දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»

අද මිනිස්සු එදා වේල පිරිමහගන්න බැරුව ඉන්නෙ

අද මිනිස්සු එදා වේල පිරිමහගන්න බැරුව ඉන්නෙ

මොනරාගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී

රංජිත් මද්දුම බණ්ඩාර

“අද විශාල ආණ්ඩු විරෝධී රැල්ලක් හැම ගෙදරකම කුස්සියෙන් ම ඇරැඹී ඇති බවත් එය මෙදා ඡන්දයෙන් එළියට ඒම මොන ජගතකුටවත් වැළැක්විය නොහැකි වනු ඇති බවත් මොනරාගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.

‘සිළුමිණ’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කළේ ය. එහිදී ඇසූ ප්‍රශ්න කිහිපයක් හා ඒවාට මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා දුන් පිළිතුරු මෙසේ ය.

මේ ඡන්දයත් ආණ්ඩුවම දිනනු ඇති බවට මේ වෙනකොට අනාවැකි පළවෙමින් තියෙන්නේ ඔබ විපක්ෂ ප්‍රධානියකු විදියට කුමක්ද කියන්නේ?

“ආණ්ඩුව වාසියට මාධ්‍ය සියල්ල යොදාගෙන රාජ්‍ය සම්පත්, රාජ්‍ය මාධ්‍ය යොදාගෙන තමුන් දිනන බව කියන එක ඇත්ත. නමුත් අද ගමට නගරයට ගියාම නම් ආණ්ඩුවට හොඳක් කියන කිසිවෙක් හොයාගන්න බැහැ. මිනිස්සු එදා වේල පිරිමහ ගන්න බැරුව ඉන්නේ. ආණ්ඩුව බදු ගහල, බඩු මිල වැඩි කරන බව ජනතාව දන්නවා. ආණ්ඩුවේ ගිනි කන බදු අඩු කළොත් මේ බඩු මිල හොඳටම අඩු කරන්න පුළුවන් බවත් ජනතාව දන්නවා.”

“අනිත් පැත්ත බලන්න අද රට දුරාචාරයෙන් වැසිල ගිහිල්ලා, දූෂණය භීෂණය විතරක් නොවෙයි කුඩු එතනෝල් ගෙන්වීම ගැනත් ආණ්ඩුවේ ම ලොක්කන්ට චෝදනා තියෙනවා. ඒ විතරක් නොවෙයි අද රටම එකම අවුලකට පත්වෙලා තියෙන්නේ. දිනෙන් දින වි‍‍‍රෝධතා වීදි බසිනවා.

පාසල් පරිපාලනය එකම අවුලකට පත් කරලා. සුදුස්සාට සුදුසු තැන දීලා නැහැ. හැම තැනම දේශපාලන පන්දම් කාරයෝ රජ කරනවා. අධ්‍යාපන කාර්යාල - පන්දම් කාරයන්ගෙන් වැහිලා සුදුස්සෝ තනතුරු නැතිව සිටිද්දී පුස්සෝ රජ වෙනවා.”

ඔබ ආණ්ඩුවේ ඉන්න හොරු ගැන කතා කෙරුවත් යූඇන්පීය මේ ඡන්දෙටත් හොරු දාල කියල හොර නාමයක් ග‍ෑවිලා තියෙනව නේද?

“ඒක චෝදනාවක් විතරක්නේ. තවමත් ඔප්පු වෙලා නැති එකක් ගැන ඔප්පු වෙලා වගේ පොලිසිය කතා කළා. අපේ එක හොරෙක් ගැන කතා කරද්දී ආණ්ඩුවේ ඉන්න මෙගා හොරු ගැන කතා නොකරන්නේ ඇයි. අද දූෂණය, වංචාව රජ කරන යුගයක් මේ ආණ්ඩුව නිර්මාණය කරල තියෙන්නේ.

අපි ඡන්දයට මිනිහෙක් දාන කොට උප්පැන්නේ චරිතෙ බලල තමයි දාන්නේ. ඒත් වැරැදි කාරයෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඕන කෙනෙකුට චෝදනා එල්ල කරල මාධ්‍යවල දාන්න පුළුවන්. නමුත් මෙතන තියේනනේ චෝදනාවක් විතරයි. චෝදනා ඔප්පු වෙනකම් ඔහු නිවැරැදි කාරයෙක්.

මේ ර‍ෙට් නීතිය අනුව සැක කාරයෙක් වැරැදි කාරයෙක් කරන්න පොලිසියට බලය දී නැහැ. පොලිසිය පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක වරයා ආණ්ඩුවේ ප්‍රකාශකයා වුණේ කොහොමද කියලයි අපි අහන්නේ. මේ තනිකරම අගතියෙන් කරපු ප්‍රකාශයක්. මේක චෝදනාවක් විතරයි කියන ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාම කිව යුතුයි.

මේ බලන්නේ වැරැදි ප්‍රචාර කරල එජාපය වට්ටන්න. එජාපය ගැන අද හොඳටම ආණ්ඩුව කලබල වෙලා ඉන්නේ. ඇයි ඒ ගොල්ලො එක ඇඟිල්ලක් අපේ පැත්තට එල්ල ‍කරන කොට ඇඟිලි හතරක් ඒ ගොල්ලො පැත්තට එල්ල වෙලා තියෙන බව ආණ්ඩුවේ ඉන්න අයම දන්නවා. ඒකයි මේ බය. ආණ්ඩුවට විරුද්ධව තියන චෝදනා ඒ තරම්ම බරපතළයි.

රට තියෙන්නේ ගිනි ගොඩක් උඩ. ආර්ථිකය කාබාසීනියා කරල දාලා නැව් නැති වරායවල් ගුවන් යානා නැති ගුවන් තොටු‍ෙපාළවල් මේ ආණ්ඩුවේ සුදු අලි. රටට ආයෝජන එන්නේ නැහැ. අලුත් කම්හල් හැදෙන්නේ නැහැ. රට ලෝකෙන් කොන් කරන ප්‍රතිපත්තියක් නැති විදේශ ප්‍රතිපත්තිය රට නැත්තටම නැති කරන තැනට ගෙනල්ලා.”

ඔබ කතා කරන්නේ නොකීවත් ජිනීවා හි අපේ රටට විරුද්ධව එල්ලවන චෝදනා ගැන. මේ රටට විරුද්ධ අභියෝග ගැන ‍ඔබ කියන්නේ කුමක්ද?

“යුද්ධය ගැන මේ රටට චෝදනා කරනව නම් රණවිරුවන්ගේ ක්‍රියාකාරිත්වය ගැන කවුරු හරි විරුද්ධව කතා කරනවා නම් ඒ අයට ඒ චෝදනාවලට අපි විරුද්ධයි. එයට විරුද්ධව කොන්දේසි විරහිතව අපි සහාය දෙනව විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

මොකද ප්‍රභාකරන් මිනී මරුවෙක් බව ඔහු කළේ මිනීමැරුම් බව මේ ලෝකෙ කාටවත් රහසක් නෙවෙයි. එහෙම ත්‍රස්තවාදයක් මෙල්ල කිරීම යුද අපරාධයක් නොවෙයි. ලෝක යුක්තිය ඉෂ්ට කිරීමක්. ඇයි ඒක දෙපයින් හිටල කියල මේ චෝදනා රජයට නවත්තන්න බැරි. ඇයි ඒ ශක්තිය තියෙන අය ඒ හැකියාව තියන අය ජිනීවා වලට යවල මේ ප්‍රයෝග කාරයන් පරද්දන්න රජය ක්‍රියා නොකරන්නේ.”

“හැබැයි එතැනදී මේ රටේ මාධ්‍යවේදීන් මැරීම ගැන, මාධ්‍යවේදීන්ට කරන අසාධාරණය ගැන ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට කරන අසාධාරණය ගැන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට කරන අසාධාරණය ගැන චෝදනා කරනව නම් අපිට ආණ්ඩුවට සහාය දෙන්න බැහැ.

ඇයි ආණ්ඩුව යුද්ධෙ පස්සෙවත් මේ රටේ මිනිස්සුන්ට නියම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොදෙන්නේ යහපාලනය ඇති නොකරන්නේ ඇයි. ඒවයින් වෙලා තියෙන එක තමයි රටම පිරිහීගෙන යන්නේ. ආගමික නායකයෝ විතරක් නෙවෙයි සිහි මොලේ තියෙන ඕන කෙනෙක් අද පිළිගන්නව මේ රට යන්නෙ ඉහළට නෙවෙයි වළපල්ලට කියලා.

හැදියාව සාරධර්ම මේ ඔක්කොම හෝදා පාළු වන යුගයක් මේ පාලකයෝ රටේ නිර්මාණය කරල තියෙනවා. කුඩු ගේන්නේ ආණ්ඩුවේ උදවිය. එතනෝල් ගෙනල්ලා අරක්කු කරන අය රටම දන්නවා. එහෙම තියෙද්දී අපිට හොර නාමයක් ගාවන්න හදනවා.”

කොටින්ගෙන් සල්ලි අරන් යුද්ධය හෙළා දැකපු එජාපයේ ප්‍රබලයන් ගැන කොළඹ එජාප නගරාධිපතිවරයා ම කරන හෙළිදරව්ව ගැන කියන්නේ කුමක්ද?

“ඒ ගැන මට කියන්න තියෙන්නේ කවුරු හරි තමුන් වපුරන දේ තමයි කපා ගන්න වෙන්නේ කියලා. හැබැයි ඕක එක්කෙනෙකුට කරන චෝදනාවක්. නමුත් ඒ අය කරපු බහු බූත කතා අල්ලගෙන එජාපයට චෝදනා කරන්න බැහැ. අපි එදත් අදත් රණවිරුවන් එක්ක ඉන්නවා.”

කොළඹ නගරාධිපතිටත් තමන්ගේ ජනප්‍රිය බිරිය පළාත් ඡන්දයට ඉදිරිපත් කරන්න බැරිව ගියා නේද?

“ඒක කනගාටුදායක තත්ත්වයක්. ජනප්‍රිය චරිත තමයි මැතිවරණයකට ඉදිරිපත් කරන්න ඕන. මාත් ඒ ගැන නගරාධිපතිතුමාට කනගාටුව පළ කළා. ඒක විශාල අසාධාරණයක් එහෙම අඩුපාඩු තිබුණත් අපි මේ පළාත් සභා දෙකට හොඳම කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරල තියෙනවා. ඔවුන්ගේ ජයග්‍රහණය ස්ථිරයි. අපි මෙදා ජනපතිතුමාගේ උපන් පළාතෙන් ම අපේ ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමේ අභියෝගය බාර ගන්නවා.

කොළඹ එජාප නගරාධිපතිවරයා‍වත් ඡන්දෙට බහින්නේ නැහැනේ. අද එජාපෙ බෙදීම උග්‍රවෙලා නේද?

“ඔය එතුමාගේ විරුද්ධකාරයෝ ඉන්න තැනට නාවත් මේ ඡන්දෙන් එජාපය දිනවන්න අපේ නගරාධිපතිවරයා ඉදිරිපත් වෙනවා. එතුමා හම්බන්තොට ඡන්ද වේදිකාවටත් නගින බව මට කිව්වා.”

කැඳ හැලියක් වෙලා තියනව කියන එජාප නායකත්ව මණ්ඩලය ගැන කියන්නේ කුමක්ද?

“ඔය නායකත්ව මණ්ඩලය ගැන නම් මම වචනයක්වත් කතා කරන්නේ නැහැ.

ඔය මණ්ඩලේ වැඩි හරියක් ඉන්නේ වෙන පක්ෂවලින් ආපු ආණ්ඩුවෙන් තනතුරු නැතිව වගේ ආ අය. එතන ඔරිජිනල් යූ.ඇන්.පී. කාරයෝ නැහැ.”

“අපිට ඕන කුලියට ගත්තු අය නොවේ. යූ.ඇන්.පී. කාරයන්ගේ නායකත්ව මණ්ඩලයක්.”

එජාපයේ බෙදීම ඔබේ ඔය චෝදනාවෙනුත් පේනවා?

“අපිට ඕන ඡන්දය දිනන්න වගේ ම දිනන එක්සත් ජාතික පක්ෂයක්. පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය හැම තැනම තියෙන්න ඕන. අපි ඡන්දය දිනනව වගේ ම එජාප ඡන්දය දිනන විදියට වෙනස් වෙන්න ඕන.


පුතාට වුණත් මගේ වැඩි සැලකිලි නෑ

ඇමැතිතුමනි දකුණු පළාතේ මැතිවරණ සටන කොහොමද?

දකුණු පළාතේ කිසිම මැතිවරණ සටනක් නෑ. මගේ දිස්ත්‍රික්කය ගත්තොත් මාතර දිසාවේ කිසිම මැතිවරණ සටනක් නෑ. ඇත්තටම මැතිවරණ සටන ඇල්මැරුණු එකක්. විරුද්ධ පක්ෂවල කිසිම සංවිධාන ශක්තියක් නෑ.

නමුත් එ.ජ.නි.ස ය විදියට අපි ඉතාම විශිෂ්ට ආකාරයෙන් මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා. මං විශ්වාස කරනවා මෙවර මාතර දිසාව එ.ජ.නි.ස ය වැඩි ඡන්ද 150.000කින් විතර ජය ගනීවී කියලා.

එ.ජ.නි.ස ය පළාත් සභාවේ මාතර දිසාවෙන් මන්ත්‍රී ආසන කීයක් විතර බලාපොරොත්තු ‍වෙනවාද?

ගිය පාර මාතර දිසාවෙන් එ.ජ.නි.ස යට මන්ත්‍රී ආසන 12ක් ලබා ගත්තා. නමුත් මැතිවරණ නීතිය අනුව මැතිවරණ නිර්ණය කිරීම් අනුව හම්බන්තොට දිසාවේ ජනගහන අනුපාතය අනුව ගාල්ල සහ මාතර දිසාවන්ට පළාත් සභාවේ හිමි වෙන මන්ත්‍රී ආසනවලින් එක බැගින් අඩු වෙලා මන්ත්‍රී ආසන දෙකක් හම්බන්තොට දිසාවට එක් වෙලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ගිය වර මෙන්ම මාතර දිසාවෙන් එ.ජ.නි.සයට මන්ත්‍රී ආසන 12 ක් ලබා ගන්ඩ හැකි වේවි කියලා.

හොඳයි සමස්ත දකුණු පළාතෙන් එ.ජ.නි.ස ය බලාපොරොත්තු‍ වෙන ප්‍රතිඵලය මොන වගේද?

අපි දකුණු පළාත් සභාවේ සමස්ත මන්ත්‍රී ආසන ප්‍රමාණයෙන් තුනෙන් දෙකක මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගන්ඩ පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා.

ඒ කියන්නේ මොන වගේ ඡන්ද ප්‍රතිශතයක් එ.ජ.නි.ස යට ලැබේවිද ?

මගේ විශ්වාසයේ හැටියට සියයට හැටත් හැට පහත් අතර ඡන්ද ප්‍රතිශතයක් එ.ජ.නි.ස යට ලබා ගන්ඩ පුළුවන් වේවි.

එතකොට ඔබතුමාලා දකුණු පළාතේ විරුද්ධ පක්ෂය ගැන අඩු තක්සේරුවකද ඉන්නේ?

පැහැදිලිවම. ඒකට හේතු ‍තියෙනවා. විපක්ෂයට කිසිම සංවිධාන ශක්තියක් නෑ‍. ආණ්ඩුව ගමට ගෙනිහින් තියෙන සංවර්ධනයට මුහුණ දීමේ ශක්තියක් විපක්ෂයට නෑ. ඒ නිසා විපක්ෂයට ග්‍රාමිය වශයෙන් ඡන්දයකට ඔරොත්තු දීමේ හැකියාවක් නෑ. ග්‍රාමීය ජනතාව බලාපොරොත්තු වෙන සංවර්ධනය මේ රජය ගමට ලබා දී තිබෙනවා.

අද ගමේ පාලම් , බෝක්කු , ප්‍රජා ශාලාව, පන්සල, පල්ලිය , පාසල වේගවත් සංවර්ධනයක් ලබා ගෙන තිබෙනවා. දිවි නැඟුම වැනි ව්‍යාපෘති මගින් ගමේ ජනතාවගේ ආර්ථිකයට ශක්තියක් දී තිබෙනවා. අද ගමට මුදල් යනවා.

විශේෂයෙන්ම දකුණු පළාතේ තේ, කුරුඳු සහ රබර් තමයි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග වෙන්නේ. මේ හැම දෙයකටම අද ඉහළ මිලක් ලැබෙනවා. ගොවීන්ට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඒ නිසා එ.ජ.නි.ස ආණ්ඩුව ගැන ගමේ ජනතාවගේ විශ්වාසය දෙගුණ තෙගුණ වී ති‍බෙනවා. එහෙම වෙනකොට විරුද්ධ පක්ෂය ගැන අවතක්සේරු නොකර වෙන මොනවා කරන්ඩද

ජනතාව නිහඬව ඉඳලා රජයට පණිවිඩයක් දෙන්ඩ බැරි නැහැ නේද?

අපිට ඡන්ද ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා. අපි ගමේ ජීවත්වෙන මහජන නියෝජිතයෝ. ගමේ ඉන්න ඇමැතිවරු. අපිට ගම පුරුදුයි. අපි නිතරම ගමත් එක්ක ඉන්නේ. ඒ නිසා ගමේ මිනිස්සුන්ගේ හදවත් අඳුරනවා.

අපිටත් ‍ගමෙන් , නගරයෙන් සහ දිස්ත්‍රික්කයෙන් පණිවිඩ එන ක්‍රම තියෙනවා. ඒ නිසා ජනතාව අපිට විශ්වාසයි. රජයට විරුද්ධව ගමේ බලවේග නැහැ. රජයට කිසිම අභියෝගයක් දෙන්ඩ පුළුවන් දේශපාලන පක්ෂයකුත් නෑ.

දකුණු පළාත ජ.වි.පෙ ප්‍රධාන ක්‍රියාකාරි මධ්‍යස්ථානයක් වෙලා තිබුණා. ජ.වි.පෙ නායකත්ව වෙනසත් එක්ක ජ.වි.පෙ දකුණු පළාතෙන් හිස ඔසවයිද?

කිසිසේත්ම නැහැ. ජ.වි.පෙ නායකත්ව වෙනස හරියට එ.ජා.ප යේ නායකත්ව මණ්ඩලය වගේමයි. කිසිම බලපෑමක් වෙන්නේ නෑ. ජ.වි.පෙ නායකත්ව වෙනස හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. ජ.වි..පෙ තව තවත් ප්‍රපාතයටම වැටෙනවා.

එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දකුණෙන් මොන වගේ බලයක් ලැබේවිද?

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ජනතාව ඡන්දය දෙන්නේ විපක්ෂයේ අනෙක් පක්ෂ වලට ප්‍රතිපත්තියක් නැති නිසායි. ඒ පක්ෂයටත් ප්‍රතිපත්තියක් නෑ. ඒ පක්ෂයට වැටෙන ඡන්ද සියල්ලම එ.ජා.ප නායක රනිල්ට විරුද්ධව වැටෙන ඡන්ද. රනිල්ට තරහට දෙන ඡන්දවලින් අපිට කිසිම බලපෑමක් නෑ. ඔවුන් දකුණු පළාතේ ඡන්ද පදනමක් නෑ. ඔවුන් දියාරු වෙලා යාවි.

ජාතික දේශපාලනයේ ඉන්න අයගේ දුවලා, පුතාලා , බෑනලා, සහෝදරයන් සහ සහෝදරියන් පළාත් සභාවලට තරග කිරීම ගැන ඔබේ දැක්ම මොකක්ද?

ඒක තීන්දු කළ යුත්තේ ජනතාව. දුව හෝ පුතා මේ කවුරු ගැන වුණත් අවසාන තීන්දුව තියෙන්නේ ජනතාව අතේයි. මගේ පුතාත් මෙවර මාතරින් ඡන්දය ඉල්ලනවා. නමුත් එයා එක පෝස්ටරයකවත් මගේ රූපය ගහලා නෑ. එයා මාතර ජනතාව අතරට ගිහින් ඡන්ද පදනමක් හදා ගන්ඩ ඕනේ.

මට ඒක කරන්ඩ බෑ. දකුණේ ඡන්ද දායකයා තීන්දු කළ යුතුයි කවුද පළාත් සභාවට යැවිය යුත්තේ කියලා‍. අද කාටවත් හොර ඡන්ද දාගන්ඩ බැහැ මොකද ජාතික හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්ඩ බැහැ. දොස්තරගේ පුතා ඉගෙනගෙන දොස්තර වෙන්නේ. ඒ වගේම දේශපාලනය ඉගෙන ගෙන මැති ඇමැති පුතාලටත් දේශපාලනය කරන්ඩ පුළුවන්.

හොදයි ඔබේ පුතා පසඳ යාපාට මේ මැතිවරණය දිනන්ඩ ඔබේ ඇමැතිකමෙන් එළියක් ලැබෙන්නේ නැද්ද?

එළියක් ලැබෙන්ඩ පුළුවන්. නමුත් පසඳ යාපා කියන්නේ මං තාත්තා මත යැපෙන්නේ නෑ කියලා. එයා එයාගේ දේශපාලනය කර ගෙන යන්ඩ දැන ගන්ඩ ඕනෑ.

පුතාට ඡන්ද දෙන්ඩ කියලා ඔබ මාතර ජනතාවට කියන්නේ නැද්ද?

නෑ. මං එහෙම කියන්නේ නෑ. ඒක ජනතාව තීන්දු කළ යුතුයි.

ඒ කියන්නේ ඔබේ පුතා පසඳ යාපාට කැබිනට් ඇමැති ලක්ෂ්මන් යාපා උදව් කරන්නේ නෑ ?

මං පුතා යන දේශපාලන රැස්වීම්වලට යනවා. මං රටේ දේශපාලනය ගැන කතා කරනවා. නමුත් මං මගේ පුතා පසඳ යාපාට ඡන්දය දෙන්ඩ කියලා මැතිවරණ වේදිකාවේ කියන්නේ නෑ. පුතා දේශපාලනයට ගැළපෙනවා කියලා මාතර ජනතාව හිතනවා නම් හොඳ තරුණ නායකයෙක් කියලා හිතනවා නම් ජනතාව එයාට ඡන්දය දේවි. ඒක කාටවත් වළක්වන්ඩ බැහැනේ.

ඇයි තාත්තේ මට ඡන්දය දෙන්ඩ කියලා මාතර ජනතාවට කියන්නේ නැත්තේ කියලා පසඳ යාපා ඔබෙන් අහන්නේ නැද්ද?

නෑ. එයා එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.

හොඳයි ඇමැතිතුමනි ජිනීවා මානව හිමිකම් සැසියේදී මොනවා වේවිද?

අපේ රටට හතුරු බටහිර ඇතැම් බලවේග මේ මානව හිමිකම් සැසියටත් අපේ රටට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කරන්ඩ ඉඩ තිබෙනවා. අපි ඊට මුහුණ දීමට සුදානම් විය යුතුයි. එය අපේ වගකීමක් වෙනවා.

අපේ රටට විරුද්ධව ඉදිරිපත් කෙරෙන යෝජනාව මානව හිමිකම් සැසියේදී ජය ගන්ඩ අපේ රටට හැකියාවක් ලැබෙයිද?

ඒ ගැන මතයක් මට හරියටම ඉදිරිපත් කරන්ඩ බෑ. නමුත් අපේ රට දෙස ලෝකයේ සාධාරණ ලෙස බලන රටවලින් සහයෝගය ලබා ගැනීමට අපි කටයුතු කළ යුතු වෙනවා. මං හිතන්නේ අපේ රටට කළ නොහැක්කක් නෑ. කැපවී කටයුතු කිරීමයි අවශ්‍ය වෙන්නේ.

ඉදිරියේදී ආර්ථික සම්බාධකවලට මුහුණ දීමට කමිටුවක් පත් කළ යුතු බවටත් යුද අපරාධ නීතිය පිළිබද අධ්‍යනයට කමිටුවක් පත් කළ යුතු බවටත් ඇමැතිවරු හය දෙනෙක් ලිපියකින් කියා තිබුණා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

කමිටු පත් කළ යුතු නෑ. අපි කැබිනට් මණ්ඩලය කමිටුවක් ලෙස සියලු අභියෝගවලට මුහුණ දිය යුතු වෙනවා. කැබිනට් මණ්ඩලයට සාමුහික වගකීමක් තියෙනවා. අපි අපේ පෞද්ගලික මත ඉදිරිපත් කරන්ඩ ගියාම එය වෙනත් විදියකට වෙනත් පිරිසකට වාසි සහගත විය හැකියි. ඒ නිසා අපට අවංකවම යමක් ගැන කටයුතු කළ යුතු ක්‍රමයක් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබද අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බ‍වට නවනීදන් පිල්ලේගේ වාර්තාවකින් කියවෙනවා. එයට විසඳුමක් රජයට තිබෙනවාද?

නවනීදන් පිල්ලේ ඇතුළු පිරිස ඉතාම සැලසුම්සහගත ලෙසයි කටයුතු කරන්නේ. අපේ රටේ මානව හිමිකම් කඩ වෙලා කියන්නේ අපේ රට බටහිර රටවල න්‍යාය පත්‍රයන්ට වැඩ නොකරන නිසායි. අපේ රටට විරුද්ධව අන්තර්ජාතික පරික්ෂණ කළ යුතුයි කියන්නේ ජනාධිපතිතුමා අපේ රට බටහිර රටවලට පාවා දෙන්නේ නැති නිසායි. ඒ හැර අපේ රටේ මානව හිමිකම් කඩවෙලා නැහැ.

අපේ රටට එරෙහි අන්තර්ජාතික කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන වෙලාවක දකුණු සහ බස්නාහිර පළාත්වල ජනතාවගේ ප්‍රතිචාරය කුමක් විය යුතුද?

මේ මැතිවරණයේදී සෑම මැතිවරණයකට වඩා වඩාත් ශක්තිමත් ලෙස මේ රජය සමඟ රටේ ජනතාව සිටින බව අන්තර්ජාතික ප්‍රජාවට තහවුරු කළ යුතුයි. එය මේ ර‍ටට ආදරය කරන සියලු ජනතාවගේම යුතුකමක් සහ වගකීමක් වෙනවා. මේ රට බේරා ගත් රණවිරුවන්ගේ නාමයෙන් මේ රට බේරා ගැනීමට සියලු වාදභේද අමතක කොට අපි එකාවන්ව පෙළ ගැසිය යුතුයි.

ඇතැම් දිස්ත්‍රික්කවල ඇතැම් පක්ෂවලට දේශපාලනය කරන්ඩ බාධා කිරීම් සිදු කෙරෙන බවට චෝදනා නැ‍ඟෙනවා.?

ඒක අමුලික බොරුවක්. මේ මොහොතේ මැතිවරණ කොමසාරිස්තුමාට උපරිම බලය ලැබී තිබෙනවා. මැතිවරණ කොමසාරිස්තුමාගේ බලයට රජයට අභියෝග කරන්ඩ බැහැ. මැතිවරණ කොමසාරිස්තුමා තමන්ගේ බලය පාවිච්චි කරමින් වැරැදි ලෙස නීති විරෝධී ලෙස මැතිවරණ කටයුතුවල නිරත වෙන සියලුම අපේක්ෂකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ නිසා පරාජයෙන් වියරු වැටී සිටින දේශපාලන පක්ෂ නඟන අමුලික බොරුවක් ඔය කතාව.

රටේ මංකොල්ලකෑම් වැඩි වෙලා ඒකද ආශ්චර්ය කියලා සජිත් ප්‍රේමදාස එ.ජා.ප මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් අහලා තිබුණා.?

මංකොල්ලකෑම් අතීතයේදීත් සිදු වෙලා තියෙනවා. නමුත් ඒවා මාධ්‍යයෙන් එළියට ආවේ නෑ. නමුත් දැන් ජනමාධ්‍ය වඩා සක්‍රීයයි. ඒ නිසා එළියට එනවා. මුලින්ම ඒක අපි තේරුම් ගත යුතු වෙනවා. දැන් මීගමුවේ කෝටි දෙකේ මංකොල්ලයට චෝදනා එල්ල වෙලා තියෙන්නේ එ.ජා.ප බස්නාහිර පළාත් සභා අපේක්ෂකයෙකුට. ඒ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයේම කෙනෙක්. එතකොට මෙහෙම අහන්ඩ එ.ජා.ප යට අයිතියක් තියෙනවාද

හොඳයි අවසාන වශයෙන් ඔබ මාතර දිසාවේ ජනතාවට දෙන පණිවිඩය?

අපි බලාපොරෝත්තු වෙනවා ජනතාව එ.ජ.නි.ස යට ‍‍‍‍ඓතිහාසික බලයක් දකුණු පළාතෙන් ලබා දේවි කියලා. ඒ වගේම මේ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය ‍ලෝකයටම පණිවිඩයක් දීමට යොදා ගන්නා හැටියට මා සමස්ත දකුණු පළාතේ ජනතාවගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම මාතර දිසාවෙන් පළාත් සභාවට මන්ත්‍රීවරු පත් කර ගන්නා විට යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා කැප වෙන උදවිය තෝරා පත් කර ගන්නා හැටියටත් මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්