‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»


දන් පින් කළ යුත්තේ ලාභ අපේක්ෂාවෙන් නොවේ

ධර්ම සේවනය

දන් පින් කළ යුත්තේ ලාභ අපේක්ෂාවෙන් නොවේ
 

දර්ශනපති

කැටියපේ ඤාණවිමල හිමි

මේ සමාජයේ බාල, මහලු, තරුණ, වැඩිහිටි ආදී වූ විවිධ පුද්ගලයන් අතර විවිධ අදහස් ඇත්තෝ වෙති. කෙනෙක් ඉතා සංවේදී ය. දුකෙහි දී පිහිට වෙති. පරාර්ථකාමී ය. තවත් කෙනෙක් ඉතා දැඩි සිත් ඇත්තේ වෙති. ආත්මාර්ථකාමීය. අනුන් ගැන නොසිතන, වහා කිපෙන සුලුවෙති. කෙලෙස් අඩු අය මෙන් ම කෙලෙස් වැඩි අය ද වෙති. නුවණැතියෝ මෙන් ම අනුවණයෝ ද වෙති. බුදු හිමියන් මේ ලෝකය නෙළුම් විලකට උපමා කොට දක්වන්නේ මේ විවිධත්වය නිසාය. නෙළුම් විලෙහි විවිධ ප්‍රමාණයේ ඇති පුෂ්ප මෙන් මේ සමාජයේ මිනිසුන් ද විවිධාකාරය. මේ අතරින් වැඩි පිරිසක් සසරෙහි බැඳී දිගින් දිගට ම ගමන් කරන බවත් ධර්මය අවබෝධ කොට ගෙන සසරින් මිදෙන ප්‍රමාණය ඉතා අල්ප බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

අපි ධර්මය අවබෝධ කර ගත යුතු වන්නේ ඇයි? මේ ජීවිතය යහපත් ලෙස හැඩ ගස්වා ගැනීමට ය. ඒ මඟින් පරලොව සුගතිගාමී කර ගැනීමට ය. සංසාර ගමනේ බිය ජනක බ ව තේරුම් ගෙන ඉන් එතෙර වීමට ය. සිතෙහි, ධර්මය පිහිටුවා ගැනීමට නම් ශ්‍රද්ධාව ඇති කරගත යුතුය. එනම් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳව විශ්වාසය හෙවත් පැහැදීම ඇති කර ගත යුතුය. තුනුරුවන් ගැන ශ්‍රද්ධාව වර්ධනය කර ගන්නට නම්, ආමිස පූජාව වැදගත් වේ. බෞද්ධාගමික වත් පිළිවෙත්හි නිරත විය යුතුවේ. ඒ සියලු වත් පිළිවෙත්, පුද පූජා පදනම් විය යුතු වන්නේ බුදු රුවනට, දම්, සඟ රුවනට කරන ගෞරවයක් උපහාරයක් ලෙසින් මිස ලාබ අපේක්ෂාවෙන් නොවේ.

බොහෝ දෙනෙක් දන් පින් කරන්නේ සිතෙහි තවත් බලාපොරොත්තුවක් ඇතිවය. කීර්ති, ප්‍රශංසා ලැබීම, කැපී පෙනීම, වෙනත් ඇප උපකාර ලැබීමේ අරමුණු ඇතිවය. එය සැබෑ දානය නොවේ. අප යමක් පරිත්‍යාග කළ යුතු වන්නේ සිත අපිරිසුදු කරන ලෝබය දුරු කිරීමට මිස තව තවත් ලාභාපේක්ෂාවෙන් නොවේ. දීමෙහි ලෝබය, අකැමැත්ත ඉතා භයානක විය හැකිය. බෞද්ධ සාහිත්‍යයේ එන මේ කතා පුවත විමසන්න. තුනුරුවන් කෙරෙහි පැහැදුණු සිත් ඇති සිය පුතුගේ දානාදී පින්කම් පිළිකෙව් කළ, ඒ ගැන ද්වේශයෙන් තරහයෙන් පසු වූ මවකට අත් වූ ඉරණම පිළිබඳවය ඉන් කියැවෙන්නේ.

කොසඹෑ නුවර උදේනි නම් රජුට 'උත්තර' නම් දැහැමි ඇමැතියෙක් විය. මහා කච්චායන තෙරණුවන්ගෙන් බණ අසා පැහැදුණු සිත් ඇති වූ ඔහු මහා විහාරයක් කරවා සම්බුදු සසුනට පූජා කළේය. ඉන් ද නොනැවතී ධාර්මිකව ඉපැයූ ධනය වියදම් කරමින් දානාදී පින්කම්වල නිරත විය. එහෙත් උත්තර ඇමැති ගේ මව ඉතා මසුරු ය. දැඩි සිත් ඇත්තී ය. පුතු දෙන දන් ඉවසනු නො හැකිව බැණ වදින්නීය. නුඹ මේ මහණුන්ට දෙන දානය 'ලේ' බවට පත්වේවා' යි ශාප කරන්නී ය. කාලයාගේ අවෑමෙන් මිය පරලොව යන ඇය ප්‍රේතියකව ඉපදී සා පිපාසාදී පීඩාවෙන් පෙළෙන්නීය. දිය බිඳක් සොයා ගංඟාවක් වෙත ගියද ගංඟා ජලය ලේ බවට හැරුණි. මෙසේ පිපාසයට පැන් බිඳක් නොලැබ දැඩි පීඩාවෙන් පෙළෙමින් බොහෝ කලක් ඉක්ම ගියේ ය. දිනක් දිවා විහරණයට ගංතෙරට වැඩි රේවත තෙරුන් දුටු ඇය උන්වහන්සේ වෙත පැමිණ Òස්වාමිනි!, මම මිනිස් ලොවෙන් චුතව, ප්‍රේතව උපන්නෙමි. එදා පටන් අද වන තුරු පිපාසය සංසිඳුවා ගන්නට පැන් පොදක් නොලදිමි. අනේ! මට පැන් බිඳක් දුන මැනව' යි යදින්නී ය.

එවිට ඒ තෙරණුවෝ ඇය අමතා, ඔබ කුමක් නිසා මාගෙන් පැන් ඉල්ලන්නීද? හිමාලයෙන් ගලා එන්නා වූ සිසිල් දිය ඇති ගංගාව නොපෙනෙන්නේ ද යි විමසූහ. ඒ ඇසූ ඇය, ස්වාමීනි, මා මේ ගංඟාවෙන් පැන් බීමට ගියේ නම් එකෙනෙහි ම ඒ ජලය ලේ බවට පත්වන්නේ ය. ඉදින් කෙසේ නම් පැන් බොන්නේ දැයි මම පෙර කළ කර්මයක් නිසා මේ ඉරණමට පත් වූයෙමි' යි කී ය.

එවිට ඒ තෙරුන් වහන්සේ ඇය කෙරෙහි අනුකම්පා කර දානයක් දීමට සිතා පිණ්ඩපාතය කර එම දානය භික්ෂුන් වහන්සේ නමකට දන් දී පැන් ද, වස්ත්‍ර ද පූජා කොට ඒ පින ප්‍රේතියට අනුමෝදන් කළහ. ඒ ලැබූ පිනෙන් ඇයට දිව්‍යමය ආහාරපාන, වස්ත්‍ර පහළ විය. මේ දානයේ ඵල විපාකය. දීමෙහි කුසලය ඒ සා බලවත්ය.

බුදු දහම වූ කලී ප්‍රතිපත්තිය මුල් කොටගත් ආගමික දර්ශනයක් බව අප මූලිකව ම වටහා ගත යුතුය. එහි දී ධර්මයට අනුව පිළිවෙත් පිරිය යුතුවේ. දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වටහාගෙන අනුගමනය කිරීමය එහිදී කළ යුතු වන්නේ. එසේ ප්‍රතිපත්ති පූරණය කරන, තෙරුවන් සරණ ගිය ගිහි බෞද්ධයා පංචා ශීලය ගරු කරන්නෙකි. කන බොන, අඳින පලඳින, ගමන බිමන, කතාබහ ආදී සියලු අංශයන් තුළ ඒ සිල් සුවඳ මුසුවී තිබිය යුතුය.

ඔබ මනුෂ්‍යයකු ලෙස අනෙකුත් සත්ත්වයන් අතර උසස් වන්නේ විඤ්ඤාණයක් ඇති නිසා ය. සිතන්නට හැකියාවක් ඇති නිසා ය. යමක් කියන්නට හෝ කරන්නට හෝ පෙර එහි ආදීනව ගැන වරක් දෙවරක් සිතා ඒ අනුව කටයුතු කරන්නට හැකි නම් ඔබ වෙතින් පහත් ක්‍රියාවක්, නුසුදුසු ක්‍රියාවක් සිදු වීමට ඇති අවකාශය ඉතා අවමය. සැබැවින් ම උසස් මනසක් ඇති මිනිසකු ලෙස පහත් ක්‍රියාවන්ට පෙලඹුණේ නම් ඔබ ලැබූ මිනිසත් බවින් ප්‍රයෝජනයක් නැත. ඔබ මේ සමාජයේ හොඳින් ජීවත්වීමට උත්සාහ කරන්නේ යම්තාක් ප්‍රමාණයක් ද අන් අය ද හොඳින් ජීවත් කරවීමට ඇප කැප වීම යහපත් ගුණාංගයකි. මිනිසත් බවෙන් අපේක්ෂා කරන්නේ එයයි.

අපේ බුදුහාමුදුරුවන් ලොව පහළ වූයේ, ඉපදෙමින් මැරෙන, නැවත ඉපදෙන මේ සංසාර ගමනේ ඇති බිහිසුණු බව ලෝකයට කියාදීම සඳහාය. ඒ සසර දුකින් සියලු ලෝක සත්ත්වයන් මුදවාලනු පිණිසය. ඒ උන්වහන්සේ අපට උතුම් නිවන් ලැබීමේ මාර්ගය පෙන්වා දුන්හ. ඔබ බුදු දහමේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයකු නම් ඒ මාර්ගයේ යනු මිස සසර දිගු කර ගන්නේ නැත. සරලව කියනවා නම් උතුම් වූ නිවන කල් දමන්නේ නැත. ඒ සඳහා සිත තුළ වර්ධනය කර ගත යුතු ගුණධර්ම පිටු දකින්නේ නැත. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පිටු දකිමින් හිස් වචනයෙන්, පරුෂ වචනයෙන් කේලමෙන් දුරුවන හෙතෙම අලෝභීය. අදෝෂය. අමෝහය. මිථ්‍යා දෘෂ්ටියෙන් මිදුණේ වන්නේ ය. ශ්‍රද්ධාවන්ත බෞද්ධයකු වීමට උත්සාහ කරන ඔබ මිථ්‍යා දෘෂ්ටියෙන් අත්මිදිය යුතු සේ ම මිථ්‍යා දෘෂ්ටිකයා යනු කවරෙක් ද යන්න දැන ගැනීම ද වැදගත්ය. දන්දීමේ, පුද පූජා පැවැත්වීමේ, හොඳ නරක කර්මයන් ගේ විපාක නැත යනුවෙන් තමන් ම අදහා ගන්නා ඔවුහු මෙලොවක් පරලොවක් නැති බව කියති. මවුපියන් විශේෂ පිරිසක් නොවන බවත්, මෙලොවත් පරලොවත් විශිෂ්ට නුවණින් දැන ධර්මය කියා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැති බවත් කියති. යම් හෙයකින් ඔබ මෙවැන්නන් ඇසුරට වැටුණේ නම් වහාම ඉන් මිදී ජීවිතය ධර්මානුකූල මාර්ගයට යොමු කර ගත යුතුය. ධර්මයට අනුවම ජීවිතය හසුරුවා ගන්නට උත්සාහවන්ත විය යුතුය. එවිට මෙලොවත්, මරණින් මතු බවයත් යහපත් කර ගැනීම අපහසු වන්නේ නැත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්