‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»

සංඝ කතිකා­වත හොඳද? නර­කද?

සංඝ කතිකාවත හොඳද? නරකද?

ථෙරවාදී භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ගෙන ඒමට නියමිත කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මේ වනවිට පැවිදි සමාජයේ මෙන් ම ගිහි සමාජයේ ද ආන්දෝලනයට ලක්වූ මාතෘකාවක් බවට පත්ව ඇත. ඇතැම් භික්ෂුන් වහන්සේ කතිකාවත් ලියාපදිංචිය කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටින අතර තවත් භික්ෂුන් වහන්සේ එහි දොස් දකිමින් පනත ව්‍යර්ථ කළ යුතු බව අවධාරණය කරති. කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත ගැන භික්ෂුන්වහන්සේ හා බුද්ධ ශාසන අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවකි‍ මේ.

සංඝ සමාජයේ දියුණුව වෙනුවෙන් වගකීමක් ඇතිව සකස් කළ පනතක්

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි

නව භික්ෂු කතිකාවත් පනත පිළිබඳව මේ වනවිට පැවිදි සමාජයෙත්, ගිහි සමාජයේත් පුළුල් කතාබහක් ඇති වී තිබේ. මෙහිදී කිසියම් පිරිසක් විසින් මේ පිළිබඳව නිවැරැදි අවබෝධයකින් තොරව, කරුණු කිහිපයක් මුල් කරගනිමින් පනත අවලංගු කරවීම සඳහා උත්සාහ ගන්නා ආකාරයක් ද දකින්නට ලැබේ.

එහෙත් මෙය සංඝ සමාජයේ දියුණුව වෙනුවෙන්, නිරවුල් පැවැත්ම වෙනුවෙන් වගකීමක් ඇතිව සකස් කළ පනතකි. ඒ හැර එය වෙනත් දේශපාලනික වුවමනාවකට, රජයේ අවශ්‍යතාවකට නිර්මාණය කළ පනතක් නොවේ. පැහැදිලිවම මහා සංඝයා වහන්සේ ගේ ඉල්ලීම නිසා ඉදිරිපත් වූවකි.

දේශපාලන අරමුණුවලින් තොරව, ව්‍යාපාරික අරමුණුවලින් තොරව ශාසන මාමකත්වයෙන් යුතුව මේ ප්‍රශ්න විසඳා ගැනීම, නිරවුල් කර ගැනීම කාලීන අවශ්‍යතාවකි. ශාසනයේ දියුණුව වෙනුවෙන් කරන වැදගත් මෙහෙවරකි. අපක්ෂපාතීව, විමර්ශනශීලීව මේ ප්‍රශ්නය දෙස බලන ඕනෑම කෙනකුට එය බුද්ධ ශාසනයට කිසිසේත් ම අහිතකර නොවන බව වටහා ගැනීම අසීරු වන්නේ නැත. මේ කතිකාවත් පනත ගැන 2550 බුද්ධ ජයන්තිය, 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය යන අවස්ථා දෙකේදීම ඉතා බරපතළ ලෙස සාකච්ඡාවට ලක් විය. මහා සංඝයා වහන්සේගේ බලය, අනුදැනුම යටතේ ම ක්‍රියාත්මක වන පනතක් නිසා ඊට අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත. ඊට එක්විය යුතු යම් යම් සංශෝධන තිබෙනවා නම්, යම් හානිකර පැති තිබෙනවා නම් අප කළ යුතු වන්නේ ඒවාට ආවේගශීලී ලෙස පිළිතුරු දීම නොවේ.

එවැනි හැසිරීම් භික්ෂුන් වහන්සේ නමකට කිසිසේත් ම සුදුසු නොවේ. බෞද්ධකමට නොගැළපේ. මෙහිදී බොහොම උපේක්ෂා සහගතව මධ්‍යස්ථව කරුණු ඉදිරිපත් කිරීමය ශාසනයට හිතැති පැවිදි ගිහි සියලු දෙනා කළ යුතු වන්නේ.

මේ කතිකාවත හරහා ථෙරවාදී භික්ෂු සමාජය වැරදි කරනවා යන වැරදි මතය සමාජ ගතවීම වැළැක්විය නොහැකි බව මේ පිළිබඳව අදහස් දක්වන සමහර අය ගේ චෝදනාවය. සාමාන්‍යයෙන් අපරාධ නීති පනතක්, දණ්ඩ නීති සංග්‍රහයක් ව්‍යවස්ථාවේ අන්තර්ගතය. එවැනි දේ ඇතැයි මුළු රටම අපරාධ කරන බවට චෝදනා නැඟිය නොහැකි ය. නීති පැනවූවා යැයි සියලු භික්ෂුන් වහන්සේ වැරදි කරනවා යනුවෙන් අර්ථ ගැන්විය නොහැකි ය. එවැනි දේ බොළඳ තර්කය. එය දහසකින් එක් අයෙක් කරන වරදක් වීමට පුළුවන. එසේ යැයි එම වරද ඉවත දැමීම ද කළ නොහැකි ය. ඒ වරදට ප්‍රතිකර්මයක් තිබිය යුතු ය. සමහර අවස්ථාවන්හි භික්ෂුන් වහන්සේ ගේ යම් යම් අවිනය ක්‍රියාකාරකම්වලට ගන්නා වූ තීරණ ක්‍රියාත්මක කිරීමේ බලයක් ඒ ඒ නිකායට නැත. එම නිසා බොහෝ නිකායික සංඝ සභාවන්ට ඒ ගැන නිශ්ශබ්දවීමට සිදුවේ. එතැන දී වරදට ප්‍රතිකර්මයක් කිරීමට අවස්ථාවක් නැත. මෙතැනදී අධිකරණමය බලයක් ඇතිව, සාධාරණව යුක්තිය ඉෂ්ට කර ගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවය වැදගත් වේ.

මේ පනත තුළ යම් යම් කොටස් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඇතුළත් වී තිබීම ද දැක ගත හැකි වේ. නිකායික කතිකාවත්වලට අන්තර්ගත විය යුතු කොටස් ද මෙහි වේ. එවැනි දේ ඉවත් කළේ නම් මෙය නිරවුල් කර ගැනීමට හැකිවනු ඇත‍. ප්‍රධාන වශයෙන් නිකායික කතිකාවත්වලට නීත්‍යානුකූල බලයක් ලැබෙන ආකාරයට පමණක් නීති සම්පාදනය, කටයුතු සම්පාදනය වෙනවා නම් මේ කටයුතු නිරාකරණය කරගත හැකි බව අපගේ විශ්වාසය යි.

යම් පනතකදී අනවශ්‍ය ලෙස වචන කෙටි කිරීම තුළ ද යම් යම් වැරදි වැටහීම් ඇති වීමට පුළුවන. අතීතයේ සිට ම අපේ සමහර හාමුදුරුවරු ‍වෛද්‍ය ශාස්ත්‍රය, ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ ප්‍රවීණ දැනුම් සම්භාරයක් ඇතිව කටයුතු කළා. උන්වහන්සේ ඒ දේවල් කළේ නිස්සාරණාධ්‍යාසයෙන් යුතුව ය. අසරණ ජනතාව වෙනුවෙන් ය. අපි කළ යුතු වන්නේ ඒ දේවල් නැති කිරීම නොවේ. ඒ සඳහා සංශෝධනයක් එක්කොට, වානිජමය පරමාර්ථයෙන්, මහජනතාවගේ අප්‍රසාදයට පත්වෙන ලෙස, ජනතාව පීඩාවට පත් කරමින් එවැනි දේහි නිරත වෙනවා නම් එය වැළැක්වීම ය. මේ පනතේ එම පැහැදිලි කිරීම කළ හැකි නම් ඊට විරුද්ධ වීමට හේතුවක් නැත.

දේශපාලන කෝණයකින් නොබලා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි

භික්ෂු සමාජයේ කටයුතු පාලනය කිරීමට පිළියෙල කරන ලද ආගමික ප්‍රඥප්ති මාලාවක් කතිකාවත යන්නෙන් අර්ථ ගැන්වී තිබේ. අපේ රටේ පළමු වරට භික්ෂු කතිකාවතක් ගැන සඳහන් වන්නේ පොලොන්නරු යුගයේ දී ය. පාප භික්ෂු නිර්මන්දනය කොට, භික්ෂුවට නොගැළපෙන දේ කරනු ලබන්නා වූ භික්ෂුන් හා ඒ තත්ත්වය අවම කරමින්, දුර්ලබ්ධීන් හෙවත් ශාසනය පිළිබඳ විවිධ මත වාදයක් මැඬ, ශාසනයට ඇති වී තිබෙන කසළ සෝදා කිලුටු අයින් කිරීම ආදී කරුණු රැසක් පිළිබඳ ඉතා පැහැදිලි සටහනක් පොලොන්නරු කතිකාවතෙහි අන්තර්ගතය. භික්ෂුන් වහන්සේ හැසිරවිය යුතු ආකාරය, උදාහරණ ලෙස භික්ෂුන් වහන්සේ ගේ ඇවතුම් පැවතුම්, චර්යා රටාවන් විනයානුකූලව සකස් කිරීම, කාල සටහනකට අනුව චර්යාවන් හැඩ ගැන්වීම, භික්ෂුන් වහන්සේ විසින් පිටු දැකිය යුතු ආදි සමාචාරික ශික්ෂාවන්, පැවිදි කිරීම්, උපසම්පදා කිරීම් ආදී සම්මුතීන්, කතිකාවතේ වලංගුභාවය තහවුරු කිරීම ආදී විවිධ අංශ පිළිබඳව ද කරුණු එහි ඇතුළත් වේ.

ඉන්පසු නිශ්ශංකමල්ල රජ දවස ‘නිශ්ශංකමල්ල කතිකාවක්’ නමින් තවත් කතිකාවතක් කළ බව හැටදාගෙය පුවරු ලිපියේ සඳහන් ය. මේ ශාසනයේ දුශ්ශීල‍යන් ඉවත් කොට, සුශීලයන් වහන්සේට නොයෙක් සංග්‍රහ කළ බවට තොරතුරු එහි අන්තර්ගත ය.‍

දෙවැනි කතිකාවතෙන් පසු III වැනි විජයබා රජ සමයේ විජයසුන්දරාරාමයට එක් රැස් වූ භික්ෂුන් වහන්සේ තවත් ශාසනික කතිකාවතක් සම්පාදනය කළ බවට තොරතුරු දැන ගන්නට ලැබුණ ද ඒ පිළිබඳව වැඩි විස්තරයක් දැකිය නොහැකි ය.

‘දඹදෙණි කතිකාවත’ ලෙස ප්‍රසිද්ධියට පත් භික්ෂු කතිකාවත ඉදිරිපත් කෙරෙන්නේ II වැනි පරාක්‍රමබාහු රජ සමයේ දී ය. පළමු කතිකාවතෙන් වසර සියයකට පසු පැවැත්වූ එම කතිකාවතට හේතු සාධක වී තිබෙන්නේ ඒ ඒ තැන ප්‍රමාදව වසන, ශාසනවචර බොහෝ පුද්ගලයන් හා ශාසන පරිහානි කරවූ අප්‍රතිපත්ති දුෂ්ප්‍රතිපත්තීන් ගේ බාහුල්‍ය බව ය. භික්ෂුන් වහන්සේට ‍නොගැළපෙන දෙයින් උන්වහන්සේ මුදවා ගැනීම ද මෙම ව්‍යවස්ථාවේ අරමුණු විය. එකල භික්ෂුන් වහන්සේ ක්‍රියාකර තිබෙන්නේ කවර ආකාරයෙන් ද යන බවට ද තොරතුරු එහි හමුවේ.

ඉන්පසු VI වැනි පරාක්‍රමබාහු රාජ සමයේද කතිකාවතක් සම්පාදනය කොට තිබේ. ශාසනයට වින කරන, දුෂ්ප්‍රතිපත්ති පූරකයන්ට ඒ සඳහා අවකාශ නොතැබීමට එම ව්‍යවස්ථාව කරන ලද බව සඳහන් ය.

මහනුවර යුගයේ දී ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් කරන ලද කතිකාවකට ද ඉතා වැදගත්කමක් හිමිවේ. සංඝරාජ මා හිමියන්ට සහයෝගය දෙමින් සියමයෙන් උපසම්පදාව ගෙනැවිත් මෙරට උපසම්පදාව පිහිටුවා ශාසනය ඉදිරියට ගෙන යාමේ ක්‍රියාදාමයට එදවස පූර්ණ රාජානුග්‍රහය ලැබුණි‍. රාජාධිරාජසිංහ කතිකාවත ද ඉතා වැදගත් ය.‍ ශාසනාන්තර, සමහර ශ්‍රද්ධානැති, හිරි ඔතප් රහිත පුද්ගලයන් ගේ බාහුල්‍යතාවයෙන් ශාසන දූෂණ වන පරිදි අසා එබඳු අප්‍රතිපත්ති දුෂ්ප්‍රතිපත්ති හැරවීමට එම කතිකාවත කළ බව එහි සඳහන් වේ.

මේ අනුව අතීත රජ දවස සිට ශාසනය ආරක්ෂා කළ ආකාරය අපට පැහැදිලි වේ. යම් යම් පුද්ගලයන් ශාසනය තුළ සිදු කරන විවිධාකාර ක්‍රියාදාමයන්, භික්ෂුන් වහන්සේට නොගැළපෙන දේවල් ඉවත් කරවීම සඳහා භික්ෂුන් වහන්සේගේ සහයෝගය, නායකත්වය, අනුශාසකත්වය සේ ම රජුන්ගේ දායකත්වය ද ලබා ඇති බව ඉතා පැහැදිලි ය. භික්ෂුන් වහන්සේ හා සම්බන්ධ වැඩපිළිවෙළකට රජු ගේ අනුග්‍රහය, දායකත්වය කුමක් සඳහා ද යන ප්‍රශ්නය මෙහිදී පැන නැ‍ඟේ. නූතනයේ ද ඒ කතිකාව තිබේ. භික්ෂුව ගේ දේ භික්ෂුවට ම දිය යුතු බව කියැවේ.

භික්ෂුන් වහන්සේ රටේ රජුගේ නියමයට අනුගත විය යුතු යැයි මහා වග්ග පාලියේදී බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිවම දේශනා කොට තිබේ. සංඝ සම්මුතියක් ඇතිව යම් න්‍යායක් ගොඩනඟනවා නම්, සමාජය තුළ එය ප්‍රබල බවට පත් කිරීම රාජ්‍ය අනග්‍රහය ඉතා වැදගත්වේ. නූතනයේ ව්‍යවස්ථා පනතක් ලෙස මෙම කතිකාවතට ද රාජ්‍ය මැදිහත්වීම අනවශ්‍යය. අනෙක් අතට භික්ෂුන් වහන්සේ ගේ කතිකාවත් ක්‍රියාත්මක කරන්නට නම් නීතිමය බලයක් අවශ්‍යය. ඒ නීතිමය බලය ලබා දෙන්නේ රජු ය. සංඝ සම්මුතියට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමෙන් ඊට නිත්‍යානුකූල බවක් හිමිවේ. තමන්ගේ නිකායේ, තමන්ගේ පාර්ශ්වයේ භික්ෂුන් පැවැත්ම කෙසේ ‍කිනම් ආකාරයට සකස් විය යුතු ද යන්න පිළිබඳ ත‍ීරණ ගැනීමට ඒ ඒ නිකායන්වල පාර්ශ්වයන්වල මහානායක හිමිවරුන්ට කාරක සංඝ සභාවට අවස්ථාව තිබේ. මෙය අලුත් දෙයක් නොවේ. ශාසනය තුළ දුර්මත පළ කරන්නත් , භික්ෂුත්වයට නොගැළපෙන දේ කරන්නත්, දුෂ්පතිපත්ති, ඉවත් කිරීමට එවැනි ක්‍රියාවත් අවම කිරීමට යම් නීති පද්ධතියක් අත්‍යවශ්‍යය.

නූතනයේ, ඇතැම් විට බෞද්ධ ධර්මයට නිග්‍රහ වන ලෙස පොතපත පළ වේ. ඡායාරූප පළවේ. බුද්ධ රූප විවිධාකාරයේ අවභාවිතයට ලක් වේ‍. මේ නිසා යම් නීතිමය පද්ධති‍යක් ඇවැසිය. එහිදී රාජ්‍ය අනුග්‍රහය ද ලබාගෙන කටයුතු කළ යුතු ද යන්න පිළිබඳවත් තමන්ගේ පාර්ශ්වයේ ස්ථාවරය ගැනත් තීන්දු තීරණ ගැනීමටත් ඒ ඒ නිකායන්ට, පාර්ශ්වයන්ට පුළුවන්කම තිබේ. එහිදී මහා නායක හිමිවරුන්, කාරක සංඝ සභා ආදී නායක හිමිවරුන් ගනු ලබන තීරණවලට නීත්‍යානුකූල බලයක් ලබා දිය යුතුවේ. එය රජයේ මැදිහත් වීමෙන් කළ යුතු දෙයකි. මේ නිසා මේ අවස්ථාවේ මේ කතිකාවත පිළිබඳව දේශපාලන කෝණයකින් නොබලා ශාසනික කෝණයෙන් බලා තීන්දු තීරණවලට එළඹීම ඉතා වැදගත් වේ.

පනත ගෙනෙන්නේ භික්ෂූන් වහන්සේ පාලනය කරන්න නොවේ

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමි

රජය මේ නීති පනත සකස් කර තිබෙන්නේ කතිකාවත් ආශ්‍රය කරගෙනය. එම කතිකාවත්වලට නිත්‍යානුකූල බලයක් ලබාදීමට ය. මෙහිදී අප හොඳින් වටහා ගත යුතු කරුණක් තිබේ. එනම් ඒ බලය ලබා දෙන්නේ භික්ෂුන් වහන්සේටම වන බව ය. එනම් ඒ ඒ සංඝ සභාවන්ට, ඒ ඒ පාර්ශ්වයන්ට ආදී ලෙසිනි. එහිදී රජය විසින් භික්ෂුන් වහන්සේ පාලනය කිරීමක් අදහස් කෙරෙන්නේ නැත.

ඒ වගේ ම මේ ඉදිරිපත් කර ඇති පනත මේ රටට අමුතු දෙයක් හෝ පුදුම විය යුතු දෙයක් නොවේ. පොලොන්නරු කතිකාවත, දඹදෙණි කතිකාවත ආදිය ලංකා ඉතිහාසයේ ශාසනික වශයෙන් ඇති වූ ‍මැදහත් සංධිස්ථානයක් ය. ඒ සියලු ඓතිහාසික කතිකාවත්වලින් සිදුවුණේ ශාසනික සංශෝධනයක් ඇති කොට ශාසනයේ පැවැත්මට අවශ්‍ය කරන නීතිමාලාව සැකසීමයි. වර්තමානයේද සිදු කෙරෙන්නේ ද එයයි.

අපි පසුගිය රජය කාලයේ මෙවැනි කතිකාවතක් අවශ්‍ය බවට විවිධ අවස්ථාවන්හි කරුණු ඉදිරිපත් කළෙමු.

ඊට හේතුව ශාසනයේ යම් යම් ප්‍රශ්න නිර්මාණය වී තිබීමයි. ඇතැම් භික්ෂුන් වහන්සේ ගේ හැසිරීම් රටාව පිළිබඳව, විවිධ අංශවල ප්‍රශ්න, ගැටලු නැතැයි කිව නොහැකි ය. කතිකාවතක අවශ්‍යතාව පැනනැඟුණේ ඒ අනුව ය. අද කතාබහට ලක්වන්නේ ඒ අවශ්‍යතාව මත සංඝයා වහන්සේගේ අනුමැතිය ඇතිව සකසා ඉදිරිපත් කළ කතිකාවක් අනුව රජය විසින් පනතක් සකස් කොට නීත්‍යානුකූල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමයි‍. සාමාන්‍යයෙන් කතිකාවතක් සැදූ පමණින් එය නීතියක් බවට පත් වන්නේ නැත. කතිකාවත් ආශ්‍රයෙන් සැදූ පනතේ අඩංගු නීති රීති, කරුණු කාරණා කිසිවක් නොදැනය. සමහර අය වි‍රෝධය පළ කරන්නේමේ කතිකාවත් සඳහා හැම සංඝ සභාවකම, හැම පාර්ශ්වයකම, සෑම නිකායකම වග කිවයුතු නායක හිමිවරුන් මහා නායක හිමිවරුන් ලේකම් හිමිවරුන් කැඳවා දී‍ර්ඝ කාලයක් සාකච්ඡා සිදු කෙරිණි. නෛතික බලයක් නැති විට කතිකාවත්වල එන කරුණු ක්‍රියාත්මක කළ නොහැකි ය. මේ උත්සාහය ඒ නෛතික බලය හිමි කර ගැනීමට ය.

ඇතැම් භික්ෂුන් වහන්සේ වාහන පැදවීම සම්බන්ධව සිතා බලමින් මේ පනතට විරුද්ධ වන ආකාරයක් දකිමු. අපේ සංස්කෘතිය අනුව, ලංකාවේ භික්ෂුන් වහන්සේ රිය පදවන්නේ නැත. ගිහියන් කරන හැම දෙයක්ම පැවිදි අයට කරන්න පුළුවන් කියන මතයේ සිටිනවා නම් එය වැරදි ය. එවැනි අවශ්‍යතාවක් වේ නම් මහණ විය යුතු නොවේ. සරලව මෙසේ සිතමු. භික්ෂුන් වහන්සේ නමක් රිය පදවන අතර අනතුරක් සිදුවූයේ නම් ඒ භික්ෂුන් වහන්සේ අත්අඩංගුවට පත්වේ. සමහරවිට මහජනතාවගේ පීඩාවන්ට පවා ගොදුරු වන්නට සිදු වේ. ලංකාවේ භික්ෂුන් වහන්සේට ඒ ක්‍රමය නොගැළපේ. මේ සා කාලයක් දිගින් දිගටම ඒ ක්‍රමය පැවතුණේ ‍එහෙයිනි. අපගේ පැරණි ඇත්තන් ආරක්ෂා කොට ගෙන ආ යහපත් ප්‍රතිපත්ති, ප්‍රතික්ෂේප කිරීම සුදුසු නැත. මේ එක් කරුණක් පමණි.

මේ අවස්ථාවේ අපි භික්ෂුන් වහන්සේ ලෙස, බෞද්ධ ගිහි පින්වතුන් ලෙස හොඳින් සිතා බැලිය යුතු වන්නේ ශාසනයේ පැවැත්ම පිළිබඳවය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට, සංඝරත්නයේ ආරක්ෂාවට හා පැවැත්මට, දියුණුවට කතිකාවතක් ඇති කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය ය. ඒ සඳහා අප සැමගේ උපරිම සහයෝගය ලබාදිය යුතු ය.

භික්ෂූන් සැබෑවට ම මුහුණ දෙන ප්‍රශ්න තේරුම් ගෙන සැදූ එකක් නොවෙයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි

මේ පනතට හිත පක්ෂපාතීව කතා කරන හිමිවරු, නායක මට්ටමේ, නිකාය මට්ටමේ ස්වාමීන් වහන්සේලා තේරුම් ගත යුතු එක් දෙයක් තිබේ. ඒ මේ කතිකාවතට කොපමණ ප්‍රමාණයක් විරුද්ධ ද? කොපමණ ප්‍රමාණයක් පක්ෂපාතී ද යන්නය. එසේ පක්ෂපාතී වන්නේ හෝ විරුද්ධ වන්නේ හෝ කුමන පදනමකින් ද යන්නය. කවර පදනමකින්, කවර විනිශ්චයක යෙදුණ ද මේ පනත ඉතා සංකීර්ණ එකක් බව පැහැදිලිය.

මේ පනත් ගැන ප්‍රේමදාස යුගයේ, චන්ද්‍රිකා යුගයේ සාකච්ඡාවට ලක්වුණි. රනිල් මහින්ද යුගයේ සාකච්ඡාවට ලක්වුණි. එහෙත් දිගින් දිගටම ප්‍රශ්නය නිරාකරණය නොවුණේ මේ සංකීර්ණ බව නිසාය.

අපි ප්‍රශ්න කරන්නේ මේ කතිකාවත හැදීමට මුල් වූ ඇත්තන් තුළ, මේ පොළෝ තලයේ හැබෑවටම භික්ෂුව මුහුණ පා සිටින තත්ත්වය පිළිබඳව කුමන අවබෝධයක් තිබුණා ද යන්න පිළිබඳවය. ඒ වගේම දැන් මේ පනත් ගැන කතා කරන මැති ඇමැතිවරු, රටේ නායකයෝ, මහානායක හාමුදුරුවන්ගේ පාර්ශ්වයේ පිරිස් අන්‍ය ආගමිකරණය වැළැක්වීමට පනතක් ගෙන එන්නට උනන්දු නොවන්නේ ඇයි ද යන්නය. මේ රට වට කරමින්, මේ රටේ භික්ෂු සංස්ථාව හා අප සතු වටිනාකම් සහිත බොහෝ ස්ථාන වට කරමින් අද වන විට ක්‍රිස්තියානි මූලධර්ම බලවේග 425-430කට වැඩි ප්‍රමාණයක් මේ රටේ ක්‍රියාත්මකය. අපේ වර්තමාන ජනාධිපතිතුමාට, හිටපු ජනාධිපතිතුමාට මේ අනතුර අපි පෙන්වා දුන්නෙමු. වත්මන් ජනාධිපතිතුමා අනික් නායකයන්ට වඩා ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන බවක් අපි දකිමු. හොඳ සාකච්ඡාවකින් මේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්නට පුළුවන්නම් එය ඉතා වැදගත් වේ. අපි කළ යුතු දේ වන්නේ අන්‍යාගම්කරණය වළක්වන පනත ගෙන ඒමය.

සම්මත කරගත යුතු තවත් පනතක් වන්නේ ග්‍රන්ථ ප්‍රකාශන නියාමන පනතය. ඒ පිළිබඳව ද චන්ද්‍රිකා යුගයේ සිට සාකච්ඡා කෙරේ. මෙය ඉතා ඉක්මනින් කළ යුතු දෙයයි.

අද අපි කතා කරන මේ කතිකාවතේ හොඳ නරක දෙකම අන්තර්ගතය. වඩාත් වැදගත් වන්නේ හැම තලයකම වැඩ කරන හාමුදුරුවරුන් සමඟ සාකච්ඡා කොට මේ පිළිබඳ තීරණයකට පැමිණීමය. මේ පනත් නීති බවට පත් වීමෙන් පසුව ඒවා නැවත වෙනස් කළ හැකිවේ ද නොහැකිවේ ද යන්න සිතා ගැනීමට නොහැකිය. දැන් මේ වන විට මිථ්‍යා දෘෂ්ටික බලවේග විසින් අප වටකර අවසන් වීම ඊට හේතුවය.

අප පළමුවෙන්ම කළ යුතු වන්නේ එය තේරුම් ගැනීමය. කවර බලවේග තිබුණ ද, කවර අඩුපාඩු තිබුණ ද, මොන තරම් පාරාජිකා වී සිටිය ද මේ හැමෝම සමඟ, හැමෝම රැකෙන ලෙස මේ කටයුතු කළ යුතුය. සංඝ ශාසනය පරදවමින්, අබිබවමින් මිථ්‍යා දෘෂ්ටික බලවේග විශාල ප්‍රමාණයක් වැඩ කරන බව අපි අමතක නොකළ යුතුය. ඒ මිථ්‍යා දෘෂ්ටික බලවේගවල පහසු ගොදුරු බවට සමහර දේශපාලන පක්ෂවල නායකයන්, මැති ඇමැතිවරුන් පත්වී තිබේ. හැමෝම කතා කරන සංහිඳියාව, සර්වාගමික ආදී මේ සියල්ල සමඟ ය හාමුදුරුවරුන්ට මේ ඉරණමට මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ.

1956 සිට ම මෙවැනි පනතක් මහ සඟ රුවන ඉල්ලා සිටියා

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

ථෙරවාදී භික්ෂු කතිකාවත් පනතක් පිළිබඳව සාකච්ඡා ඇති වුණේ දීර්ඝ කාලයක සිට ය. 1956 සිට මේ දක්වා ම මහා සංඝරත්නය මෙවැනි පනතක් ගෙන එන ලෙස ඒ ඒ රජයන්ගෙන් ඉල්ලා සිටියහ. ඊට හේතු වූයේ ථෙරවාදී නිකාය හෝ පාර්ශ්ව විසින් අනාදිමත් කාලයක සිට බෞද්ධ විනය පදනම් කරගෙන භික්ෂු කතිකාවත් සම්පාදනය කර ඇති නමුත් ඊට නීතිමය පිළිගැනීමක් සිදු කොට නො තිබීම ය. එම නිසා භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් ගනු ලබන විනය ක්‍රියාමාර්ග බලාත්මක කිරීමේ ගැටලු මතුවීම ය. මෙම ඉල්ලීම් අනුව නීති පනත් සැකසුවා මිස පාර්ලිමේන්තුවට ගෙන ඒමට එදා සිට මේ දක්වා ම කිසිදු රජයක් සමත් ව‍ූයේ නැත. විනය ගරු කරන්නේ නැති, මහානායක හාමුදුරුවන්ගේ හඬට කන්දෙන්නේ නැති බළකායක් (භික්ෂුන් කීප ‍නමක් පමණක්) නඟන හඬට විරෝධතාවට බිය වීම ඊට හේතුවයි. වර්තමානයේ දීත් මහා නායක හිමිවරු සහ විවිධ නිකායික නායක හිමිවරු මේ පනත ගෙන එන්නට ප්‍රමාද වන්නේ ඇයි ද යන ප්‍රශ්නය දිගින් දිගටම රජයට ඉදිරිපත් කළහ. එය වගකීමක් ලෙස බාරගෙන මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ උන්වහන්සේලාගේ ඉල්ලීම්වලට ගරු කිරීමට ශාසනයේ චිරස්ථිතියත් වෙනුවෙනි.

භික්ෂුන් වහන්සේ සඳහා කතිකාවත් සකස් කර ගැනීමේ සහ සම්මුති ඇති කරගෙන ක්‍රියාත්මක කිරීමේ පූර්ණ අයිතියත් වගකීමත් හිමිවන්නේ අදාළ නිකාය හෝ පාර්ශ්ව වෙත ය. මෙහිදී ද අදාළ පනත සකස් කෙරුණේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්, අනෙකුත් නායක හිමිවරුන්, (සෑම නිකායකටම හා පාර්ශ්වයකටම අයත්) නියෝජිත හිමිවරුන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය. භික්ෂුන් වහන්සේ උදෙසා කතිකාවත් සකස් කිරීමේ බලය වෙනත් කිසිදු ගිහි පාර්ශ්වයකට හෝ නිලධාරීන්ට හෝ පැවරීමක් සිදුවන්නේ නැත. මෙ කතිකාවත් ලියාපදිංචි කිරීමෙන් සිදුවන්නේ ඒ යටතේ ගනු ලබන විනය ක්‍රියාමාර්ග බලාත්මක කිරීමට අවශ්‍ය නෛතික පිළිගැනීම ලබාදීමට ය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ එකඟත්වයෙන් හා ආශිර්වාදයෙන් සම්මත කරගැනීම රජයේ අරමුණයි.

ඒ වගේ ම පනත් කෙටුම්පතෙහි දැක්වෙන කතිකාවත් සම්පාදනය කර ගැනීම සම්බන්ධයෙන් වන මඟ පෙන්වීම්, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයත්, විනය ක්‍රියාමාර්ග බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන විධි විධාන ආදිය තවදුරටත් සංශෝධනය විය යුතු නම් ඒ සඳහා සුදුසු පරිදි සංශෝධන එක් කළ හැකියි.

භික්ෂූන් ගැසට් නිවේදන මඟින් පාලනය කිරීම පිළිගන්න බෑ

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් මණ්ඩලයේ බෙංගමුවේ නාලක හිමි

ඉතිහාසයේ මෙවැනි කතිකාවත් ඇති කොට සංඝ ශාසනයේ චිරස්ථිතිය, අභිවෘද්ධිය ඇති කළ බව අපි දනිමු. එහෙත් එම පනත් ඇති කළේ රජු විසින් නොව, එකල වැඩසිටි ධර්මධර විනයධර ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේගේ මූලිකත්වයෙනි. පොලොන්නරු කතිකාවතේ දීත්, දඹදෙණි කතිකාවතේ දීත් සිදු වූයේ රාජ මුද්‍රාව තැබීමය. එහෙත් නූතනයේ මුල් තැන දෙන්නේ දේශපාලනයටය. භික්ෂුන් වහන්සේ ලෙස එවැනි දේට කිසිසේත් ඉඩ දිය නොහැකිය.

භික්ෂුන් වහන්සේගේ විනය නීති පිළිබඳව දන්නේ උන්වහන්සේමය. ගැසට් නිවේදනයකින් එවැනි පනතක් ගෙනෙනවානම් ඊට කිසිසේත්ම කැමැති විය නොහැකිය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මේ පනත මහානායක හිමිවරු දැක නැත.

භික්ෂුන් වහන්සේට රියැදුරු බලපත්‍රය තහනම් කළ විට එය නීතියක් බවට පත් වේ. සමහර අවස්ථාවන්හි විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමක් කරදරයකට පත් වූ විටෙක, පන්සලේ වාහනයක් තිබේනම්, රියැදුරු නොමැති නම් උන්වහන්සේගේ ජීවිතය බේරාගන්නට රිය පැදවීමට දන්නා භික්ෂුන් වහන්සේ නමකට පවා අවස්ථාව නැතිවී යෑම මෙයින් සිදු වේ. මේ පිළිබඳව හාමුදුරුවන්ගේ සම්මුතියක් ඇතිකර ගැනීම අවශ්‍යය.

මෙහිදී මුල් තැන දිය යුතු වන්නේ ශාසනයේ වටිනාකමටයි. මේ රටේ භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය ගැන සිතීමෙනුයි තීන්දු ගත යුතු වන්නේ.

භික්ෂුන් වහන්සේට උද්ඝෝෂණය කිරීම තහනම් කිරීමට යෑම කිසිසේත් අනුමත කළ නොහැකිය. මේ රටට, ජාතියට විපතක් කරදරයක් සිදු වෙනවානම් ඊට එරෙහිව නැඟී සිටින්නට භික්ෂුන් වහන්සේට ඉඩ තිබිය යුතු වේ. අතීතයේ අපට එවැනි අත්දැකීම් තිබේ.

දැන් ව්‍යාපාර කිරීම තහනම් කිරීමේ සූදානමක් තිබේ. මේ නීති පැනවූයේ නම් කිරම විමලජෝති හාමුදුරුවන්ට පොත් සාප්පුව වසා දැමීමට සිදු වේ. උන් වහන්සේ බෞද්ධ පොත්පත් ප්‍රකාශයට පත් කරමින් මොන තරම් සේවයක් සිදු කරනවා ද?

අනෙක් අතට ගුප්ත විද්‍යාව හා ඒ සමාන දේවල් යනුවෙන් මේ පනතේ හැඳින්වීමක් කර තිබේ. 'ඒ සමාන දේවල්' යනුවෙන් හඳුන්වන්නේ මොනවා ද? අතීතයේ සිටම මේ දේවල් රැකුණේ පන්සලෙනි. ගුප්ත විද්‍යාව ඇසුරෙන් බොහෝ යහපත් දේ කළ හැකිය. ඒවා පුරුදු පුහුණු කිරීමෙන් රටට ජාතියට එරෙහිව බලවේග සමනය කළ හැකිය.

අපේ අතීතයේ ඒ සම්බන්ධව ඕනෑ තරම් නිදසුන් තිබේ. ජ්‍යොතිෂයෙන්, සෙත් කවියෙන් මහජනතාවට විශාල සේවයක් සිදු කළ හැකිය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අනුමත කරන බවක් ඉන් අදහස් නොකෙරේ.

තවත් පැත්තකින් මේ ගැටලුව දෙස බැලිය හැකිය. මෙවැනි නීති සම්මත වූයේ නම්, යම් දිනෙක අදාළ අමාත්‍යාංශ භාරව අබෞද්ධයෙක් හෝ බෞද්ධාගමට ගරු නොකරන නායකයෙක් පත් වූයේ නම් තමන් අකැමැති අයට දඬුවම් ලබා දීමට ද පුළුවන. අප මේ පනතට විරුද්ධ වන්නේ මේ සියලු දේ පිළිබඳව සිතා බැලීමෙනි.

ඒ වගේම අනවශ්‍ය ලෙස භික්ෂුන් වහන්සේට නීති දැමීමට යෑමෙන් භික්ෂුන් වහන්සේ සිවුරු හැර යෑම, පැවිදි කිරීමට කුල දරුවන් ඉදිරිපත් නොවීම ආදි ගැටලුවලට ද අනාගතයේ මුහුණ දෙන්නට සිදු වනු ඇත.

භික්ෂුන් වහන්සේ වෙනුවෙන් නීති පනවනවානම් ඒ සියල්ල කළ යුතු වන්නේ නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් කතිකාවතක් සැකසීමෙනි. රජයට කළ හැක්කේ එය අනුමත කිරීම මිස අලුත් නීති එක් කිරීම නොවේ. පෙර රජ දවස සිදු වූයේ ද එයය. එය ශ්‍රද්ධාවන්ත හැඟීමෙන් පමණක් කළ යුතු අතර, දේශපාලන අරමුණුවලින් තොර විය යුතුය.

ඒ වගේම මෙවැනි පනතක් ගෙන ඒමෙන් ථේරවාදී භික්ෂුන් වහන්සේ වැරැදි කරන බවට අන්‍ය ආගමිකයන්, අන්‍ය ජාතිකයන් වපරැහින් බැලීම වැළැක්විය නොහැකිය. අන්‍ය ආගමිකයිනට නීති නොපනවා භික්ෂුන් වහන්සේට නීති ගෙන එන්නේ ඇයි ද යන්න අපට ප්‍රශ්නයකි.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්