එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»

ගීතාට හිතවත්වූ අලුත් ඇමැතිතුමා‍ෙගන් වරකා සමග කිරි පැණි සංග්‍රහයක්

ගීතාට හිතවත්වූ අලුත් ඇමැතිතුමා‍ෙගන් වරකා සමග කිරි පැණි සංග්‍රහයක්

ප්‍රසන්නගේ රැස්වීමට නයෙක් දමලා

නාමල් රැස්වීම් 150ක් අමතයි

විමල් - හකීම් කැබිනට් එකේ වාද කරයි

"හිට්ලර් බිරිය" ජිනීවා යයි

ගිය සතියේ දී ජනාධිපතිතුමා ගාල්ල දිසාවේ උත්සව රැසකටම සහභාගී වී සිටියේය. ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාල‍යේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා එක්ව සිටි‍යේය. පසුගිය කාලයේ මේ විද්‍යාලයේ ශිෂ්‍යයකු වු සමින්ද රුක්ෂාන් ගුරුසිංහ විසින් දෙමුහුන් මෝටර් රථයක් නිෂ්පාදනය කොට තිබිණි. එම අවස්ථාවේ එම ශිෂ්‍යයාද ‍එම දෙමුහුන් මෝටර් රථය සමඟින් විද්‍යාල භූමියේ සිටියේය.

ජනාධිපතිතුමා එම ශිෂ්‍යයාගේ නිර්මාණය පිළිබදව ඔහුගෙන් තොරතුරු විමසීමටද අමතක නොකළේය. ඒ අවස්ථාවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන , නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සහ බෙන්තර ඇල්පිටිය ශ්‍රී.ල.නි.ප සංවිධායිකා ගීතා කුමාරසිංහ ද එක්ව සිටි‍යේය.

එදින ජනාධිපතිතුමා ඇතුළු පිරිස වෙනුවෙන් දිවා ආහාරය පිළියෙළ කොට තිබුණේ ඇමැති ගුණරත්න වීරකෝන්ගේ නිවෙසේය. බෙන්තර ඇල්පිටිය ශ්‍රී.ල.නි.ප සංවිධායිකා ගීතා කුමාරසිංහ සහ ඇමැති ගුණරත්න වීරකෝන් අතර කිසියම් හිත් නොහොඳක් තිබෙන බව කවුරුත් දන්නා කාරණයකි. ඒ බව ජනාධිපතිතුමා ද හොඳින්ම දනී.

ජනාධිපතිතුමා ඇමැති ගුණරත්නගේ නිවෙසේ සුදානම් කොට ඇති දිවා අහාරය ගැනීම සඳහා යාමට පෙර හැරුණේ ගීතා කුමාරසිංහ සංවිධායකවරිය දෙසටය. " ගීතා දැන් ඔයත් කෑමට එන්ඩ ඕනේ තේරුණාද?" ජනාධිපතිතුමා ගීතා කුමාරසිංහට කීවේ සිනහ වෙමිනි. ඒ සමඟම ඒ ආසන්නයේ සිටි ඇමැති ගුණරත්න වීරකෝන් කියා සිටි‍යේ " ගීතා මං ඔයාට විවෘත ආරාධනාවක් කරනවා " කියාය.

ගීතා කුමාරසිංහ සංවිධායකවරිය ද පෙර පැවැති නොහොඳ නෝක්කාඩු අමතක කර දමා ඇමැති ගුණරත්න වීරකෝන්ගේ නිවෙසට ගියේය. ඉන්පසුව ජනාධිපතිතුමා , ඇමැති ගුණරත්න වීරකෝන් , නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සහ ආසන සංවිධායිකා ගීතා කුමාරසිංහ දිවා ආහාරය ගත්තේ එකටමය. " ඔයාලා ප්‍රශ්න ඇති කර ගන්ඩ එපා. දැන් දෙන්නම හොඳ යාළුවෝ වගේ ඉන්ඩ" ජනාධිපතිතුමා ගීතා කුමාරසිංහට සහ ඇමැති ගුණරත්න වීරකෝන්ට කීවේය.

