‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»

සිංහල ගමක් විශ්වයට එක් කළ ලෙනාඩ් වුල්ෆ්

සිංහල ගමක් විශ්වයට එක් කළ ලෙනාඩ් වුල්ෆ්

බැද්දේගම නවකතාවට සිය වසක් සපිරෙයි

"බැද්ද සහ වනගහනයත්, සිංහල බැද්දේගම්වල විසූ ජනකායත් දැඩි ලෙස මගේ සිත ග්‍රහණය කොට ගත්හ. ඒ, හුදෙක් ලංකාවේදී පමණක් නොවේ. මා ලන්ඩන් නගරයේ සිටින විටත්, කේම්බ්‍රිජ්හි ඉන්නා විටත්, ඒ බැද්ද සහ එහි වෙසෙන ජනකායත් නොකඩවාම මගේ සිතට ආවේශ වී සිටියහ. බැද්දේගම නම් මගේ නවකතාව, ඒ බැද්දේ ගම්මානවල ජීවත් වූ අයගේ චරිතවලට ඇතුළු වන්නට මවිසින් දරන ලද ප්‍රයත්නයයි."

- ලෙනාඩ් වුල්ෆ්

බැද්දේගම නම් චිර ප්‍රසිද්ධ නවකතාව ලියූ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ්, ශ්‍රී ලංකාවේ පරිපාලන කටයුතු භාරව සිටි, සුදු සිවිල් නිලධාරින් අතුරින්, ඉතාම කීර්තිධර පුද්ගලයායි. සිය ගණනක් වූ බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරීහු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජිතයන් වශයෙන් මේ දිවයිනට පැමිණ පාලන කටයුතුවල නිරත වූහ. එහෙත්, ඒ හැම දෙනෙකුටම වඩා, නිර්මාණශීලි සාහිත්යික කෘතියකින් සිය අත්දැකීම් ප්‍රකාශ කළ පාලක නිලධාරියා වශයෙන් සම්මානයට පාත්‍ර වන්නේ ලෙනාඩ් වුල්ෆ්ය.

ලෙනාඩ් වුල්ෆ්ගේ කතාවට ප්‍රවේශයක් වන්නේ, ශ්‍රී ලංකාවේ පරිපාලක නිලධාරීන්ගේ සම්ප්‍රදායයි. 1815 දී අපගේ දිවයින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්වන්නටත් කලින් බ්‍රිතාන්‍ය පරිපාලක නිලධාරීහු ලංකාවට පැමිණියහ. ඒ පුරෝගාමී බ්‍රිතාන්‍ය පරිපාලක නිලධාරීන් අතුරින් අතිශයින්ම සුවිශේෂ පුද්ගලයා ජෝන් ඩොයිලිය. විසිහත් හැවිරිදි තරුණයෙකු වශයෙන් ශ්‍රී ලංකාවට සැපත් වූ ඔහු විස්මය උපදවන කුසලතා සමූහයක් ප්‍රදර්ශනය කරමින්, නොපමාවම සිංහල, පාලි භාෂාත් බුදු දහමත් හැදෑරුවේය.

ගජමන් නෝනා, ඇළපාත මුදලි ආදින් හා සමඟ කවියෙන් වාද කළ හැකි තරමට, චතුර නිර්මාණශීලි බවකින් යුක්තව සිටි ඩොයිලි, “උඩරට පාලන නීතිය“ ගැන ද අධ්‍යයනයක් කළේය. ඔහු මියයන විට වයස පනහකි.

බ්‍රිතාන්‍ය පරිපාලන සේවයෙන් පසු, ශ්‍රී ලංකා සිවිල් සේවය ඇරැඹිණි. ඒ අදට හරියටම අවුරුදු 215කට පෙරයි. පසුව, මෙයට අවුරුදු 53කට පෙර, ශ්‍රී ලංකාවේ පරිපාලන සේවය ඇරැඹුණේය.

මේ පරිපාලන සේවාවන්හි යෙදුණු බොහෝ දෙනා, ඔවුන්ගේ වෘත්තීය ආතතියෙන් මිදෙනු පිණිස, නිර්මාණශීලි කටයුතුවල යෙදුණහ. විමලරත්න කුමාරගම, මතකෙහි රැ‍ඳෙන කවි පද බැන්දේය. ආචාර්ය ලීල් ගුණසේකර සිය පරිපාලන අත්දැකීම් අලළා කළ ‘පෙත්සම‘ නම් නවකතාවත්, ඒ නිලධාරියාගේ පරිපාලන සේවයෙන් උපන් අස්වැන්නකි. එසේ සිංහල පරිපාලන නිලධාරීන් බොහෝ දෙනෙක් ද සාහිත්‍ය කලා ආදියෙන් සිය වෘත්තිය ජීවිතය රසවත්කොට ගත්හ.

එවැනි පරිපාලක පරපුරක පුරෝගාමියා ලෙනාඩ් වුල්ෆ්ය. ඔහු 1880 දී ලන්ඩන්හි දි උපත ලැබුවේ, ඉසුරුමත් යුදෙව් පවුලකය. ඔහුගේ සීයා මැහුම් ශිල්පියෙක් විය. පියා හොඳ ධනයක් ඉපයූ සුප්‍රසිද්ධ නීතිවේදියෙකි. ලෙනාඩ් වුල්ෆ්ගේ පවුලෙහි දහදෙනෙක් වූහ.

ලෙනාඩ් වුල්ෆ්ගේ පියා අකාලයේ මිය යෑම නිසා, ලෙනාඩ් පවුල ධන පරිහානියකට මුහුණ පෑ නමුදු, කුඩා ලෙනාඩ් වුල්ෆ්ට ඔහුගේ බුද්ධි ශක්තිය මහා පිහිටක් විය. ශිෂ්‍යත්ව ලබා සිය ඉගෙනුම දියුණු කොට ගත් යොවුන් ලෙනාඩ්, වයස 19 යේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට බැඳුණේය. එහිදී ජී. ඊ. මුවර් නම් දර්ශනවාදියා ඇසුරෙන් සිය ඥාන මණ්ඩලය පෘථුල කොට ගත් ලෙනාඩ් වුල්ෆ්ට, විභාගවලදී නම් විචිත්‍ර දක්ෂතාවක් ප්‍රදර්ශනය කරන්නට නොහැකි විය.

ඔහු බ්‍රිතාන්‍ය සිවිල් සේවා විභාගයට පෙනී සිටි නමුත්, එංගලන්තයේම සිවිල් සේවය සඳහා තෝරා ගනු ලැබීමට අවශ්‍ය ඉහළ ලකුණු ප්‍රමාණයක් ඔහුට ලැබුණේ නැත. ඔහුට, ඊළඟට ලද හැකි වූ උසස්ම පදවිය වූයේ ශ්‍රී ලංකාවේ (එදා සිලෝන්) සිවිල් සේවයට බැඳීමයි. එදා ඔහුට වයස 23 කි. ඒ වයස, ඉන්දියාවේ සිවිල් සේවයට බැ‍ඳෙන්නට ඔහුට අවස්ථාව නුදුන්නේය. ඉන්දියානු සිවිල් සේවයට බඳවා ගන්නා ලද්දේ ඊටත් වඩා බාල වයස්කාරයන් හෙයිනි.

එසේ ශ්‍රී ලංකාවේ සිවිල් සේවයට බැ‍ඳෙන්නට සිදුවීම ගැන තරුණ ලෙනාඩ්, පසුතැවිලි වූයේ නො වේ. ඔහුගේ ප්‍රකාශය මෙසේ ය:

“ආපහු හැරී බලන විට, එවැනි තැනකදී, බලාපොරොත්තු කඩවීමේ සංතාපයක් දැනෙන ගතිය, ස්වාභාවිකයි. එහෙත්, මෙහිදී ඒ ගතිය අවශ්‍ය නැත. එංගලන්තයේ සිවිල් සේවයට, නොබැඳීම ගැන මම සතුටු වෙමි. ලංකාවේ සිවිල් පාලන සේවයට ඇතුළුවීමට ලැබීම ගැන ද මම සතුටු වෙමි. ලංකාවේ හත් අවුරුද්දක් පුරා සිවිල් සේවයේ යෙදී සිටින්නට ලැබීම ගැන ද මම සතුටු වෙමි. ඒ කාලය තුළදී මට බොහෝ වේදනා විඳින්නට සිදු වූවත්, මම ඒ සමයයේදී බොහෝ සේ සතුටුදායක අත්දැකීම් ලද්දෙමි.“

ලෙනාඩ් ‍වුල්ෆ් පවසන පරිදි, තරුණ වියේදී (1904) ඔහු ලංකාවට ආයේ “තමා අධිරාජ්‍යවාදියෙකු බව නොදන්නා අධිරාජ්‍යවාදියෙකු වශයෙනි. තරුණ ලෙනාඩ් වුල්ෆ්, පදවිය භාර ගන්නා පිණිස ලංකාවට ආයේ “සිරියා“ නම් “පී ඇන්ඩ් ඕ“ සමාගමේ නැවෙනි.

ලේඛන කලා විශිෂ්ටත්වය

ශ්‍රී ලංකාවේ පාලන කටයුතුවල නිරතව සිටියදීම, ලෙනාඩ් වුල්ෆ්ට සෙසු නිලධාරීන්ට වඩා ඉහළින් පෙනී සිටිය හැකි වූයේ ඔහුගේ ලේඛන කලාවේ විශිෂ්ටත්වය නිසාය. බොහෝ සිවිල් නිලධාරීහු, ලොකු පොත් කළහ. එහෙත් ඒ පරිපාලන භාෂා ශෛලියෙනි. ලෙනාඩ් වුල්ෆ්, සිය පෑන ලෙළ දුන්නේ නිර්මාණශීලී කෞශල්‍යයෙකිනි. ඔහුගේ ප්‍රබන්ධ කතා නොවන ලිපි ලේඛන ද අභිරුචියෙන් කියවිය හැකි වූයේය.

වයස විසිහතරේදී (1904) ලංකාවේ සිවිල් පාලන පදවියට පත්වී, ලෙනාඩ් වුල්ෆ්ට දැනුණේ යළි ඉපදීමක් මෙනි. ඔහු, එංගලන්තයේදී දැන - හඳුනාගෙන සිටි සියලු දේම අතහැර දමා ලංකාවට ආ විට ඔහුට දැනුණේ, තමා යන්තම්වත් දැන නොසිටි ජීවන ශෛලියකට අන්තර්ගත වූවාක් මෙනි. ඒ නිසා, ඔහු ලංකාව දෙස බැලුවේ තියුණු අවධානයෙකිනි. අපූරු ලෝකයකට සම්ප්‍රාප්ත වූ අමුත්තෙකුගේ ඇසකිනි.

ලංකාවේ ඉපිද, ලංකාවේම වෙසෙන්නෝ මේ දේශයේ අසිරිමත් දේ හරිහැටි නො දකිති. ඒවා දෙවෙලේම පෙනී, සාමාන්‍ය දේවල් බවට පත්ව තිබෙන හෙයිනි.

1904 දෙසැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකාවට ගොඩබසින විට, ලෙනාඩ්ට මුණ ගැසුණේ අලුත්ම ලෝකයකි. සිය විස්මය ලෙනාඩ් පළ කළේ මෙසේ ය:

“ලන්ඩන් නගරයේ සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේත් මා අතීතයේදී ගත කළ ජීවිතය, හදිසියේම අතුරුදන් වූවා සේ මට දැනෙයි.“

ඒ අතීතයෙන්, ඔහු මේ මුහුදු චාරිකාවේදී ගෙන ආ දේවල් අතුරින් එකක් වූයේ ජගත් කීර්තිමත් ප්‍රංස ලේඛක වොල්ටොයාර්ගේ කෘති 90 කි. ලෙනාඩ් වුල්ෆ්ගේ ගැඹුරු සාහිත්‍යකාමයට එය ප්‍රබල නිදර්ශනයකි.

ලෙනාඩ් ‍වුල්ෆ්, සිය ප්‍රබල ප්‍රබන්ධ කතාව නිර්මාණය කළේ, ප්‍රධාන වශයෙන්ම ඔහු මහ රුහුණේදී (හම්බන්තොට - ගිරුවාපත්තුව) ලද මානව හා දේශීය අත්දැකීම් සම්භාරයෙන් ලද ආභාසය, කැටිකොට ගනිමිනි.

මෙයට ඉතා විශිෂ්ට සාධකයක් වශයෙන් ගෙනහැර දැක්විය හැක්කේ ලෙනාඩ් වුල්ෆ් සිය ආත්ම චරිත කතා කණ්ඩයක් වන ග්‍රෝයිං නම් කෘතියෙහි දී පවසන අදහසකි. තංගල්ලේ තානායමේ, රාත්‍රියකදී, එහි ආලින්දයේ හුදෙකලාව වාඩි වී සිටින විට, ලෙනාඩ් වුල්ෆ්ට දැනුණේ තමා සහ සගයන් විශ්වයෙහි ඉතාම අල්පමාත්‍ර, අබැට තරම් ජීවීන් බවයි. ඔහුගේ පදමාලාවෙන් අංශයක් මෙසේය.

“ඝර්ම කලාපීය රාත්‍රි කාලයක් මවමින්, දෙවියන් වහන්සේ විසින් කළ හැකි දේ යමෙකුට පෙන්වා දෙන්නට මට අවශ්‍ය වී නම් මවිසින් ඔහු තංගල්ලේ තානායමේ ආලින්දයට ගෙන යා යුතු යැයි මට සිතේ. ගල් පරවලින් වට වී මේ කුඩා, අබැටක් තරම් ගොඩනැඟිල්ල පිහිටා තිබේ. සයුරු රළ, ආලින්දයේ ගැටෙයි. සැඳෑ වායුව උණුසුම්ය. මෘදුය. දැවැන්ත ආකාසය අවුත් දැවැන්ත සාගරය හමුවෙයි. තාරකාවෝ, අහසෙහිත් සයුරෙහිත් බැබළෙති. ඉඳහිට. දිගු නාගයෙකු වැනි හිසක්, සයුරේ ඒ තාරකා මඟින් ඉහළ නැඟ, මොහොතක් නිසලව සයුරු දියට ඉහළින් සිටි. ඒවා, මගේ පය ළඟම යැයි මට දැනේ. ඒ හිස, මොහොතක් නිසලව අහසේ තාරකා දෙස බලා සිට, නිසලව, යළි සයුරට ඇදී යේ. ඒවා අනිවාර්යයෙන්ම ගුප්ත දර්ශන සේ පෙනේ. ඒ නිසා ආශ්වාසය සඳහා, මොහොතක්, සිය හිස සයුරෙන් ඉහළට ඔසොවන, කැස්බෑවෙකු බව ඔබ දනිතත්, ඒ දසුන ඇදහිය නොහෙන තරම් විස්මය දනවන සුලුය. ඝර්ම කලාපීය රැයේ මේ භාවාතිශය නාට්‍යයෙහි කිසිදු ශබ්දයක් නැත. එහි එකම රාවය නම්, සයුරු රළ මුදු ලෙස ගැටෙන හඬත්, තුරු හිස් වෙවලමින් මෙන් සැලෙන හඬත්ය.“

අසු පිටින් පා ගමනින් යමින්

මේ මේ උද්ධෘතය ගෙන හැර දැක්වූයේ, බැද්දේගම කතුවර ලෙනාඩ් වුල්ෆ්ගේ තියුණු රසඥතාවට සාධක සපයනු පිණිසය.

එදා, බැද්දෙන් ආවරණ ලද, මාගම්පත්තු ගම්මාන, ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම කතාවට පසුබිම් සැපයුවේය.

බැද්දේගම ප්‍රබන්ධ නිර්මාණයේ 'ඇතුළු හද' වන්නේ ලේඛකයා තුළ මේ මහ බැද්ද කෙරේ ඇති ආකර්ෂණයත්, විකර්ෂණයත් ය. ලෙනාඩ් වුල්ෆ්, මේ ගුප්ත, අද්භූත මහ බැද්දට බොහෝ සේ ඇදෙයි. ඒ එක්කම, මේ බැද්ද සතු අද්භූත බව ඔහු තුළ, විස්තර කළ නොහෙන බියක් දනවන්නේය.

ලෙනාඩ් වුල්ෆ් මෙසේ ලියූවේය: “බැද්ද, මෙතරම් ආකර්ෂණීයයැයි මට දැනෙන්නේ මක් නිසාදැයි මම නොදනිමි. මහ බැද්ද, කුරිරු, අන්තරායදායි තැනකි.“

ඔහු මෙසේත් පවසයි: “රාත්‍රිය, ගතවෙත්ම ගතවෙත්ම, මහ බැද්ද, තව තවත් ගැඹුරු වෙයි. එහෙත් වරින්වර, ඒ ගැඹුරු බව බි‍ඳෙයි. සැතපුම් ගණනක් වටා විහිදෙන සියලුම ගස්වල, සියලුම කොළ, සරුසාර හඬින් වෙවුලන්ට පටන් ගනී. ඒ දැවැන්ත කෙඳිරිල්ල, එය පටන්ගත්තා සේම, හිටිහැටියේ නවතී. සර්ව සම්පූර්ණ නිහඬ බව නැවත බි‍ඳෙන්නේ, කිට්ටුව සිටින නොපෙනෙන සතෙකු ඇදෙන - දුවන හඬිනි. ඉත්තෑවෙකුගේ කූරු විහිදෙන ශබ්දයෙනි. ඈත බැද්දේ, අදහස බිඳී ගිය දිවියෙකු මොර ගාන නාදයෙනි. නොඑසේ නම්, මුවෙකුගේ සීනු රාවය වැනි ඇමතුමකිනි. නොඑසේ නම්, වද වේදනා විඳින හිවලෙකුගේ උඩුබිරුම් නාදයෙනි.“

අසු පිටින් හෝ පාපැදියෙන් හෝ පයින් හෝ ලෙනාඩ් වුල්ෆ් සැරිසරන විට, බැද්දේ දසුන් නාද සහ බැද්ද හා ආශ්‍රිත හැඟීම් ධාරාත්, වුල්ෆ්ගේ මනසට ආරූඪ වෙයි. බැද්දේගම කෘතියෙහි චරිත හා පසුබිම් ලෙනාඩ් වුල්ෆ්ගේ අධ්‍යාත්මගත වූයේ එවැනි අත්දැකීම්වලිනි.

ලෙනාඩ් වුල්ෆ්ගේ සටහනක මෙසේ එයි. “දිනය, 1910 අප්‍රේල් 29. සවස් යාමයේ මම අසු පිටින්, බටහිර ගිරුවා පත්තුවේ හතාගල පෙදෙසට ගියෙමි. පෙත්සම් දීම වැනි දේට සැරසුණු බොහෝ දෙනා, සවස 7.30 වන තෙක්ම, මා එහි රඳවා ගත්හ. මේ කාලයේ පායා තිබෙන වල්ගා තරුවට තමන් කැමැති නැතැයි ඔවුහු මට කීහ.“ බැද්දේගම කෘතිය සඳහා ලෙනාඩ් වුල්ෆ්ගේ සන්තානයේ එවැනි අමුද්‍රව්‍ය සම්භාරයකි.

ලෙනාඩ් වුල්ෆ් ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයෙහි සත් වසක් නියුක්තව සිට, (1904 - 1911) 1912 දී පදවියෙන් අස්ව ගියේය. ඔහු බැද්දේගම නම් සුප්‍රසිද්ධ කෘතිය ප්‍රකාශ කළේ 1913 දීය.

1912 දී ඔහු වර්ජිනියා නමැති කාන්තාව විවාහ කොට ගත්තේය. ඔහු සිය බැද්දේගම පිළිගන්වන්නේ සිය බිරිය වන වර්ජිනියා වුල්ෆ්ටයි. පිළිගැන්වීමේ පද්‍යයේ අරුත මෙසේ ය:

“මට ඔබට දෙන්නට තිබෙන සියලුම ටික, මම ඔබට පිරිනැමුවෙමි.

ඔබ මට සියල්ල ම දුන්නේය. මට තිබෙන සියලුම දේ ඒය.

දැන් ඔබ මට පිරිනැමු ඒ සියල්ල යළි ඔබට පිරිනමන්නේ,

මිස ඔබට පිරිනැමිය හැකි යමක් තිබේනම් පමණි.“

බැද්දේගම කෘතියට ජීවය සපයනු ලබන්නේ මහ බැද්ද කෙරේ ලෙනාඩ් වුල්ෆ් දැක්වූ ගුප්ත භීතිය විසිනි. ඔහු බැද්ද දකින්නේ මහා නපුරෙකු ලෙසයි.

මහ බැද්දේ වෙසෙන්නවුන් වන සිලිඳු, බබුන්, පුංචි මැණිකේ, හින්නි හාමි ආදි සියලු දෙනාම මහා බැද්දේ ජීවමාන අංශු වැනිය. මුළු කෘතියම වසා පැතිරෙන ප්‍රධාන චරිතය මහ බැද්දයි. මිනිසාගේ අවධානය ගිලිහෙත්ම, මහ බැද්ද, සිය පාලනය විහිදුවා ගන්නට මාන බලමින් සිටී. පාඨකයා ලෙනාඩ් වුල්ෆ්ගේ කතාවට ඇද බැඳ තබනු ලබන්නේ වුල්ෆ්ගේ ව්‍යාඛ්‍යාන විලාසයෙනි. ආරම්භයේදීම ඔහු පාඨකයාගේ මනසට කම්පනයක් ඇති කරන්නේ බැද්දට බය නැතැයි මැත දෙඩවූ පළපුරුදු දඩයක්කාරයාගේ අබිරහස් මරණයෙනි.

ඉංගිරිසියේ ගද්‍ය රිද්මය, ජප කෙරෙන මන්ත්‍රයක ස්වරය, පාඨකයා තුළ දනවන සුලුය. ආරම්භයේදී පටන්ම, ලෙනාඩ් වුල්ෆ්, සිය ප්‍රධාන තේමාව, තහවුරු කරයි. බැද්ද භීතිදායකය යනු ඔහුගේ මුඛ්‍ය ප්‍රස්තුත චින්තනයයි.

ග්‍රන්ථකරුවකු වශයෙන්, ලෙනාඩ් වුල්ෆ්, මේ කෘතිය ලියන්නේ චිකිත්සාවක ස්වරූපයෙනි. ඔහුගේ අධ්‍යාත්මය තුළ කිඳා බැස තිබෙන, බැද්ද පිළිබඳ අව්‍යාකත භීතිය ඔහු නැතිකොට ගන්නේ, ඒ භීතෝත්පාදක බැද්ද තුළටම ගැඹුරට කිඳා බැසීමෙනි.

ලෙනාඩ් වුල්ෆ්ගේ කෘතිය, මානව සංස්කෘතියේ විකාශනය පිළිබඳ උපමා කථාවකුත් වෙයි.

මිනිසා, සොබාදහමේ උරුමයන් වන මහ වන ගහන, විශාල බිම් පෙදෙස් ආදිය රැගෙන, අසහාය සංස්කෘතීන් ගොඩ නඟන්නේ විසල් ජනපද පිහිටුවන්නේය. එහෙත්, ඔහුගේ අවධානය ලිහිල් වූ කල්හි, හැම විටම අවධානයෙන් වෙසෙන අපරාජිත සොබාදහම අවුත් සිය වන ප්‍රවාහයෙන් මිනිසාගේ ඒ කුදු මහත් නිර්මාණ යට කරන්නේය.

බැද්දේගම මිනිස්සු එහි වෙසෙන සෙසු ජීවින් මෙන් බැද්දට එරෙහිව සිය අණසක පතුරුවති. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සොබාදහම සූරා ගනිති.

එහෙත්, මිනිසා දුබලව, ඔවුනොවුන් හා සටන් වදිමින්, ශක්තියෙන් පිරිහී ගිය විට, සතා අවධානයෙන් වෙසෙන සොබාදහම, හෙමි හෙමිහිට අවුත් මිනිසාත් ඔහුගේ කුදු මහත් නිර්මාණත් වන ප්‍රවාහයෙන් වසා දමයි.

බැද්දේගම වාසීහු සොබාදහමේ අභියෝග ගැන නොසිතා ඔවුනොවුන් හා ගැටුමෙහි යෙදෙති.

එහෙත් බැද්ද අවදියෙනි. දිවි සටහන් ඉතිරි වී සිටින අවසාන බැද්දේගම වැසියා පුංචි මැණිකේයි. ඇයට වපුරන්නට, වගා දිගා කරන්නට ශක්තියක් නැත. බැද්දෙන් පල වැල අල මුල් සොයාගෙන දිවි පෙවෙත ගෙවා ගන්නට හයි හයියක් නොමැත. සදාකාලික ක්ෂුධාව විසින් ඇය පෙළනු ලැබේ. වැස්ස ආ විට ඈ උණෙන් ගැහෙමින් තැවෙන්නීය.

ලෙනාඩ් වුල්ෆ් බැද්දේගම ජීවිතයේ අවසානය දකින්නේ මෙසේ ය.

“ගේ කොනෙහි මහ ගල් තුන මැද මෙතෙක් දුබලව දැල්වෙමින් තිබුණු ගින්න, දැන් නිවී ගොස්ය. දිවා කාලයේදී උණුසුම් සුළඟ රැලි සුළි නඟමින් පැල්පත ඔස්සේ හමා යේ. සුළඟ වියළී ගිය දැවැන්ත බැද්ද උඩින් හමාගෙන එන්නේ ගිනියම් වායුවක් රැගෙනයි. රෑ ඈ ශීතල පින්නේ ගැහෙමින් වෙව්ලන්නීය. ඈ මරණාසන්නව සිටී. බැද්ද ඒ බව දැන සිටියේය. බැද්ද හැම විටම බලා සිටි. මැරෙන තෙක් බලා සිටිය නොහෙන තරම්, බැද්ද නො ඉවසිලිමත්ය. අවසානයට ඇයට ළඟා වන විට, දැවැන්ත කළු සෙවණැල්ලක් නිසලව දොරකඩින් ඇතුළු වූයේය. කුඩා ඇස් දෙකක් ඇය දෙස බැබළුණාය. උඩට නැවුණු සුදු දළ දෙකක්, අඳුර කපාගෙන දිලිසුණේය. ඈ වාඩි වුණාය. භීතිය ඇය වෙත ආයේය. බැද්ද කෙරේ ඇති භීතිය - පීඩාකාරී අන්ධ භීතිය.

“අප්පොච්චි, අප්පොච්චි“ ඈ කෑගෑවාය. “එයා ඇවිල්ලා. බැද්දේ යක්ෂයා ඇවිල්ලා. උඹ කීවා වගේ ඌ මා ගෙන යන්ට ඇවිල්ලා. අයියෝ මා බේරාගන්න. මා බේරා ගන්න අප්පොච්චි.“

ඇය පිටුපසට වැටුණාය. මහා වල් ඌරා හෙමිහිට ශබ්දයක් නැඟුවේය. ඌ සෙවණැල්ලක් සේ ඇය වෙතට පැල තුළින් ගියේය.“

බැද්දට එරෙහි ජන වැසියෝ

එසේ වන ප්‍රවාහයෙන් බැද්දෙන් විනාශ වන මානව සිහින විශ්ව න්‍යායයක් බව දක්වන්නට මහා ඓතිහාසික විද්වතෙකු වන ආනල්ඩ් ටොයිස්බි විසින් ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නිදර්ශනය සේ දක්වා ඇත.

මිනිසා විසින් තැනෙන මහා සංස්කෘති පවා එසේ සොබාදහමට යටත් ය යන න්‍යායය දැක්වීම සඳහා ආනල්ඩ් ටොයිස්බි බැද්දේගම ගෙනහැර පාමින් ශ්‍රී ලංකාවේ ගමක් විශ්ව තලයට යා කරයි.

ලෙනාඩ් වුල්ෆ් පිළිබඳ ශ්‍රී ලාංකික ජන අවධානය මදිය. ලෙනාඩ් වුල්ෆ් ප්‍රබල ආත්ම චරිත කතාවක් පළ කළේය. ඔහු ‘ස්ටෝරීස් ඔෆ් ද වෙස්ට්‘ (පෙරදිග කතා) නම් කෙටි සංග්‍රගහයක් ද පළ කළේය. එහිද ලංකාව ප්‍රස්තුත කොට ගත් නිර්මාණ තිබේ.

ලෙනාඩ් වුල්ෆ්ගේ මරණය සිදු වූයේ 1969 දීය. අසූනව හැවිරිදිව ඔහු අභාවයට පත්වන්නට පෙර, ශ්‍රී ලාංකිකයෝ කිහිප දෙනෙක් ඔහු බලන්නට ගියහ.

“ඈ ආවේ ලංකාවෙන් යැයි කී විට, ලෙනාඩ් වුල්ෆ් ප්‍රතිචාර විරහිතව මඳක් බලා සිටියේය. හදිසියේම, නින්දෙන් අවදි වූ කලක මෙන් ඔහු මෙසේ ඇසුවේය.

“වැව කොහේද?“ හම්බන්තොට උප දිසාපති හැටියට පරීක්ෂණයට ගිය විට ඔහු මුලින්ම විමසන්නේ ද එයයි. ජීවිතයේ අවසාන සමයයේදී ලංකාවේ දිවි පෙවෙත, ඔහුගේ යටි හිතේ තැන්පත්ව තිබිණි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම සිනමාවට නැඟූ විට, ඒ ලෙනාඩ් වුල්ෆ් චරිතය රඟපාන ලද්දේ ආතර් සී. ක්ලාර්ක් විසිනි.

ලෙනාඩ් වුල්ෆ් පිළිබඳ ක්‍රමානුකූල විමර්ශනයකට මෙය කාලයයි. ලෙනාඩ් වුල්ෆ්ගේ ‘විලේජ් ඉන් ද ජන්ගල්‘ කෘතිය බැද්දේගම යැයි සිංහලයට නඟන ලද්දේ ඒ. පී. ගුණරත්න ලේඛකයා විසිනි. එය ඉතා විචිත්‍ර අනුවාදයකි. ඒ සියල්ල එසේ වුවද ලෙනාඩ්ගේ මුල් බැද්දේගම කොහේදැයි තාමත් අපි නොදන්නෙමු.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්