එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»

හොර ඡන්ද දමන්න බෑ ඡන්ද ජිල්මාට් නෑ ඔබේ ඡන්දය ලබාදීමයි වඩා වැදගත්

හොර ඡන්ද දමන්න බෑ ඡන්ද ජිල්මාට් නෑ ඔබේ ඡන්දය ලබාදීමයි වඩා වැදගත්

මැතිවරණ කොමසාරිස්

මහින්ද දේශප්‍රිය

ඡන්දය දීමෙන් ප්‍රයෝජනයක් නැතැයි යන මතයේ නොසිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට පැවැරෙන පරමාධිපත්‍යය ඡන්ද බලය අනුව සෑම කෙනෙකුම ඡන්ද‍ පොළට ගොස් ඡන්දය ලබාදීමට උනන්දු විය යුතු බවත් ඡන්දය යනු ඔබේ අයිතිය බව සිත තබා ගන්නා ලෙසත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.

කොමසාරිස්වරයා එසේ පැවසුවේ ලබන 29 වැනිදාට යෙදී තිබෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම පිළිබඳව අදහස් පළ කරමිනි. ඡන්දය දැම්මම කරදර වෙයි, ඡන්දය දුන්නේ කාටදැයි හොයා ගනීවි, ඡන්දය හොරකම් කරාවි, ඡන්ද ජිල්මාට් වැනි ප්‍රචාර, බොරු විකාර මිස ඒවායේ කිසිදු සත්‍යයක් නොමැති බව හෙතෙම පවසයි.

ඡන්දය පාවිච්චි කිරීමේදී රහස්‍ය භාවය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කර තිබෙන බවත් දේශප්‍රිය මහතා කීය. බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ‘සිළුමිණ’ ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරු මෙසේය.

ඡන්ද ප්‍රචාරක කටයුතු ලබන 26 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. ඡන්ද විමසනු ලබන 29 වැනිදා තෙක් 27 - 28 සහ 29 යන දින තුනේ ඡන්ද නීතිරීති බලාත්මක වන්නේ කොහොමද?

26 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දේශපාලන පක්ෂවල අවසන් රැස්වීම්වල තොරතුරු සහ වාර්තා 27 වැනිදා ප්‍රචාරයට අවසර තිබෙනවා.

මේවා හැර දේශපාලන පක්ෂවල හෝ අපේක්ෂකයන්ගේ ප්‍රචාරණ වෙළෙඳ දැන්වීම් දේශපාලන ලිපි වැඩසටහන් ආදිය විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් පළකිරීම නොකළ යුතුය.

මේ ඡන්ද විමසීම් දෙකේ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා අඩු ද වැඩි ද?

මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් වැඩි වී තිබෙන බවක් පෙනී යනවා. මීට හේතුව මාධ්‍යවේදීන් නිරීක්ෂක කණ්ඩායම්වල අය සහ මැතිවරණය ගැන උනන්දුවක් දක්වන අය හුඟදෙනෙක්ම ඉන්නේ බස්නාහිර නැතිනම් දකුණ යන පළාත්වල වීම නිසයි. මගේ අදහස අනුව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් වෙනත් සිද්ධීන් හා සාපේක්ෂව හුඟාක් අඩුයි.

ප්‍රචණ්ඩ ක්‍රියා පැත්තෙන් පීඩා කිරීම් වැනි සිදුවීම් සමඟ මේ වන විට එක් අයකු මරුමුවට පත්වී තිබෙනවා. එය මිනිමැරුමක්. අපි ඒ ගැන කනගාටු වෙනවා.

පෝස්ටර් හා කටවුට් නිසාද මේවා සිදුවෙන්නේ.

පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය ගැන අප කරුණු දිගින් දිගට ම කියා තිබෙනවා. ගැටුම් ඇතිවෙලා තිබෙන්නේත් බොහෝවිට මේවා නිසා.

මත්පැන්වල බලපෑම මේ මැතිවරණයේදී කොහොමද?

මට පෙනෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන ආවේගවලටත් වඩා මත්පැන් ඒ පිටුපසින් තිබීමයි.

