කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පක්ෂ හතරක් කැඩෙන ලකුණු

පක්ෂ හතරක් කැඩෙන ලකුණු

දේශපාලන පක්ෂ හතරක හටගෙන ඇති අභ්‍යන්තර ගැටලු හේතුවෙන් පක්ෂ කිහිපයක් දෙකඩ වන ලකුණු පහළ වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන පක්ෂය යන පක්ෂ තුළ මේ වනවිට අභ්‍යන්තර ගැටුම් උත්සන්න වෙමින් පවතී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිස වෙන පෙරමුණක් ලෙස ඉදිරිපත්වනු ඇතැයි කියති.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්.ඒ. හාෆිස් ඉල්ලා අස්වීමෙන් හිස් වූ පුරප්පාඩුව සඳහා ඒ පක්ෂයේ මහලේකම් එම්.ටී. හසන් අලී මහතා පත් කිරීම රවුෆ් හකීම් මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමත්, ඒ පුරප්පාඩුව පිරවීම සඳහා හිටපු ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවු‍ෆික් පත්කිරීමට පියවර ගැනීමත් එම පක්ෂය දෙදැරීමට හේතු වී ඇති අතර, තමන්ට මන්ත්‍රී ධූරය ලබා නොදුනහොත් පක්ෂ මහලේකම් ධූරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව හසන් අලි මහතා ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ හතරක්...

නායකත්වය ජනතා ප්‍රශ්න විසඳීමට නිසි ලෙස කටයුතු නොකරන බවට චෝදනා කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් වෙනම පෙරමුණක් පිහිටුවා ගැනීමත්, එය විසුරුවා හරින ලෙස විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නායකයන් කරන ලද ඉල්ලීම විග්නේශ්වරන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම පක්ෂය තුළ ගැටුම් උග්‍ර වී තිබේ.

මේ අතර වාණිජ හා කර්මාන්ත ඇමැති රිසාද් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන පක්ෂය පසුගියදා පැවැත්වූ මහා සම්මේලනය නීති වි‍‍රෝධී බව පවසමින් එහි මහ ලේකම් වයි.එල්. ෂාවුල් හමීඩ් කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමත්, එම සම්මේලනයේදී මහලේකම් ලෙස පත් කරන ලද එස්. සුබයිදීන් එම ධූරයේ කටයුතු කිරීම වළකාලන ලෙස ‍නඩු පැවරීමත් හේතුවෙන් ඒ පක්ෂය දෙකඩ වී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]