‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


වී කරල් වෙනුවට සුවඳැල් කරල්

විමර්ශන

වී කරල් වෙනුවට සුවඳැල් කරල්

“අපගේ නිෂ්පන්න කවියට, සංස්කෘත අලංකාරිකයන්ගේ බලපෑම නොවුණේ නම්, චීන කවිය මෙන් අපගේ කවිය ද නිදහසේ වැඩෙන්නට ඉඩ කඩ තිබුණු බවට උපකල්පනය කිරීම, සාහසික නිගමනයකියි කිව නොහේ.”

(අඟුණ මල් - පෙරවදන - ආරියවංශ රණවීර)

උක්ත උද්ධෘතය මාලන් බණ්ඩාර කපුවත්ත ලියූ අඟුණ මල් සංක්ෂිප්ත කවි එකතුව පිළිබඳ ලියැවෙන සටහනක ප්‍රවේශය කර ගනිමි.

රණවීර කවියා මෙසේ සඳහන් කරනුයේ කොස්සගම කන්දර වෙහෙර ශිලා ලේඛනයෙන් පටන් ගෙන ගී කාව්‍ය හා සීගිරි කාව්‍ය ඔස්සේ පද්‍ය සම්ප්‍රදායට එක් වූ රචනා පිළිබඳ ව ය. විවිධ අවශ්‍යතා සඳහා ලියැවුණ ද, සංක්ෂිප්ත බව, සරල බව, ධ්වනි ගුණය සහ ඇතැම් විට චිත්ත රූප මැවීමේ ගුණය යනාදිය අතින්, මේවායෙහි ඇති විශේෂත්වය රණවීර කවියාගේ අවධානයට හසු වේ. ජපන් හයිකු කවිය, බටහිර කවිය සහ පෙරදිග කවිය ඇසුරේ තමන්ට ම අනන්‍ය වූ කවි ආරක් නිර්මාණය කර ගැනීමේ උත්සාහය රණවීරගේ කාව්‍යාවලියෙහි කැපී පෙනේ. නන්දන වීරසිංහ ප්‍රවීණයාගෙන් පසු ව ඒ කවි ම‍ඟෙන් ඍජු ව ම ආභාසයක් ලැබු තරුණ කවියා මාලන් බණ්ඩාර කපුවත්ත යි.

විශේෂයෙන් ම ආරියවංශ රණවීර සහ නන්දන වීරසිංහ කිවිවරුන් විසින් සම්පාදිත “තුන් පෙති හතර පෙති පස් පෙති” කාව්‍ය සංග්‍රහය මාලන් බණ්ඩාර තුරුණු කවියා කෙරෙහි දැඩි බලපෑමක් කර ඇති සෙයකි. පොතෙහි ආකෘතිය ද ඒ අයුරින් ම සකස් වී ඇත. එහි වරදක් නැත. වැදගත් වන්නේ අනුකාරකත්වයෙන් මිදී ස්වාධීනත්වය දියුණු කර ගැනීම ය. මෙහි දී මාලන් බණ්ඩාර කපුවත්ත, තමා හැදී වැඩුණු වියළි කටුක පරිසරයෙහි දී ලද ජීවන අත්දැකීම් සමුදාය ද නව්‍ය වූ කාව්‍ය චින්තා සඳහා ප්‍රස්තුත කර ගනී. 'අඟුණ මල්' මැයෙන් එන කවියෙන් ද එය ම පොතේ නම වීමෙන් ද ඒ බැව් තහවුරු වේ. මේ කවි මාතෘකා රහිත ය. ඇතැම් කවි සිතුවම් ද සහිත ය.

වියළි අත්තක
වැසූ කපුටෙක්
ගී ගයයි
කිරි අම්මාට

මේ එහි ඇතුළත් එක් කවකි. කපුටාගේ චර්යා ආශ්‍රිත විශ්වාස පද්ධතියක් ජන විඥානයෙහි පවතී. සමාජය කෙතරම් නවීකරණය වුව ද ඒ විශ්වාස තවමත් නොනැසී පවතී. කපුටා මල් පලින් සුසැදි හරිත පැහැයෙන් දිදුලන අත්තක සිට නැ‍ඟෙනහිර බලා කෑගැසීම ගැමි ජනයාට ඇති කරන්නේ නෑදෑයකු හෝ අමුත්තකු නිෙවසට පැමිණෙන බලාපොරොත්තුව යි. එහෙත් වියළි අත්තක සිටි කෑගැසීම අසුබ සඥාවකි.

කිරි අම්මා ජීවිතයෙහි සැඳෑ සමය ගත කරයි. ඇතැම් විට දරුමල්ලන්ගෙන් බොහෝ දෙනකු ඇය අසල නැති විය හැකි ය. එහෙත් කපුටා කරන්නේ ගී ගැයීමකි. එක් අතකින් එම දර්ශනය අසුබ සංඥාවක් විය හැකි වුව ද එය ගී ගැයීමක් නිසා, කිරි අම්මා තම හුදෙකලා දිවියෙහි සතුටක් ද ලබයි. ඊට හේතුව දරුමල්ලන්ගේ කට හඬ නෑසීම ය. මෙ සේ මේ කවිය ඇසුරෙන් හුදු වින්දනීය තලය ඉක්මවා ගිය කල්පනා රැහැන් විහිදේ.

මේ කවිය ද සාර්ථක නිර්මාණයකි.

එන විට ගැරඬි ගෙට
පොල් කටුවෙන් වසයි
අත්තා
ගෙහි ගෙම්බන්

ගෙම්බා සහ ගැරඬියා ආශ්‍රිත ජන විඥානය ද මෙයින් පිළිබිඹු කෙරේ. අනෙක් අතින් ගැමි ජන දිවියෙහි සියුම් අවස්ථාවක් මෙයින් කියවා ගත හැකි ය.

ගේ ගෙම්බෝ ගෙවල අහුමුලු වාසස්ථාන කර ගනිති. උන්ගෙන් අමුතු හිරිහැරයක් නැතත් සර්පයන්ගෙන් අනතුරක් වේය යන බිය නිසා, ගෙම්බා මල්ලකට දමාගෙන ගොස් නිවහනට සෑහෙන දුරින් තැනක හලා එම ගැමියන්ගේ සිරිත යි. කොහේ ගෙන ගොස් අතහැරියත් ඌ ආපසු එන බවට ද ඊට හේතුවක් විය හැක්කේ මළ ගිය ප්‍රාණ කාරයකු වීම බවට ද ගැමියෝ විශ්වාස කරති. මේ නිසා කිසි විටෙක ගේ ගෙම්බාට හිරි හැර නොකරති.

අත්තා පොල් කටුවෙන් ගෙහි ගෙම්බන් වැසීමෙන් අදහස් වනුයේ එය විය හැකි ය. හිරිහැරයක් විය හැකි පුද්ගලයන්ගෙන් දරු මුනුපුරන් ආරක්ෂා කිරීමේ අදහස ද මෙයින් ගම්‍ය විය හැකි ය.

කෙසේ නමුත් මේ කව ජන දිවියෙහි සරලත්වය, විශ්වාස හා ඇවතුම් පැවතුම් පිළිබඳ හඳුනා ගැනීමෙහි පැතිකඩක් වැන්න.

තවත් කවක් දක්වමි.

අහන විට යෝධයන් ගැන
පුතු කැටුව යමි
වෙල අද්දර
සීයා නිදන තැනට

යෝධයන් පිළිබඳ දරුවෝ වැඩිහිටියන්ගෙන් අසති. බොහෝ විට දස මහා යෝධයන් පිළිබඳ ප්‍රවාදගත කතා පිළිතුරු ලෙස ලැබෙයි. විශාල සිරුරු සහිත විස්කම් වැඩ කරන මිනිස් කොට්ඨාසයක් පිළිබඳ ව දරුවන්ගේ සිත්හි චිත්‍රයක් ඇ‍ඳෙයි. එහෙත් සැබෑ ව එය නොවේ. සමාජ උන්නතිය තකා කැපවීමෙන් නිර්මාණශීලි ව හා අනලස්ව කටයුතු කරන පුද්ගලයෝ අන්‍යයන් අතර කැපී පෙනෙති. ගැමි ජන නායකයන් හැටියට ද ඔවුන් සලකනු පෙනේ.

වයෝවෘද්ධ ගැමියකු සතු අත්දැකීම් සම්භාරය සහ ඔහු විසින් ඉටු කරන ලද වැඩ කොටස අනුව තරුණයන්ට හා ළමයින්ට ඔහු යෝධයකු ලෙස හැඟී යා හැකි ය. පුතා පියාගෙන් යෝධයන් ගැන විමසන විට පියා තම පුතු සීයාගේ සොහොන වෙත රැගෙන යයි. මිය ගිය සීයාගේ රූපකාය නැතත් නාමකාය යෝධකායක් ව නැඟී සිටී.

මාලන් බණ්ඩාර කපුවත්ත සංක්ෂිප්ත කවි ආර තම කවි මඟ බවට පත් කිරීමේ යුහුසුලු වූ තරුණ කවියෙකි. මෙය සාහිත්‍ය මෝස්තරයක් සේ භාවිත කරන තුරුණු කවියෝ ද සිටිත්. එක් කලක විඥානධාරා රීතියෙන් ලියැවුණු නවකතා රොත්තක් ම පැමිණියේ ය.

කෘතියෙහි අන්තර්ගතය හා චරිත නිරූපණය කෙරෙහි දැක්වූ අවධානයට වඩා රීතිය කෙරෙහි දැක්වූ උනන්දුව එහි කැපී පෙනිණ. මෙය වැඩිදුර නොගියේ ය.

රණවීරයන්ගේ හා නන්දන වීරසිංහයන්ගේ ආභාසයෙන් සංක්ෂිප්ත කවි ලිවීමට බට ඇතැම් තරුණ කවීන් අසාර්ථක වූයේ ද එපරිද්දෙනි.

මාලන් බණ්ඩාර එම අනතුරට හසු නොවීමේ ගුණය සහිත කවියකු බව මේ කෘතියෙන් පෙනේ.

එහෙත් ඇතැම් විට සුලබ අත්දැකීම් සුපුරුදු අයුරින් ම ඉදිරිපත් කෙරුණු අවස්ථා ද ඇත.

නැවෙන විට
සුවඳැල් බිමට
එසැවෙයි හිස් අහසට
බොල් කරල්

මේ කාව්‍යානුභූතිය මීට පෙර විවිධ කවීන් අතින් රචනා වී ඇත. මෙහි ඇති වෙනස වී කරල් වෙනුවට 'සුවඳැල් කරල්' ආදේශ වීම ය. ඔහු මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු ය.

කෙසේ නමුත් මාලන් බණ්ඩාර කපුවත්ත 'අඟුණ මල්' කෘතිය ඔස්සේ, උසස් කවිත්වයක් සහිත රචකයකුගේ සම්ප්‍රාප්තිය පෙන්වයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්