සිළුමිණ හමුවේ ඇති අභියෝග
 

සිළුමිණ හමුවේ ඇති අභියෝග

 

සර 400 කට වැඩි ඉතිහාසයක් සහිත පුවත්පත් කලාවේ දැවැන්තයන්ගේ මරණාසන්න හඬ ඇසෙත්දී වසර 200 ක් යන්තමින් ඉක්මවූ පුවත්පත් කලාවක් සහිත කුඩා දූපතක සතිඅන්ත පුවත්පතක් වසර 80 ක් සපිරීම මහත්වූ භාග්‍යයකි. මේ ලිපියෙන් උත්සාහ කරනු ලබන්නේ මේ අන්ත දෙක අතර පවත්නා ප්‍රබලතා හා දුබලතා ආශ්‍රයෙන් නූගත් පුවත්පත් කලාවේ අභියෝග පිළිබඳ විමසීමක යෙදීමත් ඒ ඔස්සේ සිළුමිණ පුවත්පත් ගමන්මඟ හා එහි අනාගතය පිළිබඳ පරිසරය වටහා ගැනීමත් ය.

පුවත්පතට එල්ල වී ඇති අභියෝග හමුවේ පුවත්පත් ආයතන විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටී. ඉන් ප්‍රධාන වන්නේ පුවත්පත් වාර්තාකරණයට යොදවන මුදල් ප්‍රමාණය කපා හැරීමයි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ පුවත්පත් විවිධ සිදුවීම් පිළිබඳ සමාන්තර වාර්තාකරණයට පමණක්යොමු වීමයි. ගවේෂණාත්මක වාර්තාකරණය වැනි ප්‍රයෝගික ව කාලය, ශ්‍රමය හා ධනය වැය වන වාර්තාකරණ ක්‍රියාවලීන් ශීඝ්‍රයෙන් බැහැර වෙමින් පවතී. ඒ වෙනුවට, විනෝදාස්වාදය අරමුණු කරගත්, දෛනික ජීවිතයේ සරල අවස්ථා වාර්තාකරණයට පුවත්පත් මාධ්‍යය යොමුවෙමින් පවතී. සෙසු මාධ්‍ය කරා යොමුවෙමින් පවත්නා තරුණ පරපුර පුවත්පත වෙත රඳවා ගැනීමට ගන්නා උත්සාහයක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය.

මේ තත්ත්වය ලෝකයට ම පොදු වූවක් සේ සැලකිය නොහැකි ය. ඇමරිකාව හා බටහිර යුරෝපීය රටවල පුවත්පත් අලෙවිය පසුගිය දශකය තුළ අඩු වුවද ලෝකයේ සෙසු කලාපවල විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල පුවත්පත් අලෙවිය ඉහළ යමින් පවතී. ඊට හේතුව වන්නේ ඒ රටවල සාක්‍ෂරතාවයේ වර්ධනයයි. මීට දැක්විය හැකි කදිම උදාහරණය වන්නේ ඉන්දියාවයි.

එරට පුවත්පත් අලෙවිය වසරින් වසර ඉහළ යමින් තිබේ. විවිධ භාෂාවලින් පුවත්පත් ආරම්භ කිරීම සුලබ සිදුවීමකි. සෙසු මාධ්‍යවල අභියෝග හමුවේ පුවත්පත් අන්තර්ගතය සකස් කර ගැනීමට ද ඉන්දියානු පුවත්පත් උපක්‍රමශීලී ව කරයි. ‘මහාභාරතය’ ටෙලි නාට්‍යය ඉන්දියානු රූපවාහිනිය ඔස්සේ විකාශය වූ අවධියේ එරට ප්‍රාන්ත පුවත්පත් එහි තිරපිටපත ඒ ඒ භාෂාවලට පරිවර්තනය කර ටෙලි නාට්‍යයට සමාන්තර ව පුවත්පතේ පළකිරීමෙන් අලෙවිය වැඩිකරගත් ආකාරය එක් නිදසුනකි.

ලෝකයේ විවිධ පුවත්පත්, තමන් හමුවේ පවත්නා අභියෝගවලට විකල්පයක් ඔස්සේ පිළිතුරු සොයමින් සිටී. බටහිර රටවල් ඒ සඳහා ගත් උත්සාහයක් වූයේ නොමිලේ බෙදාහරින පුවත්පත් (Free News Papers) ආරම්භ කිරීමයි. දැන්වීම් හෝ වෙනත් ආධාර / ප්‍රදානයන් හෝ මත යැපෙන පුවත්පත් පාඨකයන් වෙත නොමිලේ බෙදා හරිනු ලැබේ. එහෙත්, ඇතැම් රටවල මේ ක්‍රමය සාර්ථක නොවිණි. ජර්මනියේ පාඨකයින් තවදුරටත් මුදල් ගෙවා පුවත්පත් මිලදී ගැනීමට කැමැත්තක් දක්වන බව මෑතකාලීන සමීක්‍ෂණයක් මඟින් හෙළිවී තිබුණි. පුවත්පත් මඟින් ඔවුන් අපේක්‍ෂා කරනුයේ උසස් වාර්තාකරණයකි. එමෙන්ම ගවේෂණාත්මක හා පර්යේෂණාත්මක තොරතුරු ගැබ්වූ වාර්තාවකි. පුවත්පතට සෙසු ජනපි‍්‍රය ජනමාධ්‍යයන් හා තරග කිරීම සඳහා එය හොඳ ප්‍රවේශයකි.

’සිළුමිණ’ පුවත්පතේ අනන්‍යතාව වන්නේ ද එවැනි ගැඹුරු හා ශාස්ත්‍රීය පසුබිමක් සහිත කලා භාවිතයයි. සෙසු සතිඅන්ත සිංහල පුවත්පත්වල ජනපි‍්‍රය අතිරේක කිසියම් පාඨක කණ්ඩායමක් රඳවා ගැනීමට ගන්නා උත්සාහයට වඩා පුළුල් පදනමක් ‘සිළුමිණ’ සම්ප්‍රදායේ පවතී. ඥාන කෝෂ, විශ්වකෝෂ, ශාස්ත්‍රීය අතිරේක ආදී වශයෙන් සිළුමිණ ආරම්භයේ සිට ම එවැනි සම්ප්‍රදායක් ඔස්සේ පුළුල් පාඨක ජාලයක් ගොඩනඟා ගැනීමට සමත්ව තිබේ.

පුවත්පත් කලාව හමුවේ ඇති අභියෝග ජය ගැනීමට පුවත්පත්වල අන්තර්ගතයේ වෙනස්කම් පමණක් ප්‍රමාණවත් නොවේ. එහි පවත්නා කර්මාන්තමය ස්වභාවයද විමසා බැලිය යුතු ය.

”පුවත්පතක හොඳ ම අලෙවිකරුවා වන්නේ එහි ශීර්ෂ පාඨ” බව දශක කීපයකට පෙර ජෝන් කෝල්බර් දැක්වූ අදහස වෙනස් කළ පුවත්පතක් ලෙස සිළුමිණ හැඳින්විය හැකි ය.

සිළුමිණ ඇතැම් පාඨකයන්ගේ පුවත්පත බවට පත් ව ඇත්තේ දැන්වීම් හේතුවෙනි. ඉන් බහුතරයක් එහි ලුහුඬු දැන්වීම් හා මංගල යෝජනා වෙනුවෙන් පුවත්පත මිලදී ගනී. රාජ්‍ය අංශයේ දැන්වීම්, නිවේදන හා ඇබෑර්තු පළ කිරීම පිළිබඳවද කිසියම් අධිකාරියක් සිළුමිණ සතුවන බව නොරහසකි.

ඒ අර්ථයෙන් දශක ගණනාවක් මෙරට සතිඅන්ත සිංහල පුවත්පත් අතර ‘සිළුමිණ’ හිමිකරගෙන ඇති ස්ථානය මෙතෙක් අභියෝගයට ලක්වී නොමැත.

