‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»

සැමියා මරන්න බිරිය අනියම් සැමියා සමඟ කළ කුමන්ත්‍රණය

සැමියා මරන්න බිරිය අනියම් සැමියා සමඟ කළ කුමන්ත්‍රණය

පාකිස්තානු අගමැතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් ඔහු පැමිණෙන ජනවාරි හතරවැනිදාට පෙර සිටම කටුනායක මීගමුව සීදුව ආදි ප්‍රදේශවල දැඩි ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක කෙරිණ. ඒ කිසිදු ආකාරයක හෝ සිදුවීමක් නොවන්නටය. එහෙත් තුන් වැනිදා රාත්‍රී නවයයි තිහට පමණ එකවරම ඇතිවුණු පිපිරීම් ශබ්දයකින් මුළු මීගමුවම හෙල්ලුම් කා ගියේය. පොලීසිය මහත් සේ කලබලයට පත් විය. ඒ ඊට පසුදා අලුයම පකිස්තානු අගමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණීමට නියමිතව සිටි නිසාය.

කෙසේ වෙතත් පිපිරීම ඇතිවී තිබුණේ මීගමුව කුරණ පරාක්‍රම පාරේය. පිපිරීමෙන් මොටෝ රියකට හා වෑන් රියකට හානි සිදුවී තිබිණ. වහා එතැනට පැමිණි නිලධාරීහු සිද්ධිය කුමක්දැයි විමසා බැලූහ. කවුරුත් සිතුවේ හානියට ලක්ව තිබූ හයිබ්‍රිඩ් වර්ගයේ මොටෝ රියේ බැටරිය පිපිරීම නිසා මෙවැන්නක් සිදුවී ඇති බවය. මීගමුව පොලීසිය මෙන්ම සොකෝ අංශය ද එතැනට කැඳවීමෙන් පසු එහි ඇත්ත නැත්ත සෙවීමට පරීක්ෂණ ඇරැඹිණ. පරීක්ෂණයේ යෙදුණු නිලධාරියකු එහි තිබී අත්බෝම්බයක වැටි තිබු 'ලිවර්' එකක් සොයාගත්තේ ඔය අතරය. ඒත් සමඟම නිලධාරීන්ගේ උපකල්පනය වූයේ බැටරි පිපිරීමක් නොව මෙය අත්බෝම්බ ප්‍රහාරයක් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම මහතා සහකාර පොලිස් අධිකාරි අශෝක විජේරත්න මහතාට දුන් උපදෙස් අනුව විමර්ශන කණ්ඩායම් තුනක් මේ සඳහා පත් කෙරිණ. මීගමුව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය, කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති හා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒ සඳහා පත්කෙරුණු අතර මොවුහු එක් කණ්ඩායමක් ලෙස එක්වී මේ අත්බෝම්බ ප්‍රහාරය කුමක් ද එය කාට එල්ල කළ එකක් ද කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න සෙවීමට උත්සුක වූහ.

සිද්ධිය ඇසින් දුටු අය මෙන්ම වෙනත් සාක්කි ද සොයා ගිය නිලධාරින්ට දැනගන්නට ලැබුණේ අත්බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලත් ලූජින් නමැත්තකු මීගමුව රෝහලට ඇතුළත් කළ බවය.

පොලීසිය ඊළඟට ගියේ ලූජින් සොයාය. ඔහු පැවසුවේ තමන්ට එවන් ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් තරහකරුවකු නොමැති බවය. තව දුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසුවේ මාදම්පේ ප්‍රදේශයේ තමන්ට අක්කර පහක ඉඩමක් ඇති බවත් එම ඉඩමේ කපන ලද තේක්ක ගස් කිහිපයක් මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවකු එනතුරු පරාක්‍රම පාරේ රැඳී සිටියදී එම පිපිරීම ඇතිවූ බවය.

අනුර අබේවික්‍රම (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මීගමුව කොට්ඨාසය) සහ අශෝක විජේරත්න (සහකාර පොලිස් අධිකාරි මීගමුව (1))

ප්‍රශ්න කිරීමේදී නිලධාරීන්ට අවබෝධ වූයේ මාදම්පෙ ඉඩමෙන් කපන ලද තේක්ක ගස් මිලයට ගැනීම සඳහා මුදල් ලබා ගන්නට කිසියම් අයකු එනතුරු ලූජින් එතැන රැඳී සිට ඇති බවය.

“එයාල ඇඩ්වාන්ස් එක දෙන්න මඟ එනවා කිව්වා. ඒත් ඔය පිපිරිම වුණාට පස්සෙ මම ඉස්පිරිතාලේ යනකොටත් එයාලට කතා කළා. ඉන් පස්සේ එයාලගේ ෆෝන් එක ඕෆ්.“ ලූජින් පොලිස් නිලධාරින් හමුවේ කියා සිටියේය. ඔහුගේ කතාව ඇත්තක් දැයි දැනගැනීමට ගනුදෙනුකරුවාගේ ජංගම දුරකථනයේ අංකය ලබාගත් නිලධාරීන් ඉන්පසු කළේ එම සිම්පතේ හිමිකරු කවුදැයි සොයා ගැනීමය.

මේ ඔස්සේ ගිය නිලධාරීන්ට දැනගන්නට හැකි වූයේ එම සිම් පත ඉතාලියේ සිට නිවාඩුවට පැමිණි කාන්තාවක මෙරටදී පාවිච්චි කොට යළි එය ඉතාලියට රැගෙන ගොස් ඇති බවය. ඉතාලියේ සිට පැමිණි රවි නමැති අයකු කාන්තාවගෙන් එම සිම් පත රැගෙන මෙරටට පැමිණ එය පාවිච්චි කර ඇති බව ද ඉන්පසු කළ විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.

එම සිම් පත යොදාගෙන මෙරට දී ලබා ගත් හා දුන් දුරකථන අංක පිළිබඳ විමර්ශනය කළ නිලධාරීන්ට දැනගත හැකි වූයේ එමඟින් පුද්ගලයන් තුන් හතර දෙනකුට 2015/12/17 සිට 2016/01/04 දක්වා දිගින් දිගටම ඇමතුම් ලබාගෙන ඇති බවත් 4 වැනිදායින් පසු කිසිදු ඇමතුමක් ලබාගෙන නැති බවත්ය.

“ඉන් පස්සේ අපි ඒ අංකයෙන් වැඩිපුරම ඇමතුම් ගත් කෙනාව හොයාගත්තා. මිනිහා පිළියන්දල පදිංචි කොමාන්ඩෝ බළකායේ හිටපු සෙබළෙක්. සමන් කුමාර කියලා. හමුදාවෙන් අයින්වෙලා අවුරුදු 11ක් විතර වෙනවා... අපි මිනිහ ගෙනත් ප්‍රශ්න කළා. එතකොට තමයි මේ අත්බෝම්බ ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිවුණේ.“ විමර්ශනයේ යෙදුණු කොට්ඨාස බාර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා කීවේය.

සමන් තමන් අත්බෝම්බය එල්ල කළ බව පිළිගත් අතර බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ කොන්ත්‍රාත්තුව බාර දුන් කෙනා ගැන ද හෙළි කළේය. ලූජින් නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව ලක්ෂ 2ක මුදලක් දෙන බවත් ගෙය හදන්න උදවු කරන බවත් ඉතාලියේ සිටි අය කී බවත් තමා සමඟ ඩුබායි යන්නට සූදානමින් සිටින ලෙස දැනුම් දුන් නිසා මෙවැන්නක් කිරීමට තමා පෙලඹුණ බවත් සමන් පොලීසිය හමුවේ කියා සිටියේය.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ලූජින් ඝාතන සැලැස්ම ගැන සියලු තොරතුරු පැවසුවේය. බෝම්බය ගසන්නට තමා සමඟ පැමිණි ධනුෂ්ක යන අය ගැන ද කීවේය. ඉන් පසුව පොලීසිය කළේ ලූජින් මරා දැමීමට අවශ්‍ය වූයේ කාටදැයි සොයා ගැනීමටය. ඒ අනුව නිලධාරීන් වැඩිදුර විස්තර සොයන්නට විය.

ලූජින් දරු දෙදෙනකුගේ පියෙකි. ඔහු සිය බිරිය සමඟ වසර ගණනාවක් ඉතාලියේ රැකියාව කර ඇත. ඉතාලියේදී හරි හම්බ කරගත් වස්තුව හා දේපළ ඇත්තේ ලූජින්ගේ නමටය. ලූජින් හා බිරිය මෙරටට පැමිණියේ වසර ගණනාවකට පසුය. ගෙනා මුදලින් ඉඩකඩම් පවා මිලදීගෙන තිබිණ. මාදම්පේ අක්කර පහක වත්තක් ලූජින් සතුව ඇත. ඒ නිසා ලූජින් වැඩි හරියක්ම ගත කරන්නේ වත්තේය. ලූජින්ගේ බිරිය දරු දෙදෙනා ද සමඟ කුරණ පදිංචි වී සිටියාය.

මේ අතරතුර වීසා දිගු කර ගැනීම සඳහා ලූජින්ගේ බිරිය යළි ඉතාලියට යන්නේ තනිවමය. එහිදී ඇය සිය මිතුරියකගේ නිවෙසකට ගොස් ඇත. එහිදී ඇගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගන්නා මිතුරියගේ සැමියා වන රවි යන අය, ඇය සමඟ අනියම් ඇසුරක් ගොඩනඟා ගෙන තිබිණ.

එහෙත් වැඩි කලක් නොගොස් රවි හා ලූජින්ගේ බිරිය අතර ඇති අනියම් පෙම ඉතාලියේ සිටි මිතුරන් විසින් ලූජින්ට දන්වා ඇත. ආරවුල් ඇතිවන්නේ එතැන් සිටය. යළි මෙරටට පැමිණි බිරියට වධ හිංසා පමුණුවමින් ඇයගේ ගමන් බලපත්‍රය පවා අතට ගන්නා ලූජින් ඉන් පසුව ඇයට හරිහැටි නොසැලකුවේය. මෙනිසා ලූජින්ගේ බිරිය හිටියේ නොසතුටින්ය. ඇය මේ බව ඉතාලියේ සිටින අනියම් සැමියාට පවසා ඇත. ඒ අනුව ලූජින් ඝාතන සැලසුම සකස් වන්නේය. ඉතාලියේ සිටින මිතුරකුගේ මාර්ගයෙන් පිළියන්දල සිටින සමන් දැන හඳුනාගන්නා රවී අනියම් බිරිය බේරා ගැනීමටත් ඔහු සතුව ඇති අක්කර පහක වත්ත ලබා ගැනීමේත් අරමුණෙන් ලංකාවට එන්නේ කොන්ත්‍රාත්තුවක් දී ලූජින් මරා දැමීමේ අදහසින්ය.

ඉතාලියේ දන්නා කියන කාන්තාවක් සතු ජංගම දුරකථනයක සිම්පත ද රැගෙන ලංකාවට එන රවී එය උපයෝගී කරගනිමින් සමන් මුණගැසී ලූජින් ඝාතනයට සැලසුම් සකස් කරන්නේය. ඒ අතර එම අංකයෙන් කතාබස් කරමින් ලූජින්ගේ බිරිය සමඟ ද සබඳතා පවත්වාගෙන ගොස් ඇත.

ලූජින් වත්තේදීම ඝාතනය කිරිමේ අරමුණෙන් වරෙක රවී සිය මිතුරන් වූ සමන් හා ධනුෂ්ක සමඟ මාදම්පේට ගිය ද වත්ත සොයා ගැනීමට නොහැකිව නැවත පැමිණියේය. රවි මේ බව ලුජින්ගේ බිරියට පවසා ඇත. අවසානයේ ඇය සිය දරු දෙදෙනා නිවෙසේ සිටියදී රවි සමඟ ගොස් සිය සැමියාගේ වත්ත තියෙන තැන පෙන්වා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

“එයාගේ වත්තේ තේක්ක ගස් වගයක් තියෙනවා. එයා ඒවා විකුණන්න හදනවා. ඒක ගන්න වගේ ඔයාලට යන්න පුළුවන්.“ ලූජින්ගේ බිරිය ඔවුන් හමුවේ එසේ පවසා තිබිණි.

ඒ අනුව පසුදාම රවි සිය මිතුරන් වන සමන් හා ධනුෂ්ක සමඟ මාදම්පේට යන්නේ තේක්ක ගැනීමේ මුවාවෙනි. මේ කිසිත් නොදත් ලූජින් රවි හා මිතුරන්ට තේක්ක ගස් පෙන්වා ඇත. ඒවා මිලදී ගැනීමට කැමැත්ත පළ කළ රවී ඊට අත්තිකාරම් මුදලක් ලබාදීමට ජනවාරි 3 වැනිදා සවස යළි එන බව පවසා තිබිණි.

ඝාතන සැලැස්ම සැකසෙන්නේ ඔය අතරය. සිය දුරකථනයෙන් ලූජින් අමතන රවී අත්තිකාරම් මුදල ද රැගෙන එන බවත් රාත්‍රී නවයට පමණ පරාක්‍රම පාරට ඇවිත් සිටින ලෙසත් දන්වා තිබේ.

කුලියට ගත් මෝටර් රථයකින් කටුනායකට පැමිණෙන රවීට එතැනදී සමන් මුණ ගැසී ඇත. මෝටර් සයිකලයකින් පැමිණෙන ධනුෂ්ක මුණගැසුණු ඔවුන්ට අත්බෝම්බය ලබා දී ඇත්තේ රවීය.

“උඹලා වැඩේ කරපන්... වැඩේ කරලා වේයන්ගොඩට වරෙන්. මං එතැන ඉන්නවා.“ රවි සිය මිතුරන්ට පවසා දුරකථනයෙන් ලුජින් හා යළි සම්බන්ධ වෙමින් කියන්නේ පාරේ බ්ලොක් එකක් නිසා විනාඩි පහක් ප්‍රමාද වන බවත් කොහේවත් නොගිහින් ඔතනම රැඳී සිටින ලෙසත්ය.

අත්බෝම්බය රැගෙන මෝටර් සයිකලයේ පිටුපස නැගී යන සමන් පරාක්‍රම පාරේ රැඳී සිටින ලූජින් දකින්නේ ඔය අතරය. අත රැඳුණු බෝම්බයේ පින් එක කඩා එය ලූජින් වෙතට විසි කරන සමන්ට ඉන් පසුව ඇහෙන්නේ බෝම්බය පිපිරි යන හඬය.

“වැඩේ හරි.. අපි යමු...“

සමන් ධනුෂ්කට පැවැසීය. එහෙත් ඔවුන් සිතූ පරිදි අත්බෝම්බ ප්‍රහාරය සාර්ථක නොවීය. ලූජින් විසිරී ගිය කැබැල්ලකින් තුවාල ලැබුවා පමණි.

“රවි අයියේ වැඩේ හරි...“ සමන්ගෙන් රවීට ඇමතුමකි.

“එහෙනම් වේයන්ගොඩට එන්න“රවි සතුටෙන් කීවේය.

ඒ සමඟම රවිගේ ජංගම දුරකථනය යළි නාද විය.

“මම මේ ලූජින් කතා කරන්නේ. පොඩි කරදරයක් වෙලා මම ඉස්පිරිතාලේට යනවා. ඔයාල කොහේද ඉන්නේ“ ඒ ඇමතුමත් සමග රවි කලබල විය. ලූජින් ජීවත්ව සිටින බව ඔහුට පැහැදිලිය.

“මුන් වැඩේ හරියට කරලා නැහැ. මේකා මැරිලා නැහැ.“ රවිගේ රතු කට්ට පැන්නේ ඉන් පසුවය. වේයන්ගොඩට මෝටර් සයිකලයෙන් එන සමන්ට ඔහු තදින් බැන වදින්නේ හමුදා කොමාන්ඩෝ සෙබළෙකු වෙලත් හරියට වැඩක් නොකිරිම ගැනය. සමන් මේ සියල්ලම එකක් නෑර පොලීසිය හමුවේ හෙළි කරන්නේය.

“මට දහදාහක් දුන්නා. පස්සෙ ඉතුරුවා දෙනවා කිව්වා. ඊළඟ දවසේ මම එයාට කෝල් කරලා ෆෝන් එක වැඩ කළේ නැහැ. බලනකොට මිනිහා පහුවදා පාන්දරම ඉතාලි ගිහින්.“

සමන් පොලීසිය හමුවේ තවදුරටත් පැවැසීය. සමන්ගේ ප්‍රකාශය මත ධනුෂ්කව ද අත්අඩංගුවට ගන්නා නිලධාරින් ඔවුන්ගේ ප්‍රකාශ මත ලූජින්ගේ බිරිය ද සැක පිට අත්අඩංගුවට ගන්නේ සැමියා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමට හා අනුබල දීමේ චෝදනාව යටතේය.

සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කොට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරිමට පොලීසිය පියවර ගෙන ඇත. රවි නමැත්තා කොටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පොලීසිය කියයි.

පකිස්තානු අගමැතිවරයාගේ පැමිණීමට පෙර සිදුවූ මෙම ආන්දෝලනාත්මක සිද්ධියේ සුලමුල මෙසේ සොයා ගැනීමට හැකි වූයේ මීගමුව පොලිස් ප්‍රධානින් විසින් සිදුකළ පුළුල් විමර්ශනය නිසාය.

බස්නාහිර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම මහතාගේ උපදෙසින් මීගමුව සහකාර පොලිස් අධිකාරි අශෝක විජේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්තිලක වැලිවිට මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රසන්න ප්‍රියදර්ශන, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුනිල් බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් මෙහෙයුමට එක් වූහ.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.)


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්