කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
හැම්ලින් නගරයේ නළාකාරයා බිල්ලෙක් ද?

ඒ කතාව එහෙම නෙවෙයි

හැම්ලින් නගරයේ නළාකාරයා බිල්ලෙක් ද?

ළමා ළපටින් තුළ පමණක් නොව වැඩිහිටියන් තුළ පවා තැතිගැන්මක් සහ කුතූහලයක් පුබුදුවන්නට සමත් වන හැම්ලින් නගරයේ නළාකාරයා පිළිබඳ අද්භූත කතාව අප බොහෝ අයට මුල් වරට කියවන්නට හෝ අසන්නට ලැබුණේ පාසල් අවදියේ දී ය. 18 වැනි සියවසේ ජර්මන් ජනප්‍රවාද එක්රැස් කළ ග්‍රීම් සහෝදරයන්ගේ කතා එකතුවෙහි ද ඇතුළත් මේ කතාව ජර්මන් මහා ලේඛක ගෝතේ, ඉංග්‍රීසි කිවියර රොබර්ට් බ්‍රවුනිං ඇතුළු තවත් බටහිර කලාකරුවන් ගණනාවකගේ නිර්මාණයන්ට වරින් වර පාදක වීම නිසා ලොව පුරා වඩාත්ම ප්‍රචලිත ජනකතාවලින් එකක් බවට පත්ව ඇත.

දඟකාර කොල්ලන් අල්ලන් යන්නට පැමිණෙන බිල්ලකු ගැන කියමින් අපේ ඇතැම් වැඩිහිටියන් ඔවුන්ගේ පුංචි දරුවන් නිහඬ කරවන්නට පුරුදු වී සිටින බව අපි දනිමු. මේ ඇබ්බැහිය අපේ රටේ වැඩිහිටි ජනතාවට පමණක් සීමා වූවක් නො වේ. ඉංග්‍රීසි බස වහරන රටවල ජනයා මේ බිල්ලා හඳුන්වන්නේ Bogeyman යන වචනයෙනි. අපේ බිල්ලා හා සම තත්ත්වයෙහිලා ගැනෙන එකෙකු Bhil නමින් ප්‍රංස ජනවහරෙහි ද එන බව දැනගන්නට ඇත. මේ බිල්ලා, නිදන් අත් කරගැනීම සඳහා බහිරවයාට බිලි පුද දෙනු පිණිස තුන් කුලුඳුල් දරුවන් පැහැරගෙන යතැයි කියල ලබන යකැදුරන්ට හෝ සන්නාසීන්ට සමාන නො වේ.

1284 වසරේ ජූලි මස 26 වැනි දා ජර්මනියේ හැම්ලින් නගරයේදී නළාකාරයකු පසුපස ගිය ළමයින් 130 දෙනකු යළි කවදා වත් කිසිවෙකුට දකින්නට නොලැබෙන අයුරින් අතුරුදන් වූ බව වාර්තා ගතය. ඒ ළමයින්ට සිදු වූයේ කුමක් ද යන්න අද දක්වාත් නොවිසඳුණ අබිරහසක්ව පවතී.

හැම්ලින් නගරයේ නළාකාරයාගේ කතාව සැකෙවින් මෙසේ ය:

ඒ වකවානුව වන විට හැම්ලින් නගරය මී වසංගතයකට ගොදුරු වී තිබිණි. අධික ලෙස බෝ වූ මීයන්ගෙන් විඳින්නට සිදු වූ නොයෙක් හිරිහැරවලින් නගරවැසියෝ මහත් අසරණ තත්ත්වයකට පත් වූහ. මේ අතර දිනක්, වෛවර්ණ ඇඳුමකින් සැරසුණු නළාකාරයෙක් හැම්ලින් නගරයට පැමිණියේය. නගරය මීයන්ගෙන් නිදහස් කර දෙන්නට ඔහු ඉදිරිපත් වූයේය. ඒ වෙනුවෙන් ඔහුට ගාස්තුවක් ගෙවන්නට නගර වැසියෝ පොරොන්දු වූහ.

තවත් කතාවකින් කියැවෙන්නේ මෙසේ පොරොන්දු වූයේ නගරාධිපතිවරයා බවයි. ඒ අනුව දින යළිත් නගරයට පැමිණි නළාකාරයා ඔහුගේ නළාව වාදනය කරමින් වීදි ඔස්සේ ගමන් කරන්නට වූයේය. ගෙවල්වල තැන තැන ලැගුම් ගෙන සැඟවී සිටි මීයෝ නළා හඬට වසඟ වී ගුල්වලින් යුහුව එළියට බසිමින් නළාකාරයා පිටුපස බුරුතු පිටින් ගමන් කරන්නට වූහ. මෙසේ සියලු මීයන් තමා පිටුපස පෙළ ගස්වා ගත් නළාකාරයා අන්තිමේදී නගර සීමාවෙහි වූ වීසර් නම් ගංගාවට ගමන් කළේය. ඉවක් බවක් නැතිව ඔහු පසුපස රංචු ගැසී පැමිණි මීයෝ දියේ ගිලී මළහ. ඒ අයුරින් නළාකාරයා නගරය මීයන්ගෙන් නිදහස් කර දුන් නමුත්, පොරොන්දු වූ පරිදි ඔහුගේ ගාස්තුව ගෙවනු නොලැබිණි. මේ නිසා ඔහු පිටත්ව ගියේ කෝපයෙනි.

යළිත් දිනක නළාකාරයා හැම්ලින් නගරයට පැමිණියේය. මෙවර ඔහු නළාව වාදනය කරමින් වීදි දිගේ ගමන් කළ අතර, නගරයේ ළමයි ඒ හඬින් මෝහනයට පත්ව, උන් හිටි තැන්වලින් එළියට බැස රංචු ගැසෙමින් නළාකාරයා පසුපස ගමන් කරන්නට වූහ. නගරයේ ළමයින් මෙසේ තමා පසුපස පෙළගස්වාගත් ඔහු නගර ප්‍රාකාරයේ නැ‍ඟෙනහිර දොරටුවෙන් පිට වී කොපෙන් නම් කන්ද වෙත ගමන් කළේය. ඔහු එහි සමීප වූ සැණෙකින් කඳු පාර්ශ්වයෙහි පුළුල් දොරටුවක් විවෘත විය. ඔහු ඇතුළට ගමන් කළේය. ළමයි ඔහු අනුගමනය කළහ. අන්තිම ළමයා ද ඇතුළට යෑමත් සමඟම දොරටුව වැසී ගියේය. එපමණි.

ඒ අභාග්‍ය සම්පන්න ළමයින්ගේ ගමනෙහි අවසානය වොන් ලූබේ නම් යුවතියක විසින් දක්නා ලද බව කියවෙයි. නගරයේ ළමයින්ගෙන් තුන් දෙනකු පමණක් - එනම්: අනෙක් ළමයින් ගිය වේගයෙන් ගමන් කරන්නට අපොහොසත් වූ ආබාධිත ළමයකු, පාර සොයාගැනීමට අසමත් වූ අන්ධ ළමයකු සහ නළාවේ සංගීතය සවන් නොවැකුණු බිහිරි ළමයකු - ඒ විපතින් ගැලවුණ බව තවත් කතාවක සඳහන්ය.

මේ අද්භූත කතාව මුල් වරට වාර්තා වන්නේ හැම්ලින් නගරයේ මහජන චතුරස්‍රයේ පිහිටි දේවස්ථානයේ ජනේලයක් අලංකාර කිරීම පිණිස යොදන ලද වර්ණ පිරිද්දුම් කළ වීදුරු (Stained glass) තහඩුවකය. එය ඒ අභාග්‍ය සම්පන්න ළමයින් පිළිබඳ ස්මාරකයක් වශයෙන් නගරයේ ජනයා විසින් පිහිටුවන ලද්දක් ලෙස සලකනු ලැබේ. ක්‍රි. ව. 1300 වකවානුවට ගැනෙන ඒ ලියවිල්ලෙන් මෙසේ කියවෙයි:

