‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»


කිසිම කලකදී මෙවන් සෝ දුක් තවත් කෙනෙකුට අත් නොවේවා

කිසිම කලකදී මෙවන් සෝ දුක් තවත් කෙනෙකුට අත් නොවේවා
 

පොල් ගසේ එල්ලී රැකගත් සිඟිත්තිය සුනාමියට ගියා:

පණ සේ රැකගත් පුතු පැජරෝ මාරයා අරන් ගියා

රාජ්‍ය සේවයේ නියුතු මවත් පියාත් රැකියාව සඳහා හිමිදිරි උදයෙන් ම සමුද්‍රදේවි දුම්රියෙන් කොළඹ යති. එබැවින් කුඩා අහිංසාට දිවා කාලය ගත කිරීමට සිදු වූයේ තම සීයාගේ රැකවරණයේය. පවුලේ එකම ගැහැනු දරුවා වන අහිංසාට අවැසි මවු සෙනෙහස නොඅඩුව ලබා දෙනු වස් ඇගේ මව වන සුකුමලී පසුව රැකියාවෙන් අස්වූවාය. ඇය සේවය කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේය. දෙහිවල සත්ත්වෝද්‍යානයේ මින් මැඳුරෙහි ප්‍රධාන මත්ස්‍යාරක්ෂකව සිටි කේ. සී. කිත්සිරි මහතා අහිංසාගේ පියාය. ඇතැම් දිනවල ඔහු අම්බලන්ගොඩ නිවෙසට පැමිණෙන්නේ සති අන්තයේය.

උඳුවප් සීතලේ උදාවන දෙසැම්බර් 25 වෙනි දිනය දෙහිවල සත්ත්වෝද්‍යානයට කාර්ය බහුල දවසකි. සිරිතක් වශයෙන්ම එදිනට සත්වෝද්‍යානය නරඹන්නන්ගෙන් පිරී ඉතිරී යයි. පාසල් නිවාඩුවේ අසිරිය අත්විඳින කුඩා ළමෝ වැඩි වැඩියෙන් මින්මැඳුරට ඇඳී එති. ඒ නිසාම රෑ බෝවන තුරා සිය රාජකාරියෙහි නිරතව සිටි කිත්සිරි මහතා සුපුරුදු සති අන්තය දියණිය සමඟ සතුටින් ගත කිරීමට එදින රාත්‍රියේම අම්බලන්ගොඩ බලා ගියේය.

දෛවෝපගත 26 වැනි ඉරු දිනට හෙවත් 2004 වසරේ අවසන් පෝය දිනට පහන් විය. ගෙදර ඉදිරිපිට පන්සලේ පෝය දහම් හඬ ගුවනේ විසිරෙමින් තිබුණේය. සුළන් බිඳක පහස නොලද බෝපත් සිල් සමාදන් වූවාක් වැන්න. බලු කපුටු දන් පතන පක්ෂියෙක්, මෘගයෙක් පේන තෙක් මානයක නැත. ස්වභාවධර්මය ඇගේ සුමට ප්‍රපංචයන්ගේ අපූරු රහසක් සඟවාගෙන සිටින බවක් පෙනිණ. ඇට්ටකුණා වූ මිනිස් බුද්ධියට නොවැටහෙන යමක් සතුන්ගේ ඉවට හසුවී ඇත.

කිත්සිරිගේ මව පදිංචිව සිටියේ අම්බලන්ගොඩ නගරයේය. සෑම සති අන්තයකම දියණියත් සමඟ මෑණියන් බැලීමට යෑම කිත්සිරි අතපසු කළේ නැත. ඔහු ඒ සඳහා සූදානමින් වෙනත් කාර්යයක යෙදී සිටියේය. වේලාව උදේ අටයි හතළිස් පහට පමණ විය. ඥාතියෙක් පැමිණ කිත්සිරි මහතාට අමුතුම ආරංචියක් දුන්නේය.

"අයියේ, මුහුද ගොඩ ගලනවලු!"

"මොනවා! මුහුද ගොඩ ගලනවා!" කට කොනකට සිනහවක් නඟාගත් කිත්සිරි පෙරළා ප්‍රශ්න කළේය.

කුඩා කල පටන් ම කරිජ්ජ රැල්ලේ හැදුණු වැඩුණු ඔහුට මේ කතාව විහිළුවක් විය. ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයෙන් බිහි වූ දක්ෂතම පිහිනුම් ශූරයෙකි. වාරකං කාලයට උදම් රළගෙඩි වෙරළ ඉම බිඳ දමනවාට වැඩි මුහුදු ගොඩ ගැලීමක් ගැන ඔහුට සිතාගත නොහැකි විය. ඇත්ත නැත්ත කුමක් වුවත් මුහුදත් බලාගෙන අම්මාගේ නිවෙසට ද ගොස් එන්නට ඔහු ඉක්මන් විය.

"දුවේ අපි යමු! මුහුදත් බලලා ආච්චිලෑ ගෙදරත් ගිහිං එමු."

අධික සතුටට පත් අහිංසා තාත්තාගේ යෝජනාවට එකපයින් ම කැමැති වූවාය. මේ වන විට අහිංසා දියණියගේ වයස අවුරුදු හතරකි. ටී ෂර්ට් බැනියමක් හා කොට කලිසමක් ඇඟලා ගත් අහිංසා දියණිය,

"තාත්තේ ඔහොම ඉන්න. මං ඉක්මනට සෙරෙප්පු දෙක දාගෙන එන්නං" කියා ඈ ස්තෝප්පුව දෙසට දිව්වාය. මිදුලේ ගේට්ටුව ළඟ ඇගේ අයියා වන හංසක සිටියේය.

"අයියේ අපි යනවා මුහුද බලන්න. අයියා එක්ක යන්නෙ නැහැ. අයියා අම්මත් එක්ක ගෙදර ඉන්න. මායි තාත්තයි ඉතරයි යන්නෙ" තමාට වඩා දොළොස් වසරකට බාල නංගිගේ කතාවට අයියා සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.

අහිංසා පාපැදියේ තබාගත් කිත්සිරි සැතපුම් කාලක් පමණ දුර ගෙවා රංදොඹේ අසලින් ගාලු පාරට පැමිණියේය. පාරට බඹ විස්සක් පමණ ඔබ්බෙන් මුහුද පිහිටා ඇත. වෙරළ ඉම මුවා කළ නිවාස හා තාප්ප නිසා එහිදී මුහුද දැකබලා ගැනීමට පුළුවන්කමක් නොවීය. මුහුද ගොඩ ගලා ඇත කීවත් පාරට වතුර බිඳක් හෝ පැමිණ නොතිබිණ. එක් අතකින් පාපැදිය තල්ලු කරගෙන අනික් අතින් දුවණිය වඩාගත් පියා පයින්ම අම්බලන්ගොඩ නගරය දෙසට යන්නට ආපසු හැරුණේය.

එක්වරම බියකරු හෙණ හඬක් පුපුරා ගියේය. කිත්සිරි ක්ෂණයෙන් හිස හරවා බැලුවේය. සියල්ල සිහිනයක් මෙන් විය. එතෙක් මුහුද ආවරණය කරගෙන තිබුණු ගෙවල් හා තාප්ප පෙරළාගෙන කාල වර්ණ මහා ජල කඳක් ගාලු පාර මැදට කඩා වැදුණේය. කිත්සිරිට මතක එපමණය.

දෑතින්ම දුවණිය පපුවට තද කරගත් ඔහු වේගවත් රළ කඳක් සමඟ ඉදිරියට ඇදී ගියේය. මොහොතකින් ඔහු සිටියේ ගුවනේය. එනම් පාර අද්දර නි‍ෙවසක වහල ආවරණ හුඩ් එකක් මතය. ගෙයක් දොරක් පාරක් කිසිත් පෙනෙන්නට නොවීය. ගොඩබිම වසාගත් මහ ජල සාගර කඳක් මත පාවෙමින් ද පොර බදමින් ද කෙසේ හෝ ඔහු තම සුරතල් දියණිය හුඩ් එක මත රැඳවීය. වම් අතින් හුඩ් එකේ දාරය අල්ලාගත් වන ම ඔහු දකුණතින් දියණිය ග්‍රහණය කර ගත්තේය.

සැණෙකින් මහ මුහුද දෙස බැලූ ඔහු දුටුවේ ජීවිතයේ කෙදිනකවත් දැක නොතිබුණු බියකරු දර්ශනයකි. මහ මුහුද අහසට පිම්බී ඇත. මහ ජලකඳ අන්තයක් නොපෙනෙන ලෙසින් ඈතින් ඈතට පැතිර ඇත. කැලතෙමින් ද දියබුං නඟමින් ද ඝෝර හඬ නඟන මඩ බොර දිය ගොබ වියරුවෙන් දඟලයි. ගොඩබිම මහ මුහුද බවට හැරී ඇතැයි කිත්සිරි සිතුවේය.

කැලැති කැලතී උඩට එසැවෙන දිය කඳ හුඩ් එකට ඉහළින් ගියේය. දෙදෙනා ම ඔබ මොබ වීසිවෙන්නට පටන් ගත්තේය. අහිංසක අහිංසාගේ ජීවිතය පියාගේ හදවත කම්පා කළේය. දරුවා රැගෙන අවදානම් ගමනක් පැමිණීම ගැන ඔහුගේ සිත ඔහුටම දොස් නඟයි. උතුරා යන සෙනෙහසින් හේ තව තවත් තදින් දරුවා ග්‍රහණය කර ගත්තේය. දිය කඳ මත වැතිර දෙපයින් රුකුල් ‍ගසමින් තවදුරටත් ඉහළට ඉපිල සිටියේය. කාලය කෙසේ ගෙවී යනවාදැයි නොදැනිණ.

ඊළඟ මොහොත තවත් වියරු බියක් ජනිත කළේය. සුවිශාල වැකුම් පයිප්පයකින් මහා සුළං දහරාවක් වේගයෙන් ඇදගන්නාක් සේ හෝ... හෝ... හඬක් නැ‍ඟෙන්නට විය. ඒ සමඟ තමා දරුවාත් සමඟින් මහා මුහුද දෙසට ඇදී යන බවක් දැනිණ. දිය කඳට එරෙහිව ග්‍රහණය කර ගැනීමට තරම් දෙයක් තවදුරටත් නොවූයෙන් දරුවාත් සමඟම පියා මුහුද දෙසට ඇදී ගියේය. ඒ ජීවිතයේ අවසානය වෙතැයි ඔහු සිතුවේය.

නුවණැසින් සිහි එළැඹ සිටි කිත්සිරි ජල කඳ සමඟ පහළට ඇදී යන අතරේම නිමේෂයකින් පාර අද්දර ඇති විදුලි කණුවක් බදා ගත්තේය. දකුණතින් අහිංසා තුරුලු කරගෙන වම් අතින් විදුලි කණුව බදාගෙන ඔහු රැඳී සිටියේය.

"අනේ තාත්තේ! අනේ තාත්තේ! කිය කියා ළදරු අහිංසා එක දිගට කෑගසමින් හඬයි, හති දමමින් සුසුම් හෙළයි, බියපත් දෙනෙතින් මුහුදු ජලකඳ දෙස බලා සිටියි. ඝෝර රාක්ෂ විලාසයෙන් දියකඳ ඇඹරි ඇඹරී සුළි නඟමින් වේගයෙන් මුහුදට ඇදී යයි. දයාබර පියෙකුට තවදුරටත් ඒ දර්ශනය බලා ඉවසා සිටිය හැකි ද? අහෝ! අවාසනාවකි. එක්වර ම විදුලි කණුව දිය දහරත් සමඟ පහළට ඇලවෙන්නට පටන්ගත්තේය. පියාගේ පපු තුරුලෙන් හැළී ලිස්සා ගිය අහිංසා ජලකඳ මතට ඇද වැටුණේය. එසැණින් පියා ද ජලකඳ මතට පැන්නේය. තමන් දත් පිහිනුම් ශිල්පයේ උපරීම ශක්තිය යොදා ඔහු දිය මාරුතය හඹා ගියේය.

වාසනාවකි! පුංචි දෝණියගේ ජීවිතයත් රැගෙන ගාලු පාරට අඩි හත අටක් ඉහළින් ඊ වේගයෙන් ඇදෙන දිය පර්වතය පාර පනින්නට ඔන්න මෙන්න කියා තිබියදීම දෙවන වරටත් මාරයා පසුබස්වාලූ පියා අහිංසා දියණිය යළිත් සිය ග්‍රහණයට ගත්තේය. ඇගේ හඬ නිහඬය. එනමුදු නහයින් කටින් පෙවුණු මඩ දිය ගොරස්සය අදිමින් ඈ හුස්ම ගත්තාය.

දෙදෙනාම ඉදිරියට ඇදේ. දිවි ගලවා ගැනීමට තවත් ඉතිරිව ඇත්තේ පටු බිම්කඩක පිළිසරණ පමණි. ඉන් ඔබ්බට එල්ලෙන්නට බටගසක් හෝ නැති මුහුදු වෙරළය. එසේනම් ජීවිතය ගැන කවර බලාපොරොත්තුවක් ද?

දරුවා ග්‍රහණයට ගත් සැණින්ම පියාගේ නෙත් යොමු වූයේ ඉදිරියෙන් පෙනෙන පොල් ගසක් වෙතය. ආක්‍රමණික දිය රකුසා සිතැඟි සපුරාගෙන යළිත් මුහුදට පසුබා යන ජයග්‍රාහී විලාසය ඒ නෙරළු තුර උපේක්ෂවෙන් බලා සිටියේය. නිමේෂයකින් කිත්සිරි සිය වම් බාහුවෙන් පොල් ගස බදා ගත්තේය. දියවැල තුළින් දරුවා බේරාගන්නා විට පියාගේ සුරතට ග්‍රහණය වූයේ ඇය ඇඳ සිටි ටී ෂර්ට් බැනියමයි. බැනියමේ වාරුවෙන් දැන් අහිංසා පියාගේ සුරතේ එල්ලී සිටි. පපුවේ උණුසුමට දරුවා තුරුලු කර ගැනීමට චණ්ඩ දිය කඳ පියාට ඉඩක් දෙන්නේ නැත. විලංගු වැටුණු දෑතින් පියා අහිංසක අහිංසා දියණිය දෙස බලා සිටියේ ළය පුපුරා යන වේදනාවෙනි.

දියණිය යළිත් සුසුම් හඬ නඟනු ඇසීම පිය හදවතට සතුටක් ගෙන දුන්නේය. තවත් තප්පර කිහිපයකින් දිය කඳ බැස යනු ඇත. ඉන්පසු දෙදෙනාටම යහතින් ගෙදර යන්නට ලැබෙනු ඇතැයි යන විශ්වාසය කිත්සිරිගේ සිතට ධෛර්යයක් ගෙන දුන්නේය. ටිකෙන් ටික පහළ බසින දියකඳ තවදුරටත් තමාට අභියෝග නොකරනු ඇතැයි ඔහු සිතුවේය.

අහෝ! මිනිස් හදවතකට මෙතරම්ම දරුණු ලෙස අභියෝග කරන්නට හැකි දෛවයක් ගැන අපට කවර සුබවාදී පැතුමක් ද?

දෑත් එක්කොට ඇඳිවත පපුවට තුරුලු කරගෙන "අනේ තාත්තේ... අනේ තාත්තේ..." කියමින් අහිංසා ළදැරිය සුසුමින් අඬමින් කඳුළු වගුරවමින් සිටියදීම පියාගේ අතැඟිලිවලට කිසියම් අමුත්තක් දැනුණේය. "බරාස්" හඬින් අහිංසාගේ ඇඳිවත ඉරී ගියේය. තෙත් බරිත බැනියමේ කැබැල්ලක් පමණක් පියාගේ අතැඟිලි අතරෙහි රඳවා අහිංසා බොර දිය කඳ මතට ඇද වැටුණා ය. හඬාගෙන ඇදී යන දිය බොර මඩ කඳ තුළ ඇය සැණෙකින් නොපෙනී ගියාය.

"අනේ තාත්තේ... අනේ තාත්තේ..." පියකුගේ දෙසවන දෝංකාරය දෙන්නට පටන් ගත්තේය. හදවත පුපුරා යන වේදනාවකි. තවදුරටත් දිය කඳකට අභියෝග කිරීමේ තේරුමක් නැතැයි මහා සාගරයේ ගති ස්වභාව දත් පියාගේ සිතට දැනුණා විය හැකිය. ඔහුගේ දෙනෙත් කළුවන් පැහැ ගැනිණ. අන්ධකාර අගාධයක ලෝකය ගිලී ගියේය. පියැවි සිහිය එන විට ඔහු පොල් ගස මුල රූටා වැටී සිටියේය.

කිත්සිරිට ඒ බව දැනුණේ පොල් කඳක් බදාගත් වනම බිම වාඩි වී සිටින මිනිසකු දුටු තරුණයෙක් ඒ අසලට පැමිණ උරහිසට අත තබා "අයියේ" කියා ඇමැතීමෙන් පසුවය. කිසිවක් සිදු නොවුණාක් සේ මහ මුහුද සුපුරුදු ලෙස රැළි තරග පද බඳින නිසල හඬ ඇසිණ.

විදුලි කණුවත් පොල් ගසත් කිත්සිරිගේ වම් බාහුව සූරා පට්ටා ගසා තිබුණේය. වගතුග විමසා තතු දැනගත් තරුණයා විසින් කිත්සිරි කැඳවාගෙන ගොස් නිවෙසට බාර දෙන ලදී. ඒ වන විට සුනාමියේ බියකරු බව සුකුමලීට දැනගන්නට ලැබී තිබුණේය.

ලේ ගලන තුවාල සහිතව පැමිණ කිත්සිරි දුටු සැණින් සුකුමලී ඇසුවේ එකම ප්‍රශ්නයකි.

"ඇයි කිත්සිරි! අනේ... කෝ මගේ දරුවා..."

"මුහුදට... ගියා..." ගොත ගස ගසා පැටළෙන වචන දෙකකින් කිත්සිරි උත්තර දුන්නේය.

ගෙතුළට වැදුණු දෙදෙනාටම අඬන්නට කඳුළක් ඉතිරි නොවීය.

එදින සවස තුන වන විට පුංචි අහිංසාගේ නිසල සිරුර අම්බලන්ගොඩ තානායම අසල වෙරළට ගොඩගසා තිබුණේය. සිය ගණනක් ගම්වැසියන්ගේ සිරුර මහ මුහුද රැගෙන ගිය ද නිර්මල අහිංසාවකගේ ළපටි සිරුර පමණක් ගම් පියසට රැගෙනවිත් දීමට ඇගේ ඉෂ්ට දේවතාවිය කාරුණික වී තිබුණාය.

ඒ මහා ඛේදවාචකය විඳ දරාගත නොහැකි සුකුමලී නොබෝ දිනකින්ම අම්බලන්ගොඩ ජීවිතය අතහැර සැමියා සමඟ දෙහිවල සත්ත්වෝද්‍යාන නිල නි‍ෙවසේ පදිංචියට පැමිණියාය. ඇගේ දුක හා වේදනාව මඳකට හෝ සමනය වූයේ එකම පුතු වන හංසක මධුෂාන් උස් මහත් වනු දැකීමේ වාසනාව නිසාය. කොපමණ සුදුසුකම් තිබුණ ද පුතණුවන් රැකියාවක් කරනු දැකීම ඇගේ ප්‍රාර්ථනාව නො වී ය. මන්ද යත් පැය විසිහතරම තමා සමඟ පුතු නිවෙසේ රැඳි සිටිය යුතු ය යන්න ඇගේ අධිෂ්ඨානය විය.

පුතු ද එසේ ම ය. අම්මාගෙන් තොර ලොවක් ඔහුට නැත. සත්වෝද්‍යානය තුළ ගෙවන ඔවුන්ගේ නිසංසල ජීවිතය නිහඬව ගෙවී ගියේය. අහිංසා අහිමි වී වසර එකො‍ළහක් සපිරෙන්නට ආසන්ව තිබිණ. මධුෂාන් පුතු දැන් විසිහත් වැනි වියේය.

සියල්ල අනිත්‍ය බව පසක් කරමින් පසුගිය නොවැම්බර් හත්වැනි දින මැදියම් රැය ගෙවී යන කණිසම මේ තිදෙනාගේ ජීවිතයට අවසන් කණකොක් හඬ රැගෙන ආවේය. එදින ඔවුහු තම උපන් ගම වන අම්බලන්ගොඩ බලා ගියේ ඥාතියකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහාය. ඒ දෛවෝපගත රැයේ බොහෝ කලකින් මුණගැසුණු පාසල් මිතුරන් පිරිසක් සමඟ මධුෂාන් මළගෙදර ගේට්ටුව අසල සතුටු සාමිචියේ යෙදී සිටියේය.

එක්වර ම ප්‍රාඩෝ ජීප් රථයක් අධික වේගයෙන් හඹා අවුත් ගේට්ටු තාප්පය ද බිඳ පෙරළා දමමින් තරුණ කැල යට කර දැම්මේය. සැණෙකින් ජීප් රිය පසුපසට ගත් රියැදුරු තුවාලකරුවන් දෙසවත් නොබලාම වේගයෙන් පලා ගියේය.

බරපතළ තුවාල ලත් තරුණයන් ඔබ මොබ වැටි දඟලන අතර මධුෂාන්ගේ තත්ත්වය බියජනක විය. ත්‍රීවීලර් රථවල දමාගෙන තුවාලකරුවන් බලපිටිය රෝහලට රැගෙන ගිය ද තත්ත්වය බරපතළ බැවින් ඔවුහු නොපමාව කරාපිටිය මහා රෝහල වෙත යවනු ලැබූහ. මධුෂාන් ප්‍රතිකාරයක් ලබන්නට තරම් හෝ සුදුසු තත්ත්වයක නොසිටියේය. අනතුර ලත් අවස්ථාවේ පියැවුණු නෙත් යුග එසේ ම තිබියදී දැඩි වේදනාවක් මුහුණින් පිළිබිඹු කර මධුෂාන් ජීවිතයෙන් සමුගත්තේය. අතපය කැඩී බිඳුණු සෙසු පිරිස රෝහල්ගත කෙරිණ. මුහුණ, හිස, මොළය, උරස් කුහරය, අත් පා කැඩී, බිඳී තැළී සුනුවිසුනුව ගොස් තිබීම මධුෂාන්ගේ ඉක්මන් මරණයට හේතුකාරක වූ බව වෛද්‍ය මරණ පරීක්ෂණයේදී හෙළිදරව් විය.

අනතුර සිදු වූ ස්ථානයේ තිබී හමු වූ අංක තහඩුව නිසා වාහනය හඳුනා ගැනීමට මඟ පෑදිණ. රියැදුරු විසිතුන් හැවිරිදි ධනවත් ව්‍යාපාරික තරුණයෙකි. මධුෂාන් විසිහත් හැවිරිදි අහිංසක තරුණයෙකි. චූදිතයා ඇප පිට නිදහස් ය. මධුෂාන් කොහුවල සුසාන භූමියේ මිහිදන් ය. අත් පා බිඳුණු සෙස්සෝ තවමත් රොහ්ල්ගතය.

දරු දෙදෙනාම අහිමි වූ අම්මා මන්ද මානසිකව දිවා රෑ නොමැතිව කඳුළු සලන්නීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්