‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»


පුතා බාරගන්න මැඩම් කැමතිලු

පුතා බාරගන්න මැඩම් කැමතිලු

විදුෂ... මීට ස්වල්ප වේලාවකට පෙර දුරකතනයෙන් මා ඇමතූ විදුෂ දෙවැනි මහලෙහි ඉදිරි දොර හැරගෙන පිටතට පැමිණියේ තනිව නොවේ. ඔහු සමඟ තවත් පුද්ගලයෙක් සිටියේය. මැදිවියට ආසන්න වයසක පසු වූ ඔහු මනා ලෙස හැඳ පැලඳ සිටි අතර, උපැස් යුවළක් ද පැලඳ සිටියේය. විදුෂ දකිත්ම ඔහු කෙරෙහි මා තුළ හටගත්තේ කිසිදිනෙක ඇති නොවූ අන්දමේ අප්‍රසාදජනක හැඟීමකි. අප එකිනෙකාගෙන් සමුගත් පසුව ඔහු මා රැවටූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බව මගේ යටි සිත මට සිහිපත් කළේය. තමා මෙහි පැමිණ සිටින බව දුරකතනයෙන් නොපවසා ඔහු මා රැවටීමට උත්සාහ කළේ මන්දැයි මම සිතුවෙමි.

'මනහාරි.'

මා දෙස මොහොතක් බලා සිටි විදුෂ මා ඇමතුවේය. මා නිහඬවම පියගැට පෙළ බසින්නට තැත් කළ ද, ඔහු එයට මට ඉඩ නොදී මඟ හරස් කළේය.

'බොරුවක් කිව්වෙ රවට්ටන්න නෙමෙයි. ඔයා සර්ප්‍රයිස් කරන්න.'

මම නිහඬව සිටියෙමි. විදුෂගේ සිත රිදෙන යමක් පැවසීමේ උවමනාවක් ඇති වුව ද, ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයාට ඇසෙන සේ කිසිවක් පැවසීමට මට ධෛර්යයක් නොවීය.

'මේ විනෝද්... මම පස්සෙ මනහාරිට අඳුන්වලා දෙන්නම්.'

මම විනෝද් දෙස බැලුවෙමි. ඔහු‍ගේ ප්‍රසන්න මුහුණෙහි මඳ සිනාවක් රැඳී තිබුණේය. ඔහු අන් කිසිවෙක් නොව මාතාවගේ පුත්‍රයා විය යුතුයයි මට සිතිණ.

'මම යන්නම්.'

මා පැවසුවේ විදුෂට හෝ විනෝද්ට නොව මටමය.

'අපි හවස හමුවෙමු.'

මා පියගැටපෙළෙහි මඳ දුරක් ගමන් කරද්දී කිසිවකු පවසන හඬ ඇසුණද, එය විදුෂගේ ද, නොඑසේ නම් විනෝද්ගේ ද යන්න මට හඳුනාගත නොහැකි විය. කෙසේ වුව ද, කිසියම් නොසන්සුන් බවක් මගේ සිතට දැනෙමින් තිබිණ. මා පහත මාලයට පැමිණියේ ද එම නොසන්සුන් සිතින් යුතුවය.

'මිස්...'

පිඟන් රැසක් එක මත තබාගෙන මුළුතැන්ගෙය දෙසට යමින් සිටි කමලා මා දැක නැවතුණේය.

'ඇයි? මූණත් එක්ක අමුතු වෙලා?'

'නෑ. මුකුත් නෑ.'

'හැමදේම අමතක කරන්න මිස්. ආන් අද පත්තර හැම එකකම තියෙනවලු ශාමලා මැඩම්ගෙ පට්ටන්දරේ. සුබා කෙල්ල ගැනත් තියෙනවා කියන්නෙ.'

'කවුද කිව්වෙ?'

කමලා එයට පිළිතුරක් නොදුන්නාය.

'ඔව්වා දැන් හිතෙන් අමතක කරලා දාන්න මිස්. වපුරපු මිනිස්සු එව්වයෙ අස්වැන්න නෙළා ගනීවි.'

'කෝ මිගාර?'

'කවුදෑ මිස් දන්නෙ? මේ හිටියා. මේ නෑ. දවල් කෑමට අමුත්තොත් ඉන්නවනෙ. ඒවි.'

'මොනවද මට කරන්න තියෙන්නෙ කමලා?'

'මිස් මොනවා කරන්නද? දැන් ඉතින් විවේකෙන් ඉන්න. උයලා පිහලා සේරම වැඩ ඉවරයි. මං මේ පිඟන් ටික තියලා එන්නම්.'

කමලා මුළුතැන්ගෙය දෙසට ගියාය. වෙනදා නොදැනුණ අන්දමේ තනිකමක්, පාළුවක් මගේ සිතට දැනෙමින් තිබිණ. නිවෙස පසුපස පිහිටි දොළ පහර අසලට ගොස් සිත සැහැල්ලු වනතුරු රැඳී සිටින්නට මට සිතිණ. මා එදෙසට ගමන් කළේ කිසිවකුට පවසා නොවේ. මුල්ම දින මිගාර හමුවීමට පීට‍ර් සමඟ මෙම මඟ ගමන් කරද්දී දැනුණ බිය මට නොදැනිණ. කුරුලු ගී හඬට සවන් දෙමින් මම අඩි පාර ඔස්සේ ගමන් කළෙමි. නානා වර්ණයෙන් යුත් හිඟුරු පඳුරු මඟ දෙපස වූ අතර මුල්ම දිනයේ මා ඒවා දුටු බවක් මගේ මතකයට නොනැගිණ. ඇතැම් විට එම දිනවල හිඟුරු පඳුරු මල් වරා තිබෙන්නට ඇත. ඉදී දම් පැහැ ගත් හිඟුරු ගෙඩි කන්නට පැමිණි බටිත්තන් දෙදෙනෙක් මගේ පියවර හඬ ඇසී ඈතට ඉගිළ යන අයුරු මම බලා සිටියෙමි. එසේ ඈතට ගිය ද, ඔවුන් යළිත් හිඟුරු ගෙඩි කන්නට මෙහි පැමිණෙනු ඇත. සැබවින්ම කුරුල්ලන්ගේ ජීවිත මොන තරම් නම් සැහැල්ලුද? ඔවුන්ට අපට මෙන් කිසිත් අනාගත බලාපොරොත්තුවක් නොමැත.

මම සිතුවිල්ලේම දොළ පහර අසළට පැමිණ සිටියෙමි. මුලින්ම මිගාර හමු වූ දින දොළ අසල ඇහැළ ගස්වල පිරී තිබූ කහ පැහැති මල් එකකුදු දක්නට නොවීය. පෙණ පිඬු නංවමින් දොළ පහර ගලා ගියේ මගේ සිත මිගාර හමු වූ දින කරා ‍රැගෙන යමිනි.

මම ගල් තලාවක් මත හිඳ ගතිමි. අවට වූ සුදු පැහැති වටකුරු ගල් යළිත් මිගාර මට සිහිපත් කළේය. මෙය නම් පුදුමයක් නොවේදැයි මම සිතුවෙමි. කෙතරම් අමතක කිරීමට තැත් කළ ද, මිගාර ම‍ගේ සිත හැර යාමට සූදානමක් නොමැති සේය. එහෙත් මම එයට බිය වෙමි. මාතා‍වගේ පුත්‍රයා අද දින මෙරටට පැමිණෙන බව මිගාර පැවසූ බව මට සිහිපත් විය. ඇතැම් විට විනෝද් යනුවෙන් විදුෂ හැඳින්වූයේ ද ඔහුම වන්නට ඇත. තම මව බලා ගැනීමට නිවසට පැමිණි සේවිකාව, එහි හාම්පුතකු හා සමාන මිගාර සමඟ ඕනෑවට වඩා ඇඟෑලුම්කම් පෑම ඇතැම්විට ඔහුගේ ‍‍දෝෂ දර්ශනයට ලක්වනු ඇත. එහෙත් මා මිගාර අමතක කරන්නේ කෙසේද?

මගේ ගවුම් සාක්කුව තුළ වූ ජංගම දුරකතනය හදිසියේම හඬ නගන්නට වූයේ අවට පරිසරයේ වූ නිහැඬියාව බිඳ දමමිනි. ඇමතුම මිගාරගෙන් වන්නට ඇතැයි සිතූ මා දුරකතනය අතට ගත්තද, එහි තිරය මත සටහන් වූ අක්කාගේ රුව මගේ සිත සසල කිරීමට සමත් විය. මඳ වේලාවක් නිහඬව සිටියද, අවසානයේ මම ඇමතුම හා සම්බන්ධ වීමි.

'මනහාරි.'

අක්කාගේ කටහඬ බිඳී තිබිණ. මගේ සිත තුළ විදුලියක් කෙටුවේ අහේතුකවය.

'ගේ වික්කා මනහාරි.'

කවර මොහොතක හෝ ඇගෙන් එම වදන් බලාපොරොත්තු වී සිටි බැවින් මගේ සිතට දුකක්, කනගාටුවක් හෝ කම්පනයක් ඇති නොවීය.

'හිතුවටත් වඩා වැඩි ගණනකට දුන්නා. ඒත් මං රැවටුණාද මන්දා.'

'රැවටුණා කිව්වෙ? ඇයි සල්ලි හම්බ වුණේ නැද්ද?'

'මොකෝ නැත්තෙ? හම්බ වුණා. ආන් ඒවා බැංකුවේ. දැන්ම නම් කීයක්වත් ඉල්ලන්න එපා. ගෙදර එනවා. මොකක් නමුත් කටයුත්තක් හරි ගිය දවසට මං එයින් ටිකක් දෑවැද්දට දෙන්නම්.'

'මට ඕන ඇති සල්ලියක් නෑ.'

'ඒක තමයි. අයියයි, දුවයි ඔයාට ඒ සල්ලි වලින් බාගයක් දෙන්න ඕන කියලා කිව්වම මම කිව්වෙත් ඔය කතාවම තමයි.'

මම නිහඬව සිටියෙමි. මඳ වේලාවක් නිහඬව සිටි අක්කා ඉන්පසු සිය කටහඬ අවදි කළාය.

'ගේ ‍ගන්න ආවෙ සල්ලිකාරයෙක් කියලා හිතුවට මට දැන් සැකයි මනහාරි.'

'සැකයි? ඇයි?'

'ගේ ගත්ත මනුස්සයා ගනුදෙනු ඉවර කරලා ගියා වුණාට ආන් අර විදුෂයා ඊයෙ ගේ වටේ සුද්ද කළාලු.'

'කවුද කිව්වෙ?'

'කවුද නොකියන්නෙ? ඊයෙ මට නිකමට වගේ ගේ පැත්ත බලන්න යන්න හිතුණා. මඟදිම ඔය කතාව ආරංචි වුණාට පස්සෙ මං ආපහු ආවා. මට මුළු රෑම නින්ද ගියෙත් නෑ.'

'කවුරු ගත්තම මොකද? අක්කට ඕන සල්ලිනෙ.'

'උඹනම් ඉතින් කැමති ඇති විදුෂයා ගත්තනම්. ඒ කාලෙ පණ ඇරගෙනනෙ හිටියෙ.'

'මනහාරී..'

මිගාරගේ කටහඬ ඈතින් ඇසිණ. මම තිගැස්සී අවට බැලුවෙමි. අක්කාට එම හඬ දුරකතනයෙන් ඇසෙන්නට ඇත්දැයි මම බිය වූයෙමි.

'මොකෝ සද්දක් නැත්තෙ? විදුෂයා ඇවිත් වටාපිටාව සුද්ද කරන්න ඇත්තෙ කසාදෙන් පස්සෙ මනමාලිත් එක්ක ඇවිත් මේකෙ පදිංචි වෙන්නද මන්දා.'

මිගාර ගලින් ගලට පනිමින් මා දෙසට පැමිණෙන අයුරු මම දුටුවෙමි.

'මම තියන්නම් අක්කෙ. පස්සෙ කතා කරන්නම්.'

අක්කාගෙන් පිළිතුරක් නොපතාම මම දුරකතනය විසන්ධි කළෙමි. මිගාර මා අසල නතර විය.

'මං හිතුවෙ මනහාරි යන්නම ගිහින් කියලා.'

මිගාර ගල් තලාවේ මා අසලින් හිඳ ගත්තේය.

'හැමතැනම හෙව්වා. මට නිකමට වගේ හිතුණා මේ පැත්තට ආවවත්ද කියලා. ඒකයි ආවෙ. ඇයි මේ මූණ අමුතු වෙලා?'

'මුකුත් නෑ.'

මිගාර වටකුරු ගල් කැටයක් අහුලා දොළ පහරට විසි කළේය. මට ඔහුගේ අතින් අල්ලා ගැනුණේ ඉබේටමය.

'ඇයි?'

මිගාර බොහෝ කාරුණික ලෙස ප්‍රශ්න කළේය.

'ගල් කැට ආයෙම වතුරට විසි කරන්න එපා.'

සිනාසුණු මිගාර අතට ගත් වටකුරු ගල පසෙකට දැමුවේය.

'මට මිගාරට සතුටුදායක ආරංචියක් කියන්න ඕන වෙලා තිබුණා.'

'ඒ මොකක්ද?'

'මැඩම් කැමතියි ආයෙම පුතා බාර ගන්න. හැබැයි ශාමලා මැඩම්ව අත හරින්න කැමති නම් විතරයි.'

මිගාර මහත් සේ විස්මිතව නැගී සිටිනු ඇතැයි මා අපේක්ෂා කළ ද, සන්සුන් ලෙස මදෙස බලා සිටි ඔහුගේ මුවෙහි පුළුල් සිනාවක් පැතිර ගියේය.

'දැනටමත් ඒක සිද්ද වෙලා ඉවරයි මනහාරි.'

මම මිගාරගේ මුහුණ දෙස විමතියෙන් බැලුවෙමි. ඔහු එසේ පවසන්නේ ඇයි?

ලබන සතියට


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්