හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
ඉල්ලීම් දිනාගන්න වර්ජන කිරීම

ඉල්ලීම් දිනාගන්න වර්ජන කිරීම

වෘත්තීය අයිතීන් වගේම යම් යම් ඉල්ලීම් දිනාගැනීමට වර්ජනය කිරීම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. අයිතීන් දිනාගැනීමේ මුල්ම පියවර ලෙස වර්ජනය කිරීම සාධාරණ ද? ඉල්ලීම් දිනාගැනීමේ එකම මඟ වර්ජනයක නියැළීම ද? මේ සියල්ලන්ගෙන්ම බැට කන තෙවන පාර්ශ්වයට වග කියන්නේ කවුරුද? කඩුල්ලෙන් අද විමසා බැලෙන්නේ හතු පිපෙන්නා සේ දිනෙන් දින මතුවන වර්ජන රැල්ල ගැනයි.

විශ්ව විද්‍යාල ප්‍රතිසංවිධානයට ආචාර්ය සංගම්වල ක්‍රියාමාර්ගය බාධාවක්

උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක

වර්ජනය කියන්නේ වෘත්තිය සමිතිවලට අයත් වෘත්තීය අයිතියක්. ඒ අයට මෙය භාවිත කරන්න පුළුවන්. නමුත් වර්ජනය කළ විට සේව්‍යයාගේ පැත්තෙනුත් යම් යම් දේවල් නැති වෙනවා. ඔවුන් ඒවාත් බාර ගත යුතුයි.

මම කල්පනා කරන්නේ වෘත්තිය සමිති ආයතනයකට ඵලදායි දෙයක් ලෙසයි. නමුත් වර්ජනයකට යා යුත්තේ හැම විටම අවසන් පියවරක් ලෙසයි. ඊට කලින් ඔවුන්ට කතා කර සාකච්ඡා කර ප්‍රශ්න විසඳා ගන්න යන්න පුළුවන්. එකඟතාවන්ට එන්න පුළුවන්. එසේ පියවරෙන් පියවර යා යුතුයි. එකපාරටම වර්ජනයට ගියහම ඔවුන් වගකීමෙන් හැසිරෙනවා ය කියා පිළිගන්නට අපහසුයි. එය ඒ වෘත්තිය සමිතියටත් හොඳ නැහැ. ආයතනයටත් හොඳ නැහැ.

අපේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයට මෙය පෙරළුවොත් ආචාර්ය වරුන්ට කාලයක් තිස්සේ වැටුප් විෂමතාවක් තිබුණා. මම ඇමැති වුණාට පසුව දිගටම මේ ගැන සාකච්ඡා කළා. ජනාධිපතිතුමා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, වැටුප් කොමිසම සමඟ සාකච්ඡා කළා. අවසානයේ අපි අයවැයට කලින් එකඟතාවකට ආවා සියයට 36.25 ක වැටුප් වැඩිවීමක් සියයට 25 ක පරීක්ෂණ දීමනාවකුත් සමඟ ලබා දෙන්නට. අපි එය ලබා දුන්නා. ආචාර්ය සංවිධාන අපිට ස්තුති කළා. පසුව ආචාර්ය සංගමයේ නිලධාරී මණ්ඩලය වෙනස් වුණා. පස්සේ ඉල්ලීම් තොගයක් අරගෙන ආවා. අතරමැද ඉල්ලීම් කළාම එය විශාල ප්‍රශ්නයක් වෙනවා. සංගමයේ අය වෙනස් වූ ගමන්ම අලුත් ඉල්ලීම් ඉල්ලාගෙන වසර මැද ආවාම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි දැන් මේ අයත් සමඟ කතාකර තියෙනවා. ළඟදීම මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබේවි.

වෘත්තිය සමිතියක් කියන්නේ ආයතනය කාර්යක්ෂම කරන්න, ආයතනය ලාබදායි කරන්න, ආයතනයේ නව නිර්මාණ කරන්න ධනාත්මක ලෙස ඵලදායි ලෙස උදව් කළ යුතු ආයතනයක්. මේ වන විට විශ්ව විද්‍යාලවල අපි විශාල වෙනස්කම් රැසක් කරමින් යනවා. අපිට අද කරන්න විශාල වැඩ කොටසක් තියනවා. පාඨමාලා වෙනස් කරමින් අලුත් ගමනක් අපි යනවා. මේ වේලාවට ආචාර්ය සංගමය මේ වගේ ක්‍රියාවක නිරත වීම ඒවා කඩාකප්පල් වීමට තවත් හේතුවක්.

වෘත්තිය සමිතියක් මේ වගේ තීන්දුවක් ගනිද්දි ආයතනයේ අනාගතය, ආයතනයේ සේවාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා පිරිස ගැනත් කල්පනා කළ යුතුයි. විභාග කල් ගියාම දරුවන්ගේ වයස ගත වෙනවා. වෛද්‍යවරු වර්ජන කළාම අසරණ වෙන්නේ රෝගීන්. තම ආයතනය ආරක්ෂා කරගන්න වගේම ආයතනයෙන් ප්‍රයෝජන ගන්නා අයට කරදරයක් නොවන්නට කටයුතු කරන්නට හැමෝටම වගකීමක් තියෙනවා. එය හරියට ඉටුකළ යුතුයි. එහෙම නොවන අයට තදින් කටයුතු කළ යුතුයි.


මේ රජය ප්‍රශ්න විසඳන්නේ සාකච්ඡාවෙන්

ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන

රටේ සිදුවන සෑම වර්ජනයක්ම හෙළා දකින්න මම කැමැති නැහැ. සාධාරණ වර්ජනත් තිබෙනවා. නමුත් අසාධාරණ වර්ජන දේශපාලන කුමන්ත්‍රණත් තිබෙනවා. ධනේෂ්වර සමාජයක වැඩ කරන ජනතාවට හා වෘත්තීමය ක්‍ෂේත්‍රවල අයිතීන් දිනාගැනීමට වාත්තීය සමිති ව්‍යාපාරය ගොඩනැඟීමෙන් ඇතිවූ ආභාසය සටන් හා කැපවීම් මතින් ඇතිවූ බව සිහි කරන්න ඕනෙ.

හතළිහ, පනහ, හැට දශකවල ලංකාවේ වැඩකරන ජනතාව බොහෝ ජයග්‍රහණ ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදීව නිශ්චිත කරුණු සාධාරණව ඉදිරිපත් කරමින් කටයුතු කළ නිසයි. ප්‍රගතිශීලී ආණ්ඩුවලට මිත්‍ර සංවාදයන් මඟින් නීති රීති රාශියක ජය ලබන්න හැකිවුණා. ප්‍රතිගාමී ආණ්ඩු වෘත්තීය සමිති දැක්කේ හතුරන් වගේ. 1947, 1948, 1980 මහා වැඩ වර්ජන වගේම අනෙක් වැඩවර්ජනත් යටපත් කිරීමට ඇතැම් ආණ්ඩු කටයුතු කළ ආකාරය අමතක කළ යුතු නැහැ.

අපේ රජය සේවකයන් සේවයෙන් ඉවතට දමන ප්‍රතිපත්තියක නැහැ. සාකච්ඡාවලින් ප්‍රශ්න විසඳීමට හෝ ඒ ප්‍රශ්න සඳහා ලබාදෙන පිළිතුරු දුෂ්කර ත්‍රස්තවාදය මැද පවා ජනතාවට සහනය ලැබෙන අයුරින් සොයාදීමට ඉදිරිපත් වුණා. රටේ පැවැත්මට ආර්ථිකයේ අනාගතය ශක්තිමත් කිරීමට වගේම එල්ල වූ ත්‍රස්තවාදය ජය ගැනීමටත් ජනාධිපතිතුමාට හැකි වුණේ ඒ ප්‍රතිපත්ති නිසයි.

මේ වනවිට ත්‍රස්තවාදය පරාජය කර ආර්ථිකය නව මඟකට ගමන් කරන්න පටන්ගෙන තිබෙනවා. සමහර කල්දමන ලද ප්‍රශ්න වෘත්තීය සමිතිවලින් දැන් ඉදිරිපත් කරනවා. සමහර වෘත්තීය සමිති දේශපාලන කුමන්ත්‍රණ නිසා රජය අඩපණ කිරීමට වර්ජනය නම් ආයුධය භාවිත කරනවා.