පොලිතින් හා සැරසිලි නොකළත් කමක් නැහැ. මේවාටත් වඩා මත්පැන් වද්දා ගැනීමයි කොකළ යුත්තේ. ඡන්ද විමසීමකදී මත්පැන් මිතුරෙක් නොවෙයි හතුරෙක් ලෙස සලකන ලෙසයි මා ඉල්ලා සිටින්නේ.

විවිධ ත්‍යාග භාණ්ඩ බෙදා දීම සම්බන්ධ පුවත් මේ මැතිවරණ ව්‍යාපාරයේදී අසන්නට ලැබෙනවා.

මේ පිළිබඳව පැමිණිලි ලැබෙනවා. මේවා වීඩියෝගත කිරීම ඡායාරූප ගත කිරීම කතා පටිගත කිරීම ආදිය අපේ නිලධාරින් ලවා සිදුකර තිබෙනවා. රජයේ දේපළවලින් සංග්‍රහ කිරීමත් නීති විරෝධීයි. මෙවන් සිදුවීම් වළක්වන්නත් පියවර ගෙන තිබෙනවා.

රජයේ වාහන ඡන්ද ව්‍යාපාරයට පාවිච්චි කරනවා යැයි චෝදනාවක් එල්ල වෙනවා. මේ ගැන මොකද කියන්නෙ?

එහෙම පාවිච්චි කළ වාහනයක් අල්ලා ගත්තා. මෙවැනි වාහන ගැන පැමිණිලි ලැබුණ විට අපි ඒ ගැන දැනුම් දී තිබෙනවා. ඒවා ගෙනැවිත් බාර දී තිබෙනවා.

රජයේ නිලධාරින් දේශපාලන කටයුතුවල නිරතවීම ගැනත් චෝදනා තිබෙනවා නේද?

මේ කරුණ රටේ විශාල වශයෙන් ආන්දෝලනයට ලක්වෙන දෙයක්. මට එහෙම කටයුතු කරන රජයේ නිලධාරීන් ගැන පමණක් නොව ඕනෑම නිලධාරියෙක් උදාහරණයක් ලෙස නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරියෙක් වුවද ග්‍රාමසේවක හා තේරීම් භාර නිලධාර‍ියෙක් ගැන වුවද ක්‍රියා කරන්න පුළුවන්. මෙවැනි අය සම්බන්ධයෙන් මට කළ හැකි වන්නේ ඔවුන් බාර ප්‍රධානීන්ට දැනුම්දීමයි. ජනාධිපති ලේකම් විසින් ද මේ පිළිබඳ චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස්වරයා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා සමහරු කියනවා. තවත් සමහරු කියන්නේ ඔබ තද වැඩියි කියලයි.

ගඟට ඉණි කපනවා වගෙයි. කටින් බතල කොළ සිටවනවා වගෙයි. කතාව දෝලාවෙන් ගමන පයින් යනාදි කතා ගැන කියනවා ඇති. සමහරු එසේ කිව්වත් මැතිවරණ නීති රීති පිළිබඳව මම කරන සියලු දේ ප්‍රකාශ කරන්න බැහැ. සමහර දේ කිය කියා කරන්න බැහැ. අපි හුඟාක් දේවල් කරනවා. කරලා තියෙනවා.

මේ ඔක්කොම මැතිවරණ නීතිරීති අනුව මට වෙන කිසිම බලයක් ඉන් පිටස්තර නැහැ. මම හරියට පිරිසුදු ජලය වගෙයි. මේ තනතුරට පක්ෂයක් පාටක් නැහැ. රජයට පක්ෂව ක්‍රියා කරන්නේ නැහැ. මට දෙගොල්ලම බණිනවා.

සියලු ඡන්ද අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් විස්තර ‍ඔබ වෙත මේ වන විට ලැබී තිබෙනවාද. ඒවා ගැන තවම හෙළිදරව් කිරීමක් සිදු කළේ නැහැ නේද?

ඡන්දය අවස්ථාවකදී වත්කම් බැරකම් ප්‍රකාශ හෙළිදරව් කරන්න බැහැ. අපේක්ෂකයකුට ඡන්දය දිනය දක්වා අපේක්ෂකත්වය බලපානවා. එය අහෝසි වන්නේ ඡන්ද විමසීම් දිනයේදීයි. හැබැයි මම මේවා පෙබරවාරි 28 වැනිදාට කලින් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නා.

ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගෙන් එතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් හා බැරකම් ගැන කටයුතු කර තිබෙන්නේ කෙසේද හා නීතිපතිවරයාගේ උපදෙස් ද මේ සම්බන්ධයෙන් ගැනීමට ක්‍රියා කරනවා.

ප්‍රධාන පක්ෂ හැම එකක්ම පාහේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී තිබෙනවා.

මැතිවරණ නීතිරීති සංශෝධනයක් ගැන අවධානය යොමු කර තිබෙනවාද?

මැතිවරණ කොමසාරිස්වරයා ලෙස මැතිවරණ නීති රීති අනුව කටයුතු කරනවා මිස අලුතෙන් නීති හදන්න, පනවන්න සංශෝධනය කරන්න මට බැහැ. සමහරු මගෙන් ඉල්ලන්නෙ ඉන්දියාවේ මැතිවරණ කොමිසමටත් එහා ගිය බලතල ක්‍රියාත්මක කරන්න. මට ඒවා කරන්න බැහැ. කොටින්ම කිවහොත් ලංකාවේ මැතිවරණ කොමිෂන් එකටත් බැහැ.

මේවා ගැන කටයුතු කරන්න පුළුවන් මහජනතාව පෙන්වා දෙන කරුණු අනුව පාර්ලිමේන්තුවේ මැතිවරණ නීතිරීති සංශෝධනය හෝ අලුතෙන් පනවන නීතිරීති ඉදිරිපත් කොට සම්මත කිරීමෙන් පසුවයි. මේවා විවාදයට ඇවිත් ජනතා සංවාදයට ලක්විය යුතුයි.

නාම යෝජනා බාර දුන් දිනයේදී හා ඉන්පසු දින පෙළපාළි ඡන්ද නීතිරීති උල්ලංඝනය කළ අය වගේ ම ඉන්පසුවත් ඡන්ද නීතිරීති කඩ කරමින් කටයුතු කළ අය විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තද?

අනිවාර්යයෙන්ම මේ අයට විරුද්ධව නඩු පවරනවා. පොලිසිය නඩු පැවරුවේ නැත්නම් අපි හරි ක්‍රියාත්මක වෙනවා. සමහර පක්ෂ නායකයන් පැමිණි විට පෙළපාළි ගියා. මේ වැරැදි ක්‍රියා ගැන තොරතුරු සියල්ල අපි එකතු කරගෙන තිබෙනවා.

සෑම ඡන්දයකදීම දියුණු මට්ටමින් ඡන්දය පැවැත්වීමට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය හෙවත් E.V.M. යනුවෙන් හඳුන්වන ක්‍රමයක් ගැන කතා බහට ලක්වෙනවා. එය අපේ රටේ ක්‍රියාත්මක කරන්න බැරිද?

මේ ක්‍රමය හුඟාක් හොඳයි. ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක්. මගේ කාලයේදීම මේ දේ කර ගන්නත් අපේක්ෂාවක් තිබෙනවා. ඉන්දියාව මේ ක්‍රමය භාවිතය හඳුන්වා දුන්නේ විශාල වශයෙන් වන වියදම් අඩු කර ගන්න.

සියලුම තනතුරකට සුදුසුකමක් සලකනවා. නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ඇමැතිවරයකු පමණක් නොව ජනාධිපතිවරයකු බවට පත්වන තනතුරකට දක්වා ඡන්ද අපේක්ෂකයකුට කිසිම සුදුසුකමක් නැතිව ඉදිරිපත් වෙන්න පුළුවන්. මේකටත් සුදුසුකමක් දක්වන්න බැරිද?

මැතිවරණ කොමසාරිස් හැටියට ඒකට උත්තරයක් දෙන්න මට බැහැ. මතයක් ඉදිරිපත් කරන්න අදහසක් නැහැ. පරිණත බව, මානව හිතවාදී බව, දක්ෂතාව, අත්දැකීම ලැබූ අය දේශපාලනයේ ඉන්නවා. ආචාර්ය පට්ටම් දෙක තුන ද ‘ඕ’ ලෙවල් ද ඒ ලෙවල් ද නැතිනම් පහේ ශිෂ්‍යත්වය ද කියන එක සුදුසුකම කියන එක දක්වන්න මට බැහැ. මේක සංවාදයට ලක්වී සිදුවිය යුත්තක්. මට ඒ ගැන කිසිම දෙයක් කියන්න බැහැ.

භික්ෂුන් වහන්සේලා මේ මැතිවරණයට ඡන්ද අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී සිටිනවා. මේ නිසා පන්සලක විහාරස්ථානයක ඡන්ද කාර්යාල පවත්වන්න අවකාශ තිබෙනවාද?

කොහෙත්ම බැහැ. විහාරස්ථානයක, දේවස්ථානයක වැනි පූජනීය ස්ථානයක ඡන්ද කාර්යාල පවත්වන්න අවකාශයක් නැහැ. මේවා පොදු ස්ථානයි. කොටින්ම ඡන්ද මධ්‍යස්ථානයක් ලෙසටත් පන්සලක් පල්ලියක් කෝවිලක් ආදි කිසිම පූජනීය ස්ථානයක්වත් අපි තෝරා ගන්නේ නැහැ. කිසිම දේශපාලන කාර්යාලයක් පන්සලක පිහිටුවන්න බැහැ.

ඡන්දය පැවැත්වෙන දින එය සිදුවන ආකාරය පිළිබඳව පරීක්ෂණ කිරීමට විදේශ නිරීක්ෂකයන් මෙරටට පැමිණෙනවාද?

විදේශ නිරීක්ෂකයන් හෝ කණ්ඩායම් කවුරුවත් එන්නේ නැහැ.

දේශීය නිරීක්ෂක කණ්ඩායම් ඡන්ද නිරීක්ෂණ කටයුතුවලට සහභාගි වෙනවාද?

දේශීය නිරීක්ෂණ කණ්ඩායම් අටක් එම කටයුතු සඳහා සහභාගි වෙනවා. මේ නිරීක්ෂක කණ්ඩායම් අතර පැෆරල්, කැෆේ, මවුවරු සහ දියණියෝ, මැතිවරණ නිරීක්ෂණ ජාලය නෙට් ඇතුළුව නිරීක්ෂණ සංවිධාන තවත් කිහිපයක්ම සහභාගි වෙනවා.

දේශපාලන පක්ෂ හෝ ඡන්ද අපේක්ෂකයන්ගේ අත්හිටවූ සිර දඬුවම් හෝ නීතිමය දඬුවම් ගැන නාම යෝජනාවලදී හොයා බැලීමක් කරනවාද?

අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ දේශපාලන පක්ෂවලින් ස්වාධීන කණ්ඩායම්වලින්. සුදුසුකම් සොයා බලන්නේ පක්ෂයයි. ලේකම් අස්සන් කරලයි අපට නාම යෝජනා බාර දෙන්නේ.

ප්‍රචාරක කටයුතුවලදී සම අවස්ථාවන් පක්ෂවලට වගේ ම විපක්ෂයටත් දෙන්න කියන ඉල්ලීම ගැන ඔබ කටයුතු කර තිබෙනවාද?

මේ සම්බන්ධයෙන් මම සාකච්ඡාවලදී කරුණු පෙන්වා දී තිබෙනවා. සෑම කණ්ඩායමකට ම සමාන අවස්ථා ලබාදෙන ලෙස මම ඉල්ලා තිබෙනවා.

ඡන්ද පොළට ඇතුල්වීමට අවසර තිබෙන්නේ කාටදැයි පෙන්වා දුන්නොත්?

ඡන්ද දායකයාට ඡන්දය පාවිච්චි කිරීම අදාළ මධ්‍යස්ථානය, ඡන්ද පොළ කාර්ය මණ්ඩලයට, තරග කරන පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට, අපේක්ෂකයන්, ඡන්ද පොළ නියෝජිතයන් හා නිරීක්ෂකයන් ඡන්ද පොළ රාජකාරියේ නියුක්ත පොලිස් නිලධාරීන්ට තේරීම් භාර නිලධාරියාගේ අවසරය ඇති අයට පමණයි.

