රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

සංවාද මණ්ඩපය

කැට තියලා කියනවා විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එනවා

පුද්ගලික ප්‍රවාහන සේවා ඇමැති

සී.බී රත්නායක

ආණ්ඩුව ඉදිරිපත් කළ අය වැයෙන් ජනතාවට කිසිම සහනයක් ලැබිලා නෑ කියලා විපක්ෂය චෝදනා කරනවා?

මං අවුරුදු විස්සක් පාර්ලිමේන්තුවේ සිටිනවා. මං අද රජයේ හිටියාට මං විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදියටත් කටයුතු කරලා තියෙනවා. මේ වෙලාවේ විපක්ෂයේ කාර්ය භාරය මොකක්ද කියලා ඔවුන් අවබෝධ කර ගත යුතුයි. එදා මහා යුද්ධයක් තිබුණ වෙලාවේ ඒ සදහා මුදල් වැය කරමින් යුද්ධය ජයග්‍රහණය දක්වා අපේ රජය කටයුතු කළා. ඒ වගේම එදා අපි මේ ර‍ටේ භුමි ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට තමයි මේ රටේ අය වැය ඉදිරිපත් කළේ.

නමුත් අපි අද අය වැය සකස් කරන්නේ මුළු රටටම. පේදුරුතුඩුවේ ඉදලා දෙවුන්දරතුඩුම දක්වායි. මේ අය වැය සකස් කිරීමේදී ජනතාවට සහන ලබා දීමේදී සැලැස්මක් තිබිය යුතුයි. ඒ සැලැස්ම තමයි මහින්ද චින්තනය කියන වැඩපිළිවෙළේ සඳහන් වෙන්නේ.

ඒක තමයි මේ රටේ ඉදිරි අඩිතාලම විදියට දාලා තියෙන්නේ. යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරා නැඹුරු වෙන කොට ඒ සමඟම මේ මහින්ද චින්තන සැලැස්ම ඉදිරියට යන කොට මේක විඳ දරා ගන්ඩ බැරි පිරිසක් වෛරය ද්වේශය සහ බලය ලබා ගැනීමේ පටු අරමුණු දැන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ට අනුකම්පා කරනවා හැර ඔවුන්ට වෙන කියන්ඩ දෙයක් නෑ.

මේ අය වැය සාර්ථක අය වැයක් ජනතාවාදී අය වැයක්. ඒ නිසා මේ අය වැයට විරුද්ධව කතා කිරීම සදාචාරාත්මක නෑ. මේ රටේ විප්ලවකාරි දේශපාලන පක්ෂ දෙකක් තියෙනවා. එකක් ජනතා විමුක්ති පෙරමුණ අනෙක දෙමළ ජාතික සන්ධානය. මේ පක්ෂ දෙකටම තිබුණේ එකම අරමුණක්.

ඒ තමයි බලය ලබා ගැනීම සඳහා විප්ලව කරමින් ඒ සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීම. ඒ සදහා මේ දෙපක්ෂයම ඝාතන සිදු කළා. රාජ්‍ය දේපල විනාශ කළා. ඔවුන්ගේ සියලු ප්‍රතිපත්ති තීන්දු වුණේ ඔවුන්ගේ බලය සහ අරගලය මතයි. ඒ නිසා මේ සියලුම විරුද්ධ වීම් චෝදනා කිරීම් කරන්නේ බලය ලබා ගැනීම සඳහා මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නෙමෙයි.

කෙසේ වෙතත් රජයේ පාර්ශ්වය විදියට ඔබතුමාලා මොනවා කිවත් මේ අවස්ථාවේ විපක්ෂය චෝදනා කරන්නේ මේ අය වැය රජය විසින් ජනතාවට දුන්න කැරට් අලයක් විදියටයි. ?

මගේ පාර්ලිමේන්තු දිවියේ මේ වසර විස්සක කාලයේදී මෙවැනි අය වැයක් ජනතාව වෙනුවෙන් ලැබුණා කියලා‍ මට මතක නැහැ. අද උපතේ සිට මරණය දක්වා බොහෝ දෑවලට බදු සහන ලබා දී තිබෙනවා. නිෂ්පාදකයන්ට සහන ලබා දී තිබෙනවා.

ඒ වගේම ස්වං රැකියා සදහා සහන ලබා දී තිබෙනවා. තාරුණයන්ට , පාසල් දරුවන්ට , මවුවරුන්ට , ගුරුවරුන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ සියලු දෙනාට මේ අය වැයෙන් සහන ලබා දී තිබෙනවා. ඒ නිසා මේ අය වැය විපක්ෂය කියන විදියේ කැරට් අලයක් නෙමෙයි.

