මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»

බණ්ඩාර සර් කොස්තා සර්
හොස්ටල් කොලම

බණ්ඩාර සර් කොස්තා සර්

මං අටේ හිටියෙ එක්දහස් නවසිය හැත්තෑ තුනේදි. ඒ අට ‘සී’ පන්තියෙ. බාරව හිටියෙ බණ්ඩාර සර්. තරුණ කඩවසම්, සිහින් දේහ විලාසය. ඇඟේ ගාණට මහන, ෆිට් එකට හැමදාම අඳින ජාතික ඇඳුම. රවුම් ක්‍රීම් පාට මූණතක් තියෙන අත් ඔරලෝසුව. ගාණට පැත්තට පීරලා හෙල්ලෙන්නෙ නැතුව දවසම තියෙන කොණ්ඩෙ. හැබැයි ජෙල් ගාලා නෙමෙයි ඒ තෙල් ගාලා. දිලිසෙන්නම පොලිෂ් කරපු සපත්තු. කට පැත්තකට යන හීන් හිනාව. සෙක්ෂන් එකේ ජනප්‍රියම ගුරුවරයා.

අටේ පන්ති තිබුණ හෝල් එකේ බිත්ති පුවත් පත තිබුණෙත් අපේ පන්තිය ළඟමයි. හොස්ටල් එකේ ‘එළිය’ බිත්ති පුවත් පතට වගේම ඒකටත් මං දායක වුණා. බණ්ඩාර සර්ගෙ තමයි අධීක්ෂණය. දැන් කොළඹ ඉන්න පොලිස් අධිකාරි පාලිත පනාමල්දෙණිය තමයි අපේ මොනිටර්. බණ්ඩාර සර් තමයි පත් කෙරුවෙ. මං ඉතින් කොට හින්දා ඉස්සරහම පේළියෙ තමයි හැමදාම ඉන්නෙ. බන්දුල තමයි මගෙ ළඟම හිටියෙ. එයාගෙ ගෙවල් ධර්මරාජෙ ළඟම ලේවැල්ලෙ. ඉන්ටවල් එකට ගෙදරින් ගේන කෑමවලින් බාගයක් හැමදාම එයාගෙන් මට ලැබෙනවා. අපිට ඉන්ටවල් එකට හොස්ටල් එකෙන් මුකුත් ලැබෙන්නෙ නෑ. කැන්ටින් එකෙන් මොනවා හරි ගන්න පුළුවන් වෙන්නෙ ගෙදරින් ඇවිල්ලා ගිය දවස්වලට විතරයි. කැන්ටිමේ පාන් බාගයක් හරස් අතට දෙකට කපලා, ඒ පාන් කාලත් මැදින් ටිකක් දුරට පළලා මැද්දට පොල් සම්බෝල දාපු ‘සම්බල් පාන්’ එකක් සත පහළොවයි. ඒ විදිහෙම ‘පරිප්පු පාන්’ එකක් සත විස්සයි.

මාසෙකට සැරයක් ගෙදරින් ආවත් හම්බ වෙන්නෙ රුපියල් දෙකක් හරි තුනක් තමයි උපරිම. සතියක් යනකොට ඒක ඉවර වෙනවා. හොස්ටල් එකේ හවස තේ එකට නම් අනිවාර්යෙන්ම කෑමට යමකුත් ලැබෙනවා. හුඟක් දවස්වලට ‘හැබෑම’ මාළු බනිස් තමයි ලැබුණෙ. හැබෑම කිවුවෙ ඒවයෙ ඇතුළෙ ඇත්තටම තිබුණේ මාළු විතරයි. වෙන මොකුත් තිබුණෙ නෑ. මාළු සහ බනිස්. ඇත්තටම මාළු බනිස්!! දැන් ‘මාළු පාන්’ කියලා කියන්නෙ එළවළු ටිකකට මාළු කට්ටක් වගේ දෙයක් දාපු බොරු එකකටනේ. නමත් වෙනස් - ඇතුළත් වෙනස්. ඉංග්‍රීසියෙන් ෆිෂ් බන්. සිංහලෙන් මාළු පාන්. දැන් ‘එළවළු බනිස්’ එකේ වෙනස අර මාළු කට්ට නැති එක විතරයි. එතකොට ගාණත් අඩුයි. එහෙම බලාපුවාම එළවළු බනිස් කන එක තමයි අද ‘වඩා ප්‍රායෝගික.’

ඒ කාලෙ ‘අමාරිස් අයියලා’ගෙ ගුවන් විදුලි විහිළු කතාවල පොල් සම්බෝලෙත් ඒ වගේ. වර්ග තුනයි. මිල තුනයි. ලාබම එකට උම්බලකඩ කෑල්ලක් උඩින් යවලා ආපහු ගන්නවා. එහෙම කිවුවහම හාමු මහත්තයා අහන්නෙ දෙවෙනි එකට උම්බලකඩ දානවා ඇති නේද එහෙනම් කියලා. අමාරිස් අයියා කියන්නෙ ඒකට උම්බලකඩ කෑල්ලක් ඔබලා ටිකක් වෙලා තියලා ආපහු ගන්නවා කියලා. ඒක ටිකක් ගණන්. තුන්වෙනි එකට තමයි උම්බලකඩ කෑල්ලක් දාන්නෙ. ඒක හුඟක් ගණන්.

සිකුරාදාට අන්තිම පීරියඩ් එකේ තිබුණෙ සිංහල. බණ්ඩාර සර්ම තමයි සිංහල ගුරුතුමා. සර්මයි යෝජනා කෙරුවෙඒ වෙලාවට අටේ පන්ති අතරෙ විවාදයක් තියමු කියලා. එක සතියකට එක පන්තිය ගාණෙ ගෙන්නුවා අපි. ඒ ඒ පන්තියේ විවාද කණ්ඩායමයි ළමයි කීප දෙනෙකුයි එනවා සිකුරාදාට අපේ පන්තියට. විවාදෙ ඉවර වෙන කොට ඉස්කෝලෙ ඇරෙන බෙල් එක ගහලා තවත් විනාඩි දහයක් විතර යනවා සමහර විට. අපේ විවාද කණ්ඩායමේ මාත් හිටියා. සරත් ජයසුන්දර නායකයා. අපි හතර දෙනයි කණ්ඩායම. විවිධ මාතෘකා බණ්ඩාර සර් තමයි දෙන්නෙ. ඊළඟ සතියෙ මාතෘකාව මේ සතියෙ දෙනවා. කරුණු හොයා ගන්න ඕනනෙ. හොස්ටල් එකේ සී ඩෝමිට්රිය බාරව ඉන්නෙ කොස්තා සර්. මං ඉතින් එයාව තමයි මේ වැඩේට අල්ලගන්නෙ. බදාදා විතර ඉඳලා කරදර කළාම කොස්තා සර් මට හොඳ හොඳ කරුණු එකතු කරලා දෙනවා. සිකුරාදා මං ඉස්කෝලෙ යන්නෙ හොඳ ෆෝම් එකේ.

අට ඒ, බී, ඩී, ඊ පන්ති කෝක ආවත් හැමදාම වැඩිම ලකුණු ගත්තෙ මම. කොස්තා සර් කියලා දුන්න කරුණු හොඳට ගොනු කරලා හොස්ටල් එකේදිම හවසට කතාව තනියම ප්‍රැක්ටිස් කරලා තමයි මං යන්නෙ. හැමදාම අට ‘සී’ තමයි දිනුවෙ. ඒකට නම් තෑගිත් දුන්නා. දිනන කණ්ඩායමට දුන්නෙ ‘ටොෆි’ පාර්සලයක්. මං හිතන්නෙ ටොෆි සීයක විතර එකක්. ඒක එවෙලෙම බෙදනවා ඔක්කෝටම. පැරදුණු අයටත් දෙනවා. මට හැමදාම වැඩිපුර හම්බ වුණා. ටොෆි හතක් අටක් විතර. මං ඉතින් ඒකෙන් බාගයක් ගෙනත් දෙනවා කොස්තා සර්ට. එයාගෙ පිහිටෙන්නෙ මං ලකුණු ගන්නෙ. ඒ වගේ ම හොඳ ම කථිකයා වෙන්නෙ.

බණ්ඩාර සර් - කොස්තා සර් දෙන්නම ස්කවුටින් කාරයො. ඉස්කෝලෙ ස්කවුටින්වල පුරෝගාමියෝ. හොස්ටල් එකේ අපේ කාලෙ ස්කවුටින් පටන් ගත්තෙ කොස්තා සර්. එයා හොස්ටල් ස්කවුට්ස්ලාව ඒ කාලෙ ‘එයා සිලෝන්’ ප්ලේන් එකේ යාපනේ ටුවර් එකකුත් එක්කර ගෙන ගියා. හොස්ටල් ස්කවුට්ස්ලට ඇඳුම් මහන්න රෙදි ගන්න කොළඹ ඇවිල්ලා කොටුවෙ කාර්ගිල්ස් එක ළඟ ඉඳන් පිටකොටුවට යන්න ගියාම තුන් සැරයක් ම කාර්ගිල්ස් එක ආයෙ ආයෙත් හම්බ වුණා කියලා කොස්තා සර් එක්ක එදා කොළඹආපු දැන් කැනඩාවෙ ඉන්න අනිල් ඇල්ලෙපොළ තමයි කියන්නෙ. අන්තිමට පොලිස් රාලහාමි කෙනෙක් පිහිට වෙලා, හරි පාර දෙන්නට පෙන්නලා දුන්නට පස්සෙ තමයි යන්තම් පිටකොටුවට ඇවිත් තියෙන්නෙ.

කොස්තා සර්ව මං ඉස්සෙල්ලාම දැක්කෙ තාත්තා මාව ධර්මරාජෙට දාන්න ප්‍රින්සිපල් ළඟට එක්කගෙන ආපු පළවෙනි දවසෙමයි. සමරජීව සර් ඔෆිස් එකේදි ඇහුවා පුතාට කවි කියන්න පුළුවන්ද කියලා. මං වීරයා වගේ ඇහුවා ‘හිටිවන කවියක්’ කියන්නද කියලා. එච්චර දේවල් පුළුවන්ද කියලා එහෙනම් කියන්න බලන්න කිවුවා. මං පුළුවන් තරම් හයියෙන් කිවුවෙ මේ කවිය.

ජාතිය රටේ වැඩ මතු මා සතු වෙනවා
සාමය සතුට සම්පත රටටම දෙනවා
නාමය අමර කොට නායකයෙකු වෙනවා
මේ පොඩි පුතා මුවහස මල් පොපියනවා

දෙවෙනි පදේ කියන කොටම සමරජීව සර්ගෙ ඔෆිස් එකේ පිටිපස්සේ දොරෙන් එබුණේ කොස්තා සර්. එයා එතකොට ඔෆිස් එකේ වැඩ කෙරුවෙ. ඕක ‘මේ දැන් හදලද’ ඔය කිවුවෙ කියලා සමරජීව සර් ඇහුවාම මං කිවුවෙ ‘නෑ කලින් හදල තිබුණෙ’ කියලා. තාත්තා ‘හිටිවන කවි’ කියලා නිතර නිතර කියනවා ඇහුණට මං ඕකෙ තේරුමක් දැනගෙන හිටියෙ නෑ. මායි මල්ලියි නංගියි තුන් දෙනාගෙ පින්තූරෙකුත් එක්ක අපි ගැන ලියලා ‘සිංහල බෞද්ධයා’ පත්තරේ පළ වුණ තාත්තාගෙ කවි පන්තියකින් එකක් තමයි ඕක.

එදා දැකපු කොස්තා සර් තමයි අටේ පන්තියෙදි විවාදවලට හොස්ටල් එකේ ඉඳන් මට කරුණු හොයලා දුන්නෙ. ඒලෙවල් කරන කොට නම් මං සයන්ස් කාරයා වුණ හින්දා විවාද කණ්ඩායම්වලට ගියේ නෑ. මං ඕලෙවල් කාලෙ ඉස්කෝලෙ විවාද කණ්ඩායමේ හිටිය දැන් වෛද්‍යවරයෙක් වන තිස්ස වරකාගොඩ නියම හොස්ටල් චරිතයක්. එයාලගෙ කාලෙ ඉස්කෝල අතරෙ විවාදෙට රෝයල් එකෙන් ආපු දවසෙ ලයිබ්‍රරි එකේ ඒක අහන්න මාත් වාඩි වෙලා හිටියා. අද ලංකාවෙ ඉන්න වටිනාකමෙන් වැඩිම නිවේදක තුමා හෙවත් සමන් අතාවුදහෙට්ටිත් රෝයල් කණ්ඩායමෙන් ඇවිත් හිටියා. එදා මාතෘකාව මට දැන් මතක නැති වුණාට යෝජිත පිලට හිටියෙ අපි. ප්‍රතියෝජක පිලේ සමන්ලාගෙ තර්කවලට උත්තරයක් විදියට තිස්ස වරකාගොඩ එයාගෙ වාරෙදි මොකද්ද පොතක් ඇදලා අරන් ඒකෙ පිටුවක් පෙරළලා, පොත මුළු සභාවටම පේන්න උස්සගෙන “මේ පොතේ දෙසිය හතළිස් අටවැනි පිටුවේ දක්වලා තියෙනවා මේ පිළිබඳව ඇරිස්ටෝටල්ගේ මතය. ඒ අනුව....” කිය කියා මහ හයියෙන් සභාව හෙල්ලෙන්න කතා කරන කොට මං හොඳට බැලුවේ ඒ උස්සගෙන හිටිය පොත දිහා. ඇත්තටම ඒක පිටු විස්සක විතර පුංචි පොතක්!!!

හොස්ටල් එකේ ‘ආදි නේවාසික ශිෂ්‍ය සංගමයේ’ ආරම්භක සභාපති හැටියට තිස්ස වරකාගොඩ අවුරුදු හතළිහකට පස්සෙත් අපි එක්ක හොස්ටල් වැඩවල ඉන්නවා වගේම ඒ කාලෙ රෝයල් එකෙන් විවාදෙට ආපු සමන් අතාවුදහෙට්ටිත් මගේ ඇසුරේ අදටත් ඉන්න එක සන්තෝෂයට කාරණයක්. ඔක්කොටමත් වඩා ගිය මාසෙ මට ටෙලිෆෝන් කරපු බණ්ඩාර සර් වගේම, දැනුත් නිතර කතා කරන, මං හම්බ වෙන්න කොළඹ එන කොස්තා සර් හින්දා, හොස්ටල් භූමියේම - ඒ ගොඩනැඟිලි ඇතුළෙම නොවුණත්, අදත් හොස්ටල් එකේ ඉන්නවා වාගේම හැඟීමක් තමයි හිතට දැනෙන්නෙ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්