ජනපති, මඩකළපු අගරදගුරු හමුවෙයි
ජනපති, මඩකළපු අගරදගුරු හමුවෙයි
ජනාධිපතිතුමා විසින් පසුගිය 21 වෙනිදා දින දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය
විවෘත කළේය. දැයට කිරුළ ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව නැවත්
ජනාධිපතිතුමා පැමිණියේ අනුර යාපා අමාත්‍යතුමාගේ නිවසටය. එදින රාත්‍රී
ආහාරය ජනාධිපතිතුමා ලබා ගත්තේ අනුර යාපා ඇමැතිතුමාගේ නිවෙසිනි.
ජනාධිපතිතුමා එදින නැවැතී සිටියේ ද යාපා ඇමැතිතුමාගේ නිවෙසේමය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්. බී නාවින්න, අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, ජයරත්න හේරත් යන
අමාත්‍යවරුද, වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර ඇතුළු පළාත් සභා නියෝජිතයෝද වයඹ
ආණ්ඩුකාර තිස්ස බලල්ල ද එදින ද රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූහ.
පසුදා එනම් සෙනසුරාදා දිනයේ උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට ජනාධිපතිතුමා සමඟ
අනුර යාපා අමාත්‍යතුමාත් ඔහුගේ සොයුරු චන්දන යාපා පළාත් මන්ත්‍රීවරයාත් එක්ව
සිටියහ.
ව්‍යායාම සඳහා ඇවිදින අතරතුර හිටපු අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යවරයකු
මෙන්ම ප්‍රවීණ අධ්‍යාපනඥයකු වූ අයි.එම්.ආර්.ඒ ඊරියගොල්ල මහතා අධ්‍යාපනය ලැබූ
අයි.එම්.ආර්.ඒ ඊරියගොල්ල මහා විද්‍යාලය අසලින් ජනාධිපතිතුමා ඇතුළු පිරිස
ගමන් ගත්හ.
ඊරියගොල්ල මැතිතුමාගෙන් සාහිත්‍යයට, අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙන්ම රටට වූ
සේවය ගැන සිහිපත් කිරීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය. ජනාධිපතිතුමන්
සමග ව්‍යායාම සඳහා ඇවිදිමින් සිටි අනුර යාපා අමාත්‍යතුමා ජනාධිපතිතුමාට
කීවේ "සර් මාත් මූලික අධ්‍යාපනය ලැබුවේ මේ පාසලෙන් " කියාය. මේ අතරතුර අනුර
යාපා ඇමැතිවරයා ජනාධිපතිතුමාට කීවේ "සර් ද්වීතික පාසැල් 1000 ක් සංවර්ධනය
කිරීමේ වැඩසටහන යටතේ මේ පාසල ද සංවර්ධනය කරමින් තියෙනවා " කියාය.
ජනාධිපතිතුමා ඇතුළු පිරිස මහ පාරේ ඇවිදිමින් යන අතරතුර උදෑසනින්ම සිය
රාජකාරි කටයුතු සඳහා ලහිලහියේ ගමන් කරන ජනතාව සමඟ සහ අතරමඟ හමුවන පිරිස්
සමඟ කතා බහ කිරීමටද ජනාධිපතිතුමා අමතක කළේ නැත.
කංකානිම්මුල්ල රක්ෂිතය මැදින් ගමන් කරන විට ජනාධිපතිතුමා කීවේ ස්වාභාවික
පරිසරයේ වැදගත්කම බොහෝ අය වටහා නොගන්නා බවය. ඒ නිසා වන රක්ෂිත ආරක්ෂා කිරීමත්
පරිසරය සුරුකීමත් පිළිබද ජනතාව දැනුවත් කළයුතු බවත් ජනාධිපතිතුමා
පෙන්වා දුන්නේය.
ගිය බ්‍රහස්පතින්දා දිනයේ(27) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හම්බන්තොට
ප්‍රදේශයේ මැතිවරණ කටයුතුවල නිරතව සිටියේය. ඒ වෙළෙඳ ඇමැති ජොන්ස්ටන්
ප්‍රනාන්දු සමගය. ඇමැති ජොන්ස්ටන් සහ නමල් මන්ත්‍රීවරයා වාහනයේ ගමන් කරමින්
සිටියදි දිනපතා පුවත්පත් බලමින් ගියහ. ඒ සමගම මන්ත්‍රි නාමල් ඇමැති ජොන්ස්ටන්ට
පෙන්වුයේ එක්තරා දිනපතා පුවත්පතක මුල් පිටුවේ තිබු පැසැල් සිසුවියකගේ දෙපා
කෲර ලෙස පුළුස්සා දමා තිබෙන බවට වු වාර්තාවකි.
මන්ත්‍රී නාමල් එම පුවත සම්පුර්ණයෙන්ම කියවා බැලුවේය. මේ සිදුවීමෙන් අසරණ වී
තිබුණේ හොරොව්පතාන මොරකෑව මහා විද්‍යාලයෙන් මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී
සිටි ඒ. රංජනී නම් 17 හැවිරිදි පැසැල් සිසුවියකි. " ඇමැතිතුමා මේ ළමයගේ
දෙමාපියන්ට කොහොමහරි ඉක්මනටම කථා කරන්න. අදම මේ නංගි කොළඹට ගෙනත් ප්‍රතිකාර
කරන්ඩ ඕනේ. මේ දරුවාගේ අම්මට කථා කරලා කොලඹට ගේන වැඩේ ඔබතුමා බාර ගන්ඩ. මං මේ
දරුවාගේ ප්‍රතිකාර කටයුතු ගැන බලා ගන්නම් " මන්ත්‍රී නාමල් ඇමැති ජොන්ස්ටන්ඩ
කිවේය.
කෙසේ වෙතත් ඇමැති ජොන්ස්ටන් ඒ මොහොතේ සිට එම සිසුවියගේ දෙමවුපියන්ට කථා කිරීමට
උත්සාහ කළද එදින රාත්‍රී වෙන තෙක් උත්සාහය අසාර්ථක වීය. අනතුරුව එදින රාත්‍රියේ
කෙසේ හෝ ඇමැති ජොන්ස්ටන් එම සිසුවියගේ දෙමවුපියන් දුරකථනයට සම්බන්දකොට
ගත්තේය. " අම්මේ මං හෙට උදෙන්ම වාහනයක් එවනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා
ඔයාලාගේ දුවගේ කකුල් දෙක සනීප කරන්ඩ උදව් කරනවා කීවා. කොළඹ පෞද්ගලික රෝහලකට
දුව ඇතුළත් කරමු. හෙට උදේන්ම ලෑස්ති වෙන්ඩ " ඇමැති ජොන්ස්ටන් සිසුවියගේ
දෙමාපියන්ට කීවේය.
ඒ අනුව ගිය සිකුරාදා (28) වෙනිදා එම සිසුවිය කොළඹ නවලෝක රෝහටල අතුළත් කොට
තිබිණි. ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කොළඹ එම රෝහලට උදේන්ම
පැමිණියේය. වෛද්‍යවරුන් සමග කථා බහ කළ නාමල් මන්ත්‍රිවරයා කීවේ කෙසේ හෝ මේ
සිසුවියගේ දෙපා සනීප කොට දෙන ලෙසටය.
ඒ සඳහා වැය වෙන ඕනෑම මුදලක් තමන් ගෙවන බවත්
නාමල් මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට කීවේය. " මන්ත්‍රීතුමනි ඔබතුමා හොඳ
වෙලාවට මේ ළමයා අද රෝහලට ගෙනාවේ. නැත්නම් මේ ළමයාගේ තුවාල අනුව මෙයාගේ කකුල්
දෙකම කපලා දාන්ඩ වෙනවා. " වෛද්‍යවරු නාමල් මන්ත්‍රීතුමාට කීහ. බ්‍රහස්පතින්දා
දිනයේ කැබිනට් රැස්වීම නිමා වී එන අතරතුර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුද නවලෝක
රෝහලට ගොස් එම සිසුවියගේ අවශ්‍යතා ගැන සොයා බලා පැමිණියේය.
මෙවර බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින කොළඹ දිස්ත්‍රික්
එ.ජ.නි.ස කණ්ඩායම් නායක උදය ගම්මන්පිලගේ ජයග්‍රහණය පිණිස ගිය සතියේ දී
රත්මලාන ප්‍රදේශයේ දී රැස්වීමක් පැවැත්විණි. කොළඹ දිස්ත්‍රික්කයෙන් එ.ජ.නි.ස
යෙන් තරග වඳින නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ අමල් සිල්වා ද ඒ රැස්වීමට එක්ව සිටියහ.

රැස්වීම පැවැතියේ ශ්‍රි.ල.නි.ප මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේනගේ
ප්‍රධානත්වයෙනි. එහිදී ඇමැති මෛත්‍රී කොළඹ දිසාවේ ජනතාවට විශේෂ පණිවිඩයක්
ලබා දුන්නේය. " මහජන හිතවාදී ගුණාත්මක දේශපාලනයකට රටේ ලොකු ඉල්ලුමක්
තියෙනවා. නමුත් එවැනි දේශපාලඥයන් හිඟයි. දීර්ඝ කාලයක් මගේ මිතුරෙකු වු
ගම්මන්පිල ඒ වගේ චරිතයක්. මේ වගේ චරිත අපට අවශ්‍ය නිසායි අපි එතුමාට නායකත්වය
දුන්නේ. " ඇමැති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය.
ඉන් අනතුරුව ශ්‍රි.ල.නි.ප රත්මලාන ආසන සංවිධායක චන්දන කත්‍රිආරච්චි ද අදහස්
දැක්වුයේය. " උදය ගම්මන්පිල මැතිතුමාට ඉහළම මනාපයක් ලබා දෙන්ඩ මාත් කැප වෙලා
වැඩ කරනවා." රත්මලාන ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායක චන්දන කත්‍රිආරච්චි කියා
සිටියේය.
ඉන් අනතුරුව එදින ගම්මන්පිලගේ රුපියල් සියයේ මැතිවරණ බර පැන සඳහා
මහජනතාවට දායක වීමට නව තාක්ෂණික ක්‍රම දෙකක්ද හදුන්වා දෙනු ලැබිණි. ඒ
අන්තර්ජාලයේ " පේපෑල්" ඔස්සේ ක්‍රෙඩිට් කාඩ් මඟින් ගෙවීමටත් , ඩයලොග් දුරකථන
ජාලය ඔස්සේ ඊසි කෑෂ් මඟන් සහ මොබිටෙල් දුරකථන ජාලය ඔස්සේ එම්කෑෂ් මඟින් මුදල්
පරිත්‍යාග කිරීමේ අවස්ථාවය.
මෙරට රූපවාහිනී නාළිකා මඟින් වෛද්‍ය උපදෙස් ලබා දෙමින් සිය මෙහෙවර වඩාත්
සක්‍රීය ලෙස ඉටු කළ වෛද්‍යවරයෙකු ලෙස කවුරුත් වෛද්‍ය සුදත් දම්සිංහ හඳුනති.
ඔහු මෙවර එ.ජ.නි.සයෙන් කොළඹ දිසාවෙන් බස්නාහිර පළාත් සභාවට තරග වැදී සිටියි.
ඔහුට ගිය සතියේ සඳුදා ජනාධිපති මන්දිරයෙන් ඇමැතුමක් ලැබිණි. ඒ
ජනාධිපතිතුමා පැමිණ හමුවෙන ලෙසටය. වෛද්‍ය දම්සිංහ පළාත් අපේක්ෂකයා
ජනාධිපති මන්දිරයට ගියේ බිරිය වෛද්‍ය සුමුදු විජයවීර මහත්මියද සමඟිනි.
අරලියගහ මැදුරට ගිය සුදත් දම්සිංහගෙන් ජනාධිපතිතුමා විමසා සිටියේ
මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කෙසේද යන්නය." සර් ඡන්ද ව්‍යාපාරය හොඳින් කරගෙන
යනවා." වෛද්‍ය දම්සිංහ කිවේය.
ඉන් අනතුරුව ජනාධිපතිතුමා වෛද්‍ය දම්සිංහ සහ බිරියට අරැයුම් කළේ දිවා
ආහාරය ගැනීම සඳහාය. දිවා ආහාරය ගන්නා අතරතුර ජනාධිපතිතුමා කියා සිටියේ "
ඩොක්ටර් වෛද්‍ය වෘත්තිය වගේ නෙමෙයි දේශපාලනය කියන්නේ. ටිකක් ඉවසීමෙන්
කල්පනාවෙන් කරන්ඩ ඕනේ." කියාය.
" ඒක ඇත්ත සර්. මං මගේ ඡන්ද ව්‍යාපාරයේ පෝස්ටර් ගහන්නේ නෑ. මං මහජනතාවගේ
සෞඛ්‍ය කටයුතු දියුණු කිරීම උදෙසා උපදෙස් සහ මගේ වැඩපිළිවෙළ ගැන පොත් පිංචක්
සකස් කරලා තියෙනවා. " එසේ කියමින් දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව වෛද්‍ය
දම්සිංහ කොළඹ දිසා අපේක්ෂකයා ජනාධිපතිතුමාට සිය මැතිවරණ ව්‍යාපාරය
වෙනුවෙන් සකස් කළ පොත් පිංච පිළිගැන්වුයේය.
" බොහොම හොඳ වැඩක් ඩොක්ටර් කරලා තියෙන්නේ. හොඳම දේ තමයි ඔබ ගැන ජනතාව දැනුම්වත්
කරන්ඩ. ජනතාවට අවබෝධයක් තියෙනවා. මං ඔයා ගැන සතුටු වෙනවා." ජනාධිපතිතුමා
එසේ කියමින් සුදත් දම්සිංහට මැතිවරණ ව්‍යාපාරය හොඳින් කරගෙන යාම සඳහා සුබ
පැතුවේය.
ගිය සතියේ දී ගම්පහ කෑරගල පද්මාවතී පිරිවෙන් විහාරස්ථානයේදී" පුනරුද
පිරිවෙන් ප්‍රතිභා 2014 ගම්පහ උදානය "උත්සවය පැවැත්විණි. ඒ උත්සවය පැවැතියේ
ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝයාවහන්සේගේ
ප්‍රධානත්වයෙනි. ඒ අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය
වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම
ස්වාමීන්වහන්සේ සමඟ කිසියම් කතා බහක නියළී සිටියේය. ඒ මොහොතේ දී
ජනාධිපතිතුමා කෑරගල පද්මාවතී පිරිවෙනට පැමිණ සිටි මහජනතාව සමඟ සුහද ලෙස
කතා බහ කරමින් සිටියේය. එය දුටු මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම
ස්වාමීන්වහන්සේ ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට කීවේ අපුරු කතාවකි. " ඇමැතිතුමා
ජනාධිපතිතුමා නිසා අපේ ඇමැතිවරුන් නිවන් දකිනවා වගේයි. මොකද
ජනාධිපතිතුමාගේ ආලෝකය තමයි එයාලට ලැබිලා තියෙන්නේ" කියාය.
මෙරට තරුණ තරුණියන්ට රූපවාහිනී මාධ්‍ය කලාවේ නවමු අද්දැකීම් විඳ ගන්නට ඉඩ කඩ
විවර කර දුන් පුද්ගලයකු ලෙස නිතීඥ සුසාර ඩිනාල් කවුරුත් හඳුනති. ඔහු මෙවර
ගම්පහ දිසාවෙන් එ.ජ.නි.ස යටතේ දේශපාලන තරග බිමට පිවිස සිටී. මේ දිනවල නිතීඥ
සුසාර ඩිනාල් මැතිවරණ ව්‍යාපාරයේ දැඩි කැපවීමෙන් කටයුතු කරමින් සිටී. මේ
අතරතුර ගිය සතියේ දිනයක රාත්‍රී එකොළහට පමණ ඔහුට දුරකථන ඇමැතුමක් ලැබිණි.
ඒ නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්නගෙනි. " සුසාර කොහේද ඉන්නේ" ලසන්ත
ඇමැතිවරයා විමසා සිටියේය.
" ඇමැතිතුමා මං කිරිබත්ගොඩ කාර්යාලයේ ඉන්නේ."සුසාර පිළිතුරු දුන්නේය. ඒ සමඟම
ඇමැති ලසන්ත අලගියවන්න කීවේ ඔයා කාර්යාලයේම ඉන්න කොහේවත් යන්ඩ එපා කියාය.
ඒ දුරකථන ඇමැතුම ලැබී විනාඩි විස්සකට පමණ පසුව නීතීඥ සුසාර ඩිනාල්ගේ
කාර්යාලයට ආවේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාය. " කොහොමද සුසාර
මැතිවරණ වැඩ කටයුතු. මොනවද මගෙන් වෙන්ඩ ඕනේ. මොනවාහරි අවශ්‍යතාවක්
තියෙනවා නම් මට කියන්ඩ. " ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සුසාරට කියා සිටියේය.
" සුසාර මොනවද වැඩිපුර අවධානය යොමු කරලා තියෙන ආසන. " ඇමැති බැසිල් විමසා
සිටියේය. " සර් කැලණිය, කටාන , දිවුලපිටිය සහ මිනුවන්ගොඩ තමයි මං වැඩිපුරම
අවධානය යොමු කරලා තියෙන ආසන. "සුසාර කියා සිටියේ. ඒ සමඟම ඇමැති බැසිල් විමසා
සිටියේ ඒ අසනවලට විතරක් වැඩි අවධානයක් යොමු කළේ ඇයි කියාය.
" නෑ සර්. මගේ ඥාතීන් වැඩිපුර ඉන්න ආසන වගේම මං හැදුණ වැඩුණ ප්‍රදේශ ගැන මං වැඩි
අවධානයක් යොමු කළා." සුසාර ඇමැති බැසිල්ට කියා සිටියේය.
ඉන් අනතුරුව නිතීඥ සුසාර ඩිනාල් සිය මැතිවරණ වැඩපිළිවෙළ ගැන උපදෙස් ලබා
ගැනීමට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය පුෂ්පා රාජපක්ෂ
මැතිනියද හමුවී සාකච්ඡා කළේය.
" මැඩම් මගේ අරමුණ තමයි පළාත් සභාවට පත් වුණාම තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය
පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම. වඩු වැඩ , මේසන් වැඩ මේ වගේ වෘත්තීන් ගෞරවනීය
විදියට කරගෙන යන්ඩ ඉඩකඩ තියෙන්ඩ ඕනේ. " නිතීඥ සුසාර ඩිනාල් කියා සිටියේය.
" ඒක ඇත්ත දියුණු රටවල ඒ වගේ වෘත්තීන් කරන අයට ලයිෂන් එකක් දීලා තියෙනවා. ඒක
වඩාත් ගෞරවනීය වෘත්තියක්" පුෂ්පා රාජපක්ෂ මැතිනිය කීවාය.
" හැබැයි ඉතින් මැඩම් මට සල්ලි නෑ එක එක්කෙනාට බෙද බෙදා යන්ඩ." සුසාර කීවේය.
" මැතිවරණවලදී බඩු මුට්ටු බෙදුවට වැඩක් නෑ. සල්ලි බෙදුවට වැඩක් නෑ. ජනතාව
දැන් රවටන්ඩ බෑ. මිනිස්සු හොඳ මිනිස්සු තමයි දිනවන්නේ " පුෂ්පා රාජපක්ෂ මැතිනිය
සුසාර ඩිනාල්ට උපදෙස් දෙමින් කීවේය.
මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට එස්. එම් මරික්කාර් නම් මාධ්‍යවේදීයා ඉතා හුරු
පුරුදු කෙනෙකි. ඔහු මෙවර එ.ජා.ප යෙන් කොළඹ දිසාවට තරග වැදී සිටියි. ගිය සතියේ දී
එ.ජා.ප අපේක්ෂක මරික්කාර්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කෙරුණේ කොළඹ
මාලිගාවත්තේදීය. ඒ එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තානායකගේ ප්‍රධානත්වයෙනි.
විශාල එ.ජා.ප අපේක්ෂකයන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. එම අවස්ථාවේදී
එ.ජා.ප මහලේකම්වරයා මරික්කාර් ගැන චරිත සහතිකයක් එ.ජා.ප පාක්ෂිකයන්ට
දුන්නේය. " මරික්කාර් එ.ජා.ප යෙන් මැතිවරණයට තරග කරන එක ගොඩක් වටිනවා.
ඇත්තටම මරික්කාර් කියන්නේ අපේ කෙනෙක්. මරික්කාර්ට නාමයෝජනා ලබා දෙනකොට
ප්‍රශ්න ආවා. නමුත් අපි ඔහුට අවස්ථාව දුන්නා. ඒ නිසා මං කොළඹ දිසාවේ අපේ
පාක්ෂිකයන්ට කියනවා මරික්කාර් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉහළින්ම දිනවන්ඩ
කියලා. මරික්කාර්ට කොළඹ මුස්ලිම්, සිංහල සහ දෙමළ කියන හැම ජනවර්ගයකම සහයෝගය
තියෙනවා. " එ.ජා.ප මහ ලේකම් තිස්ස එ.ජා.ප අපේක්ෂක මරික්කාර්ට හොඳ චරිත
සහතිකයක් දුන්නේය.
කරු ජයසූරිය ඇතුළු එ.ජා.ප නායකත්ව මණ්ඩලයට පසු ගිය දින කිහිපය කාර්ය බහුල
විය. ඒ බස්නාහිර සහ දකුණු පළාත් මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා
මැතිවරණ ප්‍රතිපත්ති මාලාව සකස් කිරිම, ජනජය වැඩ පිළිවෙළේ ඉදිරි කටයුතු
සැලසුම් කිරීම, ආසන හා දිස්ත්‍රික්ක මට්ටමේ සංවිධාන ජාලය පණ ගැන්වීම ආදී කටයුතු
රැසක් එ.ජා.ප නායකත්ව මණ්ඩලයට පැවැරී තිබීමය.
ඒ අනුව පසුගිය සති අන්තයේ දී කරු, තිස්ස,කබීර්, ඇතුළු නායකත්ව මණ්ඩලයේ සභිකයෝ
හම්බන්තොට හා ගාලු දිස්ත්‍රික්කයේ සියලු එ.ජා.ප අපේක්ෂකයන් හමු වුහ.
හම්බන්තොට දී සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමත්, ගාල්ලේ දී වජිර හා ගයන්ත ඇතුළු
කණ්ඩායමත් හමු විය. එහිදී අදාළ මැතිවරණ උපදෙස් ලබා දීම කෙරුණේ මහලේකම් තිස්ස
අත්තනායක විසිනි. කබීර් හෂීම් එ.ජා.ප සභාපතිවරයා විසින් “ජනජය”වැඩපිළිවෙළ
ක්‍රියාත්මක කිරීම හා ඒ මඟින් ලැබෙන දේශපාලන ශක්තිය පැහැදිලි කරන ලදී.
අපේක්ෂකයන්ගේ හා සංවිධායකවරුන්ගේ උනන්දුව, ආශිර්වාදය හා සුබවාදී
ආකල්පය මෙහිදී කරු ජයසුරිය නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයාගේ ප්‍රශංසාවට
ලක් විණි. එම සාකච්ඡා ඉතා සුහදශීලිව පැවැත්විණි.
මේ ගමනේ දී කරු, තිස්ස හා සජිත් එකම වාහනයක ගමන් කළහ. මැතිවරණ කාලයේ දී වැඩි
වශයෙන් ප්‍රයෝජනයට ගන්නා අත්‍යවශ්‍ය පහසුකම්වලින් සැදුම්ලත් කරුට අයත්
වාහනය ඒ සදහා යොදා ගැනිණි. පැය 05 ක පමණ කාලයක් තිස්සේ වාහනයේ ගමන්ගන්නා
අතරවාරයේ දී විඩාව මඟහරවා ගැනීමට ඔව්හු “ගාන්ධි” ඇතුළු චිත්‍රපට කිහිපයක්
නැරඹූහ.
මීගමුවේ රන්බඩු සාප්පුවක් කොල්ලකෑම නිසා ගිය සතියේ ගම්පහ දිසා එ.ජා.ප බස්නාහිර
පළාත් සභා අපේක්ෂකයෙකු පොලිස් අත්අඩංගුව ගැණිනි. රොයිස් ප්‍රනාන්දු නම් එම
පළාත් අපේක්ෂකයා හමු වීමට ගිය සතියේ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව
සේනසිංහ ගියේය. මන්ත්‍රීවරයා පොලිස්පතිවරයාගෙන් විශේෂ අවසරයක් ගෙන
මෙලෙස ගම්පහ දිසා අපේක්ෂකයා හමුවීමට ඔහු රදවා සිටින ස්ථානයට ගියේය. එම
අපේක්ෂකයා මන්ත්‍රී සුජීවට කථාකර නිතීඥ සහාය ඉල්ලා සිටිම මේ හමුවට හේතු වීය.
" හොඳයි මං පක්ෂය වෙනුවෙන් ඕනෑ උදව්වක් කරන්නම්. නොමිලේ වුණත් මං නිතීඥ සහාය
දෙන්නම්." සුජීව සේනසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේය.
පාර්ලිමේන්තු වටරවුමේ පිහිටි පාලමේ පළමු කොටසේ ඉදිකිරීම් ගිය සතියේ අවසන්
වීය. එම පාළමේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරිමට ගිය සතියේ ජනාධිපතිතුමා
ගියේය. පාළම නිරීක්ෂණය කිරීටම යාමට පෙර ජනාධිපතිතුමා ආරක්ෂක අංශයට කීවේ
මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි සම්බන්ධ කර දෙන ලෙසටය.
" ලේකම්තුමා මං හෙට උදේ හටය පාළම බලන්ඩ එනවා." ජනාධිපතිතුමා කීය. ඒ අනුව
ජනාධිපතිතුමාත් , කඩුවෙන නගරාධිපති ජී.එච් බුද්ධදාස සහ මහාමාර්ග
අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිස උදේ හය වෙන විට පාර්ලිමේන්තු වට රවුමට
ගොස් පාළම නිරීක්ෂණය කළේය.
" අපි මේ හැම දෙයක්ම කරන්නේ මහජනතාව වෙනුවෙන්. ඒ නිසා දැන්ම මේ මාර්ගය විවෘත
කරන්ඩ. " ජනාධිපතිතුමා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට කීවේය. ඉන්
අනතුරුව ජනාධිපතිතුමා කීවේ ව්‍යායාම ඇවිදීමේ පථයට යා යුතු බවය. ඒ සමගම
ආරක්ෂක අංශ නිලධාරීන් මාර්ගයේ එක් කොටසක් වසා දැම්මේය. ජනාධිපතිතුමා එය
දුටු විගසම කීවේ. " මං මෙතැනට ආවා කියලා පාර වහන්ඩ එපා. මේ වෙලාවේ පාසැල් යන
දරුවෝ සහ කාර්යාලවලට යන ජනතාවට අපහසුතාවයක් වේවි. " ජනාධිපතිතුමා එසේ
කියමින් වසා දැමු මාර්ගය යළි විවෘත කළේය.
ව්‍යවසාය සංවර්ධන ඇමැති බසීර් සේගුදාවුද්ගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසු
ගිය සතියේදී මඩකලපුවේ තරු පංතියේ හෝටලයකදී පැවැත්විණි. මේ විවාහ මංගල
උත්සවයට මඩකලපුව බිෂොප්තුමාත් පැමිණ සිටියේය. නමුත් බිෂොප්තුමා පැමිණ ටික
වේලාවකින් නික්ම ගියේය. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමාට මඩකලපුව
බිෂොප්තුමා සමඟ වැඩි යමක් කතා බහ කරන්නට නොහැකි විය.
ඒ නිසා එම විවාහ මංගල උත්සවය නිමා වී ආපසු එන අතරතුර ජනාධිපතිතුමා සිය
ආරක්ෂක අංශයට කීවේ මඩකලපුව බිෂොප්තුමාගේ නිවෙසට යා යුතු බවය. එහි යන විට
බිෂොප්තුමා සිටියේ නිල නිවෙසේය. ජනාධිපතිතුමා එක් වරම බිෂොප් නිල නිවෙසට එනු
දැක එහි මුරකරු පුදුමයට පත් විය. ඉන් අනතුරුව මුරකරු බිෂොප්තුමාට දැන්වුයේ
ජනාධිපතිතුමා පැමිණ ඇති බවය. බිෂොප්තුමාද එක් වරම කලබලයට පත් වුයේ
ජනාධිපතිතුමාගේ පැමිණීම නිසාය.
" බිෂොප්තුමනි. මට මඟුල් ගෙදරදී ඔබවහන්සේ එක්ක හරියට කතා කරන්ඩ බැරි වුණා. ඒ
නිසායි අපි යන පාරේම ඔබවහන්සේගේ නිල නිවෙස තියෙන නිසා ගොඩ වෙලා යන්ඩ හිතුවා. "
ජනාධිපතිතුමා කියා සිටියේය.
" මං හිතුවේ නැහැ ජනාධිපතිතුමනි ඔබතුමා පැමිණේවි කියලා. නොකියාම ආවේ ඇයි."
බිෂොප්තුමා ජනාධිපතිතුමාගෙන් විමසා සිටියේය.
" බිෂොප්තුමනි. කොහොමද මෙහේ තත්ත්වය" ජනාධිපතිතුමා විමසා සිටියේය.
"මෙහේ ප්‍රශ්නයක් නෑ. ජනතාව සතුටින් ජීවත් වෙනවා. මේ ප්‍රදේශ සංවර්ධනය
වෙනවා. ඒ ගැන සතුටුයි." මඩකලපුව බිෂොප්තුමා කියා සිටියේය.
මේ අතරතුර ගිය සතියේ දී ජනාධිපතිතුමා පුත්තලම ඇතුළු ප්‍රදේශ ගණනාවක
සංවර්ධන කටයුතු රැසක් විවෘත කිරීමේ අවස්ථාවන්ට එක් විය. පුත්තලම ගැන පැරැණි
කතාවක් තිබේ. එනම් "එන්තල් පෝනාලුම් , පුත්තල් පෝකාදේ " යන්නයි. එහි සිංහල අරුත
නම් " මොන දිසාවට ගියත් පුත්තලමේ යන්ඩ එපා" කියාය.
මේ අතරතුර ජනධිපතිතුමා එදින විවෘත කිරීම් කීපයක් සඳහා පුත්තලම සහිරා
විද්‍යාලයටද ගියේය.

ජනාධිපතිතුමා පිළිගැනීමට සහිරා විද්‍යාලයේ සිසුවියෝ පෙරමඟ බලා සිටියහ.
ෆර්දාව හැඳගත් සිසුවියෝ ජනාධිපතිතුමට දෑත දිගු කරමින් අතට අත දෙමින්
උණුසුම් ලෙස පිළිගත්හ. සහිරා විද්‍යාලයේ ශ්‍රවණාගාරය ඉදිකොට දී තිබුණේ
ඒ.එච්.එම් අස්වර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ විමධ්‍යගත අරමුදල්වලිනි. ඒ
නිසා එම ශ්‍රවණාගාරය නම්කොට තිබුණේ" ඒ.එච්.එම් අස්වර් ශ්‍රවණාගාරය "ලෙසය.
එය දුටු ජනාධිපතිතුමා විමසා සිටියේ " ආ මොකද මේ ඔයාගේ නම නේද තියෙන්නේ කියාය.
"ඔව් සර් මගේ විමධ්‍යගත අරමුදල්වලින් මේ ශ්‍රවණාගාරය ඉදි කෙරෙව්වේ."
අස්වර් මන්ත්‍රීවරයා ජනාධිපතිතුමාට කියා සිටියේය. " මට ලොකු සතුටක්
දැනෙනවා. අස්වර් මන්ත්‍රීතුමා ගොඩනඟපු මේ ශ්‍රවණාගාරයේ වේදිකාවේ ඉදලා කතා
කරන්ඩ ලැබීම ගැන. " ජනාධිපතිතුමා කියා සිටියේය.
ඉන් අනතුරුව ජනාධිපතිතුමා විමසා සිටියේ නයින මරික්කාර් හිටපු
ඇමැතිවරයාගේ පවුලේ සිටින්නේ කවුදැයි කියාය.
එහි සිටි කීප දෙනෙක්ම නයින මරික්කාර් හිටපු ඇමැතිවරයා මැතිවරණයෙන් පරාජය
කළ එම්.ඊ අසන් කුස්දුස් ගැන කීහ. එකල සිය ව්‍යාපාරික ඥානය උපයෝගී කරගෙන අසන්
කුස්දුස් විසින් නෛයින මරික්කාර් මැතිවරණයෙන් පරාජය කොට තිබුණේ අපුරු
ක්‍රමයකටය. ඒ අපුරු ක්‍රමය ගැනද එහි සිටි පිරිස ජනාධිපතිතුමාට කීවේ රසවත්
ලෙසටය.
මේ අතරතුර ඒ.එච්.එම් අස්වර් මන්ත්‍රීවරයා ජනාධිපතිතුමාට හඳුන්වා දුන්නේ
මිනිස් අලි ගැටුමට පිළියමක් ලෙස අත්හදා බැලීමක් සිදු කළ කෘෂිකර්ම පර්යේෂණ
නිලධාරියෙකි.
" සර් මෙයා පර්යේෂණයක් කරලා හොයා ගෙන තියෙනවා අලින් තල් වැටට බයයි කියලා. ඒ
නිසා වල් අලි මිනිස් ගම් වැදීම නවත්වන්ඩ තල් ගස් වැවීම සුදුසුයි කියලා මෙයා
සොයාගෙන තියෙනවා" ඒ.එච්.එම් අස්වර් මන්ත්‍රීවරයා ජනාධිපතිතුමාට කියා
සිටියේය.
" සර් අපි මුස්ලිම් ගමකට ගියාම හැම ගෙදරකටම යන්ඩ ඕනෑ. සර්ට පුදුම
ළෙන්ගතුකමක් තියෙන්නේ මුස්ලිම් ජනතාවගේ" ඒ.එච්.එම් අස්වර් මන්ත්‍රීවරයා
ජනාධිපතිතුමාට කියා සිටියේය.
චන්දන බණ්ඩාර
[email protected]
|