මෙවර අය වැයේ වියදම් පාර්ශ්වය වෙනුවෙන් අමතර සංශෝධනයක් විදියට රුපියල් කෝටි 36500 ක අමතර ඇස්තමේන්තුවක් එක් කොට තිබෙන්නේ ඇයි?

විවිධ කටයුතු සදහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී අපට අවශ්‍ය මුදල් ප්‍රමාණයන් මෙතැකැයි කියා තීන්දු කරගෙන අපිට ලබා ගත යුතු වෙනවා. අතීතයේ අපේ රට ණය ගත්තේ ජනතාවට සහනාධාර දෙන්ඩ නමුත් අද අපි ණය ගන්නේ රට දියුණු කරන්ඩ. ඒ නිසා යම් යම් වියදම් අවශ්‍යතා පිළිබදව අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කළ හැකි නිසා ව්‍යවස්ථානුකූලව තමයි මේ සංශෝධන ඉදිරි පත් කර තිබෙන්නේ. ඒ ගැන විපක්ෂය කලබල වියු යුතු නෑ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වෙන ප්‍රමාණයන් එක එල්ලේම දක්වා නැහැ. වැටුපට එක් වෙන දීමනා ලෙස සදහන් කර තිබුණත් එය නිශ්චිතව දක්වා නැත්තේ ඇයි. ?

සෑම රාජ්‍ය සේවකයෙක්ම තම තමන්ගේ වැටුපට අමතරව ලැබෙන දීමනා ගැන දන්නවා. ඔවුන් ගේ වැටුප් පත්‍රිකාව ගත්තාම ඔවුන්ට එය පැහැදිලිව ගණනය කර ගත හැකියි. ඒ නිසා ඔවුන්ට ගැටලුවක් නෑ. ඔවුන්ගේ මුලික වැටුපට අමතරව දක්වා ඇති දීමනා මුලික වැටුපට එක් වෙනවා.

ඊට අමතරව ජීවන වියදම් දීමනාව රුපියල් 10000 දක්වා වැඩි වෙනවා. ඒ නිසා මා හිතන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ගැන ගැටලුවක් නැහැ. සෑම රාජ්‍ය සේවකයකුටම තමන්ගේ වැටුප් වැඩි වීමත් එක්කම තමන්ට වැඩි වු වැටුප් ප්‍රමාණය දැන ගත හැකියි.

රජය කෙසේ කීවත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වෙලා තියෙන්නේ රුපියල් 900 කියලා විපක්ෂය කියනවා?

විපක්ෂයට ගණන් හදා ගන්ඩ බැරි වුණාට අපිට කරන්ඩ දෙයක් නෑ. විපක්ෂය ඔය කතා කියන්නේ වෛරයෙන් සහ ද්වේශයෙන්. ඒ නිසා අපිට ඒ ගැන කරන්ඩ‍ දෙයක් නෑ. මං හිතන්නේ විපක්ෂය හරියට අය වැය අධ්‍යයනය කරලා නෑ.

මේ අය වැය සාරාංශය කියවලා බැලුවොත් ඔය කියන කතා සියල්ල බොරු වෙනවා. කවදාවත් බොරුව සහ වංචාව දුර දිය ගෙනියන්ඩ බෑ. අපිට මේ ලෝකයේ හංගන්ඩ බැරි කාරණා තුනක් තියෙනවා ඉර , හද සහ බොරුව අපිට හංගන්ඩ බෑ. අපි ජනතාවට සත්‍ය ප්‍රකාශ කරනවා දෙන්ඩ පුළුවන් නම් දෙනවා බැරි නම් බැහැ කියලා කියනවා. අද කාටවත් බොරු කරන්ඩ බෑ. ඒ නිසා අතේ පත්තු වෙන බොරු කියන්ඩ එපා කියලා මං විපක්ෂයට කියනවා.

නව වැටුප් වැඩි වීම වෙනතුරු ලබා දෙන රුපියල් 3000 දීමනාව ලබන වසරේ ජුලි මාසයට පසුවත් ලබා දෙනවාද?

නව වැටුප් වැඩි වීම ලබන වසරේ ජුලි මාසයේ ලබා දෙන තුරු පමණයි එම රුපියල් 3000 දීමනාව ලබා දෙන්නේ. ඉන් පසුව එය ලබා දෙන්නේ නෑ. වැටුප් කොමිසමේ වාර්තාව අනුව 2015 ජනවාරි සිට නව වැටුප් ව්‍යුහ ක්‍රමයක් දීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ වැටුප් දීමනා මුලික වැටුපට එකතු කිරීමටත් අවම වැටුප රුපයල් 15000 දක්වා වැඩි කිරීමටත් යෝජනා වුණා.

කනිෂ්ඨ සේවකයන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර 1: 4:25 වැටුප් අනුපාතයට ගනිමින් වැටුප් වර්ධක වැඩි වෙනවා. සෑම රජයේ සේවකයකුටම 2015 වසරේ සිට ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව රුපියල් 2200 කින් වැඩි කිරීමට යෝජනා වූ නිසා රජයේ ‍‍සේවකයකුගේ අවම වැටුප රුපියල් 25000 දක්වා වැඩි වෙනවා. එතකොට ඇරියස් එක්කම ජුලි මාසයේදී ලැබෙනවා.

මේ අය වැයේ පෞද්ගලික අංශයයේ වැටුප් වැඩි වෙලා නැහැ කියන චෝදනාව එල්ල වෙලා තිබෙනවා?

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරිම ගැන මීට පෙර අපේ රජය අවධානය යොමු කර තිබුණා. ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම ගැනත් අවධානය යොමු කර තිබුණා. පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප නැති කර ගත්තේ කවුරු නිසාද ඒ නිසා නේද අද පොලීසිය භාර ලේකම්වරයාට එදා පොලිස්පති ධු‍රයෙන් ඉල්ලා අස් වෙන්ඩ සිදු වුණේ.

ඒ වෙලාවේ ඒ ජනතාවට හොඳ දෙයක් කරන්ඩ ගිහින් රජයට විරුද්ධව හඬ නැඟුණා. රට අකර්මන්‍ය කරන්ඩ කටයුතු කලේ මා මුලින් කිව්ව අරගලකාරී දේශපාලන බලවේගයයි. ඒ නිසා එදා ඒ විශ්‍රාම වැටුප ඔවුන්ට අහිමි වෙලා ගියා.

මං පෞද්ගලික ප්‍රවාහන ඇමැතිවරයා විදියට හොඳ උදාහරණයක් කියන්නම්. මීටර ත්‍රිරෝද රථවල සවි කරන්ඩ ගියාම පිරිසක් විරුද්ධ වුණා. තවත් පිරිසක් කැමැති වුණා. අන්තිමට මොකද වුණේ කැමැති වෙලා මීටර සවි කරපු අයගේ ත්‍රීරෝද රථවල විතරයි ජනතාව ගොඩ වුණේ. අන්තිමට අනෙක් අයටත් මීටර සවි කරන්ඩ වුණා.

සරලව විසඳිය හැකි දේවල්වලට ඇ‍ඟෙන් තීන්දු නොගෙන උපක්‍රමශීලීව විසඳන්ඩ පුළුවන්. පෞද්ගලික අංශයට අපි අවම වැටුප නියම කරලා තියෙනවා. අපි ඒ ගැන අවධානයෙන් ඉන්නවා. ඒක ලබා දිය යුතුයි. අපිට ආයෝජකයන් අවශ්‍යයි. ඔවුන්ට සහන ලබා දෙන කොට සේවකයාගේ වැටුප් වැඩි කරාවි.

මේ රජය යටතේ රටේ දුප්පත් කම වැඩි වෙලා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ කිව්වා. ‍ ඔබ ඒ ගැන මොනවද කියන්නේ?

මන්ත්‍රීතුමාට කියන්ඩ තියෙන්නේ එකම දෙයයි. පොල් කඩන මනුස්සයා අතේත් ජංගම දුරකථනයක් තියෙනවා නම් ඔහුට ඒකට රීලෝඩ් කරන්ඩ පුළුවන් නම් කම්කරුවාගේ ගෙදරත් පියෝ ටීවී එකක් තියෙනවා නම් මේ රටේ දෙකෝටියක ජනතාවට ජංගම දුරකථන කීයක් තියෙනවාද කියලා ගණනය කර ගන්ඩ.

මේ සරල උදාහරණය ඇති දුප්පත් කම ගැන මැන ගන්ඩ. සුද්දෝ කැලේ හෙලුවෙන් ඇවිදිනකොට අපි කෙළ අතු එල්ලගෙන කැලේ අවිදපු ජාතියක්. ඒ නිසා බලය වරදානවලට බොරු නොකියා ඉන්න කියන එක තමයි මං එතුමාට කියන්නේ.

දැන් ඇමැතිතුමනි ජනාධිපතිවරණය ළගයිද?

ජනාධිපතිවරණය ළඟයි කියලා කියනවා. මාත් ඒක අහලා තියෙනවා.

පසුගිය කාලයේ විපක්ෂය කිව්වා ආණ්ඩුවෙන් පිරිසක් විපක්ෂයට යනවා කියලා. දැන් පේන්ඩ තියෙන්නේ විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එන හැඩක් නේද?

විපක්ෂයේ විනාශය දැක දැක මොන මෝඩයාද යන්නේ. කලකිරීම් සිත් තැවුල් තියෙන්ඩ පුළුවන්. ඕනෑම පක්ෂයක් ආණ්ඩුවක් කරගෙන යනකොට යම් යම් අය අසතුටු වෙන්ඩ පුළුවන්. නමුත් ඒක ඒ අයට යන්ඩ හේතුවක් ‍කර ගත යුතු නෑ. එවැනි මෝඩයන් අපේ පක්ෂයේ නෑ.

අපිව හදා ගත් අම්මා තාත්තා තනි කරලා වෙන් වෙලා යන්නේ නැහැනේ. ඒ නිසා අපි අම්මා තාත්තා රැකගෙන ඉදිරියට යාමයි වැදගත් වෙන්නේ. අපි බිහි කරපු ආණ්ඩුව , අපි හදා ගත්තු ආණ්ඩුව. ඒ නිසා මේ නායකයා සියලු දෙනා දිහා බලනවා. එක් පුද්ගලයකු දිහා විතරක් නෙමෙයි බලන්නේ. ඒ නිසා අපිට යම් කැපකිරීමක් කරන්ඩ වෙනවා. ඒ නිසා කැට තියලා කියනවා අපේ පක්ෂයෙන් කවුරුත් යන්නේ නෑ. හැබැයි විපක්ෂයෙන් අපේ පැත්තට එන්ඩ නම් විශාල පිරිසක් ඉන්නවා.

මංගල සමරවිර මන්ත්‍රීතුමා ගැන තමයි වැඩිම කතාව තියෙන්නේ?

ඒක අරුමයක් නෙමෙයි. ජනාධිපතිතුමාට මඩ ගහපු අයත් අද ආණ්ඩුවට ඇවිත් තියෙනවා. ඒ නිසා මේවා අලුත් දේවල් නෙමෙයි. මං කවදාවත් පක්ෂ මාරු කරපු කෙනෙක් නෙමෙයි. එදා නොයෙක් ආඩපාලි කියපු අය අද අපේ ජනාධිපතිතුමාගේ නායකත්වය පිළිගෙන කටයතු කරනවා.

මංගල සමරවිර කියන්නේ වාමාංශික දේශපාලනයේ සැබෑ ලෙස කටයුතු කළ කෙනෙක්. එදා එතුමා මැතිවරණ ව්‍යාපාරවලදී අපිටත් උපදෙස් දුන් අවස්ථා තිබෙනවා. අපි උපදින කොට ගෙන එන දේවල් නිසා අපේ ජීවන ගමනේ අඩු වැඩි වෙන අවස්ථාවන් තිබෙනවා. ඒ නිසා මංගල මැතිතුමාගේ සෙනසුරා මාරු වෙලා අපිට එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ දවස්වල සජිත් ප්‍රේමදාස එ.ජා.ප නියෝජ්‍ය නායකයා කියනවා රනිල් ජනපති කරවන්ඩ දිවි හිමියෙන් කැප වෙනවා කියලා . ඔබ ඒ ගැන මොනවද හිතන්නේ?

මේක හාස්‍ය ජනක වෙන්ඩ පුළුවන්. මෙතැනත් තියෙන්නේ බල අරගලය. සජිත්ට දැන් ඉන්නේ උන්නත් දාහයි මලත් දාහයි වගේ තැනක. රනිල් දිනන්නේ නෑ කියලා සජිත් ප්‍රේමදාස අනිවාර්යෙන්ම දන්නවා. රනිල් පරාද වුණාම ඊළගට එන අරගලය තමයි රනිල් නායකත්වයෙන් යා යුතුයි කියන රැල්ල.

ඒ රැල්ල මහා ප්‍රබලව එනකොට සජිත් නායකයා වෙන්ඩ බලන්නේ. ඒ නිසා සජිත්ට දැන් උන්නත් දාහයි මලත් දාහයි කියලා එ.ජා.ප නායකත්වයට එන පාර කපා ගන්ඩ ඕනේ වෙලා තිබෙනවා. එහෙමත් නැතිව සජිත් හිතනවා රනිල් ජනාධිපතිවරණයට ආවේ නැතිනම් මට ඉල්ලන්ඩ ලැබෙයි කියලා . එතකොට එයා කුජීත වෙන බවත් දන්නවා. ඒ නිසා උඹම ලණුව කාපන් ඊට පස්සේ මං ඇදගෙන යන්නම් කියන තැන සජිත් ඉන්නේ.

ඉතින් ඔබ හිතනවාද රනිල් වික්‍රමසිංහ නායකයා සජිත්ගේ ලණු කයි කියලා?

මං හිතනවා . දැන් රනිල්ට වෙන විකල්පයක් නෑ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා බිත්තියට හේත්තු වෙලා ඉවරයි. රනිල්ට දැන් ජනාධිපතිවරණයට ඉල්ලන්ඩම වෙනවා. එහෙම නැතිනම් පරාජය රනිල්ට පිළිගන්ඩම වෙනවා. දැන් රනිල් හිතන්ඩ ඕනේ පරාජය පිළිගෙන නායකත්වය රැක ගැනීම ගැනයි. ඔන්න ඒකට අවස්ථාව දැන් රනිල්ට ඇවිත් තිබෙනවා.

පොදු අපේක්ෂක කතාව යළිත් ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරියට ඒවිද?

නෑ කිසි සේත්ම නෑ. මේ රටේ සිටින සියලුම වාමාංශික බලවේග මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සිටිනවා. දුටු ගැමුණු කුමාරයා හා සමානව මේ රට එක් සේසත් කර ගත් නායකයෙක් හැටියට ජනාධිපතිතුමා මේ රටේ පරපුරෙන් පරපුරට කතා කරන නායකයෙක්. ඒ විතරක් නෙමෙයි එදා දුටු ගැමුණු රජතුමාගේ යුද ජයග්‍රහණයේ සෙන්පතියන් වු වේලුසුමන වැනි යෝධයන් පසු කාලයේ වැව් අමුණු සංවර්ධනය කරන්ඩ සමත් වුණා.

ඒ වගේම ගමේ සංවර්ධනය ගොඩ නැ‍ඟෙන කොට මොන හිතකින්ද මොන මනසකින්ද එ තුමාට එරෙහි වෙන්නේ. කවදාද එතුමාගේ ජනාධිපති ධුර කාලයට පෙර රජ ගෙදරින් බණ පදයක් අහන්ඩ ලැබුණේ. ගමේ මහින්දෝදය විද්‍යාගාර ඉදි වෙනකොට එක පාසලකට කෝටි හැට පහක උපකරණ ලැබෙනවා.

අ‍පි ගමේ පන්සලේ ගල් ලෑල්ලේ හරි පන්සලේ මිදුලේ හරි තමයි අකුරු ලිව්වේ. හැබැයි අද ගමේ පාසලට ලැබෙන වරප්‍රසාද බලන්ඩ. අද නගරයේ වගේම ගමේ පාසලේ ළමයිනුත් ලැප් ටොප් පාවිච්චි කරනවා. ගමේ දරුවාටත් දැන් ලැප්ටොප් එකෙන් විශ්ව ගම්මානය දකින වැඩපිළිවෙළ ජනාධිපතිතුමා ඇති කරලා තියෙනවා.

අද ගමේ පරිගණක සාක්ෂරතාව සියයට පනහක් බවට පත් වෙලා. එහෙව් ජන නායකයෙක් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට යුතුකමක් වගකීමක් තිබෙනවා එතුමා රැක ගැනීමට. ඒ නිසා බලය ලබා ගැනීමට අන්තර් ජාතික ප්‍රජාවට කත් ඇද්දොත් ඒක මහා පාප කර්මයක් වෙනවා. අපි මේ මොහොතේ බෙදුණොත් වෙන් වුණොත් රට ආපසු ආපස්සට යනවා. ඒකට ඉඩ තියන්ඩ එපා.


ආණ්ඩුවට යන මන්ත්‍රීවරු අපිළඟ නැහැ

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී

රංජිත් මද්දුම බණ්ඩාර

මොන බොරු ආණ්ඩුව වැපුරුවත් එජාපය තුළ ආණ්ඩුවට සල්ලි දීල ගන්න මන්ත්‍රීවරු නැති බවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළාට පසු ආණ්ඩුවෙන් විපක්ෂයට එන තෝරු මෝරු ටික බලාගත හැකි වනු ඇති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.

සිළුමිණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කළේය.

එහිදී ඇසූ ප්‍රශ්න කීපයක් හා ඒවාට මන්ත්‍රීවරයා දුන් පිළිතුරු මෙසේ ය.

රජය මෙදා ගෙනාපු සහනදායි අයවැය මේ වෙනකොට එජාපයත් අඩපණ කරන්න හේතු වෙලා තියනව නේද?

අපි කියන්නේ මේ දෙනව කියන දේවල්වලින් ඇත්තටම මහජනයාට ලැබෙන්නේ මොනව ද කියල බලන්න කියලයි. රජයේ සේවකයනට ඇත්තටම ලැබෙන්නෙ 2200 යි. අපි දහදහක් දෙනව කියනකොට මේක දුන්නේ. ගොවියට ධීවරයට කිසිම සහනයක් නොලැබුණු අයවැයක්.

අයවැය ඉදිරිපත් කරල සතියකින් තව වැය ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ගෙනාවා. මේකෙන්ම පේනවා ආණ්ඩුව පත්වෙලා ඉන්න අර්බුදය. අයවැය හරියට හදාගන්න බැරුව අද ආණ්ඩුව ඉන්නේ. අපි කියන්නේ මේක පාලනයක් නැතිව ණයට යන ගමනක්.

ආර්ථික කළමනාකරණය කියල දෙයක් තියනවා. මේ මොකක්වත් අද නැහැ. මේක තමයි යෝගට් එක රුපියල් තුනකින් අඩු කරන්න ගෙනාපු අයවැය. අයවැයෙන් කියනව යෝගට් එක රුපියල් තුනකින් අඩු කළා කියල.

මේකට ද රටක අයවැයක් ගේන්නේ. රටක ජාතික නිෂ්පාදනය නංවන්න සැලැස්මක් වැඩපිළිවෙළක් තියෙන්න ඕන. ඒ අනුව තමයි අයවැය වාර්තාවක් සකස් වෙන්න ඕන. නමුත් මේක එහෙම එකක් නෙවෙයි. මෙතන තියෙන්නේ රට ණය කරන වැඩපිළිවෙළක්. අයවැයේ වැඩිම කොටස පාලනය කරන්නේ ඉහළම ඉන්න දෙතුන් දෙනෙක්. අපි කියන්නේ මේ දෙනව කියන දේවල් ඡන්දෙට ඉස්සෙල්ලා දෙන්න කියලයි.

මේ අයවැය නිසා විපක්ෂයේ කටවල් වැහිල තියනව කියල ආණ්ඩුව පැත්තෙන් කියන්නෙ?

මේ අයවැය නිකන්ම ඉලක්කම් හරඹයක් බව අපි පෙන්වා දීල තියනවා. සංවර්ධනයක් තියනව කිව්වත් අද ජනජීවිතය කඩා වැටිලා. මිනිස්සුන්ට කන්න නැතුව ඉන්නේ. මිනිස්සු මේ සංඥාව ආණ්ඩුවට ඌවෙන් දුන්නා. ආණ්ඩුවේ හැලිය අද රත්වෙලා තියෙන්නේ.

අරව මේව දෙනව කිව්වට ඇත්තටම වැඩ කරන ජනතාවට ලැබුණ දෙයක් නැහැ. පෞද්ගලික අංශයේ සේවකයන් සම්පූර්ණයෙන් අමතක කරල තියනවා. රාජ්‍ය සේවකය සොච්චමක් දීල රවටල තියනවා. ආණ්ඩුවකට ජනතාව දිගටම රවට්ටන්න බැරි බව දැන් පැහැදිලියි. ආණ්ඩුවේ කඩා වැටෙන බලාධිකාරය නවත්ත ගන්නයි මේ අයවැය ඉදිරිපත් කළේ. මේකෙන් ඒක නවත්තන්න බැහැ.

යූඇන්පීයෙන් කී දෙනෙක් ආණ්ඩුවට පනිනව ද?

සල්ලි දීල ආණ්ඩුවට ගන්න එජාප මන්ත්‍රීවරු නැහැ. එක්කෙනෙක්වත් නැහැ. අරය එනවා. මෙයා එනවා කියන එක එජාප මන්ත්‍රීවරුන්ව ආණ්ඩුව සල්ලි දීල ගන්න හදන බව ඇත්ත. කවුද මේ ගිලෙන නැවට පනින්නේ. මේ ඔක්කොම සෙල්ලම් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනකම් විතරයි. එදාට බලාගන්න පුළුවන් ආණ්ඩුවෙන් කී දෙනෙක් එළියට එනව ද කියලා. එදාට ආණ්ඩුවෙන් තෝරු මෝරු එළියට එනවා.

එජාප ජනාධිපති අපේක්ෂකයා කවුද?

ඒක අපි ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පහුවදා කියනවා.

සජිත් කියන්නේ රනිල්ව ජනාධිපති අපේක්ෂකයා ලෙස මෙහෙයුම් කමිටුව තෝරාගෙනත් ඉවරයි කියලයි?

