හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
පැයෙන් ගාල්ලට

මෙරට ප්‍රථම අධිවේගය මේ මාසේ විවෘත වෙයි

පැයෙන් ගාල්ලට

පැයට කිලෝ මීටර් 100 ක වේගයකින් ගියත් පොලිසියෙන් අල්ලන්නේ නැති පාරක් තව සති 2 - 3 කින් ජනතා අයිතියට පැවරේ. මේ පාරේ පැයට කිලෝ මීටර් 80 ට වඩා අඩු වේගයකින් යාමට බැරිය.

කොළඹ සිට ගාල්ලට විනාඩි 60 - 70 කින් ද කොළඹ සිට මාතරටම විනාඩි 90 කින්ද යාමට හැකි මේ මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයයි.

මේ මාර්ගයේ ගමන් කිරීමේදී ගාලු පාරෙන් යද්දි වැයවන ඉන්ධන ප්‍රමාණයෙන් සියයට 50 ක්වත් වැය වන්නේ නැත. උදාහරණයක් ලෙස කොළඹ සිට ගාල්ලට යන ඉන්ධන හා ලිහිසි තෙල් වියදම රුපියල් 2500 කින් ඉතිරි වේ. ඒ සමඟම සාමාන්‍ය මාර්ගයෙන් යන කාලයට ද වඩා අධි වේගයෙන් යන විට කාලය සියයට 65 ක් ඉතිරි වේ.

මාකුඹුර පිවිසුම ඉදිවූපසු ගුවනට පෙනෙන අයුරු

මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පවසන පරිදි මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම කෝටි 9900 කි.

කොළඹ ගාල්ල කොටසේ සියලු ඉදිකිරීම්වලින් සියයට 98 ක් දැන් අවසන්ය. 2006 දී වැඩ ආරම්භ කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ (මාකුඹුර) සිට මාතර (ගොඩගම) ට සම්පූර්ණ දිග කිලෝමීටර් 126 කි. පළල අඩි 80 කි. අධිවේගය සඳහා ප්‍රයෝජනයට ගෙන ඇති සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටයාර 951.17 කි.

මහරගම, හෝමාගම, හොරණ බණ්ඩාරගම, මිල්ලනිය, කළුතර, දොඩන්ගොඩ, මතුගම, වලල්ලාවිට, බෙන්තොට, ඇල්පිටිය, කරන්දෙණිය, බද්දේගම, බෝපේ, පෝද්දල, අක්මීමන, ඉමදූව, ගාල්ල, කඩවත්සතර, වැලිපිටිය, මාලිම්බඩ, තිහගොඩ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 21 ක ග්‍රාම නිලධාරී වසම් 64 ක් හරහා මෙම අධිවේගී මඟ ගමන් කරයි.

අධිවේගී මග මුල් අදියරේදී ඉදිවී ඇත්තේ එක පැත්තකට මංතීරු දෙක බැගිනි. එක් මංතීරුවක් මීටර් 3.5 ක් (අඩි 12 ක්) පමණ පළලය. පාර දෙපැත්ත වෙන් කිරීමට මීටරයක කොටසක් වෙන්කර තිබේ. ගනකම තහඩුවලින් ආරක්ෂක බැමි සවිකර තිබේ.

මීට අමතරව පාර දෙපැත්තේම අතිරේක මංතීරුවක් බැගින් වෙන්කර තිබේ. ඒ පසුව අවශ්‍ය නම් තවත් මංතීරුවක් මේ සුපිරි අධිවේගී මාර්ගයට එක් කිරීම පිණිසය.

කොළඹ මාතර දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නිමල් චන්ද්‍රසිරි මහතා පවසන පරිදි මේ අධිවේගී මාර්ගයට අනුබද්ධව ගාල්ල පින්නදූවේ ඉදිවන ගාල්ල පිවිසුම් මාර්ගය හරහා ගාල්ල වරායට යාමට කිලෝමීටර් 5.5 ක් දිග මීටර් 22 ක් පළලට කෙටි පාරක් ද ඉදිවී තිබේ.

මේ නව මඟ ඔස්සේ ගාල්ල මාතර, හික්කඩුව වැනි ප්‍රදේශවලට යන සංචාරකයන්ට ව්‍යාපාරිකයන්ට කොළඹ සිට පමණක් නොව ඉදිරියේ කටුනායක සිට පවා ඉතා කෙටි කාලයකදී පහසුවෙන් ළඟාවීමට හැකි වෙයි.

සාමාන්‍ය ලෙස කොළඹ සිට ගාල්ලට ගමන් කිරීමට අඩු ගණනේ පැය 3 ක්වත් ගත වේ. නව අධිවේගී මාර්ගය ඔස්සේ කොට්ටාවේ සිට ගාල්ලට යන්නේ නම් ගතවන්නේ විනාඩි 60 - 70 ක් පමණි.

ඊට අමතරව මාතරට කොළඹ සිට යාමට සාමාන්‍යයෙන් පැය 5 ක් ගත වේ. මේ මග ඔස්සේ යන විට ගතවන්නේ විනාඩි 90 ක් පමණි. ඊට අමතරව ඉන්ධන වියදම, වාහනවල ටයර් ගෙවීම අඩු වෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දක්ෂිණ අධිවේගී මාර්ගය නිරීක්ෂණය කළ අවස්ථාවේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කළ අයුරු. කුමාර වෙල්ගම දිනේෂ් ගුණවර්ධන යන ඇමැති වරුද, නිර්මල කොතලාවල, රෝහිත අබේගුණවර්ධන යන නියෝජ්‍ය ඇමැතිවරු ද මෙම අවස්ථාවට එක්වූහ. සේයාරුව - සුදත් සිල්වා

දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ගුණසේකර මහතා පවසන පරිදි මේ ව්‍යාපෘතිය මඟින් දකුණට වැඩි වැඩියෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීමට මෙන්ම නව සංචාරක හෝටල් කර්මාන්තශාලා ඉදිකරවීමට ද මේ දක්ෂිණ අධිවේගී මාර්ගය පිටුබලයකි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්.ප්‍රේමසිරි මහතා පවසන පරිදි රටක ආර්ථික සංවර්ධනය සඳහා රටක දියුණුව පෙන්වන කැඩපතක් ලෙස මහාමාර්ග සංවර්ධනය පෙන්වා දිය හැකිය. ඒ අනුව අපේ රටේ මුලින්ම ඉදිවූ හා මුලින්ම විවෘත වන අධිවේගී මාර්ගය වන්නේ මේ දක්ෂිණ අධිවේගි මාර්ගයයි.

දක්ෂිණ අධිවේගයට පිවිසුම් මාර්ග 11 කි. ඒ සියල්ල වටා නාගරික සංවර්ධනයක් සිදු කෙරේ.

මේ සෑම පිවිසුම් මාර්ගයකම අධිවේගයට පිවිසීමට හා අධිවේගයෙන් පිටවීමට ද්විත්ව තල හුවමාරු මාර්ග මංසන්ධි ඇත. මේ පිවිසුම් මත ඇත්තේ විවිධ ප්‍රධාන මාර්ග අධිවේගයට හමුවන ස්ථානවලය. මේ පිවිසුම් මාර්ග මඟින් අධිවේගි මාර්ගයේ යන කිසිම වාහනයකට බාධා නොවන පරිදි අධිවේගී මගට වාහනයක් ඇතුළු කිරීමටත් අධිවේගි මගේ යන කිසිම වාහනයකට බාධාවක් නොවන පරිදි අධිවේගි මඟින් වාහනයක් පිට කිරීමටත් අවස්ථාව සැලැසේ.

මේ අනුව කොළඹ සිට එන දක්ෂිණ අධිවේගි මාර්ගයේ ප්‍රථම ප්‍රධාන පිවිසුම පිහිටා ඇත්තේ මාකුඹුරේ ය. මේ පිවිසුම් මග මඟින් කොළඹ, කෝට්ටේ, අවිස්සාවේල්ල ආදි ප්‍රදේශවල සිට එන වාහනවලට අධිවේගි මාර්ගයට යාමට හෝ ඉහත ප්‍රදේශවලට යාමට අවශ්‍ය අධිවේගි මගේ සිට එන වාහනවලට අධිවේගයෙන් පිටවීමට අවස්ථාව සැලැසේ.

ඊළඟ අධිවේගි මග පිහිටියේ කහතුඩුවේය. පිළියන්දල, දෙහිවල, මොරටුව, හොරණ, පොකුණුවිට, ගල්කිස්ස, දෙහිවල, රත්මලාන යන ප්‍රදේශවල සිට අධිවේගයට ඇතුළුවන හෝ පිටවන රථවලට මින් ගමන් පහසුව සැලැසේ.

පාණදුර, වාද්දුව, බණ්ඩාරගම, ගෝනාපොළ යන ප්‍රදේශවල මාර්ගවලට සම්බන්ධ වීමට, ගැලණිගම පිවිසුම් මඟ ප්‍රයෝජනවත් වේ. දොඩන්ගොඩ පිවිසුම කළුතර මතුගම අගලවත්ත බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ගවලට සම්බන්ධ වේ.

ඊළඟ පිවිසුම ලෙව්වන්දූවයි. ඉන් වැලිපැන්න හොරවල බේරුවල හා බෙන්තොට ප්‍රදේශවල මාර්ග අධිවේගයට සම්බන්ධ වෙයි.

අධිවේගයට බලපිටිය අම්බලන්ගොඩ ඇල්පිටිය, පිටිගල, කරන්දෙණිය යන මාර්ග සම්බන්ධ කරන්නේ කුරුඳුගහහැතැප්ම පිවිසුම් මාර්ගය මඟිනි. අධිවේගයේ ඇති නයාපාමුල පිවිසුම් මග මඟින් අධිවේගය හික්කඩුව සංචාරක නගරයට හා නාගොඩ නියාගම නගරවලට සම්බන්ධ කරනු ලැබේ.

පින්නදූව පිවිසුම

ඊළඟ පිවිසුම වන්නේ පින්නදූවයි. එය ඉතා සංකීර්ණ පිවිසුමකි. ගාල්ල නගරයටත් ඊට අමතරව යක්කලමුල්ල නගරයටත් එම පිවිසුම සම්බන්ධ වේ. ගාල්ල සිට මාතර දක්වා අධිවේගි මාර්ගයේ දිගොඩ, කොක්මාදූව හා ගොඩගම යන ස්ථානවල පිවිසුම් මාර්ග තිබේ.

දිගොඩ පිවිසුම් මගින් හබරාදුවට ද, කොක්මාදුව පිවිසුමෙන් වැලිගමට ද, ගොඩගම පිවිසුමෙන් මාතරට යාමට පුළුවන.

ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නිමල් චන්ද්‍රසිරි මහතා පවසන පරිදි මේ අධිවේගයට සම්බන්ධ ප්‍රධාන පාලම් 22 කි. ඉන් විශාලම පාලම බෙන්තර ගඟ හරහා ඉදිකළ පාලමයි. එය මෙරට විශාලතම පාලම බව මහාමාර්ගය අමාත්‍යාංශයේ ඉංජිනේරුවෝ පවසති. එහි දිග මීටර් 780 කි. පළල මීටර් 22 කි. සම්පූර්ණ වියදම කෝටි 400 කි. අති විශාල කණු 19 ක් උඩ මේ මහ පාලම අලුත්ම ඉදිකිරීම් තාක්ෂණය අනුව ඉදිවී තිබේ. අධිවේගී මාර්ගයේ ලොකුම පාලම ලෙසත් දැනට මෙරට ඉදිවී ඇති විශාලතම හා දිගම පාලම ලෙසත් මෙය ඉදිවී තිබේ. එය ඉදිවී ඇත්තේ අධිවේගි මාර්ගයේ කළුතර දොඩන්ගොඩ සිට කුරුඳුගහහැතැප්ම දක්වා කොටස ඇතුළතයි. කළු ගඟ වැලිපැන්න ලෙව්වන්දුව, ගිං ගඟ, කිහිඹි ඇළ යන ස්ථාවල ද විශාල පාලම් ඉදි වේ.

අධිවේගි මාර්ගය ප්‍රධාන කොටස් 4 කට ඉදිවී තිබේ. එහි මුල්ම කොටස කොට්ටාව මාකුඹුරේ සිට කළුතර දොඩන්ගොඩ දක්වා ප්‍රදේශයයි.

කිලෝ මීටර් 35 දිග මේ කොටසේ සම්පූර්ණ ඉදිකිරීම් වියදම රුපියල් කෝටි 1633 කි.

කුරුඳුගහහැතැප්ම පිවිසුම

දොඩන්ගොඩ ලෙව්වන්දූව අතර අධිවේගී මාර්ගය

නයාපාමුල පින්නදූව අතර අධිවේගී මාර්ගය

මෙම කොටසේ ඉදිකිරීම්වලදී කළු ගඟ හරහා විශාලම පාලම ඉදිකර තිබේ. ඊට අමතරව අමතර පාලම් 10 ක් ඉදිවී ඇත. කහතුඩුවේ පිවිසුමේදී අධිවේගය ගමන් කරන්නේ කොළඹ හොරණ මාර්ගය ඉහළින් යයි.මීට අමතරව මේ කොටසේ අධිවේගයට උඩින් යන ගුවන් පාලම් 19 ක් ද තිබේ. වෙනිවැල්කොළ, වීදියගොඩ ඉන් ප්‍රධාන ඒවාය.

මෙහි ඉදිකළ ලොකුම පාලම කළුතර ගඟ හරහා අධිවේගය ගමන් කරන පාලමයි. මෙහි දිග මීටර් 310 කි. පළල මීටර් 20 කි. වියදම රුපියල් කෝටි 200 කි.

ඊළඟට හමුවන්නේ අධිවේගි මාර්ගයේ දෙවැනි කොටසයි. එය කළුතර දොඩන්ගොඩ සිට කුරුඳුගහහැතැප්ම දක්වා ඉදි වේ. මුළු දුර කිලෝමීටර් 31.7 කි. මෙය බස්නාහිරත් දකුණත් සම්බන්ධ නිමැයුමකි. මුලින් අප පැවසූ අයුරින් මෙරට විශාලම පාලම මේ කොටසේ ඉදිවේ. මේ පාලම මඟින් ප්‍රදේශයේ ගංවතුර පාලනයට ද ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කර තිබේ. මාර්ගයේ මේ කොටස ඉදිකිරීමට රුපියල් කෝටි 1545 ක් වැයකර තිබේ. විශාල ගුවන් පාලම් 6 ක් හා විශාල කොන්ක්‍රීට් පාලම් 6 ක් මේ කොටසේ ඉදි වේ.

දොඩන්දූව ලෙව්වන්දූව හා කුරුඳුගහ හැතැප්ම පිවිසුම් මාර්ග මේ කොටසට අයත්ය.

අධිවේගයේ ඊළඟ කොටස කුරුඳුගහ හැතැප්ම හා පින්නදූව කොටසයි. අධිවේගයේ මුලින්ම වැඩ නිම කළේ මේ කොටසේය. මේ කොටසේ දිග කිලෝමීටර් 31 කි. මේ කොටස ඉදිකිරීමට සම්පූර්ණ වියදම රුපියල් කෝටි 2410 කි.

බද්දේගම - නායාපාමුල පින්නදූව යන පිවිසුම් මාර්ග මේ කොටසේ තිබේ.

ඊළඟ කොටස පින්නදූව හා මාතර ගොඩගම අතර මාර්ග ප්‍රදේශයයි. මේ මාර්ග කොටසේ දුර කිලෝමීටර් 30.5 කි. දිගොඩ කොක්මාදුව හා ගොඩගම යනුවෙන් මෙයට පිවිසුම් මාර්ග 3 කි. මේ කොටසට ඇස්තමේන්තු වියදම රුපියල් කෝටි 1633 කි.

මාර්ග සංවර්ධන අධිකාරිය මෙහෙයවන යෝධ අධිවේගි සුපිරි මාර්ගයේ කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව ජපන් ආර්ථික සහයෝගීතා බැංකුව, ස්වීඩන් ජාත්‍යන්තර අරමුදල, ස්කැන්ඩිනේවියානු සංවර්ධන අරමුදල ආධාර කරයි.

දක්ෂිණ අධිවේගය කොට්ටාවේ මාකුඹුරේදී දැනට ඉදිවෙමින් පවතින කොළඹ පිටත අධිවේගි වට රවුමේ මාර්ගයට සම්බන්ධ වී මෙරට සුපිරි අධිවේගි මාර්ග පද්ධතියට එක් වේ. කොළඹ පිටත වට රවුම් මාර්ගය ප්‍රථම අදියරේදී මාකුඹුරේ සිට කඩුවෙල දක්වා ඉදි වේ. දෙවැනි අදියරේදී කඩුවෙල සිට කඩවත දක්වා ද තෙවැනි අදියරේදී කඩවත සිට කෙරවලපිටිය දක්වා ද ඉදි වේ. මේ සම්පූර්ණ දුර කිලෝමීටර් 29.2 කි. මාර්ගය ඉදිකිරීමට යන සම්පූර්ණ ෂයදම රුපියල් කෝටි 10000 කි. මේ පිටත වට රවුම් මාර්ගයට කඩවතදී යෝජිත කොළඹ මහනුවර අධිවේගී මාර්ගයත් කෙරවලපිටියේදී දැනට ඉදිවන කොළඹ කටුනායක අධිවේගි මාර්ගයත් හා සම්බන්ධ වේ.

කොළඹ කටුනායක අධිවේගි මාර්ගය කිලෝ මීටර් 28 ක් දිග අතර කොළඹ මහනුවර අධිවේගී මාර්ගය කිලෝ මීටර් 90 ක් දිගය. මේ සියලු මාර්ගවලින් සුපිරි මාර්ග පද්ධතිය සම්බන්ධ වූ විට කටුනායකින් මෙරටට එන සංචාරකයන්ට කටුනායක කෙරවලපිටිය, කෙරවලපිටිය - මාකුඹුර, මාකුඹුර - ගාල්ල අධිවේගී මාර්ග ඔස්සේ පැය 1 1/2 ක් 2 ක් ඇතුළත ගාල්ල හික්කඩුවට යාමට අවස්ථාව සැලැසේ. කොළඹ මාර්ග තදබදයට අසු නොවී ගාල්ලේ මාතර අයට කටුනායකටත් මහනුවරටත් යාමට ඉඩ සැලැසේ. මෙය නගර අතර ඉක්මන් අන්තර් සබඳතාවලට මග සැලැසෙන මාර්ග පද්ධතියකි. මෝටර් සයිකල්, බයිසිකල්, ත්‍රීරෝද රථ, ට්‍රැක්ටර් අධිවේගි මාර්ගවලට ඇතුළුවීම තහනම්ය. ගමන් කරන වාහනවලින් යම් මුදලක් අය කෙරේ.

2012 දී පමණ මෙරට සියලු අධිවේගි මාර්ගවල වැඩ අවසන් වීමට නියමිතය.

මහින්ද චින්තනය යටතේ මෙන්ම මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ඉදිරියට යන ශ්‍රී ලංකාවේ ගමන තවත් වේගවත් කිරීමට මේ සියලු අධිවේගී මාර්ග ඉමහත් ශක්තියක් බලයක් වනු ඇත.