දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

හල්මණ්ඩිය දොළට යද්දී සුදු ඇඳගත් උස මිනිසා හමුවේදැයි අදත් බලනවා

හල්මණ්ඩිය දොළට යද්දී සුදු ඇඳගත් උස මිනිසා හමුවේදැයි අදත් බලනවා

සිවිල් සේවකයකු වූ තම පියාට මාරුවක් ලැබුණු හැම අවස්ථාවකම ඔහුට ද රට පුරා පාසල්වලට මාරු වන්නට සිදුවිය. කුරුණෑගල ඉපදුණ ද අවසානයේ කළුතර විද්‍යාලයෙන් උසස් පෙළ කරන්නට සිදුවූයේ ඒ නිසාය. ගණිත විෂය හදාරා 1985 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අධ්‍යාපන හා වන ව්‍යාප්ති අංශයේ පර්යේෂණ සහකාරවරයකු ලෙසත් ඡායාරූප ශිල්පියකු ලෙසත් සිය වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු පසුව ඇමෙරිකාවේ දී වන සත්ත්ව හා මත්ස්‍ය විද්‍යාව පිළිබඳ හදාරා ලෝක සංරක්ෂණ සංගමයේ ජෛව විවිධත්ව අංශයේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස සේවය කර මේ වන විට සීමාසහිත පාරිසරික පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ඔහු නමින් විමුක්ති වීරතුංගය.

සිංහරාජයේ දැව කැපීම් ව්‍යාපෘතිය අවසන් වුණේ 1977 කාලයේදීය. ඒ අවසානය සඳහා සටන් කළ අය බොහෝ වෙති. එතැන තිබූ කූඩාරම ව්‍යාපෘති විරෝධී සටන්කරුවන්ගේ නවාතැන් පොළ බවට පත්විය. එයට ඔවුන් කෙටි නමකුත් යොදා තිබිණි. එනම් එම් එෆ් සී හට්ය. ඒ මතකය විමුක්ති වීරතුංග මෙසේ අවදි කළේය.

“සිංහරාජයේ තුඩව ගමේ සිට කිලෝමීටර හතරක් විතර ගියාම තමයි පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටන්නේ. කැනඩා ගස් කපන ව්‍යාපෘතිය අවසන් කරන්නට හේතුවුණු ‘සංරක්ෂණය සඳහා පා නඟමු සංවිධානය ‘මාච් ෆෝ කොන්සර්වේෂන්’ කියන එකට තමයි එම්එෆ්සී හට් නම හැදුණේ.

එතැන මහාචාර්ය සරත් කොටගම, මහාචාර්ය නිමල් ගුණතිලක වගේ අයගේ රජ දහන වුණා. ඒ හට් එක මහ ලොකු එකක් නෙවෙයි. ලෑලි ටිකයි කුස්සියයි විතරයි. ඒත් එය වෙනස් කිරීම ගැන මට ලොකු දුකක් තිබෙනවා.”

ඉන්පසු ඔහු ‘ එම්එෆ්සී හට්’ හා බැඳුණු කතා රැසක් සිහිගන්වමින් ඒ කාලයට මනසින් පිවිසියේය.

“මම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳෙන්න කලින් පවා මේ පරිසර වැඩවලට තිබුණු ඇල්ම නිසා ඒ තැනට යනවා. උසස් පෙළ කරන කාලේ ඉඳන් යන්නේ. ගියාම සතිය දෙක එහේම තමයි. ඒක ඉතිං ජීවිතේ සාමාන්‍ය දෙයක් වුණා.”

ඒ ගිය ගමන්වලදී ඔහුට සුන්දරම අත්දැකීම් ලබාදුන් ස්ථානය ඔහු මෙරට ලස්සනම තැන සේ සලකයි. එය ඔවුන්ගේ කූඩාරම අයිනෙන් ගලන දොළ පාරකි.