මං ඉන්න මෙහෙයුම් කමිටුවක නම් එහෙම තීරණයක් ගත්තේ නැහැ. අපි පක්ෂයක් ලෙස තීන්දු ගන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළාට පස්සේ. අපි දාන්නේ දිනන අපේක්ෂකයෙක්. සාකච්ඡා කරල තීරණය ගන්නවා. මේක අපි දිනන මැතිවරණයක්. මේ අයවැයෙන් පස්සේ දෙන්න යෝජනා කරපු හුඟක් දේවල් දෙන්න වෙන්නේ අපේ ජනාධිපතිවරයෙක් යටතේ.

ඔබ අනාගතය ගැන සිහින මවනවා...?

අපේ සිහිනය මෙදා පාර සැබෑ වෙනවා. අද ජනතාව මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන්න තීරණය කරල තියෙන්නේ. ආණ්ඩුව ඒ වෙනස නොවෙන්න මේක තියාගන්න ලොකු උත්සාහයක් කරන බව ඇත්ත. ලොකු රබර් බෝලයක් දිය යට ඔබාගෙන ඉන්නව වගේ මේ පීඩනය යට කරගෙන ඉන්න බැහැ. හැමදාම ජනතාවට බොරු කරන්න බැරි බව අපි මෙදා ඔප්පු කරනවා.

බොරුවක් නෙමේනේ. ලොකු වෙනසක් ‍රටේ සිදුවෙලා තියන බව කවුරුත් පිළිගන්නවා...?

පාරවල් හදනවා. අධිවේග වේගයෙන් හදල සාක්කු පුරවගන්න පිරිසක් උඩින් ඉන්නවා. ඒත් ගමේ පාරවල් වල් බිහිවෙන්න ඇරලා. අපි කියන්නෙ පාරවල් විතරක් හදල හරියන්නේ නැහැ. රටක දියුණුව රඳා පවතින්නේ නිෂ්පාදනය නැංවීම මත. සමස්ත නිෂ්පාදනය නංවාගන්න වැඩපිළිවෙළකුත් නැහැ.

අලුත් නිෂ්පාදන කර්මාන්ත ගමට යන්නේ නැහැ. හැමදාම යැපුම් කෘෂිකර්මයෙන් ගොවියාට ජීවත් වෙන්න බැහැ. කෝ තරුණයන්ගේ ඉගැනීමට හරියන රස්සාවල්? ඇයි ඉගැනීමට සරිලන රස්සාවක් මේ තරුණ පිරිසට දෙන්න බැරි.

විරැකියාව අනුපාතය පහළටම වැටුණ උපාධිධාරීන්ට රක්ෂා දුන්න යුගයක් ලෙසයි මේ යුගය ඉතිහාසගත වෙන්නෙ?

මොනව ද උපාධිධාරීන්ට දීල තියන රැකියා. ඔවුන් ආණ්ඩුවේ කාර්යාලවලට ගාල් කරල කරන්න රැකියාවක් නැතිව ඉන්නවා. උසස් පෙළ, සාමාන්‍ය පෙළ සමත් අයට ඔබින රැකියා නැහැ. රැකියා තියෙන්නේ බදාම ඇනිල්ලයි සිකියුරිටි රක්ෂා පමණයි. මේ ආණ්ඩුව යටතේ රටේ ඇතිවුණ අලුත් කර්මාන්ත ශාලාවක් නැහැ. ආයෝජකයෝ රටට ගෙන්න ගන්න බැරි වෙලානෙ තියෙන්නෙ.

යුද්ධයෙන් පස්සේ විය යුතු පිබිදීම ඇතිකරගන්න ආණ්ඩුව අසමත් වුණා. නැතිනම් මේ රට විදේශ සෘජු ආයෝජනවලින් ම ගොඩගන්න තිබුණා. අද සංචාරක කර්මාන්තයෙන් සියල්ල කරන්න බලාගෙන හිටියත් වැඩිය වියදම් කරන ඉහළ මට්ටමේ සංචාරකයෝ අපේ රටට ගෙන්න ගන්නවත් මේ වෙනකම් බැරි වෙලා තියෙනවා.

ඔබ සියල්ල ගැන අසුබවාදීව කතා කළත් කිරි දරුවගේ සිට මහල්ලා දක්වා මේ අයවැයෙන් සහන දුන්නා...?

ඔබ මතක් කළ එක හොඳයි. අද කිරි දරුවන්ගෙන් උපදින දරුවන්ගෙන් පහෙන් එකක් උපදින්නේ අඩු බර දරුවන්. මන්දපෝෂණයත් අපේ පළාත්වල එහෙමයි. දරුවන් බලාගන්න සැබෑ ලෙස ආධාරයක් කරනවනම් හොඳයි. ඇයි බොරු නොකර එජාප ආණ්ඩු කාලෙ පාසල් දරුවන්ට දුන් දිවා ආහාරයවත් දෙන්න බැරි.

වැඩිහිටියන්ට සලකන එකත් හොඳයි. ලෝකෙ කොහෙත් වැඩිහිටියන් ලෙස සලකන්නේ අවුරුදු 60 ට වැඩි අය. මේ අය වැඩිහිටියන් ලෙස සලකන්නේ අවුරුදු හැත්තෑවට වැඩි අය. මොනවහරි වැඩිහිටියන්ට දෙන දෙයක් තියනවනම් අවුරුදු හැටට වැඩි අයට දෙන්න ඕන.

එජාපය බලය ගන්න හැදුවත් ඔබේ පක්ෂය කිසිඳු වැඩපිළිවෙළක් රට ඉදිරියේ තබල නැහැ. බලය ඉල්ලන්නේ මොනව ක්‍රියාත්මක කරන්න ද?

අපේ පක්ෂයට වැඩපිළිවෙළක් නැහැ කියන්නේ පක්ෂය ගැන මොකවත් දන්නේ නැති අය. අප තමයි මේ රටේ වේළුණ ආර්ථිකයට වෙළෙඳපොළ ආර්ථිකය හදුන්වා දීල මිනිස්සුන්ට කාල ඇඳල ඉන්න පුළුවන් ආර්ථිකයක් ඇතිකළේ. අද මේ රජයත් ගෙනියන්නේ ඒ ආර්ථික ක්‍රමය. අපි ක්‍රියාත්මක කළ ගම් උදාව වෙනුවට ගම නැඟුම ගෙනල්ලා තියනවා. ජනසවිය වෙනුවට ඒක සමෘද්ධිය කියල නම් කරලා.

ඉතින් එජාපයක් ඕන නැහැනේ ඔබලගෙ වැඩපිළිවෙළත් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවනම්...?

අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕන නැහැනේ. අපේ වැඩපිළිවෙළ අපට තමයි නියම විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ගෙවල් හදන වැඩපිළිවෙළ ගන්න. අපි ගම්මාන හදල ගෙවල් 100, 200 හැදුවේ. අද මේ ආණ්ඩුව එක ගේ හදලත් විවෘත කරන්න උත්සව තියනවා.

කොළඹ ගත්තත් පැල්පත් වෙනුවෙන් විශාල තට්ටු නිවාස ප්‍රමාණයක් දැන් හැදීගෙන යනවා...?

ඔක්කොමන්ටම ඔය ගෙවල් ලැබෙන්නේ නැහැ. සමහරුන්ට ලැබෙන්නේ තමුන්ගේ තියන ගෙයට සාපේක්ෂව පුංචි ගෙයක්. මේ ගෙවල්වලට මුදල් ගෙවන්න කිව්වත් බොහෝ දෙනාට ඒ මුදල ගෙවන්න බැරුව ඉන්නේ.

විපක්ෂය මොනව කිව්වත් කිසිම ආණ්ඩුවකට නොහැකි වුණ ආකාරයට දිගින් දිගටම මේ ආණ්ඩුව බලය රඳවා ගන්න සමත් වෙලා තියන බව පිළිගන්න ඕන. අද උතුරු පළාත් සභා හැර අනෙක් පළාත් සභා අටම තමන්ගේ අතේ තබාගෙනයි මේ ආණ්ඩුව ඡන්දෙට යන්නෙ?

ආණ්ඩුව ඒ පළාත් සභාවල බලය අල්ල ගත්තේ පළාත් සභා එක දෙක තියල රජයේ සියලු බලය එතෙන්ට දාල. රජය එකවර මේ සියලු පළාත් සභා තිබ්බනම් රජයට බලාගන්න තිබුණ තමන්ට රටේ තියන තත්ත්වය.

ඌව පළාතෙදි ආණ්ඩුව එළිපිට ඡන්ද දායකයට සල්ලි බෙදුවා. වයඹදි ගහල ගත්තු ආණ්ඩුව ඌවෙදි සල්ලි දීල ඡන්දෙ ගත්තා. එහෙම වෙලත් ආණ්ඩුවේ පිරිහීම වහගන්න බැරිවුණා.

මේ කිසිම දෙයක් රටේම තියන මැතිවරණයකදී ආණ්ඩුවට කරන්න බැහැ. අපි පැහැදිලි ජයග්‍රහණයක් ඉදිරියේ එන ජනාධිපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් ලබාගන්න සූදානමින් ඉන්නේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්