‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»

“මම මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමි”

අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරාගැනීමට වජ්‍රාසනය අබියස අධිෂ්ඨාන කළේ 1891 ජනවාරි 22 වැනිදා ය

“මම මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමි”

“බරණැස සිට බුද්ධගයාවට සම්ප්‍රාප්ත වූ මා සම්මා සම්බෝධි සාධනය පිණිස මහාපුරුෂ ශාක්‍යසිංහ කුමාරයාණන් වහන්සේ වැඩසිටි අපරාජිත බෝධි පර්‍යයංකය සමීපයට පැමිණ, දණ නමා අංජලිකර්ම කොට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුණානුස්මරණය කරමින්, නළල වජ්‍රාසනය මස්තකයෙහි තැබූ ඉක්බිති මාසික ප්‍රීතියෙන් බර වූ සංවේගයෙන් පිරී ගොස්, මේ උතුම් ස්ථානය අතහැර නොයෙමි යැයි අධිෂ්ඨාන කොට මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කෙළෙමි.”

(ධර්මපාලතුමාගේ දින පොතේ සටහනකි)

ක්‍රි.ව. 1891 ජනවාරි මස 22 වැනි දින ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස අනගාරික ධර්මපාලතුමා මෙම උතුම් අධිෂ්ඨානයේ පිහිටා බුදු සමයේ උන්නතිය පිණිස කටයුතු ආරම්භ කර, 2016 ජනවාරි මස 22 දිනට වසර 125 ක් සපිරේ. එම සංවත්සර දිනය සැමරීම වස් රචනා වූ විශේෂ ලිපියකි මේ.

අනගාරික ධර්මපාලතුමා සිය දිවි ගමනේ සදානුස්මරණීය දිනය වශයෙන් සඳහන් කර ඇත්තේ ඉහත සඳහන් පොරොන්දුව බෞද්ධ ලෝකය ඉදිරියේ තැබූ දිනයයි. මෙම පොරොන්දුව කඩ නොකිරීමට දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමකින් ක්‍රියාකාරීවූ අනගාරික ධර්මපාලතුමා, මිසදිටුවන් විසින් ඉන්දියාවෙන් අතුරුදන් කළ බුදුසමය යළි ඉන්දියාවේ ප්‍රතිෂ්ඨාපනය කිරීම පිණිසත්, යටත් විජිත පාලන සමයේදී බුදු සමය ලංකාවෙන් අතුරුදන් කරවීමට මිසදිටු බලවේග ගෙන ගිය ම්ලේච්ඡ ක්‍රියා පිළිවෙත් අවි බලයෙන් නොව නැණ බලයෙන් මර්දනය කර බුදුසමය යළි පුනරුදයට පත්කිරීම පිණිසත් පියවර ගත්තේ ය. එපමණක් නොව ධර්මාශෝක අධිරාජයාගේ ධර්මදූත ව්‍යාපාරයෙන් ද බුදුසමයේ ආලෝකය නොලද යු‍රෝපයට බුදු දහමේ ආලෝකය පතිත කරවීමට ද ධර්මපාල තුමා පියවර ගත්තේ ය.

ප්‍රතිසංස්කරණයට පෙර - බුද්ධගයාව

අනගාරික ධර්මපාලතුමා සිය දඹදිව සංචාරය ඇරඹීම පිළිබඳව මෙලෙස සටහන් තබයි.

“‍...... මදුරාසියේ අද්යාර්හි පරමවිඥානාර්ථ සමාගමේ මූලස්ථානයේ පැවැති සංගමයේ සංවත්සර සභාවේ කටයුතු අවසන් වීමෙන් පසු ජපාන ජාතික කොසෙන් ගුණරත්න හිමියන් හා කොකුසාවා ජපාන ජාතික ශිෂ්‍යයා ද සමඟ බුද්ධගයාව වන්දනා කිරීම සඳහා ගමන් ඇරැඹුවා. මහාබෝ මැඩට පැමිණ බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මහාබෝධි රාජයා වෙත පැමිණි මා, වජ්‍රාසනය පිහිටි තැන බැඳ තිබෙන මල් ආසනය මස්තකයෙහි මගේ හිස තබා, මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ සිටි තැන මගේ නළල තබා වඳිමි යන ප්‍රීති ප්‍රසාද චිත්තයෙන් ආසනය ස්පර්ශ කළ විට මගේ සිත ප්‍රීතියෙන් පිනා ගියේ මේ උතුම් ස්ථානය හැර නොයෙමි යැයි අධිෂ්ඨාන කර ගනිමින් මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරන්නෙමැයි සපථ කළා.