ඡන්ද පොළ භූමිය තුළ තහනම් දේ මොනවාද?

ජංගම දුරකතන භාවිත කිරීම, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, අවි ආයුධ සන්තකයේ තබා ගැනීම (අවි ආයුධ සහිත අවසර ලත් පොලිස් නිලධාරින්ට හැර) දුම්පානය මත්පැන් පානය හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය මේවා තහනම්.

ඡන්දය පාවිච්චි කිරීමට හැඳුනුම්පත අනිවාර්යයි නේද?

ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, ප්‍රාදේශීය ලේකම් නිකුත් කරන ලද වැඩිහිටි හැඳුනුම්පත, මැතිවරණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත. පූජ්‍ය පූජක පක්ෂයට නම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද හැඳුනුම්පත.

මේවායින් කවර හෝ පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් නොකර ඡන්ද පාවිච්චි කිරීමට ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරනු නොලැබේ.

අපැහැදිලි හැඳුනුම්පතකට හෝ සේවා ආයතනය නිකුත් කරන හැඳුනුම්පතට හෝ එසේත් නැතිනම් ජාතික හැඳුනුම්පතක් අයදුම් කර ළඟ තබා ගැනීමට දෙන කුවිතාන්සියට ඡන්දය පාවිච්චි කිරීමට අවසර දෙන්නේ නැහැ.

සහායකයකු කැටිව ගොස් ඡන්දය දෙන්නත් ආබාධිත අයට අවසර සලසා තිබෙනවාද?

ඔව්. හැබැයි මෙවැනි අය අයදුම් කර අවසර ගන්න ඕනෙ. මීට අමතර නියමිත පළාත් බද ග්‍රාම සේවා නිලධාරියාගෙන් හා රජයේ වෛද්‍ය නිලධාරිවරයකුගෙන් ද මෙයට අනුමැතිය තිබිය යුතුය.

මෙවැනි අය අප හඳුන්වන්නේ ආබාධිත අය ලෙස නොව අසක්නුතාවට පත්වූ අය ලෙසයි. එවැන්නන්ට සහයකයකු සමඟ පැමිණ ඡන්ද පොළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඉදිරිපිට ඡන්ද හිමියා සහ සහයකයා කැටිව ඡන්දය පාවිච්චි කළ හැකිය.

ඡන්දයේදී කතිරය ද නැතිනම් හරි සලකුණ සටහන් කිරීම ද?

අපි පැහැදිලිව කියා තිබෙනවා කතිරය සළකුණ කරන්න. කවුරු හරි හරියක් දාලා ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා නම් අපි එය පරීක්ෂා කර බලා නිවැරැදි නම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අපි පැහැදිලිව දක්වා තිබෙන්නේත් කියා සිටින්නේත් කතිරය ගසන්න කියා.

ඡන්දයට කතිරය නොගසා ඡන්දය ප්‍රකාශ නොකොට මනාප පමණක් සඳහා සළකුණු කරන්න පුළුවන්ද?

කිසිසේත්ම බැහැ. මුලින් සළකුණට ඡන්දය දීම සිදුකරන්න කතිරය ගසන්න ඕනෙ. ඉන්පසුව කැමැති නම් එක මනාපයකට හෝ මනාප තුනකට කතිරය සලකුණු කර කැමැත්ත දෙන්න පුළුවන්. මනාප ලකුණු නොකර ඉන්නත් පුළුවන්.

ඡන්ද පෝලිමේ නොසිට ඡන්ද දෙන්නන් ඡන්ද දායකයන්ට පුළුවන් කමක් තිබෙනවාද?

ඔව්. ඒ වැඩිහිටි වයස්ගත අයට ගැබිණි මවුවරුන්ට ඡන්ද පෝලිමේ හිටගෙන සිටීමට අපහසු දුබලතා තිබෙන අයට පූජ්‍ය පක්ෂයට කුඩා අත දරුවන් සමඟ එන අම්මලාට.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්