“සිංහරාජේ ගිය හැම වේලාවකම අපි මූණකට හේදුවේ, බිව්වේ, ඉව්වේ ඔක්කොම කළේ හල්මන්ඩිය දොළෙන්. කූඩාරමට තනිවම ගිය වේලාවට කම්මැලි හිතුණොත් හතර වටේ සතා සීපාවා ගැන සොයා බලලා දොළ පාර දිගේ උඩහට, පහළට ගිහින් එනවා. එතකොට ඒ ගතිය මඟහැරිලා යනවා.”

ගස් කපන ව්‍යාපෘතිය නැවතුණු ගමන් මහාචාර්ය කොටගම එහෙම ‘කුරුලු නඩ’ ගැන පර්යේෂණ පවත්වන්න ගත්තා. කුරුල්ලන්ට මුදු පලන්දලා උන්ව හඳුනාගන්න ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. මට රාජකාරිමය වශයෙන් ඒ කටයුතුවලට සහභාගී වීම පැවරී තිබුණේ නැති වුණාම මටත් ඒ දේවල් දැනගන්න උනන්දුවක් කුතුහලයක් ඇති වුණා. ඒ අතරේ තමයි අපේ දෙපාර්තමේන්තුවෙන් පළමුවැනි වරට උණ හා වේවැල් පිළිබඳ නීලා ඩි සොයිසා මහත්මිය පර්යේෂණ වගයක් පටන්ගත්තේ. මම වැඩි පුර මහන්සිවෙලා ඒ වැඩවලට උදව් කළා. එය මගේ ජීවිතය වෙනම පැත්තකට යොමු වුණා. ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු, උද්භිද විද්‍යාඥ අරුණ වීරසූරිය වැනි අය ඇසුරු කරන්න ලැබීම මගේ විද්‍යාත්මක දැනුම ඉහළ නංවන්නට හේතුවක් වුණා. මේ සියල්ල සිදුවුණේ හල්මණ්ඩිය දොළ ආශ්‍රිතව තමයි.”

දොළ ආශ්‍රිතව තම ජීවිතයේ වෙනස්කම් මෙන්ම ශ්‍රී ලංකාවේ සත්ත්ව විද්‍යාවට ද නව වෙනස්කම් සිදුවූ බව ඔහු පවසන්නේ අපූරු සොයාගැනීමක් පිළිබඳව ද හෙළි කරමිනි.

“ආචාර්ය පෘථිවිරාජ් මේ දොළ ඇසුරු කරගෙන ආරම්භ කළේ ලංකාවේ උභයජීවීන් පිළිබඳ පර්යේෂණ. ලංකාවටම ඒ සතුන් ගැන ඒ වෙද්දි තිබුණේ ඉතාම අල්ප දැනුමක්. පෘථිවි මටත් එන්න කීවාම ඒ පර්යේෂණ කටයුතුවලට සහභාගී වෙන්න මමත් ගියා. අපි ඉතින් දිවා රෑ නැතිව හල්මණ්ඩිය දොළ දිගේ එහාට මෙහාට යනවා සත්තු හොය හොයා.”

ඉතිං මේ දොළ අපේ ජීවිතේම කොටසක් වගේ වුණා. උභය ජීවීන් දකින්න නම් රෑට තමයි වැඩ කරන්න ඕන. මහේන්ද්‍ර සිරිවර්ධන, පෘථිවි සහ මම රෑ තිස්සේ ගෙම්බෝ හොය හොයා දොළ පා‍ෙර් යන එකමයි වැඩේ.”

“කාලයක් ඔහොම ඇවිදින විට තමයි ‘කොටගමගේ කුරු ගෙම්බා’ කියලා නම් කෙරුණු Bufo kotagamai හොයාගන්න ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුට හැකි වුණේ.”

හල්මණ්ඩිය දොළේ වැදගත්කම ද ලස්සන මෙන් වටිනා බව ඔහු තහවුරු කරන්නට කීවේ එවැනි තොරතුරුය. ඒ සමඟම එහි ජෛව විවිධත්වය තවදුරටත් පෙන්වීමට ඔහු මෙසේ ද කීය.

හල්මණ්ඩිය දොළේ ආවේණික මසුන් බොහොමයක් ඉන්නවා. ඒ වගේම ඒ ආශ්‍රිතව කටුසු වර්ග, කුරුල්ලෝ, දොළේ උඩහට ගියාම වවුල් ගුහා තියෙනවා. හැබැයි ඉතිං කූඩලු විමානේ.”

‍“මේ දොළේ තල්කොස්සෝ, හීත මස්සෝ, ගල්පාඬියෝ, බුලත්හපයෝ වගේ මාලුන් ඉන්නවා. හැබැයි දෙපැත්තේ කුණකටුවො හරියට ඉන්නවා. අංකටුස්සෝ හොඳට බලාගන්න පුළුවන්. ඒ වගේම මේ දොළ අයිනේ මම දැකලා තියෙනවා කොළ පාට, රතු පාට ලුමිනස් වර්ණ හතු වර්ග. ගෙම්බොත් එමටයි.”

“පොඩි පොඩියට උඩහදි එකතුවෙලා එන දොළ පාර පර්යේෂණ මධ්‍යස්ථානය කිට්ටුවට එද්දි අඩි 20ක් 25ක් විතර පළල වෙනවා. හැබැයි වතුර ගැඹුරු නැහැ. හරිම පිරිසුදුයි. ගල් අතරින් ගස් අතරින් තාලෙට ගල‍ාගෙන එන්නේ.”

“උදේට ඉර පායාගෙන එද්දි පුදුමාකාර චමත්කාරජනක රටා මැවෙනවා. ගස් අතරින් හිරු කිරණ බේරිලා රශ්මි කදම්භ වගේ පෙරිලා එන්නේ. ඒ වෙලාවට කුරුලු නඩ බලන්න පුළුවන් වීමත් හරිම විනෝදජනකයි. ඒවා ඡායාරූපගත කරන්නත් මට දැඩි ආශාවක් ආවේ ඒ නිසයි.”

“ලංකාවට ආවේණික ශාකයක් වන යෝධ නවඳගහ එදා වගේම අදත් මේ දොළ අයිනේ දකින්න ලැබීම හිතට ගේන්නේ සතුටක්. ඒ කාලේ දකින්නට අපහසු වූ කැහිබෙල්ලන් නම් දැන් වරකට හත අට ගානේ දැකගන්න පුළුවන්.”

කුරුල්ලන් දැකීම ඇසට ප්‍රියජනක වුවද කැහිබෙල්ලා ගේ හැසිරීම ගැන ඔහුට පැහැදීමක් නම් නැත.

“කැහිබෙල්ලා අයිති වෙන්නේ කපුටු පවුලටනේ. පෙනුමෙන් නම් හරිම ලස්සනයි. හැබැයි වැඩ නම් ඒ තරම් ලස්සන නැහැ. අනික උන් මිනිස්සුන්ට බය නෑ. ඒ නිසා ළඟට ඇවිත් දෙන දෙයක් කනවා. හරියට කපුටෝ වගේ.”

හල්මණ්ඩිය දොළ අයිනේ ඇත්තේ එවන් අත්දැකීම් පමණක් නොවේ. ගැමියන් විශ්වාස කරන විවිධ අත්භූත බලපෑම් ගැන ද විමුක්ති වීරතුංග ඇතුළු පිරිසට තවම ඇත්තේ කුතුහලයකි.

“හිටි ගමන් අපි කම්මැලි වුණාම දෙනියාය පැත්තට යනවා. වාරකන්දෙණිය, වතුගල, මෙදේරිපිටිය, හරහා තමයි පයින්ම ගිහින් පයින්ම එන්නේ. උදේම බත් මුලකුත් බැඳගෙන ගෝලයා එක්ක පිටත්වෙලා තුඩව ගමට පයින් ගිහින් එහි තරුණයන් සමඟ වොලිබෝල් සෙල්ලම් කරනවා. එහෙම ඉඳලා රෑ වුණාම ආපසු එන්න එපා කියලා ගැමියන් අපට හරියට අවවාද කරනවා. ඒකට හේතුව තමයි පෝය දවසට එහෙම වනාන්තරයට ඇතුළුවන තැන තිබෙන මගුරුවල කියන තැනදි සුදු ඇඳගත් උසම උස කෙනෙක් දකින්න ලැබුණොත් අපට යම් හානියක් වෙයි කියලා ඔවුන්ට තිබුණු බය. හැබැයි ඉතින් අපි රෑ බෝ වෙලා ආව එක දවසකවත් ඒ සුදු ඇඳගත් උස කෙනා හමුවුණේ නෑ. මම අද‍ටත් ආසයි එයාව දකින්න. ඒ විතරක් නොවෙයි අපට කවදාවත් කැලේදි ලොකු අනතුරක් නම් තවම වෙලා නැහැ.”

වසර කීපයක් විදේශගත වී සිටි කාලයේ හැරුණු විට කිසිම වරෙක හල්මණ්ඩියට යාම විමුක්ති වීරතුංගට මඟ නොහැරෙන්නේ ඒ තරමට ඔහුගේ ජීවිතය ඒ හා බැඳී ඇති නිසාය. තමන්ගේ අඹුදරුවන්, නෑ හිතවතුන් වුව ලස්සන තැනකට ගෙනයන්නැයි කී‍වොත් ඔහු නොවලහා ක්‍රියාත්මක වන්නේ සිංහරාජ‍ෙය් හල්මණ්ඩිය දොළ අසලට ඔවුන් ගෙන යාමටය. එයින් නොනැවතුණු ඔහු නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනය මඟින් මෙරට වැදගත්ම පාරිසරික ස්ථානයක් ගැන මේ දිනවල කරන රූගතකිරීම් සඳහා ද හඳුන්වා දී ඇත්තේ හල්මණ්ඩිය දොළ අවට පරිසරයයි. වසර තිහකට ආසන්න කාලයක් ඔහු ඒ දොළේ දුක සැප හඳුනාගෙන ඇත්තේ මෙසේය.

“අසූවේ දශකයේ මම දැක්ක දොළ අදටත් ඒ විදිහටම තිබෙනවා. නමුත් වටපිට වෙනස‍් වෙනවා. සොබාදහමේ හැටි එහෙම තමයි. සමහර ගස් වැටිලා යනවා. අලුත් ගහකොළ වැඩෙනවා. ඒ වෙනසත් ස්වභාවිකයි.” එ‍සේ කියූ ඔහු මේ පණිවුඩය ද ඒ අතරට එක්කළේය.

“තෙත් කලාපීය වනාන්තර සියල්ල විශේෂයි. ඒ අතරින් සිංහරාජය අපේ රටේ ආවේණික ශාක සත්ත්ව වර්ග බොහෝමයක් දරන නිසා බොහොමත්ම විශේෂයි. අපි මුලින්ම සිංහරාජයට යද්දි එය ලෝක උරුමයක් නොවෙයි. එය ලෝක උරුමයක් කිරීමේ සටනට පුංචි හෝ දායකත්වයක් හෝ ලබාදීමට හැකි වීම මට සතුටක්. ඒ වගේම සොබා දහම විසින්ම සොබාදහමට සිදුවන වෙනස්කම් හැරුණාම අපි මිනිසුන් සොබාදහම වෙනස් කිරීමට අත පෙවීම කනගාටුදායක තත්ත්වයන් ඇති කරනවා. එදා දුටු හල්මණ්ඩිය අදත් එලෙසම පවතින්නේ එය අසල ගැවසුණත් එය අධ්‍යයනය කළත් අපි කිසිවකු එයට අනවශ්‍ය අයුරින් බලපෑම් ‍ෙනාකළ නිසයි. මෙවැනි සොබා උරුමයන් රසවිඳීම ඉතාමත් හොඳයි. නමුත් ඒවා රස විඳිය යුත්තේ ඒවාට හානි නොවන අයුරින් බව සැබෑ සොබා දම් ලෝලීන් දන්නවා. හැම කෙනෙක්ම එසේ සිතනවා නම් අපේ දේවල් අනාගතයටත් රැකේවි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්