‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මම ස්ත්‍රීවාදිනියක් නොවෙයි

මුවදොර වදන
 

මම ස්ත්‍රීවාදිනියක් නොවෙයි

මහාචාර්ය පියසීලි විජේමාන්න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ හිටපු මහාචාර්යවරියක වන පියසීලි විජේමාන්න මෙරට සිටින සම්මානනීය කෙටිකතා රචිකාවකි. වංකගිරිය, සහෘදයෝ, පටුමඟක වැසියෝ, එක්ටැම්ගෙය, සුවඳ කූරු, විකල පරාණ ආදී කෙටිකතා සංග්‍රහ ද, හදවත ගොත නැත, උදම් රළ යන යොවුන් නවකතා ද ඇගේ නිර්මාණ අතර වෙයි. තවමත් සක්‍රීය ලෙස නිර්මාණකරණයේ යෙදී සිටින මහාචාර්ය පියසීලි විජේමාන්න සමඟ කෙටිකතාව පිළිබඳවත්, එහි ශිල්පක්‍රම පිළිබඳවත් කළ සංලාපයකි මේ.

ඔබ කෙටිකතාව අනෙක් කලාංග අතරින් වෙන් කර හඳුනා ගන්නේ කෙසේ ද?

කෙටිකතාව, නවකතාවත් සමඟ ම ජනිත වූ කලා අංගයක්. එහෙත් මේ කලා අංගය තේමාව, විෂය, ශිල්ප ක්‍රම කියන අංශවලින් නවකතාව අබිබවා බොහෝ දුර ඇවිත් තිබෙන බවත් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ ලියැවුණු ශ්‍රේෂ්ඨ කෙටිකතා ගත්තොත් ඒ සම්බන්ධයෙන් නිර්වචනයක් සපයන්නත් අපට හැකියාවක් ඇත්තේ නැහැ. මේ විදියට කියන්නේ මා පමණක් නොවෙයි. විචාරකයන්ගේ අදහස වෙන්නේත් එයමයි. විශේෂයෙන් ම එක්දහස් අටසිය ගණන්වල බිහිවුණු ෆැන්කෝත් මේ පිළිබඳව පවසනවා. ඒ ‘ෂෝට් ස්ටෝරි’ කියන නම ම පාඨකයා මුළා කරන්නක් බවයි. ඒ නිසා අපට පෙනෙන්නේ මේ ශානරය මඟින් නවකතාකරුවාට ස්පර්ශ කළ නොහැකි තැන් ස්පර්ශ කළ හැකි බවයි. එනම් කෙටිකතාවක දී මනුෂ්‍ය ස්වභාවයට පොදු වූ ධර්මතා විදහා දැක්විය හැකිය යන්නයි. 

වරක් යම් නිර්මාණයකට පාදක වන චරිතයක හෝ වෙනත් දෙයක අහුමුලුවල තිබෙන දේ අවුස්සා යථාර්ථය මතුකර ගැනීමයි නිර්මාණකරුවා කළ යුත්තේ. උදාහරණයක් විදියට ගුණදාස අමරසේකරගේ ‘ආපසු ගමන’ කෙටිකතාව ගන්න. එහි තිබෙන්නේ එක්දහස් නවසිය තිස් ගණනන්වල සමාජ පසුබිමයි. ඊට පාදක වුණේ යටලමත්ත ප්‍රදේශයයි. මේ කාරණයට අප පවසන්නේ ‘ට්‍රොෆිකල්’ යන්නයි. ඒ කාලීන, දේශීය පිළිබඳ වටිනාකමයි.

මේ කාරණා ඕනෑම කෙටිකතාවක ඇතුළත් වෙන්න පුළුවන්. යම්කිසි කෙටිකතාවක ඒ මට්ටම අබිබවා විශ්වීය ලක්ෂණ තිබේ නම් ඒ කාරණායි අප අගය කළ යුත්තේ. ඒ වග දැන ගැනීමට නම් කෙටිකතාව කියවා විශ්වීය ලක්ෂණ සොයාගත යුතුයි. සමහර විට අප නවකතාවක වගේ කුමක් වූයේ දැයි බැලීමට, කෙටිකතාවක් කියවන අවස්ථා තිබෙනවා. එහෙත් ඊට පසුව දෙවැනි, තුන්වැනිවර කියැවීමෙන් පසුවයි ලේඛකයා යම් යම් වචන, සංකේත යොදා ගැනීමෙන් අදහස් කළ දේ හැඟෙන්නේ. මෙන්න මේ ආකාරයෙනුයි මා කෙටිකතාව දකින්නේ.

නවකතාවටත් වඩා කෙටිකතාව ඉදිරියෙන් ඇතැයි ඔබ පැවැසුවත් ශ්‍රී ලංකාව වැනි උප සංස්කෘතියක් ඇති රටක් ඇතුළේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන්නේ කෙටිකතාව නොව නවකතාවයි. ශිල්පක්‍රම හඹා යන්නේ නවකතාවයි. ඒ අනුව මේ උප සංස්කෘතිය ඇතුළේ කෙටිකතාව පසුබෑමකට ලක්වෙලා නේද?

ශිල්පක්‍රම මඟින් නවකතාව ඉදිරියට ගිහින් කියන අදහස වැරැදියි. උදාහරණයක් විදියට පියල් කාරියවසම් වගේ කෙටිකතාකරුවෙකු ඔහුගේ නිර්මාණවලට සමහර ශිල්පක්‍රම යොදනවා. මගේ කෙටිකතාවලටත් මා සමහර ශිල්ප ක්‍රම යොදනවා. ‘යුගල පරාණ’ කියන මගේ කෙටිකතාවේ කතා කරන්නේ දෙන්නෙක්. ඒ සිරී සහ සිරා. නමුත් කතාව කියවාගෙන යනවිටයි පාඨකයාට හැඟෙන්නේ මේ කතා කරන්නේ තමන්ගේම හෘදය සාක්ෂිය සමඟ බව. ඒ සංවාදයෙන් විකාශනය වන්නේ සම්පූර්ණ කතාවක්. මේ විදියට ශිල්පක්‍රම සෑම නිර්මාණයකට ම යොදා ගන්න අපහසුයි. එහෙම වුණත් ප්‍රසිද්ධ කෙටිකතාකරුවන් නිර්මාණය කරන කෙටිකතා අතර මෙවැනි අමුතු ශිල්ප විධි භාවිත කරමින් ලියන කෙටිකතා තුනක්වත් තිබෙන්න පුළුවන්.

ශිල්පක්‍රම පිළිබඳ පැවසුවහොත් දිග ලැයිස්තුවක් කියන්නට හැකියි. ඒ අතර සංවාද, සිතුවිලි, කැබලි ක්‍රමයට, යම් යම් තැන්වල සිදුවන දේවල් එකට අමුණලා ගන්න ආදී විවිධ ශිල්පක්‍රම තිබෙනවා. මේ කාරණා සියල්ල පිළිබඳ පැවසුවා වගේම කෙටිකතාවේදී පාඨක සහභාගිත්වයට ද අවකාශයක් තිබිය යුතුයි. කෙටිකතාව අවසානයේ සියල්ල නොකියා ඔවුන්ට සිතන්නට ඉඩක් ඉතිරි කළ යුතුයි. එතැනදි වැදගත් වන්නේ නොකියා හරින දේයි. එහියි රසය තිබෙන්නේ.

නවකතාවක් ගත්තොත් කෙටිකතාවේ වගේ ශිල්පක්‍රම භාවිත කරමින් නවකතාවක් දිගටම අරගෙන යන්න අපහසුයි. එතැනදි අපි සංකේත කියන ශිල්පක්‍රමය ගනිමු. කෙටිකතාවේ සංකේත යොදා ගැනීම පහසුයි. ඒ නිසා සංකේත කියන්නේ කතාවේ ම ඓන්ද්‍රීය අංගයක්; එකිනෙක ඈත් කරන්න නොහැකි අංගයක්. නමුත් ඒ වගේ ශිල්පක්‍රම යොදාගෙන සාර්ථක වුණු නවකතාවක් මට මෙතෙක් ලැබිලා නැහැ. මාර්ටින් වික්‍රමසිංහගේ ‘ගම්පෙරළිය’ නවකතාවේ වුණත් ‘කොග්ගල’ කියන සංකේතය තියෙන්නේ මුලදි පමණයි. එහිදිත් කතුවරයා ඒ පිළිබඳ පවසලා තියෙන්නේ දිග විස්තරයකින්. ඒ සංකේතය නැවත නැවත කතුවරයා සඳහන් කරලා නැහැ. එහෙත් කතුවරයා ඒ සංකේතය තැනින් තැන යළි යළිත් සඳහන් කළා නම් වඩාත් අර්ථවත් බවයි මා නම් සිතන්නේ. නවකතාවට ඊටම ආවේණික ලක්ෂණ තිබෙනවා. නමුත් නවකතාවේ ගොඩක් ශිල්පක්‍රම දමන්නට බැහැ. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඒ වගේ උත්සාහයක් ගන්නවා. ඒ නිසා මා පවසන්නේ කොයිතරම් නවකතාවට සම්මාන ලැබුණත්, නවකතාව ඉදිරියට පැමිණි වග පෙනුණත් ශිල්පක්‍රම අතින් ඉදිරියෙන් සිටින්නේ කෙටිකතාව බවයි.

අපේ රටේ විවිධ ශිල්පීය උපක්‍රම භාවිත කරන කෙටිකතාකරුවන් විදියට ඔබ හඳුන්වන්නේ කවුරුන් ද?

මට නම් එහෙම කිසිම කෙනෙක් ගැන කියන්නට නොහැකියි. නමුත් මා හිතන්නේ පියල් කාරියවසම් ඒ සඳහා උත්සාහ කරන බවයි.

අතීතයේ සිට පැවතගෙන පැමිණෙන ජී. බී. සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ වගේ නිර්මාණකරුවන් අතරින් විශේෂයෙන් ම කෙටිකතා කලාව වෙනස් කළා යැයි අපට හඳුනා ගන්න හැකි නිර්මාණකරුවන් වන්නේ කවුරුන් ද?

කෙටිකතා කලාව වෙනසකට ලක් කළේ ජී.බී. සේනානායකයි. මාර්ටින් වික්‍රමසිංහව අප අගය කරන්නේ කෙටිකතාව කියන්නේ කුමක්දැයි හඳුන්වා දීම ගැනයි. ඒත් ඔහු කෙටිකතා තුන්සිය ගණනක් ලියා තිබුණත් ඒ සියල්ල කෙටිකතා ගණයට ගැනිය නොහැකියි. ඒ අතරින් සමහර ඒවා කතන්දරයි. ජී. බී. සේනානායක වැඩිපුර කෙටිකතා නොලියූ බව ඇත්තයි. එහෙත් ඔහු නිර්මාණවලට පසුබිම් කර ගත්තේ ඔහුට හුරුපුරුදු නාගරික ජීවිතයයි. එහි වසන්නන්ගේ මධ්‍යම පාන්තික ජීවිත ඔහුගේ කෙටිකතාවල චරිත බවට පත්වුණා. විශේෂයෙන් ම ඔහුගේ ‘පළි ගැනීම’, ‘දුප්පතුන් නැති ලෝකය’, ‘මිතුරිය’ කියන කෙටිකතා සංග්‍රහ අතර අදටත් ආධුනිකයන්ට ආදර්ශයට ගතහැකි ධර්මතා පවතිනවා.

ඒ අතරින් එකක් නම් ආකෘතිය අතින් තිබෙන සම්පිණ්ඩිත භාවයයි. ‘වෙසක් පහන’,‘රෝගී තරුණයා’, ‘කලහය’ වගේ කෙටිකතා ගත්තත් මෙහි පවතින ආකෘතික සෞන්දර්යය බොහොම වැදගත්. ‘කලහය’ කියන කෙටිකතාව පිළිබඳ විමසුවහොත් එහිදි අපට හමුවන ප්‍රධාන චරිතය වන්නේ උපනන්දයි. උපනන්දත් සමඟ ම ඔහුගේ බිරියගේ චරිතයත් එහිදි නිරූපණය වෙනවා. බිරියට උපනන්දගේ අවධානය නොලැබීම නිසා කාලයක් තිස්සේ ඈ විඳි පීඩාව දැක්වෙන්නේ පොත් ඉරා දැමීමෙන්. මේ කෙටිකතාවේ දී ප්‍රධාන චරිතය ලෙස උපනන්දගේ ගති ස්වභාවයත් සමඟ ම බිරියගේ චරිතයත් අවශ්‍ය තරමට නිරූපණය වී අවසන් වීමයි මෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ. ජී. බී. සේනානායකගේ හැම කෙටිකතාවකම මේ කියූ ලක්ෂණය අන්තර්ගතයි. එනම් එක් චරිතයක් මඟින් අනෙක් චරිතය විදාරණය වීමයි.

ප්‍රවීණ කෙටිකතා රචිකාවක විදියට මේ පරපුරෙන් පසුව පැමිණෙන ගුණදාස අමරසේකර, ජයතිලක කම්මැල්ලවීර, එරික් ඉලයප්ආරච්චි ඇතුළු පරපුර ඔබ දකින්නේ කොහොම ද?

ගුණදාස අමරසේකරගේ මුල් කාලයේ ලියූ රතුරෝස මල, ජීවන සුවඳ කෙටිකතා සංග්‍රහවල තිබෙන කතා වෙනස්. ඊළඟ ඔහුගේ කෙටිකතා සංග්‍රහයේ වූ කෙටිකතාවල ඇත්තේ සාංක්‍රාන්තික ලක්ෂණයයි. ඊට පසුව පැමිණි කෙටිකතා පහක් සහිත කෙටිකතා සංග්‍රහවල ඇති වෙනස නම් ඒ කතා දිගු වීමයි. වරක් එක්තරා පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පවසා තිබුණේ කෙටිකතාවේ ඇති සංක්ෂිප්ත භාවයට කොටු වීමට අකැමැති බවයි. ක්‍රමයෙන් සාමාජික, දේශපාලනික වාතාවරණය නිරූපණය කිරීමටයි ඔහුට අවශ්‍ය වූණේ. කලාත්මක පක්ෂයට වඩා සමාජ සංශෝධනයටයි ඔහුගේ වඩාත් අවධානය යොමුවුණේ. ඒ සමහර නිර්මාණවලින් දයාව සහිත උපහාසයක් ජනිත වුණා. නමුත් ‘කියනු මැන දිවි අරුත’ කියන කෙටිකතා සංග්‍රහය මේ සියල්ලට ම වඩා වෙනස්.

ජයතිලක කම්මැල්ලවීර තරම් කෙටිකතා එරික් ඉලයප්ආරච්චි ලියා නොමැති වුවත් ඔහු යොදා ගන්නේ නවීන ශිල්ප විදියි. කීර්ති වැලිසරගේ කෙටිකතාවල සාම්ප්‍රදායික ලක්ෂණයි දැකිය හැක්කේ. නිශ්ශංක විජේමාන්න කියන කෙටිකතාකරුවා වෙනස් විදියක නිර්මාණ කිරීමටයි පෙලඹී ඇත්තේ. සමහර සාකච්ඡාවලදී නිර්මාණ ජීවිතයට බලපෑම් කළ පෞද්ගලික කාරණා ඔහු හෙළි කරන්නේ අව්‍යාජවයි. ඔහුගේ නිර්මාණවලට පාදක වී ඇත්තේ ඔහු අවට පරිසරයේ වූ අත්දැකීම්. මේ නිර්මාණවලදි ඔහු යොදා ගන්න සංකේත කිසිම අවස්ථාවක කෙටිකතාවෙන් ඈත් කළ නොහැකියි. මේ විදියට දිගටම ලිව්වොත් ඔහු කවදා හෝ දිනෙක හොඳ කෙටිකතාකරුවෙකු වන බව මගේ හැඟීමයි. පියල් කාරියවසම් වගේම අනුරසිරි හෙට්ටිගේ කියන්නෙත් ඒ වගේ බලාපොරොත්තු තබාගත හැකි නිර්මාණකරුවන්. රංජිත් ධර්මකීර්ති වැඩිපුර නිර්මාණ නොකළත් ඔහුගේ කෙටිකතා සංග්‍රහවල එන කෙටිකතා අපූර්වත්වයෙන් යුතුයි.

කෙටිකතාව කියන්නේ වර්තමානයේ පුවත්පත්වල සාහිත්‍ය අතිරේකවල දක්නට ලැබෙන අනිවාර්ය විශේෂාංගයක්. මේ විශේෂාංගය ඔස්සේ කෙටිකතාකරුවන්ට යම් පිටුබලයක් ලැබෙන්නේ යැයි ඔබ සිතන්නේ ද?

අනිවාර්යයෙන් ම ඔව්. මම දන්න බොහෝ අය ඔවුන් ලියූ කෙටිකතා පුවත්පත්වලට යැවීමෙන් පසුව බලාගෙන සිටින්නේ පළ වන තුරුයි. එසේ පළ වුවහොත් පමණයි ඔවුන්ගේ නිර්මාණ ජීවිතයට ධෛර්යයක් ලැබෙන්නේ. එසේ පළ වූ කිහිපදෙනෙකු ම ඒ ගැන උද්දාමයෙන් කතා කරන අයුරු මා දැක තිබෙනවා. සමහර විට ඒ එවන සෑම නිර්මාණයක් ම හොඳ ම මට්ටමේ නොතිබෙන්න පුළුවන්. එහෙත් සංස්කරණය කිරීමෙන් පළ කළ හැකි කෙටිකතා ඒ අතර තිබිය හැකියි. ඒවා පළ කිරීමෙන් මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ජීවිතයට ලැබෙන්නේ තල්ලුවක්. ඒ නිසා එවැනි විශේෂාංගයක් පුවත්පතක නිරන්තරයෙන් පවත්වා ගෙන යෑම බොහොම වැදගත්. ඒ කාරණයට මා කැමැතියි.

වර්තමානයේ දී කෙටිකතාකරණයේ දැකිය හැකි නව ප්‍රවණතා ලෙස ඔබ හඳුන්වන්නේ මොනවා ද?

හුඟක් වෙලාවට දකින්නට ලැබෙන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදයයි. මා කලින් පැසූ කැබලි ක්‍රමයත් කෙටිකතාකරණයේදී දැකිය හැකියි. මීට අමතරව පශ්චාත් නූතනවාදී ලක්ෂණත් කෙටිකතාකරණයේ නව ප්‍රවණතාවක්. ඒ වගේම කලින් කෙටිකතාවෙන් සාකච්ඡා නොවුණු විෂයන් පවා මේ ඔස්සේ කතා කරනවා. උදාහරණයක් විදියට ලිංගිකත්වය ගත හැකියි. ඒ වගේ ම සමලිංගංකත්වයත්. මහින්ද රත්නායකගේ ‘වීර්සාරා’කෙටිකතා සංග්‍රහයෙත් ඔය කියන විෂය කතාබහට ලක් වෙලා තිබුණා. මෙවැනි පොත් සමහර විට සමීක්ෂණ මණ්ඩලවලින් පවා ප්‍රතික්ෂේප වෙනවා. එහෙත් මේ නිර්මාණවල අශෝභන පැති තිබෙන්න පුළුවන් වුණත් කෙටිකතාකරුවාට ඒ කාරණා අශෝභන පැති නොවෙයි. ඒ නිසා මේ අහුමුලු අනාවරණය විය යුතු විෂයයන් ලෙසයි ඔහු සිතන්නේ.

ඔබගේ නිර්මාණ කියවන පාඨකයකුට හැඟෙන්නේ ඔබ ස්ත්‍රියට ප්‍රමුඛත්වයක් දී නිර්මාණකරණයේ යෙදෙන ලේඛිකාවක බවයි. ඒ කාලය ඇතුළත නිර්මාණකරණයේ දී ස්ත්‍රියක් ලෙස සමාජගත වීම ඔබට ගැටලු ඇති කිරීමට තරම් බලපෑම්ක් කළා ද?

මම ඔය ස්ත්‍රිවාදය කියන කාරණය පිළිගන්න කෙනෙක් නොවෙයි.

ස්ත්‍රියට තිබුණු තැන පිළිබඳ විමසලා බලද්දී අපගේ අවධානය යොමුවිය යුතේ මීට පෙර සමාජයටයි. ඒ කාරණය විමසලා බලන්න හොඳ ම දේ විදියට මා දකින්නේ එකල අපේ සමාජයේ තිබූ ජනකතා හා ජන කවි යනාදියයි. ඒ ඔස්සේ විමසීමේ දී කාන්තාවට එකල හොඳ සමාජ තත්ත්වයක් තිබුණ බවක් අපට හැඟෙනවා. ඒ නිසයි අපට ස්ත්‍රිවාදය කියන සංකල්පය ඇවිත් තිබෙන්නේ බටහිරින් බව මා පවසන්නේ. සමහරු ඒ කාරණය ම කරගහගෙන ස්ත්‍රි පීඩනය විදහා දක්වන්න සිතනවා නම් එය මා අගය කරන කාරණයක් නොවෙයි. ස්ත්‍රිය පීඩනයට පත්වෙනවා. ඒක ඇත්තක්. ඒ ස්ත්‍රියගේ පවතින ජීව විද්‍යාත්මක ලක්ෂණ නිසා සිදුවන්නක්. ඒ කාරණය හැරුණු විට ස්ත්‍රිය පීඩාවට පත්වන පුරුෂාධිපත්‍ය පිළිබඳත් සඳහනක් කළ යුතුයි. මා පවසන්නේ ඒ පිළිබඳ කාන්තා, පුරුෂ දෙපක්ෂයට ම නිවැරැදි වූ අදහසක් ලබාදිය යුත්තේ කුඩා කාලයේ පටන්ම බවයි. එනම් එහිදී ඔවුන්ගේ මනසට ඇතුළත් කළ යුත්තේ මේ දෙදෙනාගෙන් පුරුෂයා පමණක් නොව දෙදෙනා ම වැදගත් බවයි.

සමාජය ඇතුළේ ස්ත්‍රියට පැවරිලා තිබෙන වගකීම් සම්භාරය ලේඛිකාවක ලෙස ඔබ විග්‍රහ කරන්නේ කුමන අයුරින් ද?

කාන්තාවකට තිබෙන්නේ බහුවිධ භූමිකාවක්. මවක්, බිරියක්, මිත්තණියක්, සහෝදරියක් ආදී වශයෙන් ගැනෙන ඇයට පැවරී ඇති මේ බහුවිධ භූමිකාවේ බර ටිකක් හෝ අඩු කළ හැක්කේ සමාජය දැනුම්වත් කිරීමෙන්. රෙදි සෝදන වෙළෙඳ දැන්වීමක් ගන්න. එහි රෙදි සෝදනවා පෙන්වන්නේ කාන්තාවක විසින්. එහෙත් කිසිම දවසක පුරුෂයෙක් එහි නියැළෙනවා පෙන්වන්නේ නැහැ නේ. එහෙම වුණා ම ළමයින්ගේ සිත්වල ඇති වන්නා වූ සිතුවිල්ලක් වන්නේ රෙදි සේදිය යුත්තේ අම්මා යන භුමිකාව ම යන්නයි.

ඒ නිසා මේ වන විට ඇය රැකියාවක් කළත් ඒ භුමිකාව ඇයට ම අයත් එකක් වෙලා අවසානයි. උයන එක, දරුවන් හැදීම මේ ආදී කාරණා සියල්ලගේ ම වගකීම පැවරෙන්නේ කාන්තාව මතයි. සමහර විට ඉන් බැහැර වන පුරුෂයෙක් ඉඳලා හිටලා හමුවෙන්නත් පුළුවන්. මේ අතර ජීව විද්‍යාත්මක ලක්ෂණ අනුව ගැහැනියට වගේම පුරුෂයාටත් පැවරුණු වගකීම් කොටසකුත් තිබෙන බව අප අමතක නොකළ යුතුයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්