අන්තර්ජාතික ප්‍රතිගාමිත්වය රටට කරන තර්ජන හමුවේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට ප්‍රධාන බලවේගයක් වුණේ වෘත්තීය සමිතිවල වගේම ජනතාවගේ සහයෝගයයි.

මෙය දිගටම පවත්වාගැනීම සඳහා වෘත්තීය සමිති සමඟ සුහද සංවාදයක් ඇති කරගැනීම අවශ්‍යයි.

වර්ජනය අවසාන ආයුධය ලෙසයි සලකන්නේ. නමුත් සමහරු එය පළමුවැනි ආයුධය ලෙසයි භාවිත කරන්න හදන්නේ. මෙය කනගාටුදායක තත්ත්වයක්. එය වෙනස් කිරීමට ඉතාම සංවාදශීලීව වෙනස්වන ආර්ථිකයක අපේ ජනතාවගේ ජයග්‍රහණය කෙසේ විය යුතුදැයි සොයා බැලිය යුතුයි.

රජයක් හා ජනාධිපතිවරයෙක් වැඩකරන ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න කටයුතු කරන විට සමහර අවහිරකම් ඇති කරන කඩුලු යල් පැනගිය නිලධාරි ක්‍රමයෙන් සිදුවීම වළක්වා ගන්නත් සිදුවෙනවා. එය දෙපාර්ශ්වයේම සුහදශීලිත්වය මත ඇතිකරගත යුතුයි. අපේ රටේ නිලධාරි ක්‍රමය ප්‍රශ්න බිහිකරදීමට උදව්වන බව නම් කනගාටුවෙන් වුවත් කිව යුතුමයි. ඒ අයගේ යාන්ත්‍රණය හා ජනාධිපතිතුමා ප්‍රධාන ආණ්ඩුවේ යාන්ත්‍රණය එකට ගමන් කරවීමට නම් නව පිබිදුමක් වෘත්තීය සමිති සඳහා අප දායාද කළ යුතුයි.

ඇතැම් අන්තවාදී වෘත්තීය සමිති ජනතා සුබසාධන වැඩසටහන්වලදී මැදිහත්වීම කනගාටුදායක ලෙස සිදුවෙනවා. අන්තවාදී වෘත්තීය සමිති මඟින් වෘත්තීය සමිති අන්තවාදයට නතු කර ගැනීමට දරන උත්සාහය පැතිර යා හැකියි. ඒ නිසා අප උත්සාහ කරන්නේත් අපේ ප්‍රාර්ථනය හා ආයාචනයත් ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍ර සංවාදයන් ඔස්සේ ගැටලු නිරාකරණය කළ හැකි මඟකට පිවිසිය යුතු බවයි. වර්ජනය නම් ආයුධය අවසන් ආයුධය ලෙස සලකන සංවර්ධන ඉදිරි පිම්මට අවශ්‍ය පිළිවෙතට වෘත්තීය සමිති ගමන් කළ යුතු යැයි මා විශ්වාස කරනවා.


අයිතිවාසිකම් ලබාගන්න ඕනෑ නිවැරැදි ක්‍රමවේදයකින්

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති රාජිත සේනාරත්න

වර්ජන කියන්නේ ලෝකය පිළිගත් ක්‍රමවේදයක්. නමුත් එය යොදාගන්නා ආකාරය පිළිගත හැකිදැයි බැලිය යුතුයි. අද බොහෝ දෙනා වර්ජනයෙන් පසුවයි සාකච්ඡාවට යන්නේ. අවසන් ආයුධය මුලට ගැනීමයි වැරැද්ද. මොකද කරන්න දෙයක් නැතිම වුණාම කරන්න තියෙන දේ මුලින්ම කිරීමේ ප්‍රශ්නය තමයි ඒ.

වැඩවර්ජන නිසාම බණ්ඩාරනායක මැතිනිය වරක් කියා තිබුණා වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් මගේ සැමියා නොමරා මැරුවා කියලා.

සංවේදී නායකයකු රට කරන විට වැඩ වර්ජන වැඩියි. ජේ.ආර්.ජයවර්ධන යුගයේ වැඩ වර්ජන අඩුයි. නමුත් බණ්ඩාරනායක, මහින්ද යුගවල වැඩ වර්ජන වැඩිවන්නේ සංවේදී නායකත්වයක් ඒ යුග දෙකෙහිම තිබෙන නිසයි. නමුත් අසංවේදී නායකත්ව මඟින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරමින් විවිධ නිලධාරීන් අත්අඩංගුවට ගෙන කටයුතු කරන විට පොඩිපට්ටම් කරන විට විරෝධතා තිබුණෙත් නැහැ. ඒත් අද ඕනෑ වෙලාවක අරලිය ගහ මැදුරට සාකච්ඡාවට යන්න පුළුවන්.

ලෝකයේ වගේම අපේ රටේත් සාර්ථක වූ වැඩ වර්ජන තිබෙනවා. ඒවා විරෝධතාවලින් පටන්ගත්තේ නැහැ. සංවේදී රජයක ප්‍රතිපත්තිය රජය සමඟ සාකච්ඡා කරන වෘත්තීය සමිතිවලට සාධාරණය ඉෂ්ඨ කිරිමයි.

නීති විරෝධී ක්‍රම තහනම් කරන විට පවා ඒවාටත් විරුද්ධව උද්ඝෝෂණ විරෝධතා පවත්වන ඒ නීති විරෝධී කටයුතුවලට සහය දෙන දේශපාලනඥයන් පවා ඉන්නවා. ඒවා වැරැදියි. ඒ කටයුතු සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනෑ.

නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිව ජනප්‍රිය වාදයෙන් පමණක් රටවල් හැදුණේ නෑ. රටවල් හදා තිබෙන්නේ සංවර්ධනය සමඟ සුබවාදීව තම අයිතිවාසිකම් නිවැරැදි ක්‍රමවේදය ඔස්සේ ලබා ගන්නා විටයි.

ඇතැම් මවුවරු දරුවන් සමඟ නීති විරෝධී ආම්පන්න තහනම් කිරීමට එරෙහිව වර්ජනය කරන්න එන අවස්ථා අප දැක තිබනවා.

ඒ දරුවන්ට පුංචි කාලෙදිම ලැබෙන ආදර්ශය එයයි. ඒ දරුවන් හැදෙන්නේත් ඒ ආකාරයටයි.

නමුත් අවසන් ආයුධය මුලින්ම ගන්නා මේ මානසිකත්වය අපි ඉවර කළ යුතුයි මේ රට හදන්න නම්.


වර්ජනය අවසාන පියවර මිස මුල්ම පියවර නොවිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක

වර්ජනය විවිධ ක්ෂේත්‍ර වල විවිධ ආකාරයට තමයි සිදුවෙන්නේ. වැඩ කරන ජනතාවගේ වර්ජනය ඔවුන්ගේ වෘත්තිය ඉල්ලීම් දිනා ගැනීමට. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ කරන වර්ජන ඔවුන්ගේ ඒ ක්ෂේත්‍රයේ ඉල්ලීම් දිනාගැනීමට.

වෘත්තිය සමිති හෝ වෙනත් සංවිධාන හෝ වේවා වර්ජනය යොදාගත යුත්තේ සියල්ලේම අවසාන ක්‍රියාදාමය ලෙසයි. වර්ජනය අවසාන ඉල්ලීම විය යුතුයි. ලංකාවේ අපිට වර්ජනය දකින්න ලැබෙන්නේ මුල්ම ක්‍රියාවලිය ලෙසයි. වර්ජනය අවසාන පියවර මිස මුල්ම පියවර නොවිය යුතුයි.

අපි හිතමු යම් වෘත්තීය සමිති අරගලයක් ආරම්භ වෙනවා වැටුප් සම්බන්ධයෙන්. සේවකයන්ගේ වැටුප් සම්බන්ධ ඉල්ලීමක් තියෙනවානම් මුලින්ම කළ යුත්තේ අදාළ අංශ සමඟ හෝ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් විසඳා ගැනීමට උත්සාහ කිරීමයි. නමුත් සමහර විට එසේ නොකර වර්ජනයකට යන අවස්ථා තියෙනවා. මන්ද වෘත්තිය සමිති ඉල්ලීම් දිනා ගැනීමේ පහසුම මඟ ලෙස බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ වර්ජනයට යාමයි. මගේ මතය වර්ජනය ප්‍රවේසමෙන් භාවිත කළ යුතු බවයි.

වර්තමානය ගත් විට සේවකයන්ගේ පැත්තෙන් බරපතළ ලෙස නොසලකා හැරීම් තියෙනවා. මේ දවස්වල විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය තියෙනවා. මෙය දීර්ඝ කාලීන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බවට දැන් පත්වෙලා තියෙනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරන්න කියලා දීර්ඝ කාලයක සිට කියා සිටියත් එය ප්‍රමාද කිරීමෙන් අද මේ තත්ත්වයට පත්වෙලා. ප්‍රශ්නයක් තියෙනවානම් අදාළ ආයතනය, හෝ අදාළ අංශය දක්වන සුබවාදී ප්‍රතිචාර මත තමයි වර්ජනය සිදුවෙන්නේ. ප්‍රතිචාර දක්වන්නැති දරුණු පාලනයක් තියෙනවානම් එතැන වර්ජනය හැර වෙන විකල්පයක් නැති වෙන්න පුළුවන්. පාර්ශ්ව දෙකම දරදඬු පිළිවෙතකින් බැහැරව නම්‍යශීලී පිළිවෙතකට යනවා නම් වර්ජනය කියන මාතෘකාව යොදා ගන්නට සිදුවෙන්නැහැ. දෙපාර්ශ්වයේම වගකීමක් තියෙනවා.

පියවරෙන් පියවර ප්‍රවිෂ්ඨ වීමෙනුයි වැඩ වර්ජනයකට යා යුත්තේ. වැඩ වර්ජන තත්ත්වයකට ඒමට පෙර එය වළක්වා ගැනීමේ වගකීම අදාළ පාර්ශ්වයන්ට තියෙනවා. හැම දෙනාම නම්‍යශීලී විය යුතුයි.

පසුගිය කාලයේ රජයේ ක්‍රියා පිළිවෙත දෙස බැලුවම අපි දැක්කා ආණ්ඩුව කියූ කෙරූ දේවල්. ආණ්ඩුව හැම වේලාවෙම කිව්වා යුද්ධය නිසා හැම දෙයක්ම ඉවසලා වැඩ කරමු කියා. රජයේ සේවකයන්, වැඩ කරන ජනතාව යුද්ධය නිසා තමන්ගේ හැම දෙයක්ම ඉවසාගෙන රට වෙනුවෙන් ඉවසීමෙන් කටයුතු කළා.

දැන් යුද්ධය ඉවරයි. දැන් ඒ ජනතාවට ප්‍රතිචාර දැක්විය යුතුයි. ඒ ප්‍රතිලාභ ලබා නොදී, ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබාගන්නට තිබු අවස්ථාව පස්සට තබමින් සිටී. ජනතාවට රජය යහපත් ප්‍රතිචාර දැන් හෝ දක්වන්නට වගකීමක් තියෙනවා. හැම ප්‍රශ්නයක්ම රට, ජාතිය වෙනුවෙන් කල් දැමීමත් වැරැදියි. ඒ වගේම වර්ජනය කියන්නේ ප්‍රශ්නයක අවසාන අවස්ථාව මිස මුල් අවස්ථාව නොවන බව අපි තේරුම් ගත යුතුයි.

ඇත්තටම මේ සියලු දෙයින්ම පීඩාවට පත්වෙන්නේ තවත් තුන්වැනි පර්ශ්වයක්. උදාහරණයක් ලෙස බස් ගාස්තු වැඩි කරන්න කියලා බස් රථ සමාගම් ඉල්ලනවා. ආණ්ඩුව කියනවා එය කරන්න බැහැ කියා. නමුත් මේ අතරට මැදිවන්නේ තුන්වැනි පාර්ශ්වයයි. බැට කන්නේ ඔවුන්. විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ අධ්‍යාපනයට විශාල බාධා සිදු වෙනවා. ඒ පාර්ශ්වය උකසට තබමින් තමයි මේ ඉල්ලීම් දිනාගන්න උත්සාහ ගන්නේ. එක පැත්තකින් අදාළ ප්‍රතිලාභ ලබන පිරිස පීඩාවට පත් වන විට තවත් පැත්තකින් තෙවැනි පාර්ශ්වයක් පීඩාවට පත් වෙනවා. විශේෂයෙන්ම දෙපාර්ශ්වයම ක්‍රියා කරන්නේ තුන්වැනි පාර්ශ්වය උකසට තබමින්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා