3 යි. හැබැයි චීනයේ අය-වැය සංචිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2 යි.
එහෙව් චීනය වැනි ආර්ථික අතින් බලගතු රටක් මේ රජය හෑල්ලු කර තිබෙනවා. චීනය නිසා
තමයි ගමේ පාර කාපට් වුණේ; ගමේ පාරේ කොන්ක්‍රීට් ඇතිරුවේ; ගම, නගරය සහ රට
සංවර්ධනය වුණේ. මේ රජයට සත්‍යය දැන් හෝ අවබෝධ වෙලා නම් අපි අගය කරනවා.
හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අඩු කර නැහැ කියන කථාව ඇත්තක්ද?
එතුමාගේ ආරක්ෂාව අඩු කොට තිබෙනවා. එතුමා මේ රටේ වසර 30ක යුද්ධය නිමා කළ නායකයා.
එතුමාගේ ආරක්ෂාව පියවරෙන් පියවර අඩු කරමින් දරුණු කොටි ත්‍රස්තවාදීන්
නිදහස් කිරීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. පැහැදිලිවම එතුමාට ජීවිත
තර්ජනයක් තිබෙනවා. ඒ නිසා හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතයට යම් අවදානමක්
ඇති වුව හොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුව බාර ගත යුතුයි.
ඒකාබද්ධ විපක්ෂයේ සිටින මනූෂ නානායක්කාර ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිකමක් බාර
ගන්නා බව සත්‍යයක්ද?
මං හිතන්නේ නෑ එතුමා එවැනි තීන්දුවක් ගනී කියලා. ගිලෙන නැවකට කවුද පනින්නේ?
මහා මැතිවරණයේදී ඔබට ඡන්දය දුන් ජනතාවට දැන් මොනවද කියන්න තියෙන්නේ?
යහපත් හෙටක් සඳහා, සුබ අනාගතයක් සදහා නුදුරු දිනයකදීම අපි ඔබට ආරාධනා
කරනවා. එතෙක් ඉවසීමෙන් සිටින්න.
ඒක අලුත් ආණ්ඩුවක් එන පෙර නිමිත්තක්ද?
කැමැති විදියකට ඒක හිතාගන්න.
සංවාද සටහන - චන්දන බණ්ඩාර
|