මේ අතරතුර ඇමැති ගුණරත්න වීරකෝන්ගේ බිරිය සහ ගුණරත්න වීරකෝන් ඇමැතිවරයාගේ ප්‍රත්‍රයා විසින් ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමාරසිංහ පිළිගත්තේ ඉතා උණුසුම් ලෙසටය. මේ අතරතුර ගුණරත්න වීරකෝන් ඇමැතිවරයාගේ හිතවතුන්ට මෙන්ම ගීතා කුමාරසිංහ සංවිධායකවරියගේ හිතවතුන්ට ගීතා සහ ඇමැති ගුණරත්න කිරි පැණි මෙන් එක්ව කතාබහ කරමින් සිටිම අදහාගත නොහැකි පුදුමයක් බවට පත්ව තිබිණි. මේ නිසා එහි සිටි සියලු දෙනාගේම මාතෘකාව බවට පත්ව තිබුණේ ගීතා කුමාරසිංහ සහ ඇමැති ගුණරත්න විරකෝන් ගැනය.

දිවා අහාරයට පසුව අතුරු පස ලෙස පලතුරු වර්ග සහ කිරි පැණි ඇතුළු රසමසවුළු කීපයක්ම ඇමැති ගුණරත්න වීරකෝන් බිරිය සුදානම් කොට තිබිණි. මේ අතරතුර ඇමැති ගුණරත්න වීරකෝන් බිරිය ගීතා කුමාරසිංහ සංවිධායකවරියට වැඩි සැලකිල්ලක් දක්වනු කවුරුත් දක්නා ලදී.

මුලින්ම වීරකෝන් ඇමැති බිරිය ගීතා කුමාරසිංහ සංවිධායකවරියට වරකා පිඟානක් ගෙනවිත් දුන්නාය. වරකාවලින් හැමු සුවඳ සුවඳවිලවුන් සුවද පරාද කරවන සුලු වීය. ඉන් අනතුරුව වීරකෝන් ඇමැති බිරිය කිරි සහ පැණි ගීතා කුමාරසිංහ සංවිධායකවරියට පිරිනැමුයේ ඉතා ළෙන්ගතුකමෙනි. " ඔබතුමිය වරකා කාලා විතරක් මදි. අපේ ගෙදර ආපු එකේ මේ කිරි පැණිත් අනිවාර්යයෙන්ම කන්ඩ ඕනේ." වීරකෝන් ඇමැති බිරිය කියා සිටියාය.

" මං ඇත්තටම ඔබතුමියට කැමැතියි. එකක් තමයි ඔබතුමිය කාන්තාවක් නිසා. ඔබතුමිය ඒ නිසා ඉදිරියටම යන්ඩ ඕනේ" ගුණරත්න වීරකෝන් ඇමැති බිරිය කියා සිටියාය.

දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ මැති ඇමැතිවරු සුහද කතා බහක නිරතව සිටියහ. මේ අතරතුරු බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමාරසිංහ කීවේ " සර් ඉඳුරුවේ ජලය ගැන ප්‍රශ්නයට විසඳුමක් දැන් ලැබිලා තියෙනවා. ඊයේ ඒ ජල ව්‍යාපෘතියේ වැඩ පටන් ගත්තා. අපේ නියෝජ්‍ය කථානායකතුමාත් ලකුණක් දාගන්ඩ එතැනට ඇවිත් තිබුණා. "

ඒ සමඟම නියෝජ්‍ය කථානායක චන්දිම වීර‍ක්කොඩිද තම හඬ අවදි කළේය. " සර් ඉඳුරුවට ජලය දෙන වැඩසටහන ගැන මං ඇමැතිතුමා එක්ක කතා කළා. ඒ ව‍ගේම ඒකට මුදල් වෙන් කරලා කොන්ත්‍රාත් එක දෙන තැන දක්වාම මං මේ ප්‍රශ්නය ගැන සොයා බැලුවා. මං මේ ජල යෝජනා ක්‍රමය ඇති කරන්ඩ බොහෝ දේවල්වලට මැදිහත් වුණා. ඒ නිසායි මාත් එතැනට ගියේ එහෙම නැතුව ලකුණු දාගන්ඩ නෙමෙයි. මං මුලිකත්වය අරගෙන වැඩ කළා. එච්චරයි." නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි කියා සිටියේය.

" හරි හරි. මේකයි ඉතින් වැඩක් කරලා දෙන්නම ලකුණක් දා ගත්තාට කමක් නෑ" ජනාධිපතිතුමා කීවේ එතැන සිටි මැති ඇමැතිවරු සියලුදෙනාම සිනහ ගන්වමිනි.

කැබිනට් මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. එහිදී මුලින්ම අවධානයට යොමු වූයේ අ. පො. ස. (සා. පෙ.) ඉංග්‍රීසි භාෂා ශ්‍රවණ හා කථන පරීක්‍ෂණ පැවැත්වීමට අවසර ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව පිළිබඳවය.

‘‘ජනාධිපතිතුමනි, දැනටමත් සිසුන් අ. පො. ස. (සා. පෙ.) ඉංග්‍රීසි භාෂා විෂය සමත් වන්නේ අසීරුවෙන්. දැන් මේ ආකාරයට කොන්දේසි ආවට පස්සේ සිසුන් තවදුරටත් දුෂ්කරතාවට පත් වෙනවා නේද? ඒ නිසා අපි මුලින්ම ඉංග්‍රීසි ගුරු හිඟය, වෙනත් භෞතික සම්පත් ආදිය සපුරා දීමයි කළ යුතුව ඇත්තේ.’’ විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

‘‘මේ වන විට පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ කටයුතු සිදු කළ හැකි තත්ත්වයට දියුණුවක් ලබා තිබෙනවා’’ බන්දුල ගුණවර්ධන විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේය.

‘‘එසේ පාසල් පද්ධතිය තුළ දියුණුවක් ඇති කිරීම හොඳයි. නමුත් අපි මේ කරන දෙය හරි පිළිවෙළකට සිදු කරන්න ඕනෙ’’ ජනාධිපතිතුමන් එසේ පැවසුවේය. ‘‘මේ ශ්‍රවණ හා කථන පරීක්‍ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ 2018වසරේ සිටයි.’’ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

‘‘2017 වර්ෂයේදී අපි සමාලෝචනයක් සිදු කරලා ඒ පිළිබඳව අවසන් තීරණයකට එමු’’ ජනාධිපතිතුමන් එහිදී පැවසුවේය. ඉන් අනතුරුව සාකච්ඡාවට බඳුන් වූයේ පළිබෝධනාශක හා රසායනික පොහොර භාවිතය පිළිබඳව සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳවය.

‘‘මේ නිර්දේශවල අඩුපාඩු තිබෙනවා. ඒවා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට සතියක කාලයක් ලබා දෙන්න’’ විමල් වීරවංශ අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

‘‘වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට හේතු වී ඇති ග්ලයිෆෝසේට් වල් නාශකය තහනම් කරනවා කීවාට එය තවමත් සිදුව නැහැ’’ චම්පික රණවක ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ‘‘ඒ පිළිබඳ එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා නේද?’’ ජනාධිපතිතුමා ඇමැති චම්පිකගෙන් විමසා සිටියේය.

‘‘ඒත් තේ වතු හිමියන් මේ වල්නාශකය ඉල්ලා සිටිනවා. එය නොයෙදුවහොත් අස්වැන්නට බලපෑමක් ඇති විය හැකි බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අදහස’’ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන කැබිනට් මණ්ඩලයට කියා සිටියේය.

‘‘අපි අනාදිමත් කාලයක ඉදලා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරවයි වගා කටයුතු සිදු කළේ. වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට හේතුවන නිසායි මේ වල්නාශකය තහනම් කළේ. ඒ නිසා තේවලටත් එය යෙදිය යුතු නැහැ’’ විමල් වීරවංශ ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

‘‘දැන් මේ වල්නාශකය තේ වලට විතරක් සීමා කරන්නද හදන්නේ?’’ චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේය.

‘‘වීවලට පමණක් මේ වල්නාශකය තහනම් කළොත් එතැන ‘බ්ලැක් මාකට්’ එකක් හැදේවි නේද?’’ මහින්ද යාපා අබේවර්ධන ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ‘‘මෙතැනදී අපි ජනතාවට අසාධාරණයක් නොවන විදියට තීන්දුවක් ගත යුතුයි’’ ජනාධිපතිතුමන් සඳහන් කළේය.

මෙදින කැබිනට් මණ්ඩලයේ දී නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ දී සිදුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කෙරිණි. ‘‘නීති අධ්‍යාපන සභාව සමඟ මම සාකච්ඡා කළා. මෙවර බඳවා ගැනීමට තීරණය කර ඇති ශිෂ්‍ය සංඛ්‍යාවේ වෙනසක් කරන්න බැහැ කියා තමයි ඔවුන් පවසන්නේ’’ අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් පෙන්වා දුන්නේය.

‘‘මෙතැනදී මෙවර නීති ප්‍රවේශයට පෙනී සිටි සිසුනට අසාධාරණයක් සිදු වෙනවා නේද?’’ විමල් වීරවංශ ඇමැතිවරයා තමන්ට යාබද අසුනේ සිටි රාවුෆ් හකීම් අමාත්‍යවරයා දෙසද බලමින් ප්‍රශ්න කර සිටියේය.

‘‘මෙවැනි ගැටලු මීට ඉහතදීත් නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේදී සිදුව ඇති බව නීති අධ්‍යාපන සභාව මට පෙන්වා දුන්නා. ඔවුන් වෙනසක් කරන්න සූදානම් නැහැ.’’ රාවුෆ් හකීම් ඇමැතිවරයා යළිත් කියා සිටියේය.

‘‘ජනාධිපතිතුමනි, අපට මේ නීති ප්‍රවේශ සිසුන්ගේ ඉල්ලීම ඉටු කරන්න බැරි ඇයි?’’ ඩිලාන් පෙරේරා ඇමතිවරයා ජනාධිපතිතුමාගෙන් විමසා සිටියේය.

‘‘මේ සිසුන් අද සිටින්නේ කලකිරීමට පත් වෙලා. ඔවුනට යම් පමණක හෝ සාධාරණයක් ඉටුකර දෙන්න බැරිද?’’ විමල් වීරවංශ ඇමැතිවරයා යළිත් අදහස් දක්වමින් විමසුවේය.

‘‘මට නීති අධ්‍යාපන සභාවට බල කරන්න බැහැනේ’’ රාවුෆ් හකීම් අමාත්‍යවරයා ඊට පිළිතුරු ලබා දුන්නේය. ‘‘ඒවා කොහොමත් ස්වාධීන ආයතනනේ’’ ජනාධිපතිතුමා කීවේය.

‘‘අදාළ පනතින් අමාත්‍යවරයාට ඒ පිළිබඳව කටයුතු කරන්න බලය ලබා දී තිබෙනවා’’ විමල් වීරවංශ ඇමැතිවරයා ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයට කියා සිටියේය.

‘‘පනතේ එසේ සඳහන්ව තිබුණාට ඒක කරන්න බැහැ’’ රාවුෆ් හකීම් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ‘‘ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ප්‍රශ්න පත්‍රය සිංහල භාෂා පරිවර්තනයත් සමඟ ලබා දෙන ලෙස ළමයින්ගේ ඉල්ලීමක් තිබෙනවා’’ ජනාධිපතිතුමා කියා සිටියේය.

‘‘ප්‍රශ්න පත්‍රය සිංහලට පරිවර්තනය කරන්ඩ ලබා දුන්නොත් ප්‍රශ්න පිට විය හැකියි. එහෙම කරන්ඩ බැහැ’’ අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් ඊට අකැමැත්ත පළ කළේය.

‘‘සිංහල පරිවර්තනයට ලබාදීමේ දී පමණක් නොවෙයි. ප්‍රශ්න පත්‍රය ආරක්‍ෂා කර නොගත්තොත් ඕනෑම අවස්ථාවක එය පිට විය හැකියි. විභාග අපේක්‍ෂකයකුට තමන් අභිමත භාෂාවකින් පරිවර්තනයක් ලබා ගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී තිබෙනවා. දැන් මේ විදියට සිසුන්ගේ ඒ අයිතිය උදුරා ගත්තොත් ඔවුන්ගේ මානව හිමිකම් කැඩේවි. ඒ නිසා ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යයි ද දන්නේ නැහැ.’’ විමල් වීරවංශ ඇමැතිවරයා එසේ පවසන විට කැබිනට් මණ්ඩලයට සිනා සයුරක ගිලී ගිය අතර රාවුෆ් හකීම් ඇමැතිවරයා පමණක් දෑස් බිමට යොමා ගෙන සිටියේය.

ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මෙවර කැබිනට් මණ්ඩලයේ දී හිටපු කොටි නායක එලිලන්ගේ බිරිය වන උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිදරන්ගේ ක්‍රියා කලාපය දැඩි සේ විවේචනය කළේය.

‘‘හිට්ලර්ගේ නෝනා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා මානව හිමිකම් ගැන කතා කරනවා වගේ තමයි මේ දරුණු කොටි නායකයාගේ බිරිය ජිනීවා ගිහින් මානව හිමිකම් ගැන කතා කිරීම. ඒක හරිම විහිළුවක්.’’ ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා පෙන්වා දුන්නේය.

‘‘යුද්ධයෙන් පසුවත් තමන්ගේ මානව හිමිකම් කඩවන බව ලෝකයට පෙන්වන්නයි ඔවුන්ට අද අවශ්‍යව ඇත්තේ’’ විමල් වීරවංශ අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

‘‘ඔවුන්ට අවශ්‍ය සංහිඳියාව නැහැ කියලා ලෝකයට පෙන්වන්න. දිගින් දිගටම ආණ්ඩුවට අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔවුන් කරන්නේ බෙදුම්වාදයට පාර කපා ගැනීමයි’’ ජනාධිපතිතුමන් කැබිනට් මණ්ඩලයට කීවේය.

‘‘ජිනීවා හරහා මේ යන ගමනේ අවසානය උතුරු නැ‍‍‍ඟෙනහිරට අන්තර්වාර පාලනයක් ලබා ගන්න එකයි’’ විමල් වීරවංශ ඇමැතිවරයා තවදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

‘‘ඔව් ඔවුන්ට ක්‍රියාත්මක වන්නේ එවැනි සැලැස්මක් ඇතිව තමයි’’ ජනාධිපතිතුමන් එම අදහස් අනුමත කරමින් කැබිනට් මණ්ඩලයට කියා සිටියේය.

වසර එකොලහක් පුරා එ.ජ.නි.ස කොළඹ දිසා අපේක්ෂක උදය ගම්මන්පිල ජාතික පුවත්පතකට ලියූ “ප්‍රදීපය“ ලිපි පෙල පොතක් ලෙස නිකුත් කිරීම පසුගිය බදාදා පදනම් ආයතනයේ දී සිදුවීය. මහචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි මුලසුන හෙබ වූ උත්සවයට රත්නසිරි වික්‍රමනායක, බැසිල් රාජපක්ෂ, ඒ එච් එම් ෆව්සි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, චම්පික රණවක, මොහාන්ලාල් ග්‍රෙරෝ ආදි මැති ඇමතිවරු විශාල පිරිසක් පැමිණ සිටියහ.

එහි දී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා කීවේ " 2005 ජනපතිවරණයේ දී අපි මුහුණ දුන්නු ලොකුම අභියෝගය තමයි එකිනෙකාට විරුද්ධ ජවිපෙ සහ හෙළ උරුමය එ.ජ.නි.ස යට ගොනු කර ගන්නේ කොහොමද කියලා. 2004 දී ඒක කර ගන්න බැරි වුණු නිසා එ.ජ.නි.ස මහා මැතිවරණයෙන් දිනුවත් කතානායකවත් පත් කර ගන්න බැරි වුණා. ගම්මන්පිලගේ උපාය ඥානය නිසා තමයි මේ පක්ෂ දෙකම සංධානයට ගොනු කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනපති කරන්න අපට පුළුවන් වුණේ." ඇමැති බැසිල් කිවේය.

එපමණක් නොව ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එහිදී තවත් රහසක් හෙලි කලේය. "හෙළ උරුමයේ මතයට විරුද්ධ මත දරණ පක්ෂ විශාල ගණනක් එ.ජ.නි.ස යේ හිටියත් ගම්මන්පිලට කොළඹ නායකත්වය දෙන යෝජනාවට කිසිම පක්ෂයක් විරුද්ධ වුණේ නෑ" මහින්ද චින්තනය සැකසීමටත් නිල මාධ්‍ය ප්‍රකාශකයින් තිදෙනාගෙන් කෙනෙකු ලෙසත් ජනපතිවරණ දෙකේ ජයග්‍රහණයට ගම්මන්පිල කළ කාර්යභාරය ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විස්තර කරමින් කීවේ “මහ ඇමතිකම ගැන කියන්න ගිහින් මට කට වැරදුණා. ඒ නිසා මම ඒ ගැන මෙතැන කතා කරන්නේ නෑ." කියාය.

නමුත් ගම්මන්පිලට බස්නාහිර පළාතේ කළ හැකි ඉහළම සේවය ලැබේවා ඇමැති බැසිල් රාජපක්ෂ ප්‍රාර්ථනා කළේය. “අපි කොළඹ නායකත්වය ගම්මන්පිලට ලබා දීමට ගත් තීරණය නිවැරදි බව 29 දාට කොළඹ ජනතාව ඔප්පු කරන බවට විශ්වාසයක් තියෙනවා. " ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

මෙහිදී හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක කීවේ "අද දේශපාලනයේ මහත්වරුන්ට වඩා ඉන්නේ මහත්හොරුන්. ඒ නිසා ගම්මන්පිල වැනි මහත්වරුන් රැක ගැනීම ජනතාවගේ යුතුකමක් වෙනවා" හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක කීවේය.

මෙවර දකුණු සහ බස්නාහිර පළාත් මැතිවරණයේ වැඩි වශයෙන්ම කාර්ය බහුල වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. ඊට හේතුව වුයේ දකුණු සහ බස්නාහිර පළාත් දෙකෙන්ම සෑම දේශපාලනඥයකුම තම බල ප්‍රදේශයන්හි රැස්වීම් සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගෙන්වා ගැනීමට උත්සාහ කිරීමය. මේ නිසා නාමල් මන්ත්‍රීවරයාට රැස්වීම් සඳහා ආරාධනා බොහොමයක් වීය.

මේ රැස්වීම්වලදී ජනතාව පොරකමින් ඉතා ඕනෑ කමින් නාමල් මන්ත්‍රීවරයාගේ කථා අසාගෙන සිටින ආකාරය ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන්ගේ පවා කථා බහට ලක් වීය. මේ නිසා කොළඹ , කළුතර , ගම්පහ , ගාල්ල , මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන රැස්වීම්වල එ.ජ.නි.ස යේ ප්‍රබල කථිකයෙකු බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පත්ව සිටියේය.

පසුගිය කාලයේ ඉඳුරුවේ ජනතාව උද්ඝෝෂණය කරමින් කියා සිටියේ තමන්ට බීමට ජලය පොදක් ලබා දීමට මැදිහත් වෙන ලෙසටය. එම උද්ඝෝෂණය පැවැති ස්ථානයට ගියේ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩිය.

ඔහු එහි දී කියා සිටියේ දකුණු පළාත් සභා මැතිවරණයට පෙර ඉඳුරුවට ජලය ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සැකසීමට තමා මැදිහත් වෙන බවය. ඒ පොරොන්දුව ඉටු කරමින් ගිය සතියේ සඳුදා දිනයේ ඉඳුරුව ජල යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු සුබ මොහොතින් ආරම්භ විය. ඒ ජලසම්පාදන හා ජලාප්‍රවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන , නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සහ‍ ජ්‍යෙෂ්ඨ ඇමැති සරත් අමුණුගම අතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

එම අවස්ථාවේ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩිට උණුසුම් පිළිගැනිමක් ලැබිණි. ජල යෝජනා ක්‍රමයේ සමරු ඵලකය නිරාවරණය වුයේ ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ සුරතිනි. කෙසේ වෙතත් සමරු ඵලකයේ ජ්‍යෙෂ්ඨ ඇමැති සරත් අමුණුගමගේ සහ ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ නම සඳහන් වී තිබුණද නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩිගේ නම සඳහන් වී නොතිබිණි. ඒ ගැන ජනතාව විමසා සිටියේ නියොජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩිගෙනි.

" ඔයාලා ඒ ගැන කලබල වෙන්ඩ එපා. ජනතාවට කළ වැඩ ගැන සටහන් වෙන්නේ සමරු ඵලකවල නෙමෙයි. මිනිස්සුන්ගේ හදවත්වල. ඒ නිසා මගේ නම බෝඩ්වල නොතිබුණාට ඉඳුරුවේ ජනතාවට ජලය දෙන්ඩ මං මැදිහත් වුණා කියලා ජනතාවගේ හදවත්වල තැන්පත් වෙලා තියේවි. ඒ ගැන ඔයාලා කනගාටු වෙන්ඩ එපා. " නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි කියා සිටියේය.

ගිය සතියේ දී බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංගට සහයෝගය දැක්වීම පිණිස කැලණිය ටයර් හංදියේදී රැස්වීමක් සංවිධානය කොට තිබිණි. ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රැස්වීම ඇමැතුවේ ඉතාම පරිස්සමෙනි.

" මං කට ඉස්සර කරගෙන අමාරුවේ වැටිලා ඉන්නේ. ඒ නිසා ආයෙත් නම් කට ඉස්සර කර ගන්නේ නෑ. " ඇමැති බැසිල් අවස්ථා කීපයකදීම කීවේය.

එදිනම හවස් වරුවේ ගම්පහ අස්ගිරිය වයි හංදියේ දී තවත් ජන හමුවක් සංවිධානය කොට තිබිණි. ඒ සංගීත ප්‍රසංගයක්ද සමඟිනි. ඒ ප්‍රසන්න රණතුංගගේ ජයග්‍රහණය වෙනුවෙනි. මේ රැස්වීම සංවිධානය කොට තිබුණේ ගම්පහ අස්ගිරියේ අත්හැර දමා තිබු වෙලකය. සවස හයට පමණ ආරම්භ වු සංගීත සංදර්ශනය අතරතුර එක්වරම පොලීසිය විසින් රැස්ව සිටි පිරිස් වේදිකාව අසලින් ඉවත් කරන්නට කටයුතු කළේය. ඒ " නයකු " දුටු බවට ලැබුණු ආරංචියක් නිසාය. නයි කතාවත් සමඟම සංවිධායකවරු " නයා " සොයා මෙහෙයුමක් ආරම්භ කළහ.

මේ මොහොතේ සංවිධායකවරුන් අතර " නයා " ගැන අපුරු කතා ද පැතිර ගියේය.

" මේ නයා එවලා තියෙන්නේ ගම්මන්පිල" " නෑ නෑ මේකා ලාන්සා එවලා තියෙන්නේ. " මොන පිස්සුද මේකා උපාලි කොඩිකාර එවලා තියෙන්නේ" එවැනි කතා සංවිධායකයන් අතර කියවෙනු ඇසිණි.

ඒ වන විට ප්‍රසන්න රණතුංග වෙනුවෙන් ජනතාව ඇමැතීමට ඇමැති අනුර යාපා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේද පැමිණ සිටියහ. නයා නිසා ඇමැති යාපාට සහ මන්ත්‍රිනී සුදර්ශනීට ජනතාව ඇමැතීමට ටික වේලාවක් බලා සිටිමට සිදු විය.

මේ අතරතුර ගිය සතියේ සඳුදා දහවල් හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංගට දුරකථන ඇමැතුමක් ලැබිණි. ඉන් කියවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය එ.ජා.ප යට එක් වී ඇති බවය. එය කිසිසේත්ම විශ්වාස නොකළ ද ප්‍රසන්න වහාම මන්ත්‍රීනී සුදර්ශනීට දුරකථන ඇමැතුමක් දුන්නේය.

" අපෝ නෑ. මං ඊයේ යු.ඇන්.පී රැස්වීමක් ළඟින්වත් ගියේ නෑ. මං මේ දැනුත් 23 වෙනිදා ජනාධිපතිතුමා එන රැස්වීම සංවිධානය කරන ගමන්. " යැයි කීවාය. ඒ සමඟම සුදර්ශනී තවත් කතාවක් කීවාය. " හැබැයි මං ඊයේ ඇඳගෙන හිටියේ නිලුයි කොළපාටයි සාරියක්. ඒ නිසා කාට හරි හිතුණාද දන්නේ නෑ මං විපක්ෂයට ගිහින් කියලා‍. " මන්ත්‍රීනී සුදර්ශනී කීවේ සිනහ සෙමිනි.

ගිය සතියේ දි හිටපු මහ ඇමැති ප්‍රසන්නගේ නිවෙසට වයඹ , මධ්‍යම , සබරගමුව සහ උතුරු මැද පළාත් මහ ඇමැතිවරු පැමිණියහ. ඒ ප්‍රසන්නගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය ලබා දීමටය.

වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර ප්‍රසන්නගේ නිවෙසට පැමිණියේ " කෝ මගේ රෙකෝඩ් එක කඩන චණ්ඩියා " යැයි අසමිනි.

මේ අතරතුර නාමල් මන්ත්‍රීවරයා රැස්වීමට පැමිණි මහ ඇමැතිවරුන් පිරිස දුටුවේය. " ආ ප්‍රසන්න අයියා. අද බැටෑලියන් එකම බස්සලා තියෙන්නේ. " යැයි කීවේය. සියලු මහ ඇමැතිවරුන් සමඟ වේදිකාවට ගොඩ වු නාමල් මන්ත්‍රීවරයා හිටපු මහ ඇමැති ප්‍රසන්නගේ අත අල්ලාගෙන ජනතාවට අචාරය කළේය. " ඒක නෙමෙයි අයියා. ඔයා කොහොම හරි මහ ඇමැතිවරු ටික සීස් කලා ( ඉස්සුවා) නේද" කියා විමසා සිටියේය.

මේ රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් ප්‍රසන්න ගැන අපුරු නිර්වචනයක් කළේය.

" ප්‍රසන්න අයියා ඕන ගේමකට ඕට්ටුයි. ඇල් වතුරත් ‍නිවලායි බොන්නේ. උණු වතුරත් උණු කරලා බොනවා. ඕන වුණාම ඇල්වතුර සහ උණුවතුර කලවම් කරලාත් බොනවා. ඒත් මදි වගේ නම් දැන් රුවන් අයියාත් ඉන්නවානේ. කොහොමහරි සේරම ගොඩ දාගන්ඩ ප්‍රසන්න අයියා දක්ෂයානේ‍." නාමල් මන්ත්‍රීවරයා කීවේ සියලු දෙනාම සිනහ ගන්වමිනි.

නාමල් මන්ත්‍රීවරයා සිය කතාව අවසානයේ රැස්වීමෙන් පිටවී යාමට උත්සාහ කළ ද තරුණියෝ රැසක් පැමිණ නාමල් මන්ත්‍රීවරයාගේ අත්සන් ලබා ගැනීමට පොර කෑහ.

මේ අතරතුර ගිය 18 වෙනිදා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ විශාල ජනකායක් සහභාගී වු රැස්වීමක ප්‍රධාන කථිකයා ලෙස සහභාගී වී සිටියේය. ඒ සුසාර ඩිනාල් ගම්පහ එ.ජ.නි.ස අපේක්ෂකයාගේ ජය තහවුරු කෙරෙන රැස්වීමකටය. එහි විශේෂත්වය වුයේ එම රැස්වීම දකුණු සහ බස්නාහිර පළාත් මැතිවරණ ප්‍රකාශයට පත් කළ පසුව මන්ත්‍රී නාමල් අමතනු ලැබු 150 වෙනි රැස්වීම වීමය.

ගිය සෙනසුරාදා දිනය ජනාධිපතිතුමාගේ ගතවුයේ දකුණු පළාතේ සංවර්ධන සහ ප්‍රජා සුභසාධන ව්‍යාපෘති විවෘත කිරිමෙන් සහ නිරීක්ෂණය කිරීමෙනි. එදින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා කොටස විවෘත කිරිමටද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වීය.

පස්වරු 3.42 යෙදුණ සුභ මොහොතින් සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් මාර්ගය විවෘත කරනු ලැබීය. එය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා ගමන් ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැදවු මෝටර් රථයෙන් ගාල්ල සිට මාතර දක්වා ගමන් කළේය.

ගිය සතියේදී දෙමටගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයක් අලුතෙන් ඉදි කිරීම සඳහා මුල් ගල තැබීම සිදු වීය. ඒ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසාමිල් සහ මන්ත්‍රී තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

හංවැල්ල කළහකාරී පිරිසක් පාළනය කිරීමට යාම නිසා අනතුරකට ලක්වී මිය ගිය බොරැල්ල පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ අවසන් කටයුතු සිදු කෙරී තිබුණේ ඊට පෙර දිනයේය. එදින බොරැල්ල නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් සිය කඩ සාප්පු වසා දමා මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන මහතාට ගෞරවය දක්වා තිබිණි.

ඒ ගැන ආරක්ෂක ලේකම්තුමාටද දැනගන්නට ලැබී තිබිණි. මේ නිසා දෙමටගොඩ වෙළෙඳ සංකීර්ණයට මුල් ගල තබන අවස්ථාවේ ඒ ගැන ආරක්ෂක ලේකම්තුමා මන්ත්‍රී තිලංගට කියා තිබුණේ එළෙස කඩ සාප්පු වසා දමා මිය ගිය පොලිස් අධිකාරීවරයාට ගෞරව දැක්වීමට කටයුතු කිරීම වටිනා දෙයක් බවය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්