මා මෙම පූජනීය ස්ථානය හැර නොයන බවත් මා සමඟ කොසෙන් ගුණරතන හිමියන්ට පවසා උන්වහන්සේට ලංකාවට වැඩම කරන ලෙසත් දන්වා සිටියා. ජපාන භික්ෂුන් වහන්සේ ද මා සමඟ බුද්ධගයාවේ නවතින්නට කැමැති බව ප්‍රකාශ කළා.”

අනගාරික ධර්මපාලතුමා දඹදිව වන්දනාවට යොමු කරව‍ූ, බුද්ධගයාව ශුද්ධ භූමියට අවධානය යොමු කරවූ වි‍ශිෂ්ට පුද්ගලයෙක් වෙයි. ඒ පිළිබඳව අනගාරික ධර්මපාලතුමා මෙවන් සටහනක් තබයි.

දෑසින් කඳුළු කඩා හැලුණා

“.... 1890 දෙසැම්බර් මාසයේ මා මදුරාසිය බලා පිටත්ව ගියා. කලක් තිස්සේ මා සිත තුළ පැවැති අදහසක් ඉටු කර ගැනීමට ද මේ ගමන උපයෝගි කර ගැනීමට මගේ සිත පෙලඹුණා. ඒ දඹදිව බෞද්ධ සිද්ධස්ථාන දැක වැඳ පුදා ගැනීමට තිබූ ආශාවයි. මීට මා පෙලඹුණේ අයර්ලන්තයේ ඩේලි ට්‍රෙලිග්‍රාෆ් පත්‍රයේ කතුවරයකු ලෙස සේවය කළ ලොව ප්‍රකට කවියකු ලෙස නමක් දිනා සිටි ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් ලේඛකයා විසින් 1879 ලියන ලද ‘Light of Asia’ ආසියා ආලෝකය නම් ව‍ූ මාහැඟි කාව්‍ය ග්‍රන්ථය කියවීමෙන් ලද ප්‍රසාදයයි. එතුමා විසින් ලියන ලද ‘India Revisted’ (ඉන්දියාව නැවත සොයා ගැනීම) නමැති ග්‍රන්ථයේ මහබෝමැඩ පිළිබඳව ලියා ඇති පරිච්ඡේදය කියවන විට මගේ දෑසින් කඳුළු කඩා හැලුණා. මෙම ග්‍රන්ථය කියවීමට මට අවස්ථාව ලැබුණේ 1886 දී.” (මිසදිටුවන් බුද්ධගයා පුදබිමට කර තිබූ විනාශය පිළිබඳව ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් සියැසින් දුටු විස්තර මෙම කෘතියේ අන්තර්ගතය)

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස ධර්මපාලතුමා දැඩි අධිෂ්ඨානයකින් යුතු ව කළ ප්‍රාර්ථනයෙන් පසු බුද්ධගයා‍ව අසල නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් සොයා බැලීය. එහිදී බුරුම රජ‍ කෙනෙකු විසින් කරවන ලද ආවාසයක් පිළිබඳව දැනගන්නට ලැබී එහි නවාතැන් ගත්තේ ය. බුද්ධගයා පුද බිම පිළිබඳව කරුණු සොයා බැලීමේදී මහන්තා නමැති හින්දු පූජකයා ආශ්‍රමයක් ඉදිකොට බුද්ධගයාව හින්දුන්ගේ පුද බිමක් ලෙස පවත්වාගෙන යන බව ප්‍රත්‍යක්ෂ විය.

අනගාරික ධර්මපාල තුමා 1891 දී බුද්ධගයාවට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේ සොයා දැනගත් කරුණු අනුව බුද්ධගයාවේ ඓතිහාසික පුරාවෘත්තය පිළිබඳව ‘ද බුඩිස්ට්’ (The Buddhist – 1891) සඟරාවේ මෙවැනි සටහනක් තබා ඇත.

ප්‍රතිසංස්කරණයට පසු -

“මා මහාබෝධි ආරාමය ඇතුළත වූ පන්සලෙහි (බුරුම ආවාසය) නතරව සිටි කාලය තුළ දී දිනපතාම වාගේ ශ්‍රද්ධා පුණ්‍ය කර්මයේ යෙදුණු බ්‍රාහ්මණයා, ‘ගයා, ගයා ශීර්ෂ බෝධි ගයා’ යන පාඨය දහස් වරක් උච්චාරණය කරමින් මන්ත්‍ර ජප කරනු මට ඇසිණි. 13 වැනි ශත වර්ෂයට කලින් මේ ස්ථානය බෞද්ධයන්ට පමණක් වෙන් වී තිබුණු බවට සාක්ෂි ඇත. ලේ පිපාසිත මහ මදාගමික උන්මන්තකයන් විසින් බෞද්ධයන් සමූල ඝාතනය කිරීමෙන් පසුව එහි කටයුතු කරන්නට ‍ෙබෟද්ධයන්ට නොහැකි වූ හෙයින් එතැන වල් බිහිවන්නට පටන් ගත්තේ ය. මෙයට වසර තුන්සියයකට පමණ පෙර එහි පැමිණි පරිබ්‍රාජකයෙක් පරිසරයේ ‍රමණීයත්වය දැක ආශ්‍රමයක් තනා එහි පදිංචි විය.

ධර්මාශෝක මහරජාණන් බුද්ධ පරිනිර්වාණයෙන් 218 වැනි අවුරුද්දට ආසන්නයේ කරවන ලද විහාර 84000 න් පළමුවැන්න ශෛවයන් (ශිව ආගමිකයන්) අතට පත්ව‍ූයේ ය. 1880 දී බෙංගාලි රජය විසින් ඔවුන්ගෙන් ඉවත් කර ගන්නා තුරු ශෛව මහන්තලාගේ පාලනය යටතේ පැවැති මේ සිද්ධස්ථානය, ඔවුන් විසින් නොසලකා හරිනු ලැබ දිරාපත්වී ගියේ ය.

බුදුපිළිමවලින් අලංකාර කරන ලද්දා වූ මේ උත්තුංග විහාරය මුලින් ම ඉදි කරවන ලද්දේ ධර්මාශෝක අධිරාජයා‍ණන් විසිනි. ඉන්පසු එකොළොස් වැනි දොළොස් වැනි සියවස්වලදී බුරුම රජවරුන්ගේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය විය. එහෙත් ඊට නොබෝ කලකට පසු මුස්ලිම් ආක්‍රමණිකයන් ආසියාවේ ආලෝක භූමිය නසා බෞද්ධ වූ සියල්ල වනසා දැමීය.

මෙහි අටල්ල විහාරයකට වඩා ස්තූපයකට සමාන ය. ස්ථූප හා චෛත්‍ය වර්ග තුනකට අයත් ය. එනම් වී ගොඩක ආකාරය (ධාන්‍ය රාශිය) බුබුළක ආකාරය (බුබ්බුලාකාර) හා ඝණ්ටාරයක ආකාරය (ඝණ්ටාකාර) යි.‍ පළමු වැනි වර්ගයට අයත් මෙහි ප්‍රබල අටල්ල දැනට තිබෙන සැටියෙන් අඩි 170 ක් ‍උසය. ක්‍රි.ව. සත් වැනි ශත වර්ෂයේදී ඉන්දියාවට පැමිණි සුප්‍රකට බෞද්ධ දේශ සංචාරක හියුංත්සාං මේ ශුද්ධ භූමිය පිළිබඳව නිවැරැදි විස්තරයක් දී ඇත.”

ධර්මපාල තුමා සඳහන් කරන මෙම විස්තරය ඇතුළත් ‘හියුංසෑං තෙරුන් වහන්සේගේ දේශාටන වාර්තාව, අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධත්ත ස්ථවිරයන් වහන්සේ විසින් ‘හියුංසියං භ්‍රමණ වෘත්තාන්තය’ නමින් සිංහලයට පරිවර්තනය කර ඇත. එහි එන විස්තරයට අනුව මහපිළිම ගෙය (බුද්ධගයා විහාරය) පිළිබඳ විස්තරය මෙසේ ය.

“මහාබෝධිය ඉදිරියෙහි නැ‍ඟෙනහිර දෙසැ. අඩි 160ක්ද 170 පමණ උසැති පිළිම ගෙයකි. මෙහි පදනමේ පැත්තක් අඩි 50 ක් පමණ වේ. නිල්පැහැති ගඩොලින් බැඳ සුණු පිරියම් කළ මේ මන්දිරයේ බිත්තිවල පෙළින්පෙළ සිටින සේ සෑදු කුහරයන්හි රන්පිළිම තබා තිබේ. පිටිපස බිත්ති සතර අති දර්ශනීය මල්කම් ලියකම් ආදියෙන් සරසන ලදී. එහි තැනක මුතුලැල් ද තැනෙක දේවතාරූප ද වෙති. මුළු ගොඩනැඟිල්ලම රන් ආලේප කළ 'කිකිණි' තඹ කිකිණි එල්ලූ දැලකින් ආවරණය කොට තිබේ.

මෙතේ බෝසත් රුවක්

නැඟෙනහිර මූණතට සම්බන්ධ වූ මහල් තුනකින් යුත් තවත් මන්දිරයකි. මෙහි ජදනාග්‍රයෝ (= වාහල්පල) එකකට එකක් උඩින් පිටතට නෙරා සිටිත්. මේ වහල්පල හා කණු ද බාල්කයට ලී - දොර - ජනෙල් ද රන්රිදි කැටයමින් ගවසා මුතු මැණික් ඔබ්බන ලදහ. මහල් තුනෙහිම නොයෙක් අඳුරු ගර්භවලට හා ශාලාවට ඇතුළුවීමට දොරවල් ඇත්තාහ. පිටත දොරටු දෙපස පිහිටි කාමර දෙකෙන් දකුණු පසැ ගර්භයෙහි අවලෝකිතෙශ්වර රූපයක් ද වම්පස ගර්භයෙහි මෙතේ බෝසත්රුවක් ද වෙති. මේ දෙක ම පිරිසුදු රිදියෙන් අඩි 10ක් පමණ උසැතිව සාදා ඇත.”

බුද්ධගයා විහාරය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව අනගාරික ධර්මපාලතුමා මෙලෙස සටහන් කරයි.

“අවුරුදු හයසිය පනහක් මුළුල්ලේ නොසලකා හරිනු ලැබීමත් මහමදාගාමිකයන්ගේ විනාශකාරි ක්‍රියා නිසාත් වැළලී තිබුණු මේ මහා සිද්ධස්ථානය ජනරාල් කනිංහැම්ගේ නොපසුබට උත්සාහයට ස්තුති වන්නට අවුරුදු කිහිපයකට පොරාතුව ශුද්ධ ‍කොට අලුත්වැඩියා කරන ලදී. මෙම විභූතිමත් අලුත්වැඩියාකර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බෙංගාලි රජයට නියෝග කළ ශ්‍රීමත් ඈෂ්ලි ඊඩන් බෞද්ධයන්ගේ කෘතඥතාව හිමි විය යුතුය.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ බුද්ධගයා විහාරය සම්බන්ධයෙන් මෙලෙස සාධාරණයක් ඉටුවුවද බුද්ධගයා පුදබිමේ පාලනය ශිව ආගමික මහන්තාගේ යටතේ විය.

බුද්ධගයා මහා විහාරය ඇතුළු පුදබිම බෞද්ධයන්ට උරුමකරදීම් සඳහා ප්‍රථමයෙන් ම ප්‍රබල හඬක් නැඟුණේ එඩ්වින් ආනෝල්ඩ් ශ්‍රීමතාණන්ගෙනි. ඒ සඳහා එතුමා ලංකාවට ද පැමිණ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද, පාණදුරේදී වැලිගම ශ්‍රි සුමංගල නාහිමියන් ද දැනුවත් කිරීමෙන් අනතුරුව, එවකට ලංකාවේ ආණ්ඩුකාරයාව සිටි ශ්‍රීමත් ආතර් ගෝර්ඩන්ට ද ආයාචනාත්මක ලිපියක් යොමු කරමින් බුද්ධගයාවේ පාලනය බෞද්ධාගමිකයන් අතට පත්කිරීමේ වැදගත්කම පෙන්වාදීමෙන් නොනැවතී ඉන්දියාවේ රාජ්‍ය ලේකම් ක්‍රොස් සාමිවරයා ද දැනුවත් කෙළේය. එඩ්වින් ආර්නෝල්ඩ්තුමාගේ හඬ මෙලෙස අවදි‍ වෙද්දී අනගාරික ධර්මපාලතුමා බුද්ධගයා පුදබිම බෞද්ධයන්ට උරුමකරදීම් සඳහා ක්‍රියාත්මක විය. ඒ පිළිබඳව ධර්මපාලතුමා මෙවැනි සඳහනක් කරයි.

“බුද්ධගයා පුදබිමේ වන්දනා නිමවීමෙන් පසු බුරුම ආවාසයේ නවාතැන්ගෙන අවට පිරික්සීමේදී බුදුරජාණන් වහන්සේ හා බෞද්ධ කලාවන්ට නිගරු කරමින් සිදුකර තිබෙන විනාශය දැකීමෙන් මා කම්පාවෙන් කම්පාවට පත්වුණා. මුසල්මානයන් විසින් විනාශ කරන ලද මෙම භූමියෙහි වූ ඉතා පැරණි වස්තු වන අශෝක ස්තම්භ මහන්තාගේ මුළුතැන්ගෙයි කුලුනු බවට පත්ව තිබුණා. මහන්තාගේ බරාඳයෙහි වූ බුදුහිමියන්ගේ බෝසත් ප්‍රතිමාවලට සළුපිළි අන්දවා වෙනසකට භාජනය කර තිබුණා. ජලය ඇද ගැනීමට පාවිච්චි කරන දැව දඬු බරට සිටීමට වෙනුවට බුද්ධ ප්‍රතිමා නෙළන ලද ගල්බැද තිබෙනු දුටුවා. මහන්තාගේ බරාඳයට නැඟෙනහිරින් කසළ ගොඩකට යට වී අඩි 3ක්ද පමණ උසකින් යුත් ප්‍රතිමා තිබෙනු දුටුවා. සුන්දර ප්‍රතිමා මත කසළ ගොඩගසා තිබුණා.

බුදුරජාණන් වහන්සේ හා බෞද්ධ කලාවන් නිගරුවට භාජනය කරමින් සිදුකර තිබෙන මේ විනාශය දැකීමෙන් මා කම්පාවෙන් කම්පාවට පත් වුණා. මෙයින් ඇති වූ මානසික කම්පනය බුද්ධගයා පුදබිම යළි බෞද්ධයන්ට උරුම කරදීම වෙනුවෙන් මගේ ජීවිතය කැප කිරීමට මා පෙලඹවූවා. මෙම පෙලඹවීම මත ශ්‍රීමත් එඩ්වින් අර්නෝල්ඩ් විසින් අදහස් කරන ලද කාර්යය පණ ගැන්වීමට ලැබීම මගේ සතුටට හේතුවක්. මා බුද්ධගයා පුදබිමට පැමිණි මුල් දිනයේ වජ්‍රාසනය මත නළල තබා, මගේ ජීවිතය බුදු රජාණන් වහන්සේට පූජා කරන්නෙමැ'යි කළ සපථවීම අර්ථවත්ව ආරම්භ කිරීමට අවස්ථාව උදා කළා.”

බුද්ධගයාවේ බුරුම ආවාසයේ නවාතැන්ගෙන බුරුමය, සියම, ජපානය හා ලංකාවේ බෞද්ධ නායකයන්ට, බුද්ධගයාව බෞද්ධයන්ට උරුමකර ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් විශේෂ ලිපි යොමු කළ අනගාරික ධර්මපාලතුමා ඒ වන විට ද බුද්ධගයාවේ බුරුම ආවාසය ඉදිකර ඉටුකර ඇති සේවාව මෙන් ම අතීතයේ බුරුම රජවරුන් පාලකයන් බුද්ධගයාව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීම සැලකිල්ලට ගෙන බුද්ධගයාව බෞද්ධයන්ට උරුම කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට බුරුමයට යෑමට තීරණය කෙළේය.

කොසෙන් ගුණරත්න හිමියන් බුද්ධගයා බුරුම ආවාසයේ නතර කළ ධර්මපාලතුමා, බුරුමයට ගියේය. එහිදී බුරුමයේ ධනවත් බෞද්ධ නායකයකු වූ මෞථෞමි මිං හමුවී බුද්ධගයාවේ පාලනය බෞද්ධයන්ට උරුම කර ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් කරුණු දැක්වීය. ලද ප්‍රතිචාරවලින් සතුටට පත් ධර්මපාලතුමා 1891 වෙසක් මාසයේ 21 වැනිදා ලංකාවට පැමිණියේය. ඒ බෞද්ධයින් අවදිවව්! බුද්ධගයාව බේරා ගනිව්! යන උද්‍යෝග පාඨය ද රැගෙනය.

විද්‍යෝදය පිරිවෙනට පැමිණි ධර්මපාලතුමා බුද්ධගයා පුදබිම ඇතුළු ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවලට සිදුකර ඇති පැහැදිලි කරමින්, ජය ශ්‍රි මහාබෝධින් වහන්සේ අබියස තමන්කළ අධිෂ්ඨානය ද හික්කඩුවේ ශ්‍රි සුමංගල නාහිමියන් වෙත සැලකර සිටියේය. මින් ප්‍රමෝදයට පත් හික්කඩුවේ සුමංගල නාහිමියෝ විද්‍යෝදය පිරිවෙණේ මහා සභා රැස්වීමක් කැඳවූහ. ඒ අනුව පාණදුරේ වැලිගම ශ්‍රී සුමංගල, වස්කඩුවේ ශ්‍රී සුභූති, හෙයියන්තුඩුවේ ශ්‍රි දේවමිත්ත තෙරුන් වහන්ෙස් ප්‍රමුඛ වියත් භික්ෂූන් වහන්සේ පිරිසක් ද පිරිවෙනේ දායක සභාවේ බෞද්ධ ප්‍රභී පිරිසක් ද 1891 වෙසක් මස 31 වැනි දින විද්‍යෝදය පිරිවෙනට රැස්වූහ.

මිසදිටු පාලනයෙන් මුදා

‍මේ අවස්ථාව පිළිබඳව අනගාරික ධර්මපාලතුමා මෙවැනි සටහනක් තබයි. “ලෝකවාසි බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨතම ශුද්ධ භූමිය වූ බුද්ධගයාව මිසදිටුවන්ගේ පාලනයෙන් මුදා ගැනීමේ අවශ්‍යතාව හා ඒ සඳහා මා දරන ප්‍රයත්නයේ වැදගත්කම පෙන්වා දෙමින් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ව්‍යක්ත දේශනයක් කළා. අනතුරුව හික්කඩුවේ නාහිමියන්ගේ මත අනුමත කරමින් පිරිස දිරිමත් කරමින් දේවමිත්ත ස්වාමින් වහන්සේ ද දේශනයක් කළා.

බටුවන්තුඩාවේ පඬිතුමා ද 'බුද්ධගයාව' බෞද්ධයන්ට උරුමකර දීමේ අරමුණ අගයමින් දේශනයක් පැවැත්වූවා. රැස්වීම ආරම්භයේදීම බුද්ධගයාවේ පවතින තත්ත්වයක් බුද්ධගයාවට මිසදිටු පාලනයෙන් මුදා ගැනීමේ කාර්යයේ වගකීම පිළිබඳවත් කරුණු දක්වමින් සභාව දැනුවත් කිරීම මා විසින් කරනු ලැබුවා.

සභාවේ ඒකමතික තීරණයෙන් මෙදින බුද්ධගයා මහාබෝධි සංගමය බිහි වුණා. විද්‍යෝදය පරිවෙණාධිපති හික්කඩුවේ ශ්‍රි සුමංගල නාහිමියන්ගේ සභාපතිත්වයෙන් සංගමයේ මුල් ම නිලධාරි මණ්ඩලය තේරී පත්වුණා. සෙන්පති ඔල්කොට්තුමා අධ්‍යක්ෂ පදවියට ද, විලියම් ද ආබ්‍රෙව් මහතා භාණ්ඩාගාරික පදවියට ද බටුවන්තුඩාවේ පඬිතුමා ඇතුළු 12 දෙනෙකු කාරක සභාවට ද ඒක ඡන්දයෙන් පත්වුණා. මා ප්‍රධාන සම්පාදක පදවියටත් (ලේකම්) ජී.පී. වීරසේකර මහතා උප සම්පාදක (උපලේකම්) පදවියටත් පත්කර ගනු ලැබුවා.”

බුද්ධගයා මහාබෝධි සංගමයේ අනුශාසක ලෙස තිබ්බතයේ ලොසන්ද් ථුබ්දාන් - ග්යා - ත්වෙර මහා ලාමාතුමා ද, උප සභාපතිවරුන් ලෙස පූජ්‍ය තථානබයි (මණ්ඩලේ බුරුමය), පූජ්‍ය ශකු උන්සිසෝ (තෝකියෝව - ජපානය, ෆාංථාං, යුං-නෝ- කුං, පීකිං, චීනය, පූජ්‍ය වස්කඩුවේ සුභූති ස්ථවිර ලංකාව, පූජ්‍ය වැලිගම ශ්‍රි සුමංගල ස්ථවිර (ලංකාව) පත්කරගනු ලැබුවා.

මේ හැරුණු විට සියම, ජපානය, බුරුමය, අරකනය, චිතගොං, ඩාර්ජිලිං (ඉන්දියාව) කල්කටාව, කැලිෆෝනියාව, නිව්යෝර්ක් හා ප්‍රංසය නියෝජනය කරමින් කාරක සභාවක් ද පත් කෙරිණි.

මෙම මහාබෝධි සංගමයේ සංයුක්තිය ගැන සඳහන් කරමින් මහචාර්ය අසංග තිලකරත්න මහතා මෙවැනි සඳහනක් ද කරයි. ‍'මෙබඳු අන්තර්ජාතික හා අන්තර් බෞද්ධ සම්ප්‍රදායික මණ්ඩලයක් පත්කර ගැනීමෙන් පැහැදිලි වන්නේ බුද්ධගයාව හෝ එබඳු අන් කිසිඳු බෞද්ධ සිද්ධස්ථානයක් හෝ හුදු එක රටකට හෝ එක් ජාතියකට හෝ නොව සමස්ත බෞද්ධ ලෝකයාටම උරුම බවට ධර්මපාලතුමා තුළ පැවැති නිවැරැදි අවබෝධයයි.'

අනගාරික ධර්මපාලතුමා 1891 ජනවාරි මස 22 දින ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අබියස වජ්‍රාසනය මත නළල තබා කළ පොරොන්දුව ඉෂ්ට සිද්ධකර ගැනීමට මඟ විවෘත කළ වනස්පතියක් ලෙස මහාබෝධි සංගමය හැඳින්විය හැකිය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්