1284 වසරේ සාන්ත ජෝන්ගේ සහ සාන්ත පෝල්ගේ දිනය යෙදුණ ජුනි 26 වැනි දා කල්වරියට ගිය, හැම්ලිනයේ ළමයි 130 දෙනෙක් සියලු ආකාරයේ ගැහැට විඳිමින් ගොස් කොපෙන් කන්දෙහි අතුරුදන් වූහ.නා නා වර්ණවලින් යුතු ඇඳුමකින් සැරසුණු වයසක මිනිසකු වට කරගත් ළමයින් පිරිසක් නිරූපණය කෙරෙන සිත්තමක් ද එහි දැක්වුණ බව ඒ ගැන ලියැවුණු තවත් ලේඛනයක සඳහන්ය. එහෙත්, නගරයේ පැතිර ගිය මී වසංගතයක් ගැන හෝ නළාකාරයෙකු ගැන හෝ එයින් නො කියැවෙයි. මෙකී වීදුරු තහඩුව 1660 දී පමණ විනාශ වූ නමුත් එහි වූ තොරතුරු වෙනත් පැරැණි ලිපි කිහිපයකම සඳහන් වී ඇත.

ඊළඟට පැරැණිතම සටහන ලැබෙන්නේ ලුවෙන්බර්ග් ලියවිල්ල නමින් හැඳින්වෙන ලේඛනයෙනි. ක්‍රි. ව. 1440 - 1500 අවදියට ගැනෙන එහි සඳහන් වන්නේ මෙබන්දකි:

1284 වසරේ සාන්ත ජෝන්ගේ සහ සාන්ත පෝල්ගේ දිනය යෙදුණ ජුනි 26 වැනි දා නා නා වර්ණයෙන් යුත් ඇඳුකින් සැරසුණ නළාකාරයකු විසින් අයථා ලෙස යොදාගනු ලැබූ ළමයි 130 දෙනෙක් කොපෙන්හි වධක ස්ථානයේදී අතුරුදන් වූහ.මී වසංගතයක් පිළිබඳ කතාවක් ඒ ලියවිල්ලෙහි ද නො දැක්වෙයි. කෙසේ වුවත් ජනතාවගේ සැලකිල්ලට ලක්වූ නළාකාරයකු නගරයේ සිටි බව මුල් වරට අනාවරණය වන්නේ 15 වැනි සියවසට අයත් වන ලියවිල්ලකිනි. ඉන් කියැවෙන පරිදි රිදීවලින් මාත්තු කළ නළාවක් වාදනය කිරීමෙන් නගරයේ ළමයින්ගේ අවධානය දිනාගත් ඔහු තිස් වැනි වියේ පමණ පසු වූ කඩවසම් තරු‍ණයෙක් විය.

මේ පුරාවත නිසාම හැම්ලින් නගරය අද විදේශිකයන් ලක්ෂ ගණන් වසරට ඇදී එන ජනාකීර්ණ සංචාරක මධ්‍යස්ථානයකි. සංචාරක සමයේ ඉරිදා දිනවල, ළමයින් සිය ගනනක් සහභාගි කරවාගෙන මී නාඩගම එහි රඟ දැක්වෙන බවත්, අවන්හල්වල Rat tail flambe ලෙස නම් කෙරුණු බැදපු ඌරු මස් තීරු සහ Rat Killer නම් මත්පැන් වර්ගයක් අලෙවි කෙරෙන බවත් Sdving the Puzzle of the Piel Piper යන මැයෙන් ලිපියක් ලියූ මොරිස් ෂැඩ්බෝල්ට් නම් ලේඛකයා කියයි. ළමයින් අවසන් වරට දක්නා ලද වීදිය අද හැඳින්වෙන්නේ බෙර තහනම් වීදිය හැටියටය. එහි සංගීත භාණ්ඩ වාදනය කිරීමට හෝ විනෝද සන්දර්ශන පැවැත්වීමට අවසර නැත.

16 වැනි සියවසට අයත් ගොඩනැඟිල්ලක පවත්වාගෙන යනු ලබන හැම්ලින් කෞතුකාගාරයෙහි මේ නළාකාරයාගේ කතාව ගැන ලියැවුණ ග්‍රන්ථ 350 ක් පමණ මෙන්ම තවත් ලේඛන රාශියක් ද පවතින බව ෂැඩ්බෝල්ට් සඳහන් කරයි. කෞතුකාගාරයේ භාරකරු ලෙස දිගු කලක් සේවය කළ අර්නස්ට් ස්පැනුන් ද ඔහුගේ පියා මෙන්ම මේ අභිරහස විසඳීමේ අදහසින් පර්යේෂණවල යෙදුණු අයෙකි. ඔහු සඳහන් කර ඇත්තේ මීයන් ඇල්ලීමේ යෙදුණු නළාකාරයකු ගැන මේ සම්බන්ධ මුල් කාලීන ලියකියවිලිවල සඳහන් නොවුණත්, මිනිසුන්ගේ කුතූහලයට සහ සැකයට හේතු වූ එවැන්නකු ඇත්ත වශයෙන්ම සිටින්නට ඇති බවයි. ළමයින් අතුරුදන් වීම පිළිබඳ කතාවට, පසුකාලීන ජනයා විසින්, පාරම්පරික මතකයේ රැඳුණු ඒ පුද්ගලයාගේ කතාවත් ඈඳනු ලැබුවා විය හැකිය. ජනකතා නිර්මාණය වන්නේ එපරිද්දෙනි. දශරථ ජාතක කතාව හෝ එයට පාදක වූ උතුරු ඉන්දීය කතාවත් සමඟ දකුණු ඉන්දීය ද්‍රවිඩ කතාවක් ඈඳීමෙන් රාමායණය ගෙතුණක් මෙනි.

වසර තුන්සියයක පමණ කලක් තිස්සේ නොවිසඳුණු මේ ගැටලුවට පිළිතුරු සොයන්නට 17 වැනි සියවසේ ඇතැම් විද්වත්හු උත්සාහ කළහ. මේ විද්වතුන් විවිධ මත ඉදිරිපත් කරන නමුත්, ඔවුන් ඒකමතිකව පිළිගන්නා එක කරුණක් ඇත. එනම්, ළමයින් අවසන් වරට ගමන් කළේ නැ‍ඟෙනහිර දෙසට බවයි.

13 වැනි සියවසේ ජර්මන් ජනතාවට නැ‍ඟෙනහිර යන්න ආකර්ෂණීය වචනයක් වූ බව පෙනේ. ස්ලැම් සහ හංගේරිය පෙදෙස්වල ධනවත් හාම්පුත්තු රුසියාවෙන් හඹා ආ ටාටාර් කොල්ලකරුවන්ගේ ආක්‍රමණ අඩාළ කිරීම සඳහා නව ජර්මන් ජනාවාස පිහිටුවීම පිණිස දැඩි උනන්දුවක් දැක්වූහ.

1284 ජූනි 26 දිනය හැම්ලින් නගරයේ ආගමික නිවාඩු දිනයක් විය. වර්ණවත් ඇඳුම් කට්ටලයකින් සැරසුණ කාර්යශූර නිලධාරියකු නව ජානපදිකයන් බඳවා ගැනීමේ කටයුතුවල නිරත වන්නට ඇත. සමහර විට ඔහු නගරයේ ගැවසෙන අතර නළාවක් ද පිඹින්නට ඇත. ඔහු විසින් බඳවාගන්නා ලද්දේ ළමයින් නොව, රැකියා විරහිත භාවයෙන් අසහනයට පත්ව සිටි, එහෙත් නව අත්දැකීම් ලැබීමේ උද්‍යෝගයෙන් පසු වූ ගැටවරයන් පිරිසක් විය හැකිය. ඔවුන් 'නගරයේ ළමයින්' ලෙස හඳුන්වනු ලැබීම ස්වාභාවිකය. එහෙත් මේ පුරාවත හැම්ලින් නගරයේම බිහි වූයේ ඇයි?

ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ හැම්ලින් නගරයේ පදිංචි කරුවකු වූ හැන්ස් ඩොබර්ටීන් නම් ගුරුවරයකුගෙනි. ඔහු ද දීර්ඝ කාලයක් තිස්සේ මේ ගැටලුවට විසඳුම් සොයමින් පර්යේෂණ කළ අයෙකි.

සෑම පුරාණෝක්තියක් පිටුපසම තර්කානුකූල කිසිවක් ඇත. මේ කතාව ශෝකාන්තයකි. ඇත්ත වශයෙන්ම එවන් යමක් සිදු විය. එහෙත් ඒ හැම්ලින් නගරය අසල නොවේ; වඩාත් ඇතය. ඒ ළමයින් ඊසාන දෙසට ගොස් නැව් නැඟුණු බවත්, ඒ නෞකාව තෙමරේනියන් වෙරළබඩ පිහිටි කොපෙන් නගරය ආසන්නයේදී මුහුදුබත් වූ බවත් නිසැකවම පිළිගන්නට ප්‍රමාණවත් සාධක මට ලැබී ඇත. කොපාන් පිහිටා ඇත්තේ පෝලන්තයේය. හැම්ලින් නුවර පසු කාලීන ජනයා ඒ දුරස්ථ ස්ථානයේ නම සමඟ ඔවුන්ට වඩාත් නුදුරු වූ කොපෙන් කන්දෙහි නම පටලවා ගත්තා විය යුතුය.

ඩොබර්ටීන් ඉදිරිපත් කරන සාධක ඔහුට ලැබී ඇත්තේ ඔහු ගවේෂණය කළ පැරැණි ලේඛනවලිනි. හැම්ලින් නගරය සහ අවට පෙදෙස් සමඟ සම්බන්ධකම් පැවැත්වූ නිකොලස් වොන් ස්පීගල් නම් වංශවතකුගේ ගමන් - බිමන් ගැන ද ඒවායෙන් අනාවරණය වීම විශේෂ කරුණකි. ස්පීගල් අවසන් වරට දක්නා ලද්දේ ජර්මන් උතුරු බෝල්ටික් වරායක් වූ ස්ටෙටින් හිදී 1284 ජුලි 8 වැනි දාය. එනම්, ළමයින් අතුරුදන් වීම සිදු වී දවස් 12කට පසුවය. ස්ටෙටින් වරාය සහ හැම්ලින් නගරය අතර දුර ප්‍රමාණය සැතපුම් 250ක් පමණ වෙයි. එය දවස් 12ක ගමනකට ගැළපෙන දුර ප්‍රමාණයකි. ඒ ස්ථානය පිහිටියේ ද ජර්මන් සංක්‍රමණිකයන් සාමාන්‍යයෙන් ගමන් ගත් මාර්ගයේය.

ස්පිල්බර්ග් 1284ට පෙර හැම්ලින් නගරය සහ තෙමරේනිය ප්‍රදේශය අතර නිතර යෑම් - ඊම් කළ බව මෙකී ලේඛන සමහරකින් අනාවරණය වේ. එමෙන් ම ළමයින් අතුරුදන් වූ වකවානුවේදී ම ඔහුත් අතුරුදන් වූ බැව් හෙළි වෙයි. ඩොබර්ටීන් නිගමනය කරන්නේ ස්පීල්බර්ග් ද ළමයින් සමඟ දියේ ගිලී මිය යන්නට ඇති බවයි.

ඩොබර්ටීන්ගේ මතය සාධක සහිත වුවත්, කෙතරම් තර්කානුකූල වුවත්, ඇතැම් විද්වත්හු එය පිළිගැනීමට මැළි වෙති. එහෙත්, යටත් පිරිසෙයින් ස්පීල්බර්ග්ට වඩා ගැළපෙන සැකකරුවකු හඳුනාගැනෙන තුරු, අපට විශ්වාස කරන්නට සිදු වන්නේ හැම්ලින් නගරයේ නළාකාරයා යනු ඔහුගේ රූපාන්තරණයක් මිස බිල්ලකු නොවූ බවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]