දායකත්ව විෂයේදී මෙරට සමස්ත පුවත්පත් කාර්මාන්තයම පවතින්නේ කිසියම් පසුගාමී තත්ත්වයක ය. පුවත්පත මිලදී ගැනීමට බොහෝ පිරිස් පෙලඹුණද මාසික ව, අර්ධ වාර්ෂික ව හෝ වාර්ෂික ව දායකත්වයක් ලබාගැනීමට මැළිකමක් දක්වති.

සිළුමිණ පුවත්පත සඳහා යම් දායකත්වයක් හිමි ව ඇත්තේ එහි අන්තර්ගතය හේතුවෙනි. මෙරට බොහෝ පුස්තකාල පුවත්පත් එකතුවේ සතිඅන්ත පුවත්පත් අතර ‘සිළුමිණ’ ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.

ආරම්භයේ සිට ම සිළුමිණ පුවත්පත අලෙවි වාර්තා තැබූ පුවත්පතකි. සෙසු පුවත්පත් හා සාපේක්‍ෂ ව එය ඉහළ වර්ධනයක් සහිත පුවත්පතකි.

වසර

පිටපත් අලෙවිය

1956 - 1,43,000
1961 - 1,50,000
1962 - 1,55,748
1964 - 1,81,291
1970 - 3,55,020
1972 - 2,25,000
1973 - 2,59,162
1976 - 2,53,914
1992 - 2,85,000

මූලාශ්‍ර:- Studies On The Press in Sri Lanka and South Asia, Ceylon General Elections  – 1956,පුවත්පත් කොමිසමේ අතුරු වාර්තාව, පුවත්පත් කොමිසමේ අවසාන වාර්තාව, Electoral Politics in a Emergent state, හැන්සාඩ්, 1973.

මෑත කාලීන අලෙවි සමීක්‍ෂණ වාර්තාවලට අනුව ද සිළුමිණ පුවත්පතේ අලෙවිය සෙසු පුවත්පත් හා තරගකාරී ව පවතී.

’සිළුමිණ’ පුවත්පත් ගමන් මග විමසා බැලෙන මේ අවස්ථාවේදී ඒ සඳහා පාදක කරගත හැකි දර්ශක දෙකක් පෙන්වා දිය හැකිය.

ඉන් පළමුවැන්න වන්නේ 1964 පුවත්පත් කොමිසමේ අවසාන වාර්තාවයි. එවකට පැවති මෙරට පුවත්පත් සියල්ලේ ම අන්තර්ගතය එමඟින් විශ්ලේෂණය කර තිබුණි. එවකට පැවති ලේක්හවුස් පාලනය යටතේ අඩුවෙන් ම විවේචනයට ලක්වූ පුවත්පත ‘සිළුමිණ’ යි.

දේශපාලන තොරතුරු වාර්තාකරණයට වඩා ශාස්ත්‍රීය කලා තොරතුරු වාර්තාකරණයට පැවැති නැඹුරුව ව එසේ වීමට හේතුවන්නට ඇත. දෙවැන්න, වන්නේ 1973 සිට 2003 දක්වා වසර 30 ක ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාවන් ය. ඒ, සෙසු සිංහල පුවත්පත්වලට සාපේක්‍ෂව ‘සිළුමිණ’ පුවත්පත හා සම්බන්ධ ව පාඨක පැමිණිලි ඉදිරිපත් වූ වාර ගණන සැසදීමෙනි. එයද සිළුමිණේ අන්තර්ගතයේ පැවැති විශේෂත්වයට සාක්‍ෂි සපයන්නකි.

සිළුමිණේ ගමන්මඟ හා එහි අනාගතය විමසා බැලිය යුත්තේ රටේ සමාජ දේශපාලන සාධක මත ය. සිළුමිණට 80 විය සපිරෙත්දී මෙරට සර්ව ඡන්ද බලයට ද වසර 80 ක් සැපිරීමට ආසන්නය. (1931-2011) එබැවින්, සිළුමිණේ ශාස්ත්‍රීය නැඹුරුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් දිශාවකට යොමු කිරීම වඩා ප්‍රායෝගික වේ.

විජයානන්ද රූපසිංහ

ජනසන්නිවේදන

අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය