‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»

ව්‍යවස්ථා සංශෝධනයට බාලගිරි දෝෂය ද?

ව්‍යවස්ථා සංශෝධනයට බාලගිරි දෝෂය ද?

රටට පිළිලයක් වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයට ඇති උනන්දුව යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් ඔවුනට ඒ වෙනුවෙන් සෑහෙන “ගෙදර වැඩ“ කිරීමට සිදුව ඇති බව පෙනී යයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධව අනුගමනය කරන වැනෙනසුලු ප්‍රතිපත්තිය හේතුවෙනි. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනවා යැයි පවසන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එය මුල සිටම අවුල් කිරීමේ ප්‍රතිපත්තියක සිටින බව බැලු බැල්මටම පෙනෙන්නට ඇත. අග්‍රාමාත්‍යවරයා මේ වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාව විවාදයට ගැනීම හා ඒ පිළිබඳ ඡන්ද විමසීම වැළැක්වීමට ජනවාරි නම වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කළේ තමන්ට ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව කියමිනි. ජනවාරි 12 වැනි දා යෝජනාව යළි කැඳවූ අවස්ථාවේ දී සියලු දෙනා පුදුමයට පත්කරමින් ශ්‍රීලනිපය නියෝජනය කරමින්, රජයට සම්බන්ධ වී සිටින මැති ඇමැතිවරු ඊට සංශෝධන ඉදිරිපත් කරන්නට විය.

මේ අතර තමන්ගේ සංශෝධන ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බව ජවිපෙ පැවසු තත්ත්වයක් තුළ මේ පිළිබඳ විවාදය ජනවාරි 26 වැනිදා තෙක් කල් දැමීමට කථානායකවරයාට සිදු විණි. නමුත් දැන් එදින ද මෙම විවාදය නොපැවැත්වෙන බව ස්ථිරව තහවුරු වී තිබේ. පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් අඟහරුවාදා පැවැති අතර එහිදී මේ බව හෙළි වුණි. එම රැස්වීමේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් විමසුවේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ද කියාය. “මේ සතියේ ගේන්න බලාපොරොත්තුවක් නැහැ. සංශෝධන ගේන්න එකඟ වෙලා තියෙනවාÓ කිරිඇල්ලගේ පිළිතුරෙන් පසු දිනේෂ් යළි විමසුවේ, “ඒ කියන්නේ පෙබරවාරි පළමු සතියේ මේක ගැනෙන්නේ නැහැ එහෙම ද“ කියාය.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවට ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරනුයේ පවතින ව්‍යවස්ථාවට “අණ්ඩ“ දැමීම ප්‍රමාණවත් බවය. නමුත් එබඳු පැලැස්තර විසඳුම් හරහා පවතින ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා ද යන්න බරපතළ ලෙස සංවාදයට බඳුන් විය යුතු කාරණයකි. දැනටමත් දහනම වතාවක් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති අතර. සමාජයක් ලෙස අපි මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවලට ඒ හරහා ලැබුණු විසඳුම් කිසිසේත්ම අවශ්‍යතාවයේ තරම හා පෑහුණේ නැත. එබඳු ඉතිහාසයක් තුළ තව තවත් පැලැස්තර ඇලවීම වෙනුවට අද රටට අවශ්‍යව ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. ව්‍යවස්ථාවක් ගෙනා පමණින් මේ මොහොතේ ඇති සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බවට වූ පටු අස්ථානයක අප නොමැති මුත්, එය “වෙනස්වීම“ සඳහා ප්‍රවේශයක් බවට පත්කර ගත හැකිය.

ඒකාබද්ධ විපක්ෂයට ව්‍යවස්ථා සංශෝධනයේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් Òටියුෂන්Ó ලබාදීම සිදු කරනුයේ හිටපු ඇමැති ජී. එල්. පීරිස් ය. පසුගිය සතියේ ද ඒ පිළිබඳ සාකච්ඡාවක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ජී. එල්. ගේ නාරාහේන්පිට නිවසේ පැවැත්විණි. එදා 2000 අගෝස්තුවේ ඉදිරිපත් කළ දේශපාලන යෝජනාවලිය හරහා මේ රටේ ඒකීය ව්‍යුහය වෙනස් කිරීමට පළාත් මට්ටමෙන් පොලිස් සේවා පිහිටුවීමට, කථා කළ ෆෙඩරල්වාදයේ සංකේතයක් බඳු වූ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු ද වන පීරිස් තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් මේ වන විට පත්ව සිටින තත්ත්වය එක් අතකින් කනගාටුදායකය. කනගාටුවකටත් වඩා එය දේශපාලන අවබෝධයක් ඇති වුන් තුළ ඇති කරනුයේ හාස්‍යයකි. දේශපාලනයේ තවදුරටත් රැඳී සිටීම වෙනුවෙන් එදා තමන් කී දැ ඔහු අද වමාරමින් සිටී.

ජී.එල්. පීරිස්ගේ භූමිකාව

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය. ශ්‍රීලනිපයෙන් පරිබාහිරව වෙනම කණ්ඩායමක් ලෙස තරග කරන බවට වූ ඉඟි දැන් දැන් මතුවෙමින් තිබේ. ශ්‍රීලනිපයට සම්බන්ධ හිටපු පළාත් පාලන නියෝජිතයන් එය සාධාරණීකරණය කිරීමට අවශ්‍ය දේශපාලන පදනම, සමාජය තුළ තහවුරු කරමින් සිටින අතර හිටපු ජනාධිපතිවරයා ද “ප්‍රසිද්ධ පෙනී සිටීම්“ වැඩිකර තිබේ. සෑහෙන කාලයක් නිහඬව සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද මේ වන විට කළඑළි බැස ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රසිද්ධ සහයෝගය ද ඒකාබද්ධ විපක්ෂයට හිමි වන බවට ඉඟි පළ වී තිබේ. ජුනියේ දී පැවැත්වෙන බව කියන පළාත් පාලන මැතිවරණය කැඳවීමට පෙර තම ශක්තීන් තර කර ගැනීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ වී ඇති අතර ගෝඨාභය රාජපක්ෂ ඒ වෙනුවෙන් පිහිටුවීමට නියමිත නව පක්ෂයේ ප්‍රකාශිත නායකයා බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.‍ෙ

බදාදා පැවැති සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට මෙවර හිමිව තිබුණේ තරමක අඩු සහභාගිත්වයකි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඇමැතිවරු රැසක් විදේශගතව සිටීම ඊට බලපෑ ප්‍රධාන හේතුව විය. කැබිනට් සාකච්ඡාව ආරම්භයේදීම ඊට පෙර දිනයේ ජීවන දිවිම‍ඟෙන් සමුගත් අමාත්‍ය එම්. කේ. ඩී. ඒ. එස්. ගුණවර්ධන වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් සගයෝ සිය ශෝකය පළ කළහ. අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන වැඩසටහන යටතේ තම කාර්ය සාධනය හා අනාගත අපේක්ෂා පිළිබඳ “ඉදිරිපත් කිරීමක්“ සිදු කිරීම මෙවර පැවැරි තිබුණේ, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයටය. අමාත්‍යාංශ නිලධාරියකු පැමිණ “පවර් පොයින්ට්“ ඉදිරිපත් කිරීමක් සිදුකළ මුත්, එය අතරමඟ ඇණහිටියේ ඉදිරිපත් කිරීම හා පරිගණකය අතර නිසි පරිදි සම්බන්ධීකරණයක් සිදු නොවීම නිසාය.

පොදුවේ ගත් විට එය අතිශය දියාරු ඉදිරිපත් කිරීමක් වූ අතර ඒ නිසාම අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීන්දු කළේය. මේ දිනවල රටේ සෑහෙන කතාබහට ලක්ව ඇති ථේරවාදී භික්ෂු කතිකාවත ලියාපදිංචි කිරීමේ පනත පිළිබඳ මෙවර කැබිනට් රැස්වීමේ දීත් වැඩි අවධානයක් යොමු වූ අතර විෂය භාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන ලදී. “අතිගරු මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මතයි, මේ පනත් කෙටුම්පත හදලා තියෙන්නේ මේ පනත ඉදිරිපත් නොකරනවා ය කියලා ගිය ආණ්ඩුව කාලේ, දි. මු. ජයරත්න අගමැතිතුමාට දෝෂාරෝපණ පවා සංඝ සමාජයෙන් එල්ල වුණා.“ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා පැවසුවේය. “ඒත් මේක හදලා ඉවර වෙලා මහානායක හිමිවරුන්ට පෙන්නන්න බැරිවුණා ය කියලා මේ ගැන අහද්දි මට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් දැනගන්න ලැබුණා.“ ජනාධිපතිවරයා එසේ කියද්දි විජයදාස යළි සඳහන් කළේ එය පෙන්වූ බවය. “එහෙමනම්, ලේකම්තුමා අරහම කියන්නේ ඇයි?“ ජනාධිපතිවරයා විමසුවේය. “නියංගොඩ විජිතසිරි අනුනායක හිමියන් පවා මේ ගැන දන්නේ නැහැ“ ඇමැති දයාසිරි ජයසේකර ද ජනාධිපතිවරයාගේ කතාව අනුමත කරන ලදී.

“දැන් ඕක නවත්තලා, ත්‍රෙයිනිකායික මහ නාහිමිවරුන්ගේ ලිඛිත අනුමැතිය ගන්න. එහෙම ලැබුණොත් ඉස්සරහට යන්න. දේශපාලන වාසි ගන්න අද සමහරු එක එක දේවල් මේ ගැන කියනවා. ඒ හැම එකකින්ම බේරිලා ප්‍රශ්න ඇති නොවන විදිහට මේ වැඩේ කරන්න“ මෙම ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත පිළිබඳ වූ කථාබහ නිම කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ උණුසුම වැඩි වූයේ පොහොර හිඟය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා අදහස් දැක්වීමත් සමඟය. “පොහොර හිඟය ගැටලුවක්. පරණ ක්‍රමයටම පොහොර බෙදමු“ සජිත් එසේ යෝජනා කරද්දි අමාත්‍ය සරත් අමුණුගම දැරුවේ ඊට වෙනස් අදහසකි. “අපිට ආපස්සට හැරෙන්න අමාරුයි. කරගෙන යන වැඩපිළිවෙළ විධිමත් කරමු“ ඔහුගේ යෝජනාව එසේ විය. හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන මහින්ද අමරවීර තුළ වූයේ ද රජය මෙම ප්‍රශ්නයට වහා මැදිහත් වීමක් සිදුකළ යුතු බවය. “ආණ්ඩුවේ ගබඩාවලින් පොහොර නිකුත් නොකිරීම මේ ගැටලුව තවත් බරපතළ කරනවා“ මහින්ද අමරවීරගේ එම ප්‍රකාශයත් සමඟ වහාම කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාව දුරකථනය ඔස්සේ තමන් සමඟ සම්බන්ධ කරන ලෙස ජනාධිපතිවරයා අසල සිටි නිලධාරියකුට දැනුම් දුන්නේය. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක විදේශගතව සිටි බැවින්, ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාව ඇමතුවේය. “ගබඩාවල තිබෙන පොහොර වහාම නිකුත් කරන්න. ගබඩාවල පොහොර හොරට තියාගෙන ඉන්නවානම් ඒ ගැනත් හොයන්න. පුද්ගලික තැන්වල වුණත් එහෙම තියාගෙන ඉන්නවානම් ඒ අයගේ පර්මිට් ගැන තීරණයක් ගන්න.“ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී පොරය

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා පිටත්වීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ පැවැති ගාලු සාහිත්‍ය උලෙළට ප්‍රධාන ආරාධිතයා ලෙස සම්බන්ධ විය. එම සති අන්තය ගාල්ලේ ගත කළ වික්‍රමසිංහ මහතා යළි කොළඹ බලා පැමිණියේ සඳුදාය. ලෝක නායකයින් ඇතුළු ආර්ථික විශේෂඥයින් දෙදහසකට අධික පිරිසක් සහභාගි වන ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාවට ඇරයුම් ලැබුණු පළමු වතාව මෙයයි. ඒ අර්ථයෙන් මෙය ඓතිහාසික අවස්ථාවකි. ස්විස් ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම සමුළුවට පෙර පෝස්ට් හෝටලයේදී ආයෝජන සමුළුව පැවැති අතර එය අමතමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා තම රටෙහි ආයෝජන අවස්ථා පුළුල් කිරීමෙහි ඇති වැදගත්කම පිළිබඳ දේශනයක් පවත්වන ලදී.

අග්‍රාමාත්‍යවරයාට අමතරව ඇමැතිවරුන් වන රවි කරුණානායක, මලික් සමරවික්‍රම, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාර නායකයන් වන සුසන්ත රත්නායක, අශ්රෆ් ඕමාර්, හැරි සෙල්වනාදන්, අජිත් ගුණවර්ධන, සුරේෂ් ෂා, ෂෙමාලී වික්‍රමසිංහ, ජෙහාන් අමරතුංග, තිලාන් විජේසිංහ, කීත් මොඩර්, මංගල යාපා, සුරේෂ් සුබ්‍රමනියම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම අවස්ථාවට එක්ව සිටියහ. ලෝක ආර්ථික සමුළුවට පෙර දේශඵාලන හා ව්‍යාපාර නායකයන් රැසක් සමඟ අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව අග්‍රාමාත්‍යවරයාට ලැබුණු අතර නෙදර්ලන්තයේ පිලිප් ලයිටින් සොලියුෂන් හි ප්‍රධාන විධායක නිලධාරී එරික් රොන්ඩෝලට්, ටාටා සමාගමේ ප්‍රධානි සයිරස් මිස්ට්‍රි, මැක්කින්සි සමාගමේ ආසියානු ප්‍රධානි කෙවින් ස්නීඩර්, බහරේන් පෙට්‍රෝලියම් සමාගමේ ගෞරවණීය සභාපති ෂෙයික් සල්මාන් බින් කලිෆා අල් කලිෆා, මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ජින් පිලිප් ඇතුළු ව්‍යාපාරික දැවැන්තයන් රැසක් සමඟ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්විය.

අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධනගේ හදිසි අභාවය සැලවීමත් සමග ඔහුගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කරනුයේ කවුරුන්දැයි දැනගැනීමට බොහෝ දෙනා උනන්දු විය. මේ අතර ඇතැමුන් එම මන්ත්‍රී ධුරය ලබා ගැන්ම වෙනුවෙන් ගුණවර්ධන මහතාගේ දේහය මල් ශාලාවෙන් පිටතට රැගෙන යෑමට පෙර සිටම ක්‍රියාත්මක වන්නට විය. ඒ වෙනුවෙන් වූ විශේෂ මෙහෙයුම් රැසක් පසුගිය දින කිහිපයේ දැකගත හැකි වූමුත් මේ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ ස්විට්සර්ලන්ත සංචාරය නිමකර අග්‍රාමාත්‍යවරයා යළි මෙරටට පැමිණි පසුය. රෝසි සේනානායක, සරත් ෆොන්සේකා, ඇතුළු කිහිප දෙනෙකුගේ නම් ඒ වෙනුවෙන් මේ දිනවල කියවෙන මුත්, ගුණවර්ධනගේ ඇබෑර්තුව පිරවීමට ඔවුනට ඇති ඉඩ අඩුය. මහ මැතිවරණයේදී පරාජයට පත්වූ දේශපාලනඥයන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගැනීම එජාප සම්ප්‍රදායට පටහැනි තත්ත්වයක් වීම හා ඔවුන් එය අගෝස්තු දාහත් වැනිදා පැවැති මැතිවරණයෙන් පසු ප්‍රායෝගිකව පෙන්වා ඇති පසුබිමක් තුළ එවැන්නකට මේ මොහොතේ ඇති ඉඩ අල්පය.

එබඳු වටපිටාවක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඇබැර්තු පිරවීමේදී වැඩි සැලකිල්ලක් හිමි වනු ඇත්තේ මහා මැතිවරණය පැවැත්වීමට පෙ එක්සත් ජාතික පෙරමුණ විසින් මැතිවරණ කොමසාරිස්වරයාට භාර දුන් ජාතික ලැයිස්තු අපේක්ෂ නාමාවලියටය. ඒ නාමාවලියෙහි සඳහන් දැනට මන්ත්‍රීවරුන් නොවන පුද්ගලයන් අතරින් මෙම තනතුර ලබා ගැන්ම සඳහා පවතින සියලු කොන්දේසි යටතේ වැඩි සම්භාවිතාවක් ඇත්තේ ක්‍රිෂාන්ත කුරේ හෝ සුරනිමල රාජපක්ෂ මහත්වරුනට බව බැලු බැල්මටම පෙනී යයි. ජනවාරි අට වැනිදා සිදුවූ පාලන වෙනස වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ ක්‍රිෂාන්ත කුරේ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු නම්කළ මුල් අවස්ථාවේදීම පාර්ලිමේන්තු යනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළමුත්, ඒ වෙනුවෙන් වූ උණුසුම්කාරි තත්ත්වය තුළ පක්ෂය අර්බුදයකට යාම වැළැක්වීම සඳහා ඔහු සිය කැමැත්තෙන්ම තමන්ව නම් නොකරන ලෙස ඉල්ලීමක් කරන ලදී. ඉන්පසු ද ඉහළ තනතුරු කිහිපයක් කුරේ මහතාට පිරිනැමු මුත් ඔහු ඒවා භාර ගැනීමට උනන්දුවක් නොදැක්වීය. එම පසුබිම තුළ කුරේ ගේ “කැපවීම“ට වඩා වැඩි වටිනාකමක් මේ අවස්ථාවේදී හිමිවුවහොත් එය පුදුම වීමට තරම් හේතුවක් නොවේ.

අනෙක් අතට සුරනිමල රාජපක්ෂ මහතාට ද එබඳුම වූ ඉතිහාසයක් එජාපය තුළ ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම හිතවතෙකු වන රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි මුල් අවස්ථාවේ සිටම ඔහු අත්නොහළ පුද්ගලයෙකි. පසුගිය මහ මැතිවරණ අවස්ථාවේදී කොළඹින් තරග කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සට‍ෙන් ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවමින් සුරනිමල ඉදිරියෙන්ම විය.

මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරවීමේ අවස්ථාව එජාපයට ලැබී ඇති මුත්, තවත් පිරිසක් තර්ක කරනුයේ ගුණවර්ධන ශ්‍රීලනිප මූලයක් සහිත පුද්ගලයකු බැවින් මෙම ඇබැර්තුව එබඳු සම්භවයක් සහිත පුද්ගලයකුගෙන් පිරවිය යුතු බවය. හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේගේ නම මේ සඳහා යෝජනා කිරීමට ඇතැමුන් මෙහෙයුමක් සිදු කරමින් සිටිනුයේ ඉහත තර්කය මත පිහිටා සිටිමිනි. නමුත් රෙජිනෝල්ඩ්ව ‍ෙමම ඇබැර්තුවට නම්කළහොත් එය බරපතළ දේශපාලන ප්‍රහසනයකට වඩා වැඩි යමක් නොවේ. ඒ පසුගිය මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුව තුළ රෙජිනෝල්ඩ්ගේ නම තිබු බැවිනි. මේ අතර චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වනවා යැයි පවසන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය ද මෙම ඇබැර්තුව තමනගේ කෙනෙකුගෙන් පිරවිය යුතු බව “ගෝරනාඩු“ කර තිබුණේ ගුණවර්ධන මහතාගේ නම තම සංවිධානය හරහා ජාතික ලැයිස්තුවට එක්වූ බව කියමිනි.

සැබැවින්ම මෙම සියලු තත්ත්වයන් තුළ හිස්ව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරවීම යනු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩි පරීක්ෂාවකට ලක්වන අවස්ථාවකි. ඒ සම්බන්ධව ඔහු දක්වන ප්‍රතිචාර ඉදිරි දින කිහිපයේදී දැකගත හැකි වනවා ඇත. මීට අමතරව එක්සත් ජාතික පෙරමුණේ තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් මේ වන විට හිස්ව පවතී. ඒ මන්ත්‍රී අබ්දුල් රවුෆ් අබ්දුල් හෆීස් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීම නිසාවෙනි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම්ගේ වැඩිමහල් සොහොයුරා වන හෆීස්ව එම පක්ෂයට හිමි වූ කෝටාව යටතේ පාර්ලිමේන්තුවට නම් කළේ ඒ අවස්ථාවේ පැන නැ‍ඟෙමින් පැවැති දේශපාලන ගැටලුවකට තාවකාලික විසඳුමක් ලබාදීමටය. හෆීස්ගේ ඉවත් වීමෙන් පසු ත්‍රිකුණාමලයේ තවුෆික්ව එම තනතුරට නම් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකත්වය උත්සාහ කරන මුත් පක්ෂ මහලේකම් හසන් අලී මහතා ඊට තම දැඩි විරෝධය පළ කර ඇති බව කියැවෙයි.

බොදුබල සේනා සංවිධානය හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සුහද ලෙස පැවැති මෙම සාකච්ඡාවේදී ආසියාව පුරා නැ‍ඟ එමින් පවතින මුස්ලිම් අන්තවාදය හා විල්පත්තුවේ වන සංහාරය පිළිබඳව බොදුබල සේනාවේ නියෝජිතයන් වැඩි වශයෙන් අදහස් දක්වන ලදී. විල්පත්තුව අවට සිදුවෙමින් තිබෙන දෑ පිළිබඳ තමන් අවබෝධයෙන් සිටින බව බොදුබල සේනාවේ නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා දැනටමත් ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ බලධාරීන්ට උපදෙස් නිකුත් කර ඇති බව ද ප්‍රකාශ කළේය. ආසියානු කලාපය පුරා පිම්මේ හිස ඔසවමින් පවතින, මුස්ලිම්, අන්තවාදය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් බොදුබල සේනා සංවිධානය කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ද සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර ඊට “වේලාව“ හිමිව ඇති බව දැනගන්නට ඇත.

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් හා එම පළාත් සභාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු අතර ඇතිව ඇති මත ගැටුම තීරණාත්මක තැනකට මේ වන විට ළඟා වී තිබේ. විශේෂයෙන්ම විග්නේශ්වරන් දෙමළ මහජන සභාව නමින් වෙනම සංවිධානයක් පිහිටුවීම සම්බන්ධව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරු දැඩි විරෝධය දක්වනුයේ, උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා දේශපාලන දෙබිඩ්ඩෙකු බව චෝදනා කරමිනි. මතු වෙමින් පවතින මෙම දේශපාලන වර්ධනයන් පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් තමනට ලබා දෙන ලෙස පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසි දෙදෙනෙකු විග්නේශ්වරන්ට ලිපියක් යොමුකර තිබිණි. ඒ අනුව එම රැස්වීම පසුගිය දාහත් වැනි දා පැවැත්වීමට නියමිතව තිබුණ ද තමනට අසනීප යැයි කියමින් විග්නේශ්වරන් එය අවසන් මොහොතේ දින කිහිපයකට කල් දමන ලදී. කෙසේ වෙතත් අසනීප යැයි කියා උතුරු පළාත් මහ ඇමැතිවරයා එදින දෙමළ මහජන සභාවේ රැස්වීමකට සහභාගි වීම විශේෂත්වයක් විය. එය පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ කෝපය තවත් ඉහළ නැංවීමට සමත් විය. මෙම තත්ත්වය තුළ විග්නේශ්වරන්ව මහ ඇමැති ධුරයෙන් ඉවත් කරමින් පළාත් සභා සභාපති සිවඥානම්ව එම තනතුරට ගෙන ඒමට ඇතැමුන් උත්සාහ කරමින් සිටිය ද පසුගිය දා කිලිනොච්චියේ පැවැති සාකච්ඡාවකදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහ ඇමැති ධුරයේ වෙනසක් නොවන බවට සහතිකයක් විග්නේශ්වරන්ට ලබා දුන් බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

අමතක වූ ජනවරම

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලය විසින් පසුගිය සතියේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කර තිබිණි. ඒ වසරක් ගතවූ පසුව ආණ්ඩ‍ුවේ වංචා දූෂණ පරීක්ෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහාය. ඊට පෙර මාධ්‍ය හමුවේදි කථා කළ යුතු කාරණා පිළිබඳ පක්ෂ නායකයින් අතර මේ සම්බන්ධයෙන් කතාබහක් ඇති විය. “මේ ආණ්ඩුවට නැවත නැවත ඔවුන්ට ලැබුණු ජනවරම ගැන මතක් කරලා දෙන්න වෙලා. බලය ගන්න පාවිච්චි කරපු ප්‍රධාන සටන් පාඨයත් ආණ්ඩුවට අමතක වෙලා. ජනාධිපතිවරණය වෙලාවෙයි මහ මැතිවරණය වෙලාවෙයි වේදිකාවල මහ ලොකුවට කෑ ගැහුවේ වංචා දූෂණ ගැන, අපරාධකාරයෝ, හොරු හිරේ දාන එක ගැන. ඒත් දැන් බලය ලැබුණට පස්සේ හැමදේම අමතක වෙලා“ පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා සාකච්ඡාව අරඹමින් පැවසුවේය.

“පසුගිය නොවැම්බර් මාසයේ රාජපක්ෂ පවුලේ ළඟම කෙනෙක් අත්අඩංගුවට ගන්න තීරණය වෙලා තිබුණා. නමුත් ඒක අයවැයෙන් පස්සට දැම්මා. ඊට පස්සේ පදවි ප්‍රාප්තිය සමරන නිසා අත්අඩංගුවට ගන්න එපා කිව්වා. ඊට පස්සේ අත්අඩංගුවට ගන්න හදන කොට ව්‍යවස්ථාව එක්ක බොරු සංවාදයක් දාගත්තා. දැන් වංචා දූෂණ හැම එකක්ම ව්‍යවස්ථාවෙන් යටගහලා. ඒකෙන් දැන් රාජපක්ෂ කල්ලි‍යේ අපරාධකාරයින් නිදැල්ලේ ඉන්නවා.“ අනුර දිසානායක ද ටිල්වින්ගේ කතාවට උණුසුම් පූර්ණයක් එක් කළේය. “ඔව්, ජනාධිපතිතුමා‍ගේ බලය රැකගන්න එතුමා සමහරු රැකගන්න හදනවා. ශ්‍රීලනිපය දෙකඩ කරන්න බලාගෙන තව සමහරුන්ව ආරක්ෂා කරනවා. පාස්පෝට් ප්‍රශ්නෙදි විමල් වීරවංශ අත්අඩංගුවට ගන්න ඕනෑ තරම් හේතු තිබුණත් නීතිඥයින් යවලා විමල් නිදහස් කර ගන්නවා. එහෙමයි මේකේ ගනුදෙනු සිද්ද වෙන්නේ“ ලාල්කාන්ත කීවේය.

“මේ ආණ්ඩුවේ ඩීල් තියෙන්නේ ආණ්ඩුවේ ඇතුලේ ඉන්න අයගේ පමණක් නෙවෙයි. පොදු විපක්ෂයේ කියලා ලොකුවට කයිවාරු ගහන අයත් ආණ්ඩවත් එක්ක ඩීල් එකේ ඉන්නේ. අයවැය වෙලාවෙදි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ඡන්දේ දෙන්න පාර්ලිමේන්තුවට ආවේ නැහැ. විමල් වීරවංශ අඩුම ගාණේ අයවැය තුන්වෙනි වර ඡන්දයෙ විවාදයට හිටියේ නැතිව රට ගියා රනිල් හදලා දුන්න පාස්පෝට් එකෙන්Ó සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේය. “රාජපක්ෂ පාලනය කාලේ බලය පාවිච්චි කරලා හොරකම් කළා. දැන් බලය රැක ගන්න බලය පාවිච්චි කරලා අපරාධකාරයින් ආරක්ෂා කරනවා. ජනතාවගේ බලාපොරොත්තු, අපේක්ෂා ගැන දැන් ආණ්ඩුවට ගාණක් නැහැ“ බිමල් රත්නායක ද පැවසුවේය.

“මේ වෙන‍කොට විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් ෆයිල් එකසිය අනූ ගණනක් සම්බන්ධයෙන් පරීක්ෂණ යනවා. ෆයිල් 30ක වාර්තා නීතිපතට යවලා තියෙන්නේ. ඒත් අපරාධකාරයින්ට එරෙහිව නඩු දාන්නේ නැහැ. මේ පරීක්ෂණ කරන ආයතනවල ප්‍රශ්නයක් නෙවෙයි. ආණ්ඩුවේ මැදිහත්වීමේ ප්‍රශ්නයක්.“ අනුර, යළි කීවේය. “ඡන්දෙන් පස්සේ ජනතාව බලාගෙන හිටියා හොරු දෙන්නෙක් තුන්දෙනෙක් හිරේ දායි කියලා. හොරු අල්ලන්න ආපු අයයි හොරු ටිකයි එකතු වෙලා ආණ්ඩුව හැදුවට පස්සේ කවුද හිරේ දාන්නේ. හොරුන්ට නඩුදාලා චෝදනා පත්‍ර දෙන්න ඕන වෙලාවේ හොරු ටික ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා ඇමැතිකම් දුන්නා. ඒ නිසා මේ ආණ්ඩුවෙන් වංචා දූෂණ ගැන පරීක්ෂණ බලාපොරොත්තු වෙන එක නිෂ්ඵල දෙයක්. මේ ගැන අපි ජනතාව දැනුවත් කරලා ආණ්ඩුවට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ටිල්වින් සිල්වා යෝජනා කළේ ය.

‍‍‍මේ වනවිට ඌව පළාත් සභාවේ අර්බුදයක් මතුවී තිබේ. එහි බලය හොබවනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයය. ‍මෑතකදී එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායක ධූරය දැරූ උපාලි සමරවීර මන්ත්‍රීවරයා පළාත් සභාවේ ඇමැති ධූරයක් ලබාගත් අතර ඒ අනුව එක්සත් ජාතික පක්ෂය දැන් පළාතේ ආණ්ඩ‍ුවට සම්බන්ධ වී ඇති බව ජවිපෙ කියයි.“

“විපක්ෂ නායකවරයා පළාත් සභාවේ ඇමැති ධූර පහෙන් එකක් ගත්තා. ඔහු කියලා නැහැ එජාපයෙන් ඉවත් වුණා කියලා. ඒ කියන්නේ එජාප - එජනිස හවුල් ආණ්ඩුවක් තමයි දැන් ඌවේ තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඒ විදියට සිදුවුණාම විපක්ෂ නායක ධූරය ටීඑන්ඒ එකට ගියා. ඒ අනුව ඌව විපක්ෂ නායක ධූරය ජවිපෙට ලැබෙන්න ඕනෑ.‘ පසුගිය පළාත් සභා වාරයේදී සමන්ත විද්‍යාරත්න සිය අයිතිය ඉල්ලමින් කතා කළේ ය.‘ එහෙම වෙන්න බැහැ. මහ ඇමැතිතුමාගේ තීරණය තමයි අවසන් තීරණයÓ කියමින් ඒ පිළිබඳ තීරණයක් ගැනීම ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු මැදිහත්වී කල්දමා ගන්නා ලදි.

‘සමන්ත විපක්ෂ නායක ධූරයට ආවොත් අපිට වැඩක් කරගන්න වෙන එකක් නැහැ. හැම දෙයක් ගැනම හොයලා බලන නිසා ලේසියෙන් අපිට ඕන වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා සමන්තට විපක්ෂ නායක ධූරය දුන්නොත් අපිට ඇණයක් වෙනවා‘ එජනිස පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එසේ කතා වී තිබේ. එනමුත් ශ්‍රීලනිපයේ ම පිරිසක් සමන්ත විද්‍යාරත්නට විපක්ෂ නායක ධූරය ලබාදීමට කැමැත්ත පළකර ඇත. “එජාපයත් අපිත් එක්ක හවුල් කියලා අපි පිළිගත්තොත් අපිට අවාසියි. අපිට ලැබෙන ප්‍රතිපාදන ටිකත් යූඑන්පී කාරයන් අතරේ බෙදිලා යනවා. ඒකෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ.“ඒ එම කණ්ඩායමේ අදහසය. මේ අතර එජාප මන්ත්‍රී කණ්ඩායම කබීර් හෂීම් පක්ෂ මහලේකම්වරයාට ලියුමක් මගින් දැනුම්දී ඇත්තේ තම පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව විපක්ෂ නායක ධූරයට නම් කරන ලෙස ය. මීළඟ සභාවාරය ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත ය.‍‍

කරූ කලබල වෙයි

මේ අතර පොලිසියේ වත්මන් ක්‍රියාකාරිත්වය සම්බන්ධ වද ජවිපෙ නායකයන් අතර කතාබහක් සිදුවිණි. “මේ වෙනකොට පොලිසිය සම්බන්ධයෙන් නරක චිත්‍රයක් ජනතාවට තිබෙන්නේ. ඒ විතරක් නොවෙයි ජනතාවත් ලොකු අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. පොලිසියේ අන්තනෝමතික ක්‍රියා නිසා. රාජපක්ෂ පාලනය කාලේ පොලිසිය දේශපාලනයට යොදාගත්තා. මේ ආණ්ඩුවත් කිසි වෙනසක් නැහැ. පොලිසි‍යත් තමන්ගේ සීමාව පැනලා කටයුතු කරනවා“ විජිත හේරත් කීවේ ය. “පසුගිය කාලේ කටුනායක වෙඩි තැබීම, හලාවත් වෙඩි තැබීම, වැලිවේරිය ඝාතන කතා කළා. පොලිසියට චෝදනා එල්ල වුණා. ඒ නිසා මේ ගැන ජනතාවගේත් ‍පාර්ලිමේන්තුවේත් අවධානය යොමු කරන්න කල් තැබීමේ විවාදයක් යෝජනා කරමුÓ පක්ෂ නායක අනුර දිසානායක යෝජනා කළේ ය. “පොලිසියේ අඩුපාඩු කතා කරන්නත් ඕනෑ. ඒ වගේ ම පොලිසිය මුහුණ දීලා තිබෙන අනෙකුත් ගැටලු ගැනත් අපි කතා ක‍රමු. ඔවුන්ගේ සේවා ගැටලු, ස්ථාන මාරුවීම්, වැටුප්, දීමනා පිළිබඳවත් අපි අවධානය යොමුකරන්න ඕනෑ“ බිමල් රත්නායක කීවේ ය.‍

‍ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කම්කරු සංගමය විසින් දෙවන වරටත් ලෙනින් සමරුවක් සංවිධානය කර තිබිණි. “ලෝකය වෙනස් කළ සැබෑ මිනිසා ලෙනින්“ නම් වූ ප්‍රදර්ශන කුටියකින් හා සමරු දේශනයකින් මෙම සමරුව සමන්විත විය. එම උත්සවය 21 වැනිදා ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත චීන තානාපතිවරයා, වියට්නාම තානාපතිනිය, කියුබන් තානාපතිවරයා සහ පලස්තීන තානාපතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ඊට සමගාමීව 'ලෙනින් තෙලිතුඩින්' නමින් පාසල් දරුවන් සඳහා චිත්‍ර වැඩමුළුවක් ද පැවැත්විණි.

මැලේසියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය කථානායක සමුළුවට සහභාගි වූ කරු ජයසූරිය මහතා සිංගප්පූරුවේ ලංකාරාමයට ගොස් බෝධි පූජාවක් ද පවත්වා ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව දිවයිනට පැමිණියේ 16 වනදා අලුයමය.

කථානායක ධුරයට පත් වූ දා සිට වඩාත් විනය ගරුක ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම උදෙසා විශාල පරිශ්‍රමයක නියැළී සිටින ජයසූරිය මහතා සතිය ආරම්භයේදී දිනපතා පුවත්පතක පළකර තිබූ පුවතක් දැක මහත් වික්ෂිප්ත භාවයට පත් විය. එම පුවතින් අනාවරණය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් අශෝභන බලපෑම් එල්ල වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බවය.

සඳුදා උදෑසනම එකී පුවත්පත ද අතැතිව පාර්ලිමේන්තුවට පැමිණි කථානායකවරයා ඒ පිළිබඳව අදාළ නිලධාරීන් මඟින් ක්ෂණික විමර්ශනයක් සිදුකළ නමුත්, කිසිවෙක් වෙත එවන් පැමිණිල්ලක් ලැබී නැති බව, නිලධාරීන් මෙන්ම නියෝජ්‍ය කථානායකවරයාගෙන් ද තහවුරු කරගත්තේය. ඒ පිළිබඳ වහාම පුවත්පත් නිවේදනයක් නිකුත් කරන ලෙස මාධ්‍ය අංශයට උපදෙස් දුන් කථානායකවරයා කීවේ, ඕනෑම මන්ත්‍රීවරියකට එවන් පැමිණිල්ලක් ඍජුවම තමන් වෙත දැනුම් දෙන ලෙසත්, අවශ්‍ය උපරීම ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවය, කෙසේ වෙතත් මේ දක්වා කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.

අඟහරුවාදා සවස් භාගයේ ආනන්ද විදුහලේ කීර්තිමත් ආදි සිසුවකු වන කරු ජයසූරිය මහතාව හමුවීමට ආදි ආනන්දීයන් පිරිසක් කථානායක නිල නිවසට පැමිණි අතර, ආනන්ද විදුහලේ වත්මන් තත්ත්වය පිළිබඳව දිගු කතාබහක් එහිදී සිදු විය. බදාදා පෙරවරුවෙහි රාජගිරියේ සදහම් සෙවණෙහි අභිනවයෙන් ඉදිවන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ මුල්ගල තැබු කථානායකවරයා කෙළින්ම පිටත්ව ගියේ අභාවප්‍රාප්ත එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන අමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ගම්පහ පල්ලිය පාරේ පිහිටි ඔහුගේ නිවස වෙතය. ඉතා සාමාන්‍ය ගැමියෙකු ලෙස ජීවත් වූ එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන අමාත්‍යවරයාගේ දිවිපෙවත බෙහෙවින් අගය කළ කථානායකවරයා ගුණවර්ධන මහත්මිය හා දරු දෙදෙනා සමඟ දිගු වේලාවක් කතාබහ කරමින් සිටියේ දේශපාලනයට පැමිණීමට පෙර සිටම ඒ මහතා සමඟ තිබු මිත්‍රත්වය ද සිහි කරමිනි.

මේ අතර එදින සන්ධ්‍යාවේදි ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන් පිරිසක් ද, පුරවැසි බලය සංවිධානයේ පුරෝගාමීහු පිරිසක් ද සමඟ කථානායකවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී පොදු අවධානය යොමු වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ඇති ප්‍රවේශයය. “මේ පිළිබඳව ඔබතුමන්ලා වැනි අයගේ අදහස් අපිට ඉතාම වැදගත් නව ව්‍යවස්ථාව පිළිබඳව වාගේම ස්වාධීන කොමිෂන් සභා වැනි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජයේ ඇතිවූ ඉල්ලීමට ජවය දුන්නේ ඔබ වැනි බුද්ධිමත් සමාජ ක්‍රියාකාරීන් මින් ඉදිරියටත් ඒ වෙනුවෙන් පෙනී ඉන්න“ කථානායකවරයා පැවැසීය. ස්වාධින කොමිෂන් සභාවල ප්‍රගතිය පිළිබඳව තෘප්තිමත් අදහස් පළ කළ පුරවැසි බලය නියෝජිතයින් ඒ වෙනුවෙන් කථානායකවරයාගේ මැදිහත් වීම අගය කළේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්