හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
චැනල් 4 හා ගොබෙල්ස් න්‍යාය

චැනල් 4 හා ගොබෙල්ස් න්‍යාය

හිට්ලර් ගේ ප්‍රචාරක ඇමැත්තා වූ ගොබෙල්ස් ගේ එක්තරා න්‍යායක් විය. ඒ බොරුවක් පුන පුනා කීමෙන් එය ඇත්තක් ලෙස විශ්වාස කිරීමට මිනිසුන් පෙලඹෙන බවය.

ඒ න්‍යාය එලෙසින්ම අනුගමනය කරන චැනල් 4 ටී වී නාළිකාවට ගොබෙල්ස් 4 ටී වී නාළිකාව යැයි කීමේ වරදක් නැති බව පෙනේ. ගොබෙල්ස් ගේ මේ න්‍යාය අනුව එකල ජර්මානු රූපවාහිනී නාළිකාවක් තිබුණේ නම් ජර්මනියට දෙවැනි ලෝක මහා යුද්ධය පවා දිනන්නට හැකියාව තිබිණැයි එක්තරා බ්‍රිතාන්‍ය උසස් හමුදා නිලධාරියෙක් වරක් පැවැසීය.

එසේම ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයට වෛර කරන චැනල් 4 නාළිකාව ද ශ්‍රී ලංකා හමුදාව විසින් යුද අපරාධ කර ඇතැයි විවිධ මාදිලියේ ව්‍යාජ රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කරමින් කියන්නේය. මේ සඳහා වැය කරනු ලබන මුදල් ශ්‍රී ලංකාවේ දුප්පත් දෙමළ ජනතාවගේ කඳුළින් හා විදේශීය දෙමළ ඩයස්පෝරාවගේ ලද කප්පම්වලින් සූරා ගත් මුදල් ය.

මේ වන විට ශ්‍රී ලංකා අහස වෙඩි උණ්ඩ වලින් නිකුත් වූ කළු වලාවන්ගෙන් මිදී තිබීම ඔවුන් ඉවසන්නේ නැත.

30 වසරක අරගලයේදී එල්.ටී.ටී.ඊය විසින් ඝාතනය කරන ලද ලක්ෂයක් පමණ වූ සිවිල් වැසියන් හෝ 7000 ක් පමණ වූ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් ගැන එල්ටීටීඊයට අනුකම්පාවක් තිබුණේ නැත. ඒ වගේම ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු යුද හමුදා හා සටන් වැද මියගිය 6000 කට වැඩි ඉරාක හා ඇෆ්ගනිස්ථාන වැසියන් ගැන ද චැනල් 4 හෙවත් ‘ගොබෙල්ස් 4’ රූපවාහිනියට අනුකම්පාවක් තිබුණේ නැත.

චැනල් 4 නාළිකාවේ වැඩසටහනින් ඉල්ලා සිටින්නේ මේ ඝාතනවලට වග කියනා පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම හෝ ඔවුන්ට දඬුවම් කිරීම නොව ශ්‍රී ලංකාවේ නීතිය සුරැකි දේශපාලන නායකයන් තිදෙනකුට දඬුවම් කිරීමය.

සුදු මිනිසුන්ගේ ඇසින් වාර්තා කිරීම

එකල ශ්‍රී ලංකා පොලීසියේ සාජන් වරයකු වූ පී. නඩේසන් නමැත්තා 1985 දී යාපනය පොලීසියට පහරදීම පිළිබඳව චෝදනා ලැබ සිටියේය. ඔහු ඊළඟට එල්ටීටීඊ ක්‍රියාකාරි සාමාජිකයකු වී ඔහුගේ සිංහල බිරිඳත් සමඟ එල්ටීටීඊයට බැඳී සටන් කොට අනතුරුව එල්ටීටීඊ පොලීසියේ නායකයා විය. එසේ එල්ටීටීඊ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඔහු හමුදා සමඟ ඇතිවූ ගැටුමකින් මිය ගියේය. අවසානයේ කවුදෝ ජනමාධ්‍යවේදියකු ගේ නොදත් සාක්කියක් අනුව ඔහු ‘සුදු කොඩි රැගෙන’ එද්දී හමුදා ප්‍රහාරයකට අසුවූවේ යැයි ප්‍රචාරයක් විය. එහෙත් ඒ පිළිබඳ ඇසින් දුටු සාක්ෂි නොවීය. ඒ අවස්ථාවේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීහු රැසක් යුද්ධය වාර්තා කිරීමට ගොස් සිටියහ. එහෙත් චැනල් 4 මාධ්‍යයට අවශ්‍ය වන්නේ එය සුදු මිනිසුන්ගේ ඇසින් වාර්තා කිරීමට විය හැක. ශ්‍රී ලාංකික මාධ්‍යවේදීහු යුද බිමටම ගොස් දිනෙන් දින එය මහජනතාවට වාර්තා කළහ. යුද්ධය ජනතාවට දැනුණේ ද ඒ නිසාය. දිනෙන් දින ශ්‍රී ලාංකික සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එල්ටීටීඊයේ කුරිරුකම් හා ඔවුන් විසින් මේ රටට කළ අනුවේදනීය අනර්ථය ජනතාව දැනගත්තේ ඒ මාධ්‍යවේදින් නිසාය. යුද්ධය ඇසින් දුටු ඔවුහු සිය කැමරා ඇසින් පැයෙන් පැය දිනෙන් දින මානුෂීය මෙහෙයුම අවසන් වන තුරුම එය වාර්තා කළහ. එහිදී එල්ටීටීඊයේ සැහැසිකම් හා විනාශය විනා ශ්‍රී ලංකා හමුදාවන්ගේ සැහැසිකම් ඇතැයි අපට දැනුණේ නැත. චැනල් 4 හෙවත් ගොබෙල්ස් ගේ 4 වෙනි නාළිකාවට අවශ්‍ය පුවත් පමණක් පක්ෂපාතීව බොරු සහිතව වාර්තා කොට මේ රටේ ජනතාව භේද කිරීම දැයි විටෙක සිතේ.

විටින් විට එල්ටීටීඊයේ හිංසනයන්ට පාත්‍ර වූයේ සාමාන්‍ය වැසියන් පමණක් නොවේ. 30 වසරක් පුරා එල්ටීටීඊ මරාගෙන මැරෙන ඝාතකයන්ගේ ගොදුරු බවට ශ්‍රී ලංකා හමුදා භටයෝ ද පත්වූහ. එය ප්‍රසිද්ධ රහසකි. වරක් එල්ටීටීඊ සාමාජිකාවක මෙන් විත් බෝම්බයක් පුපුරුවා කාන්තා සෙබළියන් ඇතුළු 20 ක් ඝාතනය කළාය.

එල්ටීටීඊයේ කපටි පිළිවෙත

එල්ටීටීඊය ආරම්භයේ සිටම සිය ප්‍රෝඩාකාරී කපටි පිළිවෙත අනුගමනය කළහ. නිවට නායකයන් ගේ සමයේ දී ආයුධ සහිතව යටත් වූ ශ්‍රී ලංකා පොලිස් භටයන් 600 ක් ඝාතනය කළේ අම්පාර හා යාපනය දිස්ත්‍රික් වලදීය. එමෙන්ම අල්ලා ගත් ශ්‍රී ලංකා හමුදා භටයන් 1000 කට වඩා මුලතිව්හිදී ද තවත් භටයන් 500 ක් පුනරින් සටනේදී ද එල්ටීටීඊය ඝාතනය කළහ.

මෙවන් ම්ලේච්ඡ ඝාතනයන් ශ්‍රී ලංකා හමුදාව අතින් කිසි විටෙකත් සිදුවූයේ නැත. ශ්‍රී ලංකා හමුදාව විසින් අල්ලාගත් හෝ ඔවුන්ට යටත් වූ එල්ටීටීඊ කාඩරයන් කිසි විටෙක වධ හිංසාවන්ට ලක්වූයේ හෝ කුසගින්නේ සිටියේ නැත.

හිට්ලර් ගේ නාසි හමුදාවන් විසින් අල්ලාගත් යුදෙව්වන් ගේ දුර්වල වූ රූප දෙස බලන විට චැනල් 4 හි පෙන්වූ ශ්‍රී ලංකා හමුදාවන් විසින් අල්ලාගත්තා යැයි කියු එල්ටීටීඊ භටයන් කොතරම් පුෂ්ඨීමත් ලෙස සිටියේ දැයි ඒ වීඩියෝ පටය දුටු අයෙකුට පෙනේ. ඔවුහු තමන් රැගෙන ආ සොල්දාදුවන්ට වඩා හොඳින් වැඩී සිටියහ. ගොබෙල්ස් ගේ න්‍යාය අනුව නිර්මාණය කළ චැනල් 4 හි බොරුව එයින්ම පෙනේ.

චැනල් 4 නිපදවූ බ්‍රිතන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාව යටතේ කොට ගෙන 1818 දී හා 1915 දී නිදහස පතා පිබිදී ආ සිංහලයන් ඝාතනය කළේ කුමන මානව හිමිකම් යටතේදැයි ඇසිය යුතුව තිබේ. බ්‍රිතාන්‍ය හමුදා සිය යටත් විජිතයන් වූ ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ හා අපි‍්‍රකා රටවල ජනතාව අමු අමුවේ මරා දමමින් රටවල් සූරා කෑවේ කුමන මානව හිමිකම් යටතේ ද? ඔවුන්ට දැන් වන්නියේ ජනතාව ගැන පහළ වී ඇති අමුතුම කරුණාව කුමක් ද? මේ සියල්ල ව්‍යාජ කිඹුල් කඳුළු ය.

එකල ඉංගී‍්‍රසින් අතින් සිංහල දෙමළ අහිංසක කාන්තාවන් කොපමණ දූෂණය වූවා ද? ළමා ළපටින් කොතෙක් කඩුගා මරා දැම්මා ද. ඒවාටත් දැන් මානව හිමිකම් කඩවි යැයි කොමිසම් ඉල්ලා සිටින්නට මේ බ්‍රිතාන්‍ය ගොබෙල්ස් චැනලයට නොහැකි ද?

මෑතකදී 2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් වන මොහොතේ සිය අත් අඩංගුවේ සිටි ශ්‍රී ලංකා හමුදා භටයන් 30 දෙනකු අමු අමුවේ මරා වැළලු බව එයට සම්බන්ධ වූ එල්ටීටීඊ සාමාජිකයෙක් කැනේඩියානු අධිකරණයකදී ප්‍රකාශ කර සිටියේය. ඔහු එල්ටීටීඊ ඝාතන කණ්ඩායමක සාමාජිකයෙකි. ඒ ගැන චැනල් 4 නාළිකාව නිහඬ ය.

ළමා ළපටින් ඝාතනය

වසර 2500 ක් පුරා බෞද්ධයන්ගේ පමණක් නොව අන්තර්ජාතික ප්‍රජාවගේ ද පූජනීයත්වයට පාත්‍ර වූ ලෝක උරුමයක් වන ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්නට ආ අහිංසක වන්දනාකරුවන් 130 ක් එල්ටීටීඊය විසින් ඝාතනය කළ අයුරු අපට කිසි දිනෙක අමතක කළ නොහේ. ශ්‍රී දළදා මාළිගාවට බෝම්බ ගසා විනාශ කිරීමට තැත් කිරීම චැනල් 4 ගොබෙල්ස් ගේ නාළිකාව අනුමත කරන්නේ ද. ලෝක ඉතිහාසයේ සිවිල් යුද්ධයක් ඇතිවුණේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. එල්ටීටීඊය යුද්ධයක් කළ ද ශ්‍රී ලංකා හමුදාව කළේ මානුෂීය මෙහෙයුමකි.

අවතැන් වූවන් බේරා ගැනීම

එහෙත් බ්‍රිතාන්‍යයත් ඇමෙරිකාවත් සිය සිවිල් යුද්ධවලදී අල්ලාගත් කළු ජාතිකයන් ද කොපමණක් මරා දමන්නට ඇද්ද? අල්ලාගත් හෝ යටත් වූ වැසියන් කොපමණ වධ හිංසාවන්ට භාජන වුණා ද?

ඇත්තටම ‘ගොබෙල්ස්’ ගේ චැනල් 4 නාළිකාවට අමතකව ඇති වන්නියේ අවතැන් වූවන් ලක්ෂ තුනක් බේරා ගත්තේ ඔවුන්ට කන්න බොන්න වෛද්‍ය ප්‍රතිකාර දී ඔවුන් බේරා පුනරුත්ථාපනය කළේ ශ්‍රී ලංකා හමුදාවන්ය. ඒ ඔවුන් චෝදනා කරන ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂයන්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයන් හා ඇමැති බැසිල් රාජපක්ෂයන් ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේය.

එල්ටීටීඊ අත්අඩංගුවේ ප්‍රාණ ඇපකරුවන්ව සිටි තුන් ලක්ෂයක් වූ සිවිල් වැසියන් පමණක් නොව ප්‍රභාකරන් වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සටන් කළ එල්ටීටීඊ භටයන් පවා අන්තිම හෝරාවේ සිය ජීවිතාරක්ෂාව පතා ශ්‍රී ලංකා හමුදාවන් වෙත දිවැවිත් බාර වූයේ ශ්‍රී ලංකා හමුදාවන් කෙරෙහි ඔවුන් තැබු විශ්වාසය නිසාය. චැනල් 4 හා දරුස්මාන් පවසන ලෙස ශ්‍රී ලංකා හමුදාවෙන් ඔවුන්ට අබමල් රේණුවක හෝ ගැහැටක් වූවා නම් ඔවුන් එලෙස ප්‍රභාකරන් හැර ඒදැයි මොළේ කළඳක් හෝ ඇති අයකුට සිතාගන්නට හැකිය.

කෙසේ වෙතත් චැනල් 4 ගෙනයන ගොබෙල්ස් ගේ න්‍යාය පිළිගැනීමට තරම් අද අන්තර්ජාතික ප්‍රජාව පටු අදහස් ඇත්තෝ නෙවෙති.

ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් දුන් උපදෙස් පරිදි ශ්‍රී ලංකා හමුදාවන් මානුෂික මෙහෙයුම පිළිබඳ විනිවිද බවත් ඒ අතරතුර ගෙනගිය මානුෂීය සංවර්ධනය පිළිබඳ නියම ස්වභාවයත් ඉතා ඉක්මනින් අන්තර්ජාතික ප්‍රජාව හමුවට ගෙන යනු ඇත.

මානුෂිය මෙහෙයුමේ වැදගත් දේ

මානුෂීය මෙහෙයුමේදී අපට සඟවන්නට දෙයක් නැත. ශ්‍රී ලංකා හමුදා කාන්තාවන් දූෂණය කළේ නැත. එල්ටීටීඊ භටයන්ට හෝ වධ හිංසා කළේ නැත. ඒ පිළිබඳව යටත් වූ හා අත්අඩංගුවට ගත් දහසක් එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් පවා සාක්ෂි දරනු ඇත.

එසේ යටත් වූ හා අත්අඩංගුවට පත් ඔවුහු අද හොඳින් අධ්‍යාපනය ලබමින් සිය ජීවිත සුඛිත මුදිත කරගැනීමට වෙහෙසෙන්නේ ශ්‍රී ලංකා රජයට පින් දෙමිනි.

එල්ටීටීඊය විසින් මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිය ගම්බිම් කෙත්වතු රැකියා අහිමි කළ ස්වකීය ජනතාව ද අද යළිත් ගම්බිම් කරා ගොස් සිය සුපුරුදු රැකියාවන්හි යෙදී සිටිති.

ඔවුන්ගේ මානව හිමිකම් යළිත් ලබා දුන්නේ ශ්‍රී ලංකා රජයයි.

මේ පිළිබඳව සියලු සත්‍ය තොරතුරු විනිවිද බවින් යුතුව අන්තර්ජාතික ප්‍රජාව හමුවේ දිගහැරෙන දිනය වැඩි ඈතක නොවේ. එදාට ගොබෙල්ස්ගේ න්‍යාය අනුව චැනල් 4 ගෙනයන බොරුව හා දරුස්මාන් වාර්තාවේ රැවටිල්ල ලොවට හෙළි වනු ඇත.

(තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ඇසුරිනි)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා